IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


’මැල්සි’ නම් වූ ජැකා

(ජයන්ත චන්ද්‍රසිරි)

මා මෙය ලියන මොහොතේ ද මගේ වම්පසින්, දකුණුපසින්, ඉදිරියෙන් පසුපසින්, උඩින් සිටින්නා වෙනෙකකි. මා ලියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් කියැවූ සහ මා කියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් අසා සිටි මිනිසා ය. ශ්‍රියන්ත මෙන්ඩිස්ට, කමල් අද්දරආරච්චිට, මහේන්ද්‍ර පෙරේරාට, ජූඩ් ශ්‍රීමාල්ට සහ මට එක බත් මුට්ටියෙන් බත් බෙදාදුන් එක්තරා දයාබර මාතාවක විසින් ඔහු හඳුන්වනු ලැබුවේ මැල්සි යන නමිනි.

මේ මැල්සි අප විසින් හඳුන්වනු ලැබුවේ ජැකා යනුවෙනි. ඒ ජැකාගේ සම්පූර්ණ නම මැල්සි ජෝශප් ජැක්සන් ඇන්තනි ය.

ඔබ මට සමාව භජනය කරන්නේ නම් ඔබට නොසඟවා කිවයුතු දෙයක් මට තිබේ. ඒ මා මෙය ලියන්නේ ඔබ කිසිවකුත් වෙනුවෙන් නොවන බව ය. මා මෙය ලියන්නේ ජැකා වෙනුවෙනි. ජැකා සතුටු කිරීමට ය.

අප සමහර දෙනකුගේ මෙන්ම ජැකාගේ ද ජීවිත පරමාර්ථය වූයේ අනුන් සතුටු කිරීම ය. වර්තමානයේ තරම්ම මනෝවිකාරී සමාජයක් (psychotic society) නොපැවති ඒ කාලයේ ද ජැකා ඕනෑවට වඩා අනුන් සතුටු කිරීමට ගොස් බැනුම් ඇසුවේ ය. ඔහු තුළ තිබූ ධී ශක්තිය හෙවත් මිනිසකු උත්පත්තියෙන් ලබන විශේෂ ඥානය හේතුවෙන් අප හැමටම නැති එකවර දක්ෂතා රැසක් ප්‍රකාශයට පත් කිරීමේ ගුණයක් ඔහුට තිබිණි. චිත්‍ර අඳින්නට ද නටන්න ද ගයන්න ද වයන්න ද කියවන්න ද ලියන්න ද මෙහෙයවන්න ද රඟපාන්න ද ඔහු හැමවිටම සූරයා විය.

මාර්ටින් වික්‍රමසිංහ, මහගමසේකර, අමරදේව, ජෝ අබේවික්‍රම වැනි ධී ශක්තිය පිළිබඳව අප රටෙන් දැක්විය හැකි කදිම නිදර්ශන අතරට ජැක්සන් ඇන්තනි එක් කිරීමෙන් ඒ පෙළ නොබිඳෙයි. වඩාත් උද්දීප්තියට පත්වෙයි. වටහා ගත හැකි වෙයි.

ධී ශක්තිකාරයන් යනු මිනිස් අවස්ථාවන් (human situations) යැයි මම සිතමි. මක්නිසාද ඔවුන් බිහිවන්නේ කෙසේදැයි කවර සමාජ විද්‍යාවකින්වත් පැහැදිලි කළ නොහැකි නිසා ය.

එහෙත් ජැක්සන් පිළිබඳව අප කවුරුත් දන්නා කරුණු අපට මෙසේ ගොනු කළ හැකි ය. රාගම පොඩි වී කුඹුර සුන්දර ග්‍රාමයේ බෙනඩික් ඇන්තනි සහ රෝලින් පෙරේරා යුවළට දාව වර්ෂ 1958 ජුලි 8 වැනිදා උපත ලැබූ ජෝශප් මැල්සි ජැක්සන් ඇන්තනී එම පවුලේ දෙවන දරුවා විය. කඳාන, හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ජැක්සන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේ ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ය.

වරක් මා කැටිව හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයට ගිය ජැක්සන්, එහි තමා උගත් පන්ති කාමරයේ බිත්තිවල එවකටත් තිබුණු ඔහු විසින් අඳින ලද චිත්‍ර පෙන්වීය. ඒ වනවිටත් චිත්‍ර ශිල්පය පිළිබඳව ඔහු තුළ වූ හැකියාව මම දැන සිටියෙමි. මම එකල මල්ටිෆැක්ස් ආයතනයේ සිත්තර පත්‍රයට son of Spartacus නැතහොත් ”‍ස්කාගස්”‍ නමින් චිත්‍රකතාවක් රචනා කරමින් සිටියෙමි.

උක්තාඛ්‍යාත මාරු කරමින් යම් කාව්‍යමය රීතියකට අනුව සිදුවන මගේ රචනා විලාසයට බෙහෙවින් ප්‍රිය කළ සිත්තර සංස්කාරක කැමිලස් පෙරේරා මහතා (ගජමෑන්) එවකටත් ජැක්සන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාවට මගේ කතාවක් එක් කිරීමේ අරමුණ ඇතිව ”‍සුහද”‍ නමැති එම ආයතනයේම පළවන තවත් චිත්‍රකතා පත්තරයකට චිත්‍රකතාවක් ඉදිරිපත් කරන්නැයි අපට කීවේය. ඒ අනුව මා රචනා කළ ”‍ධවල භීෂණ”‍ නම් කතාව ජැක්සන් කදිම චිත්‍ර කතාවකට නැඟු‍වේය.

පොඩි වී කුඹුරේ සිට මෙහි කොටස් කීපයක් තුරුළුකරගෙන බ්ලූමැන්ඩල් පාරේ මල්ටිෆැක්ස් කාර්යාලයට යන ජැක්සන් ගේ ජීවිතයේ ඉතා වැදගත් කඩඉමක් ආරම්භ වන්නේ මේ අතරය.ඒ උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට තේරීම ය.

කෙසේ වුවද ජැක්සන් විශ්වවිද්‍යාලය ඥාන ගවේෂණ මාර්ගයක් ද, සරස්වතී මණ්ඩපයක් ද කර ගත්තේය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකේය වේදිකාවේ අපගේ අප්‍රමාණ නාට්‍ය වීරයා වූ සුගතපාල ද සිල්වාට ජැක්සන්ගේ ශරීර භාෂණය හසු වීමය. ජැකා සුගත් අයියාගේ පැරණි ”‍දුන්න දුනුගමුවේ”‍ නාට්‍යයේ ද ”‍ඇසළ සඳ අවන්හල”‍ නාට්‍යයේ ද රඟපෑවේ ය. ”‍මරාසාද්”‍ නාට්‍යයේ ජීවත්වූයේ ය.

මරාසාද් වූ කලී එක්කෝ නළුවකු ඉහළටම ඔසවා තබන නාට්‍යයකි. නැතහොත් ඔහු හොම්බෙන්ම පහළට යවන නාට්‍යයකි. පීටර් උල්රිච් වයිස් නමැති ජර්මානු නාට්‍ය රචකයාගේ එනමින් යුත් සංගීතමය නාට්‍යයේ පීටර් බෲක් නිෂ්පාදනය , පරිවර්තනයක් වශයෙන් ගෙන එමින් සුගතපාල ද සිල්වා කළ මරාසාද් නිෂ්පාදනය දේශීය නාට්‍ය වංශයේ විශිෂ්ටතම නාට්‍ය කෘතියක් වශයෙන් සලකුණු තැබීමට ඉවහල් වන කරුණු තුනක් වේ. එකක් සුගතපාල ද සිල්වාගේ අධ්‍යක්ෂණය ය. දෙක ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ය. තෙවැන්න යොන් පෝල් මරාගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනි ය.

මේ මරාසාද් පිළිබඳව සන්දර්භ විෂය‍යික විග්‍රහයක් (contextual analysis) කිරීමට අවස්ථාවක් නොවේ. එහෙත් මෙම පිටපතේ ඇති වචන සහ වාක්‍යවල කෝෂාර්ථයන් ලිහා ගනිමින් ඒවායේ පැවති අනේකාර්ථ මෝචනය කරවමින් ජැක්සන්, යොන් පෝල් මරාගේ චරිතය නිර්මාණය කළ ආකාරය, චරිතයක ඇතුළාන්ත ජීවිතය වේදිකාවක් මත දිගහැරීම පිළිබඳ පාඩමක් වැනිය.

අනෙක ඔහු මේ එකම කාල වකවානුවේ නළු මුළු රූපණය (ensemble playing) බහුල වශයෙන් යොදා ගැනුණු මගේ ”‍අත්”‍ නාට්‍යයේත්, ශෛලිගත රූපණය භාවිතා කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ”‍ලෝමහංස”‍ නාට්‍යයේත්, ගීතමය රංග වින්‍යාසයක් සහිත ලූෂන් බුලත්සිංහලගේ ”‍තාරාවෝ ඉගිලෙති.”‍ නාට්‍යයේත් නිරතවීම කවර පුදුමයක්ද?

තවත් පුදුමයක් තිබේ. 16වතාවක් හොඳම නළුවා සිනමා සම්මානය ලබාගත් වෙනත් කිසිදු නළුවකු ශ්‍රී ලංකාවේ ඇතැයි මම නොසිතමි. ජැක්සන් චරිත නිරූපණය කොට ඇති සියලු‍ම චරිතවල එකතුවට සාපේක්ෂව බැලු‍වත් මෙය ද විස්මයකි. එහෙත් මේ විස්මයට හේතුව යම් පමණකට පහදා දිය හැකි යැයි මම සිතමි. මේ සඳහා උද්ධෘත කරගත හැකි සිනමාකරුවන්, නාට්‍යකරුවන් කොතෙකුත් ඇතත් මා හැරෙන්නේ තෝල්ස්තෝයි වෙතට ය. කලාව වූ කලී අන්‍යයන් ආසාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකැයි කීවේ තෝල්ස්තෝයි ය. එය සාහිත්‍යකරුවන්ට පාඩමක් මුත් රූපණ ශිල්පීන්ට නම් අනිවාර්ය කරුණකි.

රූපණ ශිල්පීහු තමන්ට ලැබෙන චරිත විඳිති. ඒ විඳීම් තමන් වෙතින් ප්‍රකාශයට ද පත් කරති. ඒ සඳහා ඔවුන් දක්වන සමත්කමේ ප්‍රමාණයට ප්‍රේක්ෂකයෝ ආසාදනය වෙත්. මේ අරභයා වන දියුණු ක්‍රමවේදයක් මිස චක්කරයක් නැත. ශරීරය සහ මනස අතර සබඳතාවේ පවත්නා උභතෝකෝටිකයන් (body and mind dilemmas) චක්කරයක් මෙන් කටපාඩම් කොට මතක තබාගත හැක්කක් නොවෙයි.

මෙය කදිමට අවබෝධ කොටගෙන සිටි ජැක්සන් තමන්ට ලැබෙන චරිත විඳීම් සහ ප්‍රකාශයට පත්කිරීම් වෙනුවෙන් හැමවිටම එකිනෙකට වෙනස් ආඛ්‍යාන ප්‍රයෝග (narrative devices) යෙදවීය. ඒවා අතර ස්වභාවිකවාදී ප්‍රවේශ ද, යථාර්ථවාදී ප්‍රවේශ ද, අධියථාර්ථවාදී ප්‍රවේශ ද, ශෛලිගත ප්‍රවේශ ද විය. චිත්‍රපට රංගනය නම් මෙසේ විය යුතුය, නාට්‍ය රංගනය නම් මෙසේ විය යුතුය වශයෙන් වට්ටෝරුගත කරන ලද මලකඩ බැහැර කළ ඔහු ශ්‍රී ලාංකික සබුද්ධික ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට ද, සම්මානයට ද වැඩි වශයෙන් පාත්‍ර විය.

ජැක්සන් පිළිබඳ මගේ කතාව මෙතැනින් නිම කළ හැක්කක් නොවේ. එහෙත් මට මේ කඩිමුඩියේ කළ හැක්කේ මා ඔහුට වඩාත් සම්බන්ධ ක්ෂේත්‍රයක ස්මරණයන් අවුළුවා ගැනීම පමණකි. ජැක්සන් තුළ සිටි ගැඹුරු දාර්ශනිකයා, ගවේෂකයා, ගායකයා, ගීත රචකයා, ගුරුවරයා, ඉතිහාසඥයා,ලේඛකයා ගැන සේ ම ඒ හැමටම වැඩිය දයාබර පියා, සුමිතුරා පිළිබඳව ද මට තව බොහෝ දේ කිව හැකි ය. ලිවිය හැකි ය. එහෙත් ඒ ස්මරණයන් සියල්ලම මා සමඟ හිඳිමින්, මා සමඟ ගමන් කරමින් මා සමඟ සංවාදයේ යෙදෙමින් සිටිනු දැකීමට මා වඩාත් කැමති ය.

 



අදහස් (0)

’මැල්සි’ නම් වූ ජැකා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 663 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 297 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 726 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 627 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 417 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 433 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site