IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අර්බුදයේ දිග-පළල නොපෙනේද?

දියසෙන් කුමාරයා පහළ වන අතර ජනතාවට යස ඉසුරු උදා කර දෙනු ඇති බවට විශ්වාසයක් පවතී. දෙදහස් පන්සිය වසරකටත් වඩා ගත වී ඇතත් දියසෙන් පහළ වී නැත. විසඳුම ලැබෙන්නේ වෙනත් තැනකින් නොවේ. අපට අපගේ අනාගතය උදා කරගැනීමට සිදුවේ. මැජික් විසඳුම් නැත. දේශපාලන නායකයක් ප්‍රකාශ කරන පරිදි සහන දෙන්නට රටට කිසිම හැකියාවක් ආර්ථික ක්‍රමය තුළ නැත. අද මහන්සියෙන් වැඩ කළහොත් දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරගත හැකිය. 

රට තුළ දැනට පවතින අහිතකර ආර්ථික රාමුව ගැන අප අතර ව්‍යාකූලතාවක් ඇත. බරපතළ විවේචන තිබේ. උද්ගතව ඇති තත්ත්වය හුදෙක් එක දවසක, එක අවුරුද්දක විපාක නොවන බව සඳහන් කළ යුතුය. අද මුහුණ දී ඇති සංකීර්ණ ව්‍යුහයට හේතුව එක අංශයක බිඳ වැටීමක් යැයි ප්‍රකාශ කිරීම වරදකි. එක කණ්ඩායමක්, එක ජාතියක් හෝ එක බලවේගයකට විසඳුම් නැත. නායකයකුට පමණක් උත්තර දිය හැකි ස්වභාවයක් නොවන බව ද අවධාරණය කළ යුතුය. හෙට අලුතින් පත්වන ආණ්ඩුවකට පවා ඉක්මන්, පැහැදිලි උත්තර නැත. 

අන්තෝ ජටා බහී ජටා සමාජ පසුබිම

දශකයකට කලින් රටට තිබුණ එකම ගැටලුව ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය පරාජය කරන ලද රට තුළ වුවමනා එපාකම් විශාල ප්‍රමාණයකි. අවශ්‍යතා ඉහළ ලෙස ඉහළ ගොස් තිබේ. හොඳ වාසස්ථානයක්, හොඳ රැකියාවක් යනාදිය අපේක්ෂා අතර ඇත. දරුවන්ගේ අධ්‍යාපනය, හොඳ ප්‍රවාහන පහසුකම්, පමණක් නොව සෞඛ්‍ය පහසුකම් ගැන ද අලුත් බලාපොරොත්තු තිබේ. සමාජයක සිදුවන පරිවර්තනය ඒවා සාක්ෂාත් කරගැනීමේ අරගලයකි. මහජනතාවගේ බලාපොරොත්තු අනවශ්‍ය පරිදි පාලනය කිරීම සාර්ථක උපායක් නොවේ. සමාජයෙහි තද විනයක් තිබිය යුතුය. අසාධාරණ අවස්ථා පාලනය සුදුසුය. යුක්ති ගරුක හැසිරීමක් සඳහා නීති රීති වැදගත්ය. රටට උචිත ක්‍රමයකින් ඇතිකරන උත්පාදනය ආර්ථිකයට ශක්තියකි. 

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය තුළ ප්‍රශ්න නැති තැනක් නැත. පැවැත්ම සඳහා මග පෙන්වන ආගමික ආයතන තුළ විසඳුමක් තිබේ ද? පන්සල, පල්ලිය, කෝවිල හෝ දේවස්ථානය පිරිහී ගිය තැන්ය. අධ්‍යාපන ක්‍රමය තුළ ඇති නොගැළපීම ඉතාම සංකීර්ණය. ද්විතීයික හා තෘතීක අධ්‍යාපනය විශාල පරාසයකට විහි දී ඇති නමුත් ඒවායේ අවස්ථා ලබාගත හැකි පිරිස පදනම් කරගෙන විකෘති ඇති වී තිබේ.

ධනය ඇති ලෝකයේ ඕනෑම තැනකින් ඉගෙනගන්නට හැකි පිරිස අසමාන අවස්ථා අත්පත් කර ගනිති. විදේශ අධ්‍යාපනය නතර කිරීම උත්තරයක් නොවේ. විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අධ්‍යාපනය අභ්‍යන්තරයට සීමා කරන්නට යෝජනා කරන කණ්ඩායම තරුණ පෙළ කැඳවන්නේ කොතැනකට ද? බලශක්ති ක්ෂේත්‍රය විශාල බිඳ වැටීමකය. විදුලිය හා ඛනිජ තෙල් අමාත්‍යාංශ අතර ගැටුම මුහුණ දී ඇති අරාජික තත්ත්වය පෙන්වයි. ප්‍රවාහනය, සෞඛ්‍ය වැනි අංශවල ඇති පැලැස්තර විසඳුම් අනාගතයට උත්තරයක් නොවේ. 

ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව ඉරිතලා ගිය තවත් අංශයකි. බලය බෙදාහැරීම ගැන දීර්ඝ කාලයක සිට කරගෙන යන සාකච්ඡාව අසරණ කර තිබේ. අලුත් ව්‍යවස්ථාවක් ගැන කරන යෝජනා හුදෙක් ආත්මාර්ථකාමී අදහස්වලට සීමා වී ඇත. ජනතාව එකතු කරනු වෙනුවට බෙදන, අතෘප්තිය ඇති කරන පියවරක් බව පෙනේ. පළාත් පාලන හා පළාත් සභා ඡන්ද, සමානුපාතික ක්‍රමය විධායක ජනාධිපතිවරයා සතු බලය මෙරට අසංවිධිත ආකෘතියෙහි තරම පෙන්වයි. 

බලහත්කාරයෙන් හුදෙකලා ගමනක් 

ජාත්‍යන්තරයට ගැට ගැහෙන්නේ නැති හුදෙකලා සමාජයක් අපට සුදුසුද ? පිටරටින් ගෙන්වන්නේ නැති, වෙනත් රටවලින් ආයෝජන වෙනුවට ලාංකේය ව්‍යාපාරිකයන්ට ඉඩදෙන ආකල්පවලට සූදානම් ද? පවතින දරුණු ආර්ථිකයෙන් ගැලවීම අරමුණු කරගෙන පෝලිම් හා සලාක ක්‍රමය හඳුන්වා දිය යුතු ද? දැවෙන ප්‍රශ්නවලට උත්තර සොයන ජාතික නායකයන්ගේ යෝජනා අර්ථ විරහිතය. ලෝකයේ බල කඳවුරු වෙනස් වී තිබේ. ආර්ථික ක්‍රම දෙකක් නැත. වඩාත් කාර්යක්ෂම හා තරඟකාරී තැන්වලට අවස්ථාව ලැබී ඇත. නැවත පැරැණි ව්‍යුහයට ඇතුළුවීමට තරුණ පරපුර සූදානම් නැති බව මතක් කළ යුතුය. 

විදේශ විනිමය උත්පාදනය කරන මාර්ග ඉදිරිපත් කරන්නට ධෛර්යයක් නැති පිරිස් තිබෙන සම්පත්වලට ගැළපෙන පරිදි සමාජය කප්පාදු කරන්නට යෝජනා කරමින් සිටී. ආර්ථික නිදහසක් රටට අවශ්‍ය කර ඇත. බලශක්ති භාවිතාවේ වර්ධනයක් වුවමනා කර තිබේ. තොරතුරු තාක්ෂණයට උපරිමව නැඹුරුවන පියවරක්. දොරටු වසා දැමීම පීඩනය අඩු කරන ක්‍රමයක් නොවේ. ශ්‍රී ලංකාව තව දුරටත් දූපතක තනි කරන්නට හැකියාවක් නැත. ලෝකයේ ඇති වෙනස්කම් ගැන දන්නා පිරිස බහුතරයක් බව මතක් කළ යුතුය. ඔවුන් ඇමරිකාව, යුරෝපා හා මැද පෙරදිග රටවල්, චීනය හෝ ඉන්දියාවේ සිදුවන පරිවර්තනය හොඳට දැනගෙන සිටින පිරිසකි. 

හැත්තෑ ගණන්වල බී ලූනු, උම්බලකඩ හෝ සිල්ක් සාරි ගැන වේදනාවෙන් සිටි පිරිස වෙනුවට අද සමාජය ඉල්ලන්නේ ඇමරිකානු ඩොලර් බව මතක තබාගත යුතුය. පාලකයන්ට කෙළින්ම ඇඟිල්ල දිගුකරන කණ්ඩායමක් ඇත. සමාජය ප්‍රතිසංවිධානය වී තිබේ. දේශපාලනඥයන් පමණක් නොව දේශපාලන පක්ෂ ද එපා වී ඇත. කෙටි කාලයකට නතර කළ හැක. ඇවිළෙන්නේ කොතැනින්ද යන්න පමණක් නොව අවසානය කොයිබට ද? යන්න ද දැනගෙන සිටීම මහජන නියෝජිතයන් සතු වගකීමකි.

අතපසු කිරීමෙන් අත්පත් කරගත් අනතුර

ආණ්ඩුව පන්නා හදන අලුත් ආණ්ඩුවක් දැනට ඇති ගැටලුවලට විසඳුමක් නොවේ. බලයට එන හදිසියක් දේශපාලකයන්ට තිබෙන අතර නායකයන් යැයි කියා ගන්නා සියලුම දෙනාට ඇති හැකි කම ගැන තක්සේරුවක් ජනතාවට ඇත. අතිශය භයානක ආර්ථික අවපාතයක් මැද දේශපාලකයන් රඟ දක්වන නාටක දෙස බලා සිටින ජනතාව එළැඹ සිටින නිගමන ගැන දනගත යුතුය. මාධ්‍යවලින් ඉදිරිපත් කරන විවාද හා නොහොබිනා කතා වලින් විනෝදයක් හැර අනෙකක් අපේක්ෂා නොකරති. විශේෂඥ අදහස් අනුව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හඳුන්වා නොදී අයාලේ යන්නට ඉඩ හැරිය ද  මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය අවසන් වනු ඇත. එයට නායකත්ව අවශ්‍ය නොවේ.

තවත් කාලයකට පසු සංචාරකයන් එනු ඇති අතර එතැනින් ආදායමක් ලැබෙනු ඇත. වැඩ කරන ජනතාව ලෝකයේ කොතැනකට හෝ ගොස්  උපයා තමන්ගේ දරු පවුල්වලට එවනවා නිසැකය. වසංගත තත්ත්ව පාලනය වූ පසු ඇඟලුම් හා කෘෂි අපනයන බෝගවලට ඉල්ලුමක් ඇති වේ. බොර තෙල් මිල අඩුවනු ඇති අතර එය උද්ධමනය අඩු කරන විනිමය පීඩනය අඩු කරන හේතුවකි. අවසානයේ දී පුරුදු ජීවන රටාවට ඇතුළුවිය හැක. ආණ්ඩුව කිසිම දෙයක් නොකරන නමුත් ඊළඟ වතාවේ ද බලයට පත්වෙන්නට ඉඩ තිබේ.

වැටෙන ආර්ථික හැමදාම වැටෙන්නේ නැත. එක්තරා දුර්වලම තැනකට වැටුණ පසු ස්වාභාවිකවම යළි පිබිදේ. ආර්ථික න්‍යායක ඇතැම් ලක්ෂණ අතර එවැනි සිද්ධි ඇත. ලෝකය වෙනස් කරන්නේ වෙන දෙයක් බලා සිටි දෙන දෙයක් අනුව හැසිරුණ නායකයෝ නොවෙති. මතු පරපුර කතා කරන්නේ පරිවර්තනීය හා අනගිභවනීය පුද්ගලයන් ගැනය.

චීන මහා  ප්‍රාකාරය හෝ මිසරයේ පිරමිඩ තනන කාලයේ එම පාලකයන් ද නින්දා විඳින්නට ඇත. වැව් තනන දාගැබ් හදන වකවානුවේ ශ්‍රමය කැප කළ පිරිස අති විශාලය. ඒවා හැදුණේ එක්සත්ව එක්සිත්ව එකට එකතු වී සමාජ සත්කාර වශයෙන් නොවේ.

වැඩ කරන්නට ඉඩ දෙන, එකතු වී වැඩ කරන පරිසරයක් නැත. භයානක තීන්දු, කුමන්ත්‍රණ හා නිර්භීතභාවය ඔස්සේ ඉදිරියට යා යුතුය. කිසිසේත්ම ඉදි කරන්නට ඉඩ නොදෙන බව කියන ක්‍රමයක් රජ කාලයේ ද තිබෙන්නට ඇත. එවැනි හඬ ශේෂ වී ඉතිහාස ගත වී නැත. අධිවේගී මාර්ග හදන්නට ඉඩ නොදෙන බව කියා නොසිටි එකම දේශපාලනඥයෙක් සිටිත් ද? මහවැලිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝල ගල් අඟුරු බලාගාර හැදුණේ ලෙහෙසියෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර එකඟතාවකින් නොවේ. 

අද පැවැත්ම අනාගතය තීරණය කරනු ඇත

රිදීමාලියැද්දේ සීනි කම්හලක් ඉදිකිරීමේ පරිසර වාර්තාව ඉකුත් වී ඇත. 2017 අවුරුද්දේ සිට අද දක්වා කම්හල ඉදි කරන්නට ඉඩ නොදේ. තව දුරටත් විරෝධතා ඇති කරන්නට විරුද්ධ දේශපාලන බලවේග සූදානම්ය. රටට අවශ්‍ය සීනි වලින් සියයට අනුවක් ආනයනය කරන රටක පැවැත්මකි. පැය හතක් දක්වා විදුලිය කපන රටක අලුත් බලාගාරයක් එනම් යුගදනවි ඉදිකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනේ. මුළු ලෝකයම සුර්ය බලශක්තියට හැරෙමින් තිබේ.

ඛනිජ තෙල් භාවිතය අඩු වෙමින් පවතී. පුත්තලම දූපත්වල සංචාරක මධ්‍යස්ථාන හදන යෝජනාව අවුරුදු විස්සක් පමණ පැරණිය.  ඒවා ජාතික අපරාධ සේ සලකා පැත්තකට කර ඇත. හොරකම, වංචාව ගැන අප්‍රමාණ විවේචන ඇත. බහිරව ආරක්ෂාව ඇති නිධාන ගැන මිථ්‍යා මතයක් තිබේ. සංවර්ධනය ද එයට සමානය. නොකර සිටීමෙන් අවැඩක් නොවේ. වැඩක් වෙන්නේ ද නැත. රටට කරගත හැකිව තිබුණ සංවර්ධනය ගැන ඉතිහාසය සාක්ෂි දරයි. 

රට ගොඩ නැගිය යුතු ආණ්ඩුව පමණක් නොවේ. ආණ්ඩු පක්ෂය කරගෙන යන සියලුම දෙයට එකහෙළා විරුද්ධවීම දේශපාලනය නොවේ. අති විශාල විරෝධයක් එනම් රට තුළ හා ජාත්‍යන්තර පීඩනයක් මැද ගෙන ගිය ක්‍රියා මාර්ගයක් අවසානයේ ත්‍රස්තවාදය පරාජය කළ හැකි විය. ආර්ථිකය ජය ගැනීම සඳහා ද එපමණ, සමහරවිට එපමණකටත් වඩා ධෛර්යයක් අවශ්‍යය. පීඩනය දරාගත යුතුය.

රට ඉතිරි කරගෙන තිබේ. රට ආරක්ෂා කරගෙන ඇත. ආර්ථික ජවයෙන් යුතු තැනක් බවට හරවා නොගතහොත් පලක් නැත. තමන්ගේ අනාගතය සොයා ලෝකයේ වෙනත් රටවලට පළායන්නට සූදානම් වී සිටින මතු පරපුර අප දැනට කරගෙන යන විනාශයට සාක්ෂියකි. මුලින් ද සඳහන් කළ පරිදි කිසිවක් නොකර සිටිය ද රට විනාශ වෙන්නේ නැත. පවතිනු ඇත. දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ, බුද්ධිමත් ජන කොටස් හා ආගමික නායකයන් එකතු වුවහොත් පැවැත්ම වෙනස් කරන හැකියාවක් තිබේ. ආකල්ප වෙනස් කරන ව්‍යාපාරයක් සඳහා මාධ්‍ය භාවිතාව ද ඉතාම වැදගත්ය. 

විසඳුම නිර්මාණය පිට දේශයක නොවේ

ආර්ථික අර්බුදයට පැලැස්තර විසඳුම් නැත. කෙටි, ඉක්මන් මාර්ග නැති බව ද මතක තබාගත යුතු කරුණකි. ඇමරිකාවෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් සහාය ගත නොහැක. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සාක්ෂිකාරයකු කරගැනීමේ වුවමනාවක් පවතින බව පෙනේ. අරමුදලේ තාක්ෂණික සහාය සඳහා නැඹුරුවක් ඇත. දේශීය හෝ විදේශීය උපදේශකයන් සිටිය හැක. ක්‍රියාත්මක කරන්නේ අපගේ සමාජයයි. වගකීම ඇත්තේ අප සියලු දෙනාහටය.

අර්බුදයෙහි දිග පළල නොදන්නා කිසිවෙක් නැත. ආදායම අඩුය. වියදම වැඩිය. පරතරය පියවා ගැනීම සඳහා ණය ගනිමින් සිටී. පිටරවලින් කරන ආනයනය ද එයට නොදෙවෙනිය. ඉතාම තද ආනයන පාලනයක් මැද පවා පසුගිය වසරේ දී ද අපනයන ආදායමට වඩා ඇමරිකානු ඩොලර් බිලියන අටක් වැඩිපුර ආනයනය කර තිබේ. විදේශ විනිමය හිඳී ඇති පසුබිමක් තුළ මෙම වෙළෙඳ පරතරය පියවන්නේ කෙසේ ද? 

අලුත් උත්පාදනයක් ගැන හිතන්නට අවශ්‍යය. ආයෝජනය කළ යුතුය. සමාගම්වලට ලැබුණ ලාභය අලුත් බදු පනවා ආණ්ඩුවේ වියදමට පවරා ගන්නා අවස්ථාවක එම සමාගම් අලුත් ආයෝජනයක් කරන්නේ කෙසේ ද? රජයේ ආයතන අති විශාල පාඩු ලබන අතර ඒවායේ පිරිවැයට ජනතාවගෙන් අය කරගන්නා බදු හිලව් කරන ලද පසු ජාතික ආදායම වශයෙන් ලැබෙන්නේ මොනවා ද? නායකයන් පමණක් නොව රට භාරගන්නට ඉන්නා නායකයන් ද මෙම අක්‍රමවත් පිළිවෙළ ගැන කල්පනා කිරීම සුදුසුය.


සාරා කන්දෙගොඩ



අදහස් (0)

අර්බුදයේ දිග-පළල නොපෙනේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2643 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11920 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 538 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 916 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 986 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 490 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site