IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අයවැය පියවීම ආර්ථීක සංවර්ධනයද?

එදිනෙදා ජීවත්වීම ඉතාම දුෂ්කර වී ඇති කාලවකවානුවකි. බරපතළ ආර්ථික පීඩනයක පසුවන පොදු ජනතාව වෙත රජයේ පැවැත්ම ද, උහුලන්නට සිදුවී තිබේ. ආදායම හා වියදම පාලනය කරගත නොහැකි තැනක පසුවන රජය, විශාල වශයෙන් බදුවැඩි කර ඇත. ජලය, විදුලිය, ඛනිජ තෙල්, ගෑස් ඇතුළු අංශ ගණනාවක ගාස්තු අධික ලෙස වැඩිකිරීම ඉවසිය නොහැකි තත්ත්වයකි.

බදු වැඩි කර උපයන ආදායමෙන් කොටසක් අත්පත් කරගන්නා රජය, අනෙක් පැත්තෙන් ගාස්තු නැංවීම සුදුසු පියවරක් නොවේ. ආදායම හා වියදම පියවා ගැනීම, රජයේ එකම අරමුණ බවට පත්ව ඇත. අය වැය පියැවීමෙන් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක. රට දියුණු කිරීම සඳහා උත්පාදනයක් ඇති කළ යුතුය. නිෂ්පාදනය නැංවීමෙන් තොරව අනාගතයක් නැත. පවතින කර්කශ ක්‍රමය වෙනස් කරන නිර්භීත තීරණ ගත යුතුව තිබේ.

මහජන නියෝජිතයන් වෙත, රට ගොඩනගන ප්‍රයත්නයෙහි විශාල වගකීමක් පැවැරී ඇත. මුහුණ පා ඇති අර්බුදයෙහි තරම අවබෝධ කරගත යුතුව තිබේ. උණු අළු වැටුණ පසු හැසිරෙන කුහුඹුවන් සේ ඉවක් බවක් නැතිව කටයුතු කිරීම අභාග්‍යයකි. රට නැවත නිසි මාර්ගයට ගැනීම තමන්ට පමණක් කළ හැකි බව සලකා ක්‍රියා කරන ආත්මාර්ථකාමීත්වයෙන් බැහැර විය යුතුය. එක පුද්ගලයකුට, එක කණ්ඩායමකට පමණක් උත්තර නැති තරමට සංකීර්ණ ගැටලුවලට, ආණ්ඩුවේ මුහුණු වෙනස් කිරීමෙන් පිළිතුරු ලැබෙන්නේ නැත. 

ආර්ථික සංග්‍රාමයක තරම  හඳුනාගැනීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනේ එක්තරා කාලයක, යටිතල පහසුකම් දියුණු කරගැනීම ඉතාම වැදගත් කරුණක් විය. ත්‍රස්තවාදය අවසන් කිරීම, රැකී රක්ෂා සම්පාදනය, වැඩි වයස්ගත ජනගහනය රක්ෂා කිරීම යනාදී වශයෙන් එහි මුහුණුවර වරින් වර වෙනස් වූ බව සඳහන් කළ යුතුය. නිසි කාලයේ, ගැළපෙන පිළියම් යොදන්නට අසමත් වූ අතර තාවකාලික විසඳුම්වලින් හැබෑ ප්‍රශ්න සඟවා තැබීය.

ජනප්‍රියවාදී පාලනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන අතර එයින් පිටස්තරව අනුගමනය කරන්නට ධෛර්යයක් නායකයන්ට තිබුණේ නැත. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ආගමික නායකයන් සහ ඇතැම් මතවාදී පිරිස් පවා, තීරණ ගැනීම සඳහා ආණ්ඩුවකට ඉඩ නොදීම මෑත කාලයේ දැකගත හැකි වූ ලක්ෂණයකි.

ඊළඟ ඡන්දයෙන් නැවත බලයට පත්වීමේ අරමුණ ඇතිව ආණ්ඩු කටයුතු කළ අතර දේශපාලනඥයෝ දීර්ඝ කාලීන ඉලක්ක වෙනුවට එදිනෙදා පැවැත්මට තීරණ ගත් බව රහසක් නොවේ. 

ඡන්ද පොරොන්දු, පාක්ෂිකයන් රක්ෂා කිරීම, පවතින ක්‍රමයෙන් යැපෙන පිරිස් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මෙහි දී පොදු ලක්ෂණ බවට පත්ව තිබුණි.

මෙම අවිධිමත් පැවැත්ම තවදුරටත් යම් කාලසීමාවක් දක්වා නඩත්තු කරන ආර්ථිකයක් රටට තිබුණි. එහෙත් හදිසියේ මුහුණ දෙන්නට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඉනික්බිතිව බලපවත්වන ලද කොවිඩ් වසංගතය මගින් ඇති කළ බලපෑම ආර්ථිකය ඉක්මන් කැළඹීමකට ගොදුරු කළේය. අපනයන, සංචාරක ආදායම හා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ පහතවැටීම වැනි කරුණු මත විනිමය ප්‍රශ්න ඇති කරන ලද අතර දේශීය ණය විශාල වශයෙන් ගැනීම තුළ උද්ධමනය හා පොලී අනුපාත තුළ අසමතුලිත තත්ත්වයක් ඇති කෙරිණ. මැදි ආදායම් ජන කොටසගේ ඉල්ලුම පාලනය කළ නොහැකිවීම තවත් ප්‍රශ්නයකි. ජනතාවගේ අවශ්‍යතා සැපැයිය නොහැකිවීම තුළ විශේෂයෙන් බලශක්ති සැපැයුම අඩාලවීම හේතුවෙන් රට තුළ විශාල අරගලයක් හට ගැනිණ. 

සිස්ටම් චේන්ජ් සඳහා ජනතාව බල කරන ලද බව මතක් කළ යුතුය. ක්‍රමය වෙනස් නොකර ගමනක් නැති බව පාලකයන්ට ඉදිරියෙන් සිටි බුද්ධිමත් ජනතාවට වැටහී තිබුණි. බඩු බෙදන, සහන දෙන, ජනතාව රවටා ඡන්දය දිනන ක්‍රම වලංගු නැති බව මහජනතාව පෙන්වා දුන්හ.

අය වැය පියැවීමෙන් නැවතත් ප්‍රතික්ෂේපිත ක්‍රමයට

දැනගෙන හෝ නොදැන හෝ ශ්‍රී ලංකාව නැවතත් රාජ්‍ය ආදායම හා වියදම පියවා ගෙන පැරණි ඔද්දල් ක්‍රමයට ඇතුළුවෙමින් සිටී. විපක්ෂ දේශපාලන පක්ෂවලට ද විකල්ප අදහසක් නැත. තමන් බලයට පත්වුවහොත් රට ඉදිරියට ගෙන යා හැකි බව හිතන අලුත් පැලැන්තියක් අද රට තුළ ජීවත්වෙති. හැබෑ ගැටලුව, බලය ලබාගැනීම නොවේ. පවතින ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීම බව අවධාරණය කළ යුතුය.

විදුලිය ඒකකයක් නිපදවන මිල ගණන් බලා ගැළපෙන ගාස්තු අය කිරීම දර්ශනයක් නොවේ. අඩුම වියදමකින් ජනතාවට විදුලිය දෙන්නේ කෙසේ ද යන සැලැස්මකින් දැවැන්ත නායකත්වයක් පෙන්නුම් කළ හැකිය.  විදුලිය නිෂ්පාදනයේ දී සම්ප්‍රදායික ක්‍රම ඉක්මවා යා යුතුය. අලුත් ප්‍රභව, අලුත් තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක දැනුම තුළින් සමාජය ඔසවා තැබිය හැක. 

ලෝකයේ වෙනත් රටක විදුලිය ඒකකයක් අඩු මිලට නිපදවනවිට ශ්‍රී ලංකාවට කරන්නට බැරිවීමේ හේතුව කුමක්ද? ඉන්දියාව විදුලිය උත්පාදනය කරන වියදම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩක් අඩුය. 

එය සඳහා ප්‍රභව ජාලයක් භාවිතා කෙරේ. ජලය, සුළඟ, ඛනිජ තෙල්, ගල් අඟුරු, සූර්ය තාපය ද්‍රව හයිඩ්‍රජන් සහ තවත් අංශ ඇතුලත්ය. ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික අංශය ද, නිපදවීම, බෙදාහැරීම හා අලෙවි කටයුතුවල නිරතය. මධ්‍යම රජය, ප්‍රාන්ත ආණ්ඩු විවිධ ස්ථර යටතේ පාලනය කරයි. අඩුම මිලට සෑම නිවෙසකටම විදුලිය සැපැයීම අවසාන අරමුණ වී ඇත. 

අපට ඇත්තේ, ක්ෂේත්‍රයේ බලය අයිතිකරගැනීම සම්බන්ධ ප්‍රශ්නයකි. විදුලිය උත්පාදනය, බෙදාහැරීම යනාදී සාධක අත්පත් කරගෙන, එයින් යැපෙන පිරිස පරිවර්තනයකට සූදානම් නැත. ඒවා රජය සතු බල කේන්ද්‍ර වශයෙන් සලකා කටයුතු කරමින් සිටී.  අකාර්යක්ෂමතාවක් සහ සම්පත් නාස්තියක් එමගින් සිදුවේ. වන්දිය ගෙවන්නෝ පාරිභෝගිකයෝය. අද විදුලිය උත්පාදනය කරන පිරිවැයට ගෙවන ජනතාවට හෙට දවසේ ද නැවතත් වැඩි ගාස්තුවක් ගෙවන්නට සිදුවීම වැළැක්විය නොහැක.

අඩු වියදමකින් විදුලිය උත්පාදනය නොකර අනාගතයක් නැත. විදුලිය බල අංශයේ ආදායම හා වියදම පියැවීම තුළ අප නැවතත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති පැරණි ව්‍යුහයට නොදැනුවත්වම ඇතුළු වේ. අරගලය කළ ජනතාවට පාඩමක් ඉගැන්විය යුතු වැඩිම ගාස්තුව ගෙවන ලෙස මිල වැඩිකිරීමෙන් නොව ඔවුන් අවධාරණය කළ සිස්ටම් චේන්ජ් කිරීමෙන් ඇති කරන පරිවර්තනයක් තුළින් බව අවධාරණය කළ යුතුය. 


තාක්ෂණය හා ප්‍රාග්ධනය පිටතින් ගැනීම අපරාධයක් ද

ජාතික සම්පත් වශයෙන් විශාල ව්‍යවහාරයක් අපට ඇත. පිටරටින් පැමිණ ඒවා ඩැහැගැනීම ගැන එක හෙළා විරුද්ධත්වය පළකරන කොටසක් සිටී. 

නිසි අවස්ථාවේ දී සම්පත් උපයෝගී කර නොගෙන ඒවා නාස්ති කිරීම ජාතික අපරාධයක් බව කල්පනා නොකරන්නේ ඇයි? විදුලිය නිපදවීම, ඛනිජ තෙල් ළිං කැණීම, වරාය මෙහෙයුම්, ගුවන් තාක්ෂණය යනාදී වශයෙන් අංශ අපට කරගත හැකි බවට මතයක් ඇතැමුන් තුළ ඇත. ශ්‍රී ලාංකිකයන්ට එම දක්ෂතාව තිබේ. 

ලෝකය පුරා විසිරී ඇති දක්ෂ ලාංකිකයන් නොයෙක් කර්මාන්ත හා සේවා අංශවල නිරතය. ඔවුන්ගේ සේවය රටට ලබාගත හැක. එහෙත් මෙම අංශවල ආයෝජනයට තාක්ෂණය හා ධනය අපට නැත. 

මැතිවරණයක් පවත්වන්නට මුදල් නැති රටක්, වරායේ කොටසක සිදුවිය යුතු දැවැන්ත සංවර්ධනය කරන්නට වෑයම් කිරීම නාස්තියකි. අපට පුළුවන් යන විශාල දැක්ම, අභිමානනීය හැඟීම අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එහෙත් තරම දැනගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය.

ජාත්‍යන්තරය දෙස බලන විට, සෑම අංශයකම විශාල තාක්ෂණික දියුණුවක් ලබා ඇත. තරඟකාරීත්වයක් ඇති වී තිබේ. මෙම පෙරැළිය අපට ද ලබාගත හැක. එය උදෙසා පිටතින් සහයෝගය ගැනීම උපායශීලී ක්‍රමයකි. වරායක් දියුණු කර, එහි මෙහෙයුම්වල දී ලැබෙන ලාභයෙන් කොටසක් සහ බදු රටට අයකරගත හැකිවේ. 

ඛනිජ තෙල් කර්මාන්තය සඳහා ආයෝජනයට ඉඩ දීමෙන් රටට අවශ්‍ය ඉන්ධන පිරිපහදු කරගත හැකි අතර අතිරික්තය අපනයනය කළ හැක. 

ඉන්දියාව සමග ඛනිජ තෙල් වෙළඳාම සම්බන්ධ සහයෝගීතාවක් ඇති කරගෙන සිටින මෙම අවස්ථාවේ දී දෙරට අතර ඉන්ධන පිරිපහදුව හා රටවල් දෙක අතර නළ මාර්ගයෙන් බෙදාගැනීමෙන් වියදම අඩුවන අතර ලාභයක් රටට ලැබේ. 
ගුවන් සේවා සැපයුම, ගුවන් තොටුපොළ මෙහෙයැවීම ආණ්ඩුව කළ යුතු නැත. 

අන්තර් ජාතික ප්‍රධාන ගුවන් තොටුපොළ විශාල ගණනක් මෙහෙයැවීම සමාගම්වලට පැවැරී ඇත. ස්වයංක්‍රීයව මගීන් හා ගමන් බෑග් මෙහෙයැවිය හැකි තරමට ඒවා දියුණු වී තිබේ. පහසුව ඇතිකිරීමෙන් මගීන් ගේ කැමැත්ත ඇතිවන අතර එය පරිවර්තනයකට ඉඩ ඇති කරයි. මෙවැනි තැන් ගැන අප, අවධානය යොමු නොකරන්නේ ඇයි?

අලුත් පරිවර්තනයකින් රටේ සම්පත් භාවිතා කිරීම ඇරඹේ. රටට තාක්ෂණය ලැබෙන අතර ආයෝජකයන්ගේ ධනය විනිමය අවශ්‍යතා සපුරනු ඇත. තරුණ පිරිසට රැකියා අවස්ථා සැපයේ. විශාල පිරිසක් රට හැර යන බව දැනට දැකගත හැකිය. එයට හේතුව රට තුළ අවස්ථා හිඟය බව සඳහන් කළ යුතුය.

දක්ෂතම පිරිස රට හැරයෑම වැළැක්වීම අරමුණු කරගෙන ආයෝජන අවස්ථා ඇති කළහොත් දියුණුවක් ඇති වේ. මේවා ගැන ලිහිල්ව, අලුතින් සම්ප්‍රදායට එපිටින් සැලැසුම් සකස් කිරීම ආණ්ඩුවේ වගකීමකි. රට හකුලන, ආකල්ප අතින් දිළිඳු කරන හා දේශපාලනඥයන්ගෙන් යැපෙන සමාජයක් නඩත්තු කිරීමේ කිසිම අයිතියක් තිබිය යුතු නැත.

රටට ඇති ගැටලුව ආකල්ප සම්බන්ධ ප්‍රශ්නයකි

ප්‍රශ්නයක හරි පැත්ත දකින්නට සමත් සමාජයක් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි කළ යුතුය. අද රටට ඇති අධ්‍යාපනයේ බරපතළ දිළිඳුභාවය රට තුළ දැනට පවතින තත්ත්වයට සෘජුව, වගකිවයුතුය. තරඟකාරී සහ අධි වියදම් ක්‍රමයක්, නිදහස් අධ්‍යාපනය වශයෙන් පවත්වාගෙන යන අතර ඉගෙනුම අවසන් කරන පිරිසට රජයේ රැකියා සපයන්නට සිදුවේ. ආණ්ඩුවේ රස්සාවක් ලබාගැනීම අවසාන අරමුණ වී ඇත.

සෑහෙන ආයෝජනයකට පසු බිහිවන තරුණ නායකයන් ආණ්ඩුවේ කාර්යාලයකට කොටුවීම කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවේ. එවැනි තැනකට තල්ලුකිරීමට පසුබිම ශ්‍රී ලංකාවේ කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා හිඟය තුළ ඇත. කෘෂිකර්මයට, කාර්මික අංශවලට නැඹුරු නොවන ආකල්ප තරුණන් තුළ පවතී. අලුත් දැනුම ලබන තරුණ පෙළ ලෝකයේ පැවැත්ම වෙනස් කරමින් සිටිති. ඔවුගේ නිර්මාණශීලී හැකියාව විශාල ආදායම් උත්පාදනය කරන අංග බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තරුණ ශ්‍රමය හිඟ සමාජයකි. තරුණ ජවයට නිරතවිය හැකි අංශ ඇති කිරීමට අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පවතින ගැටලු දෙස අලුත් ආකාරයකට විසඳුම් සෙවීම නායකයන්ගේ වගකීමකි. අලුත් දර්ශනයක් හඳුන්වාදීමට දේශපාලන හා සමාජ නායකයන් කටයුතු කළ යුතුය. නිෂ්පාදනය, ආයෝජනය හා වෙළඳාම ගැන බුද්ධ දර්ශනයේ ඇතුලත්ය. රට රකින, ආරක්ෂා කරන පමණක් නොව රට ගොඩගන්නට ගත යුතු මග ගැන මහා සංඝරත්නය අවබෝධයෙකින් යුතුව, ප්‍රායෝගිකව අනුශාසනා කළ යුතු කාලයකි.

දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් අද ක්‍රියාකරන ආකාරය අනුව රට ඇතුළට බලන, රට ඇතුළාන්තයේ ඇති ප්‍රශ්නවලට ජනතාව කොටුකරන ආකාරයක් පෙනේ. අපට අවශ්‍ය වෙනස් දැක්මකි. ලෝකයේ අනෙක් රටක සිදුවන දේ දකින්නට අවශ්‍යය. ශ්‍රී ලංකාවට තනි ගමනක් නැත. ජාත්‍යන්තරය සමග සමාන්තර විය යුතුව තිබේ. පටු පරමාර්ථ ඇති ඇතැම් දේශපාලනඥයන් ජාත්‍යන්තර බලවේග, රට විනාශ කරන රාක්ෂ මුහුණු ලෙස මවා පෙන්වන අතර එයින් ජනතාව මුළාකරමින් සිටිති. හුදෙකලා කිරීමෙන් පසු අත්පත්කරගත් ඉරණම අමතක කළ යුතු නැත.    

ලෝකයේ වෙනත් රටවල් ආර්ථික උපායශීලීව ඔවුන්ගේ රටවල්වල පැවැත්ම වෙනස් කරගෙන ඇති ආකාරය අධ්‍යයනය කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති තරඟකාරීත්වය සහිත ක්‍රමෝපායකට සකස් කිරීම අවශ්‍යය. තමන්ගේ පක්ෂය දිනන, පක්ෂවල ආකල්පවලට කොටුකරගත් ඇබ්බැහිකාරක සමාජයකින් අනාගතයක් බිහිවෙන්නේ නැත. විකල්පයක් සොයන, නිදහස් මතධාරී ජන සමාජයකින් නිවහල් රටක් ගොඩනැගිය හැක. මෑත කාලය තුළ ඇති වූ ගැටුම්, අර්බුද හා විනාශකාරී සිද්ධි මැද අමතක නොවෙන පාඩම් ඉගෙන ගෙන තිබේ. නැවතත් එවැනි තැනකට ගමන් නොකරන්නේ කෙසේ ද යන්න පරීක්ෂාකාරී විය යුතු එකම මග බව මෙහි දී සඳහන් කළ යුතුය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස්  [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ විසිනි.



අදහස් (0)

අයවැය පියවීම ආර්ථීක සංවර්ධනයද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 982 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 6415 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 446 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 838 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 851 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 449 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site