IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දේවාරූඪයෙන් ලෙඩ සුව කරන කට්ටඩියා තුන්වැනි මිනිස් බිල්ලත් ගනියි

01-Page-3-M-01   

 

දේව බලයෙන් ලෙඩ රෝග සුව කිරීමට බලයක් තියෙන බව කියමින් රස්නායකපුර, දේවාලකණුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කට්ටඩියකු තුන්වැනි මිනිස් බිල්ලත් ගෙන තිබුණේ පසුගිය සතියේය.


මෙවර ඔහු ගත් මිනිස් බිල්ල වූයේ නිකවැරටිය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් සුනිල් හේරත් මහතාය.


මීට පෙර, එනම් පසුගිය වසරේ අගෝස්තු  මාසයේ තවත් මිනිස් බිලි දෙකක්ම එකවර ගෙන තිබුණේද  මේ කට්ටඩියාම ය.


 ඒ පුත්තලම, කොට්ටුකච්චිය ප්‍රදේශයේ මේ කට්ටඩියා දේවාලයක් පවත්වාගෙන ගිය කාලයේය.


මේ කට්ටාඩියාගෙන් ප්‍රතිකාර ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවා තිබුණේ සීදුව, බණ්ඩාරවත්තේ පදිංචිව සිටි එම්.එන්. ලයනල් ප්‍රනාන්දු (60) සහ ඔහුගේ දියණිය වන තුෂාරි සංජීවා (27) නමැති තිදරු මවකි.


 පියාගේ සහ දියණියගේ මේ මරණ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ කට්ටඩියකු බව කියන කපිල කුමාර විජේබණ්ඩාර නමැත්තා කාලයක් රිමාන්ඞ්බාරයේ පසුවී අධිකරණයෙන් ඇප ලබා පැමිණ තිබුණේ මෑතකදීය.


අධිකරණයෙන් ඇප ලබා පැමිණි ඔහු යළිත් සුපුරුදු වැඬේම පටන්ගෙන ඇත්තේ කිසිම බියකින් හෝ සැකයකින් හෝ තොරවය.


මෙවර ඔහු දේවාලය පටන්ගත්තේ නිකවැරටිය, රස්නායකපුර දේවාලේ හන්දිය ප්‍රදේශයේය.


 කුමාර නමැත්තා දේවාල හන්දිය ප්‍රදේශයේ මෙම දේවාලය පටන්ගෙන තිබුණේ මීට මාස 6 පමණ කලින්ය.


 දේවාලයේ වැඩ කටයුතු සඳහා ඇහැට කනට පෙනෙන්ට ඉන්න කාන්තාවක්ද සිටින අතර ඇය ඔහුගේ අනියම් බිරිඳ බව කියති.

 

01-Page-3-M-02

 


පොලිස් සැරයන් සුනිල් හේරත් මහතා මේ දේවාලයේ කපුවා හඳුනාගෙන ඇත්තේ ඔහු රස්නායකපුර පොලිසියේ රාජකාරි කරන කාලයේ පටන්ය.


 රස්නායකපුර පොලිසියෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසියට ස්ථාන මාරුවක් ලබා ගිය පසුව ද හේරත් සාජන් මහත්තයා කුමාර කියන කපුවා සමග තිබූ හිතවත්කම දිගටම පවත්වාගෙන ගොස් ඇත.


 ඒ සම්බන්ධතාව, හිතවත්කම අවසාන වූයේ කපුවා දේව බලයෙන් සකස්කර දුන් බෙහෙතක් පානය කිරීම නිසා දැඩි ලෙස රෝගාතුර වී ජීවිතයෙන් සමුගැනීමත් එක්කය.


ඊට පස්සේ සිදුවූ දේවල් ගැන විස්තර කළේ මියගිය පොලිස් සැරයන් හේරත් මහතාගේ බිරිඳ වන අනුලා ජයසූරිය මහත්මියයි.


ඇය ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ කීවාය.


“මහත්තයා කාලයක ඉඳලා ඔය දේවාලයේ ඉන්න කුමාර කියන කපුවා හඳුනනවා. ඔය කපුවා ළඟ ඉන්න ගැහැනු කෙනා මහත්තයාට දේවාලයේ පේනයක් බලා කියා තිබුණා මහත්තයාට හා පවුලේ අයට කොඩිවිනයක් සිදුකර කිසියම් විසක් කවා තිබෙනවා කියා. පේනයට කිව්ව දේ ගැන මහත්තයා තදින්ම විශ්වාස කළා. මේ ගැන මහත්තයා ගෙදර ඇවිත් මට මේ ගැන කිව්වා. ඊට පස්සේ දවසක කපුවා අපේ ගෙදර ආවා. අපිට ඉන්නේ ගැහැනු දරුවෝ තුන් දෙනෙක්. ලොකු දුවගේ වයස අවුරුදු 22 ක් වෙනවා. අනිත් දූලා දෙන්නාගේ වයස අවුරුදු 16 ක් හා 12 ක් වෙනවා. බාල දරුවෝ දෙන්නා තවම ඉස්කෝලේ යනවා.


 අපේ ගෙදරට ආපු කපුවා දුවලා තුන්දෙනාගේ කේන්දර පිටපත් ඉල්ලාගෙන පරික්ෂා කළා. දූලා තුන් දෙනා කොටහළු වෙච්ච දවස්වල තනිකම් දෝෂ හැදිලා තිබෙන බව කේන්දර පරික්ෂාකර බලා කපුවා කිව්වා. ඒ නිසා ගෙදර අයට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. වෙනත් කරදර පීඩා ඇති වෙන්නත් පුළුවන් කියා ඔහු පැවසුවා. අපි ඔහු කී මේ කතා විශ්වාස කළා. කපුවා අපේ ගෙදරට ආරක්ෂාවක් කළා. ශාන්තිකර්මයක් කරගන්න දේවාලයට එන්න කියා කපුවා අපිට කිව්වා.


 අපේ මහත්තයාගේ ඒ ශාන්ති කර්මයට අවශ්‍ය බඩු ගන්න කියා රුපියල් 15,000 ක් ඉල්ලාගත්තා. අපිට එද්දී අරගෙන එන්න කියා බඩු ලැයිස්තුවක් දුන්නා. පැණි දොඩම් ගෙඩි 100 ක්, ඇඹුල් දොඩම් ගෙඩි 20 ක්, පොල් ගෙඩි 19 ක්, තැඹිලි ගෙඩි 20, බුලත් කොළ 100 ක්, කුකුළන් 03, කිකිලියන් 1, හාල් සේරුවක්, වී කිලෝ 3 ක් වාගේ දේවල් ඒ ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණ මට මතකයි. මේ බඩු ලැයිස්තුවට රුපියල් 20,000 ක් පමණ වියදම් වුණා”
පොලිස් සැරයන් හේරත් මහතා මේ ලැයිස්තුවේ සඳහන් කර තිබූ බඩු බාහිරාදිය කිසිවක් අඩුවක් නැතිව පසුගිය 21 වැනිදා දේවාලයට ගොස් කපුවාට බාරදී ආපසු පැමිණ ඇත.

 

01-Page-3-M-05

 


 පොලිස් සැරයන්, ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා පසුදින රාත්‍රියේ දේවාලයට ගියේ සෙත් ශාන්තිය සිදුකර ගැනීමටයි.


 දේවාලයට ගිය පසු වෙච්ච කෙරිච්ච දේවල් ගැන හඬ අවදිකරමින් පොලිස් සැරයන්වරයාගේ බිරිය අනුලා මෙසේ කීවාය.


 “කපිල කියන කපුවා අපිට කිව්වා සීරුවෙන් සිටගෙන ඇස් පියාගන්න කියා. කපුවා කිව්ව විදිහටම අපි පස්දෙනා කළා. කපුවා යාතිකා කරන්න පටන් ගත්තා. දේවාලයේ එක එක දේව ප්‍රතිමා ගොඩක් තබා තිබුණා. මේ විදිහට යාතිකා කරද්දී මගේ සැමියාට සහ දෙවැනි දුවට සිහිවිකල් ගතියක් ඇතිවුණා. ඔවුන් දෙන්නාට දෙහි කපා ශාන්ති කර්මයක් සිදුකළා. බාල දියණියට හැර අනෙක් සැම දෙනාටම විසක් කැවී ඇති බව කපුවා කිව්වා.


 එදා රෑ ම අපි හතර දෙනාට යමක් බොන්නට දුන්නා. කපුවා අපට වමනය කරන්න කියමින් බල කිරීමට පටන් ගත්තා. කපුවා දියණියන් දෙදෙනාගේ බඩ මිරිකමින්  පිටට ගසමින් තමා වමනය කිරීමට බලකළේ. කපුවා ඔහුගේ ඇඟිලි දෙකක් අපි හතර දෙනාගේ උගුර ඇතුළට දමා කරකවමින් වමනය කිරීමට සැලැස්සුවා. වෙන වෙනම තමා එහෙම කළේ. එතකොට ලේත් එක්ක වමනය ගියා. එතකොට තමා කිව්වේ ඔය ගියේ මෙච්චර කාලයක් බඩ ඇතුළේ තිබුණ විස තමා කියා. කට ඇතුළට ඇඟිල්ල දමා එසේ අත කරකවද්දී උගුර තුවාල වෙලා ලේ පිටවුන බව පස්සේ තමා තේරුම් ගත්තේ. මහත්තයාට වැසිකිළියට යාමට අවශ්‍ය වුණා. කපු මහත්තයාගේ අම්මාගේ ගෙදර දේවාලය ළඟමයි තියෙන්නේ. මහත්තයා කපු මහත්තයාගේ මවගේ නිවසේ තිබෙන වැසිකිළියට ගියා. මහත්තයා වෙවුළන්ට පටන්ගත්තා. මහත්තයා දේවාල සීමාවෙන් පිටතට ගිය නිසා එහෙම වෙවුලන්න හේතුව බව කපුවා කිව්වා. ඒ නිසා ළය විරේකය අසාර්ථක වූ නිසා පසුදින රෑටත් දේවාලයට එන්න කියා දැනුම් දුන්නා” යැයි පොලිස් සැරයන්වරයාගේ බිරිඳ කියා සිටියේ දෑසේ කඳුළු පුරෝගෙනය.


 කපුවාගේ ඉල්ලීම මත පොලිස් සැරයන්වරයා දේවාලයට ගිය අවස්ථාවේ දෙවියන්ට කන්නලව් කර ඔහුට ළය විරේකයක් කර ඇත.


 ඒ ළය විරේකයෙන් පසු පොලිස් සැරයන්වරයාට එදා රෑ පුරා බඩයාමට පටන්ගෙන තිබේ. පසුදින (24) අලුයම් කාලයේ ඔහුගේ කටින් සෙම දැමීමට පටන්ගෙන ඇති අතර කපුවා සහ සැරයන්ගේ බිරිඳ බරපතළ ලෙස රෝගීව සිටි ඔහුව ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් ඇත්තේ නිකවැරටිය රෝහල කරා ය.
 වෛද්‍යවරයෙක් පරික්ෂා කර බලා සැරයන්වරයා මියගොස් ඇති බව දැනුම් දී තිබේ.


 සැරයන්වරයාගේ බිරිඳ සහ එක් දියණියක් කපුවා බීමට දුන් බෙහෙත්වලින් රෝගාතුරවී නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.


කුරුණෑගල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයවර්ධන මහතා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා සැරයන්වරයාගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා ලබාගෙන මරණයට හේතුව පසුව ප්‍රකාශ කරන බව පොලිසියට දැනුම් දී ඇත.


“ඔය කපිල කියන කපුවා කොට්ටුකච්චිය පැත්තේ දේවාලයක් පවත්වාගෙන යද්දී මේ විදියට ප්‍රතිකාර කරන්න ගිහින් තාත්තා කෙනෙක් හා දුවෙක් මියගියා කියා අපි මුලින් දැනගෙන සිටියා නම් අපි ඔය කපුවා ළඟට යන්නේ නැහැ. ඒ බවක් දැනගෙන හිටියා නම් මගේ මහත්තයා අදටත් ජීවතුන් අතර. ඌ බොරු කරලා මගේ මහත්තයා මරාගත්තා. මමයි  දුවලා තුන්දෙනායි මේ ලෝකේ සදහටම තනිවුණා” යැයි ඇය පවසන්නීය.


 හේරත් සාජන් මහත්තයා නීතිගරුක නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධියක් උසුලන බව ඔහුත් සමග රාජකාරි කළ පොලිස් නිලධාරිහු පැවැසූහ.


 කොබෙයිගනේ, මහමිතව ප්‍රදේශයේ තරුණියක් සමග මුලින්ම විවාහ වී ඇති කපිල නමැත්තා  රාජකාරි කර ඇත්තේ යුදහමුදා සෙබලකු වශයෙනි.


යුද හමුදා සේවයෙන් පලා ආ ඔහු ඊළඟට කර ඇත්තේ කසිප්පු පෙරා විකිණීමය.


ගමේ ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කාරයෙක්ව සිටි ඔහු පසුකාලයක පොල් ලී පැලීමේ ද නිරතව සිට ඇත. දේව බලයෙන් ලෙඩ රෝග සුව කිරීමට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය.


“සිංහල ආයුර්වේද, පාරම්පරික සිංහල වෙදකම, හෝමියෝපති වෙදකම ගැන හෝ වෛද්‍ය විද්‍යාව ගැන මට කිසිම දැනුමක් ඇත්තේම නැහැ. සහතිකත් නැහැ. මම දිගටම භාවනා කිරීම්වල නිරතව සිටියා. එතකොට මට වෙදකම් කිරීමට බලයක් ලැබුණා. ඊට පස්සේ තමා මම වෙදකම් කිරීමට පටන්ගත්තේ. තැඹිලිගෙඩිවල වතුර බොන්න දීලා ළය විරේක කරනවා.”


 සීදුවේ පියා සහ දියණියගේ මරණ පරික්ෂණය පැවැති අවස්ථාවේ කපිල නමැත්තා මෙසේ කියා තිබුණේ හලාවත නාගරික හදිසි මරණ පරික්ෂක වසන්ත කුමාර ගීකියනගේ මහතා හමුවේ සාක්කි දෙමිනි. 

පොලිස් සැරයන්වරයාගේ මරණයෙන් පසු කපුවා සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව ද ආගිය අතක් සොයා ගැනීමට පොලිසියට තවමත් නොහැකි වී ඇත.


 ඔවුන් දෙදෙනා පලාගොස් ඇත්තේ දේවාලයද වසා දමා ය.


විවාහක බිරිඳට අමතරව කපුවාට තවත් අනියම් බිරින්දෑවරුන් හත් දෙනෙක් සිටින බව පොලිසිය පරික්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
  අනියම් බිරියන් හත් දෙනාගෙන් ඇතමෙකුට ඔහුට දාව දරුවන්ද සිටින බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.


 පොලිසිය පවසන ආකාරයට කොට්ටුකච්චියේ දේවාලය පවත්වාගෙන යන කාලයේ කපුවාට සිට ඇත්තේ වෙනත් අනියම් බිරිඳක් බවද පියා සහ දියණියගේ මියයාමේ සිද්ධියට කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවී අධිකරණයෙන් ඇප ලබා පැමිණි පසු ඔහු තවත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.


 දේවාල හන්දියේ දේවාලය කපුවා පවත්වාගෙන ගොස් ඇත්තේ එම කාන්තාව සමගය.


 බෙර වයන්නාට ලබාදීමට බව කියා කපුවා පොලිස් සැරයන්වරයාගෙන් රුපියල් 6000 ක මුදලක් ඉල්ලා තිබෙන අතර ඒ අවස්ථාවේ ඔවුන් ළඟ එතරම් මුදලක් නොතිබූ නිසා දේවාලයට ලෙඩ සුවකර ගැනීමට පැමිණ සිටි පිරිසක් අතරේ සිටි අයෙක් ණය වශයෙන් එම මුදල සැරයන්වරයාට ලබා දීමෙන් පසු සැරයන්වරයා ඒ මුදල කපුවා අතට පත්කර තිබේ.


 ලෙඩ රෝග සුව කිරීමට බව කියමින් කපුවා දේවාලයට ආ ඇතමුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන තිබෙන බවට ද තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී ඇතැයි කියති.


මෙම හොර තක්කඩි කපුවා  දැන් ජීවිත තුනක්ම බිලිගෙන ඇත. තවත් කොහේ හෝ පලාතකට ගොස් රහසිගත ජීවිතයක් ගත කරමින් දේවාලයක් පවත්වාගෙන තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට කලින් නීතිය හමුවට කොටුකර ගැනීමට පොලිසිය කඩිනමින් පියවර ගත යුතුව ඇත.


මාවනැල්ල ප්‍රදේශයේ තරුණයකුට, ගල්නෑව ප්‍රදේශයේ තරුණ කාන්තාවකට සහ අනුරාධපුර, නෙල්ලිකුලම ඇලයාපත්තුවේ කාන්තාවකටද සිය ජීවිතවලින් මෑතකදී වන්දි ගෙවීමට සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව හොර තක්කඩි කපුවන් පසුපස ගොස් ලෙඩ රෝග සුවකර ගැනීමට යාම නිසාය.


 ඒත් මේ කිසිවකින්වත් ජනතාව පාඩමක් ඉගෙන ගන්නා බවක් නම් පෙනෙන්නට නොමැත.


මෙවැනි ආකාරයට තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට කලින් මෙම හොර කට්ටාඩින්ට එරෙහිව යම් පියවරක් ගැනීම සෞඛ්‍ය බලධාරින්ගේද යුතුකමක්ව පවතින බව අමුතුවෙන් කිවයුතු නොමැත.


වයඹ සහ උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති අජන්ත සමරකෝන් යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර සහ සහකාර පොලිස් අධිකාරි එච්.එච්.ජී. හේරත් යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජීවහස්ත සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.එච්.ටී. බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන අයි.අයි.ඩබ්ලිව්.කේ. ජයවංශ (5907), දිසානායක (46213), පොලිස් කොස්තාපල්වරුන් වන පුෂ්පකුමාර (74971) සහ දිසානායක (7442) යන මහත්වරුන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.


 පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ බෝනොවන රෝග ඒකකයේ අංශ ප්‍රධානී වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවැසීය. 


“කිසියම් විසක් ශරීර ගතවෙලා තිබුණා නම් එම විසට අදාළ රෝග ලක්ෂණ පහළවීම අනිවාර්යෙන්ම සිදුවන දෙයක්. නමුත් මේ පොලිස් සැරයන්වරයාට හෝ ඔහුගේ පවුලේ උදවියට හෝ එහෙම විසක් ශරීරගත වී තිබෙන බවට කිසිම ලක්ෂණයක් පහළ වී නැහැ. දේවාලයේ කපුවා තමා විසක් ශරීර ගත වී තිබෙන බව කියා තිබෙන්නේ. මෙයින්ම පැහැදිලි වෙනවා කපුවා කියා තිබෙන්නේ බොරුවක් බව. 


ලෙඩ රෝග හඳුනා ගැනීමට නිශ්චය කර ගැනීමට නවීන තාක්ෂණික උපකරණ හා ක්‍රමවේදයන් තිබෙනවා. රෝග සුවකර ගැනීමට බෙහෙත් තිබෙනවා. කට්ටඩින් පසුපස හෝ යාච්ඤා මධ්‍යස්ථාන පසුපස ගොස් රෝග හඳුනාගැනීමට හෝ රෝග සුව කිරීමට කොහෙත්ම හැකියාවක් නැහැ.


වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයකද මෙවැනි මිත්‍යා මත පසුපස යාම හරිම කනගාටුදායක තත්ත්වයක්. ඉන්දියාවේ වගේම ලංකාවේත් බහුතරයක් ජනතාව මේ වගේ දේවල් පසුපස යනවා. එහෙම ගිහින් අමාරුවේ වැටුණු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. භාවනා කරපුවාම ලෙඩ රෝග සුව කිරීමට දැනුමක් හෝ නිපුණතාවයක් ලැබෙන්නේ නැහැ. දෙවිවරුන්ට හෝ මියගිය අයගේ ආත්මවල බලපෑම් ඇතැයි කියා රෝග සුවකරන බව යමෙක් කියනවා නම් ඔහු බොරුකාරයෙක්, වංචාකාරයෙක් බව අවධාරණය කළ යුතුයි” වෛද්‍ය ජයනාත් මහතා කීවේය. 

m



අදහස් (0)

දේවාරූඪයෙන් ලෙඩ සුව කරන කට්ටඩියා තුන්වැනි මිනිස් බිල්ලත් ගනියි

ලංකා Monday, 10 October 2016 07:10 AM

කපුවොයි තුට්ටු දෙකේ දෙශපලුවොයි දෙගොල්ලොම කරන්නේ ජනතාව නොමරා මරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 249 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 69 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 778 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site