1815 උඩරට ගිවිසුම ඉංග්‍රීසි පාර්ශ්වය නියෝජනය කෙරෙමින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් සහ දුෂ්ඨ නායක්කාර් රාජ්‍යය පාලනය පිටු දකිනු ලැබීම එකම පරමාර්ථය කරගත් උඩරට ප්‍රභූ පංතිය කන්ද උඩරට රාජ්‍යයේ සිංහල ජනතාව නියෝජනය කෙරෙමින් අති උත්සවශ්‍රීයෙන් අත්සන් කළේය. එහෙත් වැඩි දවස් යන්නට මත්තෙන් කොන්දේසි ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥා අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉංග්‍රීසීහු බි්‍රතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තියෙහි පිහිටා ස්වකීය අභිමතයට අනුව ක්‍රියා කරන්නට වූහ.
දෙවන රාජසිංහ රජ පෘතුගීසීන් පලවා හැරීමට ලංදේසීන් සමග ඇති කරගත් ගිවිසුමෙන් විඳින්නට සිදුවූ දුර්විපාක හමුවේ තමාගේ ක්‍රියාව මිරිස් දී ඉඟුරු ගැනීමකැයි කී කතාව මෙම ගිවිසුමටත් අදාළ බවත් එකම වෙනස හුවමාරු භාණ්ඩ එහා මෙහා වීම බවත් උඩරට ප්‍රභූවරුන්ට අවබෝධ විණි. අධ්‍යාත්මික ගුණ වගා වර්ධන ක්‍රියාව තුළින් සහ ආගමික වතාවත් ඉටුකිරීමේ කාර්යභාරය තුළින් සාමාන්‍ය රටවැසියාගේ අවනතභාවයටත් ඉමහත් ගෞරවයටත් පාත්‍ර වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට හිමි ස්ථානය ඉංග්‍රීසි පාලනය යටතේ නොලැබුණි. එක් දිසා බල ප්‍රදේශයක් හරහා තවත් ප්‍රදේශයකට භාණ්ඩ රැගෙන යාමේදී අය කළ බදු අහෝසි කිරීමෙන් රදල ප්‍රභූවරුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය. රදලවරුන් හමුවේ අසු පිටින් බැස හිස්වැසුම් ගලවා පැවැත්වූ ආචාරවිධි නැවතිණි. සාමාන්‍ය ජනතාව මුහුණ පෑ උග්‍ර පීඩාකාරී තත්ත්වය වූයේ ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, ගවයන් වැනි කෘෂිකාර්මික කටයුතුවලට බෙහෙවින් උපකාරී ගෘහාශ්‍රිත සතුන් පැහැරගෙන යෑමයි. ඉංග්‍රීසි හමුදාවේ මෙවන් නොමනා ක්‍රියා නිසා කන්ද උඩරට රාජ්‍ය තුළ දේශපාලන කැලඹිලි තත්ත්වයක් පැන නැගුණි. මෙහිදී ඉංග්‍රීසි හමුදාව සීමාව ඉක්මවා යමින් කළ අති බිහිසුණු මිනිස් ඝාතනයෙන් කම්පනයට පත් විශේෂයෙන් ඌව වෙල්ලස්ස ජනතාව ආක්‍රමණිකයා මුළුමනින්ම පිටුදැකීමේ අධිෂ්ඨානයෙන් ජාතික විමුක්ති සංග්‍රාමයකට ප්‍රවිෂ්ඨ වූහ. ඉංග්‍රීසින්ගේ සැබෑ කෲරත්වය යටත් විජිත ව්‍යාපාරය පුරාම දක්නට ලැබෙයි. එයිනුදු විලියම් වොලස්, ටිපු සුල්තාන්, කැප්පිටිපොළ ඝාතන කැපී පෙනෙයි. 1296 දී පළමුවන එඞ්වඞ් රජ බර්වින් සටනේදී ස්කොට්ලන්ත වැසියන් අටදහසක් පණ පිටින් වළ දැමූ බවත් නගරය එහි වැසියනුත් සමග ගිනිබත් කළ බවත් සඳහන්ය. සුරදූතයන් තම දේශයට පා තැබීමේදී පළමුව ස්පර්ශ වන්නේයයි පුජනීයත්වයෙන් සැලකූ ස්ථානයේ වූ පැතලි ගලද කොල්ලකෑ දේවලට අයත් විය. වර්තමානයේ බි්‍රතාන්‍ය රජය විසින් මෞලි මංගල්‍යය පවත්වනු ලබන ස්ථානයේ එම ගල තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරේ.
1817 වනවිට වෙල්ලස්ස ඉංග්‍රීසි පාලනයෙන් ගිලිහුණු තත්ත්වයක පැවතුණි. ආණ්ඩුකාරතැනට එහි තොරතුරු වාර්තා කිරීමට ගිය කන්ද උඩරට රෙසිඩන්ට් විල්සන් සටන්කාමීන් අතින් මරණයට පත්විය. අර්බුදකාරී තත්ත්වය සමහන් කරනු පිණිස සයිමන් සෝවස්ගේ නිර්දේශය මත උඩරට හමුදා ප්‍රධානි මැක්ඩොනල්ඞ් විසින් කැප්පිටිපොළ පත් කරනු ලැබීය. සටන් වැදී සිටි සිංහලයෝ කැප්පෙටිපොළ රඳවාගෙන ඔහු සමග පැමිණි පිරිසට ආ මගින්ම වහා පිටව යන ලෙස නියම කළහ. විමුක්ති සටනේ නායකත්වය කැප්පෙටිපොළ වෙත පැවරූහ.
මොනරවිල හෙවත් කැප්පිටිපොළ නමින් හැඳින්වුණු හෙතෙම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයේ සිටියදී රජුගේ උදහසට ලක් වූවෙකි. තවදුරටත් කන්ද උඩරට රාජ්‍යයේ රැඳී සිටීම අනතුරුදායක බව වටහාගත් හෙතෙම ඉංග්‍රීසින් වෙත පලා ගියේය.
රජුගේ සතුරන් ළං කර ගැනීම තම සංග්‍රාම ශක්තිය වර්ධනයට මැනැවින් හේතුවන බව අවබෝධ කරගත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතැන විසින් ඔහු ඌව පළාත භාර දිසාවේ ධුරයටද පත් කරනු ලැබීය. කැප්පෙටිපොළ කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රබල දේශපාලන ආධිපත්‍යයක් ඉසිලු ඇහැලේපොළ අධිකාරම්තුමාගේ සොහොයුරියකගේ පුත්‍රයෙක් විය. කාලයක් ඌව පළාත භාර දිසාපති ධුරය දරන ලද්දේ සයිමන් සෝවස් නැමැත්තෙකි. සෝවස් දිසාපතිවරයාත් කැප්පෙටිපොළ දිසාවේත් අතර පැවතියේ අතිශයින්ම සමීප සම්බන්ධතාවකි. රාජකාරීවලට අමතරව මෙම දෙදෙන නිතර නිතර මුණ ගැසීමේ පුරුද්දක්ද පැවැතිණි. සමස්ත ඉංග්‍රීසි ජාතිකයන් තුළ මෙන්ම සෝවස් තුළද කන්ද උඩරට ප්‍රභූවරුන් කෙරෙහි, පොදුවේ සිංහල ජාතිය කෙරෙහි පැවැතියේ බලවත් සැකයකි. අප්‍රසාදයකි. එහෙත් කැප්පෙටිපොළ කෙරෙහි පැවතියේ එයට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි. හෙතෙම කැප්පෙටිපොළ හඳුනාගෙන සිටියේ බොහෝ සෙයින්ම ප්‍රිය මනාප එඩිතර ඉංග්‍රීසීන් කෙරෙහි ලෙන්ගතු පැවරුණු කාර්යයක් අවංකව මැනවින් ඉටුකරන අවංක සිංහල නායකයකු ලෙසිනි.
මැලේරියා එන්නත මුලින්ම මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ පැන නැගුණු ප්‍රබල විරෝධතාව හමුවේ කැප්පෙටිපොළ පළමුවෙන්ම එම එන්නත විද ගැනීමෙන් පසු පවුලේ සියලුම දෙනාට විද ගැනීමට නියම කිරීමෙන් ඒ බව තහවුරු විය. කැප්පෙටිපොළ තරම් වීර වික්‍රමාන්විත ජාතික විමුක්ති සටනක් මෙහෙයවූ ගහලයා ඉදිරියේදී පවා මනා ප්‍රකෘති සිහියෙන් එක කඩු පහරින් හිස කඳින් වෙන් කරන ලෙස නියෝග කළ කෙනෙක් හිරු නොබසින අධිරාජ්‍යයේ තබා ලෝක ඉතිහාසයේ මේ දක්වා කවර තැනෙක හෝ දක්නට නැත. උඩරට ප්‍රභූවරයන් අතර මුල් බැසගත් එදිරිවාදිකම්, පාවාදීම්, දෙපිට කාට්ටුකම්, පරගැතිකම් මධ්‍යයේ ප්‍රබල ආයුධවලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාව සමග කළ සටන දේශීය සටන්කාමීන්ට පරාජය ගෙන දෙමින් අවසන්විය.
1818 නොවැම්බර් මස 13 වෙනි දින කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන සිරකරුවන් දෙදෙනාට මහා බි්‍රතාන්‍ය රාජෝත්තමයන් වහන්සේගේ නීත්‍යානුකූල රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව මත මරණීය දණ්ඩනය නියම විය. මරණයට කැපව සිර කුටිය තුළ සිටි කැප්පෙටිපොළ බැහැදැකීමට සෝවස් දිසාපතිවරයා පැමිණ සුහද පිළිසඳරෙහි යෙදී සිටින අයුරු සුලභ දර්ශනයක් විය. මෙම මිත්‍රත්වය සිය හිතවතාගේ හිස කඳින් වෙන්වන තෙක්ම පැවතුණි. වරක් සෝවස් සිර කුටිය තුළට ඇතුළු වූ විට කැප්පෙටිපොළ තම ඉණ වටා වූ අමතර සළුව බිම එලා ‘මම මෙහෙම වැරහැලි ඇන්ද කෙනෙක් නොවේ’ යි සිනාමුසු මුහුණින් පැවසූ බව සඳහන් වෙයි. මෙසේ මිතුරන් දෙදෙන මුණ ගැසුණු අවස්ථාවන්හිදී සුවදුක් ආගිය තැන් ආදි විවිධ දේ කතා කළත් ඉංග්‍රීසි සිංහල සටන ගැන කතා නොකළහ. ආක්‍රමණිකයාගෙන් තනතුරු ලබාගැනීම නොකළ යුත්තක් බවත් සටන දුර්වල වනු දැක දැකම නිදහස පිණිස අවි බිම තැබීමට කළ නියමය නොසලකා හැරීම තමාගෙන් සිදුවූ ප්‍රමාද දෝෂයක් බවත් හෙතෙම වක්ක්‍රෝක්තියෙන් හැඟ වූ බවත් සෝවස් සඳහන් කරයි. දිසාපති සෝවස් සහ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාත් අතර පැවති කිට්ටු මිත්‍රත්වය මත මරණ දඬුවම ලිහිල් කෙරෙතියි හෝ රටින් පිටුවහල් කෙරෙතියි හෝ කැප්පෙටිපොළගේ විශ්වාසය විය. ජීවත්වීම අතිශයින් දුක් කම්කටොලු ආදියෙන් ගහන වුවත් මරණය හමුවේ ජීවත්වීමේ අපේක්ෂාව ඔහු තුළ පැවැති බව තමා සමග කළ කතාබහේදී පැහැදිලි වූ බව සෝවස් සඳහන් කරයි. තමා මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්වූයේ පෙර ආත්මභයන්හිදී කළ බලවත් අකුසල කර්මයක ප්‍රතිවිපාකයක් වශයෙන් යයි පැවසූ බවත් සෝවස් සඳහන් කරයි.
වර්ෂ 1818 ක් වූ නොවැම්බර් මස 25 දින හිමිදිරි පාන්දර වීර කැප්පෙටිපොළ සහ ජාතික විමුක්ති සටනේ ප්‍රබල නායකයකු වූ මඩුගල්ලේ නම් විරෝධාර පුරුෂයාගේ ඉල්ලීම මත අවසන් ආගමික වතාවත් ඉටු කිරීම සඳහා ඉංග්‍රීසිහු දළදා මාලිගය වෙත කැඳවාගෙන ගියහ. තම මිතුරාගේ උදාර ගති පැවතුම් හමුවේ තම ජාතියට එරෙහිව කළ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා නොසලකා සෝයස් දිසාපතිවරයා දළදා මාලිගය වෙත පැමිණ එහි වූ ආගමික වතාවත් දෙස නිසොල්මන්ව බලා සිටිනු දක්නට ලැබිණි.
දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරියෙහි දණින් වැඳ වැටුණු කැප්පෙටිපොළ වීරයා හොඳ සිහිබුද්ධියෙන් ගෞරවාන්විතව මහා සාගරයක්වන් තෙරුවන් ගුණ සිහියට නැගුණු අයුරින් ශබ්ද නගා පැහැදිලිව උච්චාරණය කරමින් තෙරුවන් නැමදීය. අනතුරුව බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා තමා ඉටු කළ මෙහෙවර මුවින් එක දිගට ගලා එන්නට විය. අවසානයේ මෙම කුසලානිංශයන්හි බල මහිමයෙන් මෙවන් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවී ඊළඟ භවෝත්පත්තිය හිමාලය කඳුවැටිය ආශ්‍රිත බුද්ධ භූමියක උපත ලබා එම ආත්මභවයේදීම නිවන් සුවයෙන් සැනසීමට මෙම සත් ක්‍රියා උපස්ථම්භක වේවායි යන ප්‍රාර්ථනයෙන් නිහඬ විය.
මරණාසන්න අනුශාසනය සඳහා වැඩ සිටි භික්ෂූන් වහන්සේ කෙරෙහි දැක්වූ ගෞරව සම්ප්‍රයුක්ත භක්ති ප්‍රණාමය පෞද්ගලිකව පැවැති ළබැඳියාව දුටුවකුට මිස වාර්තාකරුවකුට වාර්තාකළ හැකි දර්ශනයක් නොවීය. ‘අප හිතවත් කැප්පෙටිපොළ දිසාවේතුමනි, අහසට විසි කළ යමක් පෘථිවි තලයට පතිතවන්නේ යම් සේද එලෙසින්ම ඔබතුමා ත්‍රිවිධ රත්නයට යම් පරිත්‍යාගයක් අනුග්‍රහයක් මෙහෙවරක් දැක්වීද එහි ආනිශංස ඔබතුමා කරා පැමිණීම බුද්ධ භාෂිතය’ යයි අනුශාසනය නිමවිය. දණින් නැගී සිටි කැප්පෙටිපොළතුමා සෝවස් දෙසට හැරී මෙම පිනින් භාගයක් ඔබට යයි පැවසීය. උඩුකය වසා තිබූ සළුව දෑතට ගෙන මදක් එලෙස බලා සිට මෙය කිළිටි වුවත් පින්වල දැලි කුණු නැතැයි පවසමින් දළදා හාමුදුරුවන්ට එය පූජා කළේය. සෝවස්ගේ දෑත් තදින් අල්ලාගත් කැප්පෙටිපොළ ‘ඔබ මා සමග පෝරකය දක්වාම පැමිණිය යුතුයි’ පැවසීය. එවිට සෝවස් එම ඉල්ලීමට කාරුණිකව නොකැමැත්ත ඇඟවිය.
චූදිතයන් දෙදෙනාට මරණ දණ්ඩනය පමුණුවනු පිණිස බෝගම්බර වැවේ පහළ කොටස වෙත ගෙන ගියහ. එහිදී අත්පා දෝවනය කරගත යුතු බවත් බුදු ගුණ සිහියට නංවා ගැනීමට මද වේලාවක් අවශ්‍ය බවත් ප්‍රකාශ කිරීමෙන් පසුව එයට ඉඩකඩ සැලසිණි. වැව් ඉවුරට ආසන්න සමතලා බිමෙහි වීර කැප්පෙටිපොළ සැකයකින් බියකින් පැකිලීමකින් තොරව ඍජුව හිට ගත්තේය. විසිර තිබුණු කෙස් ඒකරාශී කර හිස් මුදුනට ගෙන තදට ගැට ගසා ගත්තේය. අසල වූ පඳුරකට පා ස්පර්ශ වන සේ දෙපා විහිදුවා වාඩි ගත්තේය. ධම්මපද ගාථා රත්නය ගෙන ගාථා ශෛලියෙහි පිහිටා මහ හඬින් කීවේය. ආරක්ෂක භටයකු අමතා සෝවස් දිසාපතිවරයාට මෙම මාහැඟි ග්‍රන්ථය කැප්පෙටිපොළ දුන් බව පවසන සේ ඉල්ලා සිටියේය. දෙපා එහා මෙහා යෑම වැළැක්වීමට පඳුර මැද්දෙන් දෙපා යවා ඇඟිලිවලට තද කර ගත්තේය. අළුගෝසුවා පිටුපසින් නියෝගය ලැබෙන තෙක් කඩුව අමෝරාගෙන සිටියේය. නවඅරහාදී බුදුගුණ ගාථාවේ ඉතිපිසෝ භගවා කියවෙන විට අසිපත එසවිණ. අරහං සම්මා සම්බුද්ධෝ කියවෙන විටම හිස කඳින් වෙන් විණි.
මෙවැනි අසාමාන්‍ය එඩිතර බවක් ප්‍රදර්ශනය කළ අභීත පුරුෂයකු පිළිබඳ අසා නැති දැක නැති ඉතිහාසයේ නැති හෙයින් හිස ප්‍රදර්ශනය සඳහා බි්‍රතාන්‍ය කෞතුකාගාරයට භාර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ලිපියක් (නි)
වීර කැප්පෙටිපොළ උතුමාගේ ශ්‍රී නාමයට සිංහළයින් සදා ණය ගැතියි.නිවනින්ම සැනසෙත්වා (ම)
ඉතා හොඳ ලිපියක් (නි)
ඇන්ජිලෝ, ඔබතුමා සිංහල කතාකළාට ඔබේ සම්භවය කුමක්ද කියා සොයා දැනගෙන කතා කරන්න. සිංහල යැයි ආඩම්බරයෙන් උඩපනින හැමෝම තම තමන්ගේ පෞද්ගලික ඉතිහාසය සොයා බලන්න. (නි)
මෙතුමා ඉන්දියන් ජාතිකයෙක් කියායි මම නම් අසා ඇත්තේ. පසුව මොනරවිල කියන නම රජතුමාගෙන් ලැබුනා නේද? (නි)
අපේ ජාතික කෞතුක වස්තු කොතරම් තියෙනවා ඇත්ද ඔය කියන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ. අඩුම තරමේ මේ වීරයාගේ හිස් කබලවත් එහෙ තියෙනවනම් එය අපට දැකගන්න සලස්සනවානම් මොනතරම් අගේද.(අ)
සේරම්, මරණය හෝ ජීවත්වීම උදාර වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපය අනුවයි. ද්‍රෝහියෙකු වී දැනට ජීවත්වෙනවාට වඩා වීරයෙකු වී මැරෙන එක උතුම් බව නොවැටහීම ජාතියේ අභාග්‍යයක්. එකල පමණක් නොව දැනුදු වැඩි දෙනෙකු ඉන්නේ රට විකුණා හෝ ජීවත්වන ද්‍රෝහීන් බව නොදැනීම තවත් ජාතියේ ඛේදවාචකයක් (නි)
කොහොමත් මරණයට පත්වීම වීරකමක් ලෙස සලකන උදාර ජාතියක් අපි ,(හේ)
කැප්පෙටිපොල දිසාවේ වටේ ඉඳල තියෙන්නේ අශික වගේ හිතන මතන මිනිස්සු. නමින්සිංහල වුනාට එකාට එකා නැහැ.ඉතින් කොතරම් හොද නායකයෙක් වුනත් පැවැත්මක් තිබේවිද?(අ)
සිංහලය විසින් සිංහලයට ගරහන පහත මානසිකත්වය සබැ සිංහලයන් තුල නැත.(අ)
අශික ගිය ගිය තැන මිනිසුන්ට ගරහනවා. බලන කෙනෙකුට තේරෙනවා මොලේ අමාරුව තියෙන්නේ කාටද කියල. (අ)
කැප්පෙටිපොළ චරිතය ආදර්ශයට ගත් අය අපි අතරත් ඉන්නවා (නි)
තම අවසන් මොහොතේ බුදුගුණ සිහිකර ගන්න ලැබීමම මහා ජයග්‍රහණයක්. ඒ ජන නායකයෝ කොතරම් බුදු දහමට බැදීමෙන් සිටින්න ඇද්ද? අද සාමාන්‍ය මරණයකට මුහුණදෙන කෙනෙකුවත් මේ වීර ක්‍රියාව කිරීමට සමත් නොවේ (නි)
අපි දකුණෙන් තමයි ලෝකේ සුපිරිම අය බිහිවෙන්නේ කියන මානසික ලෙඩුන්ට මෙම ලිපිය සුවයක් ගෙන දේවා! වීරයන් බුද්ධිමතුන් රටේ කොහෙනුත් බිහිවන අතර කැප්පෙටිපොළ වීරයා ජාතියට බිහි වූ ජාතික වීරවරයෙක් (නි)
ඇත්තම වීරයෙක් වුණු කැප්පටේපොළගේ චරිතය අපේ දේශපාලක නායකයෝ ආදර්ශයට ගත්තොත් මෙි රට කොචිචර සුන්දරද? මවෙන් පාඩම් පාසල් අධ්‍යාපනයට ඇත‍්නම් වසර 2000 කට පෙර යුගයක් නැවත අපගේ ඇසට දැකිය හැකි වේවි යැයි මා පතනවා (බ)
ප්‍රඥාවෙන් තොර දේශානුරාගයෙන් පලක් නැත. අවසානයේ ඉතිරි වන්නේ අරමුණ ජයනොගත් ජාතික වීරයෙකුගේ මතකය පමණයි. මෙතුමා ඉංග්‍රීසින්ගේ අවිආයුධ ආපසු යැවීමේ කතාව නැවත විමසා බැලිය යුතුයි. එම ආයුධ අපේ ජාතික සටනට යොදාගත්තා නම් ඉංග්‍රීසින් පරාජය කිරීමේ හැකියාවක් තිබුනා නොවේද? (නි)
මෙවන් කතා පාසල් පොත් වලට ඇතුළත් කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා සුදුසුය. දැන් ඉන්න ඇතැම් ළමුන් තුළ දැකිය හැක්කේ ආත්මාර්ථය පමණි. උදාහරණයක් ලෙස පාසලේ පළමු දින පිරිසිදු කිරීමට සිදුවන නිසා පළමු දින නොයන ළමුන් ඕනෑතරම් ඇත. (නි)
ඉතා වටිනා ලිපියක් (නි)
මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)
ඉතිහාසය විසින් මිනිසුන් තනන්නේ නැහැ. මිනිසුන් විසින් ඉතිහාසය නිර්මාණය කරන්නාසේම ඉතිහාසය විනාශ කරන හිත් පිත් නැති පාලකයෝ එදත් අදත් ලෝකයට බිහිවුණා. කැප්පෙටිපොළ මොනරවිල දිසාවේ කියන්නේ රජකමට සුදුසු පුද්ගලයෙක්. පිළිමතලාවේ වැනි බලකෑදර නිලමේලාගේ ඊර්ෂ්‍යාවට ලක්නොවන්න, දුටුගැමුණු රජතුමාගෙන් පසු අපට බිහිවෙන්න තිබු ශ්‍රේෂ්ඨතම රජතුමා කැප්පෙටිපොළ දිසාවේතුමයි. සිංහලයා විසින් සිංහලයාගේ වළ කැපීම අදත් සිදුවෙන බව ශෝකයෙන් වුවත් මෙනෙහි කරමි. එතුමා ප්‍රාර්ථනා කළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට එතුමා ළඟ තිබු සැබෑ බෞද්ධකම හොඳටම ප්‍රමාණවත් වූ බව නිසැකයි. (නි)
අපේ දැන් ඉන්න ජන නායකයෝත් මේ වගේ එඩිතරයි තමයි. නේද? (නි)
ඉතාම වටිනා ලිපියක්. කියවද්දී හරිම රසවත් (නි)
ඉතාම වැදගත් ලිපියක් (නි)
කැප්පෙටිපොල චරිතය වාගේම මේ අවධියේ දකින වීර චරිතය තමයි ජාතිද්‍රෝහීන් අතින් ඝාතනය වූ කොබ්බෑකඩුව සෙන්පතිතුමා.... (නි)