‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.
මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.
ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.
හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.
අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.
මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.
‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.
ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.
ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.
ඒ නිසා ‘‘ලෝකාන්තයෙන්’’ වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය. ඕස්ටේ‍්‍රලියාවේ සිට සංචාරයකට පැමිණි පනස්තුන් හැවිරිදි ක‍්‍රිස්ටෝපර් ෆිල්ටඞ් යන අය පසුගිය 30 වැනිදා කටුස්සෙකුගේ ඡයාරූපයක් ගැනීමට ගොස් ‘‘ලෝකාන්තයෙන්’’ පහළට වැටී ජිවිතක්‍ෂයට පත්විය. 31 වැනිදා ඔහුගේ සිරුර බළන්ගොඩ රෝහලට රාත‍්‍රී හත හමාර වනවිට ගෙනාවේද මෙකී දුෂ්කර මග ඔස්සේය.
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝකාන්තය”
සදීෂා Wednesday, 07 September 2011 12:16 PM
මෙච්චර කල් අපි දන්නේ නැති දේවල් අද දැන ගත්ත.ස්තූතියි
රාජේෂ් Monday, 05 May 2014 08:02 AM
මේ වගේ ලිපි දමන එක ගොඩක් හොඳයි (නි)
සමන්තී Thursday, 08 September 2011 08:51 AM
ශ්‍රී ලංකාවේ සෞන්දර්යාත්මක හා අධ්‍යාපනික වැදගත්කමක් සහිත පෙදෙසක් පිළිබඳව පළ කළ ලිපියට ස්තූතියි. එවැනි සුන්දර හා වටිනා ස්ථාන පිළිබඳව තවදුරටත් ලිපි පලකරන්න.
චන්ද්‍රිකා Thursday, 08 September 2011 11:36 AM
වටිනා ලිපියක් මෙවැනි විස්තර කියවන්න ආසයි.
තේෂාන් Friday, 09 September 2011 02:21 PM
රසවත් සුන්දර ලිපියකි. අනතුරු වළක්වා ගැනීමට රජය පියවරක් නොගන්නේ ඇයි
රන්ජන් Tuesday, 06 September 2011 06:58 AM
ලස්සන දර්ශන - තවත් පින්තූර ඵලකරන්න බේකර්ස් ඇල්ලේ පින්තූරත් ඵල කරන්න
සජිත් Tuesday, 06 September 2011 01:53 PM
මේ වගේ දේ හොඳයි. උඩින් තියෙන නිවස කුමක්ද