මම දැන් පටාචාරාවක් වගෙයි. සැමියත්, පුතත් දෙන්නම අධිකරණයෙන් මරණ දඬුවමට ලක් කරල තියෙනවා. මේ රටේ සමස්ත මවුවරුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ තමන්ගේ සැමියටත්, දරුවන්ටත් පාප මිත්රයන් ඇසුරු කිරීමට ඉඩ නොදෙන ලෙසටයි. තමන්ට විනාශය ළඟාකර දෙන්නේ පාප මිත‍්‍රයෝ.
මරණ දඬුවමට නියමවී සිටින වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ෂ්‍යාමලී පෙරේරා මහත්මිය ”ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව ප‍්‍රකාශ කළාය. මේ එම සාකච්ඡාවයි.
ප‍්‍රශ්නය : සැමියාට හා පුත‍්‍රයට මරණ දඬුවම නියම වෙද්දි ඔබ උසාවියෙ හිටියෙ නැහැ නේද?
පිළිතුර : ඔව් මම එදා උසාවියට ගියේ නැහැ. මගේ හිතේ ඉතාම ලොකු බලාපොරොත්තුවක් තිබුණ. මම දැනගෙන හිටියේ ඔවුන් නිදහස් වෙන බවයි. නඩු තීන්දුව දෙන වෙලාවෙ මම හිටියෙ පන්සලක. බෝධි පූජාවක් කළා. මම බෝධි පූජාව කරල දෙවියන්ට කන්නලව් කළා. විනිසුරු මණ්ඩලයට මේ නඩුව ගොනු කළ අයට, සාක්ෂි දුන් අයට මේ හැමෝටම මම සෙත් ප‍්‍රාර්ථනා කළා. යහපත්, සහනදායී විසඳුමක් ලබාදෙන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලා හිටිය. මගේ සැමියා පුතා හා අනෙක් 4 දෙනාට සැනසිලිදායක විසඳුමක් ලබාදෙන්න කිය කියා මම බෝධිය ළඟ වැඳ වැටුණා. වෙන මොනවද මම කරන්නෙ? මගේ ලොකුම විශ්වාසය වී තිබුණේ ඔවුන් නිදහස් වෙන බවයි. කරන්න පුළුවන් හැම දේම කරල තිබුණේ. ඒ වෙලාවෙ දෙවියන්ගෙ පිහිට ඇර වෙනත් දෙයක් මම දැක්කෙ නැහැ.
ප‍්‍රශ්නය : අධිකරණ තීන්දුව දැන ගත්තෙ කොහොමද?
පිළිතුර : මගේ ෆෝන් එකට නිවුස් ඇලට් එකක් ආවා.
ප‍්‍රශ්නය : ඔබට මොනවද හිතුනෙ.
පිළිතුර : මම විශ්වාස කළේ නැහැ. මේ තරම් දේවල් කරලත්, මේ තරම් කැප කිරීම් කරලත් මේ වගේ තීන්දුවක් නම් කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ මහත්තය ගැන මම තරම් දන්න කෙනෙක් නැහැ. කොහොමටවත් මේ වගේ තීන්දුවක් බලාපොරොත්තු වුණේ නැහැ. නිවුස් එකෙන් පස්සෙ මම පන්සලේම ඉඳගෙන නීතිඥ මහත්වරුන්ට මගේ මිතුරියන් කීප දෙනකුටම කතා කළා. ඔවුන් එක එල්ලෙම මට උත්තර දුන්නෙ නැහැ. පස්සෙ මම බලකර කර නැවත නැවත ඇහුවා. යම් නපුරු දෙයක් සිදුවී ඇති බව මට තහවුරු වුණා. මගේ මුළු ඇඟම පණ නැතිවෙලා ඔළුව කැරකෙන්න ගත්තා. මම හිතන්නෙ බෝමළුවෙ තාප්පයට හේත්තුවෙලා. මම සිහි නැතිව ටික වෙලාවක් හිටියා. දැන් මම මොකක්ද කරන්නෙ කියල තේරුම් ගන්න බැරි වුණා. කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. මට එකවරම මගේ සැමියත් පුතත් බලන්න ඕනෑ වුණා. මම පිස්සියක් වගේ බන්ධනාගාරෙ ගෙට්ටුව ළඟට ආවා.

ප‍්‍රශ්නය : සැමියයි, පුතයි දැක ගන්න ලැබුනද?
පිළිතුර : නැහැ. දැන් කාටවත් බලන්න බැහැ. මෙතැන ඉන්න එපා කියල බන්ධනාගාර නිලධාරියෙක් කිව්වා. තී‍්‍රවිලර් එකක නැගලා ගෙදර ආවා. මට නැතිවෙන්න දේකුත් නැහැ. ලජ්ජා වෙන්න දේකුත් නැහැ. තවත් මොනවා ඉතිරි වෙන්නද? මම අඬ අඬාම ගෙදර ආවා. මගේ පපුව පැලෙන තරමට වේදනාවක් මුළු ලෝකයම මට නැතිවුණා කියල දැනෙනවා. කාත් කවුරුවත් නැතිව අසරණ වුණා වගේ දැනෙනවා. එක වෙලාවකට හිතෙනවා හීනයක්ද කියල.
ප‍්‍රශ්නය : නඩු තීන්දුවෙන් පසු ඔබ සැමියත් පුතත් හමුවුණාද?
පිළිතුර : ඔව් පසුවදා ගියා
ප‍්‍රශ්නය : සැමියත් පුතත් මොනවද කිව්වෙ
පිළිතුර : පුතා කොටු සරමක් ඇඳල, ගැට ගහපු කමිසයක් අන්දල යකඩ දොරක් තියෙන පුංචිම පුංචි කාමරයක හිටියෙ. මම අම්ම කෙනෙක්. මගේ වැඩිමල් පුතා දිහා කොහොම බලන්නද? මට ඇඬුනා. අඬන්නෙ නැහැ කියල හිතාගෙන ගියාට ඉන්න බැරිව ගියා.
ප‍්‍රශ්නය : පුතා මොනවද කිව්වෙ
පිළිතුර : ”අපිව බේරගන්න බැරිවුණාද අම්මෙ, අපිට මොනවද මේ වුණේ” කියල පුතා ඇඬුව මම මොනවද නොකළේ. මට මොනවද තවත් කරන්න තිබුණේ. සියලූ දේවල් අහිමි කරගෙන සැමියත් පුතත් බේරගන්න උත්සාහ කළා. මගේ පුතාට විශාල කම්පනයක්. සිරමැදිරියෙ ඉන්න කාලෙ එයා මස් මාංශ කෑවෙ නැහැ. පුතා කිව්වා අම්මේ මේ කාමරයට පොඞ්ඩක් එහායින් එල්ලූම් ගහ තියෙන්නෙ” කියල. ජීවිතයෙ බලාපොරොත්තු රාශියක් තියාගත්ත දරුවෙක්. තරුණ වයස නේ.
ප‍්‍රශ්නය : ඔබට සැමියා මොකද කිව්වෙ?
පිළිතුර : මම අඬන කොට වරින් වර එයාටත් ඇඬුනා. එයා ලේසියෙන් අඬන කෙනෙක් නෙවෙයි. එයත් මනුෂ්‍යයෙක් නේ. මේ තරම් දේවල් කරලත් සිදුවූ දේට එයාට දුක ඇති. දරුවො ගැනවත් පවුලක් ගැනවත් හිතන්නෙ නැතුව එයා රාජකාරිය කළ කෙනෙක්. මිනිස්සු වෙනුවෙන් රාජකාරිය වෙනුවෙන් සේවය කරල අන්තිමට කිසිම වටිනාකමක් නැතිව ගියා. මගේ මහත්තය බොහොම පිළිවෙළට වැඩ කළ කෙනෙක්. එයා දුක්වුණේ අනිත් අහිංසකයො පස් දෙනා ගැන. එයා හිත තද කරගෙන ඉන්න ඇති. මම අඬනකොට එයාටත් ඇඬුම් ආවා. එයා වැඩිය කතා කළේ නැහැ. ”අර අහිංසකයන්ට මොනව කරන්නද? මට මම ගැන දුකක් නැහැ. කියල කිව්වා. එයාගෙ දුක හිතේ හිරකරගෙන හිටියෙ. කියා ගන්න බැරි ගොඩක් දේවල් එයාගෙ මුහුණෙ තිබුණා. වැඩිය කතා කර ගන්න බැරිවුණා. කියා ගන්න තිබුණ හුඟක් දේවල් කිව්වෙ නැහැ. සමහරවිට එයා හිතන්න ඇති මගේ දුක වැඩි වේවි කියල.
ප‍්‍රශ්නය : මීළඟ පියවර
පිළිතුර : අභියාචනාවක් ඉදිරිපත් කරල තියෙනවා. මිනිස්සු විවිධ කතා කියනවා. ප‍්‍රශ්නය ගැන කතා කරනවා අභියාචනාධිකරණයේදී අපිට සැනසිල්ලක් ලැබේවි කියල මහා විශාල බලාපොරොත්තුවක් හිත පුරාම පැතිරිල තියෙනවා.
අපේ පවුල්වලට මළ ගෙයක් වගේයි. උයල පිහල අපිට කන්න පුළුවන්ද? අපි මැරි මැරී උපදිනවා.
ප‍්‍රශ්නය : දඬුවමට ලක්වූ අනිත් අයගෙ පවුල්වල සාමාජිකයෝ එක්ක සම්බන්ධයිද?
පිළිතුර : ඔව් ”අපි එකතු වෙලා මොනව හරි කරමු” කියලා. ඒ අය නිතරම කියනවා. අනේ මම දන්නේ නැහැ. මොනවා වේවිද කියල කිසිම කෙනකුට මේ වගේ දුකක් නම් වෙන්න එපා. ඒ පවුල්වල දුක කියන්නෙත් මට. ඒ අයත් මගේ දරුවො වගෙයි. අපේ ඇස්වලට පෙනි පෙනී සිටිය අය. නොදන්න අයනොවෙයි. එකට පොලිසියෙ වැඩ කරල මහත්තය ආරක්ෂා කළ අය. මේ මිනිස්සුන්ට වුණ අපරාධය මොකක්ද? ඇයි අපිට මෙහෙම වුණේ. අධිකරණ තීන්දුව ගැන අපට කතා කරන්න පුළුවන්කමක් නැහැනේ.
ප‍්‍රශ්නය : දේශපාලනයට සම්බන්ධ අයට කතා කරල නැද්ද?
පිළිතුර : නැහැ. අපි කාට කියල කියන්නද? පවුල් පහක් අනාථයි. මගේ මහත්තය කොන්ත‍්‍රාත් මිනීමැරුම් කරන කෙනෙක් නොවෙයි. අනික එයා කීයටවත් ඇස් දෙක වගේ ඉන්න පුතෙක් මේවට සම්බන්ධකර ගන්නවද? විශේෂයෙන් වාසුට දරුවො දෙන්න පණ වගෙයි. හැම වෙලාවෙම දරුවන්ට කියන්නෙ හරි දේ කරන්න කියලයි.
ප‍්‍රශ්නය : දැන් ඔබේ ප‍්‍රාර්ථනාව මොකක්ද?
පිළිතුර : සුනාමිය ආව. පිරිසක් මිය ගියා. මේක එහෙම දෙයක්ද? මේ පැය 24 ගත කරන්නෙ කොහොමද? හෙට දවස ගත කරන්නෙ කොහොමද? අපිට කෑමක් නැහැ. නින්දක් නැහැ. අනේ මට මගේ පුතා ඕනෑ මගේ මහත්තය ඕනෑ.
ප‍්‍රශ්නය : ඔබට දැනෙන දේ මොනවද?
පිළිතුර : මට මේ රටේ කාන්තාවන්ට කිව යුතු දෙයක් තියෙනවා. තමන්ගෙ සැමියට පුතාට පාප මිත‍්‍රයො ඇසුරු කරන්න දෙන්න එපා. හොඳ යාළුවො, නරක යාළුවො කවුද කියල අඳුරගෙන ආශ‍්‍රය කරන්න ඉඩ දෙන්න. මගේ අතින් ගිලිහුණ එකම දේ ඒකයි. මහත්තය එක් පුද්ගලයෙක් ආශ‍්‍රය කරනවට මම විරුද්ධ වුණා. එයා කොළඹට එනවට මගේ පුතයි මමයි දෙන්නම විරුද්ධ වුණා. මම කිව්වෙම කොළඹට එන්න එපා කියල. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න වෛරක්කාරයො සුළු පිරිසක් ගැන මට සැකයක් තිබුණ. අන්තිමේ මම පටාචාරාවක් වුණා. මගේ මහත්තයයි පුතයි දෙන්නගෙ ජීවිතවලට මොනව වේවිද? කොළඹට ඇවිත් වැඩ භාර ගත්ත දවසෙ ඉඳල ගෙයක් දොරක් නැති මිනිහෙක්වගේ පාප මිත‍්‍රයෙක් පස්සෙන් ආවා. මම සියලූ කාන්තාවන්ගෙන් ඉල්ලන්නෙ මිනිස්සු තේරුම් නොගෙන ආශ‍්‍රය කිරීම වැරැදියි කියලයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල ධනස්කන්දයකට(වතුපිටි සහ දේපල) හිමිකම් කියන්නේ රැකියාවෙන් ලැබුන මුදලින්ද? (නි)
නෝනා, කාට බොරුකළත් දෙවියන්ට බුදුන්ට බොරු කළ නොහැකියි (නි)
කිසිම වරදක් නොකර සාහසික විදිහට මියගිය මනුස්සයට මැරෙන මොහොතේ මොන ගින්දරක් ඇතිවෙන්න ඇද්ද? මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද? තම සැමියා දරුවා හිරගෙදර හරි ජීවත්ව ඉන්නවා. ඔහු මැරුණේ බැංකුව මංකොල්ලකන්න ගිහින් වෙඩි වැදිලාවත්, රණ්ඩුවකට ගිහින් ගුටිකාලාවත් නොවෙයි. කොන්ත්‍රාත්කරුවන් අතින්. ඔහුට ඒ ගිනි දුන් හැමට ඒ ගිනි දැනේවා! එයයි කර්මය. (නි)
අපි අධිකරණයේ තීරණයට හිස නමමු. කළ කළ දේ පළ පළ දේ (නි)
වාස් මහත්තය සමාජෙට හොදක් කළා මිස නරක අදහස් දුන්න කෙනෙක් නොවේ ඔහු නීදහස් වෙන්න කියා ප්‍රර්ථනා කරනවා (බ)
ලලිත් ඔයාගේ කතාව ඇත්ත කොච්චර ලොකු පුටුවේ හිටියත් වාස් මහත්මයට කතා කරල සධාරණය ඉෂ්ට කරගන්න පුළුවන්. හත් දෙනෙකුගේ ජීවිත මැරුණ සියාම් මහතාගේ දෙමව්පියන් ඇතුළුව දුක්විඳිනවා මිනීමරුවන් තවම එළියේ නිසා. (බ)
තමන්ටම වරදින්න ඕන ඕව මතක් වෙන්න.ඔයාල ළමයෙක්ව ගෙදර අරන් ගිහින් වධ දුන්න මතකද? ඒ අම්ම එදා කොච්චර දුක් වුනාද! ඒ ළමය තවම එංගලන්තේ. ලංකාවට එන්න තවමත් බයෙන් ඉන්නේ. (බ)
නඩු වාර්තාව බලන්නේ නැතුව තීරණයන් ලියන එක වැරදියි (නි)
යමක් කරනවා නම් එයින් තමාට පවුලට සමාජයට රටට වැඩක් වනවා නම් ඒ දෙය කරන්න ..ඔය හැමටම අවඩක් වනවා නම් ඒ දෙය කරන්න පෙර සිය දහස් වාරයක් හිතන්න ..හිතල හිතල බැරිනම් නැවතත් හිතල ...ගැඹුරටම හිතන්න..එකල්ල තීරණයක් ගන්න..එතකොට කාටවත් පස්සේ පසු තැවෙන්න වෙන්නේ නැහැ.. (ම)
මහත්තයාත්, පුතාත් පාප මිත්රයන් ඇසුරු කරමින් වැරදි කළ බව පිළිගන්නවා වගේම වරදට දඬුවමත් පිළිගන්න (නි)
එහෙනම් අපිද වැරදි කළේ? අපි දන්න දේවල් වලට වඩා තව නොදන්නා ඒවා කොච්චර ඇද්ද? (නි)
පවු කියලා හිතෙනවා (නි)
වාස් ගුණවර්ධන මහතාට වැරදුන එක තැනක් තිබුනා (නි)
රටේ නීතිය සාමය රකින්න ඉන්න පුද්ගලයන්, රටේ වැදගත් තානාන්තර වල ඉන්න පුද්ගලයන්, විශේෂයෙන්ම රටේ මහජනතාව රකින්න ඉන්න පුද්ගලයන්ගෙන්, අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? වැරදුනාට පස්සේ මිත්‍රයන්ට "පාප මිත්‍රයෝ" කියන එක කොතරම් සුදුසුද? දැන් වැරදි මිත්‍රයෝද? මේ මහත්මියගේ සිතට දැනෙන දුක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒත්....???? (නි)
දැන් දැනෙනවා නේද අහිමිවීමේ දුක? (නි)
මෙය ඔලුව උදුම්මවාගෙන දේශපාලනය කරන හා අනෙකුත් ඉහළ තනතුරු දරන ඕනෑම තරු පහේ කෙනෙකුට හොඳ පාඩමක්. මේ රටේ සියදහස් ගණන් මවුවරුන් තම නැතිවුණ දරුවන් වෙනුවෙන් හැලුව දුක් කඳුළු අද මෙතුමිය තම සැමියා දරුවා වෙනුවෙන් නඟන විලාපයට දෙවැනි නැත. වරදක් කර ඇත්නම් ස්වභාව ධර්මයා විසින් හෝ දඩුවම් කිරීම අප බුදුදහමට අනුව විශ්වාස කරන්නක්. ඒ කොහොම වුණත් මෙවැනි අවස්ථාවක අපේ සිත් සංවේදී වන බව කිවයුතුය. (නි)
ඔබතුමිය ගැන කනගාටුයි. එහෙත්..බොරුවේ ආයුෂ ඉවරයි. (බ)
මෙයාගේ බන වලට දෙකොනින් හිනා යනවා. (ස)
නැහැ තිලක්, මම දන්නවා. ඒ මහත්මයා හොරෙක් නෙමෙයි. අම්බලන්ගොඩ මහ ගෙදර විකුණුවා නඩුවට වියදම් කරන්න. අනික් වතුපිටි නෝනාට උරුමයෙන් ලැබුණු ඒවා (නි)
සැමියෙකුට හොඳ බිරිඳක් වෙන්න බිරිඳත් දැනගන්න ඕනෑ (නි)
තමුන්ගේ සැමියාගේ තනතුර නිසා හිස උදුම්මාවගත් ගැහැණුන් කරන කියන දේවල් වලින් තමන්ගේ සැමියා සහ දරුවා වගේම තමනුත් වැටෙන්නේ හිතාගන්න බැරි කරදර ගොඩකට. (නි)
අපි හැමෝම මොන දේ කලත් සොබාදහමේ නිර්මාපකයා අප දෙස බල සිටිනවා තමන්ගේ හිත තමයි සත්‍ය දන්නේ . (ර)
සියාම්ගේ මිනී මරුව සමහරු නිදහසේ .වාස් මහත්තය පව්.මම නම් පිළීගන්නේ නැහැ .මොන තාත්තද දරුවෝ ඕවාට සම්බන්ධ කරගන්නේ.සියාම්ගේ තාත්ත කිව්වා නේද වාස් නිර්දෝශී කියල .ඒ හඩපටය පුවත් දැන්වීම් ඉදිරිපත් කරන්න.ඕක අසාධාරණයක් .බොරු සාක්ෂි .ඔහු අති දක්ෂ නිලධාරියෙක් කියල මාත් අහල තියෙනවා.මමත් ප්‍රාර්ථනා කරනවා වාස් ගුණවර්ධන මහත්තයා සහ සියලු දෙනා වෙනුවෙන් සත්‍ය ජයගෙන නිදහස් වේවා කියල (ම) .
ඕකට තාම යමක් කරන්න කලින් දහස් වාරයක් හිතන්න කියන්නේ (ම)
කර්මයේ විපාකය ගොනා පසුපස එන රියසක වගේ එනවා කියලා බුදු හාමුදුරුවෝ දේශනාකළේ ඕකට තමයි. (නි)
තමන්ගේ බිරිඳ අනතුරු අඟවන දේවල් ගැන හුඟක් ස්වාමියෝ තැකීමක් කරන්නේ නැහැ. මෙතුමිය අවසානයට දෙන අවවාදය වටිනවා. (නි)
පාප මිතුරන් ඇසුර කිරීම නොකලයුතුයි. (ර)
හදවතට එකඟව ඉතාමත් දුකයි. (ර)
ස්ලිට් කොල්ලව මතක් වෙන්නේ නැද්ද? (බ)
කවුද පාප මිත්‍රයා? (ර)
අපි දන්නවා වාස් මහත්තයා රටේ සිදුවුණ ගොඩක් අපරාධ මර්දනය කළා කියලා. ඒකට අපි එතුමාට ණයගැතියි. කොහොම වුණත් ඇපෑලෙන් එතුමා නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. (නි)
වාස් මහත්තයා ඇපෑලෙන් නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. (නි)
කළකම් දවසක පලදෙනවා නෝනා මහත්තයා. ඒක අපි වගේ මධ්‍යම පාන්තිකයන්ටත් වැඩිය මහා ඉහළ රජගොල්ලටත් පළදෙන්න යන බවක් තමයි පෙනෙන්නේ. මනුෂ්‍යත්වය ලෝකයම දිනන කාලයක් ඇවිල්ලා තිබෙන්නේ. බොරුවේ ආයුෂ ඉවරයි. (නි)
වැරදි කළොත් වරදිනවා. ආගම් 20ක් 30ක් අදහලවත් වැඩක් නෑ. (බ)
එතකොට මැරිච්ච මනුස්සයා මැරුනේ ඉබේම වෙන්ට ඇති. කෝ ඒකට සාධාරණය? කවුරු වැරදි කළත් දඬුවම් ලැබිය යුතුමයි. ඒත් හරි වැරදිකාරයට (නි)
වැරදි කළොත් ඕනෑම කෙනෙකුට වරදිනවා (නි)
බලය සහ නිල ඇඳුමේ උද්දාමයෙන් ඉන්නකොට පටචාරාවන් ගැන මතකයක් නැහැ. (නි)
වාස් ගුණවර්ධන: ඇත්තටම පොලිස් දෙපාර්තුමෙන්තුවේ හිටපු හොද අවංක මනුසයෙක්.. ගොඩක් මිනිස්සු නොදන්න ගොඩාක් හොද දේවල් කරපු මනුස්සකම් දන්න මනුසයෙක්... (ම)
ඔහු ඉතා දක්ෂයෙක් බව ඇත්ත. එහෙත් එයින් අයුතු ප්‍රයෝජන ගත් වාර අනන්තයි නේද? අර ස්ලිට් එකේ සිද්ධිය අපේ රටේ හැමෝම දන්නවා. (නි)
ඉහත වාස් මහත්මියගේ කතාවේ යම් ඉඟියක් දී තිබෙනවා. ඔහු පොලිස් නිලධාරියෙක් හැටියට අවංකව සේවය කීරීම ඔහුගේ යුතුකම සහ වගකීමයි. නමුත් ඔහු බරපතල වරදක් කර ඇත්නම් දඬුවම සාධාරණයි. (නි)
මට නම් දුකයි (නි)
වාස් වුණත් සෞදියේ කාන්තාව වුණත් වරදක් කර ඇත්නම් දඬුවම් විඳිය යුතුයි (අ)
අවංකව වරදක් කරලා තියෙනවා නම් ලැබුණ දඩුවම පිලිබදව තර්කයක් නැහැ.බිරිදකට දුක තියෙනවා.ඒ වගේම ඔහු අතින් ඝතනය වුණු මනුෂ්සයටද බිරිදක් ඉන්න ඇති. (අ)
වාස් මහතාගේ අවංක කම දන්නේ ඔහු යටතේ වැඩකළ අය සහ ඔහු ගේ පිහිට ලබාගැනීමට පොල්සියට පැමිණි අය පමණි. මැරුණ සියාම් මහතාගේ පියා උසාවියට පැමිණ කෑගසා කිවා වාස් මහතා අහිංසකයි කියල. මේ නඩුවේ තීරණය දුන්නේ බොරු සාක්කි වලින්. සාධාරණය ඉෂ්ටවේවා. (බ)
දරුවා නැති වුණේ දෙමව්පියන්ගේ වරදින්. අර ස්ලිට් එකේ ළමයාගේ ජීවිතේ බේරුනේ අනුනවයෙන්. (ම)
මෙය කියවීමෙන් පසු දුකක් මා හටද දැනුනා. නමුත් බෞද්ධාගමිකයන් වශයෙන්වත් මීට ප්‍රථමයෙන් සිතිය යුතුව තිබුනා. බලයේ සිටිනවිට කරන කියන දේ ගැන නොසිතන නිසයි මේ සියල්ල. මේවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ. රජකම් කළත් කළකම් පලදෙයි. ඒකයි සත්‍යය. (නි)
වාස් ගුණවර්ධන මහතා ඉතා දක්ෂ, අවංක නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධයි. මොහුගේ අවංකකම සමහර දුෂිත නිලධාරීන්ට දිරවන්නේ නැහැ. නඩු ගොතන්නත්, නඩු හදන්නත් සමහරු හරි දක්ෂයි. කෙසේ හෝ අභියාචනාවෙන් සත්‍ය හෙළි වී සාධාරණයක් වේවා කියා පතමි (නි)
මට මතකයි රතන්පුර පැත්තේ ළමයෙකුට කළ පහරදීමක් ගැන සිද්ධියක් (නි)
වාස් පොලිස්නිලධාරියෙක් ලෙස අපරාධ මර්ධනයට දක්ෂ බව හැමෝම කියනවා. ඒක ඇත්ත වුණත් ඒ අපරාධ මර්ධනය කළ විදිහ නීතියට එකග ද යන්නයි ගැටලුව. රාජකාරි කිරීමේ දී තමන්ගේ හැගීම්වලට නොව නීතියට අනුව කටයුතු කොට තිබුණා නම් මේ ආකාරයේ අභාග්‍යකට මුහුන නොදෙනු ඇති. (ම)