IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු

තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත.

පසුගිය සතියේ නොයෙක් කටකතා පළවුවත් ඒවායේ සදහන් වූ ආකාරයට ජනපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් පැවැතුනේ නැත. පෙර අවස්ථාවක දී ජනපතිවරයාම සදහන් කළ ආකාරයට, එවැනි හමුවක අවශ්‍යතාවක් නැත යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයෙක් පැවසුවේ ය.

වර්තමාන විපක්ෂ නායකවරයා ද වන මහින්ද රාජපක්ෂගේ විජේරාම පාරේ පිහිටි නිවසේ දී පසුගිය සතියේ පැවැති රැස්වීමකට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නියැලිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් පළවූ අදහස් ද සැළකිල්ලට ගත් ඔවුහු, නව සන්ධානයක් සදහා අවශ්‍ය ව්‍යුහය සකස් කිරීම සදහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය කළහ.

දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නියෝජනය කරන අතරවාරයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස්, න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ, සහ ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ශවය නියෝජනය කරනු ඇත. රැස්වීම් පවත්වා ව්‍යුහය සම්බන්ධයෙන් එකගතාවයක් ඇතිකර ගැනීමට මෙම ඒකාබද්ධ කමිටුවට කාලයක් ගතවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව පොදු සන්ධානය ගොඩනැගීමට ද කාලය ගත වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඒකාබද්ධ මැයි දින රැලියක් පැවැත්වීමට යෝජනා කළ ද එයට අනුමැතිය නොලැබිණ. මැයි දින රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනමත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බැවින් ඒවා වෙනස් කිරීම එතරම් හොද අදහසක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය.

පක්ෂ නායකයන් අතර සාකච්ඡාවට බදුන් වූ වඩා වැදගත් මාතෘකාවක් වූයේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමත් සමග එන පාර්ලිමේන්තු මැතිවරණයක යෝජනාව පිළිබද මේ දිනවල ඇතිව තිබෙන උනන්දුවයි. එම යෝජනාවේ වරදක් නැතත්, එයට ජනප්‍රියත්වයක් හිමිව නොමැති බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. සමාජ මාධ්‍ය ජාලවල එයට එරෙහිව දැඩිව විවේචන නැගෙමින් තිබෙන බව ඔහු පැවසුවේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ද, ඔහු හා පක්ෂව අදහස් දැක්වූයේය. ඒකාබද්ධ විපක්ෂය එවැනි එකඟතාවයකට සහාය දැක්වීමෙන් වැළකී සිටීම වඩා යහපත් බව ගුණවර්ධන මහතා කීවේ ය.
නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ ඇතැම් ආරංචි මාර්ග සදහන් කළේ මේ අරබයා තවත් හේතු පවතින බවය. එම හේතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට එතරම් යහපත් ඒවා නොවේ.

එකක් වන්නේ මැතිවරණයකින් පසු රජය තනන ක්‍රියාවලියේ දී ජනපතිවරයා කෙසේ හැසිරෙනු ඇතිදැයි යන්නය. සිය බලය අවභාවිතා කර, අනපේක්ෂිත අයුරින් වෙනත් කණ්ඩායමකට රජය තනන ලෙස ආරාධනා කරන්නට ජනපතිවරයාට නොහැකි ද?, මෙවන් අදහස් මතුවෙමින් තිබෙන්නේ ජනපතිවරයාගේම ක්‍රියාකලාපය නිසා බව සැක නොමැතිවම කිව හැකිය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඒ දක්වා හිටපු අගමැති වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර - ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත් කර - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය ව්‍යවස්ථා විරෝධීයැයි ප්‍රකාශයට පත්කරන තැනට වැඩකටයුතු කළ, ජනපතිවරයාගේ ක්‍රියාකලාපය තමන්ට කිසිසේත්ම අමතක නැති බව ඇතැම්හු නොසැඟවූහ.

“පක්ෂයේ නිර්මාපකයා හැටියට අප ඉදිරියේ තිබෙන සෑම අවස්ථාවක්ම සහ විකල්පයක්ම කිරාමැන බැලීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටිනවා. ඔහු මේ පක්ෂය ශක්තිමක් පක්ෂයක් ලෙස ගොඩනගා තිබෙනවා” යයි එක් ආරංචි මාර්ගයක් වැඩිදුරටත් සදහන් කළේ ය.

අනෙක් අතට පොදු සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇතිවන එවැනි එකඟතාවයක් ඉදිරි ජනපතිවරණය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීම සදහා අනිවාර්යය අවශ්‍යතාවයක් බව පවසන අතර, එම නිසාම අදාළ කටයුතු තවදුරටත් ප්‍රමාද කළ නොයුතු බව ද කියයි.


විපක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකයා

අප නැවතත් පැමිණෙන්නේ මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණය සදහා ඉදිරිපත්වන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වනු ඇත්තේ කවුරුන්දැයි යන ගැටලුවටය.

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ හැකියාවක් තමාට ඇතැයි ජනපති සිරිසේන මහතා තවමත් සිතා සිටිනවා විය හැකි වුවත්, පොදු සන්ධානයක් ගොඩනැඟීම යතාර්ථයක් බවට පත්වන තත්ත්වයක වුව ද, ජනපතිවරයාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවස්ථාවක් ඇත්තේම නැති ගානය. ඒ හමුවේ ඔහුට ඉතිරි වන්නේ විකල්ප දෙකකි.

එකක් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දැක්වීමය. බොහෝ විට එම අපේක්ෂකයා වනු ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පෙර සිටම ඉදිරි ජනපතිවරණය ඉලක්ක කරගත් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ඔහු දැනටමත් පියවර ගෙන අවසන්ය.

අනෙක වන්නේ ජනපතිවරණයට තනිවම ඉදිරිපත්වීමය. එම විකල්පය තොරාගතහොත් ජනපති සිරිසේන මහතා හමුවේ නැගෙන අන්තරායන් දෙකකි. එය යෝජිත පොදු සන්ධානය හා අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන අවස්ථාව ව්‍යර්ථ කරන්නක් වනු ඇත. අමතරව, සිය පක්ෂයේම බහුතර සාමාජිකයන්ගේ සහාය තමා වෙත නොලැබෙනු ඇති තත්ත්වයකට මුහුණදීමට ජනපතිවරයාට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා පොදු සන්ධානයක් ඇති කරගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම සදහා ඇතිකරගත් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළත් නොකිරීම පක්ෂයේ යම් කලබලයක ඇතිවීමට හේතු වී තිබේ. එයට අමතරව, කොළඹ, මාතර, ගාල්ල, බදුල්ල, නුවර, නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට නව මැතිවරණ සංවිධායකවරුන් පත්කිරීමට ජනපතිවරයා ගත් තීරණය ද බොහෝ දෙනෙකුගේ නොමනාපයට හේතු වී තිබේ.

ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට අනුව පත්කර තිබෙන නව සංවිධායකවරුන් අතරින් බහුතරය නවකයින්ය. අනෙක් දිස්ත්‍රික්කයන්වලටත් මැතිවරණ සංවිධායකවරුන් නම් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ. පොදු සන්ධානයක් ඇතිකර ගතහොත් දෙපාර්ශවය අතර නොයෙක් ගැටලු මතුවන බව සහතිකයෙන්ව කිව හැකිය. ඒ අරබයා මැතිවරණමය එකඟතාවයක් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇති අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ද ආසන කිහිපයක් වෙන් කිරීමටත් පියවර ගතයුතු වනු ඇත. එය ද බොහෝ කාලයක් ගතවන ක්‍රියාවලියක් බව අමුතුවෙන් කිව යුතුද නැත.

අයවැයත් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා එම කටයුතුවලට තවත් කාලයක් ගතවනු ඇත. මේ සියලු සිදුවීම් සැළකීමේදී, ඔහුගේම අගමැතිවරයා හා ගත් කළ, ජනපති සිරිසේන මහතා සිටින්නේ අතිශය අසීරු ස්ථානයකය. ඒවා මෙලෙසින් සම්පිණ්ඩනය කළ හැකිය

■    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන උනන්දුවෙන් ගම්‍ය වන ගැටලු එක පසෙකිනි
■    ඒකාබද්ධ මැයි රැලියක් පැවැත්වෙන්නේ ද නැත.
■    පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තිබූ අවස්ථාව ද වියැකී ගොසිනි.
■    එක්සත් ජාතික පෙරමුණු රජය හා එක්ව අමාත්‍යධූර ලබාගැනීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික කණ්ඩායමක් අදටත් ජනපති සිරිසේන මහතා සමග සිටින්නේ අමනාපයෙනි.
■    දූෂිතයින්ව නීතිය හමුවට පමුණුවන බවට මැතිවරණ සමයේ දී ඔහු දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨවී නැත.
■    අලුත් සිදුවීම් දිනෙන් දිනම මතුවෙමින් ඇතත්, ඔහු අත තිබෙන කාලය දිනෙන් දිනම ක්ෂයව යමින් තිබේ.
■    පොලිසියට දොස් පැවරීමට හැකියාව ඇතත් ජනපතිවරයා එසේ නොකරනු ඇතැයි කිව හැක්කේ එසේ කළහොත් එය බූමරංගුවක් මෙන් ඔහු වෙතම කැරකී පැමිණිය හැකි බැවිනි.
■    සිය රාජකාරියට බාධා එල්ල කෙරෙමින් වූ දේශපාලන අතපෙවීම්, විමර්ශනකටයුතු ප්‍රමාද කිරීම් ගැන ඇතැම් නිලධාරීන් මේ දක්වාම පවත්වාගෙන යමින් සිටින නිහැඩියාව බිද දමනු ඇතැයි පවතින බිය තවත් හේතුවකි.
■    ඔහු පවසන ආකාරයටම රටේ ආර්ථිකය ඇත්තේ අවුලෙන් අවුලට පත්වය.

ජනපතිධූරයේ තවත් මාස 7ක් ඉතිරිව ඇති ජනපති සිරිසේන මහතාට මේ සියල්ලෙන් වැදෙන්නට හැකි පහර ඉතාම බලවත්ය. නමුත් ඔහු, දේශපාලන අර්බුදයන් ගණනාවක් පසුකර පැමිණි, අත්දැකීම්වලින් පන්නරය ලැබූ, කෘතහස්ථ දේශපාලඥයකු බව අමතක කළ යුතු නැත.

ඉදිරි මාස 7ක කාලයේ ශ්‍රී ලංකා ජනතාව ඔහුව කෙසේ ඇගයීමට ලක්කරනු ඇතිදැයි යන්න ඉතාම වැදගත් කාරණයකි. ඇතැම් කාරණා නිවැරදි කිරීමට ඔහුට තවමත් කාලය ඇත. නමුත් ඔහු එසේ කරාවි ද?,
බහුතරයකගේ මුවඟ රැඳි පැනය එයයි.

 



අදහස් (13)

අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු

Nissanka Saturday, 09 March 2019 10:36 AM

කන්න දීපු අත හපාකෑවට මෙහෙම වෙලා මදි

:       1       456

Sanath KandySunday, 10 March 2019 07:25 AM

ඔබේ ආත්ම ගෞරවය රැක ගැනීමට උවමනානම් වඩා සුදුසුම දේ මහින්ද සමග එකඟතාවයකට පැමිණ ජවිපෙ 20 සංශෝධනය සම්මත කර ගැනීමට සහය දී විධායක බලතල අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පවරා දී තව දුරටත් රාජ්‍ය නායකයා වශයෙන් නාමික ජනාධිපති ධුරයේ රැඳී සිටීමයි. එවිට ඊළඟ මහා මැතිවරණයෙන් ජයගෙන මහින්දට විධායක අගමැති ධුරයට පත්විය හැකිය.

:       756       191

WasudewaMonday, 11 March 2019 06:09 AM

මේ රටට දැන් අවශ්‍ය වන්නේ තරුණ සුපිරිසිදු නව නායකත්වයක් මිස පරණ හොරු විධායක අගමැති ධුරයට පත්කිරීම නොවේ. දැනට ඉන්න අයගෙන් හොඳම කෙනා දුප්පතුන්ට, අවංකව වැඩක් කරගෙනයන සජිත් ප්‍රේමදාස පමණයි.

:       1184       608

shehan yapaTuesday, 12 March 2019 05:37 AM

වාසුදේව- තරුණ සුපිරිසිදු නායකයෙක්ද සජිත් ප්‍රේමදාස කියන්නේ. ?

:       1       185

kule Saturday, 09 March 2019 11:48 AM

අපි කවුරුත් නොසිතන තීරණයක් එතුමා රට වෙනුවෙන් මහත් කැපකිරීම් කර ගනීවි කියලා විශ්වාසයක් තියෙනවා. පොදු අපේක්ෂකයකු වී රටම අගාධයකට දාපු ඔහුට ඒ පාපකර්මයෙන් නම් කිසිදා ගැලවීමට නොහැකියි.

:       75       317

mohan Saturday, 09 March 2019 02:56 PM

තව හත් මසකින් පසු මෛත්‍රීපාල සිරිසේන යන නාමය ශ්‍රී ලංකා දේශපාලනයෙන් වියැකී යනු ඇත. අප සැමගේ බලාපොරොත්තුවද එයයි.

:       3       834

de silva Sunday, 10 March 2019 02:45 AM

ජනාධිපතිවරණෙට කලින් දීපු පොරොන්දු ඉටුකර ගැනීමට බැරිව, ඇස්බැස්ටෝස්, ග්ලයිෆෝසෙට් තහනම, කුඩුකාරයන් එල්ල මැරීම වැනි අලුත් පොරොන්දු ජනතාවට දෙමින් ඒවා ඉටු නොකරමින් පඹ ගාලක පැටලී අනුන්ට චෝදනා කරමින් පසුගිය වසර 4 ගෙවපු ආකාරයට ලබන 7 මාසයද ගෙවනු ඇත .

:       0       563

smn Sunday, 10 March 2019 04:59 AM

මොනතරම් " දේශපාලන අර්බුදයන් පසුකර පැමිණි, අත්දැකීම්වලින් පන්නරය ලැබූ, කෘතහස්ථ දේශපාලනඥයකු" වුවත් මඩේ හිටවපු ඉන්නක් බඳු අස්ථාවර ගතිගුණ…...ඕනෑම කෙනකුට පැහැදිළිව දිස්වෙන ඔහුගේ කෛරාටික ක්‍රියාකලාප….. ඉතා වැරවෑයමෙන් මවා දක්වන්නට දඟලන පෞරුෂත්වය හා ශ්‍රෙෂ්ඨත්වය වගේම මුලදී පුන පුනා කියවමින් සිටි නෙල්සන් මැන්ඩෙලා, මහාත්මා ගාන්ධිලාගේ ගතිගුණ අහලකවත් ගෑවිලා නැති බව පහුගිය මාසවල සනාථ වීම නිසා මෙතුමාට දේශපාලන අනාගතයක් නැත්තේම ය. අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම නැතිවන්නේමය.

:       0       500

ravi Sunday, 10 March 2019 09:48 AM

මම ජනාධිපති වුණානම්, හිටපු හොරුත් එළියට දාලා.. ඉන්න හොරුත් එලියට දාලා, ත්‍රිවිධ හමුදාවත් සමග රජයක් පිහිටුවලා... හමුදා අධිකරණයකින් ඔවුන් ඔක්කොම හොරු අල්ලලා හිරේට දානවා.. සත්තයි !!!

:       0       120

Don Monday, 11 March 2019 04:14 AM

තනතුරු අතහරින්න පුරුදු වෙන්න ඕන කියල කියපු බන දැන් කොහේද? ලජ්ජා තියෙනවනම් තවත් තනතුරු ඉල්ලයිද? මැතිවරණයක් ලං වෙද්දී කාගේත් සටන්පාටය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි. තනතුර ගත්තට පස්සේ චන්ඩිකම් පෙන්න පෙන්න පුප්පනවා.

:       0       322

raviTuesday, 12 March 2019 09:50 AM

එත්.. වැරදි වෙලාවක... වැරදි පුද්ගලයෙකුට " ජනාධිපති " තනතුර ලබාගැනීමට සැලැස්වීමත් වරදක් නේද .

:       0       0

dalal Wednesday, 13 March 2019 06:02 AM

රනිල් ,මහින්ද ,සිරිසේන මේ මහත්වරු තුන්දෙනාම අනුශාසකවරුන් වශයෙන් සිටිමින් ජනාධිපතිකම හා අගමැතිකම නවකයන්ට දිය යුතුයි. රටට අවශ්‍ය නව මුහුණු මිසක් මේ තුන්දෙනා අතර බලය හුවමාරු කිරීම නොවෙයි. දැනට ඉටුකළ දෙයට වඩා වැඩි දෙයක් මේ උතුමන්ට කරන්න බැහැ එතුමන්ලාට කරන්න පුළුවන් උපරිමය කර හමාරයි දැන් අලුත් අයට ඉඩදෙන්න.

:       1       129

රමේෂ් හර්ෂ බණ්ඩාර Thursday, 14 March 2019 07:18 AM

මම ජනාධිපති උනා නම් අනිවාරෙන්ම ප්‍රබල දේශපාලන විප්ලවයක් කරනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් නෙමෙයි එ.ජාපයෙත් නෙමෙයි පොදු ජනපෙරමුණෙත් නෙමෙයි මම කිසිම පක්ෂයකට අයත් නෑ නමුත් මට එන්න කිසිම හැකියාවක් නෑ මගේ බලාපොරොන්තුව තියෙන්නෙ මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරලා අලුත් රටක් පාලන කාලය තුලදීම කරන්න විධායක හෝ ව්‍යවස්ථා දායක හෝ වෙනත් කිසිම ආයතනයක් පොඩි මිනිසාගේ පැත්තේ නෑ ඒක මම හොදට දන්නවා යම් යම් වගකීම් ඉටුකරන බව පේනවා හැබැයි ඒවා ඉටුකරන්නේ පොඩි මිනිසාට තිබෙන ආදරයට නොවේ තම තමන්ගේ බලයට ඇති කැමැත්ත නිසයි මටනම් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රසාදය හෝ වෙන කිසිවක් නොවේ රට අල්ලස දූෂණය වංචාව තුරන් කරමින් පිරිසිදු රාජ්‍යක් බිහි කිරීමයි සමහර යහපත් පුද්ගලයන්ට රටට හොද දෙයක් කරන්න තිබෙන එකම බාධකය ව්‍යවස්තාදායකයයි ව්‍යවස්තාදායකය මීට වඩා වෙනස් විය යුතුයි විධායකය නොව ව්‍යවස්ථා දායකය වෙනස් වුනා නම් විදායකයට තිබෙන ප්‍රබල බලතල අඩු කරලා විධායකයට අවශ්‍ය පරිදි වෙනස් කළ යුතුයි බලය ඇතිදාට මොලය අතුරුදන් වෙන මොලය ඇතිදාට බලය අතුරුදන් වෙන ක්‍රමය වහා නැවැත්විය යුතුයි එවිට රට ලෝකයේ ආශ්චර්යමත් රටක් වේවී

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 77 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 109 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 118 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 107 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1634 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 747 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site