IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිදි නැති රැයක කළ පැතුමකින් මතුවූ ජාතික ගීය

අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය එකම නමකි. ඒ ආනන්ද සමරකෝන් ය. එහෙත් ඒ නම එසේ නොවන්නට තරම් හේතු කාරණා සිදුවූ බව එහි අතීත කතාව විමසා බලන විට පෙනේ.

ලෝකයේ රටවල් හැම එකකට ම පාහේ ජාතික ගී තිබේ. ඒ ජාතික ගී හැම එකකට ම රසවත් පසුබිම් කතාවක් තිබේ. එයින්  ඉන්දියාවේ ජාතික ගීයත් බංග්ලාදේශයේ ජාතික ගීයත් සුවිශේෂීය. එය ගයන්නේ එකම බසකිනි. එනම් බෙංගාලි බසෙනි. එරට අනෙක් භාෂා කතා කරන අය ඊට විරෝධය පාන්නේ නැත. ඒ දෙකෙහිම රචනය, තනුව හා මුල් ගායනය එකම අයකුගේය. ඒ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ගේය. රටවල් දෙකකටම ජාතික ගී සම්පාදනය කරන්නට තරම් එතුමා භාග්‍යවන්ත විය. ඒ වාගේ ම මාලදිවයින් ජාතික ගීයත් අපට සුවිශේෂය. ඒ එහි තනුව ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවගේ නිසාය. මාලදිවයින් ජාතික ගීයේ වදන්පෙළ එරට සුප්‍රකට කවියකු හා දේශපාලනඥයකු වූ මුහමද් ජමීල් ඩිඩීගේය.

මෙක්සිකෝ රාජ්‍යයේ ජාතික ගීය බිහිවුණේ පෙම්වතියක් පෙම්වතකුට පැනවූ සිරදඬුවමක් හේතුවෙනි. එරට ජාතික ගීයක් තැනීම වෙනුවෙන් තරගයක් පවත්වනු ලැබීය.

ෆ්‍රැන්සිස්කෝ ගොන්සාලිස් බොකනෙග්‍රා නම් කවියාගේ දේශානුරාගී පෙම්වතිය ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළාය. ඔහු එය එක්වරම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඇය නැවත නැවතත් කළ ඉල්ලීම නොපිළිගත් නිසා ඇය අවසානයේදී කළේ මෙක්සිකෝවේ විවිධ රූප හා දර්ශන රැසක් සමඟ ඔහු කාමරයකට දමා සිරකර තැබීමය. පැය ගණනාවකට පසුව පේළි දහයක කවියක් දොරට යටින් ආවේය. ඔහු කාමරයෙන් එළියට ගත් ඇය එය තරගයට යැව්වාය. අවසානයේ දී එය ජාතික ගීය ලෙස තේරුණේය. ඇය ඔහුගේ බිරිඳ බවට පත්විය.

මැලේසියාවේ ජාතික ගීය එසැණ බිහිවූවකි. එරට සුල්තාන්වරයා එංගලන්ත මහ රැජනගේ ඇරයුමෙන් එංගලන්තයට ගිය අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා වාදනය කිරීමට ඔවුන්ගේ ජාතික ගීයේ ස්වර මාලාව උත්සව සංවිධායකයෝ ඉල්ලා සිටියහ. එහෙත් එවැන්නක් ඒ වන විට තිබුණේ නැත. ඒ බව කියා තම සුල්තාන්වරයා අපහසුවට පත්කිරීමට අකමැති වූ සුල්තාන්වරයාගේ නියෝජිතයෙක්  ඒවේලේ තමන්ගේ මතකයට ආ සීෂෙල්ස් රටේ ජනප්‍රිය ගීතයක තාලය එංගලන්තයේ සංගීත කණ්ඩායමට මිමුණුවේය. ඒ සමගම එම වාදනය සිදුකරන විට නැගී සිටින ලෙස සුල්තාන්වරයාත් දැනුම්වත් කරන ලදී. සියල්ල හොඳින් සිදුවිය. ඒ වාදනයට වචන යොදා පසුව එය එරට ජාතික ගීය ලෙස පිළිගනු ලැබීය.

සයිප්‍රසයට ඔවුන්ගේම කියා ජාතික ගීයක් නැත. ඔවුන් ගයන්නේ යාබද රාජ්‍යයන් වන ග්‍රීසිය හා තුර්කිය යන රටවල ජාතික ගීවල එක්කොට තනාගත් ගීයකි. අසල්වැසියන්ට ගරුකිරීම කොයිතරම් හොඳ දෙයක් ද?

නෙදර්ලන්තයේ ජාතික ගීය අක්ෂර බන්ධනයකි. එය නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ ජාතික වීරයකු වූ විලියම් වැන් නාසේගේ නමෙහි අකුරු මුලට යොදාගෙන සැකසූ පැදි පේළි පහළොවකිනි.

දකුණු අප්‍රිකාවේ ජාතික ගීය භාෂා පහක වදන්වලින් සැකසුණු එකකි. එය ගයන්නේ පිළිවෙළින් ක්ෂෝශා, සුලු, සෙතෝතෝ, ඇෆ්‍රිකානස් හා අවසාන පේළිය ඉංග්‍රීසි ආදී වශයෙනි.

ස්පාඤ්ඤයට දැන් ගයන්න ජාතික ගීයක් නැත. කලින් පද වැලක් තිබුණද ඒවා ඉවත්කර 1970 සිට ඉදිරිපත් කරන්නේ තනුව පමණය.

පැරණි චෙකොස්ලොවැකියාවට ජාතික ගීයක් තිබුණේය. එරට චෙක් ජනරජය හා ස්ලෝවැකියාව යනුවෙන් බෙදී වෙන්වී යද්දී ඒ ජාතික ගීයද දෙකට බෙදා ගනු ලැබීය. අද චෙක් ජනරජය එහි මුල් කොටස ගයන අතර ස්ලොවැකියාව එහි අග කොටස ගායනා කරයි.

ලෝකයේ කෙටිම හා පැරණිම ජාතික ගීය ඇත්තේ ජපානයේ ය. ‘කිමිගායෝවා‘ කියා හැඳින්වෙන එයට ඇත්තේ පැදි පේළි හතරකි. එයට පදනම් වී ඇත්තේ 10වැනි සියවසේ ලියන ලද කර්තෘ අඥාත වූ වකා පද්‍ය සම්ප්‍රදායයට අයත් පද්‍යයකි. සියවස් ගණනක් තිස්සේ ජාතික ගීය ලෙස සම්මතයෙන් පැවත ආ එය 1880 දී හයාෂි හිරිමෝරි විසින් සංගීතවත් කරන ලදී. එයට නිල වශයෙන් නීතිමය පිළිගැනීමක් ලැබුණේ 1999 දීය. අනෙක් කුඩාම ජාතික ගීය ඇත්තේ උගන්ඩාවටය. එය පිට පිට දෙවරක් ගායනය කිරීමෙන් ඒ අඩුව සපුරා ගැනීමට එරට සමත් වී තිබේ.

ලෝකයේ දිගම ජාතික ගීය ඇත්තේ ග්‍රීසියටය. එහි පැදි පේළි 158ක් තිබේ. රචනය දියෝනිසියෝස් සොලොමොස් විසිනි. තනුව නිකොලෝස් මන්ටිසාරෝස් ගෙනි. උත්සවවල දී ගයන්නේ ඉන් මුල් පැදි දෙක පමණය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ගීයේ පසුබිම් කතාවට අනුව එය ලියන ලද්දේ එක්සත් ජනපදයත්,බ්‍රිතාන්‍යයත් අතර පැවැති යුද්ධයට මැදි වූ ඇමෙරිකන් සිරුකරුවකු විසිනි. ඔහු ෆ්‍රැන්සිස් ස්කොට් කී නම් නීතිවේදියෙකි. යුද්ධයට විරුද්ධ මතධාරියකු වූ නිසා ඔහු අතින් එවැන්නක් ලියැවෙතැයි එකල කිසිවෙක් නොසිතූහ. ඔහුට යුද්ධය පැවති අතරතුර තවත් අයකු සමඟ සතුරු පක්ෂය වූ බ්‍රිතාන්‍යයට අයත් යුද නැවකට යන්නට සිදුවූයේ එහි සිටි යුද සිරකරුවන් මුදාගැනීමටය. ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි බැල්ටිමෝර් බළකොටුවට පහරදීමට පැමිණි බ්‍රිතාන්‍යය යුද නැව් සමූහයෙන් එකක් වූ ඒ නැවේ කපිතන් ඔවුන් දෙදෙනා නැවේ සිරකර තබාගෙන රාත්‍රිය පුරාම බළකොටුවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය. පසුවදා පහන් වී කවුළුවෙන් බලන විට බළකොටුවට බරපතළ හානි සිදුවී තිබුණත් ඇමෙරිකන් ධජය බළකොටුව මුදුනේ පුරුදු පරිදි ලෙළදෙමින් තිබෙනු දැක ඔහු තුළ වෙනදා නොතිබූ දේශානුරාගයක් පහළවිය. ඔහු කවියකු ද වූ නිසා  කවි සිතිවිල්ලක් ද පහළවිය. එය ඔහු පැදි පේළි කිහිපයකින් සටහන් කළේය. එහි ගායන රිද්මයට යොදාගත්තේ ලන්ඩනයේ බීම සාදවලදී බහුලව ගැයෙන ගීයක තාලයයි. ඔහු ඒ ගීය නිර්මාණය කළේ 1814 සැප්තැම්බර් 14 වැනිදාය. ඉන් වසර 127කට පසු, 1931දී ‘තරු දිලිහෙන ධජය‘ නමින් ඇමෙරිකාවේ ජාතික ගීය බවට පත්වූයේ ඒ කවි පන්තියයි. ඊට යොදාගත්තේ ඇමෙරිකන් සංගීතයක් නොවේ; බ්‍රිතාන්‍යය සංගීතයකි.

ජාතික ගීවල පසුබිම් කතා අතරින් වඩාත් අනුවේදනීය කතාව ඇත්තේ අපේ ය. ඒ කතාව ඇරඹෙන්නේ 1948 පෙබරවාරි 4වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමත් සමගය. ඒ වන විට අපට ජාතික ගීයක් තිබුණේ නැත. ඒ නිසා ජාතික ගීයක් තැනීමේ අවශ්‍යතාව මතුවිය. එය මතුකරන ලද්දේ එවකට මුදල් ඇමැතිව සිටි දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ නිසා ඊට අවශ්‍ය කටයුතු කිරීම ඇමැති මණ්ඩලය ඔහුටම බාරකළේය. ජනතාව අතරින් නිර්මාණ කැඳවා ඒවායින් වඩාත් සුදුස්සා තෝරාගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කෙරිණ. ලැබුණු නිර්මාණ අතරින් හොඳම නිර්මාණය ලෙස කමිටුව තෝරාගත්තේ සංගීතඥයකු මෙන්ම පාලි, සංස්කෘත හා සිංහල භාෂාත්‍රයෙහිම නිපුණයකු වූ ගම්පළ පි.බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි පැබඳූ ගීතයයි. එහෙත් එතුමා තමන් පත් කළ කොමිටියේ සාමාජිකයකු වූ නිසා ඒ තේරීම සාධාරණ නැතැයි තීරණය කළ ජේ.ආර්. ජයවර්ධන මහතා, ඒ කමිටු නිර්දේශය ප්‍රතික්ෂේප කර ඒ ගැන යළි විමසීමක් කරන්නට යෝජනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා‘ ගීතය තෝරාගැනුණි. ඇමැති මණ්ඩලය එය ජාතික ගීය කළයුතු බවට අනුමැතිය දුන්නේ 1951 නොවැම්බර් 22 වැනිදාය. 1952 පෙරබරවාරි නිදහස් දින දා මුල්වරට වාදනය කරන ලද්දේ ඒ ගීතයයි.

ඒ ගීතයේ පදමාලාව ආනන්ද සමරකෝන්ගේ නමින් පළවූ ගීත පොතක පසු කවරයෙහි පළකර තිබුණි. එතුමා ලියූ ඒ ගීත එකතුව පළකිරීමට දී තිබුණේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන නම් ප්‍රකාශකයකුටය. වරක් පොතේ මුද්‍රණය ගැන සොයා බලන්නට එහි ගිය ආනන්ද සමරකෝන් ඒ පොතේ කවරයේ පසුපස පාළුව මකාලන්නට ඒ ගීතයත් දමන්නයි කියා ලියා දී තිබේ.

-ජාතික ගීය ලෙස එය තෝරාගත් පසු රජයෙන් ඊට ප්‍රදානයක් පිරිනැමිණ. මෙය තමා මුද්‍රණය කළ පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් බව දැනගත් ප්‍රකාශකයා ඒ ගීතයේ හිමිකරු තමා බවත්, ප්‍රදානය තමාට ලැබිය යුතු යැයි කියමින් උසාවි ගියේය. ඒ ගීතය පසුව එක්කළ එකක් බවත් ගිවිසුම් ප්‍රකාරව මුල් ගීතවලට අයත් නැතය යන්න උසාවිය නොපිළිගත්තේය. ඒ නිසා ප්‍රදානයෙන් අඩක් ප්‍රකාශකයාට ගෙවන ලෙස සමරකෝන්ට නියම විය. වාසනාවට ගීතයේ හිමිකාරත්වය ප්‍රකාශකයාට දුන්නේ නැත.

ජාතික ගීය බවට පත්වූ එම ගීතය තමා රචනා කළ හැටි ගැන එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් 1951 නොවැම්බර් 25 වැනිදා, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට ‘නිදි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව’ නමින් ලිපියක් ලියමින් මෙසේ සඳහන් කර ඇත.

“ඉන්දියාව පුරා සැරිසැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැගීමෙන් පිස්සෙකු වීමි. ඉන්දියාවේ සිට ලංකාව බලා එද්දී ඒ හැඟීම් යළි යළිත් බුර බුරා නැගුණි. ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර ටී.ඩී. ජයසූරිය මහතා එවැනි ගීතයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. එදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇතිවූ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රි 10 පමණ සිට පහන් නිවා කළුවරේම ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්‍රබන්ධ වූ සැටියි.”

එහෙත් මෙම ගීය ඔහු ලියූවේ ජාතික ගීයක් ලෙස ඉදිරිපත් කිරීමට නොවේ. 1940 දී ඔහු අලුතින් පත්වීමක් ලැබ ගිය ගාල්ලේ මහින්ද විදුහලේ ළමයින්ට දේශානුරාගී ගීතයක් පුහුණු කරවීමේ අදහසිනි. එදා ඒ ගීතය ළමයින්ට පුරුදු කළ මහින්ද විදුහල් ශාලාව ඉදිරිපිට ඒ බව සඳහන් කළ නාම පුවරුවක් ද අද ස්ථාපිත කර තිබේ.

මේ ගීය නිර්මාණය කරන්නට මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ආභාසය නිසැකව ම ආනන්ද සමරකෝන්ට ලැබෙන්නට ඇත. ඒ එතුමාගේ මෙරට සංචාරයෙන් පසු ඇතිවූ උද්යෝගය අනුව

බෙංගාලයේ පිහිටි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට යන්නට තීරණය කළ මෙරට තරුණයන් අතරින් ඔහුද එක් අයකු වූ නිසයි. 1936 දී ඔහු ශාන්ති නිකේතනයට ගියේ චිත්‍රකලාව හදාරන්නටයි. එහිදී නන්දලාල් බෝස්ගෙන් චිත්‍රකලාවත්, රවීන්ද්‍ර සංගීතයෙහි නිපුණයකු මෙන්ම, ලේඛකයකු, ගායකයකු, නළුවකු හා නැටුම් ශිල්පියකු වූ සාන්තදේව් ගෝෂ්ගෙන් සංගීතය හා නැටුම් ආදියත් ඉගෙන ගත්තේය. එහෙත් මුදල් අගහිඟකම නිසා ඔහුට ඒ පාඨමාලා සම්පූර්ණ කරගත හැකි වූයේ නැත. 1937 දී ඔහු ආපසු ලංකාවට ආවේ මුලින් තිබූ නම වූ එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් යන්න අත හැර ‘ආනන්ද සමරකෝන්’ යන නමිනුයි.

ආනන්ද සමරකෝන්ගේ ජීවිතයේ හොඳම සමය එළඹුණේ මේ කාලයේයි. ඔහු ගායකයකු, සංගීතඥයකු හා ගීත රචකයකු වශයෙන් නමක් දිනාගත්තේත් මේ කාලයේ දීය. 1939 දී එච්එම්වී තැටියකට මුල් ම ගීතය ගැයූ ඔහුගේ ගීවලට එදා ග්‍රැමෆෝන් යුගයේ ලොකු ඉල්ලුමක් ඇතිවිය.

එතෙක් පැවති මිශ්‍ර සිංහල කඨෝර වදනින් ලියවුණු ගීත වෙනුවට සරල සිංහල වදන් යොදා පිටිසර ගැමි පරිසරය චිත්‍රණය කරන රචනාවලින් හා හින්දුස්ථාන හා කර්ණාටක තනු අනුකරණය කළ තාල වෙනුවට සරල ස්වරමාලාවන්ගෙන් යුත් ඔහුගේ ගීත සිංහල ගීතය නව මඟකට යොමු කළේය.

ජාතික ගීය නිර්මාණකළාටත් වැඩි සේවාවක් ආනන්ද සමරකෝන්ගෙන් ඉටුවූ බව අද ජීවත්වන බොහෝ දෙනෙක් නොදනිති. ඒ අද අප හැම රස විඳින ගීත කලාවට ඔහුගෙන් වූ සේවයයි. මේ නව ගේය පද කලාවේ පුරෝගාමියා වූයේ ඔහුය. එසේ ම ඔහු නව යුග ගී සම්ප්‍රදායක් ද බිහිකළේය. ඔහු සමග මුල් යුග ගී ගැයූ ලීලාවතී අකාලයේ මියයාම නිසා ඔහු ඊළඟට සහාය ගායිකාව ලෙස යොදාගත්තේ ස්වර්ණා ද සිල්වායි. ඇය පසුකලෙක ප්‍රසිද්ධ සංගීතඥයකු හා බටනලාවාදකයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේ සොහොයුරියකි. සමරකෝන් මුලින්ම ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළේ ද ඇය සමගය. ‘සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ හා ‘පොසොන් පොහෝ දින පුන් සඳ පායා‘ ඇය සමඟ ඔහු ගැයූ තවත් ගීත දෙකකි.

සිය එකම පුතු පස් හැවිරිදි වියේ දී මියගියෙන් ඇති වූ ශෝකය දරා ගත නොහැකි වූ නිසා 1948 දී ඉන්දියාවට ගිය ඔහු හද සනසා ගන්නට චිත්‍ර ඇදීම තෝරාගත්තේය. දකුණු ආසියාවේ රටවල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීය.

ඔහු ආපසු ලංකාවට ආවේ 1951 දීය. ගීත රචනයෙන් හා ගායනයෙන් ජීවත්වූ ඔහුට ගුවන් විදුලියේ පාසල් සේවයෙන් වැඩසටහනක් කිරීමටද පැවරුණි. ඒ කාලයේ චිත්‍රපට ගීත ලියන්නටත්, ගයන්නටත් අවස්ථාව සැලසුණේය.

1955 තිරයට ආ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී’ ගීතයේ රචනය හා තනුව ආනන්ද සමරකෝන්ගේය. ඉතා දිග ගීයක් වන එහි වදන් ඉන්දියාවේ දී ලතා මංගේෂ්කාර්ට පුහුණු කළේද ඔහුයි.

ඔහු 1957 දී ‘අමරණීය ලංකා’ නමින් ගීත හා නැටුම් ඇතුළත් ප්‍රසංගයක් ද නිර්මාණය කළේය. ‘පුදමු මේ කුසුම්’, ‘පුංචි සුදා සුදු කැටියා’ වැනි ගීත නැටුම් සමග ඉදිරිපත් කරමින් අද අප අතර බොහෝ ජනප්‍රිය ප්‍රාසාංගික අංගයට ආරම්භය දුන්නේ ඒ ප්‍රසංගයෙනි. එහෙත් එය අද මෙන් මුදල් ගරන ප්‍රාසාංගික අංගයක් නොවීය.

ස්ථිර රැකියාවක් නොවූ නිසා ඒ කාලයේදී ඔහුගේ ආර්ථිකය නරක අතට හැරුණේ ය. ඔහුට ජීවත්වීමට ආධාරයක් හැටියට එකල ‘ජනතා‘ පත්‍රයේ කාටූන් චිත්‍ර තීරුවක් දිනපතා අඳින්නට එහි ප්‍රධාන කර්තෘ පදවිය හෙබ වූ ඩෙන්සිල් පීරිස් විසින් ඉඩකඩ සලසා දෙනු ලැබීය. ඔහු ජීවිතයේ අවසාන වසර කීපය ගත කළේ කාටූන් චිත්‍ර ශිල්පියකු වශයෙනුයි.

මේ කාලයේදී ඔහුගේ සිත් කම්පාකරවන තවත් දෙයක් සිදුවිය. 1960 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් මේ රටේ දියුණුවට බලපාන ප්‍රධාන බාධකයක් ලෙස ජාතික ගීයේ මුලින් යොදා ඇති වදන්වල ඇති ගණ දෝෂය හඳුනාගනු ලැබීය. ‘නමෝ නමෝ මාතා’ ගීයේ ආරම්භක වදන් අසුබ ගණයක් වූ ජගණයෙන් යොදා තිබීමත්, එසේ ම එය අපායක්ෂරයකින් ආරම්භ වීමත්, නිසා ඒ දෝෂවල බලපෑමෙන් රටට කරදර බාධක ඇතිවන බවත්, ජනතාවගේ උද්යෝගය අඩුවී ජනතාව තුළ නිද්‍රාශීලී ස්වභාවයක් ඇති වන බවත් කියා එය රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුටත් නොකියා එවකට පැවති රජය විසින් ඒ ගීතයෙහි ආරම්භය ‘ශ්‍රී ලංකා මාතා’ යනුවෙන් වෙනස් කරනු ලැබීය. ඒ සඳහා දායකත්වය සැපයුවේ එවකට රජයේ සිටි ප්‍රබල ඇමැතිවරයකු වූ ටී.බී. ඉලංගරත්න ය. එහෙත් එදා සුබ ගණයක් වූ මගණයෙන් ආරම්භ වන ලෙස ජාතික ගීය වෙනස් කළා කියා කිසිදු විශේෂ සෙතක් නොවූ බව අපි දැන් දනිමු. එහෙත් මේ සිද්ධිය ආනන්ද සමරකෝන්ගේ බලවත් සිත්තැවුලට හේතුවිය.

අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් නම අමරණීය කරන්නට සමත් වුණත් ඔහුගේ අකල් මරණය වළක්වන්නට එය සමත්වූයේ නැත. ඒ නිසා ලද සිත් තැවුලෙන් සිටි ඔහු 1962 අප්‍රේල් 5 වැනිදා නිදි පෙති පමණ ඉක්මවා ගැනීමෙන් මරණයට පත්විය. අපේ ජාතික ගීයේ පසුබිම් කඳුළු කතාව එතැනින් අවසන් විය.

එදා සිට අද වනතෙක් විවිධ පණ්ඩිතයන් ජාතික ගීයේ විවිධ දොස් දැක්කත් අපට සුදුසු වෙනත් ආදේශකයක් සොයාගැනීමට ඒ කිසිවකුත් තවමත් සමත් වී නැත. ඒ නිසා නිදහස් ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම තවමත් අමරණීයව පවතියි.

පර්සි ජයමාන්න



අදහස් (4)

නිදි නැති රැයක කළ පැතුමකින් මතුවූ ජාතික ගීය

dambane api Tuesday, 04 February 2020 03:25 AM

ලෝකේ මොන රටවල් වලින් ගායනා කළත් අපේ රටේ මුල් පදිංචි කරුවන්ගේ භාෂාව සිංහල වෙනවා. ඔවුන්ට ගරුකිරීමක් ලෙස එම භාෂාවෙන් ජාතික ගීයගායනා කළයුතුයි. අානන්ද සමරකෝන් කලාකරුවාගේ අවසරය නොමැතිව එය වෙනත් භාෂාවකින් ගායනා කිරීමට දේශපාලකයින්ට අවසරයක් නැත. එය සිංහල භාෂාවෙන් ගායනා කරන්නට ඉන්දියානු ආක්‍රමණිකයින්ට බැරිනම් නැවත ඉන්දියාවටම විජය රජු සමග මංගච්චන ලෙස අපි කියමු..

:       1       20

සිරිමල් Tuesday, 04 February 2020 01:49 PM

මෙම ලිපිය කියවන විට කරුණු දෙකක් පිළිබඳව අදහස් දෙකක් ඇතිවිය. එකක් ගීතරචක ආනන්ද සමරකෝන් මැතිතුමාට ප්‍රකාශකයා සිදුකළ අසාධාරණය වන අතර අනෙක ජේ.ආර්. ගේ පිරිසිදු තීරණ ගැනීමයි.

:       0       3

Aris Tuesday, 04 February 2020 05:42 PM

ජාතික ගීය කියුවට මේ ගීතයේ කොතනකවත් සිංහල ජාතිය ගැන කිය වෙන්නේ නැහැ.

:       0       1

Udaya Elangasinha Thursday, 06 February 2020 05:58 AM

1948 දී ජාතික ගීය තෝරා ගැනීමට රජය භාර කලේ රජයේ සංගීත අනුකමිටුව වූ ලංකා ගාන්ධර්ව සභාවටයි. එහි සාමාජිකයන් වුයේ අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එල්. බී. කපුකොටුව, මුදලිදු ඊ. ඒ. අබේසේකර, වෛද්‍ය පෙස්ටන්ජී, දොන් මානිස් පට්ටිආරච්චි, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ සහ පී. බී. ඉලන්ගසිංහ නොතාරිස් රාලහාමි ආදීන්ය. මේ අනුව ජාතික ගීයකට සුදුසු නිර්මාණ එවන ලෙසට ගාන්ධර්ව සභාව විසින් මහජනයා වෙත දැනුම් දෙන ලදී. ඉදිරිපත් වූ ගීත අතර ජාතික ගීයකට සුදුසු ප්‍රශස්ත මට්ටමේ ගීත මඳ බැවින් සුදුසු ගීතයක් නිර්මාණය කර දෙන ලෙස සංගීතඥයෙකු, භාෂා විශාරදයෙකු මෙන්ම පඬිවරයෙකු ලෙස නම් දරා සිටි තම සාමාජික ඉලන්ගසිංහ නොතාරිස් රාලහාමිගෙන් ගාන්ධර්ව සභාවේ අනෙකුත් සාමාජිකයන් ඉල්ලා සිටියහ. ඉලන්ගසිංහ නොතාරිස් රාලහාමි එයට එකගව ප්‍රථමයෙන් ගාන්ධර්ව සභාවෙන් ඉල්ලා අස්වී ගීතයක් නිර්මාණය කළේය. ලයනල් එදිරිසිංහ මහතා තනුව සැපයුවේද සභාවෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය. ගීතය තෝරා ගෙන ඇත්තේ නියම කරගත් වෙලාවක ඉදිරිපත් ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරයකර පුවත්පතේ පලවූ කුපනයක් මගින් ලබාගත් මහජන ඡන්දයෙනි. සිදුව ඇත්තේ මහජන තේරීම පසෙකලා දේශපාලකයාගේ පෞද්ගලික කැමැත්ත මතුවීමය.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 80 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1466 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 672 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 213 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4689 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 13021 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site