IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රටේත් ජනතාවගේත් අපේක්ෂාව ළමා පරපුරයි

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අවධාරණය කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා ලබාදුන් විසඳුම පිළිගත නොහැකි හෙයින් වැඩවර්ජනය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන බවය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාවේදී අදියර දෙකකින් වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වූ බවය. එමෙන්ම ගුරුවරුන්ට ලබා දෙන වැටුප් වැඩිවීම පිළිබඳව අයවැයෙන් යෝජනා ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම එකවර සිදු කරන්නැයි රජයට බලකරන බවත් පියවර දෙකකින් වැටුප් වැඩිකිරීම පිළිනොගන්නා බවත් ය.

ජර්මන් ජාතික මහා නාට්‍යකරුවකු වූ බර්ටෝල්ට් බ්‍රෙස්ට් ‘කොකේසියන් චෝක් සර්කල්’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. හෙන්රි ජයසේන මහතා එම නාට්‍ය පිටපත සිංහල භාෂාවට පරිවර්තනය කර ‘හුණුවටයේ කතාව’ නමින් නාට්‍යයක්ද නිර්මාණය කළේය. එම නාට්‍ය අවසන් වන්නේ අසඩක්ගේ අපූරු නඩු තීන්දුවකිනි. යුද්ධයේදී දරුවාද දමා පලා ගිය රජ බිසය යළි දරුවා සොයා ගන්නීය. ඒ වනවිට එම රජ දරුවා අපමණ සෙනෙහසින් හදාවඩා ගත්තී ගෲෂා නම් සේවිකාවය. රාජ්‍ය දේපොළවල අයිතිය ලබා ගැනීමට දරුවාගේ අයිතිය අත්‍යවශ්‍ය වූ හෙයින් නටාලියා දරුවාව ඉල්ලා සිටියද දරුවාට ඇති ආදරය නිසාම ගෲෂා එය ප්‍රතික්ෂේප කළාය. අවසානයේදී දරුවාගේ සැබෑ අයිතිය තෝරාදීමේ වගකීම පැවරෙන්නේ අසඩක්ටය. ඔහු කළේ හුණුකූරකින් රවුමක් ඇඳ දරුවා එහි හරි මැද තැබීමය. දරුවා හුණු වටයෙන් එළියට ඇදගන්නා කාන්තාවට දරුවා ලබාදෙන බව කීවේය. දරුවාගේ දෙපසින් අල්ලාගත් ගෲෂා හා නටාලියා දරුවා දෙපැත්තට ඇද්දාහ. දේපොළ තණ්හාවෙන් යුතු නටාලියා වැරෙන් දරුවා ඇද්දාය. දරුවාට ආදරේ ඇති ගෲෂා දරුවා අතහැරියාය. දරුවාට සැබෑ ලෙසම ආදරය කරන්නේ කවුදැයි විනිශ්චය කළ අඩසක් දරුවාගේ බාරකාරත්වය ගෲෂාට පැවරුවේය.

අද අපගේ දරුවන් සිටින්නේ හුණුවටයක් මැදය. එක් පසෙකින් ගුරු හා වෘත්තීය සමිතිය. අනික් පැත්තෙන් රජය ය. ගුරු වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් එලෙසින්ම ලබාදීමට රජය කටයුතු නොකරයි. ඉල්ලීම් ලබාදෙනතුරු අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව ගුරු වෘත්තීය සමිති අවධාරණය කරයි. වසර දෙකකට ආසන්න කාලයක් නිසි අධ්‍යාපනයක් නොමැතිව අපගේ දරුවෝ අසරණව බලා සිටිති.

‘‘මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් වන්නේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බැවින් රට සහ රටේ අනාගතය ගැන සිතා සියල්ල අමතක කර නොමිලයේ හරි උගන්වනවා කියා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නැයි තමන් ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමියන් ප්‍රකාශ කළ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තවත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විශාල පිරිසක් එම ඉල්ලීම කළ බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

මේ මොහොතේ දෙමාපියන් සිටින්නේ අති මහත් භීතියකින් හා අසහනයකිනි. තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් එබඳු භීතියක් ගොඩ නැගීම සාධාරණය. දරුවන්ගේ මුළු මහත් අනාගතයම රැඳී පවතින්නේ ලබන අධ්‍යාපනය තුළ බව මවුපියෝ දනිති. එහෙයින් දෙමාපියන් දරුවන් දෙස බලන්නේ අධ්‍යාපනය නමැති ප්‍රිෂ්මය තුළිනි.

අද දරුවා යනු හෙට රටේ අනාගතයයි. ‘විද්‍යා දදාති විනයං’ යැයි කියමනකි. එයින් කියැවෙන්නේ විද්‍යාව හෙවත් අධ්‍යාපනයෙන් විනය හැදෙන බවය. අධ්‍යාපනය නොලබන්නේ නම් ඒ දරුවා තුළ විනයක් ඇති නොවේ. එසේනම් අපගේ අනාගත දරු පරම්පරාවන් යනු විනයෙන් තොර පරම්පරාවක්ද යන ප්‍රශ්නය පැන නගී. ගුරු - විදුහල්පති වැඩ වැරුම රටේ අනාගතයත් සමග තදින්ම ගැට ගැසී ඇත්තේ එසේය. එහෙයින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙන්ම රජයත් මෙම කාරණාව සම්බන්ධයෙන් තියුණු අවධානය යොමු කළ යුතුය.

ගුරු වෘත්තීය සමිති මේ වනවිටත් අනගිතම ජයග්‍රහණයක් ලබා තිබේ. එනම් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවක් තිබෙන බව රජය පිළිගැනීමය. එතැනින් නතර නොවී එය විසඳීමට ගන්නා පියවරක් රජය ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේ වුවද දරුවන්ගේ අනාගතය ගැන ගුරු වෘත්තීය සමිතිත් ආණ්ඩුවත් යන දෙපාර්ශ්වයම මෙම ප්‍රශ්නයේදී එක තැනකට පැමිණිය යුතුය. එය අපගේ ප්‍රාර්ථනයයි.

මෙහිදී අපි දෙපාර්ශවයට මෙම ආයාචනය කරනවා මිස එක් පාර්ශවයකට පමණක් ඇඟිල්ල දික් නොකරමු. එසේම දෙවියකු වන්නට නොහැකි නම් ගුරුවරයකු වන්නැයි යන කියමනද මතක් කරමු.

(***)



අදහස් (1)

රටේත් ජනතාවගේත් අපේක්ෂාව ළමා පරපුරයි

Raveendra Monday, 18 October 2021 01:40 PM

රටේ දැවෙන ගැටළුවක් පිළිබඳව ඉතාමත් හොඳ විග්‍රහයක්. ඒ පිළිබඳව කතෘතුමාට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. පළමුව අප මෙම ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉතාමත්ම සාධාරණ බව කිසිදු විවාදයකින් තොරව පිළිගන්නෙමු. එනමුත් රටේ පවතින වාතාවරණය පිළිබඳව කිසිඳු තැකීමක් නොකිරීම, තමන්ගේ ඉල්ලීම් පමණක් දිශානතිය කරගැනුම නිවැරදිද යන්න මෙම ගුරුවරුන්ට නොතේරුණාද නොව... නමුත් ඔවුන්ගේ නායකයින් කිසියම් හෝ හෝදාපාලුවට ලක්වුණු දේශපාලුවන්ගේ අතකොලු වූවා යන්න ඕනෑම කෙනෙකුට හොඳින්ම පැහැදිලි බවත් කිවයුතුයි. කවුරුන් නැත යන්න කීවත් එය ඒ ඒ අයගේ හිතට එකඟව නම් "ඔව් අප අහවල් අයගේ විස්තරය අස්සේ රිංගාගෙන තමයි ඉන්නේ යන්න තම හිතින් මුමුණනු නියතයි". අප කිසිවෙකු හිතන්නේ නම් අප දිනුම් අනිකා පරාදයි යන නිවට න්‍යාය සමගින්... ඒ අප සියල්ලෝම පරාදවීමකි. මෙහි භයානකම අතුරුඵලය නම් දරුවන් ගුරුවරුන් කෙරෙහි වෛරය, ද්වේශය හා තම ගුරු භක්තිය නැතිවීම ආදීන්ය. ඒ පිළිබඳව වගේ වගක් නැති "ගුරුහොරුන් තවමත් අං පටලවාගෙන තප්පුලන්නේ" මුදල් පමණක්ම තම ජීවිතය බව සනාථ කරමින් බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...

:       3       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 181 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 100 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 39 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3990 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12508 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 636 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site