IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


දේශපාලනයේ පිළිකුල් විපර්යාස

නොවැම්බර් 14 වැනිදාට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඉකුත් 11 වැනිදා අවසන් විය. එහිදී දැන ගැනීමට හැකි වූයේ ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙවර තරග නොකරන බවයි.

සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය නොකළේ නම් මෙවැනි තත්වයක් ඇතිවනු ඇත්ද?

ජනාධිපතිවරණය පවත්වනු ලැබ මාස දෙකකට අඩු කාලයක දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙයින් ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇති ඉඩ කඩ වැඩිය. එම පක්ෂයේ ඇතැම් නායකයන් අපේක්ෂා කරන අන්දමට ඔවුනට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් නම් නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ද ජාතික ජන බලවේගය දිනා ගතහොත් එහි නායකයන් පසුගිය කාලය පුරා පැවසූ පරිදි ඔවුන් පාර්ලිමේන්තු මන්තීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය ඇතූළු බොහෝ වරප්‍රසාද අහෝසි කරන්නට ඇති ඉඩකඩ ද වැඩිය. එහෙයින් මහජන මුදලින් සැප සම්පත් භුක්ති විඳීමට ඉඩ නොලැබෙනු ඇතැයි සිතා හිටපු මන්ත්‍රීවරුන් මෙතරම් පිරිසක් තරගයෙන් ඉවත්ව සිටින්නට තීරණය කළා විය යුතුය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සියයට 2.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සර්වජන බලය යටතේ තරග කරන්නට සිටි ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂවල නායකයන් තුළ මහජනයාට මුහුණ දිය හැකි තරමේ මනාප සංඛ්‍යාවක් තමන්ට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් නැති බව පෙනේ. ජාතික නිදහස් පෙරමුණ මෙවර තරග නොකරන්නේත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලැයිස්තුවකින් තරග නොකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට උත්සාහ කරන්නේත් ඒ නිසා විය යුතුය.

වෙනත් දේශපාලන පක්ෂවල මෙතෙක් ක්‍රියාකාරී ලෙස සිටි දේශපාලනඥයන්ට ද ජාතික ජන බලවේගය යටතේ තරග කරන්නට එම පක්ෂය ඉඩදී තිබුණේ නම් විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත් වන්නට ඉඩ තිබිණි.

හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එවැනි උත්සාහයක් ගෙන තිබිණි. එහෙත් මෙවර ජනාධිපතිවරණය දක්වා ජාතික ජන-බලවේගය සමග කටයුතු කළ පුද්ගලයන්ට හැර වෙනත් කිසිවකුට එවැනි අවස්ථාවක් නොදෙන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේය.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතය රඟපෑ කමල් අද්දරආරච්චි මහතා ද මෙවැනිම උත්සාහයක් ගෙන එය අසාර්ථක වූ බව කියවේ. ඔහු විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතාගේ ‘‘දෙවන පරපුර’’ යටතේ මෙවර තරග බිමට පිවිස සිටී.

මේ අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ හා කීර්ති උඩවත්ත ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ සිටි පිරිසක් ද ඔක්තෝබර් 4 වැනිදා ජනමාධ්‍ය හමුවක් පවත්වා තමන්ට ජාතික ජනබලවේගයට සහාය දෙන්නට සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ඊට ලැබුණු ප්‍රතිචාරය කුමක් ද යන්න ද පැහැදිලි නැත.

මෙය මෙරට දේශපාලනයේ අලුත්ම අත්දැකීමයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ එක් පක්ෂයකින් තවත් පක්ෂයකට දේශපාලනයේ නිරත පුද්ගලයකු හෝ කණ්ඩායමක් යන විට දෙවැනි පක්ෂය ඔහු හෝ එම කණ්ඩායම වහා වැළඳ ගනී. ඊට ජනමාධ්‍ය මගින් ද හැකි උපරිම ප්‍රචාරය දෙන්නට කටයුතු කෙරේ. එසේ පිල් මාරු කරන පුද්ගලයෝ ද තමන් කලින් සිටි පක්ෂයට හා එහි නායකයන්ට පහර දෙමින් කලින් තමන් විවේචනය කළ නව පක්ෂයේ නායකයා ජාතියේ ගැළවුම්කාරයා යැයි කියති.

ජනාධිපතිවරණය ආසන්නයේ දී මෙවැනි පිල්මාරු රාශියක් දක්නට ලැබිණි. එසේ පිල් මාරු කළ ඇතැම් පුද්ගලයෝ මේ වන විට එම අලුත් පිල්වලද නොසිටිති. මෙම පිල්මාරුවලට පදනම ප්‍රතිපත්ති නොවේ. ඒවා ගනුදෙනුය. පුද්ගලයකු හෝ කණ්ඩායමක් අලුතින් පක්ෂයක් හා එක්වන්නේ ආසන සංවිධායක ධුර හෝ මැතිවරණවලට තරග කිරීමට අවස්ථාව හෝ ඇමැති ධුර හෝ අපේක්ෂාවෙනි.

පුද්ගලයකු අලුතින් යම් පක්ෂයකට එක්වීම නිසා ඔහුට ඔහු අපේක්ෂා කරන මෙවැනි දෑ දුන් විට එතෙක් එම පක්ෂයේ සිටි කාට හෝ ඉන් පාඩුවක්, අවැඩක් සිදුවේ. ඒ අනුව එතැන ආරවුලක් ඇතිවේ. සමගි ජනබලවේගය තුළ එවැනි තත්වයක් ඇතිවී තිබෙන බව පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් එම පක්ෂයේ ද මෙවැනි ආරවුල් ඇති වන්නට ඉඩ තිබිණි. දැන් එම පක්ෂය යටතේ මහා මැතිවරණයට තරග කරන්නට බොහෝ දෙනකුට උනන්දුවක් නැති නිසා එම පක්ෂයේ එවැනි ප්‍රශ්න අසන්නට නැත.

ජාතික ජනබලවේගය නමැති සන්ධානය එහි ප්‍රධාන පක්ෂය  වන ජනතා විමුක්ති පෙරමුණ වෙනස්ම දේශපාලන කණ්ඩායම් දෙකකි. එම පක්ෂ මැතිවරණවලින් ජය ගෙන පවතින සමාජ, ආර්ථික ක්‍රම එසේම පවත්වාගෙන යාම වෙනුවට ඒවා වෙනස් කරන්නට තමන්  කැපවී සිටින බව පවසයි. ඒ සඳහා සුදුසු නිල වශයෙන් බලය ලත් කණ්ඩායමක් අවශ්‍ය වේ. එහෙයින් තමන් විසින් යම් කාලයක් පුරා දේශපාලන වශයෙන් හදා වඩා ගන්නා ලද පුද්ගලයන් හැර වෙනත් කිසිවකු විශේෂයෙන්ම ආගන්තුකයන් මැතිවරණවලට ඉදිරිපත් කරන්නට එම පක්ෂය සූදානම් නැති බව පෙනේ.

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ රැස්වීමක් පසුගිය 13 වැනිදා තලවතුගොඩ හෝටලයකදී පැවැත්විණි. එහිදී එම පක්ෂයේ නායක ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා සිය කතාව මුළුමනින්ම පාහේ වෙන් කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මක බව අවධාරණය කිරීමටය. සමාජ පරිවර්තකයන් අපේක්ෂා කරන පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ වැදගත් වන්නේ හුදු සංඛ්‍යාත්මක ශක්තියට වඩා ගුණාත්මක බවෙන් යුත් සංඛ්‍යාත්මක ශක්තියකැයි ඔහු එහිදී පැවසීය.

ඔහුගේ එම තර්කය නිවැරැදිය. කෝටි ගණන් වටිනා වාහන බලපත්‍ර, වැලි බලපත්‍ර, රජයේ ඉඩම් අල්ලා ගැනීම මහජන මුදලින් පවුලම සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීම හිතවතුන්ගේ නමින් කෝටි ගණන් ඉපැයිය හැකි කොන්ත්‍රාත් ලබා ගැනීම, පිල් මාරු කොට කෝටි ගණනින් මුදල් ඉපයීම, ආයෝජකයන්ගෙන් අල්ලස් හා කප්පම් ගැනීම වැනි ඉලක්ක සිත්හි තබාගෙන දේශපාලනය කරන පිරිසකගෙන් සමාජ ආර්ථික පරිවර්තනයක් අපේක්ෂා කළ නොහැකිය.

පසුගිය දශක ගණනාවක අත්දැකීම් පෙන්වා  දෙන්නේ ඒ සත්‍යයයි. 17 වසරක එජාප පාලනයේ දූෂිතයන් ගාලුමුවදොර පිටියට ගෙනගොස් හම ගසන බවට පොරොන්දු වී බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවට එරෙහිව තවක්කාල් ගනුදෙනුව, වොටර්ස් ඒජ් ගනුදෙනුව ආදි මහා පරිමාණ ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉන්පසු බලයට පත්වූ  මහින්ද රාජපක්ෂ  ආණ්ඩුවේ දූෂණ  චෝදනා එල්ල නොවු කෙනකු නැති තරම්ය. මිග් ගනු දෙනුව, ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව, හෙජිං ගනුදෙනුව ඉන් ඉතා ප්‍රකට ඒවාය. එසේම දේශපාලන ඝාතන ගණනාවක් ද එකල සිදුවිය.

එම දූෂණ දූෂණ ක්‍රියා පෙන්වමින් යහපාලන ආණ්ඩුව බලයට පත්වී පළමු මාසයේම ශ්‍රී ලංකා ඉතිහාසයේ අති විශාලතම දූෂිත ගනුදෙනුවක් වූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සිදුවිය. එම ගනුදෙනුවට විශාල පිරිසක් සම්බන්ධ බවද පෙනී ගියේය. ඇතැම් දේශපාලනඥයෝ එම ගනුදෙනුව සාධාරණීකරණය කරමින් පොත් ලියා ලක්ෂ ගණනින් මුදල් ඉපයූහ. එම දේශපාලනඥයන් අද සිටින්නේ සමඟි ජන බලවේගයේය.

ගෝඨාභය රාජපක්ෂ පාලනය කොතරම් දූෂිතදයත් දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග එකවර අහෝසි කරන්නට එකල කොමිෂන් සභාවක් ද පත් කෙරිණි. එහිදී චෝදනා කළවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නටත්  චූදිතයන් නිදහස් කරන්නටත් කටයුතු කෙරිණි. රුපියල් 250ක් වටිනා එන්නත රුපියල් 40,000කට මිලදී ගත් බවටත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අක්කරය රුපියල් 370 බැගින් ඉඩම් විකුණා ඇති බවටත් වාර්තා පළවිය. සතොස ආයතනය කිලෝව රුපියල් 135 බැගින් සුදුලූනු තොගයක් ව්‍යාපාරිකයකුට විකුණා එම තොගයම කිලෝව රුපියල් 445 ගණනේ යළිත් මිලට ගත් බව ද වාර්තා විය. ඒ පිළිබඳව වාර්තා කළ ලංකාදීප පුවත්පතේ කර්තෘගෙන් ප්‍රශ්න කිරීමට ද රහස් පොලීසිය සැරසිණි. අවිධිමත් ලෙස සීනි ආනයන බදු අඩුකිරීමෙන් රජයට කෝටි 1500කට වැඩි මුදලක් අහිමි වූ බව  කියවේ.

දූෂණය කෙරෙන්නේ නායක මට්ටමෙන් පමණක් නොවේ. එය සමාජ දේහයම වසාගෙන සිටී. එසේ තිබියදී ජාතික ජනබලයට එය නතර කළ හැකිද? යන ප්‍රශ්නය මතුවේ. විශේෂයෙන්ම දේශපාලන පිටුබලය ලත් දූෂණයෙන් ඉපැයිය හැකි ධනයේ ප්‍රමාණය සාමාන්‍ය ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි තරම් අති විශාල වන හෙයින් ජා.ජ.බ. මන්ත්‍රීවරයකු වුව ද ඒ දෙසට ඇදී යන්නට ඉඩක් නැතිද?

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රශ්නයට පිළිතුරක් දී තිබිණි. ඔහු පැවසුවේ ජාජබ තුළ එවැනි පුද්ගලයන් සිටිය හැකි වුවත් පක්ෂය තුළ එවැනි දෑ පිළිබඳ සාමුහික සුපරීක්ෂාකාරීත්වයක් ඇති නිසාත් නායකත්ව ය එවැන්නන් ආරක්ෂා නොකරන නිසාත් එවැනි දෑ ලත් තැනම ලොප් කළ හැකි බවයි.

 අලුත් සන්ධානයක් වන ජාජබ පිළිබඳව අපට එතරම් අවබෝධයක් නැතත් එහි කේන්ද්‍රීය පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නම් අධ්‍යාපනික හා විනය ඇතුළු සාමාජිකයන්ගේ ජීවගුණයත් පවත්වාගෙන යාම පිළිබඳ යාන්ත්‍රණයක් ඇත. ජවිපෙහි ඉහළ මට්ටමේ දී පමණක් නොව පහළම මට්ටමේ ප්‍රාදේශීය රැස්වීමක දී පවා එහි සාමාජිකයෝ ස්වයං විවේචනය හා අන්‍යෙන්‍ය විවේචන සඳහා  වූ  සැසියක් පවත්වති.  දිනයට අදාළ විෂයන් සාකච්ඡා කෙරෙන්නේ ඉන් පසුවය.

එසේම පක්ෂ සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා පන්ති, අධ්‍යාපන කඳවුරු ආදිය පැවැත්වේ. මේවා මැතිවරණ කාලවලදී පමණක් නොව අනෙක් කාලවල දී නිශ්චිත කෙටි කාල පරාසයන් තුළ  සිදුවේ. රටේ ආර්ථික දේශපාලනික හා සමාජමය කරුණු පමණක් නොව රටේ සහ ලෝකයේ ඇතිවන අලුත්  තත්වයන් මෙහිදී නිති පතා සාකච්ඡා කෙරේ. 1977 සිට 1983 දක්වාත් 1994 සිට අද දක්වාත් ප්‍රසිද්ධ  දේශපාලනයේ යෙදුණද ජවිපෙ නායකයන්ට හෝ අනෙකුත් සාමාජිකයන්ට දූෂණ චෝදනා එල්ල නොවන්නේ මෙම අධ්‍යාපනික  සහ විශේෂයෙන්ම අභ්‍යන්තරික විවේචන හා ස්වයං විවේචන ක්‍රියාවලි නිසාය.

එසේ තිබියදීත් ඇතැම් පුද්ගලයෝ මෙම යාන්ත්‍රණයෙන් පිට පැන පක්ෂයෙන් නෙරපනු ලැබූහ. දැන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලයට වෙනත් පක්ෂවල නිලධාරී තන්ත්‍රයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ හා විදේශවල බලපෑම් මැද සියයකට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දූෂණයට ලක් නොවී හසුරුවා ගෙන රටේ ද දූෂණයට එරෙහිව සටන් කරන්නට සිදුවී තිබේ. එම වෑයම සාර්ථක වුවහොත් එය රටට පමණක් නොව ලෝකයට ද නවමු අත්දැකීමක් වනු ඇත. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහ මැතිවරණයෙන් ජය ගතහොත් ඔවුන්ගේ මෙම ගමන ගැන ස්ථිර අදහසක් ඇතිකර ගැනීමට හැකි වන්නේ තවත් වසරකින් පමණ පසුවය. එතෙක් උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටිය යුතුවනු ඇත.

(*** එම්.එස්. එම්.අයුබ්)



අදහස් (0)

දේශපාලනයේ පිළිකුල් විපර්යාස

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස
2024 ඔක්තෝබර් මස 22 158 1

වර්තමානයේදී යළිත් වරක් රජයේ ණය ගැනීම් පිළිබඳ කතාබහක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී බලයට පත්වූ ආණ්ඩුව පසුගිය දෙසතිය තුළ දේශීය වෙළෙඳපො


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 588 0

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා
2024 ඔක්තෝබර් මස 19 1272 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට සමත් විය. එය හමාස් සටන්කාමීන්ට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.


දේශපාලනයේ පිළිකුල් විපර්යාස
2024 ඔක්තෝබර් මස 19 484 0

නොවැම්බර් 14 වැනිදාට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඉකුත් 11 වැනිදා අවසන් විය. එහිදී දැන ගැනීමට හැකි වූයේ ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍ර


පොරොන්දු අමතක දේශපාලනය
2024 ඔක්තෝබර් මස 18 1497 5

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යනුවෙන් ලංකාවේ ප්‍රකට ගැමි වහරක් තිබේ. එහි තේරුම නම් බීජයක් සිටුවීමෙන් පසු ඉන් පැළයක් හටගන්නා මූලිකම අවස්ථාවේ දී අදාළ පැළය


යක්ෂ පරම්පරාවේ අවසන් නවාතැන - යක්කුරේ
2024 ඔක්තෝබර් මස 17 2251 2

යක්කුරේ යනු මෙරට යක්ෂ පරම්පරාව ජීවත්වූ අවසන් ගම්මානයයි. අද යක්කුරේ කියා හඳුන්වන්නේ එදා යක්ෂ පරම්පරාව සිටි නියම ගම නොවේ. ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 774 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site