අලුතින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. මේ දිව්රුම් දීම සිදු වූයේ පසුගිය දා ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහාය. මෙතෙක් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මේ හේතුවෙන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් බවට පත් වූ අතර ඉදිරියේදී ද ඔවුන්ට අමාත්‍ය ධූර නොලැබුණහොත් මේ පත්කිරීම් මේ රටේ දේශපාලනයේ සැබෑ හැරවුම් අවස්ථාවක් වනු ඇත.
මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ අමාත්‍ය පදවි ලබාදීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට සහ හවුල්කාර පක්ෂ නායකයන්ට ප්‍රමුඛත්වය ලැබීමය. එහෙත් මෙවර එය වෙනස් වී පාර්ලිමේන්තුවට නවකයන් වූ කිහිප දෙනකුට ද අමාත්‍ය ධූර හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රථම වතාවට තෝරා පත්කරගනු ලැබූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට අමාත්‍ය පදවියක් හිමිවීම එයට උදාහරණයකි.
පාර්ලිමේන්තුව තුළ නවකයන් වන පිරිසකට පවා කැබිනට් අමාත්‍ය ධූර ලැබීමට හේතු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි වෙනසකට බල කෙරුණේ මේ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ගෙන යන අරගලය විසිනි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව වුවත් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එකතු කිරීම තුළ දැනට රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් තිබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් රජය මේ වෙනස්කම සිදුකරන්නට ඇතැයි පැහැදිලිව පෙනී යයි. එය මේ බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි අපට කල් තබා කිව නොහැකි වුවද මෙවැනි වෙනසක් හෝ ඇතිකිරීම හෝ යහපත් බව සඳහන් කළ යුතුය. මේ නිසා අලුත් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන්නේ විශාල වගකීමකි.
නවක අමාත්‍යවරුන් මේ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ රටේ ප්‍රධානම අවශ්‍යතාව බවද පෙන්වා දිය යුතුය. මේ නව කැබිනට්ටුව පත්කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ පවතින අර්බුදයට කිසියම් හෝ විසඳුමකි. එහෙත් මේ අවශ්‍යතාව ඉටුකිරීමට සහ පිළිගත හැකි විසඳුම් ලබාදීමට පළපුරුද්ද සහ විෂය දැනුමේ පරාසය අඩු නවක අමාත්‍යවරුන්ට හැකියාව තිබේද? යන්න ගැටලුවකි. එම ගැටලුව ජයගැනීමේ අභියෝගය බාර ගැනීමට තරුණ නවක අමාත්‍යවරුන් සූදානම් විය යුතුය. තම හැකියාව පෙන්වීම සඳහා හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. තමන් අසාර්ථක වීම යනු සමස්ත රජයේම අසාර්ථක වීමක් බව දැන සිටිය යුතුය.
එසේම රටේ පාලනය භාරව තීන්දු ගන්නා කැබිනට් අමාත්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද රටේ මහත් කතිකාවක් ඇතිව තිබේ. ආණ්ඩුවට එරෙහි අරගල කරන තරුණ විරෝධතාකරුවන්ගේ අත රැඳි ඇතැම් පෝස්ටර්වලින් දැක්වෙන්නේ උගත් පුද්ගලයන් අතට පාලනය බාරදිය යුතු බවය. ඒ අතින් සලකා බලන කල මෙවර පත්වීම් ලද අමාත්‍යවරුන් අතරේ කිහිප දෙනෙක්ම උසස් අධ්‍යාපනය හදාරා විදෙස් රටවලින් පවා උපාධි ලබාගත් අය වෙති. කාංචන විජේසේකර මෙරට උසස් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධියක් ලැබූවෙකි. ප්‍රමිත බණ්ඩාර බකිංහැම් විශ්වවිද්‍යාලයෙන් සහ ලාට්‍රොබේ විශ්වවිද්‍යාලවලින් ද ෂෙහාන් සේමසිංහ පේරාදෙණිය සහ දිල්ලි විශ්වවිද්‍යාලවලින්ද, කනක හේරත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ද උපාධි ලබා සිටිතියි වාර්තා විය. එසේම මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ. ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් ද මේ ඇමැති මණ්ඩලයට පත්කරනු ලැබ සිටිති. මේ සියලු දෙනා දැන් කළ යුත්තේ තමන්ගේ අධ්‍යාපන දැනුම රටේ අර්බුදවලින් ගොඩ ඒම සඳහා යොදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්ය ඔවුන් සතුව ඇතැයි අපි විශ්වාස කරමු.
මුළු රටම ගිනියම් වූ යකඩයක් මෙන් පවතින තත්ත්වයක් තුළ තමන්ට ලැබුණු අමාත්‍ය ධූර උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ නවක අමාත්‍යවරුන්ට අවස්ථාවක් නැත. එහෙත් අසහනයට, පීඩනයට, කෝපයට පත්ව සිටින ජනතාවගේ එම පීඩා දුරුකිරීමට කිසියම් හෝ දායකත්වයක් ලබාදීමට තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඔවුන්ට හැකියාවක් ලැබුණොත් එය තමන්ට ලැබුණු අභියෝගය ජයගැනීමක් වශයෙන් සලකා සතුටු විය හැකිවනු ඇත. එසේම මේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අලුත් අමාත්‍යවරුන්ගේ කෙරුවාව මුළු රටේම නිරීක්ෂණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.
නව අමාත්‍යවරුන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ අමතර වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවංක, කාර්යක්ෂම පිරිසුදු පාලනයක් සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසටය. ජනතාව ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කිරීමට මේ අමාත්‍යවරුන්ට ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. රට ඉතිහාසයේ ඉතා දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිය දී ලැබී තිබෙන මේ අමාත්‍ය ධූර එම දුෂ්කරතා තුරන් කිරීම සඳහා යොදාගැනීමට නව අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එය ඔවුන් තම දේශපාලන ජීවිතයේ මුහුණදෙන අසීරුම පරීක්ෂණය බවට කතා දෙකක් නැත.
(***)
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් ඇමැතිවරුන්ට ලොකු අභියෝගයක්
බද්රානි Friday, 22 April 2022 02:27 PM
රාජපක්ෂලා හොරාකාපු නිසා මේ රට මෙතරම්ම බංකොලොත් වුණා කියලා මුලින්ම පිළිගන්න. ඔවුන්ව දේශපාලනයෙන් පමණක් නොව රටින්ම අතුගා දැමීමට උත්සාහ කරන්න. අර පුංචි කැබිනට් කාරයින්ගේ ඩිග්‍රි ගැන අපිට නම් පිටිපස්සෙනුත් හිනායනවා බන්... ඔය පුංචි කැබිනට් ඉත්තන්ට නෙමේ, දියුණු රටවල රාජ්‍ය නායකයින්ට කැබිනට් ඇමැතිකම් දුන්නත්, රාජපක්ෂ හොරුන්ගේ නායකත්වයෙන් මේ රට ගොඩගන්න බැහැ. සමහරවිට මටයි, ඔබටයි, අපේ දරුවන්ටයි, මේ අය බලයේ ඉන්න එක ගැටළුවක් නොවෙන්න පුළුවන්. ඒත්, මේ රටේ අහිංසක, දුප්පත් දරු පරපුර ගැන හිතන්න..