IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ආර්ථිකය ගොඩනගන්න කළ යුත්ත

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ‘‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය සහ ඉදිරි මග’’ මැයෙන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වෙනුවෙන් පසුගියදා දේශනයක් පැවැත්වූවේය. එම දේශනය  ඇසුරෙන් සකස් කළ ලිපියේ මුල් කොටස ඊයේ (12) පත්‍රයේ පළවිය. මේ එහි අවසන් කොටසයි.

රජයේ ආදායම් යම් ආකාරයකට වැඩි වුවත් ණය වැඩි වූ නිසා එම ආදායමෙන් වැඩි කොටසක් පොලී ගෙවීමට වැය වනු ඇත. 2020-2021 වසරවල රජයේ ආදායම් පහළ යාම නිසා ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලිය සියයට 72ක් වී තිබේ. මේ කාලය රජයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල පොලිය සියයට හතරක පහක තබාගත් කාලයකි.

එලෙස තිබියදීත් පොලිය සියයට 72ක් වූයේ ආදායම් වැටීම නිසාය. ආදායමෙන් සියයට 72ක් පොලී ගෙවීමට වැය කළ විට ඉතිරියෙන් කළ හැක්කේ කුමක්ද? රජය දැන් සිරවී සිටින්නේ එතැනය. භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලූවිට දීමට නැත්තේ ඒ නිසාය. මේ අර්බුදය වටහා ගත යුතුය.

රජයේ තත්ත්වය එසේ වෙද්දී රට පැත්තෙන් වන්නේ කුමක්ද? විදේශ විනිමය වියදම වැඩි වුවද ඊට සාපේක්ෂව ආදායම වැඩිවී නැත. රජය කුමන තත්ත්වයක සිටියද රටක් වශයෙන් විදේශ විනිමය උපයාගෙන සිටියා නම් ඒවා භාවිතකර ණය ගෙවීමට තිබුණි. එහෙත් රටක් හැටියට රජයත් පෞද්ගලික අංශයත් දෙකම එකතු කළත් විදේශ විනිමය උපයා නැත. ලංකාවේ එසේ වුවද බංගලාදේශය, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, දකුණු කොරියාව යන රටවල විදේශ විනිමය ඉපැයීම් අතින් විශාල වර්ධනයක් ලබාගෙන තිබේ. එහෙත් අපේ විදේශ විනිමය වියදම් දිගටම වැඩිවී තිබේ. පරතරය වැඩිවී ඇත්තේ ඒ අනුවය.

දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම 2001 වන විට සියයට 33ක පමණ අගයක තිබුණි. එය මේ වනවිට සියයට 15ට වඩා අඩුවී තිබේ. රටේ මුළු නිෂ්පාදනය ගත්තද අපනයන හරහා විදේශ විනිමය උපයන පංගුව අඩුවී තිබේ. රටේ ආර්ථිකය සියයට පහකින් පමණ වර්ධනය වුවද එය සිදුව ඇත්තේ අපනයන කර්මාන්තවලින් නොවේ. දේශීය කර්මාන්තවලිනි. එනම් ඉදිකිරීම්, ප්‍රවාහන, මූල්‍ය සේවාවලිනි. මේවා ලොකුවට වර්ධනය වී තිබේ. ආර්ථික වර්ධනය පිම්බී පෙනුණේ ඒ අනුවය. එසේ වැඩි වුවද විදේශ විනිමය අවශ්‍ය පමණට උපයා නොගත් විට සිදුවන්නේ යම් තැනක දී සිරවීමය. ආනයන අපනයන පරතරය වැඩිවීමය.

මෙවන් පසුබිමක විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වනවිට එමගින් රට මුදාගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණි. මීට පෙර ලංකාව අවස්ථා 16කදී මූල්‍ය අරමුදලට ගොස් තිබේ. මෙවර ගොස් තිබෙන්නේ දාහත්වැනි වරටය. පෙර අවස්ථාවලදී කර තිබෙන්නේ අපට තිබෙන අර්බුදයේ ස්වභාවය පහදා දී පෙර වැරැදි හදාගෙන යන බවට පොරොන්දුවී ඉදිරි කාලයේදී ගොඩ ඒමට ණයක් දෙන ලෙස ඉල්ලා සිටීමය. ඒ ආකාරයට ණයක් ගෙන යම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර එය අවසන් වූ පසු නැවත අඩි දෙකක් පසුපසට ගොස් කටයුතු කිරීමය. ආදායම් අඩුවී වියදම් වැඩිවන පරිසරයට යළි අනුගත වීමය. සහනාධාරදීම් වැඩිවීමය.

මිල ගණන් වෙනස් කරන්නේ නැත. එනිසා සිදුවන්නේ සංස්ථා පාඩු ලැබීමය. අවස්ථා දහසයකදී ගෙවුම්ශේෂ ප්‍රශ්නය මතු වුවද වාසනාවකට මෙන් ණය අර්බුදයක් නිර්මාණය වනතුරු එතැන සිටියේ නැත. අර්බුදය පෙනෙන විටම මූල්‍ය අරමුදලෙන් මුදල් ටිකක් ලබාගෙන අර්බුදයෙන් ගොඩවී තිබේ. 2016-2017 වසරවලදී මූල්‍ය අරමුදලට ගොස් රටේ බදු වැඩිකර රජයේ ආදායම් වර්ධනය කර ගැනීම මෙයට හොඳම උදාහරණයයි. එහෙත් 2019 දී පත්වූ ආණ්ඩුව මෙය අනෙක් පැත්ත හැරෙව්වේය. රජයේ ආදායම අහිමිකර ගත්තේය. ආපස්සට ගමන් කළේය. අර්බුදය වර්ධනය වූවේය.

මේ වැරැදි නිවැරැදි නොකරන්නේ නම් ඉදිරි වසර 20 දී තවත් දහසය වතාවක් මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවිය හැකිය. මෙවර මූල්‍ය අරමුදලෙන් මුදල් ටිකක් ලබාගෙන ලබන වසරේදී ගොඩ එන්නට පුළුවන. එසේ ගොඩ ආ පමණින් දැනට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ අනෙක් පැත්තට හැරවුවහොත් යළිත් වසර තුනකින් මේ හා සමානම ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවනු ඇත. රටක් හැටියට ක්‍රියාත්මක කළ යුතු නිවැරැදි ප්‍රතිපත්ති මාලාවක් තිබේ. ආණ්ඩුව කුමක් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යාමේ වගකීම ඇත්තේ මහජන නියෝජිතයන්ටය. එහෙත් ඡන්ද කාලවලදී මේ අය ජනතාවට කියන්නේ කුමක්ද? පවතින ක්‍රමය වැරැදියි කියාය. එය අනෙක් පැත්ත හරවන බවය. බදු අඩුකරන්නම් කියාය.

තව තවත් සහන දෙන්නම් කියාය. පෙට්‍රල් මිල අඩු නොකරන බවය. ඩීසල් අඩුවට දෙන්නම් කියාය. ජනතාවත් කරන්නේ මේ පොරොන්දු ඉටුකර ගැනීමට එම පිරිස පත්කර ගැනීමය. බලයට පත්වූ පසු කරන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමය. එය මහජන නියෝජිතයන්ගේම වරදක් නොවේ. මෙවන් පොරොන්දු ඉටුකළ විට අමාරුවේ වැටෙන්නේ තමන්ම බව ජනතාවට තේරෙන්නේ නැත. අද බලයේ සිටින අය කියන්නේ ගිය ආණ්ඩුව කළ දේ වැරැදියි කියාය. තමන් බලයට පත්වූ පසු ඒවා වෙනස් කරන බවය. අවසානයේ වන්නේ නැවතත් මුලින් තිබූ අර්බුදය මතුවීමය. යථාර්ථය එයයි.

රාජ්‍ය සංස්ථාවල තත්ත්වය කුමක්ද? මේ ආයතනවල පසුගිය කාලයේ පාඩුව ට්‍රිලියනයකි. (කෝටි ලක්ෂයකි) මේවා ගෙවන්නේ කවුද? බලශක්ති ඇමැතිවරයා මේ කරුණ හොඳින්ම දන්නා කෙනෙකි. එහෙත් ලබන මැතිවරණයේ දී ලාම්පුතෙල්, පෙට්‍රල් අඩු මිලට දෙන්නම් කියා පොරොන්දු වන්නට පුළුවන. එවැනි පොරොන්දුවලට ඡන්ද ලැබිය හැකිය. එහෙත් ජනතාවට කිව යුත්තේ ඒවා නොවේ. අඩුමිලට මේවා දිය නොහැකි බව ඔවුන්ට පහදා දිය යුතුය. අඩු මිලට දුන්විට ඒ පාඩුව පියවීමට බදු හරහා ජනතාවගෙන්ම මුදල් සොයා ගැනීමට සිදුවන බව තේරුම්කර දිය යුතුය. ණයක් ගත්තත් පියවීමට සිදුවන්නේ බදු මුදල්වලිනි. මේ කාරණය ජනතාව ද වටහාගත යුතුය.

කෙසේ වුවත් ගෙවුණු වසර දෙකේ දී ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කෙසේද? පළමු කාරණය කිසිවෙක් ඉල්ලා නොසිටි පසුබිමක විශාල වශයෙන් බදු කපා හැරීමය. ඒ හරහා රජයේ ආදායම අහිමිකර ගත්තේය. 2018-2019 වසරවල අයවැය හිඟය යම් ආකාරයට කළමනාකරණය කර ගත්තේය. එහෙත් 2020-2021 වනවිට විදෙස් රටවලින් ණයදීම නැවතුණේය. 2020 දී සිදුව ඇත්තේ ශුද්ධ වශයෙන් ණය ගෙවීම මිස ශතයක්වත් ලැබී නැත. වැඩි වූ අයවැය හිඟය පියවාගෙන ඇත්තේ දේශීය මූලාශ්‍රවලිනි. අවශ්‍ය පමණට මුදල් නොවූ නිසා මහ බැංකුව කළේ මුදල් අච්චු ගැසීමය.

මෙවන් අයවැය හිඟයක් පියවීමට බංකොළොත්බව කීම හැරෙන්නට වෙනත් ක්‍රමයක් නැත. මහ බැංකුවෙන් මුදල් අච්චු ගසා රජයට දිය යුතුය. කොවිඩ් කාලයේ දී කෙටිකාලීනව මේ ක්‍රියාවලිය කළ හැකිව තිබුණි. ලෝකය පුරා මහ බැංකු තාවකාලිකව මුදල් අච්චු ගසා 2020 වසරේ කටයුතු ආවරණය කර ගත්තේය. එහෙත් තත්ත්වය යහපත් වූ පසු ඒ ක්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. ලංකාවේ එසේ වූයේ නැත. 2020 වසරටත් එම ක්‍රමයම ක්‍රියාත්මක කළේය. අද සියයට 60ට සියයට 70ට උද්ධමනය වැඩිවී තිබෙන්නේ මේවායේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය කලින් දැක අනතුරු ඇඟවීම් කළද කිසිවෙක් එය ගණන් ගත්තේ නැත.

රුපියල් අච්චු ගසමින් තිබෙන සංචිත භාවිත කරමින් විදෙස් ණය ගෙව්වේය. අලුතෙන් ණය නොලැබෙන පසුබිමක සංචිත අවසන් වූ විට ණය ගෙවන්නේ කෙසේ ද? ඩොලර් බිලියන 7.6ක සංචිත තිබුණි. පසුගිය අප්‍රේල් මාසයේ දී භාවිතයට ගතහැකි සංචිත තිබුණේ ඩොලර් මිලියන 20කි. එහෙත් අප්‍රේල් 18 වැනිදා ඩොලර් මිලියන 200ක ණයක් ගෙවීමට තිබුණි.

ඉදිරි මාස 12ක කාලයේ දී ඩොලර් බිලියන 6ක් ගෙවීමට තිබුණි. මේ තත්ත්වය ඇතිවීමට මාස හයකට පෙර ප්‍රතිපත්ති පෙර දැක්මක් ප්‍රකාශයට පත් කරමින් පෙන්නා දී තිබුණේ ඉදිරි මාස හයේදී ඩොලර් බිලියන දහයක් ලැබෙන බවය. එහෙත් ශතයක්වත් ලැබී තිබුණේ නැත. ඉන් ඉදිරියට ණය ගෙවීමට නොහැකි බව තීරණය කළේ මෙවන් පසුබිමකය.. කිසිදු කතාවකින් තොරව ණය නොගෙවා සිටියහොත් සිදුවන්නේ නිකම්ම ක්‍රිබ් එකට නම යාමය. එවිට කිසිදු තැනකින් ණය ගත නොහැක. එවිට කොහොමත් බංකොලොත්ය.

අපට රටක් වශයෙන් ඒ තැනට වැටීමේ වුවමනාවක් තිබුණේ නැත. එනිසා අප මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරදී යම් වැඩ සටහනකට අනුගතවීමට අවශ්‍ය කටයුතු කළේය. ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතිවිය හැකි තත්ත්වය කලින්ම පුරෝකථනය කර තිබුණි. එහෙත් ඒවා ගණන් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

2020 කොරෝනා කාලයේ දී මූල්‍ය අරමුදල කිසිදු කොන්දේසියක් නැතිව බොහෝ රටවලට මුදල් ලබා දුන්නේය. ලංකාවටත් ඩොලර් මිලියන 800ක් පමණ එලෙස ගැනීමේ අවස්ථාව තිබුණි. මේ මුදල් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියද අවාසනාවකට මෙන් ඔවුන් මෙරට ණය තිරසාර නොවන බවට ලැයිස්තුගත කර තිබුණි. ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව පෙන්නා දී තිබුණි.

එහෙත් ඒ අවස්ථාවේ ආණ්ඩුව ඒවා ප්‍රතික්ෂේප කර දේශීය මොඩලයකින් අර්බුදය විසඳා ගන්නා බව ප්‍රකාශ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයෙන් ඉන්දියාවෙන් 2020 දී ඉල්ලීම් කළද ඒවා සාර්ථක වූයේ නැත. ලෝක බැංකුවෙන්ද යහපත් ප්‍රතිචාර නොවීය. ඔවුන්ට විශ්වාස කළ හැකි ශක්‍යතා වාර්තාවක් පෙන්නුම් කළ යුතු වුවත් ඒවා වූයේ නැති තරම්ය. ඒ අතර මුදල් හුවමාරු කෙටි කාලීන ණය හරහා යම් පමණකට රට ඇදගෙන ගියේය.

සංචිත යොදවමින් සෑහෙන කාලයක් රුපියලේ අගය රැක ගත්තේය. සංචිත හිඳෙන විට කළේ රුපියල පාවීමට ඉඩ හැරීමය. 203කට තිබූ රුපියල 380ට ගියේ ඒ අනුවය. මේවා කරන ක්‍රමයක් තිබේ. විනිමය අනුපාතිකය අනෙක් සියලු ප්‍රතිපත්තිවල අවසන් ප්‍රතිඵලයයි. මෙවැන්නක් කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකර, මුදල් ප්‍රතිපත්ති දැඩිකර, පිස්කල් ආදායම් වැඩි කිරීම ආදිය කළ යුතුව තිබුණි. එහෙත් අන්තිමට කළ යුතුව තිබූ දේ මුලින්ම කළේය. රුපියලේ අගය සියයට අසූවකින් පමණ පිරිහීම නිසා උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. අද දකින්නේ ඒවායේ බලපෑම්ය.  අත්‍යවශ්‍ය දේවල් නැති වූයේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වූයේ පැය 13ක විදුලි කප්පාදුවකට ගියේ මේවායේ ප්‍රතිඵලයක් වශයෙනි. මිරිහානේ සිදුවීමෙන් පසු විදේශ විනිමය ලැබීම් තවත් අඩුවූවේය. ඇතිවූ පීඩනය හමුවේ ආණ්ඩුව පෙරළා දැමීමට ජනතාව කටයුතු කළෝය.

මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් සිටින්නේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමටය. ඉදිරි දින කීපයේදී ඔවුන් සමඟ සම්මුතියකට පැමිණීමට හැකිය යන විශ්වාසය තිබේ. ණය ගෙවීම පැහැර හැරීම නිසා තිබෙන විදේශ විනිමය තෙල්, ගෑස් ගෙන්වීමට යොදා ගැනීමට හැකිවී තිබේ. එසේ නොවුණා නම් තවමත් රටපුරා දිගු පෝලිම්ය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට බදු සංශෝධන කර තිබේ. එය ප්‍රමාණවත් නැත. ඉදිරියේ දී තවත් සංශෝධන කිරීමට සිදුවනු ඇත.

අවම වශයෙන් සියයට 15ක මට්ටමටවත් රාජ්‍යයේ ආදායම වර්ධනය කරගත යුතුය. බංකොලොත් බව ප්‍රකාශ කළ පසු අපට ණය ලැබෙන්නේ නැත. එනිසා ලැබෙන ආදායම කළමනාකරණය කරගත යුතුය. මුදල් සහ පිස්කල් ප්‍රතිපත්ති දැඩි කළ යුතුය. පෙර වසරේ ඩොලර් බිලියන දෙකක් වූ ආනයන වියදම සඳහා දැන් වැය කරන්නේ ඩොලර් බිලියන 1.3කි. එසේ වී ඇත්තේ ඉහත කී දැඩි ප්‍රතිපත්ති හේතුවෙනි. මේ දැඩි ප්‍රතිපත්ති නිසා බොහෝ ව්‍යාපාර පහත වැටීමක්ද සිදුව තිබේ. ගොඩඒමට තිබෙන්නේද මෙතැනින්මය. නැවතත් ආනයනයට පෙර පරිදි ඉඩ දුනහොත් ආනයන වියදම වැඩිවී තෙල්, ගෑස් ගෙන්වීමට විදේශ විනිමය හිඟවනු ඇත. ජනතාව පාරට බසිනු ඇත. එවන් තැනක දී නැවත ආණ්ඩුව වෙනස් වන්නටද ඉඩ තිබේ.

එනිසා තිබෙන්නේ අමාරු කාලයකි. මේ කාලය අමාරුවෙන් ගෙවා ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ගොස් ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වසරක් දෙකක් අවශ්‍යය. මේ අමාරු කාලය මේ වසර අවසන්වන තෙක් පැවතිය හැකිය. මේ කාලයේ දී ජනතාවට අවශ්‍ය අවම පහසුකම් සලසන්නේ කෙසේ දැයි අභියෝගයකි. යම් ප්‍රගතියක් දැක ගන්නට පුළුවන. ආනයන බිල අඩුවීම උදව්වක් වී තිබේ. යළිත් රථ වාහන තදබදය ක්‍රමයෙන් ඇති වෙමින් තිබේ.

මේ ආකාරයට ඉන්ධන පිච්චීමට ගියහොත් නැවතත් තෙල් පෝලිම් ඇතිවේ ද යන බිය තිබේ. මේවා කළමනාකරණය කරගත යුතුය. ආනයන සීමා පනවා ඇත්තේ ඒ අරමුණෙනි. ආනයන වියදම තවත් ඩොලර් මිලියන දෙතුන් සියයකින් අඩුකර ගතහොත් පහසුවෙන් ඉන්ධන, ගෑස් සපයා ජනතාවගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට අවස්ථාව උදාකරගත හැකිය. මූල්‍ය අරමුදලේ කටයුතු නිමවන තෙක් ඉදිරි මාස තුන හතරේ කටයුතු පහසු වන්නේ නැත.

මේ අවස්ථාවේ කරන්නට සිදුව ඇත්තේ අමාරුම කටයුතුය. ඉන්ධන, විදුලි ගාස්තු ජල බිල් වැඩි කිරීමට සිදුව තිබේ. මේවා මෙතෙක් කල් නොකර සිටීම නිසා දැන් නොකර බැරි තැනට තල්ලු වී තිබේ. මේ නිසා පීඩනය, වේදනාව වැඩිය. කුමන ආකාරයකින් හෝ මේවායෙන් වැඩිම බලපෑම තිබෙන්නේ අඩු ආදායම්ලාභීන්ටය. උද්ධමනය සියයට 60ක් යනු ගිය වසරේ රුපියල් සියයකින් ජීවත් වූ කෙනා මේ වසරේ රුපියල් 40කින් ජීවත් විය යුතු බවය. ඇතැම් අයට මේ තත්ත්වය දරාගත හැකිය.

කුලී වැඩ කරන අයෙක් ගිය වසරේ රුපියල් 1500ක් අය කළා නම් මේ වසරේ එය රුපියල් 3000 දක්වා වැඩිකර තිබේ. ත්‍රීවිලර් පදවන අය කිලෝ මීටරයට සියයක් අය කළා නම් දැන් එය රුපියල් 200ක් කර තිබේ. මෙවන් අයට පවතින තත්ත්වය කළමනාකරණය කරගත හැකිය. එහෙත් දුප්පත් අය, ස්ථාවර ආදායම් ලබන අය, රජයේ සේවකයන්, විශ්‍රාමිකයන් ප්‍රශ්නයට මුහුණදෙන බව අමතක නොකළ යුතුය. සමාජ ආරක්ෂණ ජාලයට අනිවාර්යයෙන් මුදලක් වෙන් කළ යුතු බව මූල්‍ය අරමුදල පවා පෙන්නා දෙන්නේ මේ නිසාය. එසේ නොවන තැනක අමාරු ආර්ථික ප්‍රතිසංස්කරණ තිරසාරත්වයට පත්කළ නොහැක.

ජනතාවට ජීවත්වීමට නොහැකි වූ විට ඕනෑම දෙයක් කරන්නට පුළුවන. එවන් රැල්ලක් තවම මේ රටේ ඇතිවූයේ නැත. පසුගිය කාලයේ අරගලය ලෙස පැමිණියේ වෙනත් රැල්ලකි. අඩු ආදායම්ලාභීන්ට ජීවත්වීමට නොහැකිව පාරට බැස්සොත් එය කෙළවර වන්නේ ලේ වැගිරීමකිනි. එය පාලනය කිරීමට නොහැක.

උද්ධමනය පාලනය වැදගත් වන්නේ ඒ නිසාය. පවත්නා උද්ධමනයට සරිලන ආකාරයට ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම අවශ්‍යය. ඉදිරියේ තිබෙන අභියෝගය එයයි. මෙයින් ගොඩ ඒමට ඇති එකම වැඩ පිළිවෙළ වර්තමානයේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ මිස වෙනකක් එකක් නොවේ. නිවැරැදි මාර්ගය එයයි. ඇතිවන පීඩන වැළැක්විය නොහැක.

සකස් කළේ - චමින්ද මුණසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ



අදහස් (1)

ආර්ථිකය ගොඩනගන්න කළ යුත්ත

asanka Tuesday, 13 September 2022 08:26 PM

අද බොහෝ දෙනෙක් විවේචනය කරන කරුණක් නම් 2019 දී සිදුවූ බදු කපා හැරීමයි. ඒ සමයේ සිදුවූ තවත් දෙයක් නම්, පොලී අනුපාත අඩුවීමයි. පසුගිය "යහපාලන" සමයේ විශාල වශයෙන් විදේශ ණය ලබා ගත්තත්, දල දේශීය නිෂ්පාදනයේ ඊට සමාන්තර වර්ධනයක් තිබුණේ නැහැ. මා සිතන්නේ වර්තමාන රජය බදු කපා හැරීම සහ පොලී අනුපාත අඩු කිරීම සිදුකළේ ආර්ථිකය උත්තේජනය කර, රටේ දල දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමටයි. නමුත් අවාසනාවකට එය සිදු නොවූයේ වසංගතය නිසා රට වසා දැමීමට සිදුවූ නිසයි...

:       3       12

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක්
2024 නොවැම්බර් මස 16 299 0

මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 210 1

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


​නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය
2024 නොවැම්බර් මස 15 58 0

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා


අලි සංගණනයටත් තාක්ෂණික බාධා
2024 නොවැම්බර් මස 14 224 0

ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලි ඇතුන් තදින් බද්ධව ඇත. එහෙත්


අද ඡන්දෙන් ජනතා මතය ජය ගන්වමු
2024 නොවැම්බර් මස 14 213 0

අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනකු ජනතාවගේ ඡන්


ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව කතා කරයි - ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ
2024 නොවැම්බර් මස 13 8547 1

කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site