IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නීතිපති උපදෙස් අනුව නිලධාරීන්ට පියවරක් ගන්න

23_MA_P26

3

වරින් වර විහිළු සපයන ආයතන අතර පොලිස් දෙපාර්තමේන්තුවට දැන් ලැබී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. විහිළු පමණක් නොව ත්‍රාසය ද ඇති කරන ආයතන අතර පොලිසිය මුලට පැමිණෙමින් සිටින බව පෙනෙනුයේ ඇඹිලිපිටිය සිද්ධිය දෙස බැලූ විටය. 

 


ඇඹිලිපිටියේ සාදයකට සහභාගි වූ පිරිසක් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම සම්බන්ධ විමර්ශනයේ අතුරු වාර්තාවක් සබරගමුවේ වැඩ බලන, දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට යොමු කළේය.මේ ලිපිය එම විමර්ශන වාර්තාව සහ ඇඹිලිපිටියේ අලුත් තත්ත්වය ගැනය.

5
පසුගිය පස් වැනි දා ඇඹිලිපිටියට එළිය වැටෙද්දී මුළු ප්‍රදේශයම බියෙන් හා චකිතයෙන් ඇළලී ගියේ සිව් වැනි දා රාත්‍රි සාදයකදී පොලිසිය හා එහි සිටි පිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමක් නිසාය. එම ගැටුමෙන් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයකු මිය ගියේය. ඒ ගැන පොලිසියෙන් සාධාරණයක් නොවන තැන ප්‍රදේශවාසීහු පාරට බැස්සහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකු ස්ථාන මාරු කර විමර්ශන ආරම්භ කළහ.


විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජනවාරි නව වැනි දා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට යැවීය. ඉන් පසු නැවත වැඩිදුර වාර්තාවක් ජනවාරි 16 වැනි දාතමින් යුතුව පොලිස්පතිට යැවීය. දෙවැනි විමර්ශන වාර්තාව පොලිස්පතිට යවන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සාමාන්‍ය වැසියන් 30 දෙනකුගෙන් සහ පොලිස් නිලධාරීන් 25 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. 


ඊට අමතරව දුරකථන අංක පහක විශ්ලේෂණ වාර්තා ද ලබා ගත්තේය. තවත් අංක 21ක වාර්තා ඉල්ලා තිබිණි. ඒ ආසන්නයේ ආයතන හතරක සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශන ලබා ගැනීම සඳහා උසාවි නියෝගයක් ගත්තේය.


මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණයවී ඇත්තේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සිදුව ඇත්තේ පොලිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස බවයි. විමර්ශනයේ දී ජනවාරි නවවැනි දා පොලිස් සැරයන් 45120 ජිනදාසගේ ප්‍රකාශයක් විමර්ශන කණ්ඩායම ලබා ගෙන තිබිණි. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ජනවාරි හතර වැනිදා  ඔහු ද, පොලිස් කොස්තාපල් 50169 ශාන්ත සහ 60249 සාරංග, පොලිස් සැරයන් 21841 බන්දුසේන පැදවූ පොලිස්   කැබ් රථයෙන් රාත්‍රි ජංගම සංචාරයේ යෙදී සිට ඇති බවය.


රාත්‍රි 10.00ට පමණ ස්ත්‍රී දුෂණයකට සම්බන්ධ සැකකරුවකු ද ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. රාත්‍රි 11.10ට පමණ බීමතින් අශෝභන ලෙස හැසිරුණැයි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා පොලිසියට ගෙන යන අවස්ථාවේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු පොලිස් කොස්තාපල් 68228 රෝහණ 11.20ට පමණ මෝටරෝලා යන්ත්‍රයෙන් ඔවුන් අමතා පණිවුඩයක් දී ඇත.

 

dt

 


එම පණිවුඩයෙන් කියැවී තිබුණේ මහාධිකරණය පැත්තේ අධික ශබ්දයක් නිකුත්වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇති නිසා එය පාලනය කරන ලෙස ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න දැනුම් දුන් බවයි. ඉන් පසු රාත්‍රි 12.00ට පමණ පෙර කී සැකකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට බාර දී සහකාර පොලිස් අධිකාරිගේ පණිවිඩය පරීක්ෂා කිරීමට ගොස් තිබේ.


මහාධිකරණය පැත්තේ අධික ශබ්දයක් නිකුත් කරමින් ශබ්ද විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි කීවද එවැන්නක් තිබී නැත. ඉන් පසු කළ සෝදිසි කිරීමේ දී පල්ලේගම නව නගර පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් පැවැති බව නිරීක්ෂණයවී 12.05ට පමණ එහි ගිය බව සැරයන් ජිනදාසගේ ප්‍රකාශයේ කියැවෙයි. ජංගම රථයේ ගිය පොලිසියේ සිව් දෙනා මෙන්ඩිස් ගොඩනැගිල්ලේ පඩිපෙළ මත දී සාදයේ සිටි කිහිප දෙනකු සමග ආරවුල් තත්ත්වයක් ඇති කර ගෙන තිබේ. 


පොලිස් නිලධාරීන් දී ඇති ප්‍රකාශ අනුව ශබ්දය අඩු කරන්නැයි කීම නිසා ඇති වූ ආරවුලකි. මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සිටි අයගේ ප්‍රකාශ අනුව පොලිසිය අරක්කු ඉල්ලා නොදීම නිසා ඇති වූ ආරවුලකි. ප්‍රකාශ දෙවිදියක් වුවද එම දෙගොල්ලන්ගේම ප්‍රකාශවලින් අනාවරණය වූයේ හේතුව කුමක් වුවත් ගැටුමක් ඇතිවී ඇති බවයි.  ශබ්දය අඩු කිරීමට කීමත් සමග ගැටුම ඇති වූවාද, පොලිස් නිලධාරීන් මත්පැන් ඉල්ලීම නිසා ගැටුම ඇති වූවාද යන්න මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණයවී නැත. එම ගැටුම අවස්ථාවේ පොලිස් කොස්තාපල් 60249 සාරංග අතේ තිබූ ටී පනස් හය ගිනි අවිය එතැන සිටි කිසිවකු උදුරාගෙන ඇති අතර පසුව පොලිස් සැරයන් ජිනදාස එතැන සිටි ඔහුගේ හිතවත් අයකුට දැනුම් දීමෙන් පසු ගිනි අවිය ලැබී තිබේ.


රාත්‍රි 12.10ට පමණ ගැටුම සමනය කිරීමට උඩට වෙඩි දෙකක් තබා ඇත. එම වෙඩි තැබීමෙන් පසු පොලිසිය අසලින් පිරිස ඉවත්වී තිබේ. ඒ සමග පොලිස් සැරයන් ජිනදාස ඔහුගේ ජංගම දුරකථනයෙන් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ඇමතුමක් ගෙන ජංගම සංචාර නිලධාරීන්ට පහර දුන් බවට රාත්‍රි 12.13ට දැනුම් දුන් බව ප්‍රකාශ වලින් කියැවී තිබිණි. ඉන් පසු පොලිස් කොස්තාපල් 50169 ශාන්ත එම සිද්ධිය දැනුම් දීමට පොලිස් ස්ථානයට පිටව ගොස් ඇත.  ඒ අතරතුර කාලයේ පැවැතී ඇත්තේ සාමකාමී වාතාවරණයක් බව බාහිර පුද්ගලයකුගේ ප්‍රකාශයකින් කියැවී තිබේ. පොලිස් නිලධාරීන් පැමිණීම ප්‍රමාද වූයෙන් රාත්‍රී 12.21ට නැවත වරක් සාජන් ජිනදාස ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකාරු පොලිස් කොස්තාපල් රෝහණ අමතා තිබේ. රාත්‍රි 12.35ට පමණ පොලිස් පරීක්ෂක රාජපක්ෂ සමග තවත් පිරිසක් ඇඹිලිපිටිය පොලිසියේ ජීප් රියෙන් පැමිණ ඇත.


ඇඹිලිපිටි සිද්ධිය ගැන පොලිසිය මුලින් කීවේ රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එන විට සාජන් ජිනදාසට සාදයේ සිටි පිරිස පහර දෙමින් සිටි බවයි. නමුත් සාජන් ජිනදාසගේ ප්‍රකාශයේ එවැන්නක් සඳහන්වී නැතැයි පොලිස් ආරංචි කියයි. සාජන් ජිනදාසගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එන විට තමා ඊට පෙර පහර කෑම නිසා හිසේ අමාරුවෙන් හා කම්පනයෙන් සිටි බවයි.


සාදයට පැමිණි උදවිය පොලිස් කොස්තාපල් සාරංග සිරකරගෙන සිටින බව පොලිසිය මුලින් කීවේය. නමුත් කොස්තාපල් සාරංග සිරකරගෙන සිටීමක් හෝ ඔහු බේරාගෙන පහළට ගෙන එන බවක් සාජන් ජිනදාස දැක නැත.


මේ අතර රාත්‍රි 12.00ත් 12.30ත් අතර කාලයේ දෙපිරිසක් ගහගන්නවා දුටු බව හා එතැන පොලිසිය ද සිටිනු දුටු බව සාදයට සංගීතය සැපයීමට ආ සංගීත කණ්ඩායමේ සාමාජිකයකු පොලිසියට ප්‍රකාශ කර තිබේ. ගැටුම උඩු මහළට  පැමිණියහොත් තම සංගීත භාණ්ඩ විනාශ වනු ඇතැයි සිතා ඔවුන් සංගීත භාණ්ඩ වෙනත් දොරටුවකින් පහළට ගෙන ගොස් තමන්ගේ වාහනයට පටවා තිබේ.


එම සංගීත කණ්ඩායමේ සාමාජිකයාගේ ප්‍රකාශය අනුව දෙවැනි පොලිස් කණ්ඩායම එන විට දෙපිරිස අතර ගැටුම සමනයවී තිබී ඇත. දෙවැනි පොලිස් කණ්ඩායම ආ පසු ඔවුන් උඩ තට්ටුවට යන සද්දයක් ඇසුණු බවත්, සාදය පැවති නිවෙසේ වීදුරු බිඳෙන සද්දයක් ඇසුණු බවත්, යමක් වැටෙන ශබ්දයක් ඇසුන බවත්, ඒ වැටුණේ  මිය ගිය සුමිත් ප්‍රසන්න බව පසුව දැනගත් බවත් සංගීත කණ්ඩායමේ සාමාජිකයාගේ ප්‍රකාශයෙන් කියැවිණි.

 


● මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයත් බොරුවෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මුලින් කීවේ සාදයේ අධික ශබ්දය පාලනය කරන ලෙස පොලිස් ජංගම රථය මුලින් ගොස් ඔවුන්ට දන්වා ආපසු පැමිණ ඇති බවයි. ඉන් පසු එහි ගැටුමක් ඇතැයි 119 අංකයට හා පොලිස් ස්ථානයට ආ දුරකතන ඇමතුම් අනුව නැවත ජංගම රථය මෙන්ඩිස් ගොඩනැගිල්ලට ගොස් ඇති බවත්, සාදයේ සිටි පිරිස් පොලිස් නිලධාරීන්ට පහර දෙද්දී එතැනින් පැනගත් කොස්තාපල්වරයකු පොලිසියට දුව ගොස් මේ පුවත කී පසු අතිරේක පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මුලින් කීවේය.


නමුත් ගැටුම ගැන විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබෙන්නේ පොලිස් ජංගම සංචාරක නිලධාරීන් මෙන්ඩිස් ගොඩනැගිල්ලට ගොස් ඇත්තේ එක් වරක් පමණක් බවයි. ඒ රාත්‍රි 12.05ට පමණ බවයි. විමර්ශනයේ දී පොලිස් නිලධාරීන් සියලු දෙනා මුලින් සඳහන් කර තිබුණේ අවස්ථා දෙකකදී මෙන්ඩිස් ගොඩනැගිල්ලට ජංගම සංචාරක රියේ ගිය බවයි. නමුත් විමර්ශනයේ දී අනාවරණයවී ඇත්තේ එලෙස දෙවරක් ගිය බවට නිලධාරීන් කරන ප්‍රකාශය අසත්‍ය බවයි.


පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩයස් මුලින් කියා තිබුණේ තමන් එහි යන විට පොලිස් සැරයන් ජිනදාසට පිරිසක් පහර දෙමින් සිටි බවයි. එලෙස සටහන් ද යොදා ඇත.


එනමුත් පහර කෑ බව කියන සැරයන් ජිනදාසගේ ප්‍රකාශය අනුව අතිරේක පොලිස් කණ්ඩායම් යන විට ඔහු පහර කමින් සිට නැත. එසේම පොලිස් සැරයන් බන්දුසේනගේ ප්‍රකාශය අනුව ද පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු පිරිස එහි යන විට සාජන් ජිනදාස සිට ඇත්තේ පොලිස් ජීප් රථය අසලය.


ඒ අනුව දැනට කළ විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ආධාරක කණ්ඩායම් එන විට සාජන් ජිනදාස මෙන්ඩිස් ගොඩනැගිල්ලේ ඉදිරිපිට දී හා කොස්තාපල් සාරංග ගොඩනැගිල්ල ඇතුළත දී පහරකෑමට ලක්වූ බව කියන කරුණු සත්‍යතාවයෙන් තොර බවයි.


සාදය තුළ සිටියේ අමු මැරයන් පිරිසක් ලෙස පොලිසිය මුලින් ගෙන ගිය ප්‍රකාශ මෙම විමර්ශනයේ දී සහමුලින්ම බිඳවැටී තිබේ. ආධාරක පොලිස් කණ්ඩායම් පැමිණෙන විට සාදයේ සාමකාමී තත්ත්වයක් පැවැති බව ප්‍රකාශවලින් අනාවරණයවී තිබේ. ආධාරක කණ්ඩායම් මෙන්ඩිස් ගොඩනැගිල්ලේ ඇතුළට ගොස් සාදයට සහභාගි වී සිටි පිරිස සමග ගැටුම්කාරී තත්ත්වයකට මැදිවී ඇති බව විමර්ශකයෝ නිරීක්ෂණය කරති. මෙම ආධාරක පොලිස් කණ්ඩායම (සහකාර පොලිස් අධිකාරි ඇතුළු) ගොඩනැගිල්ල තුළට පිවිස සිදු කළ ක්‍රියාදාමය හේතුවෙන් සාදයේ සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයා ජීවිතක්ෂයට පත්වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණයෙන් දැනට කර ඇති විමර්ශනයේ දී අනාවරණයවී තිබේ.


නිවසේ සාදයේ සිටි කිහිප දෙනෙක් ද බීමතින් කළහකාරී ලෙස හැසිරුණු බව එම විමර්ශනයේ දී නිරීක්ෂණය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිට දන්වා යැවීය.


පොලිස් විමර්ශනයේ දී තවත් විශේෂ කරුණක් අනාවරණයවී තිබේ. මුල් විමර්ශන සටහන් පරීක්ෂා කිරීමේ දී හා ප්‍රකාශ සටහන් කිරීමේ දී මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සිදු වූ සත්‍ය තත්ත්වය විකෘති කිරීමට හෝ වසන් කිරීමට ජංගම සංචාර නිලධාරීන් ද, ආධාරක කණ්ඩායමේ නිලධාරීන් ද පොදු අදහසක් මත ක්‍රියාකර ඇති බව දැනට කර ඇති විමර්ශනවලින් හෙළිවී තිබේ.


ඒ නිසා මේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය නම් විමර්ශන අවසානයේ නීතිපති උපදෙස් පැතීම සුදුසු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නිර්දේශ කර තිබේ.


ඇතැම් පොලිස් නිලධාරීන් අවස්ථා දෙකකදී කර ඇති ප්‍රකාශ එකිනෙකට වෙනස්ය. විමර්ශන කණ්ඩායම ලබන සතියේ තවත් සාක්කි රැසක් සෙවීමේ වැඩකටයුතු ඇරැඹීමට නියමිතය. මේ අතර ඇඹිලිපිටිය සිද්ධිය නිසා පොලිසියේ දැඩි ලෙස මතබේද හට ගෙන ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. මෑතක දී පොලිසියේ දෙදරීමක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි. 


සහකාර පොලිස් අධිකාරි දමින්ද ධර්මරත්න ඇතුළු පිරිස නිවැරදි බව හා ඔවුන් බේරා ගත යුතුය යන මතයේ පොලිසියේ උසස් නිලධාරීහු පිරිසක් සිටිති. තවත් උසස් පොලිස් නිලධාරීහු පිරිසක් කියනුයේ මේ සිද්ධියට වගකිවයුත්තේ සහකාර පොලිස් අධිකාරි ඇතුළු පොලිස් කණ්ඩායම බවයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන මතයේ පිරිසක් සිටිති.


ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් නැගී ආ උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් පොලිස් ස්ථානයේ 21 දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබූහ. සහකාර පොලිස් අධිකාරි අනිවාර්ය නිවාඩු යැවූ බවට ද ප්‍රචාරයක් ගිය අතර පසුව හෙළි වූයේ ඔහු අනිවාර්ය නිවාඩු ගොස් නැති බවයි. දින කිහිපයක් ඔහු පෞද්ගලික නිවාඩු ලබා සිටි බව ඉන් පසු කියැවිණි. පසුගිය සතියේ එම සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ඨාසයට ස්ථාන මාරු කරනු ලැබීය. ඒ පොලිස් ස්ථාන කිහිපයක් බාරවය. ඉන් පැය 12ක් යන්නට මත්තෙන් යළි ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරනු ලැබීය. සහකාර පොලිස් අධිකාරිවරයාට කොට්ඨාසයක් බාර දීම නිසා පොලිසියේ අභ්‍යන්තර මතබේදයකින් පසු ඔහු මූලස්ථානයට අනුයුක්ත කළ බව පොලිස් ආරංචි කියයි.


මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්කි විභාග කරද්දී උසාවියේ සැරයන්වරයකු මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීම ගැනද වැඩි කතා බහක් ඇති විය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය ඒ ගැන අගවිනිසුරුට සහ පොලිසිය භාර ඇමැතිවරයාට පැමිණිලි කළේය. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ ගැන අධිකරණ සේවා කොමිසමට, පොලිස් කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.මෑතකදී පොලිසියට විවේචන ආ සෑම අවස්ථාවකම පාහේ වැරදි කරන පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන තත්ත්වයක් දක්නට ලැබිණි. ඊට හොඳම උදාහරණය කොටදෙණියාවයි.

කොටදෙණියාවේ දී පාසල් සිසුවකු හා එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව දින හතරක් රඳවා ගැනීම සහ පහර දුන් පොලිස් නිලධාරීන් සුද්ධ කිරීමට එවකට වැඩ බැලූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා (රුවන් ගුණසේකර මහතා නොවේ) වෙහෙසුනේය. 


කොටදෙණියාවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගේ උපදෙස් අනුව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි මුණසිංහ සහ සහකාර පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු යන මහත්වරු විමර්ශනයක් සිදු කළහ. එහි ප්‍රතිඵලය වූයේ පොලිස් නිලධාරීන් වැරදි බවයි. නමුත් අද වන තුරු කොටදෙණියාවේ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඔවුහු තවමත් යෙහෙන් සිටිති.


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය ගැන අවසන් තීන්දුව දෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ය. ඒ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයෙන් පසුය. සාක්කි විභාගය අවසන් වූ පසු සුමිත්ගේ මරණය මිනීමැරුමක් ද එසේත් නැතිනම් සාමාන්‍ය මරණයක් ද යන්න බලා ගත හැකිය.


කෙසේ වෙතත් ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කළ හැකි පොලිසියේ 21 දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුනට එරෙහිව අපරාධ චෝදනා යටතේ කටයුතු කරනවාද විනය ක්‍රියාමාර්ග ගන්නවාදැයි මරණ පරීක්ෂණයේ තීන්දුවෙන් පසු සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තීන්දුවක් ගනු ඇත.

    m



අදහස් (0)

නීතිපති උපදෙස් අනුව නිලධාරීන්ට පියවරක් ගන්න

තොටමුණ Tuesday, 26 January 2016 01:20 AM

මේ ගැන කතා කර කර හිටියා කියලා තේරුමක් නැහැනේ. ඇයි වැරදිකරුවන්ට දඬුවම් නැත්තේ? (නි)

:       0       0

තුෂාර Wednesday, 27 January 2016 08:31 AM

වැරදි කරලා තියෙන නිලධාරින්ට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි.පොලිසිය ඉන්නේ ජනතාව රකින්න මිසක් මරන්න නෙමෙයි . (ම)

:       0       0

නිලන්ත ගමගේ Wednesday, 27 January 2016 10:20 AM

ඇඹිලිපිටිය නගරයේ ඉන්නේ ටිකක් නහර කාරයෝ . මැණික් වෙළදාම නිසා මුදල් ගැවසෙන නගරයක් .මුදල් තිබුනත් මොලය නැති , බලය තිබුනත් මොලය නැති දෙපිරිසක ගැටුමින් මිය ගියේ අහිංසක කොල්ලෙක් (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 30 January 2016 03:26 PM

දැන් කතා කර ඇති, සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවමු. (බ)

:       0       0

මහින්ද සෞදි Friday, 29 January 2016 03:15 PM

නිලන්ත ගමගේ,මේ වගේ කතා ලියන ඔබට මොලයක් තියෙයිද? (බ)

:       0       0

දීපාල් Tuesday, 26 January 2016 02:46 PM

තොටමුණ කියන කතාව 100%ක් ඇත්ත. දැන් කල යුත්තේ පරීක්ෂණ කඩිනම් කරලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමයි. වාද කර ඇති.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 559 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 71 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site