IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කාලගුණ විපර්යාස සුළුවට ගණන් ගන්න එපා

“දෙවියන්ගේ පානය අමාවයි: මිනිසාගේ අමාව ජලයයි!” මේ වැකිය දැනට වසර දශක කිහිපයකට පෙර මෙරට පළ වූ පුවත්පත් දැන්වීමක සඳහන් වූවකි. අදාළ දැන්වීම ජල සම්පත සුරැකීම සෑම මිනිසකුගේම වගකීමක් බව පෙන්වා දීම සඳහා පළකර තිබූ දැන්වීමක් බව ද අපට මතකය. මෙකී ප්‍රබල වැකිය එදාට වඩා අද දවසට දැඩි ලෙස අදාළ බව සඳහන් කරනු කැමැත්තෙමු. නියං තත්ත්වය ද සමඟ මේ රට මුහුණ දී සිටින ජල සම්පත හිඟවීමේ ප්‍රශ්නය එන්න එන්නම උග්‍රවෙමින් පැවතීම ඊට හේතුවය.

ශ්‍රී ලංකාව දැන් යළිත් දරුණු නියං තත්ත්වයකට මුහුණ දී සිටියි. රජරට වැසියෝ ලක්ෂ ගණනක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. බීමට ජලය ගන්නා ළිං පමණක් නොව වගාවට ගන්නා වැව්වල ජලය ද සිඳී ගොසිනි. වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ගොස් ඇති බව පෙන්නුම් කරන ඡායාරූප මාධ්‍යවල පළ වූ අතර තත්ත්වය ඉදිරියේදී තවත් බැරෑරුම් අතට හැරෙන බවට ලකුණු පහළවෙමින් තිබේ. ඒ අතරවාරයේ කැලෑ වැනසීම ද ජයටම සිදුවෙමින් පවතී. රිටිගල රක්ෂිතයේ මහ කැලෑවේ අක්කර 50කටත් වඩා මහ ගස් කපා දමා හෙළිකර ඇතැයි පසුගියදා වාර්තා පළ විය. කැලෑ කපන තරමට මේ තරමින් හෝ රටට වැස්ස ලැබීම ගැන දෙවියන්ට ස්තූති කළ යුතුය. 
මෝසම් වර්ෂාව නොලැබීම ඉදිරි මාස කිහිපය තුළදී මේ රට තුළ බරපතළ ජල ප්‍රශ්නයක් ඇති කරන බවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා අනතුරු ඇඟවීය. බත්තරමුල්ලේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම රතු එළිය දල්වමින් ඉදිරි කාලය තුළදී රටෙහි ඇති වන පානීය ජල ප්‍රශ්නයට, කෘෂිකාර්මික හා විදුලිය නිෂ්පාදනයට ජලය යොදා ගැනීමේදී ඇතිවිය හැකි ප්‍රශ්නවලට මුහුණදීම සඳහා “කාලගුණික හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කළ යුතු බව ද සඳහන් කළේය. කාලගුණික හා දේශගුණික විපර්යාස අද ලෝකයටම බරපතළ ප්‍රශ්න ඇතිකර තිබෙන බවත් ඔහු කියා තිබිණි.

ප්‍රශ්නය මේ තරම් බරපතළ වන විට එය වහාම රටේ සියලු වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතුය. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ සිදුවෙමින් පවතින කාලගුණ විපර්යාස කිසිවකුත් ගණන් නොගැනීම පැහැදිලිවම අනාගතයේ දී බරපතළ අර්බුදයකට අතවැනීමකි. මේ අර්බුදයේ විනාශකාරී බලපෑම දේශපාලන පක්ෂයකට, ආණ්ඩුවට හෝ විපක්ෂයට නොව මුළු රටටමය.

මෝසම් වැස්සෙන් පානීය ජලය, කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගන්නා රටක් වන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික හා කාලගුණික විපර්යාසවලට ගොදුරු වීමේ බරපතළ අවදානමකට මුහුණ දී සිටින රටකි. මෝසම් වැස්ස නිසි ආකාරයට නොලැබුණොත් රටේ ප්‍රදේශ කිහිපයකට දරුණු නියඟයක් ඇතිවෙයි. සෙසු ඇතැම් ප්‍රදේශවලට දරුණු වැසි ද ඇති විය හැකිය. මෙවැනි අසමතුලිත කාලගුණික තත්ත්වයක් ඇතිවීමට ගෝලීය උෂ්ණත්වයේ ඉහළයාම පමණක් නොව අපේ රටේම ඇතැම් විනාශකාරී පුද්ගලයන්ගේ කැලෑ කැපීම් වැනි ක්‍රියාකාරකම් ද හේතු වන බවත් පෙන්වා දිය යුතුය. එය පාලනය කිරීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.
මේ ආකාරයට නියං තත්ත්වයක් අපේ රටේ ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසර කිහිපයේ ද වරින්වර දරුණු නියං කාල ඇති විය. නියඟය ස්වාභාවික ආපදාවක් බව සැබෑය. එහෙත් එය නිසි ලෙස කළමනාකරණය කරගන්නේ නම් එහි ආදීනව අඩු කරගත හැකිය. අදාළ ප්‍රදේශවල ජනතාව පෙර සූදානමකින් තබා ඔවුන්ගේ අවශ්‍යතා හැකිතරම් දුරකට ඉටුකර දීමට පියවර ගත හැකිය. එහෙත් තවමත් පෙනෙන්නේ පෙර ආකාරයටම නියඟය නිසා වැව් පතුල් වේලී පැලී යනතුරු ඒවාට පිළියම් යෙදීමක් සිදුනොවන බවය. නියං ආපදාව කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නැත. මනා සම්බන්ධීකරණයකින් යුත් එවැනි තිරසාර කාලෝචිත ප්‍රතිපත්ති හා සැලසුම් මඟින් මහජනතාවගේ පීඩාව ද ආපදාවේ හානිය ද අඩු කරගත හැකි වනු ඇත.

යුරෝපයේ බොහොමයක් රටවල පරිසරය, කාලගුණික සහ දේශගුණික විපර්යාස සංවේදී මාතෘකා වෙයි. මේ මාතෘකා ඇතැම්විට, නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්තය වැනි රටවල ඡන්ද පොරොන්දු බවට ද පත්වෙයි. ඒ කාලයේ පරිසරය රැකීම ඡන්ද පොරොන්දු බවට පත්වන බව අසා අපි ඇතැම් විට සිනා පහළ කළෙමු. එහෙත් එහි වටිනාකම අප සියලුදෙනාටම වැටහෙන්නේ දැන්ය. පරිසරය රැකීම, ගස් කැපීම වැළැක්වීම, අපතේ නොයවා ජල සම්පත සුරැකීම අපේ රටේ ද ඡන්ද පොරොන්දු බවට පත් කරගත යුතු වෙමු. ඒ සමඟ ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට ජනතාවද බලයට පත්වන ආණ්ඩුවලට බල කිරීම ද අවශ්‍යය. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් ඒවා නොපෙනෙන නායකයන් ද සිටින බැවිනි.

පරිසරය රැක ගැනීමකින් තොරව රටේ ජල සම්පත රැක ගැනීමක් ගැන සිතීම පවා පලක් නැත. ඒ සඳහා ආදර්ශය පැමිණිය යුතුවන්නේ ඉහළ සිට පහළටය. රටේ වන සම්පත් විනාශ කරන කැලෑ පාළුවන් පිටුපස සිටින මහ බලවතුන් හඳුනා ගැනීමත් තරාතිරම නොබලා ඔවුන් නීතිය හමුවට පැමිණවීමත් අත්‍යවශ්‍ය වෙයි. මෙවැනි ඍජු තීන්දු ගැනීමකින් තොරව “කාලගුණික හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පලක් නැත. අපේ රටට පමණක් නොව බලවත් රටවල්වලට පවා භයානක ප්‍රතිඵල අත්කර දෙන කාලගුණික සහ දේශගුණික විපර්යාස පිළිබඳව සියලු දෙනාම දැනට වඩා දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය. එසේ නොවූවොත් මිනිසාගේ “අමාව” සොයා දෙවියන් යැදීමෙන් වුවද පලක් නොවනු ඇත.  



අදහස් (0)

කාලගුණ විපර්යාස සුළුවට ගණන් ගන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 86 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 62 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 494 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 134 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 178 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site