IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී ඡන්ද කාලසටහනක් ගැනත් සිතමු

මෙරට මැතිවරණ ව්‍යුහය වර්තමානයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිගත් දේශපාලන පක්ෂවලින් යෝජනා ලබාගැනීම පසුගියදා අවසන් කළේය. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් මගින් යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන්ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධානවලින්ද මහජනතාවගෙන්ද යෝජනා සහ අදහස් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු කළේය.

රටේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට මගපෑදුණේ මෙරට ජනතාවගෙන්ද විවිධ සංවිධානවලින්ද වරින් වර ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් හේතුවෙනි. මේ ඉල්ලීම් දේශපාලන පක්ෂවලින් සහ විද්වතුන්ගෙන්ද ඉදිරිපත් විය. මෙහි මහාපොදු සාධකය වන්නේ රටේ මැතිවරණ ව්‍යුහය දැනට වඩා ක්‍රමවත් සහ සංවිධානාත්මක විය යුතු බවට නැගෙන හඬය. එසේ නොවන විට මැතිවරණ ක්‍රම කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගිලිහී යයි. එය රටට යහපතක් වන්නේ නැත.

මෙහිදී මැතිවරණ ක්‍රම සරල වීම පමණක් ප්‍රමාණවත් නැතැයි අපි සිතමු. වඩාත්ම අවධානය යොමුවිය යුත්තේ නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගැනීමය. බලයට පත්වන ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ඡන්දය පවත්වන දිනය එහා මෙහා කිරීමට තිබෙන ඉඩකඩ නීතියෙන්ම වැළැක්වීමට කටයුතු යෙදිය යුතුය. තමන්ට අවශ්‍ය පරිදි මැතිවරණ කල්දමා ගැනීමට ආණ්ඩුවකට අයිතියක් තිබිය යුතු නැත.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දීමට පෙර පැවැති අවසන් රජය වූයේ 1970 දී බිහි වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණු රජයයි. එම රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී පස් අවුරුදු කාලසීමාව හත් අවුරුද්දක් දක්වා දීර්ඝ කර ගත්තේය. එය වැරදි බව ආණ්ඩුව තේරුම් නොගත් නමුත් ඉන් පසුව පැවති මහා මැතිවරණයේදී ජනතාව එය වැරදි බව පෙන්වා දුන්හ.

ඊළඟට බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විධායක ජනාධිපති බලතල යොදවාගෙන හයෙන් පහක බලය පෙන්වා මහ මැතිවරණයක් නොපවත්වාම තමන්ගේ පාලන කාලය වසර පහකින් දික්කර ගත්තේය. එය අමු අමුවේම ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගැසීමක් විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ දෙවැනි පාලන කාලය තුළදී රටේ උතුරත් දකුණත් දෙකම ත්‍රස්තවාදයට බිලිවීමය. එම තීන්දුව රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් කළ බවට වෙනත් නිදසුන් අවශ්‍ය නැත.

ඊට පසුව පළාත් සභා ඡන්ද මෙරට මැතිවරණ සිතියමට එකතු විය. එම ඡන්ද පැවැත්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන කාලයේදී සිදුවූයේ නියමිත කාලසටහනට අනුව නොවේ. එය රටේ මහජන මුදල් විශාල වශයෙන් කා දැමූ හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තැබූ කාලයක් විය.

ඡන්ද නීති සංශෝධනය කරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද නීති වෙනස් කළත් එයට මුවා වී පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැම්මේය. එම සංශෝධනවල මහිමය කොතරම්ද කියනවා නම් පළාත් සභා ඡන්ද අද වනතුරුද පවත්වාගැනීමට නොහැකි වී තිබේ. මෙවැනි විහිළු සැපයීම දැන් හෝ වැළැක්වීමට තද නීති හඳුන්වා දිය යුතුය.

අපේ රට නිදහස ලබා දශක හතක් ගෙවී ගියත් තවමත් ජනතාවගේ අවශ්‍යතා සපිරෙන මැතිවරණ ව්‍යුහයක් ගොඩනංවා ගැනීමට අපොහොසත් වීම මහත් අවාසනාවකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මැතිවරණ නීති සංශෝධනය කළ හැම ආණ්ඩුවක්ම එය සිදු කළේ බලය සැමදා තමන් අතේ තබාගැනීම මූලික අරමුණ කර ගනිමින් බැවිනි. එය යළිත් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුය. මහජනතාව බලාපොරොත්තු වන සේවාව රජයෙන් ඉටුනොවන්නේ නම් එවැනි නීති රීති කොතරම් තිබුණත් ඉන් පලක් නොවන බවට අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළින් ඕනෑතරම් උදාහරණ සොයාගත හැකිය.

අපගේ වැටහීම වන්නේ මැතිවරණ ව්‍යුහය ප්‍රතිසංස්කරණයේදී මැතිවරණ පැවැත්වෙන දින නිශ්චිතවම ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය බවය. අසල්වැසි ඉන්දියාවේ සෑම වසර පහකටම වරක් මහ මැතිවරණය පැවැත්වෙයි. ප්‍රාන්ත මැතිවරණ පැවැත්විය යුතු දින වෙනස් කළ නොහැක. ඒ සියලු‍ දින තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම මගිනි. අමෙරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම පසුව එළඹෙන නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දින පැවැත්වෙයි. එය 1845 සිට මේ දක්වාම නොවෙනස්ව පවතී. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය සෑම වසර තුනකටම වරක් එළඹෙන සෙනසුරාදා දිනයක පැවැත්විය යුතුය. 1912 වසරේ සිට මෙය වෙනස් වී නැත. එවැනි ස්ථිර මැතිවරණ සිතියමක් අප රටේද තිබිය යුතුය.

අපේ රටේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම අවශ්‍යය. එසේම මැතිවරණ වියදම් පාලනය සඳහා නීති රීති පැනවීම, රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම සහ ජන කොට්ඨාස සඳහා අනුපාතික නියෝජනයක් ලැබෙන සේ කටයුතු යෙදීමද අවශ්‍ය වෙයි. මෙරට ක්‍රියාත්මක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පිළිගත් ක්‍රමවේදයක් හඳුන්වාදීමද කළ යුතුය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සියලු‍ මැතිවරණ සඳහා නිශ්චිත දිනයක් නීතිගත කිරීම බව යළිත් අපි අවධාරණය කරමු.

(***)



අදහස් (0)

ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී ඡන්ද කාලසටහනක් ගැනත් සිතමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 716 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 349 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 121 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4249 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12671 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site