IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාළු ලෑල්ලෙන් පැන කොටින්ට හවුල් වුණු බුම්මා


(*** විමුක්ති කුමාරසිංහ)

“තවත් පාතාල කෙරුමෙක් ඉවරයි.” ඒ ඉකුත් අගෝස්තු  29 වැනිදාය. නවගමුව පොලිසියේ අත්අඩංගුවේ සිටි ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා” පොලිසියෙන් වෙඩි කා නසින්නේ වෙට්ටු දමන්නට ගොසිනි.

‘අවියක් අතට ගත්තොත් යන්න වෙන්නේ උණ්ඩෙකින්ම තමයි. යන්තම් ඒ කරුමෙත් ඉවරයි. දැං උරුජුවාට නින්ද යයි.’
කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ මුව රැඳුණේ එවැන්නකි. ඒ තරමටම මොවුහු සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කර තිබුණාහ. කඩුවෙල, හංවැල්ල, රණාල ප්‍රදේශය “රන්” කරමින් සිටි මේ පාතාලයෝ දිවයිනේ අන් ප්‍රදේශවලට වඩා හාත්පසින්ම වෙනස් මගක් ගත්තෝ වූහ. ඔවුන්ගේ මූලිකම සෙල්ලම වන්නේ “කප්පම් ගැනීමය” මේ කඩුවෙල මෙම කල්ලිය හොරොයින් ජාවාරමට වඩා කප්පම් ගැනීමට ප්‍රසිද්ධය.

කප්පම් කල්ලි ගැන කතා කරද්දි “රණාලේ සමයං” ගැන කතා නොකරම බැරිය. කඩුවෙල ප්‍රදේශය සිය අණසකට යටත් කරගෙන සිටි “සමයං” අවසන් ගමන් යන්නේ ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි  27 වැනිදා කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ලෙයට ලෙයින් පලිය ගැනීමේ අරමුණෙන් “මාකඳුරේ මධූෂ්” සහ “අංගොඩ ලොක්කා” මේ ඝාතන පිටුපස සිටි බවට ආරක්ෂක අංශ දැනුවත් වී සිටියේය. ඒ බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළුතර මහේස්ත්‍රත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබිණි.

 අද මදූෂ් ලක්ෂිත නොහොත් “මාකදුරේ මධූෂ්” සිටින්නේ සී.අයි.ඩී. භාරයේය. සමයං ඝාතනය කර ඉන්දියාවට පැන යන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ගැහැනියකගේ අතින් ඉවරයටම ඉවරයක් වූ බවට කියැවෙයි. ඔහුත් සමග ඉන්දියාවට පලා ගිය අනෙක් කෙරුමා වූ “ලඩියා” ගැන මෙතෙක් කිසිදු කතාවක් නැත. ලඩියාත් අංගොඩ ලොක්කාත් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් උපයෝගී කර ගනිමින් ලංකාවෙන් ඉන්දියාවට පලා ගොස් ඉන්දියාවේ සිට ඩුබායි රාජ්‍යයට පනින්නට ගොස් ඉන්දියාවේ චෙන්නායි හිර ගෙදර හිර බත් කෑවේත් මේ කියන ලඩියා සමගය. දැනට වසර දෙකක පමණ  කාලයක සිට මේ ලඩියාට සිදුවූ දෙයක් නැත. කියැවුණේ අංගොඩ ලොක්කා ගැන පමණි.

කඩුවෙල පාතාලයේ මහ කෙරුමාව සිටි “රණාලේ සමයං” මෙහෙයවූ පාතාල කල්ලියේ සාමාජිකයෝ වූවෝ මාඹුලගේ දිනිත් මෙලාන් මාබුල නොහොත්“ඌරුජුවා” සහ ඉඳුනිල් කුමාර නොහොත් “ඉන්ද්‍රා” ය. සිය නායකයාගේ  මරණින් මතු ලොක්කා වීමේ බල අරගලයකට මැදිවන “ඌරුජුවා” සහ “ඉන්ද්‍රා” නායකත්වය බෙදාගැනීමට නොහැකිව එකිනෙකා මරා ගන්නට වූහ. රණාලේ සමයං ගේ මන්නා පිහි කල්ලියේ ප්‍රධානීන් ව සිටි මොවුන් දෙදෙනා සමයං ගේ අඩුව පුරවන්නට පටන් ගත්තේ ප්‍රදේශයේ සාමකාමී ජනතාවගේ කම්පාව සහ කලකිරීම මැද්දේය. මුලින්ම වැඩ පටන් ගත්තේ “ඉන්ද්‍රා” ය. කඩුවෙල, නවගමුව, අතුරුගිරිය, මාළඹේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ධනවත් පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ලබා ගැනීමට ඉන්ද්‍රා දෙවරක් සිතුවේ නැත.

“කඩුවෙලට ලොක්කෝ දෙන්නෙක් බැහැ. උඹට මම කියන විදිහට ඉන්න බැරිනම් මේ ඒරියා එකේ ඉන්න බැහැ. අපිට එකුවෙලා වැඩ කරන්න බැරිනම් මෙහෙන් මාරුවෙලා පලයං. නැත්නම් මම උඹට බත් කන්න දෙන්නේ නැහැ”

“උෟරුජුවා”, කිහිප අවස්ථාවක්ම“ඉන්ද්‍රාට” තර්ජනය කර තිබුණේ එසේය. අවසානයේදී ඉන්ද්‍රා පාර්ශ්වය සහ ඌරුජුවා පාර්ශ්වය වශයෙන් කඩුවෙල පාතාලය බල අරගලයේ දෙපැත්තක් බිහි කෙරිණි. කෙසේ වෙතත් ඔවුන් දෙපිලකට බෙදී කළේ සමාජයට යහ වැඩක් නොවේ. අහිසංක ජනතාව තලා පෙලා බිය වද්දා සිය මඩිය තර කරගනිමින් ‘අයියලා” ගේ උණ පෙන්වමින් සිටියහ. කඩුවෙල සහ අවට ප්‍රදේශවල ධනවතුන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නවා සේම වැලිපොළවල්වලින් කප්පම් ලබා ගැනීම ඉන්ද්‍රාගේ පාර්ශ්වයෙන් මෙන්ම ඌරුජුවාගේ පාර්ශ්වයෙන් ද දිගින් දිගටම සිදුකෙරුණු කටයුත්තක් විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ද්‍රාගේ කල්ලියේ ප්‍රබලයකු වූ තුෂාර ජල්තර මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඌරුජුවාගේ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබෙන්නේ මුළු කඩුවෙල පුරවරයම භීතියට පත් කරමිනි. එදිනම ඉන්ද්‍රාගේ කල්ලිය තවත් බිල්ලක් ගනිමින් ඌරුජුවාගේ සමීපතම ගෝලයකු වන ජීවන් කපා කොටා ඝාතනය කරන්නේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ය. ඒ වන විට ඌරුජුවා සිටියේ බන්ධනාගාරයේය. පලිය ගැනීමට බන්ධනාගාරය තුළ සිට කල් මරමින් සිටි ඌරුජුවා, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඉන්ද්‍රාට සහ ඔහුගේ ගෝලයකු වන සුරේෂ්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ගෝල බාලයන් යොමු කරනු ලැබුවේ “ඉන්ද්‍රාගේ බෙල්ල” ගෙන ඒමට නියෝග කරමිනි.

එහෙත් කුරුමානම වැරදෙමින් සුරේෂ් ඝාතනයට ලක්වුවද ඉන්ද්‍රා ඉන් බේරී පලා යයි. කාලාන්තරයක් ඇඳක් උඩ දුක් විඳි ඉන්ද්‍රා යන්තම් කකුල් දෙක  පොළොවේ ගසා නැගී සිටියේ “කොයිම මොහොතක හරි ‘උෟරුජුවාට’ ගේමක් දෙනවා දෙනවාමයි” සාප කරමිනි. පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඉන්ද්‍රා සිටියේ සිය වම් අත එල්ලාගෙනය. තමන් සදාකාලිකවම අබ්බගාතයකු කළ ඌරුජුවාට යහතින් ඉන්නට දෙන්නේ නැති වගට ඔහු නිරතුරුවම මුමුණමින් සිට ඇති බව ප්‍රදේශවාසීහු කියති. අවසානයේ ඉන්ද්‍රා පොලීසියට කොටුවන්නේ හෙරොයින් සමගය. දින දෙකක් ප්‍රශ්න කරමින් සිටි පොලීසියට වෙට්ටු දමන්නට ගිය ඉන්ද්‍රා නැවත නොඑන්නම යන්නේ ඒ අයුරිනි.

දැන් ඌරුජුවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. හෙට අනින්දා එළියට එන්නට සිහින මවන පාතාල අයියලා අතර ඌරුජුවාද එක් අයෙකි. ඉන්ද්‍රාගේ කදින් වෙන්වූ බෙල්ල දැකීමට සිහින බලමින් සිටි ඌරුජුවාගේ සිහිනය ඉබේම ඉටුවී ගිය හැඩකි.
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී ටී 56 අවියක උණ්ඩයක්, කඩුවක්, දුරකතනයක් සහ සිම්කාඩ් පත් 5ක් ද සමග රඛිත රවීශාන් ජයතිලක නොහොත් “පුයිටා” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් ජුනි මාසයේ දිනකදීය. “පුයිටා” ඉන්ද්‍රාගේ අණින් හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශවල කප්පම් ලබාගැනීමේ නිරතව සිටි බවට ලද පැමිණිලි මත පොලීසිය මොහු එලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටියේය. බන්ධනාගාර ගතව සිටින ඉන්ද්‍රා සමග ජංගම දුරකතන අංක දෙකක් ඔස්සේ සම්බන්ධ වෙමින් පුයිටා සිය ක්‍රියාකාරකම් සිදුකර තිබිණි. දැන් මේ කියන පුයිටා ද ඉන්නේ එළියේය.

සේවකයන් දහසක් පමණ සේවයේ නියුතුව සිටින නවගමුව, රණාල එළිෆන්ට් හවුස් ආයතනය දින දෙකක් වසා තැබීමට තරම මේ පාතාලයෝ ප්‍රබල වූහ. එහි මෑන් පවර් ආයතනයෙන් කප්පම් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධව පතිරගේ අරුණ ශාන්ත පෙරේරා හෙවත් සුද්දා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. දැන් මේ කියන සුද්දා ද එළියේ සිටින්නේය.

රණාලේ සමයං ගේ තවත් ගෝලයකු බව කියන චමින්ද නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකතන ඔස්සේ ඇතැම් පුද්ගලයන්ට තර්ජනය කරමින් සිටින බවටද පැමිණිලි ලැබී ඇතැයි නවගමුව පොලීසිය පවසයි. එසේම, ඔහුගේ ගෝලයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චමින්ද නමැත්තා නවගමුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ද දුරකතනයෙන් කතා කොට තර්ජනයක් ද කර තිබිණි.
ඒ කඩුවෙල කෙරුමන්ගේ කතාවයි.

මේ තවත් කෙරුමන්ගේ මෙරට කතාවකි. ඉන්දියාවේ සිට මෙරට පාතාලය  මෙහෙයවමින් මත්ද්‍රව්‍ය ජාවාරම ජයට කරගෙන යන කිඹුලා ඇළ ගුණා සහ ඔහුගේ සොහොයුරා වන ‘සුරේෂ්’ ගැනය. මොවුන් දෙදෙනා ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එදා මෝදර ප්‍රදේශයේ වෙනම පාතාල උසාවියක් වෙනම පාතාල පොලීසියක් පවත්වාගෙන යමින් ඔවුන්ට ආවේණික වූ මදාවි සමාජයක් බිහිකරගෙන සිටියෝ මේ කියන කිඹුලා ඇළ ගුණා ඇතුළු සහචරයෝය. අද වන විට මොවුන් රටින් පැන ගියද මේ රටේ අස්සක් මුල්ලක් නෑර නිවුස් හොයමින් ඔවුන් තම ජාවාරම එරට සිට ගජරාමෙට කරගෙන යන බවට ආරක්ෂක අංශ තොරතුරු සොයාගෙන තිබිණි. මොහුගේ අනුගාමිකයෝ වූයේ පූකුඩුඛණ්නා, කෙනෙඩි හෙවත් බුම්මා යන දෙදෙනාය. මොවුන් ද සැඟවී සිටින්නේ ඉන්දියාවේ බව පැවසෙයි.

කෙනඩි හෙවත් “බුම්බා” යනු එල් ටී ටී ඊ සංවිධානයේ චාල්ස් ඇන්තනි බළකායේ සිට යුද්ධය අවසන්වීමෙන් පසු ආරක්ෂක අංශ වෙත බාරවී බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටි අයෙකි. කොටහේන මාළු වෙළෙඳපොළේ මාළු ලෑල්ලක සිටි කෙනඩි එල් ටී ටී ඊ යට ගොස් බැඳෙන්නේ ඊළාම් රාජ්‍යයක් හොයන්නට සිතාගෙනය. ඒ සිහිනය බොඳ වීමෙන් පසු සිර ගෙදරට ගාල්වී සිටි මොහු ඇප ලබා පැමිණ කොළඹින් පලා යන්නේ “කුඩු සෙල්වි” ඝාතනය කරමිනි. කුඩු සෙල්විගේ කල්ලියෙන් කෙනඩිගේ සහෝදරයාට එල්ලවූ ජීවිත තර්ජනය හේතුවෙන් ඇති වූ වෛරය කෙළවර කරන්නේ කුඩු සෙල්වි සදාකල් නින්දට යවමිනි. කොළඹින් පැනයන කෙනඩිට ආරක්ෂාව දෙන්නේ කොස්ගොඩ සුජීය. එදවස කොස්ගොඩ සුජීත් කෙනඩිත් බූස්ස බන්ධනාගාරයේ කල්දේරම් බත් කෑහ. ඒ මිතු දම හේතුවෙන්  සුජී කෙනඩි රැක්කේය.

දකුණේ පාතාල ක්‍රියාකාරකම් සඳහා කොස්ගොඩ සුජී තම හිතවතා වූ කෙනඩි යොදා ගත්තේ සැඟවුණු වෙඩික්කරුවකු ලෙසටය. බලපිටිය උසාවිය අබියස දී මෝල්පියා නමැති පාතාල නායකයා හා රසික නමැති පාතාල සාමාජිකයකු වෙඩි තබා ඝාතනය කරන්නේ ද මේ කියන කෙනඩිය. ඒ සුජීගේ අණිනි.

පූකුඩු ඛණ්නාගේ පියා ඝාතනය කරන්නේ සෙල්විගේ පුතුන් දෙදෙනාය. තම පියාගේ  මරණයට පළිගනු වස් පූකුඩුඛණ්නා ඉන්දියාවට පලා ගොස් එහේ සිට මෙහේ වැඩ පෙන්වමින් සිටියේය. ඒ අනුව ඉකුත් 2019 වර්ෂයේ ජුනි මස 13 වැනිදා වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ ද්විත්ව ඝාතනයක් සිදුවෙයි. එම මෝටර් රථයේ සිටියේ කුඩු සෙල්විගේ පුත්‍රයකු වන පලනි ශිරාන්ගේ බිරිඳ සහ ඇගේ සහෝදරයාත් ඔහුගේ මිතුරකුත් මෙම මෝටර් රථයේ ගමන් කරමින් සිට තිබිණි. මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි පලනි ශිරාන්ගේ බිරිඳ සහ දරුවා එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත්ත ද ඉදිරි පස අසුනේ සිටි දෙදෙනා නාඳුනන වෙඩික් කරුවකුගේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූහ. පොලීසිය සැක කළේ මෙම ඝාතනය පිටුපස කෙනඩි සහ පූකුඩුඛණ්නා සිටින බවය.

අද සුජී ද නැත. කෙනඩි ද නැත. පූකුඩුඛණ්නාත් නැත. මේ සියල්ලෝම රටින් පැන ගොස් ඩුබායි රාජ්‍යයේ මෙන්ම ඉන්දියාවේ සුර සැප විඳිමින් මෙරට පාතාලය හසුරවමින් සිටිති.

කිඹුලාඇළ ගුණා සහ ඔහුගේ  සොහොයුරා වන සුරේෂ් විසින් ඉන්දියාවේ සිට මෙහෙයවන මෙරට හෙරොයින් ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවෝ 8 දෙනෙක් ඉකුත් 30 වැනිදා සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. සපුගස්කන්ද, තොටළග, වත්තල, හුණුපිටිය ආදී ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියට කොටු නොවී මෙම ජාවාරම සිදුකර ඇත්තේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් බවද පොලීසිය සොයාගෙන ඇත. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට එවන මේ හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරට උතුරු පළාතේ ස්ථාන කිහිපයක දී මෙම සැකකරුවන් වෙත ලබා දී ඇති බවද පොලීසිය කියයි.

විදෙස්ගතව සිටින මෙරට නමගිය පාතාල කල්ලි නායකයන් 14 දෙනකුට දැන් දැන් වැඩ වැරදී ඇති හැඩකි. මෙරට සංවිධානාත්මක අපරාධවලට මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද මොවුන් අධිකරණවලට අවශ්‍ය සැකරුවන් වන බැවින් ඔවුන් සඳහා රතු නිවේදන ලබාගැනීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය නිවේදන අධිකරණය මගින් ලබාගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඉකුත් දා මාධ්‍ය හමුවක දී පවසා තිබිණි.

ඒ අනුව, ගමගේ සුරංග නොහොත් “වැල්ලේ සුරංග’, පරණමානගේ චමින්ද නොහොත් “කළු සාගර”, සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා, සෝමු සුප්පයියා නොහොත් “යොගූ”, කෙනඩි ප්‍රනාන්දු හෙවත් ‘බුම්මා’, සිංහාර අමල් සමින්ද සිල්වා නොහොත් “ගොනාකෝවිලේ අංජු” නොහොත් “කුඩු අංජු”, රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් “කෙසෙල්වත්තේ දිනුක”, නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් නොහොත් “කෙසෙල්වත්තේ දනුක”, එල්ලවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් “ධර්මේ”, ජගමුණි සුජීව ද සොයියා නොහොත් “කොස්ගොඩ සුජී”, මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා”, සෙල්වරාජ් ධනේෂන් නොහොත් “ධනේෂන්” යන දහහතර දෙනා සම්බන්ධයෙන් මෙලෙස රතු නිවේදන නිකුත්ව ඇත.
එසේම, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙන සෙයික් මොහොමඩ් සහබ්ඩීන්, සර්දාර් මොහොමඩ් අසාඩ් ඛාන්, පතිරන්නැහැලාගේ නිමල් පද්මසිරි නොහොත් නිමල් පෙරේරා, ජයසිංහ ආරච්චිගේ සුජිත් නිශාන්ත නොහොත් “අජිත් නිශාන්ත”, හොරකන්නගේ අජන්ත ඔස්මන් සිල්වා, අරුන්ගරෝ බෙහුලා යන අය ද මින් ඉහත දී අධිකරණ මගින් රතු නිවේදන නිකුත් කර ඇති ඇත්තෝ ය.

කෙසේ හෝ වේවා අවසානය විය යුත්තේ මතින් තොර අපරාධවලින් තොර යහපත් සමාජයකි. එදවස එන තෙක් සාමයට ලැදි හුදී ජනතාව ඇඟිලි ගනිමින් සිටින බව පමණක් කිව යුතුවෙයි. අද වන විට මේ රජය ගෙන යන මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ මෙහෙයුම් ඉතාමත් සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව කිව යුතුමය. තවත් මාස දෙක තුනකින් මේ නොහොබිනා සමාජය තුරන්ව යනු ඇතැයි යුද හමුදාපතිවරයා ද මාධ්‍ය හමුවක දී පවසා තිබිණි. එසේ නම්, එදවස එන තෙක් අපි බලා සිටිමු.



අදහස් (3)

මාළු ලෑල්ලෙන් පැන කොටින්ට හවුල් වුණු බුම්මා

Royfedricks Thursday, 03 September 2020 12:34 PM

ඔය මොන වරද තිබුණත්, පොලිසියට බොරු හේතු දක්වා මේ අපරාධ කරුවන්ව ඝාතනය කිරීමට ඉඩ නොදීය යුතුයි. මරණ දණ්ඩනය නියම කළ යුත්තේ අධිකරණය විසිනි.

:       1665       49

සුජිත්Sunday, 06 September 2020 03:14 AM

2/3ක් ගත්ත එක පුදුම වෙන්න දෙයක් නෑ. වහල්ලු මේ කමෙන්ට් එකට අන්ලයික් කරල තියෙනවා දැක්කම... තමන්ගේ කටට පිස්තෝලේ ඔබපු දාට ඒ අයට තේරෙයි.

:       0       0

binkunndaa Thursday, 03 September 2020 08:33 PM

ඔව් ඊට පස්සේ පාර්ලිමේන්තුවටත් එන්න පුළුවන්නේ.

:       14       121

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site