IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

‘‘තමන්ගේ ජීවිතයේ වටිනාකම පිළිබඳ අදහසක් නැති සමාජයක්, අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක් අනෙකා ගැන කල්පනා කරන්නේ නැති සමාජයක් බිහිවී තිබෙනවා. ඒ නිසා මේ සමාජය සුවපත්  කළ යුතුයි.’’ ඔහුගේ මෙම සමාජ විවරණයට හෝ ඔහු කරන යෝජනාවට හෝ විරුද්ධවිය හැකි කිසිවකු සිටිනු ඇතැයි කිව නොහැකිය.

ඔහුගේ සමාජ විවිරණය අනුව එම යෝජනාවට එරෙහි විය හැකි අති විශාල පිරිසක් සිටිය යුතුය. අනෙකාගේ ජීවිතය පිළිබඳ සහ කම්පනයක් නැති සමාජයක මේ සමාජය සුවපත් කළ යුතු යැයි සිතන පිරිස අනිවාර්‌යයෙන්ම ඉතා සුළු පිරිසක් විය යුතුය.

සමහර විට නිරපේක්ෂ වශයෙන් ගත් විට ජනාධිපතිවරයාගේ සමාජ විවරණයට හා සමාජය සුවපත් කළ යුතුය යන යෝජනාවට රටේ සෑම කෙනකුම එකඟ විය හැකිය. එහෙත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී තමන් ද කැප කිරීමක් කළ යුතු යැයි පෙනෙන විට ඔවුන් ඊට එකඟ වන්නට පසුබාන්නට ඉඩ තිබේ.

එය පොදු ප්‍රවාහනය තුළ, විශේෂයෙන්ම බස් ප්‍රවාහන සේවය තුළ මේ දිනවල මතුවී ඇති ගැටලුවෙන් පෙනේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පැහැදිලි කිරීමේ දී ආරම්භයේදීම තමාගේ හා අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක්’’ පිළිබඳව ජනාධිපතිවරයා කතා කරන්නේ දියේ ගිලී හා මාර්ග අනතුරුවලින් වාර්ෂිකව මියයන අති විශාල පිරිසක් ගැන සඳහන් කිරීමෙන්  පසුවය. ඒ නිසාදෝ පොලිසිය පසුගිය දිනවල බස් රථවල අලංකාරය පිණිස යැයි කියමින් සවිකර ඇති හා එල්ලා ඇති විවිධාකාර රූප හා අනතුරුවල අත වනන උපාංග ඉවත් කිරීමට කටයුතු කළේය. එය කොතෙක් දුරට සමාජය විසින් පිළිගනු ලැබ ඇත්ද යන්න විවිධ රටවල බස් සේවය හා මෙරට බස් සේවය සංසන්දනය කරමින් සමාජ මාධ්‍යවල පළවී ඇති සිය ගණනක් වූ සටහන් වලින් පෙනේ.

අනෙක් අතට අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති බව ඔප්පු කරන්නට මෙන් පෞද්ගලික බස් කර්මාන්තයේ නියැළී සිටින පිරිසක් ඊට විරෝධය දක්වනු පෙනේ. පානදුර ප්‍රදේශයේ දී බස් රථයක සේවකයෝ දෙදෙනා පොලීසියට විරෝධය පාමින් බස් රථයේ සිටි මඟින් එතැනම බස්සවා රථය හරවා ගෙන ගියහ. එපමණක් නොව බස් හිමියන්ගේ සංගමයක් වර්ජනයක් ද කරන්නට සූදානම් විය.

දුර ගමන් සේවා බස් රථවල රියදුරන් මාර්ග නීති කඩ කිරීම ගැන සොයා බලන්නට පොලීසිය ඔත්තුකරුවන් යොදවා තිබිණි. එක් බස් රථයක රියදුරකු එවැනි ගමනක දී ස්ථාන අටක දී මාර්ග නීති කඩකොට ඇති බව එම බස් රථයේ පැමිණි පොලිස් ඔත්තුකරුවා ඔහුට  තේරුම් කර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවලින් දැක ගත හැකිවිය. මෙසේ ඔත්තුකරුවන් යෙදවීම සම්බන්ධයෙන් බස්රථ හිමියෝ ප්‍රසිද්ධියේ විරෝධය පෑහ.

අවසානයේ දී බස්රථ හිමියන් හා වැඩබලන පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාස තුනක දී මෙම අනතුරුදායක හා මගීන්ට හිරිහැර වන උපාංග ගලවන්නට පොලිස්පතිවරයා එකඟ වීමෙන් පසු බස්රථ හිමියෝ ඉකුත් 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කරන්නට සිටි වර්ජනය අත්හැර දැමූහ. ඉන්පසු බස්රථවල සේවකයෝ මාර්ග නීති අනුගමනය කළ යුතු යැයි ජනමාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ.

තම සේවකයන් මාර්ග නීති කඩ කරන බව බස්රථ හිමියන් පිළිගන්නේ නම් එසේම බස් රථවල අනතුරුවලට අත වනන උපාංග ඇති බව ඔවුන් පිළිගන්නේ නම් ඔවුන් වර්ජනය කරන්නට සැරසුණේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. එසේම අනතුරුදායක උපාංග ගලවන්නට මාස තුනක් කුමකට ද යන්න ද තවත් ප්‍රශ්නයකි.

සමහරවිට මෙය පොලීසිය රැවටීමට බස්රථ හිමියන් පැමිණි එකඟතාවක් විය හැකිය. ඒ බව පොලීසිය ද දන්නවා විය හැකිය. අලුත් ආණ්ඩුව බස් වර්ජනයක් මගින් අසීරුවට පත්වීම වළක්වා ගන්නට පොලිසිය ද මෙම මාස තුනේ කාල සීමාවට එකඟ වූවා විය හැකිය. එසේම ඔත්තුකරුවන් යෙදවීම සෑමදාම කළ හැකි දෙයක් ද නොවේ. අවසානයේ දී මෙතැනින්ම මෙම කටයුත්ත පොලීසියටත්, ජනතාවටත් ආණ්ඩුවටත් අමතක වී මාස තුනකට පසුද මෙම උපාංග මේ අයුරින්ම බස් රථවල තිබෙන්නට ඉඩ තිබේ.

‘‘අනෙකා ගැන කල්පනා නොකරන’’ පිරිසක් සිටින්නේ බස්රථ කර්මාන්තය තුළ පමණක් නොවේ. සෑම ක්ෂේත්‍රයකම තත්වය මෙයයි. රජයේ කාර්යාලයකට හෝ රෝහලකට හෝ යන්නන්ගෙන් අති බහුතරය ඉන් පිටවන්නේ දැඩි කලකිරීමෙනි. කෝපයෙනි. එම ස්ථානවල සේවය කරන සියල්ලන් නොවුවද බොහෝ දෙනකු ‘‘අනෙකා ගැන කල්පනා නොකිරීම’’ හා තම වගකීම වටහා නොගැනීම මේ තත්වයට හේතුවයි. එසේම රජයේ කාර්යාලවල සුළු පිරිසක් හැර අති බහුතරයක් දෙනා යමක් කරවා ගන්නට තමන් වෙත පැමිණෙන්නේ කරදරකාරයන් යැයි සිතන සාම්ප්‍රදායික මානසිකත්වයෙන් සිටීම ද මෙයට තවත් ප්‍රබල හේතුවකි.

එසේ නම් ක්ලීන් ශ්‍රී ලංකා නමින් පොලීසිය පමණක් බස්රථවල උපාංග ගැලවීමට පමණක් උනන්දු වූයේ මන්ද? වෙනත් කිසිදු ක්ෂේත්‍රයක ක්ලීන් ශ්‍රී ලංකා නමින් යමක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. වෙනෙකක් තබා ක්ලීන් ශ්‍රී ලංකා යන නමට ඉතා හොඳට ගැළපෙන කුණු කසළ බැහැර කිරීම විධිමත් කිරීමට විශේෂයෙන් පළාත් පාලන ආයතන යමක් කරන බවක් පෙනෙන්නේ නැත.

කෙසේ වෙතත් බස් රථවලින් හෝ මෙම වැඩ සටහන ආරම්භ වීම හොඳ තත්වයකි. සමහරවිට මෑතක දී මාරාන්තික රිය අනතුරු ගණනාවක් ද සිදුවීම නිසා පොලීසිය මෙසේ ක්‍රියාත්මක වූවාද විය හැකිය.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය භාවිතයට ගැනීම අපාගතවීමට සමානය. දුම්රිය සේවය වුවද බස් සේවය වුවද පාලනය කරන නීති නැති තරම්ය. එසේ වන්නේ නීති නැති  නිසාම නොව ඒවා ක්‍රියාත්මක නොවීම නිසාය. පොලීසිය බස් රථයේ අනවශ්‍ය උපාංග ගළවන්නට කී නිසා පානදුර කෙසෙල්වත්තේ දී බස්රථ සේවකයන් පසුගියදා මගීන් මහමග බස්වා යන්නට ගියේ තමන් පාලනය කරන්නට නීති නැතැයි යන හැඟීම නිසාය.

බස් රථයක්  අනවශ්‍ය ලෙස ප්‍රමාද වන්නේ නම් අධික වේගයෙන් ධාවනය කෙරේ නම් කොන්දොස්තරවරයා ටිකට්පත් නිකුත් නොකරන්නේ නම් රියදුරා බස්රථය අනතුරුදායක ලෙස පදවන්නේ නම් තමන්ට දැනුම් දෙන්නැයි උපදෙස් දෙමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සෑම බස් රථයකම පාහේ තමන්ගේ දුරකතන අංක දෙකක් සහිත දැන්වීමක් ප්‍රදර්ශනයට තබා ඇත. එහෙත් දුර ගමන් සේවා බස්රථ හැර කිසිදු පෞද්ගලික බස්රථයක තවමත් ටිකට් නිකුත් කරන්නේ නැත. බොහෝ බස්රථ ගමනෙන්  භාගයකට වැඩි දුරක් යන්නේ සෑම බස්රථ නැවතුමකම පාහේ ‘‘කොට කොටාය’’ ඇතැම් නැවතුම්වල විනාඩි දහයක් පමණ  ‘‘කොටන’’අවස්ථා ද තිබේ. ගමනේ අවසාන කොටස ධාවනය කිරීම වෙනුවට බස් රථය පියාසර කරයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැන්වීම් ප්‍රදර්ශනය කළ ද කිසිදු මඟියෙක් මේ සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි කරන බවක් නම් පෙනෙන්නේ නැත. නැත්නම් පැමිණිලි කළද එම අධිකාරිය ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක්ද පෙනෙන්නේ නැත. එහෙයින්දෝ මගීහු ද ඒ සියල්ල ඉවසා ගෙන යති. අසාමාන්‍ය ප්‍රමාදයකට, අසාමාන්‍ය වේගයකට, ටිකට්පත් නිකුත් නොකිරීමට, කන්අඩි පැළෙන තරම් ශබ්දයෙන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ ඉතිරි මුදල් අඩුවෙන් දීමට හෝ යම් මගියකු විරෝධය පළ කළහොත් ඔහුට  කොන්දොස්තරගෙන් ලැබෙන උපදෙස් වන්නේ බසයෙන් බැස වෙනත් ක්‍රමයකට යන ගමන යන ලෙසය. මගීන් බලධාරීන්ට මේවා පැමිණිලි නොකරන්නේ ඉන් කිසිදු පලක් නැති බව දන්නා නිසාය.

බස් රථවල සෑමදාම සිදුවන මේවා කලාතුරකින් හෝ ඉතා සුළුවෙන් හෝ වෙනස් වන්නේ ‘‘චණ්ඩියකු’’ බස් රථයකට නැංග විට පමණි. මේවා බස් රථ දහස් ගණනක දිනපතාම පාහේ සිදු වන්නේ ජනාධිපතිවරයා පවසන පරිදි ‘‘අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති නිසාය. මේ තත්වය දිනපතාම තනි තනිව පවුල්වලට හා පොදුවේ රටට අහිමි වන මිනිස් පැය ගණන මිලියන ගණනකි. මේවා වෙනස් විය යුතුය.

දියුණු රටවල මෙන් නැවතුමෙන් නැවතුමට නියමිත වේලාවට ධාවනය කෙරෙන, පිරිසුදු බස්රථ යොදා ඇති සෑම මගියකුටම ආසනයක් සහතික කරන කොන්දොස්තර සමග දබර කර ගන්නේ නැති තාක්ෂණික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් ඇති ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඇති  බස් හා දුම්රිය සේවයක් ඇත්නම් කොතරම් හොඳද? මෙම අවශ්‍යතා වලින් ඇතැම් ඒවා ඉටු කිරීමට මුදල් වියදම් කළ යුතුය. අනෙක් ඒවා ඉටු කරන්නට අවශ්‍ය වන්නේ ‘‘අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයකි.’’

එහෙත් අනතුරුදායක  උපාංග ගැලවීමට මෙතරම් විරෝධයක් එල්ල වූයේ නම් ‘‘කොට කොටා’’ යාම හා ටිකට් දීම යන කාරණාවලදී බලධාරීන් තදින් ක්‍රියා කළහොත් කොතරම් ප්‍රබල විරෝධයක් එල්ල වනු ඇත්ද? එසේම ජනතාව දෙස මිත්‍රශීලි ආකල්පයකින් බලන රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී ද මෙවැනිම විරෝධයක් අපේක්ෂා කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් තම සාමාජිකයන් තුළ අයිතිවාසිකම් පිළිබඳව පමණක් නොව වගකීම් හා යුතුකම් පිළිබඳව ද හැඟීමක් ගොඩනගා තිබුණේ නම් මේ කටයුත්ත පහසු වන්නට ඉඩ තිබිණි. ජවිපෙ නායකයන්ද බලයට පත්වන්නට පෙර මේ ගැන සිතූ බවක් දක්නට තිබුණේ නැත.

මෙහි ඇති හාස්‍යජනක මෙන්ම ආතාර්කික කරුණ වන්නේ තමන්  අනෙකාගෙන් සේවයක් අපේක්ෂා කරන විට සහකම්පනයක් අපේක්ෂා කරන වැඩි දෙනකු අනෙකාට සේවයක් කරන්නට තමන්ට සිදු වූ විට ඒ අනෙකා පිළිබඳ සහකම්පනයක් ඇතිව කටයුතු නොකිරීමයි.

ඒ අනුව එක් තැනෙක ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන ක්‍රියාත්මක වන විට එතැන සිටිනවුන් ඊට විරුද්ධ වන්නටත් අනෙක් සෑම තැනෙකම සිටිනවුන් ඊට පක්ෂ වන්නටත් ඉඩ තිබේ. ඒ අනෙක් සෑම තැනකටම මෙම වැඩසටහන යනවිට ඒ එක් එක් තැන්වල සිටිනවුන් ඊට විරුද්ධ වන්නටත් අනෙක් තැන්වල සිටිනවුන් ඊට පක්ෂ වන්නටත් ඉඩ තිබේ. අවසානයේදී මෙම වැඩසටහන සාර්ථක වුවද ආණ්ඩුව සතුරන් වැඩිකර ගෙන සිටිනු ඇත්ද මිතුරන් වැඩි කරගෙන සිටිනු ඇත්ද යන්න දැන්ම අනුමාන කළ නොහැකි දෙයකි.

සුළු පිරිසක් හැර කිසිදු තැනෙක නිලධාරීන් හෝ සේවකයන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තමන්ට පැවරෙන වගකීම ඉටු කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ඊට ඔවුන් පොළඹවා ගත යුතු වනු ඇත්තේ නීති කොන්දේසි, දඬුවම් මෙන්ම දිරිගැන්වීමේ උපක්‍රම ආදිය මඟිනි. මෙය සුමට ක්‍රියාවලියක් නොවනු ඇත.

 

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා

Kamal Koyrala Sunday, 19 January 2025 03:32 PM

මේවට විග්‍රහ කරන්න ඕන 2500ක ඉතිහාසයක් ඇති ඔවුන්ගේ ජාතකේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 54 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1092 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 606 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 508 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 158 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 741 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 139 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site