IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කුඩු ගහන්න මිතුරු ඇසුරට කෝටි පහම වියදම් කළ ලොතරැයි ජයග්‍රාහකයා

 12-Page-11-S2-02

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් ඉපැරණි ගම්මානයක් වන ගල්කඩවල ගම්මානය පිහිටියේ ජයසිරිමහ බෝ සමිදුන්ගේ සිහිලස දැනෙන මායිමේය. මෙහි පවුල් තුන් සියයක් පමණ ජීවත්වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවන වෘත්තීය වන්නේ ගොවිතැනයි. මල්වතු ඔයේ ජලයෙන් පෝෂණය වන ගල්කඩවල වැව ප්‍රදේශයේ පිහිටි  ප්‍රමාණයෙන් විශාල වැවකි. යල මහ වගා කෙරෙන කුඹුරු යායක් තිබුණද තුන්වැනි පරම්පරාවේ බොහෝ දෙනා ජීවිකාව සඳහා විවිධ වෘත්තීන්වල නියැලෙමින් සිටිති.

 

6අපේ කතානායකයා අපි සුමනදාස නමින් හඳුන්වමු. සුමනදාසගේ දෙමව්පියන් ගල්කඩවල පාරම්පරික පදිංචිකරුවන්ය. ඒ නිසාම සුමනදාස ද තම උපන් ගමෙහිම පදිංචිවීමට තීරණය කළේය. දෙදරු පියෙකු වූ සුමනදාසට ද ස්ථිර රැකියාවක් නොවීය. හුළං පිරවූ ටියුබයක නැගීගෙන උදේ පාන්දරම ගල්කඩවල වැවේ සීතල දියකඳ  තරණය කරන සුමනදාස වැවේ තිබෙන නෙලුම් මල් කඩාගන්නේ එය ඔහුගේ ජීවිකාව වන බැවිණි. ගල්කඩවල වැවේ මෙන්ම අවට තිබෙන වැව්වලට ද යන සුමනදාස නෙලුම්මල්, ඕලු මල් කඩාගෙන උදේ පාන්දරම ඒවා රැගෙන ගොස්  ශ්‍රී මහබෝධිය, රුවන්මැලි මහ සෑය  හා සමාධි පිළිමය අසල මල්කඩකරුවන්ට අළෙවි කොට කීයක් හෝ එදිනෙදා ජීවිකාව සඳහා සොයා ගත්තේය. 


සුමනදාස කෙතරම් නැති බැරිකමින් පීඩා වින්දේ ද යත් උදේ පාන්දර වැව්වල සීතල ජලකඳ තරණය කරමින් නෙළා ගන්නා මල් ශ්‍රී මහ බෝධිය, සමාධි පිළිමය, සහ රුවන්මැලිසෑය අසල ඇති මල්කඩකරුවන් වෙත රැගෙන යාම සඳහා අඩුම තරමින් පාපැදියක් වත් තිබුණේ නැත. හිතවතෙකුගෙන් ඉල්ලා ගත් අබලන් යතුරුපැදියක දිනපතා මල් රැගෙන යාම සිදු කළේය. මහ වැහි වැටී වැව් පිරෙන කාලෙට වැව්වල මල් හිඟවන්නේය. දුර බැහැර වැව්වලට ද යමින් මල් සොයා ගන්නා සුමනදාස එවන් අසීරු කාලවල වැවෙන් බිලී බා ගන්නා මාලුවැලක් දෙකක් විකුණා කීයක් හෝ සොයා ගන්නේය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර දොර වියදම් කටයුතු සඳහා කීයක් හෝ හොයා ගැනීම සුමනදාසට ඉතා අසීරු කටයුත්තක් විය. නෙළා ගන්නා මල් සිරිමහ බෝධිය හා රුවන්මැලි මහසෑය අසල මෙන්ම අභයගිරිය, සමාධි පිළිමය අසල මල්කඩකරුවන්ට විකිණුවද බුදුන්ට මලක් පුදන්නට සුමනදාස ගියේ ඉතාම කලාතුරකිනි.


ජීවන අරගලය ඒ තරමටම ඔහුව හෙම්බත් කර තිබිණි. හිමිදිරි පාන්දරම වැවට බැස නෙලුම් මල් කඩාගෙන මල්කඩවලට දාන සුමනදාස සමහර දවස්වල හවසට හොර අරක්කු තිප්පොළකින් මත්පැන් ටිකක් පානය කර ගොම්මන් යාමේ ගෙට ගොඩ වුවද සුමනදාසගේ බිරිඳ කිසිවක් නොකීවේ පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමක් සුමනදාස නොකළ බැවිනි.


 දිනක් හදිසි අවශ්‍යතාවයකට අනුරාධපුර නගරයේ අළුත් බස්නැවතුම්පළට පැමිණි සුමනදාස ලොතරැයි පතක් මිලදී ගත්තේ පුරුද්දකටවත් ලොතරැයි දිනුමක් ඇදේවි යැයි යන සිතුවිල්ලකින්වත් නොව නිකමට මෙනි.


මේ තරම් ජීවත්වෙන්න දුක්විඳින තමන් ලොතරැයියක් ඇදෙන්නට තරම් වාසනාවන්තයෙකු යැයි කිසි විටෙක වත් සිහිනෙන් වත් සුමනදාස නොසිතුවේය. එහෙත් සියල්ල උඩු යටිකුරු වීමට ගත වූයේ පැය විසිහතරකටත් වඩා අඩු කාලයකි. පසුදාට එළිය වැටුණේ එක රැයකින් සුමනදාස කෝටිපතියෙකු කරමිනි. නිකමට මෙන් මිලදී ගත් ලොතරැයි පත සුමනදාස කෝටිපතියෙකු කර තිබුණේය. ටිකට් පතේ පළමු ත්‍යාගය රුපියල් කෝටි පහක අතිවිශාල මුදල සුමනදාසගේ ටිකට් පතට හිමිවී තිබුණේය. සුමනදාසට අදහා ගන්නටවත් බැරි විය. ශ්‍රීමහ බෝධියට, රුවන්මැලියට මල් පූජා කරන්න නොගියට වන්දනාවේ පැමිණෙන අයට මල් විකිණූ පින තමන්ට පළ දුන්නායැයි සුමනදාස සිතුවේය. මීට පස්සේ උදේ පාන්දර සීතලේ ගැහි ගැහී වැව්වල මල් කඩන්නට යන්න උවමනා නැත. මල් ටික ගෙනි යන්න යතුරුපැදියක්  ඉල්ලා යාලුවන්ට පින්සෙන්ඩු විය යුතු නැත. තමනුත් බිරිඳත් දරුවනුත් මේ හැම දෙනාම අපා දුක් වින්ද කාලය ඉවරෙටම ඉවර යැයි සුමනදාස සිතුවේය. දහසක් බලාපොරොත්තු ප්‍රාර්ථනා සුමනදාසගේ හිත පුරවාලීය. 


බිරිඳ සහ දරු දෙදෙනා ද සමඟ කොළඹ ගිය සුමනදාස තමන්ට හිමි ලොතරැයි ජයග්‍රහණයේ ත්‍යාග මුදල ලබාගෙන බැංකුවක තැන්පත් කළේ අත්‍යවශ්‍ය දේවල්වලට පමණක් අර පරෙස්සමින් විය පැහැදම් කිරීමේ අරමුණෙනි. මේ අතර වෙනදා නොවූ යාලු මිත්‍රයන්, නෑදෑයන් සුමනදාසගේ ගෙදරට නිතර යන්නට එන්නට විය. විවිධ අවවාද අනුශාසනා දෙන පිරිස් බොහෝ විය. හිමිදිරි පාන්දර සීතලේ වැව් දියට බැස කඩා ගන්නා නෙලුම් මල් ටික සිරිමහ බෝධිය, රුවන්මැලිසෑය ළඟට ගෙන යන්නට බයිසිකලයක් ඉල්ලා ගන්නට කෙනෙක් නොසිටි කාලයක් ද තිබුණත් දැන් සුමනදාසට උදව් උපකාර කරන්නට, අවවාද අනුශාසනා, මග පෙන්වීම් කරන්නට යාලු මිත්‍රයෝ බොහෝ විය. සුමනදාස මුලින්ම ලොතරැයි තෑගි මුදලින් කොටසක් යොදවා සුඛෝපභෝගී වෑන් රථයක් මිලදී ගත්තේය. නෑදෑ හිතමිතුරන් සමඟ රට වටේ විනෝද සවාරියක් ගියේය.  එතෙක් ජීවත්වූ පොල් අතු සෙවිලි කළ කටුමැටි ගෙපැල ඉදිරියෙන් අත්තිවාරම් කැපුනේ දෙමහල් නිවසක් ඉදිකිරීම සඳහාය. මේ සියල්ල මෙසේ සිදුවේද්දී වෙනදා නොවූ යහලුවන් නිරන්තරවම සුමනදාස මුණගැසෙන්නට ආවේය. වෙනදා සුමනදාසගේ පොල්අතු පැල දිහා බලන්නටවත් අකමැති වූ ඔවුහු නිතර දෙවේලේ එහි යන්නට එන්නට වූහ.


හැම රැයකම සුමනදාසගේ නිවසට හතර පස් දෙනෙකු එක්වීම සිදුවූ අතර වෙනදා හොර අරක්කු තිප්පොළෙන් බිවූ මත්පැන්  වෙනුවට රට බීම සුමනදාසගේ පොල් අතු පැලේ ඉස්සරහ දොරින් නිරන්තරවම ගෙට ඇතුලු විය. සමහර දිනවල මැදියම් රැය ඉක්මවන තුරුත් සාද සිනා සුමනදාසගේ ගෙපැල තුළින් ඇසුනේය. සමහර මිතුරන්ට සුමනදාසගේ ගෙපැලේ පහසුකම් මදිවිය. ඉන් පසුව හැම හැන්දෑවකම පාහේ සැන් පවුඩර් ගහගෙන ලක ලැහැස්ති වෙන සුමනදාස වෑන්රථයේ නැගී අනුරාධපුර නගරයට යන්නේය. ඔහු ආපසු ගෙදර එනවිට බිරිඳත් දරුවනුත් සුව නින්දේය. සුමනදාසට හදිසියේ හමුවූ මේ සියලු යහලුවන් මිතුරන් අනුරාධපුර නගරය හා ඒ අවට අයවලුන්ය. සුමනදාසගේ මේ අලුත් ක්‍රියා කලාපය දෙස ඔහුගේ බිරිඳ බලා සිටියා විනා ඇයට කරන්නට හැකිවූ දෙයක් නැත. සුමනදාසගේ දෙමහල් නිවස ඉදිවූයේ ඉබි ගමනිනි. නමුත් සුමනදාස අත දිගහැර ඒ සඳහා වියදම් කළේය. සුමනදාසගේ බැංකු පොතේ හර පැත්තේ සටහන් වුණේ රුපියල් ලක්‍ෂ ගණනිනි.


කාලය ගෙවුණේ වේගයෙනි. ඒ වේගයෙන්ම සුමනදාසගේ බැංකු පොතේ මුදල් ද අඩු වුණේ සුමනදාසට ආපසු හැරී යමක් සිතන්නට වත් කාලයක් ඉතිරි නොකරමිනි. අතේ මුදල් හිඟ වුවද සුමනදාසට හුරුවූ ජීවිතයෙන් මිදෙන්නට නොහැකි විය.  දෙමහල් නිවසේ වැඩ නතර විය. එහෙත් අන්තිම සතය දක්වා වියදම් කරමින් මිතුරන් සමඟ සතුටු වන්නට සුමනදාස පසුබට නොවීය. අතමිට හිඟ වෙත්දී සමහර යහලුවන් ඔහු මගහැර ගියේය. තවත් සමහර යහලුවන් කෙසේ හෝ මුදල් උපයන්නට සුමනදාසව පෙළඹවීය. පරණ පුරුදු රස්සාවට යාමට නොහැකිය. ඒ කාලෙ තමන්ට උදව් කළ සියලු යහලුවන් සුමනදාසට අමතකව ගොස් ඔහු වටා සිටියේ අලුත්ම යහලුවන් පිරිසකි. ගෙදර අගහිඟකම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සියලු ප්‍රශ්නවලට වඩා හැම හැන්දෑවකම මිතුරන් සමඟ විනෝදවීම සඳහා මුදල් සෙවිය යුතුය.


ගංජා තොගයක් සන්තකයේ තබාගෙන අසුවීමෙන් සුමනදාස පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරය. අධිකරණයෙන් දඩ නියමව නිදහස් වන සුමනදාස ආපසු ගෙදර පැමිණිය ද පසුගිය කෙටි කාලය තුළ ගත කළ ජීවිතය අමතක කරන්නට ඔහුට නොහැකි විය. 


එක් රැයකින් කෝටිපතියෙකු වූ සුමනදාස අනුරාධපුර රක්‍ෂිත බන්ධනාගාරයේ යකඩකූරු අතරින් බලා සිටි අවස්ථා ද ඇත. එදා ඔහු වටා සිටි මිතුරන් අද ඔහු බලන්නට එන්නේ නැත. මිතුරන් පිරිවරාගෙන අනුරාධපුරයේ විවිධ හෝටල්වල රසමසවුළු භුක්ති වින්ද සුමනදාස අනුරාධපුර බන්ධනාගාරයේ  කල්දේරම් බතෙහි රසද  බැලූ අවස්ථා එමටය.


ඉදිවෙමින් තිබුණු දෙමහල් නිවස අතරමග නතරවී ඇත. ලොතරැයි දිනුම ඇදුනු දින සුමනදාස මැවූ සිහින මාලිගය කඩා වැටීමට ගත වූයේ ඉතාම කෙටි  කාලයකි. ගල්කඩවල සුමනදාසගේ කතාව අද සමාජයේ ජීවත්වන කොයි කාටත් හොඳ පාඩමකි.  සුමනදාසට නිසි අධ්‍යාපනයක් නොමැතිවීම තුළ මුදල් කළමනාකරණය කරගන්නට නොහැකි වීමෙන් මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ දෙන්නට සිදුවුවා යැයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන. 


එහෙත් මූලික අධ්‍යාපනයක් වත් නැතිව ඉතා කුඩාම තැනකින් පටන්ගෙන මහා ධනවතුන්, ව්‍යාපාරිකයින් බවට පත්වූ පුද්ගලයින් පිළිබඳව ලංකාව මෙන්ම ලෝක ඉතිහාසය තුළින්ද අපට සොයාගත හැක.  මුදලෙහි අගය දන්නේ දහදිය මහන්සියෙන් ඒවා හරිහම්බ කළ අය විනා පිනට මුදල් ලැබුණු අය නොවන බව තව සමහරෙක් කියන්නට හැක. සුමනදාස ද වැව්වල මල් කඩා විකුණා ජීවත්වෙන්නට කරනලද අරගලය මුදල්වල අගය ඔහුට මනාව පසක්කර දෙන්නට ඇත.


මේ අතරතුර සුමනදාස පසුගිය දිනක අනුරාධපුර පූජා නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් පැකට් කිහිපයක් ද සමඟය. ඒ මෙලෙසින්ය. උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ නියෝග මත ඒ මහතා යටතේ ක්‍රියාත්මක පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.යූ.බී. සුජීව කුමාර මහතාට පසුගිය දිනක පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලැබිණ. ඉන් කියැවුණේ හෙරොයින් පැකට් රැගත් පුද්ගලයෙකු රාත්‍රි කාලයේ අනුරාධපුර නගරයේ සිට පා ගමනින් පූජා නගරය හරහා ගල්කඩවල දෙසට ගමන් කරන බවයි. සිය නිලධාරීන් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතා අනුරාධපුර පූජා නගරයට ගොස් කුට්ටම්පොකුණ ආසන්නයේ ගල්කඩවල දෙසට යන මාර්ගය රැක සිටියේය. එසේ සිටින විට මාර්ගයේ පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු පරීක්ෂා කළද පෙර ලද තොරතුරින් කියැවුනු හෙරොයින් සොයා ගැනීමට නොහැකි විය. 


මද වේලාවකට පසුව  තවත් පුද්ගලයෙකු කුට්ටම්පොකුණ අසල මාර්යෙන් ගල්කඩවල දෙසට යන්නට ආවේය. ඔහුද පරීක්ෂා කළේය. එහිදී එම පුද්ගලයා සතුව තිබී හෙරොයින් පැකට් කිහිපයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න  කිරීමේදී හෙළිවූයේ ඔහු මීට වසර දෙකකට පෙර රුපියල් කෝටි පහක ලොතරැයි දිනුම් පතක් හිමිකර ගත් කෝටිපතියා බවය. ඔහු අනුරාධපුර මූලස්ථාන පොලිසියට රැගෙන විත් දීර්ඝව කළ ප්‍රශ්න කිරීම්වලදී  පොලිසියට පවසා ඇත්තේ තමන්ට නොසිතූ මොහොතක රුපියල් කෝටි පහක ලොතරැයි දිනුමක් ලැබුණු පසුව හෙරොයින් පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ බවයි. සතියකට තුන් වතාවක් හෝ හතර වතාවක් හෙරොයින් පානය කිරීම  තමන් පුරුද්දක් කරගෙන සිටි බවද පොලිසියට කියා ඇති ඔහු   ඒ එක් වරකට රුපියල් විසිපන් දහසක් හෙරොයින් මිලදී ගැනීම සඳහා   වියදම් කළ බවත් (දිනකට ලක්ෂයක්) පවසා තිබේ.


සමහර දිනවල කොළඹට ගොස් මිලේනියම් සිටිවලින් රුපියල් තිස්දහසක් ගෙවා නිවසක් කුලියට ගෙන විවිධ විනෝද ක්‍රියාවන්වල  යෙදුන බවත් ඇතැම් දිනවල විනෝදවීම සඳහා එක් දිනකට රුපියල් ලක්ෂ දෙක තුනක් වියදම් කළ බවත් ඔහු පොලිසියට පවසා ඇත.


මේ වන විට තම දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ විස්ස බැගින් තැන්පත් කර ඇති බවත් බිරිඳගේ ගිණුමක ද යම් මුදලක් ඇති බවත් පවසා ඇති සුමනදාස මීට දෙවසරකට පෙර තමාට ලැබුණු රුපියල් කෝටි පහෙන් කෝටි හතරකට ආසන්න මුදලක්  වියදම් කර අවසන් බවත් කියා ඇත.
සුමනදාස මීට පෙර නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට මෙන්ම ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට අනුරාධපුර පොලිසියේ අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඬුවම් ලබා සිටින්නෙකි. මේ වන විට ඔහු නීති විරෝධී මත්පැන්, ගංජා සහ හෙරොයින් කියන නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග තුනටම අදාළව  පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඬුවම්  ලැබූවෙකි.


එසේ නම් සුමනදාසට වැරදුණේ කොතැන ද?  කවුරු කොහොම අර්ථ දැක්වුවද විග්‍රහ කළද අපට පසක් වන එක දෙයක් ඇත. වසර දෙදහස් පන් සියයකට එපිට අපගේ ගෞතම බුදුන් වහන්සේ පරාභව සූත්‍රය දේශනා කරමින් වදාළේ මනුෂ්‍යයෙකු පිරිහෙන්නට හේතුවන කාරණාවන්ය.


කල්‍යාණමිත්‍ර සම්පත්තිය මෙන්ම පාප මිත්‍ර සේවනය ඇසුරෙන් අත් වෙන විපාකද උන්වහන්සේ දේශනා කර ඇත. පාප මිත්‍ර සේවනය තුළින් පිරිහෙන්නට හේතුවන කරුණුම ජීවිතයට ලංකර ගැනීම තුළ සුමනදාසට මෙම ඉරණම අත්වූ බව සත්‍යයක්මය.


ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ  උතුරු මැද පළාත් කාර්යාලයේ උපාලි ජයවර්ධන මහතාට විශේෂ ස්තූතිය.

m



අදහස් (0)

කුඩු ගහන්න මිතුරු ඇසුරට කෝටි පහම වියදම් කළ ලොතරැයි ජයග්‍රාහකයා

හසන් Monday, 21 March 2016 11:12 AM

කල්‍යාණ මිතුරාවත් පාප මිතුරා බවට හරවනවා, තමාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. කාටවත් වැරදි කියල වැඩක් නැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2455 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site