IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බලශක්ති අර්බුදයට විසඳුමක්

බලශක්ති හා ඉන්ධන හිඟය නිසා මුළු රටම සම්පූර්ණයෙන්ම අඩාල වූවේය. රටේ පුරවැසියන් වන අපි දිගු පෝලිම්වල කොටුවී සිටිමු. සමාජීය ක්‍රියාකාරකම්, ආර්ථික කටයුතු, ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ ඇතුළු සෑම අංශයක්ම නිශ්චල වී ඇත. අගමැතිවරයා ජුනි 7 දින පාර්ලිමේන්තුව අමතමින් ඉදිරි මාස 6 තුළ ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3300ක් ද ගෑස් ආනයනය සඳහා අ.ඩො. මි. 250ක් ද සොයා ගත යුතු බවත් පවත්නා තත්ත්වයෙන් ගොඩ ඒමට අපේ සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද සොයා ගත යුතු බවත් පැවසීය. අප දැනට පවත්වාගෙන යන අතිසුඛෝපභෝගි ඉන්ධන හා බලශක්ති පරිහරණ රටාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය ණයට ගැනීමට අවශ්‍ය නව ක්‍රමවේදයක් ඔහුගේ කතාව පුරාම දක්නට ඇත.

 

භූගත පොසිල ඉන්ධනවලින් ජෛව ඉන්ධන කරා

ප්‍රවාහනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත සහ විදුලිය ජනනය කිරීම සඳහා සෑම අංශයක්ම ඉන්ධන පාවිච්චි කරයි. ඛනිජ තෙල් බලධාරීන් පවසන අන්දමට ප්‍රවාහන අංශය පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය මෙන් සිව් ගුණයක ඉන්ධන විදුලිය ජනනය සඳහා ගිල දමයි. වසර පුරා ලැබෙන සූර්යාලෝකයෙන් ද ප්‍රමාණවත් වර්ෂා ජලයෙන් ද රට හරහා හමා යන සුළඟින් ද අනෙකුත් ජෛව ද්‍රව්‍යවලින්ද සමන්විත ස්වභාව ධර්මයා විසින් ආශිර්වාද ලද මුළු සිරිලකට උරුම කර දී ඇති නව ක්‍රමවේද පිළිබඳව ජෛව බලශක්ති සංගමයේ පරාක්‍රම ජයසිංහ, ජෝශප් වැනි වියත්හු අපට හඬ ගා කියති.

ජල විදුලිය ඉවතලන කෘෂි හා ගෘහ අපද්‍රව්‍ය, සූර්ය බලය, සුළඟ හරහා දේශීය පුනර්ජනනීය බලශක්තිය උපදවා ගත හැකි ක්‍රමවේදයක් ගැන ඔවුහු හඬ නගති. 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ සමඟ එක්ව “2050 වර්ෂය වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් සියයට 100 විදුලිය නිෂ්පාදනය කිරීම” යන මැයෙන් පළකර ඇති වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ (ශ්‍රීලංවීම) පුස්කමින් තිබෙන බවට අනුමානයක් නැත. තමාගේ හුරු පුරුදු රටාවේ වෙනසකට මෙන් මෙම වාර්තාවේ පිටු කීපයක් පෙරළා බලන ලෙසට ශ්‍රීලංවීම ඉහළ නිලධාරීන්ට හා ඉංජිනේරුවන්ට වත්මන් ජනාධිපතිවරයාට උපදෙස් දීමට හැකියාව ඇත. සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත වුවමනාවන් සංතර්පනය කරන ආකාරය අපට උගන්වන විද්‍යාව, ආර්ථික විද්‍යාවයි.

ජලය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනවලට අනුයුක්ත උගතුන් ද අප මෙන් රටේ අවුරුද්ද පුරා ලංකාවට ලැබෙන වර්ෂා ප්‍රමාණය හා රටාව ගැන උගන්වන භූගෝල විද්‍යා පාඩම හදාරා ඇත. මීට අමතරව වැඩිහිටියන් ලෙස ලංකාවට වර්ෂා ජලය ඇදහැලෙන කාලය හා ආකාරය අපි අත්දැකීමෙන් දන්නෙමු. අපේ ලංකාවේ ඇති ප්‍රශ්නය ජලය හිඟකම නොවේ. ජල පාලන කළමනාකරණයක් නොමැතිවීමය. ජල කළමනාකරණය අපට ආගන්තුක විෂයක් වේ. අපි තරම් ඉතිහාසයේ ජීවත් වන වෙනත් රටක් ලෝකයේ නැත. මහා පරාක්‍රමබාහු රජ විසින් වාරිමාර්ග ක්ෂේත්‍රයේ කරන ලද ඉංජිනේරු හාස්කම් පිළිබඳ අප කතා කරනවා පමණකි.

වාරිමාර්ග, මහවැලි, ජල මණ්ඩල, විදුලි මණ්ඩල යන ආයතනවල සේවය කරන උගතුන්, වියතුන්, විශේෂඥයන් ආදීහු පහත් බිම්වල වෙසෙන පවුල් සහ ඔවුන්ගේ වතුපිටි සම්පත් විනාශ කරමින් වැසි ජලය දෙගොඩ තලා මුහුද කරා යාමට ඉඩ දී බලා සිටිති. අපේ අසීමිත වුවමනාවන් සංතර්පනය කිරීම සඳහා අපිරිසුදු ඉන්ධන ආනයන කරන්නෙමු. ඉවතලන කුණු කසළ, අබලි ද්‍රව්‍ය දකිනා විට ඇස්, කන් හා නාසය වසාගන්නා අපි අපද්‍රව්‍යවලින් පිරි ඉන්ධන දකින විට සතුටින් ඉපිළ යන්නෙමු.

 

ජනතාව සේවය ළඟට වෙනුවට සේවය ජනතාව වෙතට

“අපේ අරමුණ කරදරයකින් තොර කඩිසර කාර්යක්ෂම සේවාවක් තම ජීවිතය පුරාම ජනතාවට ලබාගැනීමට හැකියාව ලබාදීමය.” මේ එවකට අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසූ වදනකි. දිස්ත්‍රික්ක 25 පුරාම ජීවත් වන ජනතාව දිනපතා මෙම කාර්යක්ෂම සේවාව ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කය කරා පැමිණෙන බව එවකට අගමැතිවරයා නොදන්නවා විය හැකිය. සෑහෙන පිරිසක් පෙරදින පටන් සිට තම විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීමට නිරාහාරව බත්තරමුල්ලට ළඟා වෙති. තවත් පිරිසක් තම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට වේරහැර පොර කති. තමන්ගේ සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ අරමුදල ලබා ගැනීමට නාරාහේන්පිට සැරි සරති. රජයේ විශ්‍රාමික සේවකයන් තම විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අත්සන යෙදීමට මාලිගාවත්තේය. මේ සියල්ලෝම එක්කෝ තමාගේම වාහනයකින් නැත්නම් කුලියට ගත් වාහනයකින් එසේත් නැතිනම් පොදු වාහනයකින් කොළඹ දිස්ත්‍රික්කයේ තැන් තැන් වලට පැමිණෙති. මේ වාහන නගරයේ තැන් තැන්වල හිර වී වාහන තදබදයක් ඇති කරයි. වැඩි දෙනකු පැමිණෙන්නේ එක් එක් වයසේ තම දරුවන් සමඟ පවුල පිටින්ය. මේ ඛේදජනක දර්ශනයට අමතරව, පිටරටින් ආනයන කළ භූගත (පොසිල) ඉන්ධන යොදා නිමැවුණු ඉන්ධන හා බලශක්තිය විශාල ප්‍රමාණයක් මෙමගින් වැය වේ.

මේ සියලුම ජනතාව ජීවත් වන්නේද අයත් වන්නේ ද දිස්ත්‍රික්ක 25න් එකකට පමණකි. මොවුන්ට අදාළ තොරතුරු ද ලියකියවිලි ද ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළය. ඒවා සහතික කරන්නේ ඒ දිස්ත්‍රික්කයේ සේවය කරන නිලධාරීන්ය. තොරතුරුවලින්, දත්තවලින් උපකරණ, පරිගණක දත්ත ජාලාවලින් හා සම්පත්වලින් සැදුම් ලත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනවල ශාඛා මේ සෑම දිස්ත්‍රික්කයක් තුළම පිහිටුවා ඇත. එවන් දිස්ත්‍රික්කයක සිටින සෑම පුද්ගලයෙක්ම කාර්යක්ෂම සේවය ලබා ගැනීමට තමන් සතු ලියකියවිලි රැගෙන කොළඹ දිස්ත්‍රික්කයට පැමිණිය යුතුය.

ඇයි ඒ ? ඔවුන් සතු ලියකියවිලි දිස්ත්‍රික්කයේය. එසේ කොළඹින් පිට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව කොළඹට ගෙන්වනවාට වඩා සේවාව ජනතාව කරා ගෙන යාමට ජනාධිපතිවරයා පාවිච්චි කළ යුත්තේ එක් පෑන් පහරක් පමණි. විදේශීය ආධාර ලබා ගැනීමට යොදන කාලයෙන් මිනිත්තු කීපයක් කැප කරන්නේ නම් ජනතාව විඳින දුක් ගැහැට අඩුකරලීමට හැකිවෙයි. ජනතාව වැය කරන බලශක්තිය, ශ්‍රමය, කාලය ඉතිරි කර ගත හැකිය. ජනාධිපතිවරයාට එක ගලකින් කපුටන් (සමාවන්න කුරුල්ලන්) රැසකට දමා ගැසීමට හැකි වනු ඇත.

 

පෞද්ගලික ප්‍රවාහනයෙන් පොදු ප්‍රවාහනයට

පසුගිය දශක 4කට වැඩි කාලයක් තුළ මහ මඟ වේගයෙන් දුවන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සිය ගුණයකින් වැඩි වී ඇත. ඔවුන් මඟ මරුවා නමින් විරුදාවලියක් ද ලබාගෙන ඇත. පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව, පහසුව, සේවාව ශීඝ්‍රයෙන් පහළට වැටී ඇත. බස් රථ පිරී ඉතිරී යයි. එහෙත් පාර පුරා වේගයෙන් දිව යන නූතන මාදිලියේ පෞද්ගලික මෝටර් රථ බොහොමයක් තුළ ගමන් කරන්නේ තනි පුද්ගලයකු පමණි. බස් රථ සමඟ සසඳා බලන විට පෞද්ගලික තනි වාහනයක් පාවිච්චි කරන ඉන්ධන ප්‍රමාණය ද මහ පාරේ යට කරන බිම් ප්‍රමාණයද අතිමහත් ය. මේ තනි වාහනවලින් සෑහෙන ප්‍රමාණයක් ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ට අනුයුක්ත කර ඇති වාහන ය. ඒවාට ඉන්ධන, රියදුරන්, නඩත්තු කටයුතු, අලුත්වැඩියාව, අමතර කොටස් සියල්ල මහජන සල්ලිවලින් ආණ්ඩුව සපයයි. මේ ආකාරයට වාහන අනුයුක්ත නොකොට රජයේ නිලධාරීන්ට ආකර්ෂණීය මාසික දීමනාවක් ගමන් වියදම් ලෙස ලබාදිය හැකි ය. එවිට රජයේ නිලධාරීන් පොදු ප්‍රවාහනයෙන් හෝ මිතුරන්, පවුලේ සාමාජිකයන් සමඟ එකම වාහනයකින් හෝ එසේත් නැතිනම් බයිසිකල්වලින් හෝ තම දෙපාවාරුවෙන් කන්තෝරුවට පැමිණෙනු ඇත. මෙම වාහන රජයේ නිලධාරීන්ට හෝ වෙනත් රජයේ ආයතනවලට හෝ සහන මිලකට විකිණිය හැකිය. මේවා අලුත් දේවල් නොවේ. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රම පාවිච්චි කරයි. පොදු ප්‍රවාහනය දියුණු කොට එමගින් කන්තෝරුව කරා යා හැකි ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය. හොඳ කළමනාකරණයක් හා මනා සුපරික්ෂාකාරිත්වයකින් යුක්තව සැළසුම් කළහොත් පොදු ප්‍රවාහන ජාලය විවිධාංගීකරණය කොට කාර්යක්ෂමතාව වැඩි දියුණු කොට සෑම ජන කොටසක්ම ආදරය කරන සේවාවක් බවට පත් කිරීම දුෂ්කර නොවේ. වැඩි ඈතක ද නොවේ.

අතිවිශාල වියදමක් දරා සියලු අංගෝපාංගවල හා උපකරණවලින් ද දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ග හා සේවකයන් රැසකින් ද සමන්විත දුම්රිය සේවාවක් අප රටට බ්‍රිතාන්‍යයන් විසින් උරුම කරනු ලැබ ඇත. මේ සේවාව උපරිම මට්ටමේ තබා කිසිම මට්ටමකින් පාවිච්චි කරනවාද කියා දුම්රිය සේවකයෝවත් නොදනිති. නගරබද කාර්යාලවල සේවය කරන රජයේ සේවකයන් කීපදෙනකුට හා වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ගමන් කරන සේවකයන් කීපදෙනකුට පමණක් සේවය කරනවාට වඩා දුම්රිය සේවාව හරහා ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය සඳහා මෙන්ම සුඛෝපභෝගී දුර ගමන් සඳහා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව පුළුල් කිරීමට ඇති ඉඩකඩ අප්‍රමාණ ය. දුම්රිය සේවා මගීන් විශාල ප්‍රමාණයකට ගමන් කිරීමට මෙන්ම ගැලුම් ගණන් ඉන්ධන ගිලින හෙලිකොප්ටර් හා ගුවන්යානා වෙනුවට පාවිච්චි කළ හැකිය.

දැනටමත් රටේ ඇති දැනුම හ විශේෂඥ ඥානය ප්‍රයෝජනයට ගෙන, අප නිල චාරිකා සඳහා පිටරට ගොස් සාප්පු සවාරි යන අතරේ දැක ඇති දෙයින්ද ආයතන අතර මනා සංවිධානයක් හා සම්බන්ධීකරණයක් ගොඩනැගීමෙන්ද විශ්වාසයෙන්ද පහසුවෙන්ද කාර්යක්ෂමතාවෙන් ද යුක්ත පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැගීමෙන් මහ මග දිවෙන පෞද්ගලික තනි වාහන භාවිතය අඩු කර ගැනීමට හැකි වේ. අප පරම්පරා ගණනාවක් ණයට උගස් කර ණය ගෙන …ආනයනය කරන ඉන්ධන ප්‍රමාණයට වඩා ඉන්ධන විශාල ප්‍රමාණයක් මේ මගින් ඉතිරි කර ගත හැකි වනු නොඅනුමානය.

 

රැස්වීම් මාර්ගගතව පැවැත්වීම (Online)

අප රැස්වීම්වලට සහභාගිවීමට මහත් රුචියක් දක්වන ජාතියකි. රාජ්‍ය සේවයේ සිටින අපි ආණ්ඩුව මහජන මුදලින් අප වෙත අනුයුක්ත කර ඇති වාහනවල නැගී බුරුතු පිටින් රැස්වීම්වලට යන්නෙමු. එම රැස්වීම්වලට වී ආගිය මුලගිය තැන් කථා කර සීනි තොගයක් දමා සැදුණු තේ කෝප්පයක රස බැලීමට පමණක් දෙතොල් සොලවා ආපසු එන්නෙමු. කථා කළ දෙයක් නැත. වෙච්ච ප්‍රතිඵලයක් ද නැත. අඩියෙන් අඩියට වැට කඩොලු දමා සුඛෝපභෝගී රථවලින් පැමිණෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට පැමිණ මුනිවත රැක සහනදායී මිලට සපයන කෑම වේලක රස විඳ ආපසු යති.

අපගේ වාසනාවකට පළාත් සභා නිල කාලය අවසන්ව ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැස් වී අපට ගුටි කෙළි හා ඔවුන්ගේ යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් සිටිති. මේ එකදු රැස්වීමකින්වත් ලැබුණු දෙයක් හෝ ප්‍රතිඵලයක් ගැන අපි අසා නැත්තෙමු. අධ්‍යාපන බලධාරීන්ට අන්තර්ජාලය මගින් රැස්වීම් පවත්වන ආකාරය පිළිබඳව හා ඒ මගින් ඉන්ධන ටොන් ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන ආකාරය කියා දීමට පුළුවන.

 

තනි මුළුතැන්ගෙය වෙතින් ප්‍රජා (පොදු) මුළුතැන්ගෙයකට

අප භෝජනාගාරයකට ගිය විටක හෝ නේවාසිකාගාරයක සිටිනා විට හෝ ගමනක් ගිය විටක හෝ පාසල් අධ්‍යාපන චාරිකාවක් ගිය විටක වන්දනා ගමනක් ගිය විටක දුම්වලින් නෑවී ආහාර පිසින්නේ නැත. අපි යන වියදම බෙදාහදාගෙන වෙනත් අය ලවා පිස ගන්නා ආහාර වේලකින් කුස පුරවා ගන්නෙමු. පොදු නැතිනම් ප්‍රජා මුළුතැන්ගෙය මෙම ක්‍රමය ඉදිරියට ගෙන යාමත් පමණකි. මෙය අපට ආගන්තුක දෙයක් නොවේ. පොදු මුළුතැන්ගෙය දනට පිනට ආහාර සපයන ආයතනයක් විය හැකිය. නැතිනම් ව්‍යාපාරික ස්වරූපයක් ගත හැකිය. නැතිනම් මේ දෙයාකාරයේම ලක්ෂණවලින් සෑදී තිබිය හැකිය. පොදු මුළුතැන්ගෙය මගින් බල ශක්තිය ඉඩකඩ, උපකරණ, කෝප්ප, පිඟන් යන හැම දෙයක්ම ඉතිරි කර ගැනීමට හා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට අපට උදව් වෙයි. මහල් ගොඩනැගිලිවල හා එකට ජීවත්වන ස්ථානවල හා බහුල වශයෙන් ජනාකීර්ණ ස්ථානවල ජීවත්වන අප කාටත් පොදු මුළුතැන්ගෙය මහත් පිළිසරණක් වනු නොඅනුමානය. පොසිල ඉන්ධන වෙනුවට ජීව ඉන්ධන පාවිච්චියෙන් ඉන්ධන පිරිමැසීමට උපකාර වනු ඇත.

පොදු මුළුතැන්ගෙය මගින් සපයන ආහාර වේලක රස බලන මන්ත්‍රීවරුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවට සනීපාරක්ෂාවෙන් සෞඛ්‍ය තත්ත්වයෙන් පිරුණු, ඉන්ධන අරපිරිමැස්මක් ඇති පොදු මුළුතැන්ගෙය සංකල්පය සඳහා පහසුකම් හා ආධාර ලබාදීමට යෝජනා සම්මත කිරීමට පුළුවන. මෙය නවීන පන්නයේ, විනිමය පිටරටට ඇදීයන සුඛෝපභෝගි පහසුකම්වලින් පිරි හෝටලයක පොදු මුළුතැන්ගෙයක් යෝජනා කරනවාට වඩා මහත් ප්‍රතිඵලදායි ක්‍රියාවක් වනු නොඅනුමාන ය.

ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ උපසභාපතිවරයකු වන මාලියද්ද අමාත්‍යාංශ කිහිපයක ලේකම් ලෙස කටයුතු කර ඇත. ඔහුගේ ඊමේල් ලිපිනය [email protected]

 

(***)



අදහස් (1)

බලශක්ති අර්බුදයට විසඳුමක්

AB Thursday, 01 September 2022 07:50 AM

රාජ්‍ය සේවයේ සිටි චන්ද්‍රා මාලියද්ද ලේකම් තුමාගේ ලිපියේ අඩංගු කරුණු සියල්ල සත්‍ය වේ. ලිපියෙහි සදහන් අදහස් සහ විසදුම් ඉදිරිපත් කිරීම පිලිබදව අගය කරමු. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් සත්‍ය වශයෙන්ම ගෝලීය යථාර්තය අවබෝද කරගනිමින් එයට මුහුණ දිය යුතුව තිබේ. වෙනස් නොවන්නට හේතුවක් වනුයේ ලංකාව දුපතක් වීම සහ ශ්‍රී ලාංකිකයන් නිදහස් අද්යපනයෙන් කෙතරම් ඉහල අදයපනයක් ලැබුවද බහුතරයක් සම්ප්‍රදයික ක්‍රමවේද අනුගමනය කරමින්ම ඉදිරියට යාමට උත්සහ කිරීම සහ දේශපාලකයන් විසින් ජනතව රැවටීමේ ප්‍රතිපල නිසාවෙනි.

:       2       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1627 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10174 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 475 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site