IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ගඩාෆි ජනතාවට ඉතිරි කළේ මොනවාද?

පසුගිය ජනවාරි මාසයේදී ටියුනිසියාවේ ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස එහි ජනාධිපති බෙන් අලිට රටින් පලා යෑමට සිදුවීමෙන් උද්දාමයට පත් ලිබියානු ජනතාව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා වීදි බටහ. ඉන් දශක හතරකට අධික කාලයක් බලයේ සිටි මුවම්මර් ගඩාෆි අවදානම් තත්ත්වයකට පත්වන දුටු ඔහුගේ සමීප සගයෝ ඔහුට රටින් පිටව යෑමටත් රැකවරණය ලබාදීමටත් ඉදිරිපත් වූහ. ඉන් එක නායකයෙක් වුයේ වෙනිසුවෙලා ජනාධිපති හියුගෝ චාවේස්ය. රුසියාව හා චීනයද දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙස ලිබියානු නායක ගඩාෆිගෙන් ඉල්ලා සිටියහ. එහෙත් තම බලය හා තමාගේ සටන් ශක්තිය ගැන නිතරම අධිතක්සේරුවකින් සිටි ගඩාෆි ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. තමා ජීවිතාන්තය දක්වාම සටන් කරන බව සපථ කළ ඔහු මොනම තත්ත්වයක් යටතේ හෝ රට අතහැර නොයන බව අවධාරණය කළේය. ඔහුගේ ඒ පොරොන්දුව පසුගිය සතියේදී ඒ ආකාරයෙන්ම ඉටු වුවද එහි දේශපාලනික හෝ ඓතිහාසික වැදගත්කමක් ඇත්ද යන්න සැක සහිතය. සිරභාරයට පත් නොවී ම්ලේච්ඡ තත්ත්වයක් යටතේ හෝ මිය යෑම සමහරවිට වීරත්වය හුවා පෑමක් විය හැක. කෙසේවුවත් ගඩාෆි මරණයට පත් කළ ආකාරයෙන් පැහැදිලි වන සත්‍යය වන්නේ ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අයිතිවාසිකම් තහවුරු කිරීම තම අරමුණ බව එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් පුන පුනා කීවද සිදුව ඇත්තේ එය නොවන බවය. සටනින් පරාජය වී පලායෑමේදී අත් අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් පිළිගත් ජාතික හෝ ජාත්‍යන්තර නීතිවලට මෙම සටන්කරුවන් කිසිසේත් ගරු කරන්නේ නැති බව පැහැදිලිය. ඇත්තෙන්ම මෙම සටන්කරුවන් පමණක් නොව ගඩාෆි ගේ ප‍්‍රහාරවලින් සිවිල් ජනතාව ආරක්‍ෂා කිරීමට යැයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ යෝජනාවක් අනුව ක‍්‍රියාත්මක වූ නේටෝ රටවල්ද ජාත්‍යන්තර නීතියට හෝ මානුෂිකවාදි නීතියට ගරු කෙළේ නැත. ටි‍්‍රපොලි නගරයටත් ගඩාෆිගේ පාලනය යටතේ පැවති වෙනත් නගරවලටත් නේටෝ ගුවන් ප‍්‍රහාර එල්ල කළේ සිවිල් ජනතාව ආරක්‍ෂාවන ආකාරයට නොවේ. ගුවන් තහනම් කලාපයක් ක‍්‍රියාත්මක කිරීමට බලය ලබාගත් නේටෝ ගුවන් හමුදාව දින 216ක් තිස්සේ ගුවන් ප‍්‍රහාර 26000ක් එල්ල කළේය. අවසානයේ සර්ට් නගරයෙන් පලා යමින් සිටි ගඩාපි ඇතුළු පිරිසටද ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයක් හා බි‍්‍රතාන්‍ය ගුවන් හමුදාවේ ප‍්‍රහාරයක් එල්ල කෙරිණි. එම නිසා එක අතකින් කැරලිකරුවන්ගෙන් මීට වඩා වැඩි දෙයක් අපේක්‍ෂා කිරීමද විහිළුවකි. ගඩාෆිගේ හමුදා ප‍්‍රහාර වැළැක්වීමට ගුවන් තහනම් කලාපයක් ක‍්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ නේටෝ රටවල අරමුණ වූයේ ගඩාෆි ඝාතනය කොට පාලන බලය තමන්ට හිතවත් කණ්ඩායමක් අතට පත්කිරීම බව ප‍්‍රහාර ආරම්භ කළ වහාම කැපී පෙනේනට විය. මෙම නේටෝ හමුදා පැරණි යුගෝස්ලාවියාවේ සර්බියානු ප‍්‍රදේශයට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමේදී විදේශ තානාපති කාර්යාල හෝ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වූ යටිතල පහසුකම් තම ඉලක්ක බවට පත් කර ගැනීමට පසුබට වූයේ නැත. ගඩාෆි මරණයට පත් කිරීමට දින කීපයකට පෙර හොර රහසේම ටි‍්‍රපොලි නගරයට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය ඉදිරි දින කීපය තුළ ගඩාෆි අල්ලා ගැනීමට හෝ මරා දැමීමට හැකිවනු ඇතැයි කීවාය. ඉන් අදහස් වූයේ තම සතුරු රාජ්‍ය නායකයෙකු වූ ගඩාෆි කුමන ආකාරයකින් තුරන් කිරීම තම අපේක්‍ෂාව බවය. එම නිසා බටහිර ජනමාධ්‍ය ගඩාෆි මරණයට පත් කළ ආකාරය ගැන දක්වන උනන්දුව එක්තරා ආකාරයක කිඹුල් කඳුළු සැලීමක් විය හැක. විදෙස් රටවල බලපෑම නිසා ගඩාෆි මරණයට පත් වූ ආකාරය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමට අන්තර්වාර පාලනය සූදානම් වුවද ඉන් යුක්තිය හෝ සාධාරණය ඉටු වන්නේ යැයි කිව නොහැක. අපට වැදගත් වන අනෙක් කාරණය වන්නේ අපමණ ජීවිත පරිත්‍යාගයෙන් හා ඉමහත් වියදමක් දරා ස්ථාපනය කිරීමට යන නව පාලනයේ ස්වරූපය කුමක්ද යන්නයි. එය ගඩාෆිගේ පාලනයට වඩා යහපත්  වන්නේද යන්නයි. ගඩාෆි මරණයට පත් කළ ආකාරයෙන්ම පැහැදිලි වන්නේ නව පාලකයින්ගේ සිතුවිලි හා ක‍්‍රියාමාර්ගයේ බරපතළ වෙනස්කමක් නොවන්නේ නම් ලිබියාව තවත් ඉරාකයක් හෝ ඇප්ගනිස්ථානයක් වීම වැළැක්වීම අපහසුය යන්නයි. ගඩාෆි ඉවත් කිරීමේ අරමුණ ඇතිව බෙන්ගාසි ප‍්‍රදේශය පදනම්ව පිහිටුවන ලද ජාතික අන්තර්වාර පාලනයට බටහිර රටවල් සමග විශේෂයෙන් එහි ඔත්තුසේවා සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයින් මෙන්ම අල්කයිඩා සංවිධානය සමග අනන්‍යවන අන්තවාදින්ද අයත්ය. බටහිර ඔත්තුසේවා මේ සියලූ දෙනාටම කඩිනම් සන්නද්ධ පුහුණුව හා යුද උපකරණ ලබා දුන්නේ හැකි ඉක්මනින් ලිබියාවේ තෙල් සම්පත් තමන් සතුකර ගැනීම සඳහාය. එහෙත් මෙම සන්නද්ධ කණ්ඩායම් තුළ විවිධ අරමුණු ඇතිව ක‍්‍රියාත්මක වන කොටස් සිටින බව කැපී පෙනුනේ මීට මාස කීපයකට පෙර අන්තර්වාර පාලනයේ සන්නද්ධ ප‍්‍රධානියා වූ ජනරාල් අබ්දෙල් ෂටේ යුනෙස් ඝාතනය කළ ආකාරයෙනි. ගඩාෆිගේ හමුදාවේ ප‍්‍රධානියකු වූ ඔහු  ජනතා උද්ඝෝෂණ මධ්‍යයේ හමුදාව අතහැර විරෝධතාකරුවන්ට එක් වූයේය. එහෙත් අල් කයිඩා නායකයකු වශයෙන් හැඳින්වෙන අබ්දෙල් හකීම් බෙල්හාජ් ඔහුගේ නායකත්වය ප‍්‍රතික්ෂේප කෙළේය. බෙල්හාජ් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් ජනරාල් ෂාටේ වග විභාගයක් නැතිවම වෙඩි තබා මරා දමන ලදි. දැන් ටි‍්‍රපොලි නගරයේ සන්නද්ධ ප‍්‍රධානියා වන්නේ බෙල්හාජ්ය. ඔහු අන්තර්වාර පාලනයේ නායකත්වයටද අභියෝග කරයි. ගඩාෆි පාලනයෙන් ඉවත්කිරීම සඳහා මෙම කණ්ඩායම් එක් වුවද නායකත්වය පිළිබඳව ඔවුන්ගේ එකඟතාවක් නැති බව පෙනේ. මීට හොඳම නිදසුන වන්නේ පසුගිය ඉරිදා නිදහස ප‍්‍රකාශ කිරීමේ උත්සවය ටි‍්‍රපොලි අගනුවර නොපවත්වා ප‍්‍රාදේශීය නගරයක් වන බෙන්ගාසි හි පැවැත්වීමය. බෙල්හාජ්ගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ කණ්ඩායම් සෙසු සටන් කරුවන්ට ආයුධ සමග ටි‍්‍රපොලි නගරයට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැත. මීට අමතරව ගඩාෆිගේ නිජබිම වන සර්ට් නගරය අල්ලා ගැනීමට දීර්ඝ දුෂ්කර සටනක යෙදුන මිස්රුටා සටන්කරුවෝද තම අනන්‍යතාව පවත්වා ගැනීමට උනන්දුවෙති. මරණයට පත් ගඩාෆිගේ සිරුර කි.මී. 200ක් පමණ ඈතින් පිහිටි මිස්රුටා නගරයට ගෙන ගියේ ඔවුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කිරීමටය. මෙම කණ්ඩායම අතර පවතින මතභේද හා විරසකකම් බල අරගලයක් බවට පත්වුවහොත් පුදුමයට කරුණක් නොවේ. ගෝත‍්‍රික හෝ ප‍්‍රාදේශීය සම්බන්ධතා තහවුරුකර ගැනීමේ අරමුණින් දේශපාලන තීන්දු ගැනීමට දැනටමත් බලපෑම් පවතින බව වාර්තාවන අතර එය සමහර විට ලිබියාව කැබැලි වලට කැඞීයෑමේ පෙර නිමිත්තක්ද විය හැක. මීට අමතරව අරාබි වසන්තය ජයග‍්‍රහණය කළේ යැයි හැඳින්වෙන ටියුනීසියාව හා ඊජිප්තුව වැනි රටවල මෙන්ම ලිබියාවේද ආගමික අන්තවාදයට නැඹුරුවීමේ පැහැදිලි අනතුරක් පවතී. නිදහස ප‍්‍රකාශයට පත් කරමින් කතා කළ ජාතික අන්තර්වාර පාලනයේ සභාපති ගඩාෆිගේ පාලනය යටතේ අධිකරණ ඇමැතිවරයා වූ මුස්ටාෆා අබ්දෙල් ජලිල් ඉදිරියේදී ලිබියාගේ සියලූ ව්‍යවස්ථාවල පදනම වන්නේ ඉස්ලාමීය ෂාරියා නිතිය බව සහතික කළේය. ෂාරියා නීතිය හඳුන්වාදීමේ මුල් පියවර වශයෙන් ගඩාෆි පාලන යටතේ සතී‍්‍රන් කීප දෙනෙක් විවාහකර ගැනීම තහනම් කරමින් පනවා තිබූ නීතිය ඉවත් කරන බව පැවසුවේය. එමෙන්ම මුදල් ණයට දීමේදි බැංකුවලින් අය කළ යුතු පොලී අනුපාතයද ෂාරියා නීතිය අනුව තිරණය කෙරෙනු ඇත. ෂාරියා නීතිය පැනවීම ලිබියාවේ සාමාන්‍ය ජනතාවට හෝ ස්ත‍්‍රීන්ට වඩා වැදගත් වන්නේ ආගමික අන්තවාදීන්ටය. අසල්වාසි ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරවයේ බලය ව්‍යාප්ත වීමත් සමග ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීමෙන් ආගමික අන්තවාදීන් වෙනත් ආගම් නුරුස්නා බව පෙන්වා දී ඇත. මෙවැනි පසුබිමක් යටතේ ලිබියාවේ අනාගතය ආගම්වාදී නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම අගයන සමාජ ක‍්‍රමයක් කරා යොමුවේද යන්න සැක සහිතය. කලින් ප‍්‍රකාශ කර ඇති ආකාරයට ජාතික අන්තර්වාර පාලනය ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් මාසයක් ඇතුළත වෙනත් පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමටත් ඉන් පසු නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වසර ඇතුළත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සඳහා ඡන්දයක් පැවැත්වීමට නියමිතය. එහෙත් ඉන් පශ්චාත් ගඩාෆි පාලන සමයේ මූලික ප‍්‍රශ්නවලට විසඳුම් ලැබේයැයි කිව නොහැක. බටහිර රටවල් හා ව්‍යාපාරික සමාගම් තමන්ට ආයෝජන අවස්ථා විවෘතව පවතින්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ අයිතිවාසිකම් ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති බව ලොව වෙනත් රටවලදීද පෙන්වා ඇත. එහෙත් ආගමික අන්තවාදයට නැඹුරුවු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිවාසිකම් නොසලකන පාලන ක‍්‍රමයක් ගඩාෆිගේ පාලනයෙන් වෙනස් වන්නේ කෙසේද? ඇත්තෙන්ම මේ තත්ත්වයට වගකිවයුතු වන්නේද 1969දී ඉඩි‍්‍රස් රජු බලයෙන් පහකොට මේ දක්වා ඔටුණු නොපළන් රජ කෙනෙකු වශයෙන් පාලනය කළ ගඩාෆිය. එවකට අරාබිකරය පුරා පැතිරෙමින් තිබූ බාත් දේශපාලන රැල්ල උපයෝගී කර ගනිමින් හමුදා කැරැල්ලකින් බලය ලබාගත්, ඔහු රටවැසියන්ට වගකියන ඔවුන්ට සහභාගි විය හැකි දේශපාලන බල ව්‍යුහ කිසිවක් ගොඩනැගුවේ නැත. නිසි රාජ්‍ය යන්ත‍්‍රණයක් හෝ සිවිල් පරිපාලනයක් නොමැතිව සියල්ල තීරණය වූයේ ”කොළ පොත” නමින් හැඳින් වූ ඔහුගේ චින්තනයක් අනුවය. ස්වාධීන අධිකරණයක් හෝ නිදහස් මාධ්‍යයක් නොතිබිණ. අප‍්‍රිකාවේ විශාලම තෙල් සම්පත හිමි රටේ පාලකයා වූ හෙතෙම ඉන් ලැබුණු ඉමහත් ධනස්කන්ධය වැය කළේ ඔහුගේ කැමැත්ත අනුවය. මුලදී අධිරාජ්‍ය විරෝධි ස්වරූපයක් පෙන්නුම් කළද 2003න් පසුව ඉන් බැහැර වී එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය වැනි රටවල් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කළේය. බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඔහුගේ සගයෙක් වූයේය. එහෙත් ඒ රටවල් කිසි විටෙක ඔහු විශ්වාස කටයුතු පුද්ගලයෙකු ලෙස සැලකුවේ නැත. ඔහු බලයෙන් ඉවත් කළ හැකි බව දුටු පළමු අවස්ථාවෙන්ම ප‍්‍රයෝජන ගැනීමට එම නායකයින් පසුබට වූයේ නැත. අවසානයේදී වසර 42ක පාලනයකින් පසු ගඩාෆි නික්ම ගියේ ජනතාව වෙනුවෙන් උදම් ඇනීමට කිසිවක් ඉතිරි නොකරය. මෙහෙයුම් කමිටුවේ හමුදා නායක  ඕමාර් අල් හරීර් මියගිය ගඩාෆිගේ සිරුර ගඩාෆි විරෝධී හමුදා කණ්ඩායම් ගඩාෆි ලිබියාවේ අන්තර්වාර රජයේ නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් ලිබියාව මුදාගත් පී‍්‍රතිය සමරන ජනතාව



අදහස් (0)

ගඩාෆි ජනතාවට ඉතිරි කළේ මොනවාද?

ඉෂාන් Thursday, 15 November 2012 11:23 AM

මේක වත්මන් අපේ රටේ නායකයන්ට හොඳ පාඩමක් (ස)

:       0       0

නසාර් Thursday, 15 November 2012 10:42 AM

ගඩාෆි රට වෙනුවෙන් නොකළ දේවල් අඩුය. කළ දේවල් වැඩිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 121 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 167 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 43 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 932 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1093 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 146 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 907 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site