IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පාතාල ගැටුම් දෙකක රහස් එළියට

26_PAGE_14_T

 

දකුණේ සහ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි ගිනිඅවි අමෝරාගෙන ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයින් ඔවුන්ගේ ගෝල බාලයින් හඹා යමින් ඉවක් බවක් නොමැතිව ඝාතනය කිරීමට පටන්ගත් නිසා ජනතාවගේ හදවත් තුළ ඇති කර තිබුණේ මහත් කම්පනයකි.


භීෂණයේ අඳුරු සෙවණැලි රට පුරා ඇදීගියේය.


පාතාල කල්ලි අතර පවතින ගැටුම් නිසා එකිනෙකා මරා ගන්නට පටන්ගත්තේ ලේ පිපාසයෙන් පෙලෙන අමුනුෂ්‍යයන් ලෙසය.


ඇසට ඇස, ලෙයට ලෙය පාතාලයින්ගේ න්‍යාය වූ නිසා භීතියට සංත්‍රාසයට පත්වූයේ රටේ සාමාන්‍ය ජනතාවය.


දිගින් දිගටම සිදුවන මේ පාතාල ඝාතන නිසා රජය එය කඩිනමින් මැඩ පැවැත්වීම සඳහා විධිමත් පියවර ගත් නිසා පාතාල කල්ලි නායකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් ගණනාවක්ම පසුගිය දන කිහිපය තුළ නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි විය.


පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම පාතාල කල්ලි අල්ලා ගැනීමේ මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේ පළපුරුදු දක්ෂ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන පූජිත් ජයසුන්දර මහතාය.


පාතාලයින් 185 දෙනෙකුගේ ලයිස්තුවක් පොලිසිය සතුව පවතී. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු වන පාතාල ලෝකයේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන දෙමටගොඩ චමින්ද නමැත්තා මහාධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී මාලිගාවත්ත සුසාන භූමිය ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතළ තුවාල ලැබුවේ පසුගිය 03 වැනිදාය.


දෙමටගොඩ චමින්ද නමැත්තා තවමත් සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්ය. ඒ බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂක රැකවල් යටතේය.


දෙමටගොඩ චමින්ද නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහය නූලෙන් වැළකී ගිය අතර මේ සිද්ධිය පසුපස සිටින්නේ චමින්ද සමග කාලයක සිට බද්ධ වෛරයකින් පසුවන තවත් පාතාල කල්ලි නායකයෙක් වශයෙන් සැලකෙන ආමි සම්පත් නමැත්තා බවට වැඩි දවසක් යන්නට මත්තෙන් තොරතුරු පොලීසියට හෙළිකර ගැනීමට හැකිවිය.


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් දෙමටගොඩ චමින්ද නමැති පාතාල කල්ලි නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරූ පාතාලයන් සොයා දිවා රෑ දෙකේ වෙහෙස මහන්සි නොබලා ගත් ප්‍රථඵලයක් වශයෙන් ගණේමුල්ලේදී පුද්ගලයෙක් මුලින්ම අල්ලාගත්තේය.
මොහු නමින් සංජීව නමින් හැඳින්වෙන අයෙකි. කොළඹ පිහිටි විදේශීය බැංකුවකට අයත් රුපියල් කෝටි 07 කට ආසන්න මුදලක් කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී හුණුපිටිය, වනවාසල මාර්ගයේ තෙලඟපාත ප්‍රදේශයේදී කොල්ලකෑවේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදීය. මේ මුදල් කොල්ලය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියේ රාජකාරිකරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේද කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි.


අත්අඩංගුවට ගත් මේ හතර දෙනා අතරේ දෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩ තැබිමේ සිද්ධියට මුලින්ම අල්ලාත් මේ සංජීව නමැත්තාද විය. කෝටි හතේ මුදල් කොල්ලය සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඞ් බාරයේ පසු වූ සංජීව නමැත්තා පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබූ අතර එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.


ආමි සම්පත් නමැති පාතාල නායකයා කාලයක සිටම සංජීව නමැත්තා හොදින් දන්නා හඳුණන ඔහුගේ ගජ මිතුරෙකුව සිටි අයෙකි.


සංජීව නමැත්තාට මුදල් අවශ්‍යවූ විට ආමි සම්පත් නමැත්තා අත දිග හැර මුදල් වියදම්කර ඇතැයි කියන්නේ කිසිම ලෝභකමක් නොමැතිවය. සැකකාර සංජීව නමැත්තා තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි අයෙකු නිසා ඔහුට නිතරම මුදල් අවශ්‍යව තිබී ඇත.


ආමි සම්පත් නමැති පාතාල නායකයා සංජීව නමැති තම ගජ මිතුරා සොයාගෙන දවසක් පැමිණෙන්නේ ඔහුට ලොකු කොන්ත්‍රාත්තුවක් බාර දීමටය. මට ලොකු වැඩක් උඹ ලව්වා කරගන්න තියෙනවා මචං. මම දන්නවා උඹ මට මේ වැඬේ කරලා දෙනවා කියා. ඒකයි මම උඹව හොයාගෙන තකහනියේම ආවේ. ආමි සම්පත් සංජීව නමැත්තා සමඟ කියා සිටියේය.


මම උඹට නොකරන උදව්වක් නැහැ. කියපං මගේ බෙල්ල ගහල ගියත් වැඬේ කරලා දෙන්නම්. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා යැයි කියා සංජීව කියා ඇත්තේ තමාට ලැබෙන්න යන්නේ ලොකු කොන්ත්‍රාත්තුවක් බව දැන ගෙනය.


දෙමටගොඩ චමින්ද උසාවියේ ඉඳලා බන්ධනාගාරයට අරන් යද්දි කොහොම හරි ඌව ඉවරයක් කරන්න ඕනෑ යැයි කියා ආමි සම්පත් නමැත්තා කියද්දී සංජීව වචනයක්වත් නොකියා හිස සලා තම මිතුරා දුන් කොන්ත්‍රාත්තුව බාරගත්තේය.


ආමි සම්පත් නමැත්තා ටී-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක්ද සංජීව නමැත්තාට බාරදී ඇත.


පොලිසිය මේ තොරතුරු හෙළිකරගෙන ඇත්තේ සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදීය.


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම සංජීව නමැත්තාගෙන් තව දුරටත් ප්‍රශ්න කළේ මෙම ප්‍රහාරයට සම්බන්ධ අනෙක් අය ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන්ද අල්ලා ගැනීමටය.


දෙමටගොඩ චමින්දට වෙඩි තැබිමට ගිය යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන මලින්ද නමැත්තාද වෙඩිකරු ලෙස සැලකෙන යුද හමුදාවේ කෝප්‍රල්වරයෙක් වන නිලන්ත නමැත්තාද පොලිස් අත්අඩංගුවට පත් වූයේ සංජීව නමැත්තා හෙළිකළ තොරතුරු මතය.


අවසානයේ පොලිසියට කොටුවූයේ දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමට ඔහු ගැන ඔත්තු බැලීමට යෙද වූ බව කියන කුමාර නමැත්තාය.


ඔත්තු බැලිම වෙනුවෙන් කුමාරට ලැබී ඇති ගාණ රුපියල් 50,000 කි.


නිලන්ත නමැති යුද හමුදා කෝප්‍රල්වරයා රත්මලාන අතරමැදි හමුදා කඳවුරේ රාජකාරියේ නිරතව සිටින අයෙකි.


පොලිසිය පවසන්නේ මොහු රාජකාරියේ නිරතව සිටින අතරවාරයේ දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමට ගොස් ඇතැයි කියාය.


නිලන්ත නමැති හමුදා කෝප්‍රල්වරයා පොලිසියට කොටු වී ඇත්තේ ගම්පහ මල්වතුහිරිපිටියේ ඔහුගේ මවගේ නිවසේ සැඟවී සිටියදීය. සැකකාර කෝප්‍රල්වරයාගේ දකුණු පාදයේ බරපතළ තුවාලයකට බෙහෙත්කර වෙළුම් පටි දමා තිබූ අතර, ඒ මෙම තුවාලය සිදුවූයේ කෙසේද කියා පොලීසිය ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ කියා ඇතැයි පැවසේ.


චමින්දට වෙඩිතියලා මෝටර් බයිසිකලේ යද්දී බන්ධනාගාර නිලධාරින් වෙඩි තිබ්බා. එක් වෙඩිල්ලක් මගේ දකුණු කකුලට වැදුණා. තව වෙඩි පහරක් මෝටර් බයිසිකලයට වැදිලා හිල්වුනා. වෙඩි පිට වෙඩි පත්තුවෙද්දී අපි දෙන්නා පැන ගත්තා. කකුලට වෙඩි වැදුණු නිසා ඒ කකුලෙන් හරියට ලේ ගලාගෙන ගියා. ටික දුරක් යද්දී මට සිහිය නැතිව ගියා. පියවි සිහිය ඇවිත් බලද්දී මම ගෙදරක ඇඳක් මත හිටියා. ඒ කොහේද කියන්න මම දන්නේ නැහැ. මගේ කකුලට බෙහෙත් දාලා බැන්ඬේජ් කර තිබුණා. කකුල බිම තියලා ඇවිදගන්න බැහැ. ආමි සම්පත් තවත් දෙන්නෙක් එක්ක මගේ ළඟට ඇවිත්හිටියා. ඒ ආමි සම්පත් එක්ක හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට බෙහෙත් පෙති වගයක් බොන්නත් දුන්නා. මම ඒ බෙහෙත් බිව්වා. බෙහෙත් බොන්න දුන්නු කෙනාම තමා මගේ වෙඩි වැදුණු කකුලට බෙහෙත් දමා තිබුණේ කියා පසුව දැන ගත්තා. ඒ දෙන්නා කවුද කියන්න මම දන්නේ නැහැ.


දවස් දෙකක් විතර ඒ ගෙදර හිටියා. ඊට පස්සේ වාහනයක දමාගෙන මාව මල්වතුහිරිපිටියේ අපේ අම්මලාගේ ගෙදරට අරගෙන ආවා. තුවාලය හොඳවෙන්න දුන්නු බෙහෙත් බිව්වත් තුවාලය එන්න එන්නම වේදනා දුන්නා. කකුල හොඳටම නරක් වී ඇති බව මට පෙනී ගියා. වෛද්‍යවරයකු ළඟට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන කියා මට තේරුම් ගියා. ඒත් බයට වෛද්‍යවරයෙක් ළඟට ගියේ නැහැ. එහෙම ගියා නම් මාව පොලිසියට මාට්ටු වෙයි කියා සිතුනා. ගෙදර අයටත් බොරු කිව්වා. ඇත්ත කතාව කියන්න ගියේ නැහැ.


පොලිස් කණ්ඩායම කෝප්‍රල්වරයා සැඟවී සිටි නිවස සෝදිසි කිරීමේදී දෙමටගොඩ චමින්ද නමැත්තාට වෙඩි තැබිමට යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය උණ්ඩ 70 ක පමණ තොගයක් හා ටී-56 මැගසින් දෙකට අමතරව බෙහෙත් ද්‍රව්‍ය රැසක්ද සොයා ගෙන ඇත. මෙච්චර බරපතල තුවාලයක් සුව කිරීමට මේ බෙහෙත් කොහෙත්ම සෑහෙන්නේ නැහැ යැයි වෛද්‍යවරයකු පවසා ඇත්තේ පොලිසිය සොයාගත් බෙහෙත් වර්ග වෛද්‍යවරයාට පෙන්නූ අවස්ථාවේදීය.


සැකකාර හමුදා කෝප්‍රල්වරයාගේ කකුලේ ඇති වී තිබූ තුවාලය හොඳටම නරක් වී තිබූ බව පෙනීගිය නිසා වහාම රෝහල්ගත කර ඇත්තේ ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටය.


දැඩි පොලිස් ආරක්ෂක රැකවල් යටතේ ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.


සම්පත් නමැත්තා හමුදා කෝප්‍රල්වරයා දැන හඳුනාගෙන ඇත්තේ පාතාල කල්ලි නායකයකුව සිටි මිනුවන්ගොඩ දේවක නමැත්තාගේ අවමංගුල් උත්සවයට ගොස් සිටියදීය.


මිනුවන්ගොඩ දේවක නමැත්තා ඝාතනයකර තිබුණේ මීට වසර කිහිපයකට ඉහතදීය.


හමුදා කෝප්‍රල්වරයා මලින්ද නමැත්තා පදවාගෙන ගිය යතුරු පැදියේ නැගී දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමට යන අතරවාරයේ ආමි සම්පත්, සංජීව හා පොඩි උණා නමැති පාතාලයින් මෝටර් රථයකින් බන්ධනාගාර බස්රථය පසුපස ගොස් ඇති බව කියති.


බන්ධනාගාර බස් රථයේ සිටි ආරක්ෂකයින් පෙරළා වෙඩි තබද්දී කකුලට වෙඩි වැදී අධික ලෙස ලේ වහනය වීම නිසා සිහිසුන් වූ හමුදා කෝප්‍රල්වරයා මෝටර් රථයේ දමාගෙන ගොස් ඇති බව කියන්නේ ආමි සම්පත් ඇතුළු කණ්ඩායම විසින් බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. මේ පාතාල කණ්ඩායම අල්ලා ගැනීමට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම පුළුල් මෙහෙයුමක් සිදුකරගෙන යයි.


මේ පාතාල කණ්ඩායම පොලිසියට කොටු වූ දවසට පාතාලයේ තවත් ලොමු ඩැහැගන්නා ක්‍රියාකාරකම් කරළියට පැමිණෙනවා නොඅනුමානය.


භාරත ලක්ෂ්මන් ඝාතනයේ විත්තිකරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තා බන්ධනාගාරයේ සිට ආමි සම්පත් නමැති පාතාල නායකයා ඝාතනය කිරීමට උත්සාහ දැරීම එකට එක කිරීමක් වශයෙන් චමින්ද නමැත්තාට වෙඩි තබා මර දැමීමට උත්සාහකර ඇත.


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ මේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ මීගමුව කොච්චිකඬේ පහළ මඩම්පල්ල වෙලේකඬේ ප්‍රදේශයේදී ධනවත් ව්‍යාපාරිකයකුට වෙඩිතබා ඝාතනය කළ අපරාධකාරයින් අල්ලා ගැනීමටය.


මේ ධනවත් ව්‍යාපාරිකයා පහළ මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සෙනවිරත්න බණ්ඩාරලාගේ නිලන්ත චම්පික නමැති 41 හැවිරිදි වියේ පමණ පසුවන අයෙකි.


පස්, බොරළු හා වැලි කපා ඒවා විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි මොහු සාහසිකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී මැරුම් කෑවේ දරු දෙදෙනා පාසලට ඇරලවා යතුරු පැදියෙන් ආපසු එමින් සිටි අතරවාරයේය.


නිලන්තට වෙඩි තබා පලාගොස් තිබුණේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකි.


මේ සිද්ධිය වූයේ පසුගිය 4 වැනිදාය
වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී අකාලයේ මරු වැළඳගත් නිලන්ත සන්ධානයේ ප්‍රබල ආධාරකරුවකුද විය.


නිලන්ත චම්පිකගේ ඝාතනය සම්බන්ධයෙන් පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන ආමි සම්පත් නමැත්තෙක් හා ක්‍රිෂාන්ත හෙවත් තිත් මුවා නමින් හැඳින්වෙන පුද්ගලයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරින්ගේ අත් අඩංගුවට පත්වීමත් එක්කම එම ඝාතන සිද්ධියේ සුල මුලද හෙළිවිය.


දූනගහ සුජී කියන්නේ පාතාල කල්ලි නායකයෙක් වන අතර මොහු කාලයක සිට සිටින්නේ රිමාන්ඞ් බන්ධනාගාර ගතවය.


මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් දූනගහ සුජී නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවුණත් ඔහු කරගෙන ආ අපරාධ බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.


රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින දූනගහ සුජී නමැත්තා පාතාල කල්ලි නායකයෙක් ලෙස මුල් බැස ඇතැයි කියන්නේ මීගමුවේ පෙරෝස් නමැති පාතාල නායකයා මීට වසර 3-4 කට පමණ කලින් අබිරහස් ලෙස අතුරුදන්වීමත් එක්කමය.


දූනගහ සුජී නමැත්තා ඔහු රහසිගතව සඟවාගෙන සිටින ජංගම දුරකතනයෙන් නිලන්ත චම්පිකට කතා කර රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත.


පස්, බොරළු, වැලි කැපීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට අවශ්‍යනම් මේ කප්පම් මුදල ලබාදිය යුතු බවත් මුදල් ලබා නොදෙන්නේ නම් තමාගේ ගෝලයින් එවා මරා දමන බවත් දූනගහ සුජී නමැත්තා නිලන්තට තර්ජනය කරමින් පවසා තිබේ. නිලන්ත මේ තර්ජනය තුට්ටුවකටවත් මායිම්කර නොමැත. කප්පම් මුදල ගෙවීමට ඔහු කිසිසේත්ම එකඟ වී නොමැත. මේ නිසා කෝපයට පත් වූ දූනගහ සුජි නමැති පාතාල නායකයා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත ඔහුගේ ගෝලයින් දෙදෙනකු නිලන්තට වෙඩි තබා මරා දමා ඇත.


ආමි සමන්ත ක්‍රිෂාන්ත හෙවත් තිත් මුවා නමැත්තාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මේ කරුණු අනාවරණය වී තිබේ.


මේ සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ්බාරයේ පසුවන දූනගහ සුජී නමැති පාතාල නායකයාගෙන්ද ප්‍රශ්නකර ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණයෙන් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. 


දෙමටගොඩ චමින්ද නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ සිද්ධියට සම්බන්ධ පාතාලයින් මෙන්ම කොච්චිකඬේ මඩම්පැල්ලේ ධනවත් ව්‍යපාරිකයා ඝාතනයට පාතාලයන්ද අත්අඩංගුවට ගත්තේ පාතාල කල්ලි ඇල්ලීමේ හා අපරාධ විමර්ශන කටයුතුවලදී මීට පෙර සුවිශේෂ දක්ෂතා පෙන්වා ඇති කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමකි.


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඕ. පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රූකාන්ත පෙරේරා, උපපොලිස් පරීක්ෂකවරුන් වන එස්. බණ්ඩාර වික්‍රම සහ වික්‍රමසිංහ, පොලිස් සැරයන් දාස්ගුප්ත, කොස්තාපල්වරුන්වන ප්‍රසාද් (64975) සහ බණ්ඩාර (67714) යන මහත්වරු සැකකරුවන් සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.


වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙක් ලෙස සැලකෙන අරුණ උදයංග හෙවත් සමයන් නමැත්තාගේ බිරිඳ යැයි සිතා වැරදීමකින් බන්ධනාගාරය ඉදිරිපිටදී වෙනත් ගැබිනි කාන්තාවකට වෙඩිතබා බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් දකුණේ ප්‍රබල පාතාල නායකයෙක් වන කඹුරුපිටියේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් දෙදෙනකු ද පසුගිය දා අල්ලාගත්තේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි.


මධුෂ් නමැත්තා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකුවන අතර ඔහු මීට සති කිහිපයකට ඉහතදී ඇප ලබා පැමිණ සිටින අයෙකි.


බහුදින යාත්‍රාවක නැගී මධුෂ් නමැත්තා ඕස්ටේ්‍රලියාවට පලා ගිය බවට ඔහුගේ පාතාල ගෝල බාලයන් ප්‍රචාරයක් හැර ඇතත් ඔහු තවමත් මෙරට සැඟවී සිටින බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. ඔහු ඕස්ටේ්‍රලියාවට පලාගිය බවට ආරංචි පතුරුවාහැර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීමේ ක්‍රමයක් වශයෙනි.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සමහර සාමාජිකයන් හා සම්බන්ධ වී ඔවුන් සතුව ඇති ගිනි අවි උතුරේ සිට ගෙනවත් අලෙවි කිරීමේ නිරතව සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ කැලණිය කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අල්ලා ගැනුණේ පසුගිය සති අන්තයේදීය.


ටි 56 ගිනි අවියක් ජීව උණ්ඩ 38 ක් හා මැගසින් දෙකක්ද සැකකරුවන්ගෙන් හෙළිකරගත් තොරතුරු සොයාගෙන ඇති අතර මොවුන් තිදෙනා පසුගිය කාලයේ වරින්වර ටී 56 අවි 9 ක් හා ජීව උණ්ඩ විශාල තොගයක් පාතාල කල්ලිවලට විකුණා ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් කාලයක් හිරගෙදර සිටි කාලයේ දැන හඳුනාගත් තවත් සිරකරුවකු මෙම ගිනිඅවි ජාවාරම මෙහෙයවන බව අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයෙක් පොලිසියට පාපොච්චාරණයක් කර ඇති බවද පැවසේ.


අවි ජාවාරම මෙහෙයවන බව කියන පුද්ගලයා තවමත් ඔහුට ලැබී ඇති සිර දඬුවම විඳිමින් සිටින අයෙකි.


නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි ජේ.එච්.පී. ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ  ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර, උපපොලිස් පරීක්ෂක මනෝජ් සංජය සහ පොලිස් සැරයන් ධර්මසිරි (33507) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් සම්බන්ධ කරගෙන සිදු වන බවට පැවසෙන මෙම අවි ජාවාරම සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.


මොහොමඞ් නියාස් කියන්නේ හිටපු නාවික හමුදා සෙබළෙකු වන අතර ඔහු පදිංචිව සිටියේ මීගමුව කොච්චිකඬේ පෝරුතොට ප්‍රදේශයේය.


වැඩ තහනමකට ලක්ව සිටි මෙම නාවික සෙබළා නැවත රැකියාව ලැබී සේවයට වාර්තා කිරීමට යාමට සිටි දිනට පෙර දින ඝාතනය කරනු ලැබ තිබුණේ මීගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි කණ්ඩායමක් විසිනි.


නාවික සෙබළ ඝාතනය කිරීමෙන් නොනැවතුණු පාතාලයන් ඔහුගේ මවගේ නිවසට බෝම්බ ගසා ඇයටද තුවාල සිදුකර සෙබළාගේ සොහොයුරෙකුගේ අත් පා කපා බරපතළ තුවාල සිදු කිරීමට තරම් සැහැසි වී තිබිණි.


මේ අපරාධයන් සිදු කරන විට නාවික සෙබළාගේ සහෝදරයන් දෙන්නකු සිටියේ මැද පෙරදිග රටක රස්සාවකට ගොස්ය.


නාවික සෙබළා ඝාතනයකර තිබුණේ 2000 වසරේදී පමණය. නාවික සෙබළා ඝාතනයකර ඔහුගේ මව පදිංචිව සිටි නිවසට බෝම්බ ගසා ඇයට හා සෙබළාගේ සොහොයුරාට බරපතළ තුවාල සිදු කිරීමට පැමිණ තිබුණේ හුස්නි රාස් කියන පාතාල නායකයාගේ ගෝලයින් කිහිප දෙනෙක් බව මැද පෙරදිග රස්සාවට ගොස් සිටියදී මෙරට පැමිණි නාවික සෙබළාගේ සහෝදරයන් දෙදෙනාට දැන ගැනීමට ලැබී ඇත.


හුස්නි රාස් කියන්නේ මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.


මේ පාතාලයින් සොයාගොස් ඔවුන් ඝාතනය කිරීමට නාවික සෙබළාගේ සොහොයුරන් තීරණය කරන්නේ ලෙයට ලෙයින්ම පළිගැනීමටය.


තම වැඩිමල් සොහොයුරා වන නාවික සෙබළා ඝාතනය කිරීමට පැමිණි එක් පාතාලයෙක් යතුරු පැදියක ගමන් කරමින් සිටියදී ඔහු ලොරියකට හප්පා බිම ඇදවැටුණු පසු ඒ ලොරියේම දමාගෙන පැහැරගෙන යන්නේ වෙන කවුරුවත් නොව සෙබළාගේ සොහොයුරන් දෙදෙනාය.


පාතාල සාමාජිකයා පැහැරගෙන ගිරිඋල්ල දඹදෙණිය ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් හොඳ හැටි පහරදී පෙට්ට්‍රල් වත්කර ඔහුගේ සිරුරට ගිනි තබා ඇත්තේ පණ පිටින් සිටියදීමය.


පාතාලයාගේ සිරුරට ගිනි තැබූ සොහොයුරන් තිදෙනා එතැනින් පළායන්නේ ඔහු මිය ගියා යැයි සිතාය. බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි පාතාල සාමාජිකයා කෙසේ හෝ ගින්න නිවාගෙන දඹදෙණිය රෝහල සොයාගෙන ගොස් ඇත.


ඒ වන විටත් බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිටි පාතාල සාමාජිකයා එයින් දවස් තුනකට විතර පස්සේ මිය ගොස් තිබිණි. මිය යාමට කලින් ඔහු තමාට මේ අපරාධය කළ සොහොයුරන් තුන්දෙනා ගැන විස්තර පොලිස් නිලධාරින් හමුවේ හෙළිදරව් කර තිබිණි. පාතාල කල්ලි සාමාජිකයා පැහැරගෙන ගොස් පහරදී පණ පිටින්ම සිරුරට ගිනි තබා තිබුණේ 2003 වසරේ ජුනි මාසයේ දිනකය.


මෙසේ ඝාතනයකර තිබුණේ පාතාල සාමාජිකයෙක් බවට සැලකෙන මෙහොමඞ් ඉක්බාල් නමැත්තෙකි. මොහොමඞ් ඉක්බාල් නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ බව කියන හිටපු නාවික හමුදා සෙබළාගේ සහෝදරයින් දෙන්නකු පොලිසියට කොටුවන්නේ පසුගිය 14 වැනිදාය.


ඒ මෙම පාතාල සාමාජිකයාගේ ඝාතනය සිදු වී වසර 13 ක පමණ කාලයකට පසුවය.


මේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ පාතාල මර්දන කටයුතු සඳහා පිහිටුවා ඇති කොච්චිකඬේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්ය. 


සැකකාර සොහොයුරන් දෙන්නා සමග ගොස් පාතාල සාමාජිකයා ඝාතනය කළ අනෙක් සහෝදරයා මැද පෙරදිග රස්සාවකට නැවත ගොස් සිටින නිසා ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. හුසේන් කියන පාතාල නායකයා වෙනත් මිනී මැරුමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී මීගමුවේ හිර ගෙදර රඳවා සිටී. ඝාතනයෙන් පසු හුසේන් නමැත්තා මැලේසියාවට පලාගොස් සිටි අතර ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව ඔහු අල්ලාගෙන මෙරටට ගෙනවිත් තිබිණි.


බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත මීගමුව සහකාර පොලිස් අධිකාරි ලලිත් ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ පාතාල කටයුතු මර්දනය කිරීම සඳහා කොච්චිකඬේ පොලිසියේ ස්ථාපනය කර ඇති විශේෂ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඒ.ජී මනෝහර, පොලිස් සැරයන්වරුන් වන රවුෆ් (63188), චන්දන (7000), කොස්තාපල්වරුන් වන ජයසිංහ (85214), සමිත් (86671), ජයසේකර (15248) සහ අමල් (67229) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

m



අදහස් (0)

පාතාල ගැටුම් දෙකක රහස් එළියට

මැටිපහන Wednesday, 30 March 2016 11:20 AM

මම නම් කියන්නේ මේක කුමන්ත්‍රණයක්! කතා දෙකක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2458 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 332 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 962 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site