IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


"ටයි නොදැමූ ටයි මහත්තයා"

පුංචි මල් කැකුළු කලාවෙන් පුබුදුවා දිවි රඟමඬල අතැර ගිය "ටයි නොදැමූ ටයි මහත්තයා"

සිලියානා සෙට්ටිනායක මහත්මියටත් ටී.ජී.එම්.ජුලියස් ද සිල්වා මහතාටත් දාව 1929 අපේ‍්‍රල් 17 වැනිදා අපූරු කොලූපැටියෙක් මෙලොව එළිය දුටුවේය. ඒ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක ‘‘බඩ පිස්සා’’ ලෙසය. දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා ලෙස නම් තැබුණු මේ කොලූගැටයා පසුකාලීනව ටයිටස් තොටවත්ත යන නම භාවිත කළේය.කොළඹ ආනන්දාවෙන් සිප් සතර හැදෑරූ ඔහු පාසල් අවධියේදීම මරදානේ කාර්මික විදුහලෙන් කැමරාකරණයද, ‘‘හේවුඞ්’’ විද්‍යායතනයේ ජේ.ඞී.ඒ.පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහයන් යටතේ චිත‍්‍ර හා මූර්ති කලාවද ශේෂා පලිහක්කාර හා ෂු කේන්ද්‍ර යන ශිල්පීන් සමඟ නැටුම් කලාවද හැදෑරීය. පසුව ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන් සමඟ සංගීතයද ප‍්‍රගුණ කළේය.1952 දී රජයේ චිත‍්‍රපට අංශය පිහිටුවීමෙන් පසු වාර්තා චිත‍්‍රපට නිෂ්පාදනයට සම්බන්ධවීමෙන් කැමරාකරණය, ශබ්ද පරිපාලනය හා රසායනාගාර කටයුතු ගැන පුහුණුව ලැබූ අතර ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ සංස්කරණ ශිල්පය වෙතයි. 56 දී සිංහල සිනමාවේ පුනරුදය වෙනුවෙන් එවකට සමකාලීනයන් වූ ලෙස්ටර් හා විලී බ්ලේක් සමඟ එක්ව ‘‘රේඛාව’’ චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා රජයේ චිත‍්‍රපට අංශයෙන් ඉවත් විය. ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියාද වූයේ තොටවත්තයන්ය. ඉන්පසු ‘දස්කොන්, සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට, චණ්ඩියා, පරසතු මල් සහ හාරලක්‍ෂය යන චිත‍්‍රපටවලට දායක වී සිංහල සිනමාවේ ප‍්‍රවීණතම සංස්කරණ ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය. 1958 දී තනිකඩ දිවියට ආයුබෝවන් කී ඔහු සුජාතා තොටවත්ත දිවිමගේ සහකාරිය කර ගත්තේය. ඔහුගේ මනස් විලේ පුංචි දරුවන් වෙනුවෙන් යම් නිර්මාණ කාර්යයන් ඉටුවිය යුතු යැයි වූ අදිටන මල්ඵල ගැන්වුණේ 1979 දී ‘‘හඳයා’’ ළමා චිත‍්‍රපටය සිනමාවේ දිග හැරීමත් සමඟය. එය 80 සරසවි සම්මාන උළෙලේදීද,  ඕ.සී.අයි.සී. උත්තමාචාර උළෙලේදීද, ජනාධිපති සම්මාන උළෙලේදීද සුවශේෂී සම්මානවලින් පිදුම් ලැබීය.1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්බන්ධවන ‘‘ටයි මහත්තයා’’ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වැඩසටහන් නිෂ්පාදනය හා රචනය කිරීමේ ආරම්භක පියවර තැබීම ඔහුගේ නිර්මාණ දිවියේ අලූත් පිටුවක් පෙරළීය. ඒ නිර්මාණ චාරිකාවට ඔහුට අපූරු සගයෙක් එකතුවිය. අදත් ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ ප‍්‍රධානියා ලෙස ‘‘ටයි මහත්තයාගේ” රාජකාරිය ඉදිරියට ගෙන යන අතුල රන්සිරිලාල් මහතා ‘‘ටයි මහත්තයා’’ පිළිබඳව මතක ගබඩාවක්ය.‘‘ටයි මහත්තයා මට හමුවුණේ 1984 ජාතික රූපවාහිනියේදී. අප රූපවාහිනියට බැඳුණේ නිෂ්පාදන පුහුණුවන්නන් ලෙසයි. මේ කාලේ ‘‘දොස්තර හොඳහිත’’ කාටූන් වැඩසටහන් පෙළේ දෙබස් කවන්න ටයි මහත්තයා සූදානම් කර තිබුණා. මාත් එක්ක මේ වැඩවලට අනුර ජයසේකරත් හිටියා.’’‘‘ටයි මහත්තයා නිතරම කිව්වේ අපට පැහිච්ච එවුන් හදන්න බැහැ. පොඩි එවුන්ගෙන් පටන් ගමු. පොඩි එවුන් හදලා හරි පාරට ගත්තම, උන් මහ එවුන්ගේ වැරැදි හදාගෙන රට හදයි කියලයි. ඒ හින්දා දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, පිස්සු පූසා, බගලවතී, එළු නයිදේ, පඬිතුමා, යන කාටුන් චරිතවලට පුංචි දරුවෝ බොහෝම ආදරය කළා.ඒ වගේම 1956 සිට 80 දක්වා චිත‍්‍රපට සියගණනකට වඩා ඔහු අතින් සංස්කරණය වුණා. ‘‘අහල පහල’’, ‘‘ලොකු බාස් - පොඩි බාස්’’, රූපවාහිනී තිරයේ පළමු හඬකැවූ වැඩසටහන් පෙළ වුණා. ‘‘හා හා හරි හාවා’’, ‘‘ගලිවර්ගේ සුවිසැරිය’’ වැඩසටහන් පෙළත් පුංචි දරුවන් හොඳින් රස වින්දා.’’රන්සිරිලාල් මහතා ඒ අතීතය අදටත් සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයකිනි. විශේෂයෙන්ම ‘‘ටයි මහත්තයා සමඟ වැඩ කිරීම බොහෝ දෙනකුට එතරම් පහසු නොවුණේ දැඩි නීති රීති පැනවීමත්. තමන් කරන රාජකාරිය දේවකාරිය සේ සැලකීමත් නිසාය. එය වචනවලට පමණක් සීමා නොකොට ඉතාම ප‍්‍රායෝගිකව ඉටුකිරීමට තොටවත්තයන් තුළ වූයේ නිසග හැකියාවකි.’ ’‘‘අපි රූපවාහිනියට බැඳෙන කාලේ ‘‘ටයි මහත්තයා’’ එක්ක වැඩකරන එක විශාල ගෞරවයක් වුණා වගේම අමාරු වැඩක් වුණා. ඒ නිසා නිෂ්පාදන සහකාරවරු බොහොමයක් මේ ඒකකයට එන එක දඬුවමක් විදියටයි සැලකුවේ. ඔන්න ඔය අතරේ ‘‘ලා තණකොළ පෙත්තාස්’’ ගීත කණ්ඩායම ‘‘දොස්තර හොඳ හිතට වුවමනා වුණා. මම ඒ වනවිට වාර්තා අංශයේ මඩවල රත්නායක මහතා ළඟ වැඩකළේ. නමුත් එහි ගීතවලට අවශ්‍ය හඬවල් මම කලූබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙන් හොයා දුන්නා. ඒ මම ඒ දහම් පාසලේ ගුරුවරයකු වූ නිසා. දීපිකා පි‍්‍රයදර්ශනී, රසාදරී පීරිස්, රවින්ද්‍ර මුණසිංහ හා අශිමි විලේගොඩ ඒ ගීත වලට දායක වූ අයයි. අදත් ඔවුන් දක්‍ෂයෝ.’’‘‘ටයි මහත්තයාගෙන්’’ ගෝලයන්ට ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණි. නියමිත වේලාවට නියමිත දේ කළ යුතුයි සේම තමන් කරන දේ තමන්ට අවංකව, පූර්ණ සූදානමක් ඇතුව කළ යුතුය යන්න ඔහු සතුවූ කදිම පාඩම්ය.‘‘උදේ පාන්දර 5.00 ට ‘‘ටයි මහත්තයා’’ බොරැල්ලේ ඉඳන් වැඩට එනවා. ගෝලයොත් ඒ වෙලාවට එන්න  ඕනෑ. ගෝලයෝ පරක්කු නම් විනාශයි. අනික ඔහු තැන තැන අනුන්ගේ දේවල් හොය හොයා කාලය නාස්ති කරන්නේ නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ආපුවැඬේ කරනවා. ඒ කාලේ මම දවසකට පැය 19-20 ක් විතර වැඩකරලා තියෙනවා. ‘‘ටයි මහත්තයාගෙන්’’ ඉගෙන ගන්න තියෙන දේ අපමණයි. ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයක්. අද විද්‍යුත් මාධ්‍ය කලාව කරන අය බොහොමයක් එන්නේ 8.30 යි 4.30 වැඩ කරලා යන්න. මේ අය ‘‘ටයි මහත්තයා” එක්ක වැඩ කළා නම් පැහැදිලිවම එළවනවා.‘‘ටයි මහත්තයා’’ ඔය හැමදේම කළේ නිර්භීතවයි. කාටවත් බය නැහැ. කියන දේ කෙළින් කියනවා. හඬ කැවීමේ ඒකකයට හොඳ අත්තිවාරමක් එතුමා හඳලා දුන්නා. අද වගේ මැදිරියක් එදා අපට තිබුණේ නැහැ. රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රාගාරය ඇරුණාම ‘‘ටයි මහත්තයා’’ තමයි අද අප වැඩකරන මැදිරිය හැදුවේ. එතුමා නොවෙන්න මම නම් හිතන්නේ නෑ ඒ වැඬේ වෙන අයෙක් කරයි කියලා. ලංකාවේ මුල්ම උපසිරැසි වැඩ සටහන කළෙත් එතුමයි. අපි සහායකයෝ. ඉතාම දුෂ්කර කාර්මික මාවතක් ඔස්සේ පටන් ගත්තත් පසුව අලූත් තාක්‍ෂණයක් ලැබුණා. මුල්ම උපසිරසි වැඩසටහන් පෙළ ‘‘රොබින් හුඞ්’’ දරුවන් හා වැඩිහිටියන් අතරේත් ජනපි‍්‍රය වුණා.’’‘‘ටයි මහත්තයා’’ සතු අපූර්ව හැකියා රැුසකි. ලිවීමේ හැකියාව, සංස්කරණ හැකියාව, අධ්‍යක්‍ෂණය, අලූත් දේ සිතීම වැනි කරුණු කාරණාවලදී ඔහු ඉදිරියෙන්ම සිටියේය. රූගත කිරීමේදී විටෙක පිටපත් යොදා නොගෙන අවශ්‍ය කරන දෙබස් තැනේ හැටියට අවශ්‍ය ලෙස යොදමින් පසුව සංස්කරණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුවිය. ඔහු රාජකාරිය දේවකාරිය සේ සැලකීමට කදිම නිදසුන් රන්සිරිලාල් මහතා සතුය.1989 දී ‘‘‘කොරා සහ අන්ධයා’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමවෙලා එතුමා ලෙඩවුණා. ඒත් චිත්ත ධෛර්ය හීන වුණේ නැහැ. මම ඔහු බලන්න ආසිරි රෝහලට ගිය මොහොතේ මගේ ඇඟට කඩන් පැන්නා. ‘‘උඹ මොකටද මෙහෙ ආවේ, උඔ දොස්තරයෑ, ගිහිං ඩෙක් එකයි ටී.වී.එකයි අරගෙන වරෙන්. ‘‘කුංෆු’’ ලියන්න තියෙනවා කියලා කිව්වා. ‘‘ටයි මහත්තයාගෙ ලෙඬේට බෙහෙත වුණේ ‘‘කුංෆු’’ පිටපත ලියන එක. පස්සේ අපූරුවට ගලපලා එතුමා ඒ වැඬේ කළා.’’මේ වන විට දෙබස් කැවීමේ හා උපසිරැුසි ගැන්වීමේ වැඩසටහන් 20,000 කට වඩා ‘‘ටයි මහත්තයා’’ දෙබස් කවා ඇති අතර අදටත් හඬ කැවීමේ කලාව එහි මූලධර්ම සහ ක‍්‍රමවේද මෙන්ම භාෂාවද නිවැරැුදිව යොදාගෙන කටයුතු කරන්නට ඔහු තරම් සමතකු මෙතෙක් බිහි වූයේ නැත. සැබැවින්ම අපේ රූපවාහිනී සම්ප‍්‍රදාය තුළ ඔහු පුරෝගාමී දැවැන්තයෙකි. ඔහු කාටුන් චිත‍්‍රපට කලාව පරතෙරටම ප‍්‍රගුණ කර තිබුණේය. විදෙස් වලින් ආනයනය කෙරුණු කාටුන රූපරාමුවලට දෙස බස මුසු කිරීමේදී ඔහු පෑවේ අපූරු ප‍්‍රාතිහාර්යයන්ය. ඒවා නැරඹූ කිසිවකුට වුවද කිසිම විදෙස් ගතියක් නොදැනුණේ ඔහුගේ ප‍්‍රතිභාව නිසාමය.ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ප‍්‍රථම සජීවි ටෙලිනාට්‍ය වූ ‘‘වැටත් නියරත්’’ රචනා කොට නිපදවා අධ්‍යක්‍ෂණය කරන ලද්දේද ‘‘ටයි මහත්තයා’’ විසිනි.‘‘ටයි මහත්තයා ඍජු මිනිහෙක්. රූපවාහිනියේ අදටත් හැමෝම ගරු කරන්නේ ඒකයි. ඒ වගේම දේශපාලනඥයෝ හෝ දේශපාලනයට මුල්තැනක් දුන්නේ නැහැ. දවසක් උදේ ටයි පටියක් බැඳගත්තු යස ඉලන්දාරියෙක් දොර හයියෙන් ඇරගෙන අපේ කාර්යාලයට ඇතුළු වුණා. ‘‘ටයි මහත්තයා ඉස්සරහම මේසේ ඉඳගෙන සිටියා. තරුණ කොලූවා. ‘‘ඔයාද ටයිටස් තොටවත්ත’’ කියලා අහපු සද්දේ ටයි මහත්තයාට ඇල්ලූවේ නැහැ. එතුමා පාඩුවේ තමන්ගේ වැඬේ කළා. විනාඩි 5 ක් විතර ඉඳලා ආයෙත් කොලූවා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ‘‘මං ආවේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. ටයි මහත්තයා ඉරියව්ව වෙනස් කරලා ‘‘ඒයි බලනවා මාර වැඩකාරයෙක්නේ. අපි නම් ආවේ අම්මලාගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. මිනිහා ආගිය අතක් නැතිවුණා.’’‘‘ඔහුට සොඳුරු බිරිඳක් හිටියා. එකම පුතා දමිත්ගේ වැඩකටයුතුත් බලාගෙන, ගෙදර දොරේ වැඩත් බලාගෙන ‘‘ටයි මහත්තයා’’ නිර්මාණ කටයුතුවලට සියයට සියයක්ම නිදහස් කළා. ඒක එතුමට විශාල පිටිවහලක් වුණා මේ දිගු ගමන එන්න. ඒ වගේම අන්තිම කාලේ ජාතික රූපවාහිනියේ මමත්, චර්චිල්, ශීලා කටුගම්පොළ, අනුර ජයසේකර, රංජිත් සිල්වා, අනුර ධර්මරත්න, චන්දන සෙනෙවිරත්න, කැලූම් පාලිත මහීරත්න හා සේනානි ගුණසේකර, අප හැමෝම ඔහු ළඟින් හිටියා. අවසන් මොහොතේ සිටම ජාතික රූපවාහිනිය, ජාතික චිත‍්‍රපට සංස්ථාව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා ටවර් හෝල් පදනම විශාල වශයෙන් ඔහු ගැන සොයා බැලූවා. මරණය සැලවූ මොහොතේ එතුමාට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබා දෙන්න ඒ අය කටයුතු කළා. ‘‘ටයි මහත්තයා’’ කියන්නේ අපට ජීවිත කාලේ ආයේ කිසිදාක හමුනොවන අද්විතීය, ස්වර්ණමය කලාකරුවෙක්. වසර 17 ක් මට එතුමාගෙන් ලැබුණු දැනුම මහා සාගරය වගෙයි.’’පුංචි සිත් සතන් තුළ සේම, වැඩිහිටියා, මහල්ලා දක්වාම ඔවුන්ගේ චිත්ත සන්තානයේ සෞන්දර්යය වපුරවාලූ, නූපන් දරු පරපුර වෙනුවෙන්ද අතිශය සොඳුරු කලා නිර්මාණ ඉතිරිකර දිවි රඟමඩලින් සමුගත් යුගපුරුෂයාණනි, ඔබ ‘‘චණ්ඩියා’’ සිනමා පටයට අකුරු කළ දෙබස් කණ්ඩයකින් අපි මේ සටහන නිමා කරමු.‘‘ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී’’ ලෙඩට-දුකට-කරදර-පීඩාවලට අභියෝග වලට බය නොවී......‘‘ටයි මහත්මයාණනි- ඔබට නිවන් සුව!’’
සටහන දුෂ්‍යන්ත කුමාර
ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ අංශ ප‍්‍රධානී  අතුල රන්සිරිලාල්  



අදහස් (0)

"ටයි නොදැමූ ටයි මහත්තයා"

නුවන් Saturday, 24 December 2011 06:30 PM

හොඳ මනුස්සයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 121 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 167 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 43 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 932 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1093 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 146 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 907 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site