IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රිදී තිරයේ පෙම්වතුන් ගැන ශි‍්‍රයානි අමරසේන කතාකරයි

   gyfiy

 

මෙවර සුසංයෝගයක මතක සැමරුමට එක්වන ප‍්‍රවීණ රංගනශිල්පිනී ශ‍්‍රියානි අමරසේන රිදී තිරයේ සිය පෙම්වතුන් වූ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, යන සූරයන් හතරදෙනා ගැන සිය රස මතකය අවදි කරන්නේ මෙසේය.

 

 

38අද මම කතා කරන්නේ සිනමාවේදී මට හමුවුණු සුන්දරම හතර දෙනෙක් ගැන. ඒ තමයි ගාමිණී, ජෝ, ටෝනි, විජය, මේ හතර දෙනාම එක්කෙනෙකුට එක්කෙනෙක් පරදින්නේ නැති දක්ෂතාවන් තිබුණු රංගන ශිල්පීන් හතර දෙනෙක්. මේ හතර දෙනත් එක්ක මම ගොඩක් සමීපව වැඩ කරලා තියෙනවා. ඒ හතරදෙනාම සිනමාවෙ මගේ පෙම්වතුන් වුණා. ඒ අතින් මම හරිම වාසනාවන්ත නිළියක්. මේ වගේ දක්ෂයන් එක්ක වැඩ කරන්න ලැබීම වගේම මේ අයගෙ ඇසුරත් ඒ තරම්ම සුන්දර අතීත මතකයක්. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ගාමිණී ෆොන්සේකා මගේ ප‍්‍රියතම නළුවාවෙලා හිටියා. මම ගෝතමී එකේ ඉගෙන ගන්න කාලේ අපේ පංතියේ හිටපු ගොඩක් අයගෙ ප‍්‍රියතම නළුවා වුණේ ගාමිණී, ඒ කාලෙත් මම දයානන්ද ගුණවර්ධනගෙ ‘‘නරි බෑනා’’ නාට්‍යයේ රඟපානවා. මම රඟපෑවෙ ගම දුවගෙ චරිතය. කොළඹ ඉස්කෝලෙක‘‘නරිබෑනා’’ නාට්‍යය පෙන්නපු දවසක ගාමිණී ෆොන්සේකා ආවා නාට්‍යය බලන්න. ගාමිණී ෆොන්සේකා නාට්‍ය බලන්න ඇවිල්ලා ඉන්නවා කියලා අපි මේකප් කරන තැනට ආපු කෙනෙක් කිව්වා. ඒක ඇහුවා විතරයි අපි කාටත් පුදුම සන්තෝෂයක් ඇති වුණේ. කවුරුත් කතා වුණා ගාමිණී ෆොන්සේකාත් බලාගෙන ඉන්න නිසා හොඳටම රඟපාන්න  ඕන කියලා. මටත් ඉතින් ඉවසිල්ලක් නැතුව හිටියේ. රඟපාද්දී අපි දැක්කා ගාමිණී ෆොන්සේකා ඉස්සරහ පේළියේ ඉඳගෙන නාට්‍යය නරඹන හැටි. අපිත් ඉතින් හිතට අරගෙන රඟපෑවා. නාට්‍යය ඉවරවුණාම දයානන්ද ගුණවර්ධන මහත්තයට සුබපතන්න ගාමිණි ෆොන්සේකා ස්ටේජ් එකට ආවා. ගාමිණී ෆොන්සේකාට අපිත් හරි  ආසයි කියලා දැනගෙන ඉඳපු දයානන්ද ගුණවර්ධන මහත්තයා අපි ඔක්කොටම අඬගහලා ගාමිණී ෆොන්සේකාට කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. මගේ ළඟ හැම තිස්සෙම මම තියාගෙන ඉන්නවා ඒ කාලෙ සමරු පොතක්. මම ඉක්මණට ඒක අරගෙන ගාමිණී ෆොන්සේකාට දුන්නා අත්සන් කරන්න. එයා මගෙන් නම එහෙම අහලා ‘‘විශ්යූ  ඕල් ද බෙස්ට් ශ‍්‍රියානි’’ කියලා ලියලා අත්සනක් ගහලා දුන්නා. පහුවෙනිදා ඉස්කොලෙ ගිහින් මම සමරු පොත ළමයින්ට පෙන්නුවෙ හරිම ආඩම්බරෙන්. ළමයිනුත් පොරකකා මගෙන් ගාමිණි ගැන විස්තර අහනවා. ඒ සමරු පොතේ වටින අත්සන් ගොඩක් තිබුණා. ඒකට ගාමිණි ෆොන්සේකාගෙ අත්සනක් ගන්න පුළුවන් වීම මට ඒ කාලේ ලොකු දෙයක්.

 


ඉස්කෝලෙ කාලෙ ඉවර වෙලා මම විවාහ වුණා. මගේ සැමියා අමරේ එතකොටත් ‘‘විසිතුර’’ සිනමා පත්තරේ කර්තෘ. ඒක නිසා අපේ විවාහ උත්සවයට ගොඩක් කලාකරුවො ආවා. ගාමිණී ෆොන්සේකත් ආවා. සිනමාවේ ජනප‍්‍රිය චරිත ගොඩක් අපේ මඟුල් ගෙදර ආවා. රුක්මනී දේවි, එඞී ජයමාන්න, ජිවරානි, සන්ධ්‍යා කුමාරි, ඞී.බී. නිහාල්සිංහ, සෝබනී අමරසිංහ, ක‍්‍රිස්ටි ලෙනාඞ්, අනුලා කරුණාතිලක, පේ‍්‍රමා ගනේගොඩ වගේ ගොඩක් අය ආවා. විවාහයෙන් පස්සෙ ඉබේම වගේ මට සිනමාවට දොර ඇරුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගෙ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටියෙන් තමයි මම සිනමාවෙ පළමුවෙනි පියවර තිබ්බෙ. ඒකත් මගෙ ජීවිතේ අමතක නොවන සිදුවීමක්.

 

5

 


මට ගාමිණි ෆොන්සේකා එක්ක ඉස්සෙල්ලාම රඟපාන්න ලැබෙන්නේ ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කරපු ‘‘රත්තරන් අම්මා’’ චිත‍්‍රපටයේදී. ඒකේ මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ මගේ සැමියා අමරේ නිසා. ධර්ම ශ්‍රී අමරෙට කියලා තිබුණා ඒ චරිතයට ශ‍්‍රියානි ගැලපෙනවා කියලා. ඒක ඇහුවම මට ඉහේ මලක් පිපුණා වගේ. මට ටිකක් තිගැස්මකුත් ආවා. ගාමිණී ගැන භක්තියක් වගේ එකක්නේ තිබුණේ අපිට. මුහුරත් එකේදී මුණ 
ගැහුණම මම හිතුවා මට ඔහුත් එක්ක රඟපාන්න පුළුවන් වෙයි කියලා.

65
මේ චිත‍්‍රපටියේ පළමුවෙනියටම රූපගත කළේ ගාමිණිගෙයි මගෙයි සීන් එකක්. මගේ සැමියා ගාමිණී. එයා වැඩ ඇරිලා එනකම් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා මම. ගාමිණී ඇවිල්ලා ආදරෙන් මාව සිපගන්නවා. හරිම ආදරෙන් ඉන්න දෙන්නෙක්. මේ සීන් එක ගන්න මට ටිකක් ලජ්ජයි. මොකද 
ගාමිණී ගැන මගේ හිතේ තිබුණු ගෞරවයත් එක්ක ඒ වගේ සීන් එකක් කරන්න ටිකක් අපහසුතාවන් දැණුනා. කොහොම හරි රිහසල් කීපයක් කරලා රූපගත කළා. ඒක තමයි ගාමිණීගෙයි මගෙයි පළමුවෙනි රංගනය. ඒක අමතක නොවන දෙයක්. ඒකෙදී ගාමිණී මාව උනන්දු කරවලා හොඳට රඟපාන්න උදවු කළා.


මේකෙන් පස්සෙ ගාමිණී අයියයි මමයි චිත‍්‍රපටි රාශියක එකට රඟපෑවා. තමන් එක්ක රඟපාන කෙනාගේ හැඟීම් අඳුරගෙන හරිම සහයෝගයෙන් වැඩ කරන පුද්ගලයෙක් තමයි ගාමිණී ‘‘හිත මිතුරා’’, ‘‘ආශා දෑසින්’’, ‘‘ශ්‍යාමා’’, ‘‘රිදී තැල්ල’’, ‘‘යළි හමුවෙන්නයි’’, ‘‘හතර දෙනාම සූරයෝ’’, ‘‘සරුංගලේ’’ වගේ චිත‍්‍රපටි ගොඩක අපිට රඟපාන්න අවස්ථාව ලැබුණා. ගාමිණි හරිම පිළිවෙළකට වැඩකරන කෙනෙක්. වේලාවට වැඩ කිරීම එයාගේ අංක එක. දර්ශන තලයට ආවට පස්සෙ වෙන වැඩ නෑ. අදාළ සීන් එකට විතරයි අවධානය යොමුකරන්නේ.


සමහරු කියනවා ගාමිණි අයියා ආඩම්බරයි කියලා. ඒත් එයා එහෙම ආඩම්බර නෑ. ඒ එයාගෙ විදිහ. ආඩම්බර වෙනවනම් ආඩම්බර වෙන්නත්  ඕනැ තරම් හේතු ගාමිණි ළඟ තිබුණා.


‘‘රත්තරන් අම්මා’’ චිත‍්‍රපටියෙ ෂූටින්වලදී මට කරන්ට් එක වැදුණු එකත් අමතක කරන්න බෑ. ගාමිණී ගෙදර එනකොට මම ගේට්ටුව ළඟට ගිහින් ගේට්ටුව අරින දර්ශනයකදී ෂූටින් වලට දාපු ලොකුලයිට් එකක් ගේට්ටුව උඩට කඩාගෙන වැටිලා ඒකේ කරන්ට් ෂෝට් එකක් තිබිලා මට කරන්ට් වැදුණා. මාව වැටෙන්න යනකොට ගාමිණී අයියා මාව අල්ල ගත්තා. මම සෑහෙන්න බය වුණා. ෂූටින් නවත්තලා කවුරුත් ඇවිත් මං ගැන බැලූවා. හොඳ වෙලාවට එදා අමරෙත් ෂූටින්වලට ඇවිත් හිටියා. මේක නිසා ගොඩක් වෙලා ෂූටින් නතරකරන්න වුණා.


ගාමිණී තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගත්තේ බොහොම කැපවීමෙන්, ඒකයි කාටවත් ගාමිණී ෆොන්සේකා වගේ වෙන්න බැරි. ගාමිණී කිසිම වෙලාවක නළුකම බාල්දු කරපු කෙනෙක් නෙවෙයි. ඒක තමයි ගාමිණිගෙ විශේෂත්වය. ගාමිණී අයියා එක්ක චිත‍්‍රපටියක රඟපාන්න යනකොටත් අපිත් හොඳටම ඒකට සූදානම් වෙලා තමයි යන්නේ. නැත්නම් ලෙඩක්. ගාමිණී ඉන්න සෙට් එක ඇතුළේ ප‍්‍රශ්න නෑ. කවුරුත් දන්නවා අනවශ්‍ය දේවල් කළොත් ගාමිණීට තරහා යනවා කියලා.


අපි ‘‘ආශා දෑසින්’’ චිත‍්‍රපටියෙ ෂූටින්වලට බතලගොඩ ප‍්‍රදේශයට ගිය අවස්ථාවක ගමේ කීප දෙනෙකුගෙන් පොඩි ප‍්‍රශ්නයක් ආවා. ගොඩක් අය ෂූටින් බලන්න ඇවිත් හිටියා. ගමේ ඉන්න ටිකක් නහරකාරයො දෙතුන් දෙනෙක් අපට කරදර වෙන විදිහට හැසිරුණා. නිෂ්පාදන අංශයේ අය මේ කට්ටියට කිව්වා අපට කරදරයක් වෙන්නෙ නැතුව අයින්වෙන්න කියලා. ඒත් ඒක ඇහුවෙ නෑ. එදා අපි ෂූටින් නැවැත්තුවා. ගාමිණීට මේ සිද්ධියට කේන්ති ගිහින් හිටියෙ. අධ්‍යක්ෂක සේන සමරසිංහටත් කියලා එදා ෂූටින් නවත්තලා පහුවෙනිදා ආපහු ෂූටින්වලට ගියා. එදා ගාමිණී සූදානම් වෙලාගියේ. වාහනේ පොලූ එහෙමත් දාගෙන හිටියේ. ලොකේ්ෂන් එකට ගිහිල්ලා ෂූටින් බලන්න ඇවිත් හිටපු අයට ඇහෙන්න ගාමිණී කිව්වා ‘‘ඊයේ අපට කරදර කරපු කට්ටිය පුළුවන්නම් අද එනවා බලන්න’’ කියලා. එදා කිසිම අවුලක් නෑ. අපි ෂූටින් ඉවර වෙලා එනකම් කිසිම ප‍්‍රශ්නයක් වුණේ නෑ. ගාමිණී ඒ වගේ  ඕනැ ප‍්‍රශ්නයකදී ඔළුව පාවිච්චි කරලා තමයි ඒවට මුහුණ දුන්නේ.


ගාමිණී ගීත රචකයෙක් විදිහටත් සුවිශේෂී ගීත කීපයක් රචනා කරපු කෙනෙක්. ඒ ගීත ගායනා කළෙත් ප‍්‍රවීණයො. මටත් අවස්ථාව ලැබුණා ගාමිණි අයියා ලියපු ගීත කීපයක් ගායනා කරන්න. ඒ ගීත නිෂ්පාදනය කළේ බුද්ධි කීර්තිසේන. මම ඒ ගීත කිව්වේ විජය කුමාරතුංගත් එක්ක. ‘‘දිනකර පායා’’ කියලා නම් කරපු ඒ ගීත එකතුවට ගාමිණී අයියා ගීත හතරක් පහක්ම ලිව්වා. ඒවා ඒ කාලේ ගොඩක් ජනප‍්‍රිය වුණා. ගාමිණී මමයි සම්බන්ධව ඒකත් අමතක කරන්න බැරි දෙයක්.


ගාමිණීට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් තමයි ජෝ අබේවික‍්‍රම. ජෝ අයියයි මමයි අතරේ ගොඩක් සමානකම් තිබුණා. අපි දෙන්නගෙම 
ලග්නය ධනු. අපි දෙන්නගෙම උපන් දිනය ජුනි 14 වෙනිදා. අපි ෂූටින්වලට ගියාම ජෝ අයියා අත බලලා එක එක දේ කියනවා. ජෝ අයියට සාත්තර කියන්න පුළුවන් ටිකක්. ඒ වගේ වෙලාවක තමයි අපි දෙන්නගෙ ලග්නයයි උපන් දිනයයි එකයි කියලා දැනගත්තේ. බර්ත්ඬේ පාටියක් එකට ගමු කියලා අපි දෙන්නා කීප සැරයක් කතාවෙවී හිටියා. ඒත් ඒක නම් කරගන්න බැරි වුණා. ජෝ අයියා හරිම සරල පුද්ගලයෙක්. ඒ වගේම හොඳ ගැමියෙක්. ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් තිබිච්ච පුද්ගලයෙක්. ජෝ අයියගේ රඟපෑම්වලත් මේ දේ අපි දැක්කානේ. 


ගාමිණීගෙයි ජෝගෙයි රඟපෑම්වල තියෙන වෙනස සහ විශිෂ්ඨත්වය මැනගන්න පුළුවන් හොඳම චිත‍්‍රපටය තමයි ‘‘වැලිකතර’’. දෙන්නට දෙන්න පරදින්නේ නෑ.


ජෝ අයියා මහා ලස්සනක් තිබුණු කෙනෙකුත් නෙවෙයි. හාස්‍ය රංඟනයෙන් පටන් ගත්තු ජෝ අයියා අන්තිමට නැවතුණේ රටේ ඉහළම නළුවා වෙලා. ඒක කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.


ජෝ අයියගෙයි මගෙයි රංගන ජීවිතයේ විශිෂ්ටතම අවස්ථාව තමයි ”දෑස නිසා” චිත‍්‍රපටිය. ඒකට අපි ගොඩක් සූදානම් වෙලා තමයි මුහුණ දුන්නේ. මම 
”සුන්දරී” කියන අන්ධ චරිතය කළේ. මේකත් ලෙස්ටර් මහත්තයගෙ චිත‍්‍රපටියක්. අපි ෂූටින් කළේ අනුරාධපුරේ ඇහැටුවැව කියන ප‍්‍රදේශයේ. ඒ කාලේ මහා ලොකු පහසුකම් තිබුණේ නෑ. ඒත් අපි තියන විදිහට හැමෝම සහයෝගයෙන් බෙදා හදාගෙන තමයි වැඩ කළේ. වියළි කලාපයේ ලස්සන වැවක් ආශ‍්‍රිතව තමයි ලොකේෂන් තිබුණෙත්. 


අපි හැමෝම දන්නවනේ ජෝ අයියා ලණු දෙයියා කියලා. ජෝ අයියා දෙන ලණු කාපු නැති කෙනෙක් ඒ කාලේ චිත‍්‍රපටිවල හිටියේ නැති තරම්. ඒ වගේම සමහර ඒවා ඇස් රතු වෙන විහිළු. මටත් ”දෑස නිසා” ෂූටින් වලදී ඒ වගේ නියම ලණුවක් දුන්නා. ජෝ අයියයි මමයි වැවට ගිහින් නාන දර්ශනයක් රූපගත කරන්න සූදානම් වෙලා අපි දෙන්න වැව ළඟට යනකොට ජෝ අයියා මට කියනවා ”වැවට බැහැලා නානකොට ඇඟට වතුර වැටුනම ඇඟ විතරක් පේන විදිහෙ ලෙන්ස් එකක් සුමිත්ත ළඟ තියෙනවා. මිනිහා ඒක දාලා ගනීවී ඒක නිසා උඹ ඒකට බෑ කියපන්” කියලා. සුමිත්ත අමරසිංහ කැමරාව සූදානම් කරන අතරේ ලෙස්ටර් මහත්තයා සීන් එක ගන්න සූදානම් වෙනවා. මම දිය රෙද්දත් ඇඳගෙන ලෙස්ටර් මහත්තයා ළඟට දුවගෙන ඇවිත් මට ඒ සීන් එකට ඉන්න බෑ කිව්වා. ජෝ අයියා කියපු කතාවට මම ඇත්තටම බය වෙලා හිටියෙ. ලෙස්ටර් මහත්තයා ඇහුවා ඇයි බෑ කියන්නේ කියලා. මම සිද්ධිය කිව්වා. ලෙස්ටර් මහත්තයට වැඬේ තේරිලා ජෝ අයියට කිව්වා ”ජෝ.... විහිළු නවත්තලා අපට මේ වැඬේ කර ගන්න ඉඩ දෙනවකො” කියලා. ජෝ අයියා මට ඒ කතාව කිව්වෙ පණ පිහිටවලා. ජෝ අයියා ඒ වගේ ලණු දෙනකොට කාටවත් හිතෙන්නෙ නෑ ඒවා බොරු කියලා. ඒ තරම් ජෝ අයියා ඒකට දක්ෂයි.


ජෝ අයියා එක්ක ලොකේෂන්වල ඉන්නකොට කිසිම පාළුවක් නෑ. එයාගේ නියම කතා තියෙනවා. ”දෑස නිසා” කරන දවස්වල අපි දවල් ෂූටින් කරලා ඉවරවෙලා රැට යනවා වැවට නාන්න. ජෝ අයියා තමයි එළියකුත් අරන් ඉස්සර වෙන්නෙ. ජෝ අයියට හොඳට පීනන්න පුළුවන්. අපි වැව අයිනෙ ඉඳන් නානකොට ජෝ අයියා ඈතට පීනගෙන යනවා. හිටි ගමන් වතුර යටින් ඇවිල්ලා අපි එක එක්කෙනාගෙ කකුල් වලින් අදිනවා. දෙනවක ඇන්ටි, මම, ප‍්‍රීති, රවින්ද, සුමිත්ත අපි කට්ටියම තමයි ජෝ අයියා එක්ක නාන්න යන්නෙ. කිඹුල්ලූත් ඉන්න නිසා අපි ජෝ අයියගේ මේ විහිළුවලට හරි බයෙන් තමයි නාන්නේ. ජෝ අයියා හරිම විනෝද වැඩ තමයි කරන්නේ. ජෝ අයියා සිංදු කියන්නත් දක්ෂයානේ. ජෝ අයියා අපි කට්ටිය වටකරගෙන හැන්දෑවට පරණ සිංදු කියන්න පටන් ගන්නවා. ඒක හරිම සන්තෝෂයෙන් ගත කරපු කාලයක්. අපි මාසයකටත් වැඩිය හිටිය ”දෑස නිසා” ෂූටින් වලට ගිහිල්ලා.


මට ලොකු කනගාටුවක් තියෙනවා මගේ නිෂ්පාදනයකට ජෝ අයියව ගන්න බැරිවෙච්ච එකට. ”රිදී තැල්ල”, ”දෑසේ මල් පිපිලා”, ”තරණය” කියන චිත‍්‍රපටි තුන තමයි අපි නිෂ්පාදනය කළේ. අපි මේ චිත‍්‍රපටි කරන කාලේ ජෝ අයියත් ගොඩක් කාර්ය බහුලවෙලා හිටියෙ.


ගාමිණී අයියා එක්ක අපි එකට එක විහිළු කරගන්න එහෙම යන්නෙ නෑ. ඒත් ජෝ අයියා එක්ක එහෙම නෑ. ජෝ අයියා එක්ක අපි විහිළු තහළු කරගෙන තමයි හිටියේ.


ටෝනි රණසිංහ කියන්නෙත් මගේ රංඟන ජීවිතේ මට මුණගැහුනු තවත් අපූරු පුද්ගලයෙක්. ටෝනියි මමයි චිත‍්‍රපටි පහළොවක් විස්සක් විතර එකට රඟපෑවා. ටෝනි සිංහල සිනමාවෙම සංධිස්තානයක්. ටෝනිට තිබුණු මනස්කාන්ත පෙනුම වෙන කා එක්කවත් සම කරන්න බෑ. ටෝනිට තිබුණෙ සුන්දර නළුකමක්. ඒකට තමයි පේක්ෂකයා ගොඩක් ආස වුණේ.


ටෝනිගෙ බිරිඳ ශ්‍රීමා, ගෝතමී එකේ මාත් එක්ක එකට ඉගෙන ගත්තෙ. අපේ පවුල් අතරත් ලොකු සම්බන්ධතාවන් තිබුණා. ටෝනිව සිනමාවට ගෙනල්ලා තියෙන්නෙත් අමරේ. අපේ හිතවත්කමට මේ ඔක්කොම හේතු වුණා. 


අපි ”තරණය” චිත‍්‍රපටිය කරන්න සූදානම් වෙද්දි අමරේ කිව්වා ඒකෙ පිටපත ලියන්න ටෝනිට දෙමු කියලා. ටෝනි අපිට ලස්සන කතාවක් ලියලා දුන්නා. ටෝනි තරණය චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයකුත් රඟපෑවා.


ටෝනි ජනප‍්‍රිය වෙන කාලේ අපි ඉස්කෝලෙ යනවා. අපි හරි ආස නළුවෙක්. ටෝනිගෙ ගෙවල් පාරෙන් අපේ සමහර යාළුවෝ ඉස්කෝලෙ ඇරිලා යනවා ටෝනිව දකින්න පුළුවන් වෙයි කියලා. සමහර දාට ඒ අය ඇවිත් කියනවා ටෝනි බැල්කනියෙ ඉඳලා දැක්කා කියලා. හැබැයි ශ්‍රීමාට ටෝනි එක්ක සම්බන්ධයක් තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. එක පාරටම ශ්‍රීමා ඉස්කෝලෙ එන්නෙ නැතුව නැවතුනා. අපි හොයලා බැලූව මොකද වුනේ කියලා. පස්සෙ තමයි ආරංචි වුණේ එයා ටෝනි එක්ක විවාහ වෙලා කියලා. කවුරුත් ඒකට පුදුම වුණා. ශ්‍රීමත් හරි ලස්සනයි. පස්සෙ මුණ ගැහුණම අපි ඒ දේවල් ගැන කතා වුණා. 


”පෙති ගෝමර”, ”බඹර පහස”, ”සාගරිකා”, ”තරණය”, ”කුලගෙය” වගේ චිත‍්‍රපටි කීපයකම ටෝනියි මමයි රඟපෑවා. ඒ අතරින් ”දෙලොවක් අතර” චිත‍්‍රපටිය ගොඩක් විශේෂයි. ඒකෙ ටෝනි විශිෂ්ට රඟපෑමක් කරනවා .ඒක මටත් ලොකු ධෛර්යක් වුණා ඒකෙ රඟපාන්න. තමන්ගෙ මිය ගිය බිරිඳ ගැන සිහිපත් කරමින් ඉන්න දොස්තර වරයකුගේ සංකීර්ණ චරිතයක් තමයි ටෝනි ඒකෙ රඟපෑවෙ. එයාගේ බිරිඳ විදිහට තමයි මම රඟපෑවේ. ඒ චිත‍්‍රපටියට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණනේ.


ජෝ අයියා වගේම ලණු දෙන්න සූරයෙක් තමයි ටෝනිත්. එයත් හරිම ජොලියෙන් හිටපු කෙනෙක්. ටෝනි හැමෝටම ලණු දුන්නට කවුරු හරි ටෝනිට ලණුවක් දුන්නොත් එහෙම ටිකක් කේන්ති යනවා එයාට. මට නම් ටෝනි ඒ වගේ ලණු දීලා නෑ. ඒ වගේම ටෝනි ළඟත් තිබුණා රස කතා ගොඩක්. සමහර ඒවා ප‍්‍රසිද්ධියේ කියන්න බැරි ඒවා. ජෝ අයියා වගේම ටෝනි අයියා ඉන්න තැන පාළුවක් නෑ.


විජය කුමාරතුංගත් මේ තුන් දෙනා වගේම මට සමීප කෙනෙක්. මේ තුන්දෙනාටම නොතිබුණු තරමෙ ජනතා ආකර්ශණයක් තමයි විජයට තිබුණෙ. විජයගෙ පෙනුම වගේම එයාගේ වැඩත් එක්ක තමයි මිනිස්සු ඒ තරම් විජයට ආදරේ කළේ. විජය නැතිවීම සිංහල සිනමාවට තිබුණු පේ‍්‍රක්ෂක ආකර්ෂණය අඩු වෙන්න ගොඩක් බලපාපු කාරණයක්. වාණිජ චිත‍්‍රපටිවලදී විජය තරම් උඩ හිටපු නළුවෙක් නැති තරම්.


”දෑසේ මල් පිපිලා” චිත‍්‍රපටය කරනකොටම මම තීරණය කළා ඒකේ ප‍්‍රධාන චරිතයට ගන්නේ විජය කියලා. ඒක මම මතක් කරන්නෙ විජයට ගෞරවයටත් එක්ක. මොකද ඒ චිත‍්‍රපටියෙ වැඩ කරන කාලේ විජය අතිශයම කාර්ය බහුල ජීවිතයක් ගත කළේ. විජයගෙන් ඬේට් එකක් ගන්න බැරි තරම් වැඩ තිබුණා ඒ වෙද්දි. දේශපාලන වැඩයි චිත‍්‍රපටි වැඩයි ඔක්කොම එක්ක විජය මගේ චිත‍්‍රපටියට කතා කරපු ගමන් ආවා. ඒත් අවාසනාවට චිත‍්‍රපටිය තිරගත වෙනකොට විජය ජීවතුන් අතර නෑ. ඒක මට ගොඩක් වේදනාවක් ගෙනාපු දෙයක්. අපි එකතුවෙලා හදපු චිත‍්‍රපටිය විජයට පෙන්නගන්න බැරි වුණා කියන දුක අදත් මට තියෙනවා. මොකද මේ චිත‍්‍රපටියෙ රඟපෑවට විජය මගෙන් සත පහක්වත් ගත්තෙ නෑ. විජය කිව්වෙ ”ශ‍්‍රියානිගේ චිත‍්‍රපටියෙ රඟපාලා මට සල්ලි ගන්න බෑ” කියලා. ක්ෂේත‍්‍රයේ අයගේ චිත‍්‍රපටිවලට සම්බන්ධ වුණාම විජය කොහොමත් සල්ලි බලාපොරොත්තු වෙන්නෙ නෑ. විජය තමයි ඒ වෙද්දි වැඩියෙන්ම අය කරපු නළුවා. ඒත් අපි එක්ක තිබුණු සහෝදරකම විජයට මුදලට වඩා ලොකු වුණා. ”දෑසේ මල් පිපිලා” චිත‍්‍රපටියෙන් ලබපු සල්ලි අපි විජය වෙනුවෙන් පිංකම්වලට යෙදෙව්වා. අපිට එච්චරයි විජය වෙනුවෙන් කරන්න පුළුවන් වුණේ.


”පාරමිතා”, ”කුමර කුමරියෝ”, ”අහසින් පොළොවට”, ”දෑසේ මල් පිපිලා”, ”හිතුවොත් හිතුවාමයි” වගේ චිත‍්‍රපටි කීපයක්ම විජයයි මමයි රඟපෑවා. ”හිතුවොත් හිතුවාමයි” චිත‍්‍රපටියෙ විජයයි මමයි රඟපාන ”චුක්කි චුක්කි චුක්කි කියලා” කියන සිංදුවට මම අදටත් ගොඩක් ආසයි.


විජයට ආදරේ කරපු මිනිස්සු හැම දෙනා එක්කම වචනයක් හරි කතා කරන්න විජය අමතක කළේ නෑ. විජයගෙන් උදවු ඉල්ලගෙන ආපු හැමෝටමත් විජය උදවු කළා. විජය ජනප‍්‍රිය කාලේ වගේම විජය මිය ගියාට පස්සෙත් ගොඩක් ගෙවල්වල විජයගෙ කැලැන්ඩර් ගහන පුරුද්දක් තිබුණා. ඒ තරම් ජනප‍්‍රියත්වයක් ඔහුට තිබුණා. වෙන කිසිම නළුවෙකුට ඒ තැනට එන්න බැරි වුණා.


නිළියක් විදිහට මට වාසනාව ලැබුණා සිංහල සිනමාවේ නළුවො රැුසක් එක්ක එකට රඟපාන්න. ඒ අවස්ථාව ගොඩක් අයට නොලැබුණ දෙයක්. ලෙස්ටර් මහත්තයාගෙ චිත‍්‍රපටියකින් රඟපෑම පටන් ගත්තු මම සිංහල සිනමාවෙ හිටපු දක්ෂතම නළුවො සියලූ දෙනා එක්කම වගේ රඟපෑවා. ඒක මගේ වාසනාවක්. අපි අද කතා කරපු ගාමිණී, ජෝ, ටෝනි, විජය ඒ අතර ඉහළින්ම ඉන්න හතර දෙනෙක්. මේ හතරදෙනා ගැන වචන දෙකකින් කියන්න තියෙන්නේ ”හතරදෙනාම සූරයෝ” කියලා තමයි.

m

 



අදහස් (0)

රිදී තිරයේ පෙම්වතුන් ගැන ශි‍්‍රයානි අමරසේන කතාකරයි

දිලිප් වික්‍රමරත්න Thursday, 17 December 2015 09:50 PM

සිංහල සිනමාවට නැවතත් මේ වගේ විශිෂ්ටයෝ බිහිවෙන එකක් නැහැ. අද ඉන්න බොහොමයක් නළුවෝ මාධ්‍ය විසින් පුම්බා ඉදිරියට ගෙනා අය. එහෙත් 60 70 දශකයේ සිනමාව, වේදිකාව ආක්‍රමණය කළ නළු නිළියන්ගේ අතීතය බැලුවොත්, ඔවුන් ඒ තත්වයට ඒමට කළ කැපවීම, ඒ වගේම කලාව ගැන තිබු අවබෝධය සහ දැනුම අද අයට හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 17 December 2015 12:51 PM

අද මේ හතර දෙනාම ජිවතුන් අතර නොසිටීම අපේ සිනමාවේ අවසානය ,හා මොඋන් සමග ඔබ තුමිය සිනමාවේ කල දස්කම් හා විස්කම් අපට මතකයෙන් මැකී නොයනු ඇත .(අ)

:       0       0

ගාමිණී Monday, 21 December 2015 11:51 PM

ගාමිණී, ජෝයි, ටෝනි, විජය.... ඔබ අපේ සිනමා සක්විත්තෝයි (නි)

:       0       0

විජේතුංග Thursday, 17 December 2015 08:05 PM

අපේ සිතේ සැමදාම ඉන්න කලාකරුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3213 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site