බදුලු ඔය මතින් ඉදිකළ බදුල්ල අන්දෙනිය අත්වැල් පාලම ඉදිකර ඇත්තේ සුද්දන් රට පාලනය කළ සමයේය. අදටත් කලන් වත්තට මෙන්ම අන්දෙණිය නෙලුම්ගම ඇතුළු ගම්මාන රැසක ජනතාවට බදුල්ල නගරයට පාගමනින් යා හැකි කෙටිම මග මෙය වෙයි.
මෙම අත්වැල් පාලම මතින් ඒ මේ අත යන ජනතාව අතරේ මා විපරමින් සිටි මාතාව බදුල්ල නගරයට ගොස් ඉතා කඩිසර ගමනින් සිය නිවෙසට එමින් සිටියාය.
මේ අම්මා අනෙක් අම්ලාට වඩා විශේෂ වූ මාතාවකි. ඇය, දරුවන් 19 ක් මෙලොවට බිහිකළ වීර මාතාව බැවිනි. නමින් රත්නායක කංකානම්ලාගේ කරුණාවතී නම්වු මෙම මාතාව 89 වැනි වියේ පසුවන්නීය.
“මම ගෙදර ගියා ඔබ තුමිය නැති නිසා පාලම ළගට ආවා” මම කීවෙමි.
“ඔව් පුතේ, මම ටවුමට ගියා. හැමදාම වගේ ටවුමට නැතිනම් දරුවන්ගේ ගෙවල් වල ඇවිදිනවා.” පියකරු සිනාවකින් මුව සරසාගෙන පැවසුවාය.
ඇය, මා කැටුවම අත්වැල් පාලමට නුදුරින් පිහිටි ඇගේ නිවසට ආවාය.
අම්ම තනියමද මේ ගෙදර ඉන්නේ?
“ඔව් පුතේ මේ වටේටම මගේ දරුවෝ පදිංචි වෙලා ඉන්නවා.”
එසේ කියන විටම අවට නිවෙස්වල, දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන්ද එම දරුවන්ගේ අත දරුවන්ද ඇතුළත් පිරිසක් එම නිවෙසට ගොඩවැදුනේ මා පැමිණ බව දැනගෙන දැයි මම නොදනිමි.
පරම්පරා 3 ක දරුවන් දැක්ක මම මී-- මී-- ආච්චි කෙනෙක් කියා කරුණාවතී මාතාව හඩ නගා සිනාසුනාය.
මට දරුවෝ 19 ක ලැබුණා. පිරිමි දරුවෝ 8 යි. ගැහැණු දරුවෝ 11 යි. කුඩා කාලයේම විවිධ ලෙඩ වලින් දරුවෝ හතර දෙනෙක් මැරුණා.
දැන් 15 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ට ළමයි 66 දෙනෙක් ඉන්නවා. ඒ මුනුබුරු මිනිබිරියන්ට ළමයි 59 ඉන්නවා. ඒ විදිහට බැලුවම 140 දෙනෙක් නේ මහත්තයෝ.
පුංචි කාලේ ගැන කියන්‍නකෝ.. මම ඉල්ලීමක් කළෙමි.
මගේ පවුලේ දරුවෙකුට මං විතරයි. තාත්තා කළේ නගර සභාවේ කම්කරු රැකියාව. තනි ළමයා නිසා මට කිසිම අඩුවක් කළේ නැහැ. ඉස්කෝලේ ගියේ සුජාතා විද්‍යාලයට. අත්වැල් පාලමෙන් එගොඩ වෙලා ම රික්ෂෝ කරත්තයෙන් ඉස්කෝලේට ගියා. හැබැයි මට ඉගෙන ගන්න ආශාවක් තිබුණේ නැහැ. මම යාළුවන්ගේ ගෙවල්වල ගියා.
මේ නිසා පාසල් අධ්‍යාපන නැති වුණා. අවට තේ වතුවල පාලනය සිදුකළ සුදු මහත්තුරු අශ්වයා පිට යනවා කියල වැඩිහිටියෝ කිව්වා. හැබැයි අශ්ව කුර ඇහෙන කොට මම ගිහින් ඇදයට හැංගුන හැටි මතකයි.
අද ගෙවල් හදාගෙන දාස් ගානක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න බදුලුපිටිය අවට ප්‍රදේශය එදා ඝන කැලැවක්. අද සොහොන් බිම පවති තැන කැලැබිමට බදුල්ල මහරෝහලේ මළ සිරුරු අමු අමුවේම ගෙනැවිත් දමන නිසා නරි එලිවෙනකල් මිනී අදිමින් කෑගහනවා.
රෑබෝ වුණාම කවුරුත් එතැනින් යන්න බයයි. හොල්මන් කියලා.
ඉස්කෝලෙ ගමන නතර වුණාට පස්සේ මොකද කළේ?
ඊට පස්සේ තාත්තා කළේ මැහුම් ගෙතුම් වලට ගුරුතුමියක් ගෙදරට ගෙන්වලා ඒවා උගන්නපු එක. මට අදටත් වූල්වලින් වියන්න රේන්ද වියන්න පුළුවන්.
ඉතිං ඊට පස්සේ.
ඊට පස්සේ තමයි විවාහ වුණේ.
ඒක ආදර කතාවක්ද?
ඔව්. එතකොට මගේ වයස අවුරුදු 13 යි. මගේ මහත්තයා අවුරුදු 15 දි ගෙදරින් තරහ වෙලා යාළුවෙක් එක්ක බදුල්ලට ඇවිත් තියෙනවා.
ඊට පස්සේ තමයි අත්වැල් පාලම ළග කඩයක් දාගෙන් හිටියේ. මම පොඩි කෙල්ලනේ ටොපි චොකලට් ගන්න ඒ කඬේට යනවා එතකොට තමයි යාළු වුණේ.
එයාගේ නම ගමගේ සීඩින්. මම වැඩි වැඩියෙන් කඬේට ගිය නිසා මේක ගෙදරට අහුවුණා. ඊට පස්සේ අපේ තාත්තා එයාගේ ගෙදර අයට දන්වලා මගුල සුදානම් කළා. දැන් වගේ නෙවෙයි පුතේ දවස් 7 ක් මගුල් කෑවා. ගොක්කොළවලින් පෝරුව හදන්න දකුණේ අය ඇවිත් සතියක් විතර පෝරුව ගැහුවා.
හරිම ලස්සන පෝරුව. කේක් ගෙඩිය තට්ටු 7 යි. ඒක කපනකොට කුරුල්ලො ජෝඩුවක් ඉගිල්ලුණා. ඒ දවස්වල මනාලියට ඇන්දුවේ පවුලේම කෙනෙක් මනාලයාට මනාලිය පෙන්වන තෙක් පවුලේ අයටවත් පේන්නේ නැති විදියට කාමරයකට දානවා.
ඒ දවස් වල අපේ ගෙදරට එන්න තිබුණේ අඩිපාර. මහත්තයගේ කට්ටිය. මොරිස් මයිනර් කාර්වලින් ඇවිත් අත්වැල් පාලම ළග නතර කරලා පාලමෙන් එගොඩ වෙලා ආවේ. ඒ දවස් වල මෙහේ තිබුණේ මේ ගෙදර විතරයි. වටේම ඉඩම් තිබුණේ අපිට.
ආරාධනා පත්‍ර අච්චුගහල ගමේ අයටත් අවට ගම්වල අයටත් මගුල් කිව්වා. දවස් 7 ක්ම මගුල් කෑවා. එක එක දවස් බෙදලා තමයි ආරාධනා කළේ.
මොකද මගුල් මඩුවක් ගැහුවත් අපේ ගෙදර ඉඩ මදිනේ. අපේ මගුල් මේසේ හරිම සරුයි.
දඩමස්, අලුත් මාළු, කිරිකොස්, මුංඇට, විවිධ එළවළු වර්ග හා බැදුම් වලින් කෑම මේසේ පිරිල තිබුණා. පිරිමි උන්දලෑට සප්පායම් වෙන්නත් මත්පැන් තිබුණා. සර්පිනා ඩොලැක් ගෙනැල්ල රෑ මැද වෙනකල් පැදුරු සාජ්ජයක් තිබුණා.
මගුල් පොටෝ ගත්තද අම්මෙ?
අපෝ හරි වැඬේනේ පුතේ වුණේ....
අපි ඉතින් විවාහ සිරිත් විරිත් ඉවරවෙලා. අත්වැල් පාලමේ අත්පටලා ගෙන ගිහින් එගොඩ වෙලා මොරිස් මයිනර් කාර් එටකන් බදුල්ල ටවුමේ ස්ටුඩියෝ එකට ගියා.
ඒකේ නම විජය ස්ටුඩියෝ. අපි යනකොට වෙනත් ජෝඩුවක් පොටෝ ගහනවා. පැය ගණනක් යනකල් හදනවා ගන්නවා.
අපේ තාත්තට තරහ ගියා. ඕන නැහැ පොටෝ අපි යමු කියලා ආපහු ගෙදර ගියා.
ඊට පස්සේ මහත්තය මැරෙන කල්ම මගුල් පොටෝ එක ගන්න බැරි වුණා.
දරු සම්පත ගැන මොකද හිතන්නේ?
හරිම සතුටුයි මහත්තයෝ. මට ලැබුණ දරුවෝ 19 දෙනොගෙන් දෙන්නෙක් නිවුන්නු. අවුරුද්දෙන් අවුරුද්දට ළමයි ලැබුණා. ඒ ඔක්කෝම හම්බවුණේ මේ ගෙදරදි. මේ එහා ගමේ ගෑනු එක්කෙනෙක් හිටියා. එයා තමයි වින්නඹු කම කළේ.
මට අමාරු වෙනකොට අපේ අම්මා ඒ උන්දට පණිවිඩයක් යවනවා. ඒ උන්දෑ ඇවිත් වින්නඹු වැඬේ කරනවා මට කිසිම අමාරුවක් වුණේ නැහැ.
කොහොමද ළමයි ඇති දැඩි කළේ?
මගේ අම්මා ගොඩාක් මහන්සි වුණා තාත්තත් මහත්තයත් උදව් කළා. හැබැයි ඉතින් සමහර දවසට යුද්ධයක් මේගොල්ල ගහ ගන්නවා. කෑම පිගන් දිගට තියලා කෑම බෙදනවා. කෑමටත් මේ ගොල්ල පොරකනවා.
මගේ මහත්තය ණයට බඩු දීලා. ණය එකතු කරගන්න බැරිව බංකොලොත් වුණා. ඊට පස්සේ මහත්තය ඉස්පිරිතාලේ කම්කරු වැඩට ගියා.
මං පොඩිකාලේ මට ඕන ම කෑමක් බීමක් කාලා බිල සැපට හැදුණත් මගේ දරුවන්ට ඒ සැප ලැබුණේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ඇති දැඩි කළේ. මගේ තාත්තා අල, බතල, කොස්, පොළොස් හොයාගෙන එනවා තාත්තා ගොඩාක් මහන්සි උනා.
ළමයි 19 දෙනා නිදාගත්තේ එක දිගට පැදුරු එලලා. රෑ තිස්සේ එක එක්කෙනා නැටිටලා අඬනවා.
මගේ කිරි මදිනේ. පිටිකිරි දුන්නා. ඒ දවස්වල කිරිපිටි සහනාධාරයක් මට ලැබුණා. දරුවන් හතර දෙනෙක් අඩු වයසින්ම මැරුනේ පෝෂණය නැති නිසා කියල මට දැන් හිතනෙවා. මහත්තයා වයස 65 දි ලෙඩවෙලා මැරුණා. හැබැයි එතකෙට ළමයි ලොකුමහත්වෙලා.
මම වැඩියෙන්ම ආශ කෑම කට්ලට්. මාලුයි පොළොසුයි දාල මමම හදනවා.
කැවුම්, කොකිස්, රසකැවිලි, කොල්ලු මාලුව සමඟ කුරහන් තලප, හැලප අදටත් හදන්නේ මම. ඒවා හදලා දරුවන්ගේ ගෙවල් වලට අරන් යනවා. අද කාලේ අය මේවා හරියට හදන්න දන්නේ නැහැ.
මගේ එක දුවක් ඉන්නේ වැල්ලවාය බලහරුවෙ. ඒ නිසා දැන්නම් කුරහන් මෙනේරි වගේ ධාන්‍ය වර්ග අපේ ගෙදර අඩුවක් නැහැ.
මගේ ළමයි මට නිතරම දොස් කියනවා අම්මා වැඩ කරන්න එපා කියල. අපි කෑම හදල දෙන්නම් කියලා. එත් පුතේ මම තවම තනිවම මගේ වැඩ කරගන්නවා. මගේ අත, පය තාම හයියයි නොවැ.
හිතුන ගමන් නඩත් එක්ක එකතුවෙලා වන්දනාවේ යනවා. මම පිං අරාවේ හාමුදුරුවොත් එක්ක දඹදිව වන්දනාවෙත් ගියා.
සැම පෝයටම ගමේ පන්සලේදි සිල් ගන්නවා. ගමේ පන්සලේ හාමුරුවෝ මට වීරමාතා සම්මානයක් දුන්නා. ඌව පළාත් සභාවේ වැඩිහිටි දිනයක්දා මට උපහාර දැක්වූවා.
දැන් මගේ ළමයි ලොකු මහත්වෙලා ආවාහ විවාහ කරගෙන ඉන්න නිසා මට කිසිම බරක් නැහැ. ලෙඩක් දුකක් නැහැ සතුටින් ඉන්නවා.
මගේ දරුවෝ, ඒ දරුවන්ගේ දරුවෝ මුනුබුරු මිනිබිරියන්ගේ දරුවෝ මේ ඔක්කොටම එකවර එකතු වෙන්න මගේ ගෙදර. ඉඩමදි එහෙම ආපු දවසට මිදුලත් එක්ක පිරිනෙවා. යැයිද මේ වීරමව ආඩම්බරයෙන් පැවසුවාය.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන්නේ මාර්තු 8 වැනිදාටය. එදාට දේශපාලකයෝද සමාජ ක්‍රියාකරුවෝද වයිවාරණ විච්චූරණ කරති. සෑම වසරකම මේ කතාබහ සිදුවේ. එහෙත් කරුණාවතී අම්මා වැනි වීර මාතාවන් සමඟ ඒ බලවතුන් පැමිණ වචනයක් හෝ කතාකර යන්නේ නම් කාන්තා පරපුරටම කරන ගෞරවයක් නොවන්නේද?


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමියට දීර්ගායුෂ.! (ර)
මට අපේ අත්තම්ම මතක් උනා එයාටත් ළමයි 12ක් දැං ඉන්නෙ 3යි අනිත් අය මැරිලා අවුරැදු 77ක් විතර ඇති හැම වැඩේම තනියෙන් කරගන්නවා නිකන් ඉන්නෙම නෑ වැඩ කරන එකමයි කරන්නේ (හේ)
ඉතාමත් ආස හිතෙනවා මෙවන් පවුලක් දැක්කම, දරුවන් සියල්ලම එකමුතුකම තවත් වටිනවා, මගෙත් පව්ලේ 7 දෙනෙක් මගේ අම්මගේ එකම ඉල්ලීම වුනේ මැරෙනකන් එකට ඉන්න කියල, නමුත් එකාට එකා විරසක වෙලා....එක බඩේ නුපන් ගානට (බ)
ලංකාවට ගියාම මේ අම්මා බලන්න යන්න ඕනේ (බ)
දීර්ගායුෂ ලැබේවා (රේ)
මම හිතන්නේ මේක ලෝක වාර්තාවක් විය හැකියි (රේ)
මෙවන් මාතාවන් අද සමාජයට ආදර්ශයක්. ඔබට අපේ ආචාරය මෑණියනි! (නි)
වාසනාවන් අම්මේ! මට මගේ අම්මා මතක්වුණා. සතුට වැඩිකමට කියන්න වචන නැත. බුදු සරණයි! (නි)
දේශපාලකයෝ නම් කතා කරයි මේවා ගැන මෙන්නම කියලා! අනේ මොකටද ඒ ගැන කතා? (නි)
අම්මේ, ඔබතුමියගේ කතාව අහලා මගේ ඇස්වලට කදුළු ආවා. මට අම්මාව බලන්න එන්න හිතුනා. මම මැදපෙරදිග ඉන්නේ. අම්මාට නිදුක් නිරෝගී සුවය දිගාසිරි පතමි! (නි)
දෙවියනේ! මේතරම් වාසනාවන්ත ජීවිත මේ ලෝකේ තිබෙනවද? හැමෝම සාමයෙන් සමඟියෙන් ඉන්න හැටි. ඔවුන්ට කිසි කරදරයක් නොවේවා! (නි)
හරි ආඩම්බරයි අත්තම්මට නිදුක් නිරෝගී, දිගාසිරි පතමු.! (ර)
ලොකුම ලොකු ආච්චි අම්මේ අනේ ඔයානම් හරිම ෂෝක්. ඔයාට නිදුක් නිරෝගිමත් දීර්ගයුෂ පතනවා මං. (ර)
මගේ අම්මේ මගේ ආයුෂත් අරන් තව කල් ජිවත් වෙන්න ඕනි කියලා මම ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.! (ර)
ඔබ වීර මාතාවකි ඔබට නිදුක් නිරෝගී දිගාසිරි පතන්නම්.! (ර)
අපිට ආඩම්බරයක් අම්මේ ඔබ ගැන (ම)
අම්මේ නුමට.දිර්ගයු පතමි කිසිදු දුක් කරදරයක් නොමැතිව ඉන්නට ලැබේව අම්මේ නුඹට බුදු සරණයි (කෞ)
මේ අම්මාට නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා (ම)
ඔබට දිර්ඝායු ලැබේවා මැණියනි තෙරුවන් සරණයි (ම)
අම්මේ ඔබ දරුවන් හැදුවාට වඩා, අදත් ඔවුන් එකමුතුව ඉන්න එක ලෝකයටම ආදර්ශයක්! ඉඩකඩම් , මිල මුදල් වලට එන කොට ගන්න යට වඩා අම්ම තාත්ත වයසට ගියාම මහා මග දාලා යන දරුවන්ට වඩා ඔබත් ඔබේ දරුවනුත් ලෝකයටම ආදර්ශයක්! ඔබට නිදුකින් තවත් බොහෝකල් ජිවත් වෙන්න ලැබේවා! (ම)
ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා!(හේ)
ඔබට සුබ පැතුම්! (නි)
වාසනාවන්ත මෑණියනි, නිදුක් නිරෝගී ජීවිතයක් වේවා ඔබතුමියට! (නි)
ඔබ ගැන ලියන්න වචන නැත (නි)
හොඳ කතාවක් (නි)
හොඳ ලිපියක් (නි)
අනේ අම්මේ, ඔබතුමිය මොන තරම් වාසනාවන්තද? මම ජීවිතේටම ඇහුවාමයි මෙහෙම කතාවක්. නුතනයේ ඔබතුමිය තමයි ඒ වාසනාවන්තිය. අවුරුදු සීයක කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබේවායි පතමි. බුදු සරණයි! (නි)
මොන තරම් වාසනාවන්ත මවක්ද ඔබට චිරන් ජයතු (හේ)
අනේ ආච්චි අම්මේ , ඔයාගේ කතාව අහල මට හුගක් කදුළු අාව , සතුටට නිදුක් නීරෝගී සුව පතනවා අම්මට. චිරාත් කාලයක ජීවත් වෙන්න ලැබේවා. පින් කරපු කාන්තාවක් ඔබ අම්මේ. බුදු සරණයි (බ)
අම්මාට දීර්ඝායුෂ ලැබේවා කියා අපි හැමෝම පතනවා! (නි)