‘‘සදා උකුලූ තල
මා සුව යහනත
තොලගින් මැතිරූ නැළවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ’’
සෙත් පිරිතක්ව ගැයුණු නැළවිලි මවු ගීයේ අනුහසින් සියදහස් දස දහස් වාරයක් ඒ කිරිකැටි දියණියගේ සිත සුවපත් වෙන්නට ඇත. රක්තවර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පත්කළ ආදරයේ උත්තරීතරත්වය සඳ මඬලක්ව ඒ දරු පැටවුන්ගේ හද මඬල සනසවන්නට ඇත.
එහෙත්
‘‘ඇකය පුරා පැන දැඟලිලි පාලා දෙතොල් පුරා රස කිරි තවරලා.’’
|
|
|
මියගිය කාන්තාව, සැමියා සහ දියණිය සමග |
නැළවිලි ගීයෙන් දරුවන් සැනසූ ඒ අම්මාටම දරු පැටවුන් තුරුලට ගෙන මරණය ඉල්ලා සිටින්නට සිදු වූයේ කොතැනකදී කා අතින් සිදු වූ වරදක් නිසා වුවත් මරණය පැමිණෙන තුරු මරණය සොයා යාම කිසිදු ලෙසකින් සාධාරණීකරණය කළ නොහැකි බව අප හැඟීමයි. ලෙයක් කිරට කර පෙවූ සමනළ පැටවුන්ගේ ජීවිතය මත මරණයේ ඉරණම බලහත්කාරයෙන් ලියවන්නට මේ ලොව කිසිම මවකට, පියකුට අයිතියක් හෝ හිමිකමක් නැති බව අපේ හැඟීමයි.
එහෙත් සෙනෙහසින් ළය හොවා ඇති දැඩි කළ දරු පැටවුන්ද සමඟින් මරණය සොයා යන්නට මවක සිත පෙළඹ වූ ඛේදාන්තය දෙස සානුකම්පිතව නොබලන්නට හිතක්, පපුවක් හැඟීමක් ඇති කිසිවකුටවත් නොහැකි බව අපි විශ්වාස කරමු.
ඇයි අම්මේ මෙහෙම කළේ. කියා දෙන්න මේ දේ විතරක්.. ආදරේ නැති හින්දද? නැත්නම් ආදරේ වැඩි හින්දද? අම්මගේ අත් දෙකින්ම අපව කෝච්චියට තල්ලූ කළේ. ජීවත්වෙන චාරුණ්‍යාත් මියැඳුණු ඉරාජිත් තමන් බිහිකළ අම්මාගෙන් අසන ප‍්‍රශ්නය එයයි සිතේ.
කෝච්චිය එද්දී අම්මා නංගීත් වඩාගෙන මගේ අතින් අල්ලාගෙන කෝච්චි පාරට පැන්නා. මා අම්මාගේ අත ගසා දමා කෝච්චි පාරෙන් පිටතට පැන්නා. ඒ සමඟම අම්මා කෝච්චියේ හැපුණා. ඒ දුම්රියට පැන දිවි නසාගත් පෙර පාසල් ගුරුවරියගේ වැඩිමල් දියණි චාරුණ්‍යා දුන් සාක්‍ෂියයි. මවත් නැගණියත් යකඩ යකාට යටවෙද්දී දිවි ගලවා ගත් දියණිය වතුපිටිවල රෝහලේ පැවති තම මවගේ සහ දියණියගේ මරණ පරීක්‍ෂණවලදී සාක්කි දෙමින් එසේ පැවසුවාය.
ඒ ඉකුත් 13 වැනිදාය. වේයන්ගොඩ කීනවල දුම්රිය නැවතුම්පොළ අසල මවක් තම දියණියන් දෙදෙනා තුරුලූ කොට ගෙන බලා සිටියේ මරණය සොයා යන්නටය. වේලාව සවස 1.10ට පමණ විය. කිලිනොච්චිය සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රිය තමා අසලට ළංවෙන තෙක් පන්නල හොරවඩුන්න පදිංචි පී.ජී. මංජුලා එරන්දි ප‍්‍රියශාන්ති 32 හැවිරිදි දෙදරු මව බලා සිටින බව දැන සිටියේ ඇයම පමණකි.
දෙහැවිරිදි දියණියත්, නම හැවිරිදි දියණියත් මව් සෙනෙහස තුරුලූව බලා සිටියේ මරණය පැමිණෙන තෙක් නොවේ. ඒ මරණය ගැන හැඟීමක් ඒ පුංචි සිත්වල නොතිබූ හෙයිනි.
නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ එරංදි ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියක් වූවාය.
ඇය විවාහ වී සිටියේ ඉන්දික නීල් ජයශාන්ත සමඟය. ඔහු පන්නල ප‍්‍රදේශයේ ඇඟලූම් පාලක ගබඩාවක සේවය කරයි. මංජුලා සහ ඉන්දික නෑනලාxමස්සිනාලාය. මේ ඇවැස්ස නෑකම නිසාම කුඩා වියේ සිටම දැන හඳුනාගත් ඔවුන්ගේ සිත්වල ලෙන්ගතුකම කෙළවර වූයේ විවාහයෙනි. විවාහය සඳහා උත්සවයකට දින නියම කරගෙන සිටියත් එරන්දිගේ පියා හදිසි අනතුරකින් මිය යාම නිසා උත්සවයකින් තොරව මේ යුවළගේ විවාහය සිදුවිය.
විවාහයෙන් ඉනික්බිති ඔවුහු පුංචි නිවෙසකට ද අන්තිවාරම් සකස් කළහ. ආදරය, සතුට, නිදහස පිරුණු ඔවුන්ගේම ජීවිතයක් ඔවුන්ගේ ප‍්‍රාර්ථනය විය. පුංචි කැදැල්ල දරු පැටවු දෙදෙනකුගේ සුරතල් සිනා හඬින් පිරෙද්දී ඉන්දිකගේ මවත් පියාත් ඒ පුංචි නිවෙසට පැමිණ ඔවුන්ට අයත් මහගෙදර මේ පුංචි පවුලේ වාසයට පවරා දුන්නාය.
‘‘කාලය ගතවෙද්දී ඉන්දික මත්පැන් වලට ඇබ්බැහි වුණා. ගෙදර තිබුණු සතුට සැනසීම ටිකෙන් ටික අතුරුදන් වී ගියා. රණ්ඩු සරුවල් ඇති වුණා. එරංදි එම ගමේම තිබූ සුමන පෙර පාසලේ සහාය පාලිකාව ලෙස කටයුතු කළේ වයඹ පළාත් සභාවේ සකුරා පුහුණු මධ්‍යස්ථානයෙන් ලබාගත් ඩිප්ලෝමා පුහුණුවක් ද සමඟින්.” නිවසේ අඬ දබර ඉවර නැත්තේ ගෙදර අපලයක් නිසායැයි කියලා සිතූ ඔවුන් ඒ නිසා නිවෙසත් කඩලා වෙනස් කළා.
12 වැනිදා රාත‍්‍ර‍්‍රීයේත් එරන්දි හා ඉන්දික අතර රණ්ඩුවක් ඇති වුණා. ඉන්දික එරන්දිව මඟහැරලා අම්මා තාත්තා ඉන්න නිවෙසට ගියා. ඉන්දිකත් අම්මාත් එරන්දි ගැන කතා කරමින් සිටි සියල්ල ඇය නිවසේ පිටු පස සිට අසා සිටියා.
එරන්දි එතැනට පැමිණීමත් සමඟම නැවත රණ්ඩුව ඇති වී ගුටිබැට හුවමාරුවක්ද ඇති වුණා. යළි ඔවුන්ගේ නිවසට ගිය පසුත් මේ දෙදෙනා රණ්ඩු වුණා.
ඒ ඉන්දිකගේ පියා කියන කතාවයි.
අම්මා මාත්, නංගීත් අරගෙන ගෙදරින් පිටත් වුණා. ඒ යතුරුපැදියෙන් අපි දෙන්නවම යතුරු පැදියේ තබාගෙන අම්මා යතුරුපැදිය පැදෙව්වා. බෝවත්ත හන්දියේ තේ කඩයක් අසල අම්මා යතුරු පැදිය නවත්වලා උදේ තේ බීවා. තේ කඩය ළගින් අම්මා අපවත් අරන් බස් රථයකට ගොඩවුණා. අම්මා අපිවත් අරගෙන ආවේ ගිරිඋල්ලට. ගිිරිඋල්ලෙන් මීරිගමට ඇවිත් අම්මා කීවා අපි චූටි මාමලාගේ ගෙදර යනවා කියලා.
අපි ඉල්ලන්නෙත් නැතුවම අම්මා අපට මීරිගමදී ටිපි ටිප් පැකට් පහකුයි කිරි පැකට් තුනකුයි අරන් දුන්නා. ඇයි අම්මේ අපට මේ තරම් කෑම අරගෙන දුන්නේ කියලා මා ඒ වෙලාවේ අම්මාගෙන් ඇහුවම අම්මා කීවා පුතේ මම ඔයාලට බඩ පිරෙන්නම කන්න අරන් දෙන අන්තිම කෑම තමා මේ කියලා.
අම්මා මීරිගම දුම්රිය පොළෙන් ගම්පහට ‘ටිකට්’ ගත්තා. ඊට පසුව දුම්රියකට ගොඩවුණා. දුම්රිය කීනවල දුම්රිය ස්ථානයේ නතර කළාම අම්මා වැඩිය සෙනඟක් නැහැ කියලා අපි දෙන්නවත් අරගෙන දුම්රියෙන් බැස්සා.
කීනවල දුම්රිය නැවතුම් පොළේදී මා අම්මට කිව්වා මට වැසිකිලි යන්න ඕනැ අම්මේ කියලා. අම්මා මාව ඒ ළඟ නිවෙසක වැසිකිළි එක්ක ගියා. මම වැසිකිළියෙන් එළියට එද්දී අම්මා කීවා අන්න කෝච්චියක් එනවා. දැන්නම් කෝච්චියට පනින්නම ඕනැ කියලා. අම්මා මගේ අතින් අල්ලාගෙන නංගීත් වඩා ගෙන දුම්රිය පාරට පැන්නා. මම අම්මාගේ අත ගසා දාලා කෝච්චි පාරෙන් පිටතට පැන්නා. මම දැක්කා මගේ අම්මයි, නංගියි කෝච්චියට හැප්පෙන හැටි.
අම්මයි නංගියි කෝච්චියේ හැප්පුණාට පස්සෙ කෝච්චිය ටික දුරක් ගිහින් නතර වුණා. මගේ නංගී තුවාල වෙලා ලේ පෙරාගෙන වැටී හිටියා. මම මගේ නංගීව වඩා ගත්තා. ඒ එක්කම මට කලන්තයක් හැදුනා. මම මගේ නංගී දඟලන හැටි දැක්කා. මම මගේ අම්මාගේ මූණ දැක්කෙ නැහැ. ඊට පෙර තුන් පාරක් අම්මා කෝච්චියට පනින්න හැදුවත් මම කෑ ගැසුව නිසා අම්මා ඒ තුන්වතාවේදීම කෝච්චියට පැන්නේ නෑ.
චාරුණ්‍යා ඛේදවාචකයක් සුසුමකට ඉඩහැර කඳුළු වැගිරෙන නෙතින් සුසුම්බර හඬකට මුසු කළේ එලෙසිනි.
අපි විවාහ වී වසර 11ක් වෙනවා. මා ගිරිඋල්ලේ පන්නල පිහිටි ඇඟළුම් ආයතනයක පරිපාලකවරයකු ලෙස සේවය කරනවා. අපේ ගෙදර සිටින්නේ මමයි බිරියයි දරුදෙදෙනායි. මගේ මව සහ පියා අපි පදිංචිව සිටින නිවෙස අසලම පිහිටි නිවෙසක පදිංචිව සිටිනවා.
12 වැනිදා මම වැඩ ඉවර වෙලා හවස 6.30ට ගෙදර ආවා. තේ පානය කරලා හන්දියට ගිහින් රෑ 9.00ට විතර ගෙදර ආවා. එදා අපි අතර ආරවුලක් ඇති වුණා.
13 වැනිදා උදේ මගේ බිරිය ගමනක් යාමට ලෑස්ති වුණා. මම ඇයගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අම්මලාගේ ගෙදර යනවා කියලා ඇය දරු දෙදෙනාත් රැුගෙන නිවෙසින් පිටව ගියා. මම උදේ 8.00 වෙද්දී රැකියාවට ගියා.
|
මියගිය මව හා දියණිය |
බිරිය මට අතරමගදී කතාකරලා කීවා මම ආයේ ගෙදර එන්නේ නෑ කියලා. මේ මරණය ගැන මට සැකයක් නෑ. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් කළ දැනුම් දීමකට අනුව එතෙනට පැමිණ මම ඔවුන්ගේ මළ සිරුරු හඳුනාගත්තා. ඒ එරන්දිගේ සැමියා කළ විවරණයයි.
ඔබේ සෙනෙහස මගේ ජීවිතයයි යනුවෙන් හැඟුණ හිතටම සෙනෙහසට වඩා මරණය සුවදායි ලෙස දැනෙන ඉරණම එදා කුවේණියට මෙන්ම අද බොහෝ ගැහැනුන්ටද සාධාරණ බවට මේ සමාජය විසින්ම සාක්‍ෂි සපයයි. අපි ලියා තබමු. මේ ඒ සත්‍යයට එක් සාක්‍ෂියක්ම පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්‍රශ්න තිබුනත් මේ වගේ අපරාධයක් කරගත්තේ මොකටද? පොඩි දරු පැටියා මොනව කළාටද?නුගත් කෙනෙකුත් නෙවේ.අනෙක් දරුවට මුළු ජීවිත කාලයටම අමතක කරන්න බැරිවේවි. නංගිව වඩා ගත්තලු.මම වගේම තවත් අම්මලා කීදෙනක් මේ සිද්ධියෙන් වේදනා විදිනවා ඇද්ද? මීරිගම මගේ ගම නිසා මට වේදනාව වැඩියෙන්ම දැනෙනවා. (නි)
නීතිය සහ සමාජ ප්‍රතිපත්ති තාම තියෙන්නේ පිරිමියාට ඕන දෙයක් කරන්න පුළුවන් විදියට. සමහර ගැහැණු අය ඒවා විඳගෙන ගුටි කකා ඉන්නවා. සමහරු මේ වගේ දේවල් කර ගන්නවා. මානසික පීඩනය මත අපට කිසිත් කියන්නට බැහැ. 75% ක් විතර පිරිමින්ගේ තියෙන දරදඬු කමට ගැහැණු යට වෙනවා. විවාහ උනොත් ගුටි කකා හරි හිටිය යුතුයි. වෙන්වීමට අවකාශ හෝ නීති නැත. විපාකය ඕකයි.(නදී)
මේ හැම ප්‍රතිචාරයක්ම සිද්ධිය වුනාට පසුව එන ඒවා. කල්පනා කරලා, වෙනස් පසුබිම් වල ඉන්න කට්ටිය දන්නෑ, මමත් ඇතුලුව. නමුත් කෙනෙක් පිඩනයක ඉන්නකොට පසුබිම වෙනස්. හරි වැරදී තේරීම ගොඩක් අඩුවෙනවා. මේ වෙලවට හොද උපදේශන ඕන. කවුරු හරි කතා කරන්න හිටියා නම්, එහෙම පොදු තැනක්, ආගමික පුද්ගලයෙක් හිටියා නම්, මේ තීරණය වෙනස් වෙනවා. දැන් සමාජයේ පීඩනය ගොඩක් වැඩියි. හොඳ සමාජ යාන්ත්‍රණයක් හදන්න ඕන, ප්‍රශ්නයක් විස්වාසව කතා කරන්න පුළුවන් විදියක්. අවංක හොඳ සේවයක්. එවිට බහුතරයක් මෙවැනි දේ නැවතිය හැකිය. (ස)
මගේ මුල් ප්‍රතිචාරයට නිවරදි කිරීමක් : කාන්තාවෝ පුරුෂයන්ට ගරුකල යුතුද ? කරුණාකර මෙය පලකරන්න (නදී)
අපේ රටේ මොනවද මේ වෙන්නේ .මම ඉන්න රටේ නෝනට ගහන මිනිහට විරුද්ධව පොලිසියට කියපු සැනින් මිනිහ අත්අඩංගුවට ගන්නවා . කාන්තාවෝ පුරුෂයන්ට ගරුකළ යුතුය .පුංචි දුවේ ඔයාට බුදු සරණයි. (ස)
මේ ලිපියට අදහසක් දමන්නේ කොහොමද? ගැළවුණු ළමයා සදාකාලිකව විඳවනවා.ඒවා අහන දකින අපිත් දුක්වෙනවා.මේ අඩදබර වලට හේතුව මත්පැන් (නි)
දැන් ඔය මියගිය දෙන්නා ගැන හිත හිතා ජිවිතකාලේම විදවන්න වෙනවා. (නි)
දැන් මේ ප්‍රස්නෙන් ගොඩාක්ම අසරණ වෙන්නේ මේ ජිවත් වෙන දරුවා. එයාට කවදාවත් මේ සිද්දිය අමතක වෙන්නෑ.පුතයි ලේලියි රණ්ඩු වෙද්දී මේ වැඩිහිටියොත් පුතාගේ පැත්ත අරන්. වැඩිහිටියෝ බුද්දිමත් වුනානම් මෙපමණ දුරදිග යන්නෑ.මෙය පාඩමකට අරන් තමන්ගේ අසල්වැසියා ගැන වුනත් මෙයිට වැඩිය සැලකිලිමත් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.චුටි දුවව ධර්මය පැත්තට යොමු කලොත් ජිවිතේ යතාර්ථය අවබෝද කරන් එයා මනසින් වර්දනය වේවි.(අ)
දරුවන් දෙදෙනාම හරිම පව්. එහෙත් ගැහැනියෙකුටත් ඉවසීමේ සීමාව අවසන් වුණාම මොනවා කරන්නද. ගැහැණු දරුවෝ දෙන්නෙක් නිසා මේ අම්මා මෙයාලව තියලා යන්න බය වෙන්න ඇති. (නි)
මම මේ ලිපිය කියවද්දී මේ අම්මා ඇයි මෙච්චර හදිස්සි උනේ කියලා හිතෙනවා.මල් කැකුලක් වගේ හිටිය පුංචි දරුවාව මේ පව් වලට යොදවා ගත්තේ ලෝකේ ඉන්න කොයි අම්මලත් දරුවන්ට ආදරේ නම් තමන්ගේ හිතේ ආවේග වලට දරුවන්ගේ ජීවිත බිලි දෙන්න එපා. (ස) .
මගුල් ප්‍රශ්න තියෙන අය ඇයි මේ දරුවෝ අරන් පනින්නේ? දෙයියනේ දරුවෝ නැති අය කොයි තරම් ඉන්නවද. අඩු ගානේ ළමා නිවාසේකටවත් බාර දීල තමන් තනියම ගිහින් මැරෙන්න එපායැ. කාලකන්නි ගෑණු. මිනිහගෙන් පලිගන්න තමා මේක කරලා තියෙන්නේ. උගත් මෝඩියක් . මට දරා ගන්න බැ ලොකු දරුවාගේ ප්‍රකාශනය. නංගි දගලන හැටි දැක්කා කියන. අපි පව් කරලා තියනවා මේ වගේ පුවත් අහන්න. කරුණාකරලා දැන් ජීවත් වෙලා ඉන්න දරුවා ගැන සලකලා බලන්න වෙනවා. මොකද එයා කම්පනයට පත් වෙලා ඉන්න නිසා. (ස)
මේ සේරටම මුල මත්පැන්.හොඳ සිහියෙන් හිටියා නම් ප්‍රශ්නයක් තිබුනා නම් සමගියෙන් විසදාගන්න තිබුනා. දැන් මේ පුද්ගලයට හොඳට නින්ද යනවා ඇති.හැන්දෑවට මත්පැන් බීලා අසිහියෙන් ගෙදර එන තිරිසන් සත්තු දුටු දුටු තැනදී අඩු කඩා දාන්නයි වටින්නේ.දරුවන්ටත් බිරිදටත් මීට වැඩිය කොඩිවිනයක් තියෙනවද? හැන්දෑවට හොඳ සිහියෙන් ගෙදර එන සැමියා නිවසට මොනතරම් සිරියාවක්ද?හරියට කළුවර අහසට පුන්සඳ පෑයුවා වගේ. එහෙම කෙනෙක් ගෙදර එනකම් දරුවෝ බිරිඳ මොනතරම් අාසාවෙන්ද බලාගෙන ඉන්නේ. (නි)
" මම මගේ නංගී දඟලන හැටි දැක්කා" මේ පුවත සම්පූර්ණයෙන් කියවන්න මට අපහසුවුනා. මගේ පපුව පැලෙන්න වගේ දැනෙනවා, මට දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා. මොන හිතකින්ද මේ අම්ම මේ වගේ තීරණයක් ගත්තේ? මේ පුංචි දරුවා කාට කුමන පවක්ද කලේ? ජීවතුන් අතර සිටින දෝනි කෙසේ මේ වේදනාව දරා ගයිද? ඔහු බේබද්දෙක් නම් ඔහු සමඟ ජීවත් වෙන්න අකමැති නම් ඔහුගෙන් වෙන් වෙලා දරුවන් සමග මොනවා හරි රැකියාවක් කරලා ජීවත් වෙන්න් තිබුන නේද? අනේ සහෝදරියනි මින් ඉදිරියට මේ වැඩේ අනුවන් තීරණ ගන්න එපා දරුවන් ගැන සිතල හරි ජීවිතයේ නිවැරදි තීන්දු තීරණ ගන්න. (නදී)
පවුලක් යනු සමාජයේ කුඩාම ඒකකයයි.එයට අර්බුද ඇතිවන විට මුළු සමාජයම අර්බුදයට පත්වේ.සැමියා සහ බිරිද නියමුවන් දෙදෙනෙකි. ඔවුන් එකිනෙකා සහයෝගයෙන් කටයුතු කළයුතුයි.ප්‍රශ්න වලට හරි සහ වැරදි විසදුම් තිබේ,අප බුද්ධිමත් නම් තෝරාගත යුත්තේ කුමක්ද? (නි)
මීටත් වඩා ප්‍රශ්ණ තියෙන, මැරෙන්න විදියක් නැතිව, නොමැරී ජීවත් වන තව කී දාහක් නම් මේ විශ්වයේ ඇතිද දෙවියනේ. (ස)
ගැහැනියක් කසාඳ බැඳලා එන්නේ තමන්ගේ අම්මලා අත්ඇරලා.එතකොට ඇයගේ මුළු ජිවිතෙම වෙන්නේ කසාඳ බැඳපු කෙනා.මුලින් හොඳින් ආදරෙන් ඉඳලා තමයි ඇයගේ මහත්තයා බොන්න පුරුදු උනේ.ගැහැනියක් ළමයි හදනවා විතරක් නෙවේ හැමදේම කරනවා.ළමයට තේරෙන් නෑ.මහත්තයාගේ වෙනසක් දකින්න ඇති නැතිනම් කිසිම ගැහැණියෙක් තමන්ගේ මහත්තයා එක්ක රණඩු වෙන්නෙ නෑ.ඒ මහත්තයට බොන්න උනේ ඇයි.සල්ලි ප්‍රශ්න නිසාද නැත්නම් වෙනින් සම්බන්ධයක් තිබිලා ඔහුට මෙයාගෙන් ඈත් වෙන්න ඕනි නිසාද.කිසිම ගැහැණියෙක් කැමති නෑ තමන්ගේ මහත්තයා බොනවට. මැරෙන්න ගියේ ජිවිතේ පණටත් වැඩ ආදරේ කරපු කෙනා ඇයට මේ විදියට සලකද්දී අයගෙන් ලැබුන උතුම්ම තෑග්ග වන ළමයි දෙන්නට ජිවත් වෙන්න ඕනි නෑ කියල හිතල ඇයට.ඉවසන්න බේරී තැන කවුරු උනත් කරන්නේ මැරෙන එක නවත්තන්න පුළුවන් වෙන්නේ කසාඳ බැදපු ඔයාලටම.ඇයට තිබ්බ ළමයි අත් ඇරලා වෙන කෙනෙක් එක්ක යන්න, ඇයත් හිතුවේ එහෙම කරලා ළමයි අනාත කරනවට වඩා ළමයි එක්ක මැරෙන එක ගැන.මම කියන්නේ කසාදෙ කියනේ බීලා රණ්ඩු වෙන එක නෙවේ.දෙන්න තුන්දෙනා කරගෙන හැමදාම සතුටින් ඉන්න එක.මහත් වරුණේ ඔයාල කරන වැරදි වලට නෝනලා පලි නෑ.මතක තිය ගන්න ඔය අරක්කු බොනවට කැමති නෝනා කුඩා.එ හෙනම් ඒ නෝනා ඔයා බොනවට කැමති ඔයාව ඉක්මනට මැරෙනවා දකින්න ආස නිසා. තේරුනාද. (ස)
හරිම දුකයි (නි)
මමත් සිගිති දියණියක් ඉන්නා තාත්තා කෙනෙක්. අපි අතර මොනතරම් වාද විවාද ඇති වුණත් ඒවාට අපේ දරුවන් පළි නැහැ .මම නම් ඉල්ලන්නේ චුටි දරු පැටවුන්ට ගිනි දෙන්න එපා.පුංචි හදවත් වල ඒවා ලොකුවට තැන්පත් වෙනවා.අනික කාන්තාවක් කියන්නේ ස්වභාවයෙන්ම අසරණ කෙනෙක්.සැමියාගේ රැකවරණය කාන්තාවකට අවශ්‍යයි (නි)
කණගාටුයි පුංචි කෙල්ලේ...නොදැමුණු සම් මස් ලේ නහරින් පිරුණු අසරණ ජීවිත කතාවක්. මලක් පුදනා විටෙක පින් දෙන්නම් මෙවන් දේ යලි නො අසන්නට. සැමට නිවන් සුව පතමින්.(දිල්)
ගෆුර්, මටත් ඔබට සිතුණු ආකාරයටමයි සිතෙන්නේ (නි)
ජීවිතයේ ඇති ප්‍රශ්න විසඳා ගැනීමට බැරි අන්තිම තැන එකම විසඳුම වශයෙන් දියණියන්ගේ ජීවිතයන්ද නැතිකරන්න සිතමින් මේ අම්මා දුම්රියට පැන එක දියණියක් සමග තම වටිනා ජීවිතයද නැතිකරගෙන ඇත. මේ කාන්තාවට ජීවත් වීමට අවශ්‍ය සැම දෙයක්ම තිබී ඇතත් මනසින් මහත් පීඩනයකට ලක්වී ඉතාමත් අසරණ තත්ත්වයක සිටියා විය යුතුයි. එයින් මිදීමට ඇය වටහා ගත් එකම මග සියදිවි නසා ගැනීම විය යුතුයි. දිනෙන් දින පවුලේ ප්‍රශ්න කොතරම් උග්‍ර වුවත් අඩුම වශයෙන් තමා ලොවට බිහිකළ දරුවන් දෙදෙනා වෙනුවෙන්වත් ජීවත්විය යුතුයි මට සිතේ. මේ පිටුවේම අනිත් ප්‍රවෘතියක ආදර්ශවත් මවක් හරියට ජීවත්වීමට ගෙයක් දොරක්ද නොමැතිව දෛනික ජීවිතයේ ඇති සෑම දුකක් විඳ දරාගෙන තම දරුවන්ට අවශ්‍ය අධ්‍යපනය ලබාදීමට ඉමහත් වෙහෙසක් දරයි. (අ)
මොන පවුලකද ප්‍රශ්න නැත්තේ ? එනිසාම දිවිනසාගන්න එක මෝඩකමක් නොවේද ?ඒ වගේම දරුවාටත් වන්දි ගෙවන්න වුණා නොවේද? (නි)
මේ මරණයේ වග කිව යුත්තා අනියම් අන්දමින් අයගේ සවාමි පුරුෂයා . එහෙත් සිදුවී ඇති අන්දමට ඔහුට විරුද්ධව කිසිවක් කිරීමට නොහැක . මෙවැනි තිරිසුන් මිනිසුන් නිසා අහිංසක ජිවිත ඉදිරියටත් නැති වීමට ඉඩ තිබේ (නදී)