කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරැණි කඩුකස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයන් සොයා රහස් පොලිසිය විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ කරනු ලැබුවත් මෙතෙක් ඒ මහා ජාතික අපරාධය කළ පිරිස ගැන වැදගත් යැයි කිව හැකි හෝඩුවාවක් ලැබී නැත. ඉකුත් 16 වැනිදා කෞතුකාගාරය වැසීමට පෙර සිට සොරුන් එහි රහසිගතව සැඟවී සිට පසුව උඩු මහලේ වීදුරු කුටි හයක අගුල් ගලවා එහි තිබූ කෞතුක භාණ්ඩ සොරාගෙන ඇති බව රහස් පොලිසිය හෙළිකරගෙන ඇත. උඩු මහලේ සඳලූතලයට ඇතුළු වීමට ඇති දොර කඩා එහි කාමරයකට දමා තිබූ ඇතිරිලි (කර්ටන්) ඉරා ඒවායේ ආධාරයෙන් බිමට බැස සොරුන් පළා ගොස් ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය, ජගත් බාලසූරිය මහතා පවසයි. සොරුන් උඩු මහලේ සිට බිමට බැසීමට යොදා ගත් ඇතිරිල්ල හා කෞතුකාගාරයේ වැටී තිබූ හිස්වැස්මක් කොම්පඤ්ඤවීදිය පොලිසියේ කැන්ඩි නමැති නිල සුනඛයා ඉව කිරීමෙන් පසුව එම ඉව ඔස්සේ කෞතුකාගාරයේ ආරක්ෂක භටයන් ලැගුම් ගන්නා මුර කුටියක් වෙත ගොස් නතර වූ අතර, එතැනින් එහාට ගොස් නැත. පොලිස් නිල සුනඛයා යොදා කරන ලද එම පරීක්ෂණයේ දී සහ මෙම කෞතුක භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවලින් පෙනී ගිය කරුණු අනුව කෞතුකාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භටයන් හය දෙනාගෙන් රහස් පොලිසිය වෙන වෙනම දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබීය. දින ගණනක් මෙම ප‍්‍රශ්න කරනු ලැබුවත් මෙම කෞතුක භාණ්ඩ සොරකම සම්බන්ධවූවන් ගැන කිසිදු ආකාරයක හෝඩුවාවක් ඔවුන්ගෙන් හෙළිකර ගැනීමට නොහැකි වී ඇත. සොරකම සිදුවූ ඉකුත් 16 වැනිදා රාත‍්‍රියේ කෞතුකාගාරයේ ආරක්ෂක රාජකාරිවල ආරක්ෂක භටයන් තිදෙනකු යෙදී සිට ඇති අතර, තවත් තිදෙනකු රාජකාරි කටයුතු නිම වී කෞතුකාගාරයේම පිහිටි ස්ථානයක ලැගුම් ගෙන සිට ඇති අතර, රහස් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්නකර ඇත්තේ ඒ හය දෙනාගෙනි. මෙතරම් කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ තැන්පත් කර ඇති ස්ථානය හොඳින් දන්නා අය මෙන්ම එහි ආරක්ෂාවට යොදා ඇති ආකාරය ගැන මනා වැටහීමක් ඇති අයගේ සම්බන්ධයක් නොමැතිව මෙවැනි සොරකමක් ආරක්ෂක භටයන්ගේ ද නෙත නොගැටී කිසිසේත්ම කළ නොහැකි බව රහස් පොලිසියේ අදහස වී තිබේ. ජාතික කෞතුකාගාරයට යොදා තිබූ ආරක්ෂාව බරපතල හිඩැසක් තිබෙන බව මෙතරම් වටිනා කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ සොරාගෙන නිරුපද්‍රිතව පලා යෑම මගින් පෙන්නුම් කරන බව පවසා සිටියේ රහස් පොලිස් නිලධාරියෙකි. මේ වගේ තැනක බයක් සැකක් නැතිව ඇවිත් මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ රැසක් සොරා ගැනීම ඇතුලේ අයගේ උදව්වක් උපකාරයක් නොමැතිව කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ ජාතික අපරාධය කළේ බොහොම හොඳට සැලසුම් කරලා සූක්ෂම ආකාරයට කර තිබෙනවා. එහෙම නැතිව කුඩු ගහන්න, වාහනයක පැති කණ්ණාඩියක් ගලවාගෙන යන වැලේ එල්ලා ඇති ඇඳුම් පැහැරගෙන හෝ ජංගම දුරකතනයක් සොරාගෙන යන සොරුන් කළ වැඩක් නොවන බව කාටත් බොහොම පැහැදිලිවම තේරුම් යන කරුණක් යැයි පැවසුවේද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි. සොරා ගත් කෞතුක භාණ්ඩ වෑන් රථ දෙකක පටවාගෙන පලා ගිය බවට ලැබී ඇති හෝඩුවාවක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. එහෙත් ඒ වාහනවල අංක හෝ ඒ වාහන ගැන මොනයම් හෝ කිසිදු හෝඩුවාවක් පොලිසියට ලැබී නැත. පොලිස් ඇඟිලි සලකුණු අංශයේ විශේෂඥයන් කණ්ඩායමක් කෞතුකාගාරය සියුම් පරීක්ෂාවට ලක් කර සැකකටයුතු ඇඟිලි සලකුණු සටහන් ගණනාවක් මතුකර ගෙන ඒවා ඡායාරූපගත කරගෙන ඇත. මෙම සැකකටයුතු ඇඟිලි සලකුණු සටහන් අපරාධ තොරතුරු කොට්ඨාසයට (සී.ආර්.ඞී.) ලබාදී එහි ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා සංසන්දනය කර බැලීමේ කටයුතු දැන් සිදු කරගෙන යන බව දැනගැනීමට තිබේ. බීඩි කොට රැසක් කෞතුකාගාරයේ උඩු මහලේ තිබී සොයා ගෙන ඇති අතර, මේවා සොරුන් විසින් පානය කිරීමෙන් විසිකර දැමූ ඒවා විය හැකි බවට රහස් පොලිසියට සැක මතු වී ඇතැයි ද කියති. කෙසේ වෙතත් මෙම බීඩි කොට සියල්ල ඞී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රහස් පොලිසිය පියවර ගෙන ඇත. ආරක්ෂක මුර කුටියක් අසල වැටී තිබූ බීඩි කොට කිහිපයක් ද සොයා ගත් රහස් පොලිසිය ඒවා ද ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. ජාතික කෞතුකාගාරයේ සවිකර තිබූ සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධතිය පසුගිය දිනවල පැවැති අකුණු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යක්‍ෂවරියගේ අවසරය මත අක‍්‍රීයකර තබා ඇති බව රහස් පොලිසිය ඒ හා සම්බන්ධව කරන ලද පරීක්ෂණවලින් කරුණු හෙළි වී ඇත. දෝෂ සහිත එම කැමරා පද්ධතිය පසුගිය 19 වැනිදා අලූත්වැඩියා කිරීමට නියමිතව තිබියදී ඊට දින දෙකකට කලින් කෞතුකාගාරයට ඇතුළු වූ සොරුන් එහි තිබූ මිල කළ නොහැකි තරම් කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇති බව රහස් පොලිසිය අනාවරණය කර තිබේ. ජාතික කෞතුකාගාරය සොරුන් බිඳීමේ සිද්ධිය සම්බන්ධව මෙතෙක් කරන ලද පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන තොරතුරු වාර්තාවක් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක රොෂාන් මස්ඉඹුල මහතා පසුගියදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රස්මි සිංගප්පුලි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි. කෙසේ නමුත් මේ පැහැරගෙන ගොස් ඇත්තේ සියවස් ගණනාවක් පැරණි අපේ ජාතික උරුමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජාතියේ උරුමයන් තැන්පත් කර ඇති තැනකට යොදා තිබූ ආරක්ෂාව ගැන බලධාරීන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව නම් කොයි කාටත් පැහැදිලිය. මීට වසර 20කට පමණ ඉහත දී ඉහළ කෞතුක වටිනාකමක් ඇති බුදු පිළිමයක් කෞතුකාගාරයේ තිබී අතුරුදන් වී ඇත. මිල කළ නොහැකි ඒ බුදු පිළිමයට සිදුවූ දෙයක් ගැන අද දක්වාත් කිසිම කෙනෙක් නොදනී. වසර 20කට පෙර බුදු පිළිමය අතුරුදන් වූ සමයේ නිසි හා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවීමට බලධාරීන් කටයුතු කළේ නම් මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ මෙතරම් ලෙහෙසියෙන් සොරා ගෙන යාමට පහසු නොවන බව කිවයුතුව ඇත. බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඞී.එස්. ගුණවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දකුණු කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සංජීව ධර්මරත්න සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල පේ‍්‍රමදාස සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් අත්තනායක යන මහත්වරුන් ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සහ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි. ජාතික කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇති මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ මෙසේය 1. 13 සහ 15 වැනි සියවස්වලට අයත් රන් කාසි 93ක් 2. 13 සහ 15 වැනි සියවස්වලට අයත් රිදී කාසි 50ක් 3. ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් විවිධ ලෝහ වර්ගයේ කාසි 9ක් 4. ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් රන් කහවනු 28ක් 5. විශේෂිත අවස්ථාවලදී නිකුත් කරන ලද සමරු කාසි 13ක් 6. රුපියලේ මුදල් නෝට්ටුවේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු 35ක් 7. 17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් සහ බඳ පටියක්, බස්තමක උඩ කොටසක් 8. 17 සහ 19 සියවස්වලට අයත් කඩු කස්තාන 10ක් 9. ක‍්‍රි.ව. 3 වැනි සියවසට අයත් මුද්දක් 10. 19 සහ 20 වැනි සියවස්වලට අයත් මුතු අල්ලන ලද මුදු කිහිපයක්.
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කෞතුකාගාරය කැඩූ හැටි
සමන් ඉන්දික Sunday, 25 March 2012 12:44 PM
මෙතරම් වටින ද්‍රව්‍ය තිබෙන මෙවැනි තැනක් ආරක්ෂා කරගන්න මීට වඩා නිලදාරීන් යෙදවිය යුතුයි. බලධාරීණ්ට මේ ගැන නොවැටහුනේ මන්ද ? දැන්වත් බලධාරීණ්ගේ ඇස් ඇරේවිද ? මෙම ලිපිය පලකිරීම ගැන සතුටුවෙමි. අපේ උරුමය රැකගත යුතුය.