IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


චිත්‍රපටි සංස්ථාවේ නැස්පැත්තිය

 

 

බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන

([email protected],[email protected])

දේශීය සිනමාව වෙනුවෙන් වගකීමැති රාජ්‍ය ආයතනය වන්නේ ජාතික චිත‍්‍රපටි සංස්ථාවයි. ශ‍්‍රි ලාංකේය සිනමාවේ දේශීය අනන්‍යතාව ජාත්‍යන්තරයේ සනිටුහන් කළ හැකි ගුණාත්මක සිනමා සංස්කෘතියක් ඇති කිරීමේ පුරෝගාමීයා බවට පත්වීම එහි දැක්ම ලෙස සඳහන් වේ. එහෙත් සිනමා කර්මාන්තයට එයින් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් කේෂ්ත‍්‍රයේ පිරිස් අතර ප‍්‍රශ්නාර්ථයක් ඇත්තේ කලෙක පටන්ය.

ජන සන්නිවේදන විෂයට අයත් නිසා චිත‍්‍රපටි සංස්ථාව දිගු කලක් පැවතියේ ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතනයක් යන්නය. එහෙත් මෙම ආණ්ඩුවෙන් එය රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා විසින් පත් කෙරුණු කමිටු වාර්තාව ද පසුගිය සතියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන්නේ මේ අතරේය. එහෙත් ජාතික චිත‍්‍රපටි සංස්ථාවේ ඉහළම පුටු හෙබවීමට නුසුදුස්සන් අයථා මාර්ගයෙන් පැමිණ ඇති නම් හා එහි වැඩ සිදුවන්නේ නීතියට පිටින් නම් තත්ත්වය කෙබඳු වේද? මෙවර සත්‍ය ගවේෂණයට පදනම් වන්නේ ජාතික චිත‍්‍රපටි සංස්ථාවයි.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයකු බඳවාගැනීම සඳහා පුවත්පත් කීපයක දැන්වීම් පළ කෙරුණේ 2015 ජුනි 19 වැනිදාය. පළකර තිබූ පුවත්පත් දැන්වීමට අනුව ඊට ඉදිරිපත් වූ අයැදුම්කරුවන් සංඛ්‍යාව පහකි. එහෙත් මෙකී අයැදුම්කරුවන් පස් දෙනාගෙන් එකම අයැදුම්කරුවකු හෝ අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේ නැත. ඒ බව කියන්නේ අප නොව 2016 දෙසැම්බර් 23 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණ දැනුම් දීමේ ලිපියයි.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අංක 1149.1.1.1(6107) මගින් පවසන්නේ මූලික සුදුසුකම් සපුරා නොසිටි එස්.එම්.එන්.ආර් අබේවර්ධන මහතා කොන්ත‍්‍රාත් පදනම මත මාස 6ක කාලයක් සඳහා පත් කිරීමටත් මාස 6ක කාර්ය ප‍්‍රගතිය සළකා බලා තවත් මාස හයකට කාලය දීර්ඝ කිරීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි.

නීතියට අනුව බැලූවහොත් ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ බඳවාගැනීමේ පරිපාටිය අනුව මෙම තනතුරට අදාළ ‘ජ්‍යෙෂ්ඨ කළමනාකාර’ සේවා ගණයයි. චිත‍්‍රපට සංස්ථාවේ ඊට අදාළ බඳවාගැනීමේ පටිපාටියේ 4.4 ‘බඳවාගැනීමේ ක‍්‍රමය’ අනුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ප‍්‍රසිද්ධ දැන්වීම් පළකිරීම් මගින් හෝ පුවත්පත් දැන්වීමක් මගින් පුරප්පාඩුව සඳහා ඉල්ලූම්පත් කැඳවීම කළ යුතුය. නමුත් මෙම පුවත්පත් දැන්වීම් පළකිරීම සඳහා එවැනි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොතිබුණු බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

අනෙක් අතට මෙම සේවා ගණය සඳහා තෝරාගැනීම් කෙරෙන්නේ බඳවාගැනීමේ පරිපාටියේ 4.4 නියමයන්ට අනුව පත්වීම් බලධාරියා විසින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකිනි. බඳවාගැනීමේ පරිපාටියේ 6 පරිදි පත්වීම් බලධාරියා වන්නේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයයි. එහෙත් මෙම බඳවාගැනීම කර ඇත්තේ ඊට පටහැනිව ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසින් පත්කරනු ලැබූ පරීක්ෂණ මණ්ඩලයකිනි.

පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ද සිතේන්ද්‍ර සේනාරත්න මහතාය. සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සමඟ අමාත්‍යංශයෙන් නියෝජිතයන් දෙදෙනෙක් ද එය නියෝජනය කර ඇත. මේ නිසා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ බඳවාගැනීමේ ක‍්‍රියා පරිපාටිය හා 2009 පෙබරවාරි 20 දිනැති අංක 1589/30 දරණ ගැසට් පත‍්‍රයේ කාර්ය පරිපාටික රීති 69, 70 හා 74 ට පටහැනිව යැයි රජයේ විගණකාධිපතිවරයා තම නිරීක්ෂණ ලබාදී ඇත.

කතාවේ හොඳම කොටස ඇත්තේ ඉන්පසුවය. බඳවාගැනීමේ පරිපාටියට අනුව මෙම තනතුරට පත්වන්නෙකු පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගැනීමෙන් පසුව මෙම තනතුරට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 10 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය. එහෙත්  නිමල් අබේවර්ධන මහතාට ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ නොව මාණ්ඩලික ශ්‍රේණියක පවා පලපුරුද්දක් නොමැති බව අනාවරණය වී ඇත.

ඔහු ඉදිරිපත් කර තිබූ අයදුම්පත‍්‍රයේ සාවද්‍ය ලෙස මාණ්ඩලික ශ්‍රේණියේ පළපුරුද්ද තිබෙන බව සඳහන් කර තිබුණ ද පළපුරුද්ද සඳහන් කළ ආයතනවලින් සනාථ කිරීම් ඊට එක්කර නොතිබූ බව ද විගණකාධිපතිවරයා පවසයි. අබේවර්ධන මහතා තම සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ලේඛන නිලධාරි වශයෙන් මාණ්ඩලික ශ්‍රේණියේ වසර 18 ක සේවයකි. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අංක 2/2/7/2/1 හා 2018/01/26 දාතමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විගණකාධිපතිවරයාට තොරතුරු දන්වා තිබිණි.

ඊට අනුව මෙම නිලධාරියා වැටුප් කේත අංක (MN4) යටතේ රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම යන අවස්ථාව වන විටත් වැටුප් ගෙවා තිබුණු අතර වෛද්‍ය ලේඛන නිලධාරී තනතුර මාණ්ඩලික ශ්‍රේණියේ වැටුපක් හෝ තනතුරක් නොවීය. ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබුණේ ජීව දත්ත තොරතුරු අඩංගු අයදුම්පත සාවද්‍ය තොරතුරු ඇතුළත් කර ඉදිරිපත් කර තිබූ බවයි. ඒ අනුව අද වනවිට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ධුරය දරන්නේ හිමිකම් නොමැති සාවද්‍ය තොරතුරු ලබාදුන් තැනැත්තෙකි.

පසුගිය පෙබරවාරි මාසය වනවිට ඔහුට වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් රජයෙන් වැය කර ඇත. ඒ වැටුප් හා දීමනා වශයෙනි. ජාතික චිත‍්‍රපටි සංස්ථාවේ ඉහළම පුටුවකට මෙවැනි මුදල් කන්දරාවක් වෙන්කිරීම විගණන විමසුමෙහි දක්වා තිබුණේ ‘මේ තත්ත්වය යටතේ හිමිකම් නොමැති සාවද්‍ය තොරතුරු ලබා දී ඇති පුද්ගලයකුට වැටුප් හා දීමනා වශයෙන් රුපියල් 1 820 348.75 ලබාගැනීමට අවකාශ දීම මගින් රාජ්‍ය ප‍්‍රතිපත්ති හා මුදල් අවභාවිත නොකළේය යන්න විගණනයේදී බැහැර කළ නොහැකිය ’ යනුවෙනි.

පත්වීම ලබාදීමේ තැන් පටන් වැටුප් හා දීමනා ගෙවීම් දක්වා මෙම ක‍්‍රියාවලියට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කළ (ඇමුණුම් අංක 1හි සඳහන්) නිලධාරින්, සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය, චිත‍්‍රපට සංස්ථාවේ සභාපති, ව්‍යාජ තොරතුරු ජීවදත්ත සටහනට ඇතුළත් කර තනතුර ලබාගෙන ඇති සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම මෙකී පත්කිරීම සඳහා පත්වීම අනුමත කළ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ද වගකිව යුතු බව සඳහන් කර ඇත.

ඇත්තෙන්ම ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිදුවන මෙවැනි වැඩ ගැන විගණකාධිපතිවරයා දන්වා තිබුණේ අද ඊයේක නොවේ. 2013 ජුලි 25 වැනිදා ද දෙපාර්තමේන්තුවෙන් එවක ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට හා සංස්ථා සභාපතිවරයාට උද්ගතව ඇති තත්ත්වය ගැන කරුණු සඳහන් කර තිබිණි.

එම අවස්ථාවේදී ද අවධානයට ලක්කර තිබුණේ පරිපාටියට පිටින් සිදු කරන පත්වීම් හා එනිසා වැටුප් හා දීමනා ලෙසින් රාජ්‍ය මුදල් අවභාවිත වන ආකාරයයි. අද එකී ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාත් සංස්ථා සභාපතිවරයාත් අදාළ තනතුරුවල නැත. එහෙත් චෝදනාවන්ට ලක්වූවෝ සංස්ථාවේ එපරිද්දෙන්ම කටයුතු කරමින් සිටිති.

ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය 2013 පෙබරවාරි 12 හා ඔක්තෝබර් 7 යන දිනවල පිළිවෙළින් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් එවක තිබූ තත්ත්වය ගැන ලිඛිතව කරුණු වාර්තා කර තිබිණි.

එදා ද සිදුව තිබුණේ සංස්ථා සභාපතිවරයා තම බලය අයුතු ලෙස භාවිත කිරීමෙන් තම හිතෛශීන්ට අමතර දීමනා හා වරප‍්‍රසාද සකස් කර දීමකි. 2016 ජුනි 25 දිනැති ලිපියකින් විගණකාධිපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එය දන්වා තිබිණි. එහෙත් සිදු වූ වෙනසක් නැත.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සාමාන්‍යධිකාරී අබේවර්ධන මහතා එය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළේය. ඔහු පවසන්නේ මෙය තනිකරම චිත‍්‍රපට සංස්ථාවේ වරදාන හා වරප‍්‍රසාද මත යැපෙන වෘත්තිය සමිති සාමාජිකයන් පිරිසක් හා නව වැඩපිළිවෙලට අකුල් හෙලන්නන් පිරිසක් විසින් සිදුකරනු ලබන කකුලෙන් ඇදීමක් බවය.

අභ්‍යන්තර තොරතුරු විකෘති කරමින් පරිපාලනය කෙරෙහි වැරැදි චිත‍්‍රයක් ඇඳීමට ඔවුන් කැස කවන බව කී හෙතෙම ආයතනයේ කලක් තිස්සේ වංචා දුෂණ හා අක‍්‍රමිකතා සිදුව ඇති බව ද කීය. ඉපැරැණි වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම්වලට අකැමැති පිරිස් ද මෙසේ අභූත චෝදනා නගන බව අබේවර්ධන මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් විෂය වශයෙන් ගත්තොත් ලංකාවේ සිනමාව දැන් දිගු කලක් තිස්සේම පවතින්නේම දැඩි අර්බුදයකය. මේ අර්බුදයේ එක් රෝග කාරකයක් බවට ජාතික චිත‍්‍රපට සංස්ථාවම පත්ව ඇතැයි කියන්නෝ සිනමා විචාරකයෝය. කලින් කලට ආණ්ඩු මාරු වුවද දේශපාලනයේ පිහිටින් තනතුරු ලැබුවන්ට සිනමාව නමැති විෂය ගැන කිසිදු හැඟීමක් නැති වීම ඊට හේතුව යැයි ඔවුහු පවසති.

මේ නිසා ක්‍ෂ්ත‍්‍රයේ විශාරදයන් මෙන්ම අවංක හැඟීමකින් යුතු කලාකරුවන්ගේ මැදිහත්වීමක් ඊට අවශ්‍යව තිබේ. සිනමාව ගොඩගැනීම කෙසේ වෙතත් අර්බුදයේ රෝග නිධානය සොයා ගැනීමටවත් අවස්ථාවක් උදාවනු ඇත්තේ එවැනි මගකිනි.

 

”මූල්‍ය වංචා ගැන අභ්‍යන්තර පරීක්ෂණ නෑ” - චිත‍්‍රපට සංස්ථා සේවක සංගමයේ ලේකම් නිලන්ත ප‍්‍රසාද්

‘‘වර්තමාන සභාපතිවරයාටත් සාමාන්‍යාධිකාරීවරයාටත් පරිපාලන හැකියාවක් නෑ. තමන්ගේ වරප‍්‍රසාද ගැන සැළකිලිමත් වූවාට සේවකයන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු දීමනා හා ගෙවීම් පවා පැහැර හැරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අද වනවිට ඔවුන් කටයුතු කරමින් තිබෙන්නේ චිත‍්‍රපට සංස්ථා පනත පවා උල්ලංඝණය කරමින්.

මූල්‍ය කටයුතු වලදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන්නේ නෑ. විශේෂයෙන්ම පසුගිය කාලයේදී කළ මිලදී ගැනීම් කීපයක්ම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම් කර තිබෙනවා. දැන් සංස්ථාවේ තිබෙන්නේ විනයක් නැති තත්ත්වයකයි. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා පරිපාලනයේ පහසුව තකාම ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු පත්කළා. එහෙත් ඔහු ආයතනයට පැමිණෙන්නේත් සතියකට වතාවයි. එක්ලක්ෂ පනස් දාහක පමණ ගෙවීම් ලබාගෙන සතියකට වතාවක් වැඩට එනවා නම් ආයතනයක ප‍්‍රගතියක් දකින්න බෑනෙ. ’’

 

‘‘විගණකාධිපතිවරයාගේ පිළිතුර අපේක්ෂාවෙන් බලා සිටිනවා’’

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න

මම මේ තනතුරට පත්වුණේ ගිය අවුරුද්දේ ජූලි මාසයෙයි. මේ බඳවාගැනීම කර තිබෙන්නේ ඊට පෙරයි. කොහොව වුණත් මේ බඳවාගැනීම කර තිබෙන්නේ පුවත්පත් දැන්වීමකින් ඉල්ලූම් පත් කැඳවීමකින් වගේම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් පත්කරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් හරහායි.

මෙය කොන්ත‍්‍රාත් පදනමින් කළ පත්වීමක්. මෙම බඳවාගැනීමට අනුමැතිය දීමට ගත් තීන්දුව නිවැරදි දැයි කියලා මම දන්නේ නෑ. එහෙම කියලා මගේ තනතුරේ වගකීමෙන් නිදහස් වෙන්නත් බෑ. විගණකාධිපතිවරයා විසින් කරන ලද විමසුමට අනුව අවශ්‍ය ලේඛන හා තොරතුරු ලබාදෙන්නට මා කටයුතු කළා. විගණකාධිපතිවරයා දෙන පිළිතුර අපේක්ෂාවෙන් බලා සිටිනවා.

 



අදහස් (3)

චිත්‍රපටි සංස්ථාවේ නැස්පැත්තිය

vernon Wednesday, 18 April 2018 10:01 AM

ඔය උපුටාගෙන තියෙන්නේ විගණන විමසුමක කොටස්... ඕනෑම විගණන විමසුමක සඳහන් වෙනවා එය වාර්තාවක් නොවේ කියලා. අපක්ෂපාතීව විග්‍රහයක් කරනවා නම් විමසුමට අදාළ පිළිතුර මොකක්ද කියලත් සඳහන් කරන්න ඕනෑ. මොකද ‍තෝරා ගත් පුද්ගලයා පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනවා නම් පත්තරේ දාන්න. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩල ‍රැස්වීමට ගියේ නෑ කියලා වැඩක් නෑ.

:       0       1

Sathya Thursday, 19 April 2018 07:08 AM

රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය අමාත්‍යංශය??? මෙහෙම අමාත්‍යංශයක් කොහෙද තියෙන්න?මේ දෙක අමාත්‍යංශ දෙකක්.මේකවත් නිවැරදිව දන්නේ නැති කෙනෙක් ලියපු අන්තර්ගතය ගැන අපි කොහොමද විස්වාස කරන්නේ? කොහොම උනත් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක් වෙලා තියෙනවනම් සොයා බලල අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක හොඳයි.

:       0       7

dhamneth Monday, 23 April 2018 12:54 AM

ඔය සංස්ථාව පිහුටුවන්න පෙර මේ රටේ චිත්තර පටි නිෂ්පාදනය කලේ නැද්ද .අනවශ්‍ය හුගක් දේවල් රජය බදාගෙන මහජන මුදල් නිකරුනේ නස්තිකරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 158 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site