IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. එවැනි බොහොමයක් කතා නොකෙරෙන දීගයක් ගැන සිදුකෙරෙන මත ප්‍රකාශවලින් එහාට යන්නේ නැත. මේ සම්බන්ධයෙන් අලුත්ම කතාබහ ඇතිවූයේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවැති ශ්‍රීලනිප පළාත් මට්ටමේ සංවිධායකවරුන්ගේ රැස්වීමේදීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවය. දැනට ද පළාත් සභා 06ක කටයුතු මේ හේතුවෙන් අක්‍රිය වී තිබෙන බව ද එය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර තත්ත්වයක් නොවන බව ද ජනාධිපතිවරයා කියා තිබිණි.

මේ කතාව ඇත්තකි. පළාත් සභා ඡන්දය ඔන්න තිබ්බා.. මෙන්න තිබ්බා තරමට කතා සිද්ධ වුණත් වැඩේ නම් තාම කෙරුණේ නැත. ඡන්දය තැබීමට පියවර ගත යුත්තේ ආණ්ඩුව විසිනි. පළාත් සභා ඡන්දය නොපවත්වන බවක් ඔවුන් කිසිසේත් කියන්නේ නැත. මාධ්‍ය සාකච්ඡාවක් තැබුවොත්, පාර්ලිමේන්තුවේදී විමසීමක් කළොත්, ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. එහෙත් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කිසිවක් කෙරෙන පාටක් නැත. පසුගිය වසරේ පැවැත්විය යුතු පළාත් සභා ඡන්ද තවමත් නොපැවැත්වෙන්නේ එසේ අවශ්‍ය කටයුතු නොකෙරෙන බැවිනි.

මේ අතර මැතිවරණ කොමිසම ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කිසිදු අවකාශයක් නොමැති බවයි. ඡන්දයට හරස් වන බව කියන නීතිමය බාධක දැන්ම ඉවත් කළත් එවැනි කාලයක් ගතවන බව කොමිසමේ සභාපතිවරයා කියා තිබිණි. මේ වනවිට ද කාලය ඉකුත් වී තිබෙන වයඹ, මධ්‍යම, උතුරුමැද, උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා පවතින්නේ අක්‍රීය මට්ටමේය. මේ පළාත්වල අත්‍යවශ්‍ය කටයුතු නිලධාරීන්ගේ මට්ටමින් පවත්වාගෙන ගියත් මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෝ නොවෙති. එහිදී වඩාත්ම අසාධාරණයට ලක්වන්නෝ ඒ ඒ පළාත් සභාවල ඡන්දදායකයෝය. තමන්ට කැමැති පාලනයක් පළාත් සභාවලට පත්කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී ගොසිනි.

කල් පසුවෙන පළාත් සභා ඡන්දය පවත්වා ගැනීමට බාධා පමුණුවන නීතිමය බාධක ඉවත් කරගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමඟ පසුගියදා සාකච්ඡාවක් ද කැඳවා තිබිණි. ඉන් පසුව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය කැඳවීමේදී කොමිසම මුහුණදෙන බාධාව වී ඇත්තේ නව බලප්‍රදේශ සලකුණු කෙරෙන සීමා නිර්ණය කටයුතු තවම අවසන් නොවීම බවයි. මෑතකදී හඳුන්වා දුන් මිශ්‍ර ඡන්ද ක්‍රමය සඳහා සීමා නිර්ණය කටයුතු අවසන් වී තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් තවමත් සිදුනොවී ඇත්තේ ද එයම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මැතිවරණය පවත්වා ගැනීමට සියලු දේශපාලන පක්ෂවලට සැබෑ වුවමනාවක් ඇත්නම් කළ යුත්තේ පළාත් සභා ඡන්දය පැරැණි මනාප ඡන්ද ක්‍රමයට පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවෙන් යෝජනා සම්මතයක් ගෙන ඒමය. එවිට පැරැණි ක්‍රමයට හෝ ඡන්දය පවත්වා ගැනීමට හැකිවනු ඇත. කොහොම බැලුවත් පෙනී යන්නේ පළාත් සභා ඡන්ද පවත්වනවාට වඩා නොපවත්වා සිටීමට ප්‍රබල උත්සාහයක් දරමින් පවතින බවය.

එසේම ජනාධිපතිවරයා තම සාකච්ඡාවේදී පෙන්වා දී තිබුණේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂිත අරමුණුවලට පටහැනි බවය. මේ නිසා ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. එම කරුණු සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් එසේ එකඟ විය නොහැකි කරුණු කිහිපයක් ද තිබෙන බවත් මෙහිදී සඳහන් කරමු.

සීමා නිර්ණය කමිටු වාර්තාවේ ප්‍රමාදය පළාත් සභා ඡන්දය පැවැත්වීමට හරස් වන බව ජනාධිපතිවරයා ඇතුළු රටේ පාලක පන්තිය හදිසියේ දැනගත් තත්ත්වයක් නොවේ. පළාත් පාලන ඡන්දය දවසින් දවස, මාසයෙන් මාසය පමණක් නොව වසර දෙකක්ම යනතුරු ප්‍රමාද වූයේ ද සීමා නිර්ණය වාර්තාවේ අඩුලුහුඬුකම් හේතුවෙන් බව පුන පුනා ඒ දවස්වල කියනු මුළු රටම අසා සිටියේය. අවසානයේ පළාත් පාලන ඡන්ද නොපවත්වා බැරි තැනට තල්ලු වූ විට එය පවත්වා සෑහෙන කට්ටක් කෑමට ආණ්ඩුවට සිදුවූ බව ද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමු. ඊළඟට එන්නේ පළාත් සභා ඡන්දය බව ඒ වනවිට ද රටේ ජනතාව දැන සිටියහ. එය ආණ්ඩුව නොදැන සිටීමට හේතුවක් නැත. එහෙත් පළාත් පාලන ඡන්දය කල්දැමීමට සිදුවූ සීමා නිර්ණය බාධාව පළාත් සභා ඡන්දවලට පෙර ඉවත් කරගැනීමට ආණ්ඩුව කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. ඔක්තෝබර් 26 වැනිදායින් පසුව එවැන්නක් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාවක් නොතිබුණ ද ඊට පෙර එය නිරාකරණය කිරීමට අවශ්‍ය තරම් කාලය තිබූ බව අපගේ වැටහීමය. පළාත් සභා ඡන්දය කලට වෙලාවට තබාගත නොහැකි වී තිබෙන්නේ එහි එක් ප්‍රතිවිපාකයක් වශයෙනි.

පළාත් සභා ඡන්දය තවදුරටත් ප්‍රමාද නොකර වහාම පැවැත්වීමට කටයුතු කරන්නැයි ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු. එසේම පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු දින වකවානු බලයේ සිටින පක්ෂයේ ඕනෑ එපාකම් අනුව එහෙ මෙහෙ යැවිය හැකි පාපන්දුවක් බවට පත් නොකර නිශ්චිත දිනයක ඡන්දය පැවැත්වීම නීතිගත කරන්නැයි ද ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.



අදහස් (0)

පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 629 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1131 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1065 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 206 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 141 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1030 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20325 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18075 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site