IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් අපි යනවා

විශ්වාසභංගයෙන් නිර්මාණය වූ අලුත්ම තත්ත්වය, ශ්‍රීලනිප ඇමැතිවරු විපක්ෂයට යනවාද? ආණ්ඩුවේ ඉන්න බැරි හේතු, ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග යනාදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසුව ආණ්ඩුවේ අලුත්ම තත්ත්වය කුමක්ද?

පිළිතුර:- මේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුණේ නිකම්ම නොවෙයි. පැහැදිලි කරුණු කාරණා රාශියක් ඒ වෙනුවෙන් බලපා තිබූ බව රටම දන්නා කරුණක්. විශ්වාසභංග යෝජනාවට පක්ෂව අපි දහසය දෙනෙක් ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන බව ඇත්ත. එහෙම ඉඳගෙනත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මතයි.

විශේෂයෙන්ම මහබැංකු හොරකම වූ වෙලාවේ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාමාජිකයන්ගෙන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළා. මමත් එහි සාමාජිකයෙක්. අපි එකොළොස් දෙනා මේ සම්බන්ධයෙන් සියලු කාරණා අධ්‍යයනය කර වාර්තාවක් සකසා ජනාධිපතිවරයාට බාරදුන්නා. එහි නිර්දේශ ගණනාවක් ඇතුළත් වුණා. ඒ නිර්දේශවලින් එකොළහක් මේ විශ්වාසභංගයට ඇතුළත්ව තිබුණා. ඒ නිසා අපි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දුන්නා.

හෘද සාක්ෂියට එකඟව අගමැතිවරයාට එරෙහිව ඡන්දය දී සදාචාරාත්මකව මේ ආණ්ඩුවේ ඉන්න බැරි බව අපි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව අපි පෙරේදා සාකච්ඡාවක් පැවැත්වූවා. ආණ්ඩුවේ අපි දරන සියලු ඇමැති ධූරවලින් ඉල්ලා අස්වී ශ්‍රීලනිප හැටියට විපක්ෂයට ගොස් ස්වාධීනව කටයුතු කරන්න අපට අවස්ථාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කළා. මේ කාරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඒ අවශ්‍ය අවසරය ලබාදීමට අද වනවිට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ අනුව අවසන් තීරණය අද අපට ලැබේවි. එ තීරණය ලැබුණු වහාම අපි අවශ්‍ය අනෙක් පියවරවලට යනවා.

මේ අගමැතිවරයා යටතේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්න අපි සූදානම් නැහැ. ජනතාවගේ විශ්වාසය භංග වී ඇති ආණ්ඩුවක සිටීම කිසි ලෙසකින්වත් සුදුසු නැහැ. ශ්‍රීලනිප බලවේගයක් හැටියට විපක්ෂයේ කටයුතු කරමින් ශ්‍රීලනිපය ශක්තිමත් කරගෙන ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිප දහසය දෙනෙකු පමණක් යන්නේ ඇයි? අනෙක් ඇමැතිවරු විපක්ෂයට යන්නේ නැතිද?

පිළිතුර:- ඒක ඒ අයගේ තීරණයක්. අපි බොහොම පැහැදිලිව හෘද සාක්ෂියට එකඟව රටේ ජනතාව පැත්තෙන් සිතා තීරණයකට එළැඹියා. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවලින් මේ ප්‍රශ්නය විසඳුවත් ජනතාව අතර තිබෙන මතය ඒක නොවන බව ඉතාම පැහැදිලියි. මේ රටේ සිදුවූ මහා කොල්ලයක් වන මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ පිරිසක් සම්පූර්ණයෙන් වගකිවයුතු බව මහජන මතයයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි විවිධාකාරයෙන් වෙනස් කරන්න පුළුවන්. විවිධ බලවේග හරහා ඒ කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ඒක අපට ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි අපේ හෘද සාක්ෂියට එකඟව සහ මේ කාරණය සම්බන්ධයෙන් මහජනතාවගේ මතය ඉතාමත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපි ඉන්නේ ශ්‍රීලනිපයේ. ශ්‍රීලනිපය මේ ආණ්ඩුවේ ඉන්නේ ශ්‍රීලනිපයේ සභාපතිවරයා රටේ ජනාධිපතිවරයා නිසයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව කාටවත් බහුතර බලයක් දුන්නේ නැහැ.

අද ප්‍රධාන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආසන 82කයි. ඒ නිසා සහයෝගය දෙන්න කියලා අපට ආරාධනා කළේ ජනාධිපතිතුමායි. එතුමාගේ ඉල්ලීමට අපි සහයෝගය ලබාදුන්නා. හැබැයි අපේ සහයෝගය ලබාදී තිබියදීත් ජනාධිපතිතුමාට වැඩ කරන්න දෙන්නේ නැත්නම් ශ්‍රීලනිප සහ එජාප ප්‍රතිපත්ති අතර ගැටුමක් ඇතිවෙනවා වගේම වංචා, දූෂණවලට එරෙහිව නිවැරදිව පෙනී සිටීමට අපට අවස්ථාව නැත්නම් අපි ස්වාධීනව අපේ පක්ෂය හැටියට කටයුතු කළ යුතුයි. අපිට යන්න කියා කවුරුවත් කියන්න ඕන නැහැ. ආණ්ඩුවෙන් යන්න අපි තීන්දුකරල ඉවරයි. අනිවාර්යයෙන්ම අපි ආණ්ඩුවෙන් යනවා.

ප්‍රශ්නය:- අද සිදු කෙරෙනවා කියන ඇමැති සංශෝධනයේදී ඔබලාගේ මුහුණු නැහැ කියලද කියන්නේ?

පිළිතුර:- පැහැදිලිවම කිසිම ඇමැති තනතුරක් බාරගන්නේ නැහැ. ඒ ගැන බයවෙන්න දේකුත් නැහැ. අපට විරුද්ධව විශ්වාසභංග ගේන්න වුවමණාවකුත් නැහැ. අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් දවසෙම ආණ්ඩුවෙන් යන්න අපි තීරණය කළා. අපට විරුද්ධව විශ්වාසභංග ගේනවා නම් කැමැතියි. ඒ සිදුවුණේ මොකක්ද කියල කරුණු පැහැදිලි කරන්න අපට අවස්ථාව ලැබෙන නිසයි. කොහොම වුවත් කමක් නෑ. ඒ අයට කැමැති ඇමැතිවරු පත්කරගෙන ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්.

ප්‍රශ්නය:- ඔබලා ගත් මේ තීන්දුවෙන් වෙන්නේ ශ්‍රීලනිපය ආයෙමත් කැඩීමක් නේද?

පිළිතුර:- කිසිම කැඩීමක් වෙන්නේ නැහැ. අදින් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හොඳට බලන්න. ශ්‍රීලනිපයේ සියලු පාර්ශ්ව එකතු වෙනවා. ඒක ඉතාම පැහැදිලි කරුණක්. ඒ වගේම ඒ එකතුවීම ආණ්ඩුවටත් ලොකු බලපෑමක්. රටේ දේශපාලන පරිවර්තනයක ආරම්භයක් වේවි.

ප්‍රශ්නය:- පොහොට්ටුව පක්ෂයේ ටික දෙනෙකුත්, ආණ්ඩුවේ කොටසකුත් සහ ඔබලා වෙනම කැඩීයාමක් සමග ශ්‍රීලනිපයක් ඉතිරි වේවිද?

පිළිතුර:- අපි කරන්න හදන්නේ පක්ෂය ශක්තිමත් කිරීමයි. පොහොට්ටුවේ ඉන්නෙත් ශ්‍රීලනිප පාක්ෂිකයෝ. පොහොට්ටුව සහ ශ්‍රීලනිපය මතවාද දෙකක් මත සටන් කරනවා. අපි ආණ්ඩුවේ ඉන්න එකයි ඔවුන්ට තිබෙන ප්‍රශ්නය. වෙන ප්‍රශ්නයක් ඔවුන්ට නැහැ.

අපි ආණ්ඩුවෙන් ඉවත්වන්නේ ශ්‍රීලනිප වෙනුවෙන් පෙනී සිටිමින් බව පොහොට්ටුව දන්නවා. ඒ නිසා අපි දෙගොල්ලගෙම තිබෙන මතවාද එකතුකර ආණ්ඩු විරෝධී බලවේගයක් හදන්න පුළුවන්. එජාපයත් සමග මේරට හදන්න බැරි බව ජනතාවට තේරුම් කර දී ජනාධිපතිවරයාත් රැකගෙන ඉදිරියට කටයුතු කරනවා.

ශ්‍රීලනිපයේ හිඳිමින් ඇමැතිකම් ගන්න සියලුදෙනාට එජාපයට යන්න වෙනවා. ශ්‍රීලනිප පාක්ෂිකයාට විරුද්ධව ඇමැතිකම් දරන්න බැහැ. එනිසා ඔය කියන අය අවසානයට නවතින්නේ එජාපයේ ඒක. අපට ගැටලුවක් නෙමෙයි. ප්‍රතිපත්ති පාවා දෙන්න අපි සූදානම් නැහැ.

ප්‍රශ්නය:- ශ්‍රීලනිප-එජාප දීගය කෙටිකාලයකදී දෙදරා යන්න හේතුව මොකද්ද?

පිළිතුර:- ප්‍රතිපත්තිමය වශයෙන් රටට කළ අපරාධ තමයි ප්‍රධාන කාරණය. මහ බැංකු වංචාව, ආර්ථික වශයෙන් රටම කඩා වැට්ටවීම, පෞද්ගලීකරණය සම්බන්ධ එජාප අදහස්, නිලධාරීන්ට හිංසා කිරීම යනාදී කාරණා රැසක් සමග මේ ප්‍රශ්න මතුවුණා. අපි කොතරම් කිව්වත් එජාපය වැරැදි නිවැරැදි කරගන්න සූදානම් බවක් පේන්නේ නැහැ.

ප්‍රශ්නය:- එහෙමද නැතිනම් ඔබලාට අවශ්‍ය දේ එජාප පාර්ශවයෙන් සිදු නොවීමද?

පිළිතුර:- අපට කිසිදු පෞද්ගලික අවශ්‍යතාවක් නැහැ. එවැනි දේ අපි කවදාවත් ඉල්ලලත් නැහැ. අපට ඕන මහජනතාවගේ පැත්තෙන් වැඩ කරන්නයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නයි.

ප්‍රශ්නය:- එතකොට ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් වැඩ කළේ නැද්ද?

පිළිතුර:- මොනවද කළේ? පොහොර සහනාධාරය පැත්තෙන් බලන්න. නිසි ආකාරයෙන් ගොවියාට පොහොර සහනාධාරය ලැබුණද? අපි කොච්චර කතා කළත් නිසි වෙලාවට ගොවියාට පොහොර ටික නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. මහජනතාවට ගැලපෙන කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. අපි මේව එදත් කිව්වා. මහ බැංකු වංචාව වෙලාවෙත් අපි කිව්වා. ඒ වෙලාවෙදි එහෙම වංචාවක් වුණේ නෑ කියා පෙනී සිටි අයට අද පුළුවන්ද එහෙම කියන්න. එවැනි දේවල් තවත් අනුමත කරමින් ආණ්ඩුවේ ඉන්න අපට පුළුවන්ද?

ප්‍රශ්නය:- පොහොර සහනාධාරය පැත්තෙන් ගත්තොත් කෘෂිකර්ම ඇමැති ශ්‍රීලනිප මහ ලේකම් නේද? ඔහුට මෙහි වගකීමක් නැතිද?

පිළිතුර:- එයා ශ්‍රීලනිපයෙද කියා මම දන්නේ නැහැ. ඔහු ශ්‍රීලනිපයේ කියා සිතන්න අමාරුයි. ශ්‍රීලනිපයේ අදහස් ක්‍රියාත්මක කිරීමට මේ අය ක්‍රියා කළාද නැති නම් වෙන කවුරු හෝ වෙනුවෙන් පෙනී සිටියාද කියා අපට අනාගතයේදී තීන්දු කරන්න වේවි.

ප්‍රශ්නය:- ඔවැනි කාරණා පසුගිය ඡන්දය කාලයේ තේරුම් ගන්න බැරිවුණේ ඇයි?

පිළිතුර:- අපි සිටියේ පක්ෂයත් එක්ක. බිම් මට්ටමේ තිබූ ප්‍රශ්න අපි දන්නවා. පක්ෂයේ බෝඞ්ලෑල්ල සහ පක්ෂය ඉතිරි විය යුතු නිසා අපි පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. පක්ෂයක් නැතිව තාවකාලිකව මොකුත් කරන්න බැහැ. අවසානයේ එන්නේ පක්ෂයට. මේ පක්ෂය ආරක්ෂා කරගෙන සිටි මිනිස්සු අපියි කියා කවදා හෝ අපට ගෞරවයක් ඇති වේවි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයාගේ ස්ථාවරය මේ ආණ්ඩුව ඉදිරියට ගෙනයාම නොවේද?

පිළිතුර:- ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවක් ගෙනයන්න එතුමාට වරමක් දී තිබෙනවා. එතුමාගේ සිතුම් පැතුම් අනුව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැතිනම් එතුමා බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා. එතුමා ආරක්ෂා කරන්නත් අපි උදව් කරන්න ඕන. ඔහු යමක් කරාවි කියා ජනතාවට විශ්වාසයක් තිබුණා.
හැබැයි ඔහුට යමක් කරන්න දෙන්නේ නැත්නම් එතැන ප්‍රශ්නකාරීයි. එතන තිබෙන්නේ එතුමගෙ වරදක් නෙමෙයි. ප්‍රගතිශීලී තීන්දු ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- එහෙම ඉඩ නොදෙන්නේ කවුද?

පිළිතුර:- ප්‍රතිගාමී ප්‍රතිපත්ති තිබෙන අය. එජාපයේ ක්‍රියාදාමය තමයි සියල්ල අඩපණ කරන්නේ. ඉතාම ඉක්මනින් ප්‍රගතිශීලී රජයක් මේ රටේ නිර්මාණය විය යුතුයි. අපි හොඳින් සංවිධානය වී මුලින්ම එන මැතිවරණයට ශ්‍රීලනිපය හැටියට ආණ්ඩු විරෝධී සියලු පාර්ශව එකතු කරගෙන මුහුණදී ශක්තිය පෙන්නන්න ඕන.

ප්‍රශ්නය:- නැති අවුලක් හැදුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගය නිසා නොවේද?

පිළිතුර:- ඒක ශ්‍රීලනිපයට වෙස්වළාගත් ආශිර්වාදයක්.


ප්‍රශ්නය:- ආශිර්වාදයක්ද පාරාවළල්ලක් වුණාද?

පිළිතුර:- පාරාවළල්ලක් වුණේ නැහැ. නියම ප්‍රගතිශීලීන් කවුද කියා රටට හෙළිවුණා. මැති ඇමැතිකම් වලට කෑදරකමෙන් අපි ආණ්ඩුවේ ඉන්නවා කියා චෝදනා කළා. අපි සිටියේ ශ්‍රීලනිපය වෙනුවෙන් බව ජනතාවට දැන් තේරෙනවා ඇති. තනතුරු අතහරින්න අපට පුළුවන් කියා ඔප්පු කර තිබෙනවා. ඉදිරියේදී සියලු බලවේග එකතුකර ප්‍රතිගාමී බලවේග පරාජය කරනවා.

ප්‍රශ්නය:- එජාපය ප්‍රතිසංස්කරණය හරහා ශක්තිමත් වෙනවා නේද?

පිළිතුර:- මොන ප්‍රතිසංස්කරණද? කවදාවත් ඕව කෙරෙන්නේ නැහැ. ඔළුගෙඩිවලින් ශක්තිමත් වුණාට බිම් මට්ටමෙන් එජාපය ශක්තිමත් නැහැ. එජාපයකින් ආණ්ඩුවක් හැදුවොත් ඒ අය 2001 දී කළ වැඩ කරන්න ගිහින් ජනතාවගෙන් තවත් ඈත් වෙනවා.

ප්‍රශ්නය:- ඔබලා දහසය දෙනා විපක්ෂයේ වාඩිවෙන්නේ කවදාද කියා පැහැදිලිවම කියන්න බැරිද?

පිළිතුර:- අදින් පස්සේ ගන්න තීන්දුව මොකක් වුවත් 19 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළාට පස්සේ අපි ඉන්නේ විපක්ෂයේ.

ප්‍රශ්නය:- ඇමැතිකම්වලින් යාමේ වුවමනාවක් නැහැ කියන ප්‍රකාශය කෙරුණේ ඇයි?

පිළිතුර:- ඒක මාධ්‍යයේ ගියේ වැරැදියට. එක එක්කෙනාට ඕන වෙලාවට අපේ ඇමැතිවරු යන්නේ නැහැ කියලයි කිව්වේ. අපි අයින් කරන්න ඕන ජනාධිපතිතුමා මිස වෙන කෙනෙක් නෙමෙයි. ඊළඟ පාර්ලිමේන්තු දවස වන විට අපි මේ ඇමැතිකම් දරන්නේ නැහැ.

ප්‍රශ්නය:- ඒ කියන්නේ යහපාලනය ඉවරද?

පිළිතුර:- සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි. විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා ඉවත් කරන්න බැරි වුවොත් එදාට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි කියා මීට පෙර මාධ්‍ය සාකච්ඡාවකදී මම කිව්වා. මම කියපු දේ නිවැරැදි බව ඉදිරි සතියේදී පෙනේවි. මේ අයගේ ප්‍රතිපත්තිවලින් මේ රට හදන්න බැහැ.

සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ



අදහස් (21)

අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් අපි යනවා

Saman Monday, 09 April 2018 06:29 AM

තවම හොඳ නැකතක් නැද්ද? පව් නොදී යන්නකෝ....

:       49       407

SamadhiTuesday, 10 April 2018 01:12 AM

කාට කියන්නද ??

:       1       7

Silva Monday, 09 April 2018 07:06 AM

අද ප්‍රධාන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආසන 82යි. මෙයාගේ මොලේ අවුලක්ද කොහෙද..? එජාපයට 105ක් ඉන්නවා.

:       11       317

saththaya Monday, 09 April 2018 07:14 AM

අනේ ඔව් පව් නොදී යන්නකෝ.., මදැයි අවුරුදු 10කට වැඩියෙන් හම්බ කළා. තවත් මදිද?

:       8       338

Silva Monday, 09 April 2018 07:14 AM

ප්‍රතිපත්තිමය වශයෙන් රටට කළ අපරාධ තමයි ප්‍රධාන කාරණය. මහ බැංකු වංචාව, ආර්ථික වශයෙන් රටම කඩා වැට්ටවීම, පෞද්ගලීකරණය සම්බන්ධ එජාප අදහස්, නිලධාරීන්ට හිංසා කිරීම යනාදී කාරණා... පහුගිය ආණ්ඩුවෙන් අල්පෙනිත්තක වංචාවක් වුනේ නැහැ. අර්ථිකේ එලට තිබුණාට ගෑස් දුන්නේ 100ට, පෙට්රෝල් 50ට, භූමිතෙල් නිකන්ම දුන්නා. කිරිපිට ගන්නකොට අපිට කඩෙන් රුපියල් 50කුත් දෙනවා. පිටි නිකන්ම දීල.. බුදු අප්පච්චියේ... ශැන්ග්‍රිල්ලා එකට ඉඩම දුන්නේ, ඩෝල් එකට කෙසෙල් වවන්න සෝමාවතියෙන් දුන්නේ, පෞද්ගලිකරණයට නෙවෙයි හොඳේ... නිලධාරින්ට දෙයියන්ට වගේ සැලකුවේ... ක්‍රිෂ් නෝනිස්ගේ කම්මුල අතගාලා බැලුවේ හම සිනිඳුද කියලා..

:       49       444

RNG Monday, 09 April 2018 11:54 AM

පසුගිය ආණ්ඩුවෙන් සිදුවුණු දේවල් නොවෙන්නනේ ජනතාව මේ අයට ඡන්දෙ දුන්නේ.. ඉතින්‍ එහෙම වුණු දේවල් නැති කරන්න ආපු අයත් මෙහෙම කරන එකනේ ප්‍රශ්නේ.. පරණ දේවල් ආයේ මවන්න ඕන නෑ..

:       188       223

SilvaMonday, 09 April 2018 03:33 PM

සංසන්දනය කළාම... ඔනරබල් මහින්ද සහ සෙට් එක අායෙත් එනවට වැඩිය... මේ දැන් ඉන්න කට්ටිය 10000 ගුණයක් හොඳයි..

:       1435       1200

RNG Monday, 09 April 2018 11:30 PM

ඒක තමයි පහුගිය ජන්දෙදි ජනතාවත් අනුමත කරන්න ඇත්තෙ..

:       0       125

gunarathnaTuesday, 10 April 2018 03:28 AM

සිල්වා මොලේ පරීක්ෂා කරගන්න හොඳ දොස්තර කෙනෙකුට කියලා

:       16       128

Chanak Los angelesTuesday, 10 April 2018 04:01 PM

මොලේ බලාගන්න ඕනේ ගුණරත්නලාගේ.

:       6       17

ramendra Monday, 09 April 2018 09:14 AM

පසුගිය ආණ්ඩුවේත් මෙතුමා හිටියනේ එතකොට මොකද වුනේ, රට හැදුණද? හැදුනා නම් පැරදුනේ මොකද? 1977 සිට මේ රට විනාස කළේ මේ වගේ කට්ටිය.... රටේ මහජනතාව හැමදාමත් රැවටෙනවා මාරුවෙන් මාරුවට... අපි තවමත් විකල්පයක් හොයනවා...

:       132       116

banda Wednesday, 11 April 2018 01:16 PM

රට හැදෙන්න නම් විප්ලවයක් ඕන. නැතුව මේ රට හදන්න බෑ

:       11       6

කොබා Sunday, 15 April 2018 05:29 AM

ඔව් විප්ලවයක් ඕන, ඒත් ඒක පහුගිය කාල වල අත්හදා බැලීම් කරපු විප්ලව වගේ නෙවේ. ගෙදරදියි විප්ලවේ කරන්න ඕන, දේශපාලන වන්දනාව අත අරින්නත් ඕන, වරද දුටු තැන විරෝධය දක්වන්න ඕන. අසුභවාදී සෘණ අදහස් ඉවත් කරලා අනාගතේ ගැන සුබවාදීව සිතලා, තමන්ට රටට අවංක වෙලා වැඩ කරන්න ඕන, අන්න එතකොට රටත් නිකම්ම හැදිලා තියේවි,

:       0       4

Lanka Perera Monday, 09 April 2018 01:07 PM

අනේ නිකන් යන්න.

:       5       18

naushi Tuesday, 10 April 2018 02:51 AM

යනවා කිව්වට තවම ගියේ නැනේ.

:       0       3

gamaathi Tuesday, 10 April 2018 04:40 AM

ආණ්ඩුවට නැතිවම බැරි ඇමති කෙනෙක්.

:       0       34

Prabath Tuesday, 10 April 2018 06:54 AM

මේ පින් ඇමතිලා කලේ ඒකාබද්දෙත් එක්ක එකතු වෙලා යහපාලනය විනාශ කලා. මේ අයට ඕන රටම හොරාකාල මේ අයගේ පරම්පරාව හදාගන්න. මෙතන ඉන්න රොත්තම හොරු.එකනේ නැවත රෙජීමය ගෙනල්ල තව අවුරුදු 20ක් 30ක් හොරකම් කරන්ම පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්නේ.

:       359       314

rohana kumara mendis Tuesday, 10 April 2018 08:30 AM

මේ ගොල්ලන්ව දුම්මල ගහලාවත් එලවගන්න බැ අනේ යන්නේ නැ මෙයාලා. මේ අවුරුදු දෙකත් ඉදලාමයි යන්නේ. ආයේ එදාට අලුත් ආණ්ඩුවට එකතු වෙනවා

:       0       43

Don Friday, 20 April 2018 02:49 PM

මේ පුද්ගලයාත්, ඔහුත් නැතිව නම් රජයකුත් නැහැ.

:       0       0

ranjan Saturday, 21 April 2018 05:34 AM

මේ වැදගත් උතුමන් කියන දේවල් කරන්නේ නැති බව කිව සත්‍යයකි.

:       0       0

chutta Sunday, 22 April 2018 03:07 PM

එන පොට හොඳනැති බව තේරුම් ගත්ත හොරු ටික කලින්ම පනිනවා. මේවා කරන්නේ රටට ආදරයට මිසක් තමන්ට හදාගන්න නෙවෙයි.

:       10       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 21 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 154 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 188 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 135 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 195 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site