IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දේශපාලනයටත් කොරෝනා

මේ දිනවල කතාබහ කරන්නේ කොරෝනා වෛරසය ගැනය. ඉකුත් අඟහරුවාදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායමේද වැඩි අවධානයක් යොමුව තිබුණේ කොරෝනා ගැනය. කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසෙහි ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්විණ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කෙරෝනා වෙනුවෙන් මෙතෙක් ගත් සෞඛ්‍ය පියවර පිළිබඳව ආණ්ඩු පක්ෂ කණ්ඩායම හමුවේ කරුණු පැහැදිලි කළාය. ඉන්පසුව උතුරුමැද පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ දේශනයක් කළේය. වෛද්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ නව කොරෝනා වෛරසය ගැනත්, එය පැතිර යන ආකාරය සහ රෝගයේ ස්වභාවය ආදිය ගැනත් දීර්ඝව පැහැදිලි කළේය. ආණ්ඩු පක්ෂ කණ්ඩායම මහාචාර්ය තිස්ස විතාරණගේ දේශනාවට ඉතා උවමනාවෙන් ඇහුම්කන් දුන්නේය. අවසානයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසය ගැන ලංකාවේ සෞඛ්‍ය අංශ මෙතෙක් ගෙන ඇති පියවර ගැන සෑහීමකට පත්විය හැකි බවය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දෙවන විදේශ සංචාරය සැලසුම් කර තිබුණේ චීනයට යාමටය. ජනාධිපති කාර්යාලය මීට ඉහත නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය පෙබරවාරි මස මැද සතියේදී සිදුවිය හැකි බවය. එහෙත් චීනයේ ඇතිව තිබෙන හදිසි තත්ත්වය හේතුවෙන් එම චීන සංචාරය සැලසුම් කළ පරිදි සිදුනොවනු ඇතැයි පැවසේ. තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ජනාධිපතිවරයාගේ චීන සංචාරය කල් දැමෙනු ඇතැයි ද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග තහවුරු කළේය. මේ අතර චීන ජාතිකයන්ගේ නව අවුරුදු උත්සවය ඉකුත්දා සමරනු ලැබීය. මෙරට සේවය කළ චීන ජාතිකයන් බොහෝ පිරිසක් ඉකුත්දා අවුරුදු නිවාඩුව වෙනුවෙන් සිය රට බලා පිටත්ව ගියහ. ඒ වන විට වෛරසය පැතිර යාම පිළිබඳව ප්‍රචාරයක් වී නොතිබිණ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඔවුන්ට දන්වා ඇත්තේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ලංකාවට නොපැමිණෙන ලෙසය. චීනයට ගොස් මෑතකදී නැවත කොළඹ පැමිණි චීන ජාතිකයන්ට සිය නවාතැන්වල රැඳී දින 14ක් යන තෙක් විවේක ගන්නා ලෙස ද රෝග ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වන ලෙස ද චීන තානාපති කාර්යාලය දන්වා තිබේ.

  අගමැති මහින්ද රාජපක්ෂ මීට පෙර සැලසුම්කර තිබූ පරිදි පෙබරවාරි මස 7 වන දින ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින්නේය. අගමැතිවරයා එම සංචාරයේදී ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ නායකයන් සමඟ ආර්ථික ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ඉකුත් දින කිහිපයේදී වියත්මග සහ පොහොට්ටු මත ගැටුම තවදුරටත් දුරදිග ගොස් තිබුණේය. රටපුරා වියත්මග දේශන සංවිධානය කිරීම, වියත්මග සාමාජිකයන්ට ඉදිරියේදී නාමයෝජනා ලබා දීමේ සූදානම, පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට වඩා වියත්මග සාමාජිකයන් ඉදිරියට යෑම වැනි කරුණු කාරණා වෙනුවෙන් එම මත ගැටුම් නිර්මාණය වී තිබේ. එම තත්ත්වය තවදුරටත් ඉකුත් දිනවල වර්ධනය වුණේය.

 ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඉකුත් සඳුදා සමුගැනීමේ සාදයක් පැවැත්වීය. කොළඹ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසෙහි සන්ධ්‍යාවේ පැවැති එම සාදයට දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජනමාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු සම්භාවනීය පිරිසක් ආරාධනා ලැබ සිටියහ. සාදය ආරම්භ වූයේ පස්වරු 6.30 ට පමණය. සාදය ආරම්භ වී අතරමගදී රාත්‍රී 7.40 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණියේය. මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත්තේය. ජනාධිපතිවරයා මහකොමසාරිස්වරයාට සුබපතා හිතවතුන්ට ද සුහදතාවය පළකර ටික වේලාවකින් පිටව ගියේය. ජනාධිපතිවරයා පිටව යද්දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ බිරිඳ සාදයට පැමිණියහ. දෙපිරිස මුහුණට මුහුණලා හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ රනිල් එකිනෙකාට සුහදතාව පළකර ගත්හ. ජනාධිපතිවරයා පිටව ගොස් ටික වේලාවකට පසුව අගමැති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බිරිඳ ද එහි පැමිණියහ. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති  චන්ද්‍රිකා කුමාරතුංග, විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ තවත් සම්භාවනීයයන් පිරිසක් ද ප්‍රියසාදයට එක්ව සිටියහ. සාදය අතරතුරේ තරංජිත් සිං සන්ධු කතාවක් ද පැවැත්වූයේය. ඔහු කීවේ ශ්‍රී ලංකාව තමන්ගේ දෙවැනි ගෙදර බවය.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිවි නිවී දැල්වෙන ගිනිගොඩක් බඳුයි. විටින් විට දැල්වෙවී තවත් විටෙක නිවෙමින් තිබෙන පක්ෂ නායක අර්බුදය වෙනත් දිශානතියකට ගමන්කර තිබේ. සජිත් හිතවාදී එජාප මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට සටනෙන් අඩියක් පසුපසට ගෙන තිබේ. “මේ වෙලාවේ නායකත්වයට සටන් කර කර ඉන්න බැහැ. මහ මැතිවරණයට මුහුණ දෙමු. ඊට පස්සේ පක්ෂ සමුළුවක් පවත්වා අපට නායකයා තෝරා ගන්න පුළුවන්’ යැයි සජිත් පිළේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරති. එහෙත් රනිල් හිතවාදී කණ්ඩායම කියනුයේ වෙනත් කතාවකි. වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ඉකුත්දා ප්‍රකාශ කළේ “අපි ජනාධිපතිවරණයට පෙර කොළඹදී මහා සමුළුවක් තිබ්බා. එතනදී ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් තෝරා ගත්තා. පක්ෂ නායකයා ලෙස රනිල් තෝරා ගත්තා. අපි පක්ෂ නායකයා තෝරා ගත්තේ ඉදිරි වසර පහක කාලයකටයි. ඒ නිසා මහ මැතිවරණයෙන් පසුව නැවත මහා සමුළුවක් කැඳවීම සම්ප්‍රදාය විරෝධියි.’ යනුවෙනි.
 මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉකුත් ඉරිදා එජාප පළාත් පාලන නියෝජිතයින්ගේ සමුළුවක් කැඳවූයේය. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී එම සමුළුව පැවැත්විණ. රටපුරා එජාප පළාත් පාලන නියෝජිතයන්ට ඊට ආරාධනා කර තිබුණේය. සංවිධායකයන් ප්‍රකාශ කළේ නියෝජිතයන් 5000 ක් කොළඹට කැඳවා ඇති බවය. එහෙත් ආරංචිමාර්ග සඳහන් කළේ ඊට පැමිණියේ නියෝජිතයන් 1500 ක් පමණ පිරිසක් බවය.

එම නියෝජිත සමුළුවේදී සරත් ෆොන්සේකා තරමක ආවේගාත්මක කතාවක් කළේය. “රන්ජන් රාමනායක අපේ පක්ෂය කෑවා. හාන්සි කළා” කියාය. “හොරුන්, මංකොල්ලකරුවන් සහ දූෂිතයන් වටකර නොගන්නා ලෙස ද එහිදී ෆොන්සේකා විපක්ෂනායකගෙන් ඉල්ලීමක් කළේය. සජිත් කැඳවා තිබූ නියෝජිත සමුළුවට රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් සහ රාජිත සේනාරත්න පැමිණ සිටියේ නැත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණෙන් රිෂාඞ් බදියුදීන් නොනිල ලෙස ඉවත්ව සිටින බවය. ඒ අනුව ඔහු මහ මැතිවරණයේදී වෙනම තරග කිරීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, ඉමිතියාස් බාකිර් මාකර්, රෝසි සේනානායක ඇතුළු කීප දෙනෙකුගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීමට එජාප නායකයා තීරණයක් ගෙන තිබේ. පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.  එජාපයෙන් නාම යෝජනා ලබා දීමේදී එම මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ මත පළකරති. අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා ඉකුත් කාලය පුරාම රනිල්ගේ නායකත්වය විවේචනය කළෝය. ඔවුන් දැඩිව ප්‍රකාශ කළේ එජාපයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතු බවයි.

 මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් දිනවල නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවා තිබිණ. නව දේශපාලන පක්ෂ අටක් ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර එම අයදුම්පත් බාරගන්නා අවසන් දිනය පෙබරවාරි මස 17 වැනිදාය. “නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට මාසයක දෙකක කාලයක් ගතවෙනවා. ඒ සඳහා වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. පක්ෂ ලියාපදිංචි කිරීම කරන්නේ එම කමිටුවේ නිර්දේශය මතය. හැබැයි ආරංචි හැටියට මාර්තු මාසෙ දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ආයෙත් ඡන්දය ඉවර වෙනකන් ඉන්න වෙනවා.” යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.

 මැතිවරණ කොමිසම මේ දිනවල මහා මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ. 2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම මේ වන විට අවසන් කර තිබේ. මේ දිනවල සිදුකරන්නේ අවතැන් ඡන්දදායකයන්ගේ තොරතුරු රැස්කිරීමය. එම තොරතුරු ලබාගත් පසුව 2019 ඡන්ද හිමි නාම ලේඛණය ඉදිරිපත් කළ පසුව සුදුසුකම් ලැබූ ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව තීරණය කළ හැකි වනු ඇත.

සජිත් ප්‍රේමදාස විපක්‍ෂනායකවරයා ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ගියේ විශේෂ ප්‍රකාශයක් කරන්නටය. ඒ වනවිට පාර්ලිමේන්තුවෙත් රට පුරාමත් විශේෂ අවධානයට ලක්ව තිබුණේ රන්ජන්ගේ හඬපට ගැනය. ඒත් සජිත් විශේෂ යමක් කීවේය. “ලෝක මට්ටමේ ව්‍යසනයක් තිබෙනවා චීනයේ පැතිරයන “කොරෝනා” ගැන. අපිත් අවධානයෙන් පසුවෙන්න ඕනේ. අවධානයෙන් ආරක්‍ෂා වෙන්න අපිත් විශේෂ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දිනකට චීනයෙන් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉතා වැඩියි. චීනයේ අවුරුදු සමයත් උදාවෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ කොරෝනා වෛරසය ලංකාවටත් පැතිරීමේ අවධානමක් තිබෙනවා. රටේ ගුවන් තොටුපළ ඇතුළු පරිශ්‍රයන් පිළිබඳව ආරක්‍ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි” යැයි සජිත් ප්‍රේමදාස කීවේය. සජිත් එම ප්‍රකාශය කරන අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්‍ෂ ද පාර්ලිමේන්තුවේ සිටියේය.

මේ දිනවල මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්‍ෂයත් අතර දේශපාලන ගැටුමක් නිර්මාණයවී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව ඉකුත් 2002 වසරේ සිට සිදුව ඇති බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික වාර්තාවක් ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කරන්නේ එම වාර්තාවට අනුව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සමයේදී ද විශාල ලෙස බැඳුම්කර වංචා සිදුව ඇති බවය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම චෝදනා ප්‍රතික්‍ෂේප කරයි. ඔවුන් පවසන්නේ බැඳුම්කර වංචා සිදුව ඇත්තේ රනිල්ගේ ආණ්ඩු සමයේදී පමණක් බවය. කෙසේ වෙතත් මෙම වෝහාරික වාර්තාව පිළිගත නොහැකි බවට ද ඇතැම් මන්ත්‍රීවරු තර්ක කරති. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම වෝහාරික වාර්තාව ලබා ගත්තේ විදෙස් රටක කීර්තිමත් ආයතනයකින් වන අතර ඒ සඳහා දේශීය ආයතන හෝ පුද්ගලයන් හෝ සම්බන්ධ කර ගත්තේ නැත. ඒ සඳහා විශාල මුදලක් එම සමාගමට ගෙවීමට ද මහබැංකුවට සිදු විය. මහබැංකුව එම වෝහාරික වාර්තා ඉකුත්දා පාර්ලිමේන්තුවට බාරදුන් අතර ඒවා මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනයට පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා තිබේ. මීට අමතරව සංයුක්ත තැටි ලෙස මන්ත්‍රීවරුන්ට ද එම වාර්තාව ලබා දී තිබේ.

කස්තුරි



අදහස් (2)

දේශපාලනයටත් කොරෝනා

ratna P Saturday, 01 February 2020 10:25 PM

ජනාධිපතිතුමා වෙනුවට අර 225 න් 200 දෙනෙක්වත් අද හෙටම චීනෙට යවන්න බැරිද?

:       0       0

Sujeewa Monday, 03 February 2020 06:18 PM

2002දී රට පාලනය කලේ චන්ද්‍රිකා කුමරණතුංගයන්ය. රනිල් වික්‍රමසිංහයන් අගමැතිය. මහින්ද රාජපක්ෂ විරුද්ධ පක්ෂ නායකයායි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1005 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 920 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 992 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16905 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site