IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගනේමුල්ලේ සංජීවගේ අණ පිළිපදින හිටපු කොටි 7ක්

“දෙකක් ගත් විට එකක් නොමිලේ” දෙන වෙළෙඳ උපක්‍රම ගැන අපි අසා ඇත්තෙමු. හුදෙක්ම එවැනි උපායශීලි ක්‍රම භාවිත වන්නේ වෙළෙන්දාත් පාරිභෝගිකයාත් අතරය.  වර්තමානය වන විට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද මේ ප්‍රතිපත්තියේ සිට කටයුතු කිරීම පිළිබඳව ප්‍රවෘත්ති අපට අසන්නට ලැබිණි. ඔවුන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පිස්තෝල කිහිපයක් ද නැවට දමා එවන්නේ සුහදශීලීත්වයට තුටු පඩුරක් ලෙසිනි. නැතහොත් මත්ද්‍රව්‍යවලට ඇති “තනිකම් දෝසය” ට පිළියමක් වශයෙනි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඉකුත් මැයි 12 වැනිදා බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් 225ක ප්‍රමාණය සමග තෑගි වශයෙන් එවා තිබූ මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝල අවි 05ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූයේ ඉකුත් 01 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග මෙරටට එවනු ලැබූ එම අවිවලින් එක් අවියක් පමණක් මේ වන විට සොයාගෙන ඇති බවකි. අනෙක් අවි සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් කර තිබූ එම දෙපාර්තමේන්තුවට පසුව අනාවරණය කර ගැනීමට හැකිවී තිබුණේ අනෙක් පිස්තෝල අවි හතර බඩෝවිට රජිත නොහොත් ‘ලොකූ’ නමැත්තා අතට පත් කර ඇති බවකි. දැන් හෙළි වී ඇති අන්දමට මෙම හෙරොයින් තොගයට වග කියා ඇත්තේ නාකොටික් නිලධාරීහුය. ඒ, “වැටත් නියරත් ගොයම් කා” ඇති අවස්ථාවකි. අප, දැන් ඒ “අමාරුව” කියන්නේ කාටද?

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අප වෙත එවා ඇත්තේ හෙරොයින් පමණක් නොවෙයි. “කුඩු ගහලා උඹලා වෙඩි තියාගනිල්ලා” ඔවුන් දී ඇත්තේ එවැනි ආදර්ශයකි. මත්ද්‍රව්‍ය ජාවාරමත් පාතාලයත් එක කාසියක දෙපැත්තකි. හෙරොයින් ජාවාරම ජයට කරගෙන යාමට නම් පාතාලයේ “අයියලා” විය යුතු ම ය. නැත්නම් වෙන්නේ වෙඩි කා මැරෙන්නටය. “අයියලාට” ආයුධ තිබිය යුතුය. ඒවා ලැබෙන්නේ ජාත්‍යන්තරයෙන් ද නොඑසේනම් එල්. ටී. ටී. ඊ. යෙන් ද යන්න ඔවුන්ට කමක් නැත. අද වන විට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තයන් මෙරටින් අතුගා දමා ඇත. එහෙත් අද අමුතු වෙස් ගෙන කළඑළිබසින මේ ත්‍රස්තයන් පාතාලයේ අයියලාට “සපෝර්ට් එක” දෙන්නේ පැරණි මතක අලුත් කරගනිමිනි.

හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් වැනි නීතිවිරෝධී අපරාධ සිදුකර රට හොල්ලමින් සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලි 35ක් පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විට සිය අවධානයට ලක් කර තිබේ. බස්නාහිර පළාත, දකුණු පළාත සහ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් නිදා නොනිදා සිටින මේ කල්ලි සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ සිට සියලුම ආරක්ෂක අංශ අවදියෙන් සිටින බව කිව යුතුය.

පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසට සිතා සිටින මාකඳුරේ මදූෂ් සහ කොස්ගොඩ සුජීගෙන් පසු එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගණයේ සාමාජිකයින්ගෙන් වැඩ ගන්නා එකම පාතාල කල්ලි නායකයා මාකිලංගමුවේ සංජීව නොහොත් ගනේමුල්ලේ සංජීව බවට මේ වන විට බුද්ධි සේවාවන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මාකඳුරේ මදූෂ් එල්. ටී. ඊ. සාමාජිකයන් සමග සමීපව ඇසුරු කරමින් සිටි අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණි. ඒ, ඔහු එල්. ටී. ටී. ඊ. හිටපු සාමාජිකයකු වූ “කෙනඩි” නොහොත් “බුම්මා” නමැත්තාගෙන් වැඩ ගත් බවට කරුණු සඳහන් වීම හේතුවෙනි. කොස්ගොඩ සුජී මේ වන විට රටින් පැන ගොස් සිටින අතර, සුජී මෙරටට ගෙන්වූ ආර් පී ජී ඇතුළු නවීන අවි ආයුධ  තොගයක් ගැන තොරතුරු රාශියක් බුද්ධි අංශ වෙත ලැබී ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරන කරුණකි.

ඉකුත් කාලයේදී බෝට්ටු මගින් මෙරටට ගෙන එන හෙරොයින්  මත්ද්‍රව්‍ය සමග ආයුධ ද සඟවාගෙන ඇවිත් ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන තවත් කාරණයකි. එය ගෙඩි පිටින් ඔප්පු කර පෙන්වූයේ නාකොටික් සැකකාර නිලධාරීන් සම්බන්ධ සිද්ධියෙනි. බුද්ධි තොරතුරුවලට අනුව කොස්ගොඩ සුජීට ආ ආර්. පී. ජී. අවි දෙක ඩිස්පෝසබල් වර්ගයේ එක්වරක් පමණක් භාවිත කළ හැකි ආකාරයේ ඒවා බවට තොරතුරු සඳහන් වෙයි. එල්. ටී. ටී. ඊ නායක ප්‍රභාකරන්නේ ආරක්ෂාවට සිටි “බුම්බා” යොදා ගනිමින් මිනීමැරුම් සිදුකළ පළමු පාතාලයා වශයෙන් කොස්ගොඩ සුජී නමැත්තා හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරන්නකි.

මේ කියන පාතාලයේ අයියලා අතර සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව යනු කවුද?
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබ සිටි සංජීව අධ්‍යාපනයට ආයුබෝවන් කියා පාතාල සරසවිය තෝරාගෙන තිබුණේ “අයියා” කෙනකු  වීමේ උණ නිසාවෙනැයි ඔහු පිළිබඳව කරුණු දත්තෝ  පවසති. ගනේමුල්ලේ සංජීව පාතාලයේ අයියා කෙනකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ වන විට මෙරට සිදුවූ විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින් කරළියට එන ඔහු, පාතාලයේ නම රැක ගනු වස් සංජීව නොකළ දෙයක් නැත.

ආයුධවලින් සෙල්ලම් දැමීමට අමතරව පස් ජාවාරමට ද හවුල් වී ඇති බවට සඳහන් වෙයි. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමග “පස් සෙල්ලම” පටන් ගන්නේ හීනැටියන අසිත මරා දමමිනි. මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා” ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා” ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත් සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස ගනේමුල්ලේ සංජීව විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටිය දී ද වැඩ ගැනීම සඳහා ය.

ඉලක්කය සපුරන අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව අමතක කළේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.

“කෝ යකෝ ‘ඔසා’ගේ එක කෙස් ගහක්වත් හොල්ලන්න තොට බැරි වුණානේ. තොගේ කයිය විතරයි.” සංජීව කෑ ගැසුවේ අජිත්ගේ පොරොන්දු මුදල ලබා නොදෙන බවට පවසමිනි. එදා සිට අජිත් ගනේමුල්ලේ සංජීවගේ ගැන්සියෙන් පල්ලම් බැස්සේය. පොරොන්දු මුදල ලබා නොදුන් හේතුව මත අජිත් පස් පොඩ්ඩාගේ හිතවතකු වූ සුරේෂ්ගෙන් කප්පම් ඉල්ලයි. ගනේමුල්ලේ සංජීවගෙන් ලද ආශිර්වාදයෙන් ගම්පහ පස් ජාවාරමේ සිටින පස්පොඩ්ඩාට අජිත් හිසරදයක් වූයේ නැත. එහෙත් සුරේෂ්ට වෙඩි තබා සීන් එකෙන් අයින් කර දමන්නට අජිත් ගත් උත්සාහය සාර්ථක විය. බරපතළ තුවාල ලැබූ අජිත් පස් ව්‍යාපාරයෙන් ඉවත් වූ පසු පස්පොඩ්ඩා ගෙනෙන්නේ “චමී” ව ය. වැඩිකලක් පස් ව්‍යාපාරය කරන්නට චමීට හැකියාවක් ලැබෙන්නේ නැත. විරුද්ධ කල්ලියක් ඔහු ද ඝාතනය කර දමන්නේය. අවසානයේදී අජිත් ද අවසන් ගමන් යන්නේ “හීනැටියන සංඛ” නමැත්තාගේ අතිනි. ඒ ගනේමුල්ලේ සංජීවගේ උපදෙස් මත බවට මේ වන විට ආරක්ෂක අංශ කරුණු තහවුරු කරගෙන තිබිණි.

චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද ” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද ගනේමුල්ලේ සංජීව චෝදනා ලැබ සිටින්නේය. බන්ධනාගාරයේ සිටි දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනෙක් “චමින්දට” වෙඩි තබා පලා යති. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල්  ගත කළ අතර සිද්ධියට අදාළව සංජීව බන්ධනාගාර ගත වෙයි.

එම සිද්ධියට අදාළව ඇප මත මුදාහැරුණ ද දැන් ගනේමුල්ලේ සංජීව සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ විභාගවන නඩුවක සැකකරුවකු ලෙසිනි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ  සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් ජනවාරි 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවෝ 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලීසිය විසින් පරික්ෂා කරනු ලැබ ඇත්තේ ඉකුත් ජනවාරි 01 වැනිදාය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගයද දමා පලා යන්නේ “පණ එපා” කියමිනි. බෑගය අවුස්සා බැලූ පොලීසියට පෙනී ගියේ මේ පලාගිය පුද්ගලයා එල්. ටී. ටී. ඊ.  සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය. වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, සෝලා බලයෙන් ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් ආනන්ද රාසාගේ මල්ලේ තිබී පොලීසිය සොයා ගත්තේය. මින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි. ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනකු පොලීසිය අත්අඩංගුවට ගනී. මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රිකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලෛයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වෙති. මෙම සැකකරුවෝ මේ වන විට කිලිනොච්චිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනකු පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඉකුත් ජනවාරි 02 වැනිදාය.

රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද් කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර් මෙම සැකකරුවෝ වෙති.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසයයි. ඒ අනුව තවත් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති. වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනකු බවත් යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට බාර නොවී සැඟව සිටි අයකු බවටද සඳහන් වෙයි. යුද හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැඳින්වූ අතර නාවික හමුදාව ඔහු හඳුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඕස්ට්‍රේලියාවට අවසරයෙන් සංක්‍රමණිකයන් පැටවීමේ ජාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාරගතව සිටියදී දකුණේ පාතාලය සමග හාදකම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර ගනේමුල්ලේ  සංජීවගේ ආශ්‍රය ඔහුට ලැබෙයි.

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම, ආයුධ සන්තකයේ තබාගෙන සිටි “ආනන්ද රාසා” යන අයට ආධාර අනුබල දීම, ආනන්ද රාසා යන අයගේ ස්වාමීත්වයේ තිබූ ගිනි අවි දෙකක් වේන්ද්‍රන් නොහොත් “අප්පා” යන අය සමග රැගෙන විත් දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලිකරුවන් වෙත ලබාදීම, ආනන්ද රාසා සමග දුරකතන සබඳතා පැවැත්වීම, ද්‍රවිඩ දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, විදෙස්ගතව සිටින හිටපු එල්. ටී. ටී. ඊ. නායකයින්ගෙන් මුදල් ආධාර ලබාගැනීම, මහා පරිමාණ හෙරොයින් ජාවාරම සහ පීඩාකාරී විනාශකාරී ආයුධ භාවිත කිරීම මෙම සැකකරුවන්ට එරෙහිව නගා තිබූ චෝදනා වෙයි.

“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි. එසේම, විදෙස්ගතව සිටින ජෙගදීස්වරන් වේලුපිල්ලෙයි නඩරාසා නොහොත් “සමර්”සහ පණ්ඩිදරන් යනුවෙන් හඳුන්වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන්ගේ මෙහෙයවීම මත එවකට එම සංවිධානය වළ දමා තිබූ අවි ආයුධ ගොඩගැනීමට ද “අප්පා” කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය  කරගෙන තිබිණි.

විදෙස්ගතව සිටින ජෙගදීස්වරන් වේලුපිල්ලෙයි නඩරාසා නොහොත් “සමර්”සහ පණ්ඩිදරන් යන අයගේ අනුදැනුම සහ මෙහෙයවීම මත ද්‍රවිඩ දේශපාලනඥයකු වන සුමන්තිරන් මහතා ඝාතනය කිරීම සඳහා “අප්පා”, අවස්ථා කිහිපයකදී උත්සාහ කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

විදෙස්ගතව සිටින ජෙගදීස්වරන් වේලුපිල්ලෙයි නඩරාසා නොහොත් “සමර්”සහ පණ්ඩිදරන් යන අයගේ මෙහෙයවීම මත “අප්පා” විසින් විදෙස්ගත පුද්ගලයකු වන මහේන්ද්‍රතිලක මදන් බාබු නොහොත් “මධූ” යන අයට අයත් බැංකු ගිණුමකින් මෙරටට මුදල් ගෙන්වා ගෙන ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කිලිනොච්චියේ අය්යප්පන් කෝවිල අසල සිල්වා වීදියේ පිහිටි සින්න තම්බි කන්දයියා යන අයගේ නිවස පිහිටි ඉඩමේ පිටුපස කොටසක වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් විය. මෙම ක්ලේමෝ බෝම්බය වළ දමනු ලැබූවේ “අප්පා” විසින් බවත් අප්පාගෙන් මෙම බෝම්බය ඉල්ලා ඇත්තේ සැලන් විසින් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබිණි.

“අප්පා” ලබාදුන් පිස්තෝලයත් රැගෙන යතුරුපැදියක නගින “වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි 05 වැනිදාය. “රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වෙති. අංගොඩ පාතාලයේ මෙහෙයුමක  ප්‍රතිඵලයක් ලෙස 2017 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා සමයං ඝාතනය වන්නේ කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ අංගොඩ ලොක්කාගේ වැඩක් බවට දැන් ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන අවසන්ය.

රණාලේ සමයංගේ අඩුව පිරිමැසීමට සිතූ ගොත අසංකගේ උපදෙස් මත “වීරා” කඩුවෙල ප්‍රදේශයේ සුසන්ත යන අයගෙන් කප්පම් ගැනීමට උත්සාහ ගෙන තිබුණු අතර, එහිදී වෙඩි තැබීමක් ද සිදුව තිබිණි. මෙම වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් වීරා අදාළ ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණේ ප්‍රදීප් දේශප්‍රිය නමැත්තාය.

මේ සියල්ලටම හේතු වූ අමිල නුවන් නොහොත් ගොත අසංක, කටුගම්පලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගන්නේ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.
ගනේමුල්ල සංජීව විසින් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත් දෙනෙකු මෙහෙයවන බවට මේ වන විට බුද්ධි අංශ කරුණු තහවුරු කරගෙන තිබේ. මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව එල් ටී ටී ඊ සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය සතුව ඇතැයි ආරක්ෂක අංශ තොරතුරු හෙළිකරගෙන තිබේ.

ගනේමුල්ලේ සංජීවගේ ප්‍රබල හතුරකුව සිටින ගම්පහ ඔස්මන් සිටින්නේ කොයි මොහොතේ හෝ සංජීවට වැඩක් දෙන්නට බව බුද්ධි අංශ මේ වන විට අනාවරණය කරගෙන තිබේ. ඒ මදිවාට කංජිපානි ඉම්රාන් ද ගනේමුල්ලේ සංජීවගේ කල්ලියට තර්ජනයක් වී ඇත. වරක් කංජිපානි ඉම්රාන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රසිද්ධියේ තර්ජනය කළේ ගනේමුල්ලේ සංජීවගේ ගෝලයකු වූ කටුගම්පලලාගේ උදේශ් විදුරංගයට ය.

“උඹලටත් සමයං වගේ බස් එකේ බුදියගන්න ඕනද? කංජිපානි ඉම්රාන් එසේ ඇසුවේ එස්. ටී. එෆ්. නිලදරුවන්ගේ  ආරක්ෂාව මැද අධිකරණයෙන් එළියට නික්මෙන මොහොතේ දී ය.

ඒ මොහොතේදී ගොත අසංකත් ගනේමුල්ලේ සංජීවත් කුඩුවේ යකඩ කූරුවල එල්ලීගෙන කංජිපානි දෙස බලා සිටියහ.
එදිනම දහවල් 2ට පමණ උදේශික විදුරංගට විෂ ද්‍රව්‍යයක් යැයි සැක කළ හැකි ද්‍රවයක් සහිත සිරින්ජරයකින් පිටට අනින්නේ “ඩොලී” නමැති කංජිපානිගේ ගෝලයකු විසිනි.

පාතාලයෝ ආයුධවලින් සෙල්ලම් දමන්නේ මේ ආකාරයටය. මේ සීතල යුද්ධය මැඩලීම සඳහා ආරක්ෂක අංශ දැන් සිටින්නේ සීරුවෙනි. අවි ගත්තෝ නසින්නේ අවියෙනි. සාධාරණ සාමකාමී පරිසරයක ජීවත්වීමේ පරම අයිතිය සියල්ලන්ටම උරුම වන්නා සේ ම, එය ළඟා කර දීමට සීරුවෙන් සිටින ආරක්ෂක අංශ වෙත අපි හිස නමා ආචාර කරමු.

(*** විමුක්ති කුමාරසිංහ)

 



අදහස් (2)

ගනේමුල්ලේ සංජීවගේ අණ පිළිපදින හිටපු කොටි 7ක්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 09:56 AM

කොටි උවදුර දැන් හමාරවුවත් හිටපු කොටින්ට කුඩ්ඩන් පාතාලයන් හා මැරයන් එකතුවීම අතිශයින්ම භයානකයි. එබැවින්, මොවුන් එකතුව අවිආයුධ රැස්කිරීම යුද්ධයකදී අවශ්‍ය ආයුධ කුමන හෝ රට කලඹන, රට වනසන, භයානක දේකට විය නොහැකිද? එබැවින් මොවුන් පිළිබඳ සියලු තොරතුරු හා දත්ත ගැන දැඩි පරීක්ෂාවන්ට ලක් කොට පර්යේෂණ කටයුතු කරන්නේ නම් මැනවි...! එය රටේත් ජනතාවගෙත් යහපත පිණිස වන්නේය. මේවාට උරදෙන සියලු නිලධාරින්ටත්, බලධාරින්ටත් අපගේ බලවත් ප්‍රශංසාව ...

:       107       1362

binkunndaa Friday, 10 July 2020 08:35 PM

නිකන් බොරු පිම්බිලි, තව ටික දවසකින් ඔක්කොම හුළං බැහැලා නවතීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1382 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4627 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site