IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී-එජාප ශීතල යුද්ධය

“අර්ජුනට තියෙන්නේ තිලංග සුමතිපාල එක්ක පෞද්ගලික ප්‍රශ්නයක්. එයා තමන්ගේ අමාත්‍යාංශයේ කටයුතු බලා ගන්නේ නැතිව හැම විටම වෙනත් අමාත්‍යාංශ ගැන කතා කරනවා.” යැයි ආණ්ඩුවේ ඇමැතිවරු විටින් විට අර්ජුන රණතුංගට චෝදනා කළෝය. හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සමග ද අර්ජුන එකල විටින් විට මත ගැටුම් ඇතිකර ගත්තේය. “අර්ජුන රණතුංග ක්‍රිකට් බෝඞ් එකේ ඡන්දෙන් පරාදයි. දිනුවෙ වෙන කෙනෙක්. එතුමා ඡන්දෙන් දිනලා එන්න ඕනේ. ඒකට ඇමැතිවරයා ලෙස මට චෝදනා කරලා වැඩක් නැහැ. ඒකට මට කරන්න දෙයකුත් නැහැ.’ යැයි දයාසිරි ජයසේකර කීවේය.

 

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී ද අර්ජුන රණතුංග ඇමැතිවරයා සුපුරුදු පරිදි අදහස් දක්වන්නට පටන් ගත්තේය. එහෙත් ජනාධිපතිවරයා ඊට ඉඩ තැබුවේ නැත. ජනාධිපතිවරයා අර්ජුන රණතුංග ඇමැතිවරයා නිශ්ශබ්ද කළේය. 

“විෂය භාර ඇමැතිවරයා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි ඔහු කියන විදියට වැඩ කරමු” යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ කතාවෙන් අර්ජුන ද නිශ්ශබ්ද වූයේය.

බන්ධනාගාරවල සිට මත්කුඩු ජාවාරමේ නිරතවන්නන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ වඩාත් දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී තිබුණේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතරය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ජනාධිපතිවරයාගේ යෝජනාවට එජාපය මුලසිටම විරෝධය දැක්වීය. ජාත්‍යන්තරයේ අදහස් හා යෝජනා ද විටින් විට ඉදිරිපත් වන්නට වූ හෙයින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තරමක් පසුබා සිටි බවක් දක්නට ලැබිණ. එහෙත් ජනාධිපතිවරයාගේ අදහස් නැවතත් කරළියට පැමිණ ඇත. ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවට උපදේශකයන්ගෙන් අදහස් ලැබී තිබෙන බවය. ඒ අනුව ජනාධිපතිවරයා නැවත ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දැඩි තීන්දුව ප්‍රකාශ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය වඩාත් කලබලයට පත්ව සිටී. හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මරණ දඬුවමට එරෙහිව දැඩි ස්ථාවරයක සිටින බව ද වාර්තා වේ. කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිප යළිත් තදබල මත ගැටුමකට මැදි වී තිබේ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ඉකුත්දා සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් දහසය දෙනා ආණ්ඩුවට උදව්වක් කර තිබෙන බවය. “ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ඔළුව කාපු පිරිස ගියා. හැබැයි ගියාට ඒ අය අනිත් පක්ෂයෙන් ගන්නෙත් නැහැ. දැන් ඔය දහසය දෙනාගේ කණ්ඩායම ගන්ධබ්බයෝ වෙලා. ඒ අය එහෙත් නැහැ. මෙහෙත් නැහැ.’ යැයි රාජිත කියන්නේය.

 කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීන්දුවක් ගෙන තිබිණ. එම තීන්දුව නම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමේ අවසරය ලබා දීමය. එහෙත් අඟහරුවාදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දහසයේ කණ්ඩායමේ කිසිවෙකුත් සහභාගි වී සිටියේ නැත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “තරුණ පෙරමුණේ” විශේෂ රැස්වීමක් ඉකුත්දා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී විශේෂ තීන්දුවක් ගත්තේය. “මේ ආණ්ඩුවට අගෝස්තු 17 වැනිදාට වසර හතරක් ගෙවෙනවා. ආණ්ඩුවට එරෙහිව කොළඹ දී විශාල විරෝධතාවයක් සංවිධානය කරන්නට අපි ගත්ත තීන්දුව යළිත් සලකා බලන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගය වගේම උසස් පෙළ විභාගයත් පැවැත්වෙන නිසා අපි විරෝධතාවය කල් දාමු” යැයි නාමල් රාජපක්ෂ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව පොහොට්ටුවේ තරුණ පෙරමුණ තීන්දුවක් ගත්තේ ආණ්ඩුවට එරෙහි විරෝධතාව සැප්තැම්බර් මස 5 වැනි දිනයට යොදා ගැනීමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සකස්කර ගැනීමේ ආණ්ඩුවේ අදහස සම්පූර්ණයෙන්ම අයින් කරගෙන නැත. ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීනවීම සහ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් අහිමි වීම හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම පසුබැස තිබිණ. කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත දැඩි සුපරික්ෂාවෙන් පරික්ෂා කර ඒකාබද්ධ විපක්ෂය දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පරික්ෂා කරන අතර එහි සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට ද එම කමිටුවට වගකීම් පවරා තිබේ.

උතුරේ ඉදිකෙරෙන නිවාස හතළිස් දහසේ ව්‍යාපෘතිය අතරමඟ නතර වී තිබෙන අතර ඒ නිසාවෙන් ආණ්ඩුවට තවත් ප්‍රශ්න කිහිපයකටම මුහුණපෑමට සිදුවී තිබේ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ උතුරේ නිවාස ව්‍යාපෘතිය හේතුවෙන් ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මතුව තිබෙන බවය. ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු සඳහන් කළේ “උතුරේ නිවාස හදන්න ඉන්දියාවත් චීනයත් දෙකම වලිකනවා. එක ගෙයක් හදන්න චීනය රුපියල් ලක්ෂ 12ක ඇස්තමේන්තුවක් දීලා. ඉන්දියාව රුපියල් ලක්ෂ 22ක් එක ගෙයකට ඇස්තමේන්තු කරලා. මේක ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් වෙලා. රටවල් දෙකේම හොඳ හිත දිනාගන්න ඕනේ යැයි ඔහු කීවේය. කෙසේ වෙතත් උතුරේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබිණ. එහිදී ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ. “චීනය අඩු මිලක් ලබාදී තිබුණා. ඒ නිසා අපි ඒ ගැන බලන්න ඕනේ.” යනුවෙනි.

 ප්‍රශ්නය දුරදිග යන බවක් පෙනෙන්නට තිබූ හෙයින් අගමැතිවරයා ඊට මැදිහත් වී විසඳුමක් ලබා දුන්නේය. “මම චීනයත් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්නම්. එහෙම කරලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් දෙන්නම්.” යැයි අගමැතිවරයා කීවේය.

 ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුවක් දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින බවක් වාර්තා වේ. එම සුපිරි ක්‍රිකට් තරුව කුමාර් සංගක්කාර්ය. ඔහු ඉකුත්දා ඉන්දියාවට ගොස් විශේෂ දේව පූජාවකට ද සහභාගි වූ බවට ද වාර්තා පළවී තිබිණ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ කුමාර් සංගක්කාර් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බවය.

නඩු කටයුතු සඳහා සැකකරුවන් බවට පත්ව සිටින උදයංග වීරතුංග සහ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දේශපාලන සංවාදයක් හටගෙන තිබුණේ අද ඊයේක නොවේ. උදයංග වීරතුංග තමන්ගේ මැදිහත් වීමෙන් ලංකාවට ගෙන්වා ගන්නා බවක් හිටපු ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළේය. ඒ සමගම හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට කොන්දේසියක් ද දැම්මේය. “මම කිව්වා උදයංග විරතුංගට එන්න කියලා. අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ඕනේ.” යැයි එදා මහින්ද රාජපක්ෂ කීවේය. හිටපු ජනාධිපතිවරයාගේ අලුත්ම කොන්දේසිය වී ඇත්තේ “නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ චෝදනා සම්බන්ධයෙන් මම පිළිතුරක් දෙන්නම්. කරුණු පැහැදිලි කරන්නම්. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ.’ යැයි හිටපු ජනාධිපතිවරයා කියා තිබේ. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දීමට ආණ්ඩුව එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

මුලින් සඳහන් කළ පරිදි එජාපයත් - ශ්‍රීලනිපයත්, එහෙම නැතිව කෙලින්ම කියනවා නම් මෛත්‍රිපාල - රනිල් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබේ. කලක සිට පැවැත එන එම මතබේදය මෑතකදී එළිදැක්කේ මරණ දඬුවම පිළිබඳ ප්‍රශ්නයේදීය. ජනපති මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව කී හැටියේම මුදල් ඇමැති මංගල ඊට එරෙහිව අදහස් දැක්වීය. එම ප්‍රශ්නය කැකෑරෙමින් තිබියදී ජනාධිපති මෛත්‍රිපාල යළිත් වරක් ප්‍රහාරාත්මක ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව කියා සිටියේය. මෛත්‍රි එය එජාපයට කළ ප්‍රහාරයක් වශයෙන් දේශපාලන නිරීක්ෂකයෝ අර්ථ දක්වති.

 මෙහි තවත් උද්වේගකර අවස්ථාවක් පෙරේදා නිර්මාණය වූයේය. දේශපාලන පළිගැනීම්වලට ලක්වූ විදුහල්පතිවරුන් පිරිසකට සහ අධ්‍යාපන පරිපාලන සේවයේ පිරිසකට  උසස්වීම් දීමට අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබිණ. එයට අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ ආශිර්වාදය ලැබුණේය. කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සංගම් රාශියක් එයට දැඩි විරුද්ධත්වය දක්වන්නට වූහ. වෘත්තිය සමිති වැඩවර්ජනයට ද තීරණය කර තිබිණ.

 මේ අතර ජනාධිපතිවරයා උසස්වීම් දීම අන්තිමට අත්හිටවූයේය. අධ්‍යාපන වෘත්තී සංගම්වල වර්ජනය ද අත්හිටවූවේය. ජනාධිපති තීන්දුව අධ්‍යාපන ඇමැතිටත් අග්‍රාමාත්‍යවරයාට ද සීතල ප්‍රහාරයක් ලෙස දේශපාලන විචාරකයෝ නිර්වචනය කරති. මෙම මතබේද ත්‍රීව්‍ර කරන සන්ධිස්ථානයක් ලෙස ඔවුහු තර්ක කරති. තව ඉස්සරහට මේවා සමනය වේද එසේ නැත්නම් තත්ත්වය උත්සන්න වේද? එය අනාගතයට බාර කරමු.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර ඇති ජනහමු දස දහසේ වැඩසටහන මේ දිනවල ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වේ. ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පසුගිය සතියේ කිලිනොච්චියේ පැවැති එවැනි රැස්වීම් කිහිපයකටම සහභාගි වුයේය. මේ අතර පසුගියදා ගම්වාසීන් විසින් දිවියකු මරා  දැමුණු ප්‍රදේශයේ දී ද රැස්වීමක් සංවිධානය කර තිබිණි. රැස්වීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සමඟ එම සිදුවීම පිළිබඳව ද මන්ත්‍රීවරයා කතා කළේය. 
“මන්ත්‍රීතුමා දකුණේ මාධ්‍යවල මේ සිදුවීම වාර්තා කළේ සම්පූර්ණයෙන්ම ම්ලේච්ච විදියට. දිවියාට ගහන රූප රාමු සියල්ලම පෙන්නුවා. දෙමළ ජනතාව ගැන විශාල විරෝධයක් හැදුවා. දෙමළ ජනතාව ‘කොටියා’ බවට පත් කරන විදියේ නිවුස් තමයි මාධ්‍යවල පළ වුණේ” යැයි ඔවුහු මැසිවිලි නගන්නට වූහ. ‘ඇත්තටම සිදුවීම අපි දන්නෙත් නෑ. අපිත් මාධ්‍යවල ගියපු නිවුස් තමයි දැක්කේ’ යැයි බිමල් රත්නායක කරුණු පැහැදිලි කළේය.

 ‘ඒක තමයි ප්‍රශ්නය. උතුරේ දෙමළ මාධ්‍යවල විශේෂයෙන් පත්තරවල තිබුණේ ඒ දිවියා හමුදා කඳවුරක ඉඳලා පැනපු එකෙක් කියලයි. හමුදාව තමයි මේකට වගකියන්න ඕනෑ කියලා විදියට තමයි ලියලා තිබුණෙ’ තවත් පුද්ගලයෙක් එහිදී කීවේය. 

‘ඒ වගේ ආටිකල් එකක් මමත් කියෙව්වා. සිංහලෙන් පළවෙලා තිබුණ පත්තරයක’ යැයි බිමල් ද ඊට පිළිතුරු දෙමින් කීවේය. ඒත් සිදුවීම් දෙකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඇත්තටම සිද්ධිය වුණේ මෙහෙමයි. හමුදා කඳවුරකින් ලොකු බල්ලෙක් පැනලා ගම්වැදිලා තිබුණා. මිනිසුන්ටත් කරදර වෙන්න ඇති. මිනිස්සු කඳවුරට පැමිණිලි කළාම හමුදාවෙන් බල්ලා අරගෙන ගිහින්. ඒ අතරේ තමයි දිවියා ගමට පැන්නේ යැයි තවත් පුද්ගලයෙක් කීවේය. 

‘ඒක තමයි අද තිබෙන ප්‍රශ්නය. ඉතාම කුඩා සිද්ධියක් වුණත් දකුණේ මාධ්‍ය සහ උතුරේ මාධ්‍ය වාර්තා කරන්නේ ජාතිවාදී පදනමකින්. අන්තිමට බල්ලා දිවියා කළා. දෙමළ මිනිස්සු කොටියා කළා. මේක කනගාටුදායක තත්ත්වයක්. ඇත්තටම ජනප්‍රිය දේශපාලනය වෙලා තියෙන්නේ ජාතිවාදය. ඒකනිසා මාධ්‍යයත් වාර්තා කරන්න පෙළඹෙන්නේ ඒවගේ ප්‍රවෘත්ති. මේක වෙනස් කළ යුතුයි’ යැයි බිමල් කීවේය. 

චීන තානාපති කාර්යාලය සංවිධාන කළ උත්සවයක් පසුගිය සතියේ පැවැත්විණි. ඒ සඳහා ආරාධනා ලැබ සිටි මහින්ද එන විට චීන තානාපතිවරයා සිටියේ සම්බන්ධන් සමඟ කතා කරමිනි. මහින්ද දුටු තානාපතිවරයා පෙරමඟට පැමිණ මහින්ද පිළිගත්තේය. එතැන දී සම්බන්ධනුත් තානාපතිවරයාත් දෙදෙනාම මහින්ද හැඳින්වූයේ මේ ඉන්නේ අපේ ඊළඟ ජනාධිපතිතුමා කියාය. 

අනතුරුව මහින්ද සම්බන්ධන් සමඟ කතාබහක නියැළුණේය. දෙදෙනා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් කතාබහ කෙරිණි. පසුගියදා ඉල්ලා අස්වු ඔස්ටින් ප්‍රනාන්දු හිටපු ජනාධිපති ලේකම්වරයා ද පැමිණ මහින්ද සමග කතාබහ කළේය. දෙදෙනා අතර කතාබහ වූයේ කුමක්දැයි හෙළි කෙරුණේ නැත. මහින්ද සිටිනු දුටු රංජිත් මද්දුම බණ්ඩාර ද පැමිණ කතා කළේය. 

‘මොකද ඇමැතිතුමා ඔයාලගේ ආණ්ඩුව හරියට වැඩක් කරන පාටක් නැහැනේ. එහෙන් පාතාලය වැඩිවෙලා. මහ දවාලේ මිනී මරනවා. මෙහෙන් කුඩු ජාවාරම්කාරයෝ වැහි වැහැලා. ඉස්කෝලේ ගේට්ටු ළඟත් කුඩු විකුණනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහෙම කොහොමද රටක් කරන්නේ?’ මහින්ද ඇසුවේය. 
‘අපි පුළුවන් උපරිමයෙන් කරනවා සර්’ මද්දුම බණ්ඩාර පිළිතුරු දුන්නේය. 

‘උපරිමයෙන් කරනවා කියලා වැඩක් නැහැ ඇමැතිතුමා. බලන්න අර කතරගම කිරිවෙහෙරේ හාමුදුරුවන්ට වෙඩි තියපු එක ගැනවත් පරීක්ෂණේ හරියට කරන්නේ නැහැනේ. ඒ වෙඩි තියපු කෙනා හැංගිලා ඉඳලා තියෙන්නෙත් ඇමැති කෙනෙක්ගේ ගෙදරලු නේද? මහින්ද වහෙන් ඔරෝ භාෂාවෙන් ඇසූ දෙය දැන සිටි මද්දුම බණ්ඩාර සිනාසුනා මිස ඊට පිළිතුරක් දුන්නේ නැත.  

අනතුරුව පිරිස  සමඟ කතාබහ කරමින් සිටින අතරතුර මහින්ද කීවේ ‘මේ ආණ්ඩුව මුලින්ම චීනෙට බැන්නා. පස්සේ හම්බන්තොට වරාය චීනෙට දුන්නා. ඊළඟට ඉන්දියාවට බැන්නා. දැන් මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට දෙන්න යනවා. මේ දවස්වල ආණ්ඩුව වැඩියෙන්ම බනින්නේ රුසියාවට. මම මේ බලන් ඉන්නේ රුසියාවට මොනවා දෙයි ද කියලා’ මහින්ද පැවසුවේය. 

මේ අතර ගෝඨාභය ද මෙම උත්සවයට ආවේය. පිරිසගෙන් ගෝඨාභයට ද ලැබුණේ හොඳ පිළිගැනීමකි. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මෙහිදී හමුවූහ. ප්‍රසිද්ධියේ කතාබහ කරමින් සිටි දෙදෙනා පසුව පසෙකට ගොස් කතාබහක නියැලෙණු ද දකින්නට ලැබුණි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙදෙනා සාකච්ඡා කළ බව දැන ගන්නට ලැබුණි. 

රාජා ධර්මපාල විසින් රචනා කළ භූපති දුටුගැමුණු ජනපති මහින්ද ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මහින්ද, ලොකුගේ, ජී.එල්, බන්දුල, ප්‍රසන්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

‘දුටුගැමුණු රජතුමා ඇස් දෙකෙන් දැකපු ලේඛකයෝ ඒ කාලේ එතුමා ගැන නොයෙක් දේවල් ලිව්වා. මගේ රට එක්සේසත් කරපු මහින්ද මහත්තයාට මමත් සලකන්නේ දුටුගැමුණු රජතුමාට වගෙයි. එතුමා ගැන ලියන්න ලැබීමත් මට ලැබුණු භාග්‍යයක්. හැබැයි එතුමා ළඟ ඉඳලා පැනලා ගිය අය වගේ නෙමෙයි අපි නම් ඕනේ අවස්ථාවක එතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ලැහැස්තියි’ රාජා පැවසීය. 

‘මගේ නම තියෙන හැම දෙයක්ම විකුණන එක තමයි දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. මම මේ බැලුවේ නම වෙනසක් කරලා හරි රටේ සම්පත් ටික විකුණ ගන්න පුළුවන්ද කියලයි’ මහින්ද පැවසීය. 

‘ආණ්ඩුවට දැන් තියෙන්නේ මර බය. ඔබතුමාට විතරක් නෙමෙයි ඔබතුමාගේ නමටත් ආණ්ඩුව බයයි. ඒ හින්දයි නම නැති කරලා දාන්න හදන්නේ. මුලින් හොර නාමයක් ගාලා නම නැති කරන්න හැදුවා. ඒක අසාර්ථක වුණාම දැන් බලනවා නම තියෙන ස්ථාන විනාශ කරලා හරි නම නැති කරන්න’ ප්‍රසන්න කීවේය. 

‘මේ රටේ මිනිස්සුන්ගේ හිත්වලින් මහින්ද රාජපක්ෂ කියන නාමය නැති කරන්න ආණ්ඩුවට ටිකක් කල්යයි’ ලොකුගේ පැවසීය. 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ව්‍යාවස්ථාදායක සභාවට උපදෙස් දීමට පත්කළ විද්වත් කමිටුවට පිටින් ගොස්  ජයම්පති වික්‍රමරත්න සුමන්දිරන් සමඟ එක්ව සාදා ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දිනේෂ් සහ ප්‍රසන්න පිරිසට කරුණු පැහැදිලි කළහ. 

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා ජයම්පති ක්‍රියා කරමින් සිටින බව ප්‍රසන්න පැවසීය. එම යෝජනා පරාජය කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ වැදගත්කම ඒ සඳහා උද්ඝෝෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරිණි. 

එසේම ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. 
‘අපි කොහොම හරි ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කරන්න ඕනේ’ මහින්ද පෙන්වා දුන්නේය. 
‘ආණ්ඩුවෙන් කට්ටිය ගන්නවා නම් මං දෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කෙනෙක්‘ මහින්දානන්ද පැවසීය. 

 



අදහස් (0)

මෛත්‍රී-එජාප ශීතල යුද්ධය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 125 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 151 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 126 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 167 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1699 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 775 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 979 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site