IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


දියුණු ආර්ථිකයකට ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික පරිවර්තනයක් සඳහා නවෝත්පාදන සැලැස්මකට යා යුතුය. මෑත කාලය තුළ මුහුණ දුන් අභියෝග හේතු කොටගෙන පොදු ජනතාව අතරින් බහුතර කොටසක් සංකීර්ණ ගැටලුවලින් පීඩා විඳිමින් සිටිති. වහාම වෙනස්කම් ඇතිකරන අතර ජන ජීවිතය සතුටුදායක තැනකට පත්කරන අපේක්ෂාවකින් පසුවේ.

දැනට අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම වර්ධනය සියයට තුනක් බව දැක්වේ. සියයට හය ඉක්මවන ආර්ථික වර්ධනයකට පියවර ගැනීමෙන් හැර පවතින අර්බුදකාරී තත්ත්වයට වෙනත් විසඳුම් නැත. වරින්වර කරන බදු සංශෝධනවලින් එම වර්ධනය ලබාගත නොහැක. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමෙන් සහ මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම හේතු කොටගෙන වෙනස්කම් ඇති වූ ශ්‍රී ලංකාවේ පැවැත්ම අලුත්ම මුහුණුවරකින් හා මහා පියවරකින් ඉදිරියට යොමු කළ යුතුය.

 

වහාම අයිතිකර ගත හැකි අවස්ථා අත් නොහැරීම

කුඩා ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක්‍රමෝපායයන්ට ගැළපෙන තීරණ ගැනීමට සිදුවේ. තේ, රබර් හා පොල් වැනි කෘෂිකාර්මික අපනයන ඔස්සේ ගමන් කළ හැකි සීමිත ගමන ගැන අවබෝධයක් අපට ඇත. ඇඟලුම් කර්මාන්තයෙන් හෝ විදේශ රටවලට ලාංකේය ශ්‍රමිකයන් සැපයීමෙන් පමණක් රට දියුණු කළ නොහැකි බව තහවුරු වී තිබේ. මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ විනිමය උත්පාදනය තීරණාත්මකය. රැකියා උත්පාදනය, ජාතික ආදායම වැඩි කර ගැනීම ඉදිරියේ අලුත් උපාය මාර්ග අනුගමනය කළ යුතුවේ. පවතින පරස්පරතා තුරන් කර දියුණුව සඳහා වෑයම් කළ යුතු අතර එහි දී, විකල්ප සැලසුම් සම්බන්ධයෙන් තිබිය යුතු කැපවීම ගැන සමාජයක් වශයෙන් තීන්දුගත යුතුව තිබේ.

දැනට පවතින තත්ත්වයෙන් තවදුරටත් සිටින හා වෙනස්කම්වලට අවතීර්ණ වුවහොත් පවතින සමාජ රාමුව වෙනස් වන බවට භීතියක් ඇති කරගතහොත් දූපතක, කුඩා ආර්ථිකයක තවදුරටත් පැවැතිය හැකිය. ආර්ථිකය ස්ථාවර වන ශ්‍රී ලංකාව සැලකිය යුතු දියුණුවක් රහිතව මධ්‍යම පාන්තිකයන්ට ඉහිලිය නොහැකි සංකීර්ණතා සහිතව පවතින්නට ඉඩ තිබේ. ලෝකයේ අනෙක් රටවල් දියුණුවන සහ එම රටවලට සංක්‍රමණය වීම සඳහා අපගේ දරුවන් දක්වන ඇල්ම එසේම පවතිනු ඇත. අපගේ යුතුකම හා වගකීම එය නොවේ. දරුවන්ට සැනසිල්ලේ ජීවත්විය හැකි, යහපත් රටක් ගොඩනගන වගකීමෙන් අපට බැහැර විය නොහැක. 

 

කේන්ද්‍රස්ථානයක තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානය කේන්ද්‍රීය වැදගත්කමක් සහිතය. අතීත සිද්ධි සලකා බලන විට අධිරාජ්‍යවාදීන් මෙම පිහිටීමෙන් වාසි අත්පත් කරගත් බව පැහැදිලිය. කෘෂිකාර්මික අපනයන බෝගවලට තිබුණ අවස්ථා වෙනුවට යටිතල පහසුකම් වලින් ප්‍රයෝජනගත හැකිවේ. වරාය, ගුවන් තොටුපොළ, බලශක්ති සම්පාදනය වැනි අංශවල ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේ. දකුණු ආසියාවේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය බවට පත් කරන්නට අවස්ථාවක් තිබේ. නෙදර්ලන්තය යුරෝපයට සැපයුම් දොරටුවක් වූ අතර හොංකොං චීනයට ප්‍රවේශය වී ඇත. ඒ හා සමානව ඉන්දියාව හා එයින් ඔබ්බට ඇති රටවලට සේවා සැපැයිය හැකි වනු ඇත.

කොළඹ වරාය මෙහෙයුම් මෙහි දී වැදගත්ය. දැනටත් වරාය භාවිත කිරීමේ දී සියයට හැත්තෑවක් ඉන්දියාවට සේවා සපයයි. දකුණු ආසියාවේ වැදගත් තැනක් බවට දියුණු කළ හැක. මෙහි එක පර්යන්තයක් සඳහා ආයෝජනය කළ අදානි සමාගමට ඇමරිකාවේ ප්‍රධාන බැංකුවක මුල්‍ය සහාය ලැබී ඇති අතර ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධ සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය දුර්වල නමුත් අනාගතයේ දී ඇතිවිය හැකි පසුබිම සලකා බලා ඇත. ප්‍රවාහන භාණ්ඩ කොළඹට ගෙනැවිත් එතැන් සිට කුඩා නැව්වලින් කලාපයේ යාබද වරාය වෙත යොමු කරනු ඇත. මෙම අවස්ථාව අහිමිවීමට කලින් දියුණු කර තාක්ෂණය හා බහුවිධ ප්‍රවාහන ක්‍රම ඇතුළත් කළහොත් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ගොඩබිම මාර්ගයක් ඉදිකළහොත් වරායෙන් පැටවෙන කන්ටේනර් පැය කිහිපයකින් දුම්රිය මාර්ග ඔස්සේ ඉන්දියාව, නේපාලය හා භූතානය වෙත ප්‍රවාහනය කළ හැකි වනු ඇත. එයින් මැද පෙරදිග හා යුරෝපය දක්වා විහිදේ. මේවා මහා සැලසුම් වන අතර දුම්රිය මාර්ග තැනීම, විදුලිය දුම්රිය යෙදවීම හා අදාළ ආයෝජනවලට ජාත්‍යන්තර සහාය ලබාගත හැකිවේ. සැපයුම් අංශ පිරිවැය අඩු අංශ ගැන විමර්ෂණය කරන අතර ශ්‍රී ලංකාව අවස්ථාව විවෘත කළහොත් ආයෝජන දිනාගත හැක. මෙම පරිසරය වෙනස් කරන රාමුව තුළ දේශීය කර්මාන්ත හා කොන්ත්‍රාත්වලට ද අලුත් ව්‍යාපාරික පරිසරයක් සැකසෙනු ඇත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමීපතම ස්ථානයෙන් පාලමක් ඉදිකළහොත් එය අනාගතයේ දී යුරෝපය දක්වා විහිදෙන යටිතල පහසුකම් සංවර්ධන සැලැස්මට ද ඇතුළත් කළ හැක. ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වා ඉදිකරන අලුත් අධිවේගී මාර්ගයෙක් ඉදිවෙමින් පවතින අතර ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑවක් බැගින් රටවල්වල ආර්ථිකය ප්‍රසාරණයවනු ඇතැයි සැලකේ. මේවා ශ්‍රී ලංකාව දක්වා යා කළ හැක. ලෝකයේ මෙවැනි දොරටු නිර්මාණය වී ඇත. බ්‍රිතාන්‍යයේ සිට යුරෝපය දක්වා මුහුද පත්ලෙන් සකස් කළ උමං මාර්ගය මෙයට සමාන අවස්ථාවකි.

 

විදුලිය බලශක්තිය සංවර්ධනයට තවත් පියවරක

බලශක්ති අවශ්‍යතාව තවත් පැත්තකි. ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සූර්ය තාප, සුළං බලාගාර හා හරිත හයිඩ්‍රජන් වැනි ප්‍රභව මගින් විදුලිය උත්පාදනයට වහාම අවස්ථාව ඇත. රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය මෙන් හය ගුණයක් නිපදවිය හැකි බව දැක්වේ. විදුලිය ද සන්නිවේදන තාක්ෂණය හා සමානව ජාලගත වන ප්‍රවණතාවක පසුවේ. ඔස්ට්‍රේලියාවේ නිපදවන විදුලිය සිංගප්පූරුවට සපයන රැහැන් පද්ධතියක් දැනට ඉදිවෙමින් පවතී. ඉන්දියාව සිය අතිරේක විදුලිය නේපාලය, බංගලාදේශය හා මැලේසියාවට අලෙවි කරයි. මේ අතර සවුදි අරාබියට හා ඊශ්‍රායලය සමග විදුලිය ග්‍රිඩ් සම්බන්ධ කිරීමට ඉන්දියාව අලුත් ගිවිසුමක් අත්සන් කර තිබේ. හුදෙක් ඉන්දියාව සමග සම්බන්ධ වන ආකල්පයට වඩා පරිණත පුළුල් දර්ශනයක් රටට අවශ්‍යය. ජාත්‍යන්තරයේ පැතිරෙන ජාලගත විදුලිය ව්‍යුහයට සම්බන්ධ විය හැකි පරිදි සංවර්ධනය කළහොත් ශ්‍රී ලංකාවේ විදුලිය සිංගප්පූරුව, දකුණු ආසියාව හා මැදපෙරදිග රටවල් දක්වා සම්ප්‍රේෂණය කළ හැක. මෙම සම්බන්ධය සමග විදුලිය විකුණා විනිමය ඉපැයීම ඉක්මවා ගිය ව්‍යුහයක් නිර්මාණය වේ. මැද පෙරදිග රටවලට ගොස් දුක්විඳින ජන කොටස්වලට ඒවා අත්හැරිය හැකි වනු ඇති අතර රට තුළ ඇතිවන ශ්‍රම ඉල්ලුම සැපයීම සඳහා අධ්‍යාපන ක්‍රමවේද පවා වෙනස් කරන්නට සිදුවන බව සඳහන් කළ යුතුය.

 

ඛනිජ තෙල් සැපයුමට ද නළ මාර්ගයක්

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළඳාම එහි වාසි ගැන දන්නා සීමිත පිරිසකට වාසි සපයයි. මාසයකට අවශ්‍ය ඉන්ධන නැව් පහක් හෝ හයක් ගෙන්වනවිට එම ව්‍යාපාරයෙන් අතර මැද යැපෙන කණ්ඩායම් අද පවතින ඉන්ධන මිලට වගකිව යුතුය. ඉන්ධන පරිභෝජනය කරන ලෝකයේ විශාල රටක් බවට ඉන්දියාව පත්ව ඇත. සවුදි අරාබියේ ඇරැම්කෝ සමාගම තෙල් ගබඩා කිරීම සඳහා ලෝකයේ තුන්වැනි විශාලතම මධ්‍යස්ථානය ඉදිකරන්නට සූදානම් වේ. එයට අමතරව රාජස්ථාන් ප්‍රාන්තයේ අලුත් තෙල් පිරිපහදුවක් ඉදිකරන අතර මෙම දැවැන්ත ව්‍යාපෘතිය ග්‍රීසා පිරමීඩය මෙන් හය ගුණයකි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවට විශාල නමුත් ඉන්දියාවේ තෙල් අවශ්‍යතා ඉදිරියේ සුළු කොටසක් බව මෙයින් පෙනෙනු ඇත.

ඉන්දියාවට අවශ්‍ය තෙල් සැපයීම සඳහා සවුදි අරාබිය, ඉරානය හා රුසියාව ඉදිරිපත්ව සිටී. තොග මිල දී ගැනීමේ දී අඩු මිල ගණන්වලට සපයන ගිවිසුම් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තෙල් නළ මාර්ගයක් ඉදිකරන හා එය ත්‍රිකුණාමලය ටැංකි හරහා සම්බන්ධවුවහොත් විශාල ආර්ථික වාසියක් ලැබේ. පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා හා අාර්ථික ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමෙන් පසු මේවායේ වාසි සාමාන්‍ය ජනතාවට අත්පත් කරගත හැකිවේ.

 

මානව සම්පත හොඳ ශක්තියක් බවට හැරවීම

මානව සම්පත ශ්‍රී ලංකාවේ ඉහළම වත්කම බවට පත්කරගත හැක. ලක්ෂ විස්සක පමණ පිරිසක් වෙනත් රටවල සේවය කරමින් සිටිති. රට තුළ අවස්ථා රහිත හෙයින් වෙනත් රටක සේවය කරන්නට සිදුවී තිබේ. මහා ව්‍යාපෘති ඇරඹුවහොත් ශ්‍රමයට ඉල්ලුමක් ඇතිවේ. වරාය, බලශක්තිය හා ඉන්ධන හා සමානව ගුවන් කේන්ද්‍රස්ථානයකට ද කොළඹ පිහිටීම සුදුසුය.

කටුනායක හා මත්තල යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියානු සේවා ජාලයට ඇතුළු කළහොත් රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට හා අන්තර් ජාතික මගී හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කළ හැක. දැනටත් රටට එන සංචාරකයන් අතරින් සියයට විසිපහක් ඉන්දියානුවෝය. තාක්ෂණය දියුණුව සමග සමහර රටවල ගුවන් තොටුපොළ හා සේවා සමාගම් වීසා පරීක්ෂා කිරීමේ හා මගීන් ගේ ආගමන විගමන කටයුතු හැසිරවීම ද පිටතට භාර දී ඇත. ගුවන් යානයට ඇතුළුවන විට ලැබෙන අනුමැතියෙන් පසු මගීන්ට යානයෙන් බැස කෙළින්ම රටකට ඇතුළුවිය හැකි ආකාරයට ක්‍රම සකස් කර ඇත. ශ්‍රී ලංකාව ගුවන් අවකාශය විවෘත කර මගීන්ගේ පහසුව ඇති කරන ප්‍රතිපත්ති සකස් කළහොත් දැනට ඇති මෙහෙයුම් ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකිවේ. සිංගප්පුරුවේ ගුවන් තොටුපොළ මගී හැසිරවීම එයට හොඳ උදාහරණයකි.

 

මග හැරුණු මඟ ගැන කියැවීමක්

නිදහසට පසු කාලයේ කර්මාන්ත හා ව්‍යාපාරවලින් ඉදිරියට පැමිණ ජාත්‍යන්තරයට ඇතුළුවන අවස්ථාව තිබුණි. 1970 ගණන්වල ක්‍රියාත්මක වූ රජයට පවරා ගැනීමේ සංකල්පය අවාසියක් විය. අසූව දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල්භාවයක් පැවැතිණ. බටහිර රටවල් හා ජපානය සම්බන්ධ වී තිබුණි. දකුණු ආසියාවේ නැගී එන රටක් වශයෙන් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නට තෝරාගෙන සිටි නමුත් එහි අවකාශය හඳුනාගෙන අසල්වැසි බලවත් රටවල උපාය අනුව තීක්ෂණව ක්‍රියා කරන්නට ශ්‍රී ලංකාව අපොහොසත් විය. බටහිරට නැඹුරුවීම තමන්ට, තර්ජනයක් වනු ඇති බවට සැක කළ ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අතවර ත්‍රස්තවාදය නැගෙන්නට හේතු වූ අතර, එහි ප්‍රතිඵයක් වශයෙන් දශක තුනක වන්දියක් ගෙවන්නට රටට සිදුවිය. ජාත්‍යන්තර ප්‍රවණතා හඳුනාගෙන උපායශීලීව ගමන සැලසුම් කළේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය.

ජපානයේ සහාය අහිමි වූ හේතුව ද අවාසනාවන්ත තත්ත්වයකි. ජපානය සංවර්ධනය වන අතර ඔවුන්ගේ ආයෝජන කලාපයට ව්‍යාප්ත කරන්නට සූදානමක් තිබුණි. 1983 ජුලි කලබල ඇරඹෙන වකවානුවේ ජපාන නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර එරට ආයෝජන විහිදුවන්නට කටයුතු කරමින් සිටි නමුත් කලබල සමග එම අදහස් අත්හරින ලද බව සඳහන් කළ යුතුය. තායිලන්තය, මැලේසියාව වැනි රටවලට එම ආයෝජකයන් ඇතුළු වූ බව දැක්වේ. චීනයේ ආර්ථික වර්ධනය සමග අවස්ථාවක් ලබාගත හැකි වූ නමුත් යටිතල පහසුකම් සඳහා ණය පමණක් නොව එය ඉක්මවා පුළුල් දැක්මක් අනුව තීරණ නොගැනීම අර්බුදයකට තල්ලු කරන්නට හේතුවිය. චීනයේ ආර්ථික වර්ධනය හා ඉන්දියාවේ දැනට පවතින වේගවත් සංවර්ධනය ශ්‍රී ලංකාවට පාදාගත හැකි අවස්ථා අතර තිබේ. පවතින දුර්මත හා පටු ආකල්ප ඉක්මවන තීරණ ගැනීමට සමාජය සූදානම් විය යුතුය.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා භින්න අදහස් ඇති පිරිස් ආර්ථිකය පුළුල් කරන හා ජාත්‍යන්තරය සමග බැඳීම් ඇති කරගැනීම ගැන භීතියක පසුවේ. රට ආර්ථික වශයෙන් යටත් කරගන්නට ඉන්දියාව උත්සාහ කරන බව හුවා දක්වයි. ආත්ම ශක්තිය ඇති කරගෙන, අනන්‍ය සැලැස්මට අනුව කටයුතු කළහොත් යටත්වීමට හේතුවක් නැත. ගෝලීය අවස්ථාවලින් යැපෙන පිරිස අවස්ථා අහිමි සාමාන්‍ය ජනතාව ගේ ජීවන මටට්ම උසස් කරන්නට හේතු විය හැකි නිර්භීත පියවර වළක්වන අතර ඊළඟ ඡන්දය ගැන පමණක් සිතන දේශපාලන කණ්ඩායම්ද, එම මතවාදවල එල්බ සිටීම අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථික ප්‍රසාරණය හා ලොකුවට හිතන මානසිකත්වයක් රටට අවශ්‍යය. කාලීනව වැදගත්වන ප්‍රතිපත්ති සඳහා ජනතාව සූදානම් කිරීම  බුද්ධිමත් ජන කොටස්වල වගකීමකි.

මෙම ලිපිය ගැන  ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

(***)



අදහස් (3)

දියුණු ආර්ථිකයකට ප්‍රවේශයක්

Chandana Tuesday, 12 December 2023 06:33 PM

මේ කියන කෙනා කව්ද කියලා හොයා බලන්න.... කෝ එයාගේ වැඩ ගැන එයා නම් නියමයි හොර වැඩ කරන්න.!

:       0       6

Roshan Sunday, 17 December 2023 06:17 AM

මේ පොර ටෝක් දෙන්න කලින් බැංකුවට පොල්ල තියලා තියෙන කෝටි 8000 ගෙවලා ඉන්න.

:       0       3

wije Monday, 18 December 2023 01:21 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කීවාලු, මේ පුද්ගලයාගේ සම්බන්ධයක් තියෙන මූල්‍ය සමාගම මහජනයාගේ මුදල් කොටි ප්‍රකෝටි ගණනක් ණයට අරන් ආපසු නොගෙවා ණය පොලු තියලා හොරවැඩ මෙයා අපට බණ කියනවා මොවුන් ඔක්කොම හොරු තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 368 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 794 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 169 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 598 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site