IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුම්රියේ පාඩු වහගන්න උත්තර නැද්ද?

මහා භාණ්ඩාගාරයේ ආධාර මත යැපෙන ආයතන රාශියකි. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ ආයතන අතරින් ඉහළම තැනක සිටියි. ඒ දෙපාර්තමේන්තුව රටට බරක් වීමට හේතු සහ ඒ තත්ත්වයෙන් මුදාගැනීමට කළ යුතු පිළියම් ගැන සාකච්ඡා කෙරෙන මෙම ලිපිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් ලියුවකි. මහාචාර්ය කුමාරගේ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

දුම්රිය සේවයේ අර්බුදය ලෝක මට්ටමින් පවතින්නකි. එය ඇරැඹෙන්නේ 20 වැනි සියවසේ අග භාගයේදීය. රථවාහන වැඩිවීම හා  මාර්ග සංවර්ධන පිරිවැය ඉහළයාම ඊට බලපෑ ප්‍රබල හේතුය. ක්‍රිස්තු වර්ෂ 1830 සිට 1930 වන විට දුම්රිය සේවය සමස්ත ලෝකයේම ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබිණි. ලංකාවේ දුම්රිය සේවය දියුණු වූයේ වැවිලි ආර්ථිකයත් සමගමය. ලංකාවට රථවාහන පැමිණියේ 1910 දීය. එහෙත් දුම්රිය ලංකාවට පැමිණියේ 1864 දීය. ලොරි හා බස් පැමිණීම දුම්රියට තිබුණු ඉල්ලුම පහත වැටෙන්නට හේතුවිය. දුම්රිය සේවය නැත්තටම නැතිවී ගිය රටවල්ද වර්තමාන ලෝකයේ තිබේ.

දුම්රිය සේවය වඩාත් ප්‍රචලිත වූයේ භූගෝලීය වශයෙන් විශාල රටවලය. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියව, කැනඩාව, චීනය හා දකුණු අප්‍රිකාව ඊට නිදසුන්ය. ඒ රටවල සේම ලංකාවේද දුම්රිය වඩාත් අත්‍යවශ්‍ය වූයේ භාණ්ඩ ප්‍රවාහනයට ය. ඊට අමතරව දුර ගමන් සඳහා ද දුම්රිය ආකර්ෂණීය මාධ්‍යයකි. භූගෝලීය වශයෙන් විශාල රටවල භාණ්ඩ ප්‍රවාහනයට සේම මගී ප්‍රවාහනයට ද දුම්රිය ආකර්ෂණීය මාධ්‍යයක් විය. ඒ ඇතැම් රටවල දුම්රිය සේවා පවත්වාගෙන යන්නේ පෞද්ගලික සමාගම් වලිනි. ඒ සමාගම්වල කොටස් අලෙවිවන්නේද ඉහළ මිලකටය. එවැනි රටවල දුම්රිය සේවය සාර්ථකය ලාබදායකය.

දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම ප්‍රශ්නයක් වී තිබෙන්නේ කුඩා රටවලය. රටවල් එකිනෙක යාවී තිබේ නම් රට කුඩා වූවාට එය ප්‍රශ්නයක් නොවේ. එවැනි තත්ත්වයක් යුරෝපයේ පවතී. ඉතාලියෙන් දුම්රියට නගින මගියකුට ඒ එකම දුම්රියෙන් නෙදර්ලන්තයට, ස්වීඩනයට සේම රුසියාවටද යා හැකිය. එහෙයින් රට කුඩා වුවත් එකිනෙකට යාවූ රටවල් රැසක් පවතී නම් ඒ රටවලද භාණ්ඩ සේම මගී ප්‍රවාහනයට ද දුම්රියට ඉහළ ඉල්ලුමක් පවතී.

ලංකාව දූපතකි. එසේම රට ද කුඩාය. එහෙයින් භාණ්ඩ ප්‍රවාහනයට දුම්රියෙන් ගත හැකි ප්‍රයෝජනය සීමිතය. ඒ නිසා ලංකාවට දුම්රිය නොගැළපෙන බවක් මම නොකියමි. දුම්රියෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි කර්මාන්ත රැසක් ලංකාවේද පවතී. ලංකාවේ තිබෙන ප්‍රශ්නය වන්නේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රියෙන් උපරිම ප්‍රයෝජනයක් නොගැනීමය. හොඳම උදාහරණය කන්ටේනර් හෙවත් බහාලුම් ප්‍රවාහනයයි. ලොව බොහෝ රටවල කන්ටේනර් ප්‍රවාහනය කරන්නේ දුම්රියෙනි. ප්‍රධාන කර්මාන්තවල හා කර්මාන්ත ශාලාවල සිට වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන්නේ දුම්රියෙනි. ඒ සඳහා විශේෂ ගාස්තු හා බදු අය කරයි. වරායේ සිට කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේද දුම්රියෙනි. ඒ සඳහා කර්මාන්ත ශාලාවල සිට වරායටම දුම්රිය මාර්ග ඉදිකර තිබේ. ලොව වෙනත් රටවල් කරන්නේ එහෙමය.

සුද්දන්ගේ කාලේ ලංකාවේද එසේ සිදුවිය. ඔවුහු උඩරට වතුකරයේ සිට කෝපි හා තේ කෙළින්ම කොළඹ වරායට රැගෙන ආහ. ඔවුන් ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකළේද ඒ සඳහාය. එලෙස අදටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදාගත යුතුමය. මගී ප්‍රවාහනයෙන් පමණක් ලංකාවේ දුම්රියෙන් ලාබ ලැබිය නොහැකිය. ලංකාව දුම්රිය මගී ප්‍රවාහනයට යොමුවූයේ 1950 දශකයේය. ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදාගැනීම අවමවීම හේතුවෙනි. උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවී වැනි මගී ප්‍රවාහන දුම්රිය 1956දී ආරම්භ වූයේ භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීම අවමවීම හේතුවෙනි. ඊට පෙර මගීන් ප්‍රවාහනය කළේද භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියවලමය. අද ලංකාවේ දුම්රියෙන් ප්‍රවාහනය කරන්නේ රටපුරා ප්‍රවාහනය කරන භාණ්ඩවලින් සියයට එකක් දෙකක් තරම් ඉතාම සුළු ප්‍රමාණයකි. එහෙත් එය සියයට දහය දක්වා ඉහළ නංවා ගත හැකි බව මගේ වැටහීමයි. දැන් ලංකාවේ දුම්රියෙන් කන්ටේනර් ප්‍රවාහනය කරන්නේම නැත.

වරායේ සිට රට පුරා කන්ටේනර් ප්‍රවාහනය කරන්නේ බර වාහනවලිනි. රට පුරා පිහිටි කර්මාන්ත ශාලාවල සිට වරායට බඩු ප්‍රවාහනය කරන්නේද වාහන වලිනි. රටේ ප්‍රධාන වරාය තිබෙන්නේ රටේ අග නගරය ඇතුළේය. එහෙත් දුම්රියෙන් වරායට කන්ටේනර් ප්‍රවාහනය නොකිරීම නිසා කොළඹ නගරය නමැති සීමිත ඉඩකඩක ලොකු යුද්ධයක් කිරීමට සිදුවී තිබේ. දුම්රියෙන් වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන්නේ නම් දවසේ පැය 24 පුරාම සතියේ දින හතම එය කළ හැකිය. එහෙත් ආණ්ඩු හා ඇමැතිවරුන් කොතරම් මාරුවුණත් ප්‍රතිපත්තියක් ලෙස එය ක්‍රියාත්මක වන්නේම නැත. දුම්රියෙන් කන්ටේනර් ප්‍රවාහනයට යොමු වන්නේම නැත. ඒ සඳහා කිසිදු දිරිගැන්වීමක්ද නැත. එහෙත් ලොව බොහෝ නොදියුණු රටවල පවා වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන්නේ දුම්රියෙනි. එය ඒ රටවල රාජ්‍ය ප්‍රතිපත්තියකි. ඒ සඳහා විවිධ වාණිජ රාමු ද හදා තිබේ. බොහෝ රටවල ඒවා කෙරෙන්නේ රජයේ පාලනය යටතේ පෞද්ගලික අංශයේ කළමනාකරණයෙනි. ඒ රටවල් එසේ කරන්නේ දුම්රියේ ආදායම් වැඩිකර ගැනීමට හා වාහන තදබදය අවම කරගැනීමටය.

සිංගප්පූරුව හා හොංකොං මේ සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම උදාහරණ දෙකකි. ඒ රටවල කන්ටේනර් ප්‍රවාහනයෙන් සියයට 90 ක්ම කෙරෙන්නේ දුම්රියෙනි. ඒ රටවල දුම්රියෙන් කන්ටේනර් ප්‍රවාහනය සියයට අනූවක් තරම් ඉහළ අගයක තිබෙනවිට ලංකාවේ එය තිබෙන්නේ බින්දුවේය. හම්බන්තොට වරායක් හැදුවාට ඒ වරායට යන්නට දුම්රිය මාර්ගයක් නැත. ත්‍රිකුණාමල වරායේ තාප්පයට යනතෙක් දුම්රිය මාර්ගය පවතී. තාප්පයෙන් එහාට දුම්රිය මාර්ගයක් නැත. කොළඹ වරායට තිබුණු දුම්රිය මාර්ගය වසාදමා තිබේ. කටුනායක ගුවන් තොටුපොළට කිලෝ මීටර් තුනක් මෙපිටින් දුම්රිය මාර්ගය නවතා තිබේ. ඒ ලංකාවේ කටයුතු සිදුවන හැටිය. සෑම ආණ්ඩුවක් යටතේම මේ තත්ත්වයන් එලෙසම පැවැතීම ද පුදුමය. රටට කිසි ලෙසකින්වත් හිතකර නොවන පාඩු හා අවාසිම වන මේ ක්‍රම හා පිළිවෙත් සෑම ආණ්ඩුවක්ම අඛණ්ඩවම පවත්වාගෙන යයි. දැන් දුම්රියෙන් කන්ටේනර් ප්‍රවාහනය කරගැනීමට නම් අදාළ පුද්ගලයන්ට වැඳුම් පිදුම් කිරීමට ද සිදුවී තිබේ. හොංකොං, සිංගප්පූරුව හා ලංකාව අතර වෙනස ඒකය. අපේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් අති විශාලය. එහෙත් ඒ වත්කම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේම නැත. ඒ දෙපාර්තමේන්තුව තවමත් තිබෙන්නේ 18 වැනි සියවසේය. එහෙත් රට තිබෙන්නේ හා ජනතාව සිටින්නේ 21 වැනි සියවසේය. දුම්රිය දෙපාර්තමේන්තුව වෙළෙඳ පොළට අවතීර්ණ වී නැත. ඒ සඳහා වුවමනාවක් තිබෙන බවක් ද නොපෙනෙයි. දුම්රිය සේවයේ පැවැත්ම සඳහා ප්‍රතිසංස්කරණවලට යා යුතුමය. අයිතිය රජයට තබාගෙන වෙළෙඳපොළට ගැළපෙන සේ කළමනාකරණය වෙනස් කළ යුතුය. එසේම කාර්යමණ්ඩලයේ ආකල්පද වෙනස් විය යුතුය. වෙනස් කළ යුතුය. තරගකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී ඒ ගැන ප්‍රසිද්ධ කළ යුතුය. එවැනි දේවල් කිරීමට මුදල් අවශ්‍යම නොවේ. අවශ්‍ය වන්නේ ආකල්ප හා ක්‍රමවේද වෙනස් කර ගැනීමය. කිලෝ මීටර් තුන්සියයකට එහා දුරකට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ලාබදායකම ක්‍රමය වන්නේ දුම්රියයි. දුම්රියේ ප්‍රධානීහු ඒ බව රටට හෙළිකළ යුත්තෝය. වාහනවලින් කන්ටේනර් ප්‍රවාහනය කරන ව්‍යාපාරිකයන්ට, සමාගම්වලට ඒ බැව් කියා දිය යුත්තෝය. එහෙත් ඒ සඳහා කිසිදු සූදානමක් දුම්රිය දෙපාර්තමේන්තුවෙහි නැත. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලාබ ලැබිය හැක්කේ භාණ්ඩ ප්‍රවාහනයෙන් මිස මගී ප්‍රවාහනයෙන් නොවේ. අසල්වැසි ඉන්දියාව මගී ප්‍රවාහනයෙන් වන පාඩුව පියවා ගන්නේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ලැබෙන ආදායමෙනි. එය එරට රාජ්‍ය ප්‍රතිපත්තියකි.

ලංකාවේ දුම්රිය සේවයෙන් අලාබවීමට බලපා තිබෙන උපන් ගෙයි දෝෂයක්ද තිබේ. ඒ භාණ්ඩ හා මගී ප්‍රවාහන වියදම් දරමින් මාර්ග නඩත්තු කිරීමටද සිදුවී තිබීමය. අවසානයේ මෙහෙයුම් අලාබය ගණනය කරන්නේ ඒ සියලු වියදම් පදනම් කරගෙනය. යුරෝපයේ රටක් වන ජෝර්ජියාවේ දුම්රිය සේවයෙහි සමාගම් තුනක් පවතී. ඒ භාණ්ඩ ප්‍රවාහනයට, මගී ප්‍රවාහනයට සහ යටිතල පහසුකම් ඉදිකිරීමට හා නඩත්තුවට වශයෙනි. ඒ සමාගම් තුනම අයිති රජයටය. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් දෙක යටිතල පහසුකම් සඳහා මුදල් වැය කරන්නේ නැත. තමන් දුවන ප්‍රමාණයට අනුව යටිතල පහසුකම් සමාගමට මුදල් ගෙවයි. එරට මගී ප්‍රවාහන දුම්රිය සමාගම දුවන්නේ පාඩු  පිටය. එහෙත් භාණ්ඩ ප්‍රවාහන සමාගම ලාබ ලබයි. යටිතල පහසුකම් සමාගම ලාබ නොලැබුවත් පාඩු නොලබයි. අවසානයේ සමස්තය ලාබත් නැත. පාඩුත් නැත. ඉගෙන ගන්නවා නම් ඒවා හොඳ පාඩම්ය. ඒ නිසා වාණිජමය වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද කියා දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් කල්පනා කළ යුතුය. ඉන්දියාවේ දුම්රිය සේවයේ පවතින්නේද සමාගම් රැසකි. ඒ සමාගම් සියල්ල අයිති රජයටය. ඒ සමාගම් නිදහ​ෙස් තීන්දු ගෙන ක්‍රියාත්මක වෙයි. ලංකාවේද එවැනි වෙනසක් විය යුතුය. කැබිනට් අනුමැතිය මත සියල්ල කිරීමට යාම නූතන යුගයට ගැළපෙන්නේ නැත.

දුම්රියෙන් මගී ප්‍රවාහනය ඉතා සාර්ථක වන්නේ ජනගහනය වැඩි රටවලය. හොංකොං හා ජපානය ඊට නිදසුන්ය. ජනගහනය අඩු රටවල දුම්රියෙන් මගීන් ප්‍රවාහනය කිරීමෙන් පමණක් ලාබ ලැබිය නොහැකිය. ජනගහනය අතින් ලංකාව සිටින්නේ ලෝකයෙන්ම 38 වැනි තැනය. ඒ නිසා දුම්රියෙන් මගී ප්‍රවාහනයෙන් ලංකාවටද පාඩු නොලබා දුම්රිය සේවය පවත්වාගෙන යා හැකිය. නුවර හා කොළඹ ජන ඝනත්වය ඉතා ඉහළය. ඒ නිසා ඒ ප්‍රදේශවලට දුම්රියෙන් මගී ප්‍රවාහනය සඳහා පවතින ඉඩ හා පහසුකම් වඩාත් පුළුල් කළ යුතුය.
එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ මගියා 21 වැනි සියවසේ සිටියදී දුම්රිය දෙපාර්තමේන්තුව 18 වැනි ශත වර්ෂයේ පසුවීමය. 18 වැනි සියවසේ පවතින දුම්රිය ප්‍රමිතිවලට 21 වැනි සියවසේ සිටින මගියා කැමැති නැත.

නූතන මගීන් සිතන්නේ පහසුකම් ගැනය. ගාස්තුව ගැන නොවේ. දුම්රිය ඇතුළත හා දුම්රිය ස්ථානවල සැප පහසුකම් තිබිය යුතුය. දුම්රිය ස්ථානවලට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතුය. ක්‍ෂණිකව තොරතුරු සේම ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම් සේම පැමිණිලි හා යෝජනා භාරගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක්ද තිබිය යුතුය. අනෙක් කාරණය විශ්වාසදායක සේවයක් ලබාදිය යුතුය. කලට වේලාවට ක්‍රියාත්මක වන දුම්රිය සේවයක් තිබිය යුතුය. නූතන මගියා සිතන්නේ ඒවා ගැන මිස ගාස්තුව ගැන නොවේ. ගාස්තුව කොතරම් ඉහළ ගියත් ඉහත කී පහසුකම් හා තත්ත්ව තිබේ නම් මගියා දුම්රියට නගිනු නිසැකය. ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සංස්කෘතිය වෙනස් විය යුතුය. 18 වැනි සියවසේ ප්‍රමිති හා ආකල්ප මත 21 වැනි සියවසේ මිනිසුන්ට සේවා සැපයිය නොහැකිය.

දුම්රිය සේවයේ ප්‍රතිසංස්කරණ කියමින් කෙරෙන්නේද විකාරය. කැලණි වැලි දුම්රිය මාර්ගය විදුලිකරණය කිරීම ඊට එක නිදසුනකි. ඒ සඳහා වැයකරන මුදල රුපියල් බිලියන 270කි. ඒ මුදල විදෙස් ණය මිස අපේ භාණ්ඩාරයේ මුදල් නොවේ. ඒ මාර්ගය ඉදිකෙරෙන්නේ කණු උඩය. එහෙත් දැනට පවතින වංගු ඉවත්කර නැත. සාමාන්‍යයෙන් කණු උඩ මාර්ගයක් ඉදිකරන්නේ වේගයෙන් යාමටය. එහෙත් කණු උඩ ඉදිකරන්නේ වංගු සහිත මාර්ගයක් නම් ඒ පාරේ වේගයෙන් යන්නේ කෙසේද? අපේ හිත්වල පැන නගින ඒ ප්‍රශ්නය දුම්රිය හා ප්‍රවාහන බලධාරීන්ගේ හිත්වල පැන නොනගින්නේ ඇයි.?

කැලණි වැලි මාර්ගයට යෝජිත විදුලි දුම්රිය මා දකින එක් උදාහරණයක් පමණකි. ප්‍රවාහනය හා මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් යෝජිත හා දැනට ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘති ගැන ද තුලනාත්මක තක්සේරුවක් වී නැති බව මගේ තක්සේරුවයි.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (7)

දුම්රියේ පාඩු වහගන්න උත්තර නැද්ද?

නිමල් Thursday, 24 September 2020 06:38 AM

විනය පිරිහී ඇති අතර පැය 8ක පළමු වැඩ මුරයකදී සත්‍ය වශයෙන් වැඩ කරනුයේ පැය තුනහමාරක් පමණි. රාත්‍රී අතිකාල දිනවල පැය තුනක් හතරක් තව වැඩියෙන් වැඩකරයි. ප්‍රධානම කරුණ නිවැරදි ඉලක්කයන් නොමැති බවයි. පවතින ඉලක්කයන් ඉතා අඩු පැය ගණන් ඉලක්කකර සෑදූ ඒවාය. කිසියම් හො නිවැරදි පසු විපරමක් නොමැත...

:       0       11

banda Thursday, 24 September 2020 08:10 AM

රටේ පාලකයන් සහ දුම්රිය සේවකයන් තවම සිටින්නේ ගල් යුගයේය. දුම්රිය පුද්ගලික සමාගමකට බාරදෙන තෙක් ගොඩයාමක් නැත.

:       0       10

චමින්දThursday, 24 September 2020 11:52 AM

බණ්ඩා මහතාගේ අදහසත් වැරදි නැහැ.. නමුත් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙකුගේ නිර්දේශ මත කැළණි දුම්රිය මාර්ගය වසා මාර්ගයේ මැණික් ගැරුවා. එම ක්‍රමයත් සාර්ථක බව එම මාර්ගය තිබුණු පැත්තේ අපි නම් දන්නවා. එම මාර්ගය වෙනුවෙන් කිසිම වියදමක් ඇත්තේම නැහැ..

:       1       4

විජේ Friday, 25 September 2020 02:04 AM

දුම්රිය ස්ථානවල වැඩි වැඩක් නොකර අයිස් ගහන සේවකයින් ඕනෑතරම් දැක ඇත්තෙමි. ඔවුන්ව නිසි ලෙස පුහුනු කර ටිකට්පත් පරීක්ෂාව දැනට කරනා ආකාරයට වඩා කාර්‍යක්ශමව කිරීම සුදුසු යැයි සිතමි. ඊට අමතරව දේශපාලුවන්ට, නිලධාරීන්ට පමනක් වරද පටවා ලිස්සා යන මහජනතාවද තමන්ගේ වගකීම් නිසියාකාරව තේරුම් ගෙන, ටිකට්පතක් මිලදී ගැනීම, දේපල විනාශ නොකර රැකගැනීම වැනිදෑ ද ඉතාම අවශ්‍යය.

:       0       3

aruna Friday, 25 September 2020 09:54 AM

ඉතා හොඳ ලිපියක්.

:       0       2

Ishan Friday, 25 September 2020 07:35 PM

මේ අමල් , ලලිතසිරි මහත්වරු එකතු වෙලා තමයි මාලබේ LRT දුම්රිය, කැළණි වැලි විදුලි දුම්රිය ව්‍යාපෘතිය නවත්තන්න ආණ්ඩුවට නිර්දේශ දුන්නේ. එහෙම කරලා ඒ අය ඒ ව්‍යාපෘති තමුන්ගේ අතට ගන්න හදන්නේ. LRT ව්‍යාපෘතිය නතර වූ ගමන් එකේ අධ්‍යක්‍ෂකට කතාකරලා. මේ මහත්තයා කියලා තියෙන්නේ එයාව අලුත් උපදේශක විදිහට ව්‍යාපෘතියට ගන්න කියලා. මේ ලිපියේ අන්තිමට තියෙන කරුණු වලින් බළලා මල්ලෙන් පැනලා තියෙන්නේ. මේ අය තමයි රටේ මන්දගාමී සංවර්ධනයට වග කියන්න ඕනෑ...

:       1       1

විජිත් Sunday, 27 September 2020 11:37 AM

මා හිතවත් මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ ලිපිය දෙතුන් වතාවක්ම කියවූවා. එම අදහස් හිතට ගන්න පුළුවන් පාලකයින් මේ රටේ ඉන්නවානම් රටේ ප්‍රවාහන ප්‍රශ්නය සදාකාලිකවම නිම කරන්න පුළුවන් කියලයි මටනම් හිතෙන්නේ. මට මතකයි කාලයකට ඉහතදී මියගිය ආචාර්ය කුලසිංහ මහත්මයා පලකල අදහසක්. එතුමා කිවෙත් ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය දුම්රිය වියයුතුයි කියලයි. රටවටා ඉඳිකරන දුම්රිය ජාලයක් ගැනත් එතුමා කියලා තිබුනා. අද කොළඹ මාර්ග තදබදයට ප්‍රධානම හේතුව කන්ටේනර් රථ බව ඇස් පෙනෙන කාටවුණත් පැහැදිලියි. දුම්රියෙන් පමණක් කන්ටේනර් ප්‍රවාහනය කිරීමට ක්‍රමවේදයක් සැකසුවොත් මහජනයාට එය මහත් අස්වැසිල්ලක් වේවි. සුනාමියෙන් විනාශවුන දුම්රිය මාර්ගය යලි සකසන්නට පාලකයින් ඉන්දියාවට කොන්ත්‍රාත් දුන්විට ඊට විරුද්ධවී අපේ රටේ කාර්මිකයින් යොදාගෙන ඉහලම ප්‍රමිතියට ඒ දුම්රිය මාර්ගය සැකසීම මේ අමල් කුමාරගේ මහතා ඇතුළු "වැඩ කරන" නිලධාරීන් කල අගේ කලයුතු ක්‍රියාවකි.

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 57 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1345 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 628 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4606 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12958 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site