IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කවියේ වෙනස විතරයි දියුණුවක් නෑ

නන්දන වීරසිංහ නූතනයේ අප අතර සිටින ප්‍රතිභාසම්පන්න  කවියන්ගෙන් ප්‍රමුඛයෙකි. ඔහු වරින් වර ලියූ බොහෝ කවිපොත් මෙරට පාඨක රසික විචාරක ප්‍රජාවගේ අවධානයටත් නොමද වින්දනයටත් එදා වගේම අදත් ලක්වෙමින් තිබෙන බව පෙනේ. කිරි සුවඳැති රාත්‍රිය සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිඳෙක, රැය කරා ගමන, ක්ෂණ නියාම යන කාව්‍ය කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත. එසේම ගිංගඟේ විලාපය, චන්ද්‍ර බිම්බ, සහස් රැස්යට, තුන් පෙති හරස් පස් පෙති (ආරියවංශ රණවීර සමග) වැනි  කාව්‍ය සංග්‍රහද ඔහුගේ සෙසු කෘති අතර කැපී පෙනේ.

නන්දන වීරසිංහ මහතාගේ නවතම කෘතිය ‘සියයක් මොමිජි පත්’ යන්නයි. එය  සම්භාව්‍ය ජපන් වකා කාව්‍ය එකතුවක සිංහල පරිවර්තනයකි. කවි රචනයේ යෙදෙන අයටත් කවිය අධ්‍යයනය කරන්නටත්, රසවිඳින අයටත් මෙම කෘතිය නව අත්දැකීමක් වනු ඇත. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් නන්දන වීරසිංහ මහතා සමඟ අප කළ සංවාදයක සටහනකි.

• සියයක්  මොමිජි පත් නමින් මේ එළිදැක ඇත්තේ සම්භාව්‍ය ජපන් කවි සියයක අනුවාදයක්. වකා හෙවත් තන්කා යනුවෙන් හැඳින්වෙන මේ කවිවල විශේෂත්වය කුමක් ද?

ජපානයේ බිහි වූ විවිධ කාව්‍ය විලාස අතර, වකා හෙවත් තන්කා එරට ඉපැරැණි ම හා ප්‍රමුඛ කාව්‍ය මාර්ගය ලෙස සැලැකෙනවා. අපේ අතීත ගී කාව්‍ය සම්ප්‍රදාය මෙන් වකා, ජපානයේ මූල කාව්‍ය ආකාරය බව කිව යුතුයි. වකා යන තනි වදන ශබ්ද දෙකකින් යුක්ත යි. “ව” යන්න ජපන් යන අරුත දෙනව. “කා” යන්නෙන් කවිය නැත්නම් Song යන අරුත ලැබෙනවා. වකා යන නාමයේ නිසි අරුත ජපන් කවිය, නැතහොත්, Japanese poetryයන්නයි. එසේම තන්කා යන්නෙන් කෙටි කවිය යන අරුත ලැබෙනවා.

පේළි පහකින් යුතු වකා කවියට සමකාලීන ව චෝකා නම් දිගු කාව්‍ය ආකාරයක් හා හන්කා නම් සංක්ෂිප්ත කාව්‍ය විලාසයක් පැවැතී, පසු ව අතීතයට පසුබැස ගියා. ජපන් අධිරාජයන්, විද්වත් රාජසභිකයන් ඇසුරේ වර්ධනය වූ වකා, රාජසභා කාව්‍ය ක්‍රමයක් ලෙස වැඩිදියුණු වුණා. පුරා වසර 1500 පමණ කාලයකට ඉහත ආරම්භ වූ වකා, අදත් ජීවමාන කාව්‍ය ව්‍යාපාරයක් ලෙස ජපානයේ පමණක් නොව, ඇමරිකා හා යුරෝපා රටවලත් ප්‍රචලිතව පවතිනවා. මෙහි ඇති විශේෂත්වය එයයි.

• ජපන් කාව්‍ය ගැන කතාකරන විට බොහෝ දෙනාගේ මතකයට එන්නේ හයිකු කවිය යි. හයිකු හා වකා යනු එක ම සම්ප්‍රදායයක් ද? මේ දෙක එකිනෙකට වෙනස් වන්නේ කෙසේ ද?

හයිකු කවිය බිහි වීමට වසර දහසකට පමණ පෙරාතුවයි වකා කවියේ ජන්මය සිදුවුණේ. එය හයිකු කවියේ හටගැන්මට මූලාධාර වුණා. වකා ලියැවුණේ 5-7-5-7-7 යන නිශ්චිත මාත්‍රා සහිත ව, ඒවායේ සංඝටනයෙන් නැඟෙන හඬ රටාව සහිත පේළි පහකිනුයි. අපේ පාඨකයන් දන්නවා හයිකු ලියැවෙන්නෙ 5-7-5 සහිත නිශ්චිත මාත්‍රා සහිත ව පේළි තුනකින් බව. යොඑල් හොෆ්මන් කියන ඇමරිකා මහාචාර්යවරයා ඔහුගෙ Japanese Death poemsනම් පොතේ පෙරවදනෙ සඳහන් කරන අන්දමට, වකා කවියා තම දෑතේ කැටපත් දෙකක් තබාගෙන සිටින්නකු වගෙයි. 

එයින් එක් කණ්ණාඩියකින් සොබාදහමේ වස්තූන් පිළිබිඹු කරනවා. අනෙක් කැටපතින් කවියා ගේ පිළිබිඹුව මතුවෙනවා. මේ අන්දමට වකා කවිය සොබාදහම සමඟ මුසුවෙනව වගේ ම, කවියේ සිටින නිරීක්ෂකයා නැත්නම් කවියා දෙසටත් යොමු වෙනවා. හයිකු කවියාට මේ කණ්ණාඩි දෙකින් තමා, නැත්නම් කථකයා පිළිබිඹු කරන කැටපත නැහැ. මේක වඩාත් අවධානයට හසු විය යුතු අංශයක්. හයිකු කවියා තමාගේ පිළිබිඹුව සහිත දර්පණතලය සුණු විසුණු කරල, තම අතේ ඉතිරි කරගන්නෙ සොබාදහම රූපණය කරන කණ්ණාඩිය පමණයි. මෙතැන දී ෆුජිවරා නෝ යොෂිසුනේ නම් අතීත කවියගෙ වකා නිමැවුමක් නිදසුනක් ලෙස ගත හැකියි.

“මේ ගෙවී යන දිනවල
කුලුපග මතක සිහියට එළැඹෙයි
සරත් සමයේ හිරු බැස යත
මුවකු නංවන නද
කෙත්වත් පුරා පිළිරැවු දෙයි”

මෙහි දී කථකයකු පෙනීසිටිනවා. කුලුපග මතක සිහිපත් වන බව පවසනවා. තමා දකින සරත් කල හිරු බැස්ම ගැන කියනවා. සරත් සමය, හිරු අවරපත් වීම, මුවකු ගේ නාදය වැනි ඉන්ද්‍රීයරූප මඟින් මරණය ධ්වනිත කරනවා. හයිකු කවිය මේ ආකාරයට කථකයා තීව්‍ර ලෙස මතුකරන්නෙ නැහැ. කුලුපග මතක වැනි යෙදවුම්වලට එකී කවි ආකාරයේ අවකාශ නැහැ. ඔහු අර වකා කවියේ මුල් පේළි දෙක අත්හැර, අග පේළි තුනට රිසි වනවා. එවිට කවිය මෙහෙම යි.

“සරත් කල හිරු බැස්ම:
මුවකු ගේ නාදය
කෙත්වත් පුරා පැතිරෙයි”

වකා කවියෙදි වගේ කථකයාගේ හැඟීම්, විඳීම්, අනෙකුත් සබඳතා දැක්විය හැකි අවකාශය හයිකු මාර්ගයෙ නැහැ. එ සේ, එහෙත්, වුවත්, එවිට වැනි සම්බන්ධීකාරක නිපාත තන්කා කවියේ යෙදිය හැකි වුණත්, හයිකු රීතියෙ නිපාතවලට ඉඩ නැහැ. එහෙත් චිත්තරූප දෙකකින්, ඍතු පදයකින් විසල් ක්ෂණිකාලෝකයක් මවන්න වකා කවිය සමත්. එය අපේ සීගිරි ගීයේ ඇති පේළි අතර වන අන්‍යොන්‍ය බන්ධනය හා සංවිධානය සිහිගන්වනවා. වකා අපේ කෙටි කවි ස්වරූපයට සමීපයි. මා ජපන් කවියේ හෝ කාව්‍ය පරිවර්තනයේ විශාරදයකු නොවන බවත්, එහෙත් ඊට මහත් ඇලුම්වත් අයකු බවත් ඒ සමඟම සිහිපත් කරන්න කැමතියි.

• සංක්ෂිප්ත කාව්‍ය පිළිබඳ ව අපේ කවියන්ගේ හා රසිකයන්ගේ උනන්දුව පෙරට වඩා වැඩි වි ඇති බව පෙනෙනවා.එබඳු සමයක අප වකා කවි අධ්‍යයනය කිරීමේ වටිනාකම කුමක් ද?

තමාට කීමට අවශ්‍ය දෙය, බුද්ධිවිෂයක ආකල්ප සහිත ඍජු ප්‍රකාශනයක් බවට පත් නොකොට, එය කවියක් බවට පත්කිරීමට අවශ්‍ය ශික්ෂණය, අනුප්‍රාණය වකා අධ්‍යයනයෙන් ලබාගත හැකියි. ජපන් කවියන්, චීන අනුකාරකයන් ලෙස බොහෝ කාලයක් සිටියෙ නැහැ. චීන විලංගුවෙන් මිදී, ස්වාධීන වකා කවි මඟක් ඔවුන් ගොඩනැඟුවා. හුදු වචනයේ බරින් කවිය මුදාගැනීමට, චිත්තරූප භාවිත කරන අයුරු වකා කවි අධ්‍යයනයෙන් අපට වටහාගත හැකි යි. බාහිර ලෝකයෙන් ගත් විෂය වස්තුව පිළිබඳ ව කවියාගේ විශේෂ මෙනෙහි කිරීම මඟින්, එහි කාව්‍යෝචිත ගම්භිත්වයක් ඇතිකරන අයුරත්, මෙමඟින් අවබෝධ කළ හැකියි.

• රසිකයාට හා කවියාට තව දුරටත් ලෝකය විවෘත වීම වැදගත්. ලොව නව කවියේ ප්‍රවණතා අපේ සාහිත්‍යයට පරිවර්තනය වනවා ද? එහි අවශ්‍යතාව ඔබ දකින්නෙ කොහොම ද?

සාර්ථක විදේශ කාව්‍ය ඇසුරු කිරීමෙන් යම් කවියකුට ස්වකීය සම්ප්‍රදාය පෝෂණය කළ හැකි වනවා. එස්රාපවුන්ඩ්, හිල්ඩා ඩූ ලිට්ල්, ඇමි ලොවල් වැනි කවි කිවිඳියන් යුරෝපීය භාෂා කෙරෙන් සපුරා වෙනස් චීන කවියට අවධානය යොමු කළා. එමඟින් ඉංග්‍රීසි කාව්‍ය ව්‍යාපාරය සප්‍රාණික කළා. ජී.බී. සේනානායක, සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර යන කවීන් විට්මන්, පවුන්ඩ්, එලියට් වැනි කවියන්ගෙන් යම් පෝෂණයක් ලැබුවා. එනිසා වඩාත් ප්‍රබල, සර්වකාලීන ගුණාංග සහිත අන්තර්ජාතික කාව්‍ය නිර්මාණ පරිවර්තනය විය යුතුයි. එමඟින් හඳුනාගන්නා කාව්‍යොපක්‍රම, තම කවියේ ආභ්‍යන්තරික ආත්මය උසස් කිරීම සඳහා සප්‍රයෝජනවත් වනවා. එහෙත් වඩාත් පරිපූර්ණ ලක්ෂණ සහිත කවි පරිවර්තනය අපහසුයි. එය භාෂා විශාරද භාවයෙන් ම කළ හැක්කක් නොවෙයි. එබඳු ප්‍රයත්න සඳහා වෙහෙසෙන අය අඩුකම අභාග්‍යයක්.

• නූතන කවියේ කොළඹ යුගයේ මුල් පරම්පරාවෙන් පටන්ගෙන, අද දක්වා පැමිණි මඟ සලකා බැලුවොත්, වෙනත් සාහිත්‍යාංගයන්ට වඩා කවියේ ප්‍රබල වෙනස් වීමක්, වර්ධනයක් දකින්න පුළුවන් බවයි විචාරකයන්ගෙ අදහස. මේ ගැන ඔබේ අදහස කවරක් ද?

ඔබ පවසන පරිදි වෙනස් වීමක් නම් දැකගත හැකියි. එහෙත් ප්‍රබල වර්ධනයක් සිදු වී ඇතැ යි යන්න ගැන නම් මට කුකුසක් තිබෙනවා. ඔබ කියූ සමයේ සිට ම වරින් වර කවියන් කිහිප දෙනකු පහළ වී මෙරට කවිය පොහොණි කළ බව ඇත්ත. එහෙත් ඔවුන්ගේ සාධනීය කාව්‍යෝචිත ප්‍රවණතා විභාග කරමින්, ලෝක කාව්‍යයෙන් ලද හැකි පිටිවහල ලබමින් කරන ප්‍රයාණයක් මා දකින්නෙ නැහැ. සත්තාව නිරීක්ෂණය කිරීමත්, අත්විඳීමත්, එය ප්‍රකාශ කරන ආකාරයත් යන තුනෙන්, පවසන සැටියේ මීට වඩා ප්‍රබල සූක්ෂ්මාත්මතාවත් ඇති නො වුණු බවක් පෞද්ගලිකව මා දකිනවා. මේ ප්‍රකාශය මගේ නිමැවුම් සඳහා ද වලංගුයි.

• කාව්‍යකරණයට සමගාමී ව නූතන කාව්‍ය විචාරය ගැන ඔබේ පැහැදීම කෙබඳු ද?

මා තුළ එබඳු පැහැදීමක් නැති බව කිව යුතුයි. ප්‍රාමාණික විචාරකයන් දෙතුන් දෙනකු හැරෙන විට, සෞන්දර්ය ක්ෂේත්‍රයේ අංගයක් විදියට කාව්‍යයේ උපරි ස්වරූප කවරක් දැ යි වටහා නොගත් අයගේ ඌනතා සහිත පරිශ්‍රමයන් පවා අද විචාර ලෙස ගැනෙනවා. නිසරු රචනා මහත් කොට සලකා ලිවීමක් මිස, වඩාත් සූක්ෂ්ම මිශ්‍රණයක් සහිත කවියක් ස්පර්ශ කිරීමේ නොහැකියාව අද විචාර කාර්යයේ විශේෂත්වය ලෙස මා දකිනවා. ස්වකීය සම්ප්‍රදාය වගේම, අන්‍ය කාව්‍ය මාර්ග හා විචාර මාර්ග පිළිබඳ පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන අය බිහිවීමේ පෝෂක ප්‍රදේශ අද වියැළිලා. එලියට්, රිචඩ්ස්, එම්ප්සන් වැනි සාහිත්‍යවේදී විචාරකයන්ගෙන් අනුප්‍රාණය ලැබීමෙනුයි ජෝන් ක්‍රෝ රැන්සම්, ක්ලීනත් බෲක්ස්, රොබට් පෙන් වොරන් වැනි අය නව විචාරය නම් විචාර ක්‍රමය ආරම්භ කළේ. අප, අපේ අතීත විචාරකයන්ගේ වීමංසාවන් කෙරේ නිසි අවධානයක් යළි කළ යුතුව තිබෙනවා.

ප්‍රවීණ කිවියර  නන්දන වීරසිංහ

සංවාද සටහන ගාමිණි කන්දේපොළ



අදහස් (0)

කවියේ වෙනස විතරයි දියුණුවක් නෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3116 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12256 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 567 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1018 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site