IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනුන්ගේ වැරදි පාරිභෝගික කරපිට පැටවීම

(සාරා කන්දෙගොඩ)

විදුලිය ගාස්තු නැවතත් වැඩිකිරීමට විදුලිය බල මණ්ඩලය යෝජනා කරයි. මහජන උපයෝගීතා කොමිසම මහජන මතය ඉල්ලා සිටී. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, අනුව මහජන අදහස් විමසීම ඉතාම සුදුසුය. තීරණාත්මක ආර්ථික අර්බුදයක ජීවත්වෙන කිසිම පුරවැසියකු විදුලිය ගාස්තු වැඩිකරන තීරණයකට එකඟ නැති බව පැහැදිලිය. ගාස්තු වැඩි කරන යෝජනාවක් සඳහා මහජන කැමැත්ත ලබාගත හැකිවනු ඇති බවට උපයෝගීතා කොමිසම විශ්වාස කිරීම තවත් පුදුමයකි.

පිරිවැය පියවන විදුලිය ගාස්තුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයකි. පාලකයෝ එයට එකහෙලා කැමැත්ත පළ කර සිටිති. විදුලිය බල මණ්ඩලයේ ආදායම හා වියදම සලකා බලා අවසාන ගිණුම පියැවීමට ගාස්තු නැංවිය යුතු අතර වසරක් තුළ අවස්ථා දෙකක් ගාස්තු නැංවිය හැකි බව දැක්වේ.

විදුලිය බල මණ්ඩලය ද පෞද්ගලීකරණය කළ යුතු ආයතන ලැයිස්තුවේ ඇත. අකාර්යක්ෂම හා අවිද්‍යාත්මක ව්‍යාපාරයක නිරත මණ්ඩලයේ කටයුතු ආර්ථිකයට නිසි දායකත්වයක් නොදක්වන අතර එහි පීඩනයෙන් ආණ්ඩුව ගැලවීමට තීරණය කළ යුතු බව ද මුල්‍ය අරමුදල යෝජනා කරයි. අලාභ පියවා, අඩුපාඩු සම්පූර්ණ කිරීමෙන් පසු පෞද්ගලීකරණය සිදුවනු ඇත. මණ්ඩලයේ අයිතිය ලබාගන්නා පර්ශවයකට කරදර රහිත ආයෝජන අවස්ථා සම්පාදනය අරමුණ බව පෙනේ.

බලශක්ති උත්පාදනය සංකීර්ණ ක්‍රියාවලියකි. ලෝකයේ සෑම රටක්ම එහි දී විශාල පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටී. ඉන්ධන සහ විදුලිය මිල නිෂ්පාදනය සඳහා සෘජුව බලපාන අතර අවසානයේ දී එහි පිරිවැය පාරිභෝගිකයන්ට ගෙවන්නට සිදුවේ. ජන සමාජයේ යහපත අපේක්ෂා කරන පාලකයෝ බලශක්ති වියදම අඩු කර ගැනීමට උපරිමව උත්සාහ කරති.

බලශක්ති වියදම අඩුකර ගැනීමේ තරගය ජාත්‍යන්තරය පුරා විහිදුණු සංග්‍රාමයක් බවට පත්ව ඇති බව සඳහන් කිරීම නිවැරදිය. ගල් අඟුරු යුගයේ සිට ඛනිජ තෙල් සඳහා පරිවර්තනය වූ අතර අද වන විට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ජලය, සූර්ය තාපය, සුළඟ, න්‍යෂ්ටික බලය සහ හයිඩ්‍රජන් ඇතුළු එකිනෙකට වෙනස් මාධ්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් එහි ලා උපයෝගී කර ගැනේ. මෙම අංශ සඳහා දැවැන්ත ආයෝජන කරන්නට සිදුවේ. වරින් වර වෙනස් වන තාක්ෂණය අනුව ඉක්මන් තීරණ ගන්නට සිදුවන අතර එහි නිවැරදි මානය අනුව ප්‍රතිලාභ අත්වේ.

ඉන්දියාව ඛනිජ තෙල් මත යැපෙන රටකි. ගල් අඟුරු භාවිත කර බලශක්තිය නිපදවන ප්‍රතිශතයක්ද ඇත. සූර්ය තාපය සඳහා ආයෝජනය කරමින් පසුවේ. හයිඩ්‍රජන් විදුලිය උත්පාදනය අලුතින්ම සම්බන්ධ වූ අංශයකි. ඉන්දියාව විදුලිය බලය නේපාලයෙන් මිල දී ගන්නා අතර නේපාලයේ ජලවිදුලිය උත්පාදනය සඳහා ණය ගිවිසුමක් අත්සන් කර තිබේ.

අඩුම මුදලකින් ජල විදුලිය නිපදවන නේපාලය ඒවා ඉන්දියාවට අලෙවි කරයි. ජගත් ප්‍රජාව ඉරානයට සම්බාධක පනවා ඇත. ඉරානයේ තෙල් විකුණාගත නොහැකි වී තිබේ. ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරන ඉරානය ලෝක වෙළඳ පොළට වඩා අඩු මුදලකට තොග වශයෙන් ඉන්දියාවට ඛනිජ තෙල් සපයමින් සිටී. එම ඉන්ධන ඔවුන්ගේ ප්‍රයෝජනයට ගන්නා අතර යුරෝපයට ද අලෙවි කරන සැලැස්මක පසුවේ.

ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවල නිපදවන සූර්ය තාප විදුලිය මිල දී ගැනීමට සිංගප්පූරුව ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම විදුලිය කිලෝ මීටර් අට දහස ඉක්මවන දුරක් මුහුද යට කේබල් මගින් සැපයේ. මෙම කේබල් මාර්ගයට සම්බන්ධවීම සඳහා සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් ද එකඟ වී ඇති අතර ඉන්දියාව ද එම ග්‍රිඩ් පද්ධතිය හා යා කෙරෙනු ඇත.

මෙම ග්‍රිඩ් සම්බන්ධතා අනුව නේපාලයේ ජලවිදුලිය මැද පෙරදිග කලාපයට ද පැතිරෙනු ඇත. රටවල් යා කෙරෙන අඩුම මිලකට විදුලිය නිපදවන උපාය මාර්ග අනුව එම රටවල ආර්ථිකය වාසිදායක තත්ත්ව හිමි කරගන්නට සැලසුම් කරන බව දැක්විය යුතුය. ඉන්දියාව යුරෝපා සංවිධානය සමග සම්බන්ධ වන අතර එහි දී හයිඩ්‍රජන් විදුලිය උත්පාදනය සඳහා ද ගිවිසුමක් අත්සන් කරන්නට එකඟත්වය පළ කොට ඇති බව අනාවරණය වේ.

ලෝකයේ සිදුවන විදුලිය හා බලශක්ති අංශයේ ආයෝජන දැවැන්ත රාමුවක් කරා ඇතුළු වී ඇති අතර එහි ලා කෙරෙන ආයෝජනය අති විශාල ධනස්කන්ධයක් බව දැක්වේ. අනාගත බලශක්ති අවශ්‍යතා සලකා බලන මුල්‍ය අංශ මෙම ආයෝජන වෙනුවෙන් නොපැකිලව ධනය සම්පාදනයට ද සූදානම්ය.

විශේෂයෙන් පුනර්ජනනීය විදුලිය උත්පාදනය සඳහා ලැබෙන පිටිවහල සැලකිය යුතු අගයක් ගෙන ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. සන්නිවේදනය හා සමානව විදුලිය බලය ද රටවල් අතර හුවමාරුවන ජාලගත ක්‍රමයක් අනාගතයේ දී ඇති විය හැකි බව පෙනේ. මෙම පියවර මගින් පිරිවැය අඩු කාර්යක්ෂම තත්ත්ව ඇති කරගන්නට ප්‍රයත්න දරමින් සිටී.

දූපත් ආකල්පයක පසුවන ශ්‍රී ලංකාවට මෙම අනාගත සැලැස්ම ගැන අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නැත. නිලධාරීහු ග්‍රිඩ් සමතුලිත කිරීමේ තාක්ෂණය ගැන භීතියක පසුවන අතර ඛනිජ තෙල් හා ගල් අඟුරුවලින් හැර අනෙක් ක්‍රමයක් ගැන බියකින් පසුවෙති. සූර්ය තාප විදුලිය කලින් කලට වෙනස්වන හෙයින් ක්ෂණික වෙනස්කම්වලට පද්ධති සමබර නොකළහොත් මහත් විපත් ඇති කරනු ඇති බව දක්වති. ආණ්ඩුවට විදුලිය ගැන සැලැස්මක් නැත.

ඕනෑම පිරිවැයක් දරා පැය විසි හතර විදුලිය සැපයීමේ සැලැස්ම පමණක් සලකා බලමින් සිටී.  බලශක්ති අංශයේ සිදුවන පරිවර්තනය ඉලක්ක කරගෙන අලුත් ආයෝජන කරන්නට ධනය නැති අතර ව්‍යාපෘති සකස් කර ණය ලබාගැනීමේ හැකියාව ද නැති තත්ත්වයක පසුවේ. එහි විපාක අනුව නිපදවන මිලට විදුලිය ගැනීම හැර අනෙක් විකල්පයක් රහිත විනාශකාරී ඉරණමකට ගොදුරු වී ඇත.

විදුලිය බලමණ්ඩලය දැවැන්ත පරිහානියක පසුවන අතර නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුකොටගෙන අර්බුදයක ද, විදුලිය බාහිර සමාගම්වලින් ලබාගැනීමේ දී ගෙවන වියදම අධික හා විකුණන විදුලියට රජයේ ආයතනවලින් හා පාරිභෝගිකයන්ගෙන් නිසි ලෙස නොලැබීමේ ගැටලුවකට ද මුහුණ පා සිටී. එදිනෙදා අවශ්‍යතා සඳහා ලබාගත් ණය වෙනුවෙන් රජයේ බැංකුවලට දිනකට මිලියන ගණන් පොලිය ගෙවන්නට සිදුවී ඇති බව ද මුල්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම පොලිය ද දැනට මහජනතාව ගෙවන විදුලිය ගාස්තුවට ඇතුළත්ය.

ශ්‍රී ලංකාවේ විදුලිය මිල තීරණය කිරීමේ ක්‍රමවේදය අභ්‍යන්තරයට ගළපාගත හැකි නමුත් බාහිර සමාජයට නොගැළපේ. අධික විදුලිය බිලක් ගෙවා නිපදවන දේ අපනයන වෙළඳ පොළට ගැටලු ඇති කරයි. තේ කිලෝවක්, ඇඟලුම් ඒකකයක් නිපදවන මිල වැඩිවන විට ඒවා මිල දී ගන්නා රටවල් ඉවතට හැරේ. අඩු මිලට තේ විකුණන, ඇඟලුම් නිෂ්පාදනය කරන රටවල් ඇති අතර ශ්‍රී ලංකාවේ මිල දී ගැනීම් පහත වැටෙන පසු සමස්ත ආර්ථිකයටම ගැටලු ඇති කරයි.

වාර්තාවන අන්දමට තේ මිල දී ගැනීම සියයට විස්සකින් හා ඇඟලුම් අපනයනය සියයට විසි දෙකකින් අඩුවිය හැකි බව දැක්වේ. අඩු මිලට බලශක්තිය නොලැබෙන පසු පාරිභෝගිකයන්ට පමණක් නොව සමස්ත ආර්ථිකයටම විපත් ඇති කරන බව මෙයින් පැහැදිලිය. ලෝකයේ පවතින තරඟකාරීත්වයට ඇතුළුවන අතර අඩුම වියදමකින් විදුලිය නිපදවන, තෙල් මිල අඩුම කරන සැලැස්මකින් හැර දැනට පවතින අර්බුදවලට විසඳුමක් නැත.

ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ යෝජනාව අනුව විදුලිය බල මණ්ඩලයේ අලාභ පියවන පරිදි මිල සූත්‍රයක් අනුගමනය කිරීම හෝ ඛනිජ තෙල් වෙළඳාම අය වැයට බරක් ඇති නොකරන පරිදි ලෝක වෙළඳ පොළේ මිල අනුව විකිණීම ඉතාම නිවැරදි උපාය නොවන බව අවධාරණය කළ යුතුය.

රට තුළ අඩුම වියදමකින් බලශක්තිය සපයන නිර්මාණශීලී සැලැස්මක් අවශ්‍යය. හුදෙක් ආණ්ඩුවට පමණක් නොව විපක්ෂය හා අනෙක් දේශපාලන පක්ෂවලට ද මෙම දර්ශනය නොවැටහෙන හෙයින් පරිවර්තනයක් සිදු නොවේ. එයට හේතුව වසරකින් හෝ දෙකකින් බලශක්ති අංශයේ වෙනස්කම් ඇතිකළ නොහැකි අතර එයට දිග කාලයක් සූක්ෂම පිළිවෙළක් අනුව ක්‍රියාත්මක විය යුතු වීම බව සඳහන් කළ යුතුය. එන එන හිඩැස්වලට උලුවහු සවිකරන පැලැස්තර උපායවලින් රටට ප්‍රයෝජනයක් නොලැබේ.

පසුගිය ජුලි මාසයේ දී විදුලිය ගාස්තු වැඩි කරන ලද ආණ්ඩුව නැවතත් සියයට 22-18 අතර ගණනකින් මිල වැඩි කරන්නට යෝජනා කළ අතර තවත් මාස කිහිපයකින් නැවතත් මෙවැනි මිල සංශෝධනයක් නොකරන බවට ඇති සහතිකය කුමක්ද? දුප්පත් ජනතාවගේ ආදායම වරින්වර වැඩිවෙන්නේ නැත.

රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ නොයන අතර පෞද්ගලික අංශය පවා වැටුප් කප්පාදුවක පසුවේ. ගාස්තු සංශෝධනය කළ හැකි සීමාවක් නීර්ණය කිරීම පමණක් නොව විදුලිය බලය උත්පාදනයේ දී අඩුම පිරිවැයක් කෙරෙහි කල්පනා නොකිරීමේ වරද සලකා බැලිය යුතුය. මුල්‍ය අරමුදල අය වැය පියවන ආකාරයට මහජනතාවගේ ජීවිත සමග ගනුදෙනු පියැවීම කළ නොහැකි බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (1)

අනුන්ගේ වැරදි පාරිභෝගික කරපිට පැටවීම

ashok Thursday, 26 October 2023 07:22 AM

සමහරුන්ට ධන උල්පතක්වී ඇති විදුලිබල මණ්ඩලය ග‍ොඩගැනීම ල‍ේසිපහසු කර්තව්‍යයක් න‍ොවනු ඇත. ප්‍රධාන බාධක වනු ඇත්ත‍ේ ධන උල්පත් වලින් ප‍ොහ‍ොසත් වන නිලධාරි/ ද‍ේශපාලන හැත්තගෙන් වනු ඇත. ‍දෙවනුව මණ්ඩලය රීරි මාංසය උරා බොන ඩීසල් මාෆියාවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 667 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 299 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 628 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site