IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රතිපක්ෂ මත ප්‍රකාශ අයිතිය මර්දනයට කාටවත් අයිතියක් නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන දිශාවට අඩංගු බොහෝ කරුණු කාරණා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුය. භාෂණයේ හා ලේඛනයේ නිදහස මෙන්ම කැමැති දේශපාලන මතයක් දැරීමේ නිදහස ඇතුළු බොහෝ අයිතිවාසිකම් එහි දක්වා තිබේ. එහෙත් නූතන දියුණු ශිෂ්ටත්වයට සරිලන ප්‍රමාණයෙන් නොවැඩීමේ වරදට පෙර කී මුද්‍රිත අක්ෂර එලෙසින්ම ක්‍රියාවට නොනැගීමේ අවදානම 74 වසරක කාලය මුළුල්ලේම අත්විඳි කටුක යථාර්ථය වේ.

ඉහත ශාපලත් ඉරණමෙන් රට මුදා ගැනීමේ අවශ්‍යතාව සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත් වුව ද එය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට රුධිර පිපාසිත දේශපාලන උම්මත්තකයෝ ඉඩ නොදෙති. එබඳු උම්මත්තකයන්ගේ දීන ගෝලබාලයන් පිරිසක් වීරඹුගෙදර මහපිටිය ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබලයකුගේ ගෝලබාලයන් ලෙස හඳුනා ගෙන තිබේ.

ප්‍රහාරයෙන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් කිහිප දෙනකුට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වීරඹුගෙදර පොලීසිය ප්‍රහාරයට පැමිණි පොහොට්ටු ආධාරකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, අප පුවත්පත වාර්තා කර තිබිණි. ප්‍රහාරකයන්ට පහර දුන් බව කියන ජාතික ජන බලවේගයේ සාමාජිකයන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

දේශපාලනය තුළ විවිධ මත තිබේ. එකී විවිධ මත තිබීමම දේශපාලනයේ විචිත්‍රත්වයට හේතු වේ. තමන් දරන මතය ජනතාවට ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම නිදහස සෑම පුරවැසියකුටම තිබිය යුතුය. මත සියල්ල කිරා මැන බලා තම හෘදය සාක්ෂියට එකඟ මතයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට හැකිය.

එකී මත අතරින් වැඩිම ජනතා ප්‍රසාදය හිමි කරගන්නා මතය ජයග්‍රාහකයා බවට පත්වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයම විනා අන් යමක් නොවේ. ඒ සඳහා වූ නිර්බාධක පරිසරයක් රටේ තිබිය යුතුය. එහෙත් අවි බලයෙන් සියල්ල ජයගත හැකි යැයි සිතන තක්කඩි දේශපාලනඥයෝ එම මග යති. එම තක්කඩි දේශපාලනඥයන්ට අනුව රටේ තිබිය යුත්තේ එකම මතයක් පමණි. ඒ, තමන්ගේ මතය පමණි.

නිදහස මෙන්ම අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධ අතිශයින් ප්‍රායෝගික කියමනක් දේශපාලන විද්‍යාවේ අන්තර්ගතය. එම කියමන නම්, “ඔබ අත ඇති හැරමිටිය වැනීමට ඔබට ඇති අයිතිය අනෙකාගේ නහය අගින් කෙළවර වේ” යන්නය. ඇතැම් දේශපාලනඥයන්ට මෙබඳු ගැඹුරු කියමන් වටහා ගැනීමට සමත් මොළයක් නැත. එහෙයින් ඔවුහු තම අත ඇති හැරමිටිය අනෙකාගේ නහයේ පමණක් නොව මුළු මුහුණෙහිම වද්දති. ප්‍රහාරයෙන් පසු එන ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය මැනීමට නොඑන්නැයි වැනි මතුපිටින් තාර්කික, ඇතුළතින් භයානක කියමන් සමාජගත වන්නේ ඒ අනුවය.

‘‘ඔබගේ මතය මම නොපිළිගන්නා නමුදු එය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතියට මම බාධා නොකරමි’’ යන්න නූතන ශිෂ්ට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයන්හි හිසටත් ඉහළින් පිළිගන්නා අනුහස් සහිත සාරධර්මයකි. ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි රුවින්, ගුණෙන් හා පැහැයෙන් බැබලෙන්නේ එවිටය. එහෙත් අශිෂ්ට, නොදියුණු, අනීතික හා මුග්ධ දේශපාලනඥයන් සමග මෙන්ම ඔවුන්ගේ ඉඳුල් බුදින බත් බැලයන් සමග එබඳු විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කළ නොහැකි බව 74 වසරක දේශපාලන ගමන් මගෙහි යථාර්ථය වේ.

වීරඹුගෙදර පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමකට එල්ල වූ ප්‍රහාරය මෙරට දේශපාලන ඉතිහාසයේ වූ ඒ පන්නයේ පළමු ප්‍රහාරය නොවේ. 1948 වසරේ සිට පැවැති සෑම මැතිවරණයකදීම මෙන්ම මැතිවරණයෙන් පසුව මෙබඳු ප්‍රහාර තොග වශයෙන් එල්ල වී තිබේ. සෑම වර්ණයකටම අයත් දේශපාලන පක්ෂ සාමාජිකයෝ විටෙක ප්‍රහාරකයා බවටත්, තවත් විටෙක වින්දිතයා බවටත් පත් වෙති.

ප්‍රචණ්ඩත්වය යනු මැතිවරණයේ නිවුන් සෙහොයුරා බවට හඳුනා ගැනෙන්නේ එහෙයිනි. ජයග්‍රහණය ලැබීමේ මාවතත්, ජයග්‍රහණය සැමරීමේ මාදිලියත් ප්‍රතිවාදියාගේ ඇඟ මස උදුරා ගැනීම යැයි තක්කඩියෝ සිතති. වීරඹුගෙදර ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ එම අශිෂ්ට මාදිලියම සුන්දර විලාසිතාවක් ලෙස පිළිගන්නා නටබුන් තවමත් තිබෙන බවය.

අවධාරණය කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, රට මේ වැටී ඇති ප්‍රපාතයට හේතුව මෙරට තක්කඩි හා මැර දේශපාලනයම බවය. ඔවුන්ට මේ රටට කිරීමට තවත් විනාශයක් ඉතිරිව නැත. එහෙයින් දැන්වත් මෙම පාදඩ ක්‍රමයෙන් ගොඩට යුතුය. නොඑසේ නම්, අහම්බෙන් හෝ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටින මෙරට ජනයාට ඉදිරියේදීත් හමුවනු ඇත්තේ පරාජය හා විනාශයම පමණි.

 



අදහස් (0)

ප්‍රතිපක්ෂ මත ප්‍රකාශ අයිතිය මර්දනයට කාටවත් අයිතියක් නෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1332 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7971 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 463 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 852 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 872 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37957 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site