IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉන්දීය ණය අලුත් ගමනකට ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු ප්‍රපාතයක පවතින බව නොරහසකි. රාජ්‍ය ආදායම පත්ලටම වැටී තිබේ. විදේශ විනිමය සංචිත පිරිහී ඇත. ජීවන වියදම හා භාණ්ඩ හිඟය මෙම සංකීර්ණ ව්‍යුහය දක්වයි. ඖෂධ, ආහාර හෝ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය පවා සීමා කරන්නට සිදුවී තිබේ. ඉන්දීය රජය හදිසි ණය ආධාරයක් සපයන අතර බරපතළ දුෂ්කර කාල පරිච්ඡේදයක දී මිත්‍ර රටකින් ලැබුණ උපකාරයකි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝඨාභය රාජපක්ෂ අතර පවතින ද්වීපාර්ශ්වික සබැඳියාව මෙහිදී සංකේතවත් කෙරේ. ආසන්න රටවල් අතර පැවැතිය යුතු විශ්වාසය සහ අන්‍යොන්‍ය ගෞරවය සම්බන්ධ උච්ච අවස්ථාවකි. ලෝකයේ අනෙක් කලාපවල ලොකු කුඩා රටවල් පවතින මතබේද සමග සසඳනවිට ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ජාත්‍යන්තරයට ආදර්ශයකි.

හදිසි අතමාරු නුහුරු අත්දැකීම් නොවේ. අතමිට හිඟ අවස්ථාවක අනුගමනය කරන ක්‍රමයකි. මෙම තාවකාලික සහනය ප්‍රයෝජනයට ගන්නා අතරවාරයේ අලුතින් හිතන්නට සිදුවේ. ආදායම නංවන අතරවාරයේ විදේශ වත්කම් තරකර ගැනීම අවශ්‍යය. මෙතෙක් පැමිණි ගමන්මග අතරවාරයේ වරද්දාගත් තැන් ගැන සොයා බලා ඒවා නිවැරැදි කරගත යුතුය. පැවැත්ම සම්බන්ධ නව ප්‍රවේශයකට ඇතුළුවීම පාලකයන්ගේ වගකීමකි. ඉන්දීය ණය ආධාර සැලැස්මක එක කොටසක් පමණක් වන අතර දැනට පත්ව ඇති අභාග්‍ය සම්පන්න තැන රටට ගැළපෙන දර්ශනයක් ගොඩනගාගන්නට අවස්ථාවකි. 

ඉන්දියානු ණය ආධාරය 

ඇමරිකානු ඩොලර් බිලියනයක ඉන්දීය ණය ආධාර මතුපිටින් පෙනෙන වහාම ලැබුණ ණය මුදලකි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය බලධාරීන් අතර පැවැති සාකච්ඡා වටවල දී කුලුනු හතරකින් යුතු සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. 

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වූ ණය පහසුකම එහි මූලික අංගයයි.

ඉන්ධන ආනයන වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය සහ ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීම ඇතුළත් බලශක්ති ආරක්ෂණ පැකේජයක් දෙවැනි කුලුන වශයෙන් ගැනේ. ගෙවුම් ශේෂ ගැටලු විසැඳීමට ශ්‍රී ලංකාවට සහය වීම සඳහා වූ විනිමය හුවමාරුවක් සහ ආර්ථීක වර්ධනය හා රැකියා උත්පාදනයට දායක වන පරිදි විවිධ ක්ෂේත්‍රවල ඉන්දියානු ආයෝජන සඳහා පහසුකම් සැලැසීම තුන්වැනි හා හතරවැනි කුලුන බව දැක්වේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිලාශ සාක්ෂාත් කර ගැනීමට සහය වන අතර අන්‍යොන්‍ය වශයෙන් එකඟ රාමුවක් තුළ කටයුතු කිරීමට මෙකී පැති හතරකින් යුතු සහයෝගීතාව පදනම් වනු ඇතැයි සැලකේ. 

ණය මුදල වසර තුනකට පසු වාරික වශයෙන් ගෙවිය යුතුය. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනුව එයට අය කරන පොලිය ඉතාම අවම බව දැක්වේ. ඉන්දීය රාජ්‍ය බැංකුව ණය පහසුව සපයන අතර මුදල් අමාත්‍යංශය මෙම ණය මුදල යටතේ ගෙන්විය හැකි භාණ්ඩ තීරණය කරනු ඇත. ඉන්දු ශ්‍රී ලංකා සහන පැකේජය ඇමරිකානු ඩොලර් බිලියනයට වඩා තවත් පුළුල් ව්‍යුහයකට පැතිරී ඇති බව සඳහන් කළ යුතුය. 

ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් වෙනම ඇත. මෙම ණය අනුව තෙල් සංස්ථාවට හා විදුලිය බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන වෙන වෙනම කෙළින්ම ආනයනය කරන්නට ඇති හැකියාව සොයා බැලේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම ගැන සලකා බලන අතර මෙම ණය ආවරණය ඇමරිකානු ඩොලර් මිලියන 750 දක්වා නංවන එකඟත්වයක් ද ඇත. 

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක වෙළෙඳ ගනුදෙනුවලදී සිදුවන විනිමය හුවමාරුව යටතේ ද සහනයක් ප්‍රකාශයට පත්ව ඇත. මෙම රටවල් නවය අතර ගනුදෙනු පාලනය සඳහා ඒෂියන් ක්ලියරින් ඒජන්සිය කටයුතු කරයි. වෙන වෙනම රටවල්වල සිදුවන ගනුදෙනුවක් පාසා ගෙවීම වෙනුවට රටවල් අතර ගනුදෙනු ගණන් බලා අවසාන ශේෂ පියැවීමට ක්ලියරින් ඒජන්සිය මගින් ඉඩ ලැබේ.

මෙම ඒජන්සි වාර්තා දක්වන පරිදි ඉන්දියාවට ගෙවන්නට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800 කි. ශේෂය පියැවීමට සාමාන්‍යයෙන් මාස දෙකක කල් දැමීමක් ඉල්ලුම් කළ හැක. ඉන්දියානු රජය මෙම මාස දෙක අවසානයේ තවත් මාස දෙකක සහන කාලයක් ලබා දී තිබේ. මූලික ණය, ඉන්ධන සඳහා පැකේජය හා මෙම ණය ආපසු ගෙවීම ප්‍රමාදය වැනි කරුණු සලකා බලනවිට සමස්ත වාසිය ඇමරිකානු ඩොලර් බිලියන දෙකහමාරක් ඉක්මවයි.

දුන් සල්ලි නොගත්තේ ඇයි?

ජනතාව මුහුණ පා සිටින ගැටලු දෙස බලන විට ඉන්දියාවෙන් ලැබුණ ණය සහනය විශාල වාසියකි. එහෙත් එයට පසුබිම අමතක කළ යුතු නැත. ගමන වරද්දාගත් අංශ ගැන සොයා බැලිය යුතුය. එය විද්වතුන්ගේ වගකීමකි. රජයට ද සලකා බැලිය යුතු බරපතළ කරුණක් ඇත. ආර්ථික අකාර්යක්ෂමතාව ශ්‍රී ලංකාවේ දුබලතාවකි. මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හේතු සොයා බලනවිට එය පැහැදිලිව පෙනේ. රට තුළ දරුණු ඉන්ධන හිඟයක් පවතින නමුත් ඉන්දියාවෙන් ලබාගත හැකි ඛනිජ තෙල් මිල දී ගැනීම සඳහා වූ ණය සංචිතය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නැත.

වරද ඇත්තේ කොතැනද? සූර්ය බලශක්ති උත්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ඉකුත් වසරේ මැද ඉන්දියාව ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් එයට අත්සන් කර ඇත. එම ආධාර ප්‍රයෝජනයට ගෙන තිබේද? වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහා ඉන්දීය අගමැතිවරයා මෙරට බෞද්ධ පුනර්ජීවනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආධාරයක් ප්‍රකාශයට පත් කරන ලද බව සඳහන් කළ යුතුය. එම මුදල සඳහා ගිවිසුම හෝ අත්සන් කරන්නට තවමත් නොහැකි වූයේ ඇයි?

දෙරට අතර සහයෝගීතාව සඳහා සැලසුම් විශාල ප්‍රමාණයක් සාකච්ඡා වී තිබේ. ආධාර කාඩ් පත හඳුන්වා දීම, ධීවර වරාය සංවර්ධනය, ගුවන් තොටුපොළ දියුණු කිරීම හා වෙළෙඳ ගිවිසුම් ද ඇත. මේවායේ සාධනීය ලක්ෂණ සලකා බලා ඉදිරියට ගෙනයන ක්‍රියාත්මක සාධකයක් රටට නැත. එය බරපතළ අභාග්‍යයකි. ශ්‍රී ලංකාව පත්ව ඇති ඉරණම කෙරෙහි බලපා ඇති අමිහිරි අංශ තුළ සඳහන් කළ හැකි එම පැති අවධානයට ගත යුතුය.

ආර්ථික ගෝලීයකරණය සමග ජාත්‍යන්තරයේ විශාල පරිවර්තනයක් සිදුවෙමින් පවතී. වසංගත තත්ත්වය කරන ලද හානිය බලවත්ය. 2022 හා එයින් ඉනික්බිතිව අලුත් යුගයකට ඇතුළු වෙතැයි සැලකේ. අලුත් ආකෘතියකට තමන්ට අවශ්‍ය පරිදි ආර්ථිකය ගොඩනගා ගැනීම බලවත් රටවල් වෑයම් කරමින් සිටී. ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව හා යුරෝපා රටවල් වෙළෙඳපොළ අයිතිය සඳහා විශාල ආයෝජනයක් කරන වකවානුවකි.

මෙම ආකෘතිය වටහාගත යුතුය. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම ප්‍රවාහයෙන් ගැලවිය නොහැක. අවස්ථා ලබාගන්නා අතර අනන්‍යතාව ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්ය. තමන්ට ගැළපෙන දේ සඳහා මාර්ග සිතියමක් සකස් කරගැනීමට ප්‍රමාණවත් ප්‍රඥාව අවශ්‍ය කෙරේ. ඉන්දියානු ආධාර ආකෘතිය පමණක් නොව එම ව්‍යුහය පදනම් කරගෙන පුළුල් සැලැස්මකට අවතීර්ණ වීම පාලකයන්ගේ වගකීමකි.

2022-2023 කාලය තුළ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.8ක ඉක්මවනු ඇති බව දැක්වේ. අති විශාල ජනගහනයක් මැදි ආදායමට හා එයින් ඉහළට නැගෙනවිට වෙළෙඳපොළ අවශ්‍යතා ප්‍රසාරණය වෙයි. ආනයන සඳහා වැඩි බරක් තබන්නට සිදුවනු ඇත. ඉන්දීය වෙළෙඳපොළ අවශ්‍යතා සලකන එරට ප්‍රතිපත්ති සම්පාදකයෝ කෘෂි අංශයෙහි වෙනස්කම් යෝජනා කර ඇත්තාහ. බලශක්ති සඳහා අලුත් පැති ගවේශනය කෙරේ. සේවා අංශ ගැන සොයා බලමින් සිටී. මෙවැනි පැති කෙරෙහි අපට ඇති ගවේශනය ද මෙම ඉන්දීය ආධාර සමග ඉදිරියට යා යුතු බව මතක් කළ යුතුය.

බලශක්තිය හා සේවා අංශවල අවස්ථා

ආධාර වෙනුවට ආර්ථික අවස්ථා කෙරෙහි සැලැස්මක් රටට අවශ්‍යය. ඉන්දියාවේ ඛනිජ තෙල් භාවිත කිරීමේ අවශ්‍යතාව වර්ධනය වෙමින් පවතින බව එරට පර් යේෂණ වාර්තා දක්වයි. වසර 2030 වනවිට ඉන්දියාවේ ඉන්ධන උපයෝගීතාව සියයට පනහකින් ඉහළ යනු ඇතැයි සැලකේ. ඉන්ධන වැඩිම ප්‍රමාණයක් පරිහරණය කරන ලෝකයේ රටවල් අතර තුන්වැනි තැනට පත්වනු ඇත. එය සාක්ෂාත් කරගැනීම සඳහා ඉන්දියාව සැලසුම් සකස් කරමින් සිටී. එහි ලා කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි උදුරා ගැනීමට ඉන්දියාවට ඉඩ දීම වෙනුවට අපේ තෙල් ටැංකි ඉන්දියාවේ දැනෙන අවශ්‍යතාවට ආයෝජනය සඳහා අපට සැලැස්මක් තිබිය යුතුය. මාර්ග සිතියම හැදිය යුතු ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ය. 

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය උත්පාදනය ගිගාවොට් 4500 කි. මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියකින් ගිගාවොට් 5000ක විදුලියක් අලුතින් උත්පාදනය කළ හැකි බව පර් යේෂකයෝ පෙන්වා දී ඇත්තාහ. ඉන්දු ශ්‍රී ලංකා විදුලිය හුවමාරුවක් ඇති කළහොත් ආර්ථික වාසියක් ලැබේ. මහවැලි ජලාශවලින් ජල විදුලිය උත්පාදනය කරන කාලයේ සිට තිබුණ සිහිනයකි.

ඉන්දියාවේ වාර්තා දක්වන අන්දමට භූතානයෙන් ජල විදුලිය මිල දී ගන්නා ඉන්දියාව අතිරික්ත විදුලිය බංගලාදේශය, නේපාලය හා මියන්මාරයට අලෙවි කරමින් සිටී. කලාපීය විදුලිය බල අවස්ථාවල තරම මෙයින් පැහැදිලි කරයි. සුළං බලයෙන් හෝ සූර්ය බලශක්තියෙන් නිපදවිය හැකි විදුලිය ඉන්දියාව හා කලාපයේ අනෙක් රටවලට විකිණිය හැකි පොදු ග්‍රිඩ් එකකට සම්බන්ධ නොවෙන්නේ ඇයි? මේවා ඉන්දියාවේ වුවමනාවට නොව මෙරට ශූර ව්‍යාපාරික අවස්ථා වශයෙන් නිර්මාණය කරගත යුතුය. 

වෙළෙඳාම ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවකි. සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් පුළුල් කළ හැකිය. ගුවන් මගී වාර්තා පෙන්වන පරිදි කටුනායක ගුවන් තොටුපොළ ඉන්දියානුවන්ට ජාත්‍යන්තරයට දොරටුවක් බවට පත්ව ඇත. චීනය, ඕස්ට්‍රේලියාව හා යුරෝපා රටවල්වලට ගමන් කිරීමේ දී කොළඹ හරහා ගමන අඩු වියදම් එකක් බව දැක්වේ. සංචාරයටත්, ජාත්‍යන්තරයට ගමන් කිරීමටත් ශ්‍රී ලංකාව විවෘත කරන පියවරවලින් විශාල විනිමය ප්‍රමාණයක් උපයා ගත හැක. ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට කටුනායක හා මත්තල අවස්ථා ඇති කිරීමෙන් ඉන්දියානු මගී ප්‍රවාහය සඳහා සේවා සැපැයිය හැකිය. තොරතුරු තාක්ෂණය, වරාය සේවා මුල්‍ය අංශවලින් දැවැන්ත අවස්ථා ලබාගත හැක. මේවා වෙනුවෙන් අලුත් නීති හා විධිවිධාන ඇති කිරීම අවශ්‍යය.

අලුත් යුගයේ අභියෝග දිනන්නට තනි ගමන් නැත

ඉන්දියාවෙන් ලැබුණ ආධාර අලුත් ජාතික ආර්ථික සැලැස්මකට පදනමකි. මුදල් අමාත්‍යංශ වාර්තා දක්වන පරිදි ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහකි. ඉන්දියානු ආධාර එම ණය තවත් වැඩි කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සාකච්ඡා අරඹන ආණ්ඩුව තවත් බිලියන ගණනක් ණයට ගැනීමට සූදානම් බව පෙනේ.

අතිරේක පොලිය සමග මෙම ණය ආපසු ගෙවන්නට අපගේ අනාගත පරම්පරාවට සිදුවේ. එම හිරිහැරය පාලනය කරන බුද්ධිමත් නායකයන් වශයෙන් කෙටි කාලීන වැඩපිළිවෙළ හා සමානව දුර දක්නා නුවණකින් කටයුතු කළ යුතුය. රට තුළ උත්පාදනයක් ඇති කරන කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන්නට අවශ්‍යය. අපනයන නංවන පියවර අවශ්‍යය. 

ආගමික හා දේශපාලන නායකයන්, සිංහල දෙමළ හා මුස්ලිම් ජන නායකයන් රට මුහුණ පා ඇති අභියෝගය නිරවුල් මනසකින් තේරුම් ගත යුතුය. තනි ගමන් නැත. විරෝධතා තිබේ. ජනාධිපතිවරණයකට බලකරයි. හෙට බලයට පත්වන නායකයකුට පවා මැජික් විසඳුම් නිර්මාණය කළ නොහැක. ජනතාව පිටරට රස්සාවලට යවා තවත් වැඩිපුර උපයා ගැනීම හෝ තව තවත් මිත්‍ර රටවල්වලින් ආධාර ගැනීම උත්තරයක් නොවේ.

මෙම අවස්ථාව තීරණාත්මකය. ගැටුම් ඇති කර ජනතාව පෙළඹවීමෙන් උත්තර සොයාගත් රටවල් නැත. අපට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්ය. ආර්ථික ප්‍රතිසංස්කරණවලට යා යුතුය. ප්‍රතිසංස්කරණවලින් රට තුළ නිෂ්පාදනය වැඩි කරන වියදම අඩු කරන පියවර අවශ්‍යය. ජාත්‍යන්තර තරගකාරීත්වය හා ජවය අප රටට අවශ්‍යම කරන සාධකයක් බව සඳහන් කළ යුතුය. 

ශ්‍රී ලංකාවේ මෑත කාලය අමිහිරි සිද්ධිවලින් ගහනය. දේශපාලන පක්ෂ බෙදී ගැටුම් ඇති කරගනිමින් සිටී. එය ආර්ථික විෂමතාවේ ලක්ෂණයකි. අවස්ථා අහිමිවීම තුළ පැන නැගී ඇති තත්ත්වයකි. දෙමළ ජනතාව ඉන්දියාවෙන් විසඳුම් බලාපොරොත්තුවන අතර මුස්ලිම් ජනතාව මැදපෙරදිග රටවලින් තමන්ගේ අනාගතය අපේක්ෂා කරන බව පෙනේ.

දක්ෂතා ඇති තරුණ පෙළ රට හැර යන අතර ලෝකයේ වෙනත් තැනකින් අනාගතය ගොඩනගා ගන්නා ප්‍රයත්නයක පසුවේ. අපගේ දක්ෂතම කොටස රට හැර යන අතර ඉතිරි පිරිස් ද ලෝකයේ වෙනත් රටකින් විසඳුම් ලැබෙන තෙක් බලා සිටීම අභාග්‍යයකි. සියලු ජන කොටස් ආමන්ත්‍රණය කර එකතු වී විසඳුමක් නිර්මාණය කරගැනීම වැදගත්ය. ඉන්දියානු ආධාරය එම ගමන සඳහා අවධානය ඉක්මන් කළ යුතු බව දක්වයි.

ශ්‍රී ලංකාව ඇති කරගත යුතු දේශපාලන, ආර්ථික හා මුල්‍ය විනය ගැන පාඩමකි. මේවා අපට මග හැරී ඇති අංශ බව මතක තබාගත යුතුය. බේදවලින් අවුලුවා, ආධාර බෙදා දී බලය අතට ගැනීමට දක්ෂ මෙරට දේශපාලන නායකයෝ රට ඉහළට ඔසවා තබන තීරණ ගැනීමට පැකිලෙති. සංවර්ධන ප්‍රතිලාභ රටට සාධාරණව ලැබෙන අතර ජාතික ප්‍රතිපත්තිවලින් සෑම පුරවැසියකුම නගාසිටුවන පියවරකට යා යුතුය. අපට ඇති අභියෝගය එයයි. 

සාරා කන්දෙගොඩ



අදහස් (0)

ඉන්දීය ණය අලුත් ගමනකට ප්‍රවේශයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2849 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12029 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 930 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site