IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඩොලරයේ හිරනොවන මාර්ගයක්

අද ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික ප්‍රශ්න ගණනාවකි. ඛනිජ තෙල් හිගය, ගෑස් හිඟය, පොහොර ප්‍රශ්නය, ආර්ථික අර්බුදයේ මූලික කාරණා වී තිබේ. ඒ වගේම ආහාර ප්‍රශ්නය සම්බන්ධව බලනවිට තිරිඟු පිටි මිල ඉහළයාම හමුවේ නිර්මාණයවී තිබෙන ගැටලුව ප්‍රධානය. තව ​ෙබාහෝ ප්‍රශ්න පැවැතියත් මේ ප්‍රධාන කාරණා හතර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම මේ ප්‍රශ්න විසඳා ගැනීමට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ලංකාවට සිදුවන බව පැහැදිලිය.

එවන් පියවරක දී රුසියාව ප්‍රමුඛ රටකි. රුසියාවෙන් ඛනිජ තෙල් ලබාගන්නා ආසියාතික රටවල් ගණනාවකි. චීනය, ඉන්දියාව ඒ අතර ප්‍රධානය. මේ රටවල් රුසියාව  සමග ගිවිසුම් අත්සන් කර තිබේ. ඒ අනුව සහනදායී මිලකට, අඩු මිලකට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව එම රටවලට උදාවී තිබේ. රුසියාවෙන් ඉන්ධන ලබාගන්නා කිසිදු ආසියාතික රටකට මේ දක්වා සම්බාධක සම්බන්ධ ප්‍රශ්නයක් මතුව නැත. යුරෝපා සංගමයේ ද සම්බාධක පැනවීමට ගත් තීරණයට හංගේරියාව, බල්ගේරියාව, ස්ලොවැකියාව ආදී රටවල් විරුද්ධ වූවේය. මේ නිසා ඉන්ධන හා සම්බන්ධ සම්බාධක පැනවීමට යුරෝපා සංගමයට හැකි වූයේ නැත. ගෑස් හා සම්බන්ධව ද ඇති වූයේ එවන් තත්ත්වයකි. සම්බාධක පැනවීමකට ජර්මනිය එකඟ වූයේ නැත. මේ නිසා එම රටවල් තමන්ට අවශ්‍ය ඉන්ධන ගෑස් රුසියාවෙන් මිල දී ගනිමින් සිටී.

මේ මිල දී ගැනීම් සිදුවන්නේ රුසියාව සකසා ඇති ක්‍රමවේදයකට අනුවය. ඉන්ධන, ගෑස් යනාදිය අලෙවි කෙරෙන්නේ රූබල්වලටය. මේ මිලදී ගැනීම් කරනු ලබන්නේ විදේශ සමාගම් විසින් රුසියාවේ ආරම්භ කරනු ලැබ ඇති ගිණුම් හරහාය. මේ ගිණුම්වලට ලැබෙන ඩොලර්, විශේෂයෙන්ම යුරෝ එරට පවතින විනිමය අනුපාතයට රූබල්වලට මාරු කිරීමෙන් පසු එම වටිනාකමට අදාළව ඉන්ධන, ගෑස් ලබාගත හැකිය. ඩොලරයට ගෙවිය යුතු රූබල් ගණන 120 ක් පමණ වන තෙක් රූබලය කඩා වැටුණ ද පුටින් ජනාධිපතිවරයා අනුගමනය කළ මෙම ක්‍රමවේදය හේතුවෙන් මේ වනවිට ඩොලරයට ගෙවිය යුත්තේ රූබල් හැටක් පමණය. මේ නිසා එරට ඩොලර් සංචිතය ද වර්ධනය වූවේය. මාස තුනක ඩොලර් සංචිතය බිලියන 100 ක් ලෙස වාර්තා වී තිබුණි. වෙළෙඳ අතිරික්තයක් වාර්තා කළේය. මතු වූ ප්‍රශ්න විසඳා ගැනීමට මේ නිසා රුසියාවට හැකියාව ලැබුණි. පසුගිය පෙබරවාරි, මාර්තු මාසවල දී එරට මහ බැංකුව  පවත්වාගෙන ගිය පොලී අනුපාතය සියයට 21 කි. එහෙත් මීට දින දෙකකට පෙර එම අගය සියයට 11 දක්වා අඩුකර තිබුණි. එයින් පෙනෙන්නේ ඔවුන් ආර්ථිකය කළමනාකරණය කරන ආකාරයයි.

මේ ආර්ථිකයෙන් ලංකාවට ද මේ අවස්ථාවේ ප්‍රයෝජන ගත හැකිය. ලංකාව මේ මොහොතේ දැඩිව පීඩා විඳින ඉන්ධන ප්‍රශ්නයෙන් මිදීමට රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නේ නම් එතැන දී ක්‍රම දෙකක් අනුගමනය කළ හැකිය. දැනට ඉන්දියාව අනුගමනය කරන්නා සේ රූබල් - රුපියල් ගනුදෙනුවකට යාම එයින් එක් ක්‍රමයකි. රූබලය නම්කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීම එහිදී අපට සිදුවනු ඇත. එම ක්‍රමයේ දී රුසියාවෙන් අපට ලැබෙන ආදායම් රූබල් වලින් ලැබෙන අතර ලංකාවෙන් කෙරෙන ගෙවීම් රුපියල්වලින් සිදු කෙරේ. ඉන්ධන, ගෑස්, පොහොර ඒ ආකාරයට රුසියාවෙන් මිලට ගන්නට අපට පුළුවන. රුසියාවේ ඉන්ධන අපනයනය කරන සමාගම් රාශියකි. මේවා බොහොමයක්ම රුසියානු සමුහාණ්ඩුවට අයිති සමාගම්ය. ඉන්ධන ලබාගැනීමේ ණය ගිවිසුමකට යාමට රුසියාව සමග කතා කරන්නේ නම් රූබල්වලින් එම ණය ගිවිසුමට එළැඹීමට පුළුවන. මෙලෙස රූබල්වලින් ලබා ගන්නා ණය මුදල් ඉහත සමාගම්වලට ගෙවා අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර තිරිඟුපිටි යනාදිය මිලදී ගන්නට පුළුවන. ඒ සහනදායී මිලකටය. ඒ දෙවැනි  ක්‍රමවේදයයි. මෙවැනි පියවරකට යාමට නම් ඒ සම්බන්ධ දැනුමැති කණ්ඩායමක් රුසියාවට යවා එරට බලධාරින් සමග සාකච්ඡා කළ යුතුය. අද ප්‍රශ්නයක් බවට පත්ව ඇති බොහෝ ද්‍රව්‍ය ඉහත දැක් වූ ගිවිසුම්ගත වීම හරහා ලබාගත හැකිය. එවිට ඩොලර් හිඟකමෙන් පීඩා විඳින්නට සිදුවන්නේ නැත.

මෙවන් ක්‍රමයකින් සිදුවන්නේ කුමක්ද? සතියකට ඉන්ධන නැව් දෙක තුනක් ලෙස පැමිණෙන විට දැනට පවතින අධික ඉල්ලුම අඩුවනු ඇත. එවිට පෝලිම් අහෝසි වනු ඇත. ඒ වගේම රට තුළ තෙල් සංචිතයක් ගොඩ නැගීමට පුළුවන. එම ඉන්ධන අලෙවියෙන් ලැබෙන මුදල් යොදවා අවශ්‍ය පමණට තවත් ඉන්ධන ආනයනය කරන්නට පුළුවන. පොහොර, ගෑස්, තිරිඟුපිටි යනාදිය ද මේ රූබල් - රුපියල් ණය ගිවිසුම් මාර්ගයෙන් සහනදායී මිල ගණන් යටතේ ලංකාවට ලබාගැනීමේ අවකාශය තිබේ. ඒ වගේම දේශීය වෙළෙඳ පොළේ දී සහනදායී මිලකට රජයේ පාලන මිලක් යටතේ මේ භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීමට පුළුවන. මෙවන් ක්‍රමයකින් ප්‍රශ්නවල පවත්නා තීව්‍රතාව අවම කරගත හැකිය.

රුසියාව සමග ගනුදෙනුවකට ගියහොත් සම්බාධක පැනවිය හැකි බවට අදහස් තිබේ. ලංකාව මේවනවිට මුහුණ දී සිටින බැරෑරුම් තත්ත්වය හමුවේ ලංකාවට ඇත්තේ සීමිත විකල්ප බව ජාත්‍යන්තරය නොදන්නවා නොවේ. ලංකාවේ ප්‍රශ්නය ඔඩුදුවමින් පවතින අවස්ථාවක සම්බාධක පැනවීමකට වඩා ජාත්‍යන්තරය සිතනු ඇත්තේ අර්බුදය විසඳීමටය. එනිසා ඉහත කී ආකාරයේ ක්‍රමයක් අපට ඉතා ඉක්මනින් අවශ්‍යය. සෑම විටම ඉන්දියාවෙන්ම පහසුකම්  සලසාගත  නොහැක. අවසන් ඉන්ධන නැව ලබන 16 වැනිදා ලැබුණු පසු නැවතත් ඉන්දියාවෙන් ඉල්ලීම් කළ නොහැක. එනිසා මේ ප්‍රශ්නය තවත් ඔඩුදුවන්නට ඉඩ නොදී විසඳාගන්නා ක්‍රමයක් සම්බන්ධව සිතිය යුතුය.

යුක්රේන-රුසියා ප්‍රශ්නයේ දී අප්‍රිකා, ආසියා, ලතින් ඇමෙරිකාවේ රටවල් රාශියක් තම ආර්ථිකය හා සම්බන්ධව එය පටලවාගෙන නැත. එහෙත් යුරෝපා සංගමය, අමෙරිකාව ආදී රටවල් මේ ප්‍රශ්නයේ දී සම්බාධක පැනවීම වැනි පියවර අනුගමනය කරමින් සිටී. ආසියාවේ ඉන්දියාව, චිනය යනා දී රටවල් දෙස බලන විට එවැනි ප්‍රශ්නවලට මැදිහත්වීමක් සිදුව නැත. එවැනි විශාල රටවලට බලපෑමක් එල්ල නොවන්නේ නම් ලංකාව වැනි කුඩා රටක් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වේ යැයි සිතිය නොහැක. රට මුහුණ දී ඇති අර්බුදය විසඳා ගැනීමේ දී යම් ප්‍රශ්නයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව නිවැරැදිව විග්‍රහකර දීමේ හැකියාව ආණ්ඩුව සතුවිය යුතුය. පැහැදිලි උත්තරයක් ආණ්ඩුවට තිබිය යුතුය. එනිසා අපේ ප්‍රශ්නය විසඳා ගැනීමට පවත්නා විකල්ප අනුගමනය කරන විට ජාත්‍යන්තර බලපෑමක් එල්ල වේවි යැයි සිතිය නොහැක.

අද මෙරට කෙරෙන නිෂ්පාදනවත් අවශ්‍ය පමණට අපනයනය කිරීමට නොහැකි වී තිබේ. අමුද්‍රව්‍ය හිඟය එයට ප්‍රධාන හේතුවය. අපනයන කර්මාන්තවලට මෙය බරපතළ ප්‍රශ්නයකි.  මධ්‍යම හා සුළුපරිමාණ කර්මාන්ත ද අර්බුදයකය. දස දහස් ගණනින් රැකියා අහිමිවෙමින් තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ පනස් දහසකගේ පමණ රැකියා මේවනවිට අහිමිවී ඇති බව මෑතක දී කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ. මෙවන් පසුබිමක ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන්නේ බැරෑරුම් ප්‍රශ්නයකටය. අද තිබෙන ආහාර ප්‍රශ්නය ඉදිරියේ දී තවත් උග්‍රවනු ඇත. රුපියලේ අගය සියයකට පනහකට වඩා බාල්දුවී තිබේ. කෙනෙක් උපයාගත් මුදලින් මීට වසරකට පෙර මිලදී ගත් බඩුවලින් සියයට පනහකට වඩා අඩුවෙන් මිල දී ගන්නට සිදුවන තත්ත්වයට රට පත්ව තිබේ. කවුරු මොනවා කිව්වත් අද උද්ධමනය සියයට 40 ආසන්නයේය. ආහාර උද්ධමනය සියයට පනහ ඉක්මවා ගොසිනි. මේ හරහා විශාල සමාජ පීඩනයක් නිර්මාණය වෙමින් තිබේ. මේ නිසා කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද බරපතළ ප්‍රශ්න නිර්මාණය වන්නට පුළුවන. කුඩා දරුවන්ට අවශ්‍ය පෝෂණය නොමැති කමින් ඔවුන් මන්ද පෝෂණයට ගොදුරුවනු ඇත. තවත් වසර පහකින් හයකින් මේ හරහා ජාතික අර්බුදයක් නිර්මාණය විය හැකිය. එනිසා මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කර එම මුදල් මහජන සුබ සෙතට වහා යෙදවිය යුතුය. මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කළ යුතුය. එය ඕනෑම ආණ්ඩුවක වගකීමකි. ගැලරි කතා නොකියා මූලික ප්‍රශ්න විසඳිය යුතුය.

මේ ප්‍රශ්න ඇති වූයේ ගෙවුණු වසර දෙකේ දී නොවේ. 2010 සිට 2020 දක්වා ලබාගත් ණය වියදම් කළ ආකාරය සම්බන්ධ පුළුල් කථිකාවක් සමාජයේ තිබේ. ඒ වියදම් කළ මුදලට සරිලන ආදායමක් අද ලැබනේනේ නැත. ආදායම් උපදවන්නේ නැති සුදු අලි ව්‍යාපෘති හතු පිපුණා සේ රට පුරා තිබේ. එහෙත් මේවාට යෙදවූ මුදල් වෙනුවෙන් ණය වාරික, පොලී ගෙවීමට සිදුව තිබේ. ආදායම් නැති තැනක වියදම් කරන්නේ කෙසේ ද? ගමේ කුඩා කඩයක වුව ද මුදලාලි අනවශ්‍ය ලෙස ණය ගෙන ගෙවාගත නොහැකි තත්ත්වයක් පවතී නම් අනිවාර්යයෙන් බංකොලොත් වනු ඇත. ඒ හා සමාන බංකොලොත් වීමකට රට ලක්ව තිබේ. රුපියලේ අගය රැක ගැනීමට සංචිත යෙදවීම ද අප කරගත් වරදකි. මුල් අවස්ථාවේදීම ඩොලරය පාවීමට ඉඩ හැරියා නම් අද මෙවන් අර්බුදයක් නිර්මාණය වන්නේ නැත. විදෙස් ශ්‍රමික මුදල් ඔවුන් දිරි ගන්වන ආකාරයට ලබා ගත්තා නම් වැඩි ඩොලර් ප්‍රමාණයක් ලබා ගත හැකිව තිබුණි. පසුගිය මාසයේ යම් වැඩි වීමක් විදෙස් ප්‍රේෂණවල දක්නට ලැබී තිබේ. අවශ්‍ය වන්නේ එය තවත් දිරි ගැන්වීමය. එසේ වුවොත් යම් සහනයක් ලබාගන්නට පුළුවන.

මූල්‍ය අරමුදලට ගියේ ද බොහෝ සෙයින් ප්‍රමාදවය. අපට ඇති තරම් මුදල් ඇති බවට ඇතැම් අය උදම් ඇනූහ. හැකි තරම් ඉක්මනින් ලංකාවට පැමිණෙන්නැයි මූල්‍ය අරමුදලට ආරාධනා කරන්නේ බෙල්ල ගාවට හිර වූ පසුවය. ලංකාව ජාත්‍යන්තර වශයෙන් හාස්‍යයකට ලක්වූ අවස්ථාවක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. නිවසකට අවශ්‍ය බඩු ලැයිස්තුව ගෘහ මූලිකයා දන්නා කරුණකි. එහෙත් ආණ්ඩුව ඒ සම්බන්ධව තැකුවේ නැත. විවිධ අපේක්ෂා මත කටයුතු කළේය. ඒවා ඉටු නොවන තැන රට බංකොලොත් වූවේය. වැටී ඇති ණය ශ්‍රේණිය ඉහළ නංවා ගැනීම ආදියට සෑහෙන කාලයක් ගතවනු ඇත. ඒ ගතවන කාලය අපට ඉතාම දුෂ්කර වනු ඇත. දැනට ගනු ලබන යම් යම් ක්‍රියා මාර්ග ඔස්සේ යම් ආකාරයකට පාලනයක් ඉදිරි කාලයේ කරගත හැකි බවට විශ්වාසයක් ඇතිවන තැනට කටයුතු කළ යුතුය. ප්‍රධාන ප්‍රශ්න විසඳගන්නා විට යම් විශ්වාසයක් ජනතාව අතර ජනිත කළ හැකිය. සියදිවි නසා ගැනීම්, කොල්ලකෑම්, ආදී සමාජ විරෝධී ක්‍රියා හරහා විපරිත සමාජයක් නිර්මාණයවන තැනට තල්ලුවී ඇත්තේ සමාජ කඩා වැටීම් හේතුවෙනි. ආර්ථික අර්බුදයේ අතුරු ප්‍රතිඵලය වන මේවාට වහා විසඳුම් දිය යුතුය.

   මූල්‍ය අරමුදලට ගිය ද අවශ්‍ය ඉදිරි සැලසුම් තවමත් නිසිලෙස පිළියෙල කර නැත. මේවා නිසි ලෙස ඉදිරිපත් කිරීම හරහා ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වනවිට යම් ආකාරයකට ධනාත්මක තත්ත්වයක් උදාකරගත හැකිය. එහෙත් ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ යුතුව තිබේ. දේශපාලනික වශයෙන් ඇතිකර ගන්නා ස්ථාවරත්වය එහි දී අත්‍යවශ්‍යය. විදේශ ආයෝජකයන් එය විශේෂයෙන් සැලකිල්ලට ගන්නා කරුණකි. ‘මුදල කැමැති නිශ්චල තැනට’ යැයි කතාවක් තිබේ. කලාපයේ අනෙක් රටවල් ආයෝජකයන්ට විශාල වශයෙන් පහසුකම් සපයමින් සිටී. බංග්ලාදේශය වේගයෙන් ඉදිරියට යන්නේ ඒ නිසාය. කලාපයේ අතරමං නොවී ඉදිරියට යාමට නම් මේ ප්‍රශ්න විසඳාගත යුතුය. එයට දැනුමැති පිරිස්වල දායකත්වය වුවමනාය.

අන්තර්ජාතිකව කිසිදු කඳවුරකට නොබැඳී කටයුතු කිරීමට වග බලා ගත යුතුය. මේ මොහොතේ සියලු දෙනාගේ ආධාර උපකාර අවශ්‍යවීම එයට හේතුවය.  හැමෝම කියනදේ කළ යුතු යැයි එයින් අදහස් වන්නේ නැත. අප යම් මඟක යන්නේ නම් ඒ ඇයිද? යන්න පහදා දීමේ හැකියාව අපේ විදෙස් ප්‍රතිපත්තිය සතුවිය යුතුය. මේ මොහොතේ අපේ හැසිරීම අනුව අනාගතය තීරණය වනු ඇත. තුලනාත්මක ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය එනිසාය.

(*** සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (1)

ඩොලරයේ හිරනොවන මාර්ගයක්

Dr fa Friday, 17 June 2022 05:31 AM

ආයුධ විකුණන අයත් දැන් ආර්ථික ඔස්තාර්ලා වෙලා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1990 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11317 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 519 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 895 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 956 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 483 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site