IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජාතික අර්බුදයක්: පංගුපේරු එපා සැවොම එක්වෙමු

කොවිඩ් වයිරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව ද නරක තැනකට දෛනිකව තල්ලු වෙමින් තිබේ. නිදසුනකට ජනගහණයට සාපේක්ෂව විමසා බැලුවොත් මෙරට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාවේ මෙන් දෙගුණයකි. ඊට ප්‍රමුඛ විසඳුමක් හැටියට සැලකෙන එන්නත්කරණයෙන් ද අපේක්ෂිත ඉලක්ක කරා යන්නට තවම අපට හැකි වී නැත. සැබැවින්ම ගෝලීය වශයෙන් ගත්තත් එන්නත්කරණය ප්‍රශස්ත ලෙස කළ රටවල් හා නොකළ රටවල් ලෙස කාණ්ඩ දෙකක් දැකිය හැකිය.

අවාසනාවන්ත ලෙස අප මේ වනවිට අයත්වන්නේ දෙවැනි කාණ්ඩයටය. උදාහරණයක් හැටියට ගතහොත් මාත්‍රා එකක් 10% කට තරමක් වැඩි පිරිසකට එන්නත් කරද්දී මාත්‍රා දෙකම එන්නත් කරගත හැකිව තිබෙන්නේ තවමත් 5%කට අඩු පිරිසකටය.

එන්නත්කරණයේ මූලික අරමුණ විය යුත්තේ කොවිඩ් වයිරස ව්‍යාප්තියත් මරණ සංඛ්‍යාවත් අවම කරගැනීමය. එහෙත් අපේ රටේ අවාසනාව වන්නේ කවර විපතකදී වුව විසඳුම් සමග යටි අරමුණු ගැටගැසීමය. එය මේ ආණ්ඩුවට පමණක් අනන්‍ය ලක්ෂණයක් නොව පක්ෂ භේදයකින් තොරව හටගෙන ඇති අගතියකි. එන්නත් නිපදවන සමාගම්වලින් තොග ඇණවුම් කිරීම පමාවීම අපේ රටේදී සිදු වූ පළමු වරදය.
 
එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් තීන්දු ගත යුතු තැන්වල සිටි පිරිස්වල පුද්ගලයන් කීප දෙනකු හැරුණු විට සෙස්සන් කණ්ඩායමක් ලෙස තීරණ නොගැනීම ඊට බලපෑවේය. මේ නිසා එන්නත් සම්බන්ධයෙන් ඇති විය යුතුව තිබූ සමාජ සංවාදය ද යටගිය අතර ඒ කාලයේදී අප දුටුවේ වෙනත් ආදේශක පසුපස හඹා යන තත්ත්වයකි. එහි ප්‍රතිඵලය වූයේ එන්නත්කරණය ආරම්භවීම පමා වීම පමණක් නොවේ. එන්නත්කරණය ආරම්භ වූ පසු එය ලබාගැනීමට රට තුළ අනවශ්‍ය කලබලයක් ද නිර්මාණය වීමය.

එන්නත්කරණය සම්බන්ධයෙන් ගත්විට කොවිෂීල්ඩ් එන්නත අප අනුමත කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමට පෙරය. ස්පුට්නික් එන්නත මාර්තු 04 වැනිදා අනුමත කළේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට පෙරය. හැකිතරම් එන්නත් ලබාගැනීම එයින් අපේක්ෂා කළ නමුත් ස්පුට්නික් එන්නත ගෙන්වාගැනීමට හැකිවුණේ තීරණයෙන් මාස එකහමාරකට පසු අප්‍රේල් මස අගදීය. ඒ සමයේ ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු සාමාජිකයකු හැටියට මම ද කටයුතු කළෙමි.

මගේ නම නොකීවත් ඇතැම් පාර්ශ්ව සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මා හට අනියම් ලෙස චෝදනා කළ අතර වගකිව යුතු පාර්ශ්ව පවා වැරැදි ප්‍රකාශ කළහ. මම එන්නත් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම සඳහා පත්කළ අට දෙනකුගෙන් යුත් විද්වත් කමිටුවේ එක් සාමාජිකයකු පමණි. එන්නත්කරණය කඩිනම් කිරීම සඳහා අපට පොදු අරමුණක් තිබුණත් ඊට අදාළ තුන් වැනි අදියරේ දත්ත අපට ලැබී තිබුණේ නැත. එනිසා අනුමැතිය දීමට අදාළ දත්ත ලබාදෙන්නැයි මාර්තු 17 වැනිදා අපි ඉල්ලීමක් කළෙමු. ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ඒ වෙනුවට අලුතින් විද්වත් කමිටුවක් පත්කරගැනීමය. එහෙත් ඒ නව කමිටුව පවා සයිනොෆාම් එන්නත අනුමත කළේ නැත. අවශ්‍ය නම් ඖෂධ නියාමන අධිකාරියට මේ විද්වත් කමිටු පසෙකලා දේශපාලන තීරණයක් ගැනීමට ද අවස්ථාව තිබිණ.

එහෙත් එවැන්නක් පවා නොකොට ඒ වෙනුවට කෙරුණේ විද්වත් කමිටුව දෝෂදර්ශනයට ලක්කිරීමය. එයින් වූයේ කාලය නාස්තිවීම පමණි. සයිනොෆාම් එන්නතට අවසානයේදී අනුමැතිය ලැබුණේ මැයි 8 වැනිදාය. අවශ්‍ය දත්ත ලබා දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණේ මැයි 6 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා මීට අදාළ දත්ත ලබාදුන්නේ පමාවීය. නිදසුනක් හැටියට සයිනොෆාම් සඳහා අනුමැතිය දෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වෙබ් අඩවියේ මාර්තු මුල සඳහන් කළත් ඊට අනුමැතිය ලැබුණේ මැයි මාසයේය. විද්වත් කමිටු අනුමැතිය ලැබුණා නම් එන්නත් ලක්ෂ හැටක් ප්‍රදානයක් ලෙස රටට ලැබෙන්නට තිබූ බවට විවිධ ව්‍යාජ ප්‍රකාශ පවා පළ වූ අතර ඒවාට ඉහළ ප්‍රසිද්ධියක් ද ලැබුණේ මේ කාලයේය.

එන්නත් ගෙන්වාගැනීමට අවංක කැපවීමක් තිබූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා එක් අවස්ථාවක දේශපාලකයකු සේ පැවැසුවේ සිය ගබඩාවේ තිබූ එන්නත් භාවිත කර සිංහල අවුරුද්දට පෙර වයිරස ව්‍යාප්තිය වළක්වාගැනීමට තිබූ බවය. එය ඉතාම වගකීම් රහිත ව්‍යාජ ප්‍රකාශයක් විය. මන්දයත් මෙරටට එම සයිනොෆාම් එන්නත් තොගය ලැබුණු මාර්තු 20 වැනිදා සිට බැලුවත් ප්‍රතිශක්තිය ලැබීමට සති හයක කාලයක් ගතවන බැවිනි. මෙවැනි නොමඟ යවන සුළු ප්‍රකාශ කරමින් මේ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසියාකාරව කළ හැක්කක් නොවේ. මන්දයත් මෙවැනි ප්‍රකාශ කළ පසු ඒවායේ අවිද්‍යාත්මකභාවය පැහැදිලි කිරීමට ඒ හා සමාන අවස්ථාවක් ජනමාධ්‍යයෙන් ද නොලැබෙන බැවිනි.  

කෙසේ වෙතත් දැන් විමසිය යුත්තේ මෙතැන් සිට ඉදිරියට කළයුත්තේ කුමක්ද කියාය. ලංකාවට වැඩියෙන්ම දැනට ලැබී ඇත්තේ සයිනොෆාම් එන්නතයි. නිදසුනකට දින 10කට වතාවක් අපට සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 බැගින් ලැබෙන්නේ යැයි සිතමු. සයිනොෆාම් එන්නතින් ප්‍රතිශක්තිය ලැබීමට අනිවාර් යෙන්ම මාත්‍රා දෙකක් ලබාදීම අත්‍යවශ්‍යය. දැනට මෙරට වැඩිම වශයෙන් එන්නත් ලබා දී ඇත්තේ දිනකට 65,000 කි. අවශ්‍ය නම් එය ලක්ෂයක් දක්වා ඉහළ දැමීමේ හැකියාව අපට තිබේ. අප එසේ දිනකට එන්නත් මිලියන ලක්ෂයක් ලබාදෙන්නේ යැයි උපකල්පනය කළහොත් පුද්ගලයන් ලක්ෂ 30කට එන්නත්කරණයට මාස දෙකක කාලයක් ගත වේ. අවුරුදු 18ට වැඩි පිරිස ගත්තොත් එන්නත්කරණයට ලක්ෂ 130 - 140 ක් අතර පිරිසක් වෙති. ලක්ෂ 30 ක් යනු මේ පිරිසෙන් 20%ක් වැනි අගයකි. එවිට දිනකට ලක්ෂයකට එන්නත් අඛණ්ඩව ලබාදුන්නත් මේ ජන කොටසින් සියයට 20 කට එන්නත්කරණයට මාස දෙකක කාලයක් ගත වේ. එන්නත්කරණයට කෙතරම් බරක් දැමිය යුතුදැයි වැටහෙන්නේ මෙසේ ගණන් දැක් වූ විටය.

එහෙත් දිවයිනේ දිස්ත්‍රික් හා ප්‍රදේශ මට්ටමින් සිදුවන එන්නත්කරණයේ ගණන් හිලව් නිසියාකාරව සකස් කරගැනීමට අසමත් වූ බව අප පිළිගත යුතුය. මේ නිසා සිදු වූ අගතීන් නැතුවා නොවේ. නිදසුනක් හැටියට මේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි කොරෝනා මරණ ප්‍රතිශතයක් හැටියට ගත්විට එංගලන්තයට වඩා ලංකාවේ වැඩිය.

 ඊට හේතුව නම් එන්නත්කරණයේදී එංගලන්තය සිය අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට ප්‍රමුඛතාව දීමය. ඇත්ත වශයෙන්ම සමාජයේ වැඩිපුර ගැවසෙන කණ්ඩායම් වේ නම් ඔවුන් කලාකරුවන්, මාධ්‍යවේදීන් හෝ කවර සමාජ කණ්ඩායමක් නියෝජනය කළ ද ඔවුන්ට එන්නත ලබාදෙනවාට මම පුද්ගලිකව විරුද්ධ නැත. මා කියන්නේ ඉදිරිපෙළට සහ මේ කියන පිරිසට එන්නත ලබාදෙන අතරේම වුව ප්‍රමුඛතාව වැඩිහිටියන්ට දුන්නේ නම් එන්නත්වලින් 80-90% ක් පමණ අවුරුදු 60 ට වැඩි පිරිසට භාවිතවීමට ඉඩ තිබිණ. ඉන්පසු භාවිත කරන්නට තිබුණේ නිධන්ගත රෝගාබාධයෙන් පෙළෙන පිරිසටය. එසේ වී නම් සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් අඩු කරගන්නට අපට හැකියාව තිබිණ. එහෙත් එන්නත්කරණය එවැනි පාරදෘෂ්‍යභාවයකින් යුතු වැඩපිළිවෙළක් නොවීය. මෙයට ඍජුවම වසංගත රෝග අංශය වගකිවයුතු බව පැහැදිලිය. එහෙත් එය දැනගත් පසු ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමය. දැන් ප්‍රශ්නය ඇත්තේ ඒ සම්බන්ධයෙන් පියවරක් නොගැනීමය.

කොවිඩ් මර්දනයේදී අනුගමනය කළ වැරැදි පිළිවෙත් රැසක්ම වන අතර ඊට එක් ප්‍රසිද්ධ උදාහරණයක් කොවිෂීල්ඩ් එන්නත උපරිම ලෙස භාවිත කරගැනීමට තාක්ෂණිකව නිර්ණය කරගැනීමට තිබූ නොහැකියාවය. සයිනොෆාම් එන්නත් කුප්පියක ඇත්තේ මාත්‍රා දෙකකි. එහෙත් කොවිෂීල්ඩ් එන්නත් කුප්පියක මාත්‍රා 10කි. එහි මාත්‍රාවක් මිලි ලීටර් 0.5ක් වන අතර එක් කුප්පියක මිලි ලීටර් 6.5ක් අන්තර්ගත වේ. ඒ අනුව එක් කුප්පියකින් අඩුම තරමින් මාත්‍රා 12ක් හෝ 11ක් භාවිතයට ගතහැකිය. එහෙත් ආරම්භයේදී එයින් භාවිත කළේ මාත්‍රා 10කි. මෙයට කෙළින්ම වගකිවයුත්තේ වසංගත රෝග විද්‍යා අංශයයි.

අප ද ඇතුළුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැනි වෛද්‍යවරුන් මේ කරුණ තදින්ම සෞඛ්‍ය සේවා ජනරාල්වරයාට අවධාරණය කරද්දීත් ඊට එරෙහි වූයේ වසංගත රෝග විද්‍යා අංශයේ තිදෙනෙකි. එහි ප්‍රතිඵලය වූයේ කොවිෂීල්ඩ් එන්නත්කරණය ආරම්භයේදීම මාත්‍රා 18,000ක් භාවිතයට නොගෙන විසිකරන්නට සිදුවීමය. ගිය හකුරට නාඬන්නේ තිබෙන හකුර රැකගන්නේ යනු අපට හුරු ගැමි පිරුළකි. කොවිඩ් වයිරසයට අදාළව ගත්තත් රට ඇත්තේ එවැනි තත්ත්වයකය.

එහෙත් එවැනි තත්ත්වයක පවා අවාසනාවන්ත ලෙස අප අපේ වගකීම්සහගතභාවය හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. නිදසුනක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හැටියට අප කිසිදු අවස්ථාවක එන්නත් ප්‍රමුඛතාව වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ ඔවුන්ගේ පවුල්වල උදවියට දෙන්නැයි ඉල්ලීම් කළේ නැත. මේ ප්‍රශ්නය මතුවුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාවේ හිඟයක් ඇතිවීමෙනි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 15 කට මුදල් ගෙවූවත් සීරම් ආයතනයෙන් අපට ලැබුණේ එන්නත් ලක්ෂ 5කි. ගැටලුව ආවේ මෙතැනිනි. මේ අර්බුදය කල්තියා දුටු නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මැයි 11 වැනිදා ඉල්ලීමක් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවෙස්වල පිරිස් ගැන අවධානය යොමු කිරීමටය. එහෙත් ඊට පහුවැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අප මෙන්ම ලිඛිත ඉල්ලීමක් කිරීමකින් නොනැවතී සෞඛ්‍ය ඇමැතිවරිය හමු වී ඉල්ලීමක් කළේය. ඒ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි ඉතිරිව තිබුණේ දෙදහසකට තරමක් වැඩි සංඛ්‍යාවකි. එයින් අර්ධයක්ම වෙන්කර තිබුණේ සිය පළමු මාත්‍රාව ගත් වකුගඩු හා පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ජනතාවටය.

සෞඛ්‍ය සේවාවේ අනෙක් සියලුම වෘත්තිය සමිතිවලට නැති දේශපාලන බලවත්කමක් තිබූ නිසා ඉතිරි එන්නත් සංඛ්‍යාව සිය පවුල්වල උදවියට භාවිතයට ගන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැකි විය. කවර තර්ක දැන් ඉදිරිපත් කළත් එන්නත් හිඟයක් ඇති අවස්ථාවක සිය සිවිල් බලය භාවිත කරන්නට යෑම ආචාරධාර්මික නැත. එනිසා මෙවැනි ක්‍රියාවලියක් සිදුවන බව දැනගත් විගසම ඊට ඉඩ නොදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් අපි කඩිනමින් දැනුම් දුන්නෙමු. එන්නත්කරණයට බාධා පමුණුවීම මෙන්ම සෞඛ්‍ය සේවාවේ බෙදීම් හටගැනීමටත් මෙම තත්ත්වය තුඩුදෙන බව අපි අවධාරණය කළෙමු. එහෙත් එය වළක්වාගන්නට ආණ්ඩුවට ද බැරි විය. දැන් එපමණටම ඔවුන්ගේ ග්‍රහණය දැඩි වී තිබේ. දීමනා ප්‍රශ්නය ආවේ ඉන්පසුය.

මා දන්නා තරමට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා වැඩිකර නැත. එහෙත් මේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කීමට පොදු කරුණක් මට තිබේ. එනම්, මේ දීමනා ඉල්ලන පිරිසත් ඊට එරෙහිව විරෝධය දක්වන පිරිසත් සටන් කරන්නේ ඊට සුදුසු වටපිටාවක නොවන බවය. මේ කවර මාර්ගයකින් වුව අවදානමේ වැටෙන්නේ රෝගී ජීවිතයි.

වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය මූර්තිමත් කරනු ලැබෙන්නේ වෘත්තිකයන් හැටියට ඉල්ලීම් දිනාගැනීමේදී පවතින සමාජ සන්දර්භය ඊට කෙතරම් ගැලපේදැයි කල්පනා කිරීම විසිනි. ඉතින් මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය සේවාව පිල් බෙදී කල්ලි ගැසීම විසින් ලොකුම අනර්ථය සිදුකරනු ලබන්නේ ජනතාවටය.

කොවිඩ් මර්දනය යනු සාමූහික ප්‍රයත්නයකි. එය සෞඛ්‍ය සේවාවේ කිසිදු වෘත්තිය කණ්ඩායමකට තනිව කළහැක්කක් නොවේ. අනෙක් අතට රෝහල් වාට්ටුවේදී වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සුළු සේවකයන් අතර ඇත්තේ විශාල මිත්‍රත්වයකි. ඒ මිත්‍රත්වය මේ සාමූහික අරමුණ කරා යෑමට අතිශය වැදගත්ය. ඒ නිසා එකී මිත්‍රත්වය බිඳවැටෙන ආකාරයට තීන්දු නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වගබලා ගත යුතුය.
පොදුවේ ගත්කල සියලු පාර්ශ්ව උදා වී ඇත්තේ ජාතික ව්‍යසනයක් බව අමතක නොකළ යුතුය. හැකි පමණින් කැපකිරීම් කරනු විනා බොරදියේ මාළු ඇල්ලීමට සිතන්නේ නම් එය ඉමහත් කනගාටුදායක තත්ත්වයකි. සාකච්ඡාව ආරම්භයේදීම සඳහන් කළාක් මෙන් කොවිඩ් මර්දන සටනේදී මූලිකාරම්මණය විය යුත්තේ කොවිඩ් පරාජයයි. කෙටියෙන් කිවහොත් සමස්ත ජාතියම සිතිය යුත්තේ කොවිඩ් පරාජය කර රටක් හැටියට ඉක්මනින්ම ඔළුව උස්සන්නේ කෙසේද කියාය.

ජනමාධ්‍ය ද සෑම මොහොතකම ක්‍රියා කළ යුත්තේ මේ ඒකීය ධාරණාවෙනි. සාමාන්‍ය කාලපරිච්ඡේදයකදී ගැටුම වෙළෙඳපොළ විකිණුම් සාධකයක් වුව මෙය එවැනි කාලයක් නොවන බව ජනමාධ්‍ය ද තේරුම් ගත යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සංචරණ සීමා තවදුරටත් පනවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලන අතරේම එම වැඩපිළිවෙළට උදවු කරන්නැයි විපක්ෂයෙන් ද ජනමාධ්‍යයෙන් ද පසුගිය දිනෙක ලිඛිත ඉල්ලීමක් ද කළේ එහෙයිනි. නිදසුනකට එන්නත්කරණය සිදුවන ස්ථාන ගැන ජනතාව දැනුවත් කරමින් සංචරණ සීමා උල්ලංඝනය නොකිරීමේ වැදගත්කම ගැන කියන්නට ජනමාධ්‍යට සිය මාධ්‍ය අවකාශය යොදාගත හැකිය. මේ දිනවල වික්ෂිප්ත වී සිටින ජනතාවට එය අස්වැසිල්ලක් මෙන්ම නිවැරැදිව අවදානම සන්නිවේදනය කිරීමක් ද වේ. වගකිව යුතු අංශ වගකීම් විරහිත වෙද්දී පොදු ජනයා වගකීම් විරහිතවීම අප තේරුම් ගත යුතුය.  කෙටියෙන් කිවහොත් දැන්වත් අප හැමදෙනාම මේ මොහොත කුමක්දැයි තේරුම් ගත යුතුය.

ලෝකයේ කොරෝනා ව්‍යාප්තියේ භයානකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද අවතීර්ණ වී තිබේ. සාමූහිකව කැපවෙන අවංක භාවයකින් මිස පංගු පේරු වැඩවලින් එය පරාජය කිරීමට නොහැකි බව දැන්වත් අප වටහාගත යුතුය. එහිදී පක්ෂ භජනයෙන් තොරව ප්‍රාමාණිකයන්ගේ අදහස් පිළිගැනීම බලධාරීන්ගේ වගකීමකි.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (5)

ජාතික අර්බුදයක්: පංගුපේරු එපා සැවොම එක්වෙමු

Cisco Monday, 14 June 2021 11:38 AM

ඔබගේ පැහැදිලි කිරීම අප අගය කරන නමුත් මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත මේ රටේ වෙසෙන චීන ජාතිකයින්ට විද්ද පසු ඒ ගැන පසු විපරමක් කර එහි අතුරු ආබාධ නොතිබූ නිසා ශ්‍රී ලාංකිකයින්ට එන්නත්කරණය මාර්තු මාසයේ පටන්ගන්න තිබුණා නොවේද? අප අධ්‍යාපනය ලබන්නේ පොතපතේ තියෙන දේම කරන්න නොවේ. ප්‍රායෝගික තත්වය බලා යමක් කල්පනා කරන්න නොවේද? එය එසේ නම් රොබෝවරයෙකු හට හෝ පරිගණකයකට ඹබලාගේ කාර්ය කිරීමට හැකියාව ඇත. ඔබ කියනා ආකාරයට තුන්වන අදියරේ වාර්තා ලබා දීමට පෙර බොහෝ රටවල මෙම එන්නත භාවිතයට ගෙන තිබුණා නොවේද?

:       15       30

bandara Monday, 14 June 2021 10:06 PM

වෛද්‍ය තුමාගේ ලිපියේ සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ අවදානම ඉන්දියාව මෙන් දෙගුණයකි.

:       0       0

kapila Monday, 14 June 2021 10:11 PM

මෙම ලිපිය කියවල තියෙන්නේ 556 දෙනයි. කමෙන්ට් දාල තියෙන්නේ එක්කෙනයි. .

:       0       0

බණ්ඩාර Wednesday, 16 June 2021 09:42 AM

පැහැදිලි කිරිම වැදගත් මෙය ලොකයේ වසර ගණනාවකට පසු හටගත්ත වසංගතයක්.. වෙනත් වසංගත ආවාට සමස්ත ලොකයටම එය බලපෑවෙ නැත ..අනික ඔබ පවසන ආකාරයට මෙම එන්නත් කරණය පිලිබඳ ලෝක සෞඛ්‍යය සංවිධානය පවා අවසර දුන්නේ ප්‍රමාද වෙලා. ඉන්පසු ඇති හැකි අය කඩිනමින් ඒවා ලබාගත්තා. අපේ රටත් හැකි අයුරින් එය ලබාගෙන් ජනතාවට දෙන්න පටන් ගත්තා තුන්වන රැල්ලට කලින් චීන එන්නත ලංකාවට ගෙනාවත් එය ජනතාවට දෙනවාට විරුද්ධව සමහර අය අර්බුදයක් ඇති කළා.. පංගුපේරු තියෙන්නේ කොතැනද කියා ඔබට නොතේරෙනවා නොවේ... සමහරක් අය මෙවැනි වසංගතයක් තියෙන මොහොතක නොමැරෙන මිනිස්සු සේ හැසිරෙනවා සෞඛ්‍ය අංශවලද තමන්ගේ දේශපාලන මතය ඉස්මතු කරගෙන මේ වැඩ පිළිවෙල අවුලක් කරන්න කටයුතු කරන අය නැතුවාම නොවේ...

:       1       4

RaveendraThursday, 17 June 2021 06:31 AM

ඔබගේ අදහස් නිවැරදිය. අප රටේ ඡන්දදායකයන් මෝඩ හරකුන් බව කිව යුතුමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 604 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 956 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 139 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 388 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 556 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 927 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site