IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


රිය අනතුරු වළකන නීති ප්‍රමාණවත්ද?

මාර්ග අනතුරු සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම වැඩි වශයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇති විය. මෙම අනතුරුවලින් රටට අහිමි වූ මිනිස් ජීවිතවල මෙන්ම දේපළවල වටිනාකම් ද මුදලින් තක්සේරු කළ හැකි නොවේ. මෙම මාර්ග අනතුරුවලට ලක්වී සදාකාලික ආබාධිත තත්වයට පත්වන අයද බොහෝය. කෙසේ වෙතත් මේ පවත්නා තත්වය අනුව මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා දැඩි අවධානයක් යොමුවී ඇති අතරම ඒ පිළිබද පුළුල් සමාජ සංවාදයක් ඇති විය යුතුය.

රියැදුරු යනු වෘත්තියකි. එහෙත් ලංකාවේ රියැදුරු වෘත්තිය ඉහළ මට්ටමකින් සලකන බවක් පෙනෙන්නට නැත. තමන්ට රස්සාවක් ඇත්තේම නැත්නම් රියැදුරු රැකියාවක් හෝ ලබාදෙන ලෙස ඇතැමුන් ඉල්ලා සිටින්නේ මේ සමාජ මතය නිසාය. වෛද්‍යවරයෙක් අවම වශයෙන් වසර පහක්වත් වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබන්නේය. විභාග සිය ගණනකට මුහුණ දෙන්නේ ය. වෛද්‍යවරයකු අතින් යම් අතපසුවීමක් වුවහොත් එක් වරකට ඔහු අතින් මියයන්නේ එක් රෝගියෙකි. එහෙත් රියැදුරකුගේ තත්වය කුමක්ද?  ඔහු වැඩිම වුණොත් ඉගෙන ගන්නේ දින පහක් හයක් පමණි. පෙනී සිටින්නේ එක විභාගයකට පමණි. එයද සමත් වන විවිධ මාර්ග තිබෙන්නට පුළුවන. එහෙත් රියැදුරකු අතින් එක් වරදක් වුවහොත් එක් වරකට මිනිසුන් සිය ගණනක් මියයන්නට පුළුවන. එම නිසාම මේ රටේ රියැදුරු වෘත්තිය වැදගත් වෘත්තියක් සේ සලකා ක්‍රියා කළ යුතු බව මුලින්ම අවධාරණය කරනු කැමැත්තෙමි. එහෙත් එබඳු තත්වයක් එදා සිට අද දක්වාම දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ලංකාවේ එබඳු තත්වයක් පැවැතියත් දියුණු මට්ටමේ බොහෝ රටවල තත්වය මීට වෙනස් ය.

පොදු මාර්ගයක වාහනයක් ධාවනය කිරීමේ දී අවධානයට ගත යුතු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. එකක් නම් ඉංජිනේරු අංශයයි. වාහනයේ තත්වය එනම් මාර්ගයක ධාවනය කිරීමට එම වාහනය සුදුසු මට්ටමේ පවතී ද යන කරුණ මෙහිදී සැලකිල්ලට ගත යුතුය. අනෙක සංඥා පද්ධතිය සහ මාර්ග කළමනාකරණය කෙරෙහි ද අවධානය යොමු විය යුතුය. තවත් වැදගත් කරුණක් නම් අධ්‍යාපනයයි. මෙහිදී අදහස් වන්නේ පුද්ගලයාගේ විෂය මූලික අධ්‍යාපනය නොව රියැදුරු පුහුණුවයි. ඒ පුහුණුව ලබාගත්තේ කෙසේද? රියැදුරු බලපත්‍රය ලබාදීමට ඔහු සැබෑ සුදුසුකම් සපුරා තිබේද? යන්නයි.

එසේම තම වෘත්තිය පිළිබඳ රියැදුරා සතුව ඇති මනා දැනුවත්භාවය අත්‍යවශ්‍ය කාරණයකි. ඔහු මාර්ගයේ තම වාහනය හසුරුවාගත යුත්තේ කෙසේද? වෙනත් රියැදුරන්ට හා මගීන්ට කරදරයක් නොවන පරිදි තම වාහනය පැදවිය යුත්තේ කෙසේදැයි දැන සිටිය යුතුය. මාර්ග නීති සම්බන්ධයෙන් වන අවධානය ඊළඟ වැදගත් කරුණයි. පොලීසිය මගින් ක්‍රියාත්මක කෙරෙන නීති දඩ මුදල් අයකරගැනීම් මේ යටතට ගැනේ. රිය අනතුරක් සිදුවූ විට අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන්නේ අනතුරට පත්වූ දෙපාර්ශ්වයට ගැටලු‍ව විසඳාගැනීමට පොලීසිය අවස්ථාව ලබාදීමයි. එහෙත් ලෝකයේ වෙනත් රටවල මාර්ග නීති හා සසඳා බලන විට එවැනි තත්වයක් දැකිය නොහැකි තරම් ය. අපගේ අදහස ද එය එසේ විය යුතු නැත යන්නයි. රිය අනතුරට වගකිව යුතු කවුරු හෝ වරදකරුවකු සිටිය යුතුය. නැතිනම් දෙදෙනාම වැරැදිකරුවන් වන්නට ද පුළුවන.

අනෙක් කාරණය රක්ෂණ ආවරණ සම්බන්ධයෙන් අපේ රටේ පවත්නා තත්වයයි. අපේ රටේ ක්‍රියාත්මක වන ආකාරයට කුමක් හෝ අනතුරකට පසු රක්ෂණ ආවරණ ලබාගැනීමට යන අවස්ථාවේ ද වැරැදිකරුවා කවුදැයි ඔවුන් ප්‍රශ්න කෙරෙන බවක් නොපෙනේ. පොලීසියේ මැදිහත්වීමක් ද ඊට වන බවක් පෙනෙන්නට නැත. රක්ෂණ සමාගම කරන්නේ රියැදුරා පැදවූ වාහනයේ අලාභය ගෙවීමට මැදිහත්වීමයි. තමන් වරදක් කර ඇතැයි යන හැඟීම මේ හේතුව නිසා රියැදුරාට ඇතිවන්නේ නැත. එබඳු පසුබිමක් තුළ ඔහු මහා මාර්ගයේ වරදක් කිරීමට ඇති බිය සහ වාහනය ධාවනයේ දී අවශ්‍ය විනයගරුක බව ඇතිකරගන්නේ නැති තරම් ය.

ලංකාවේ මේ තරමට රිය අනතුරු බහුල ඇයිදැයි ඉංජිනේරුවරයකුගෙන් විමසා බැලු‍වොත් බොහෝ විට ඔවුන්ගේ අදහස වනු ඇත්තේ මෙරට මාර්ග සැලසුම්වල දුබලතා ඇති බවයි. පොලිසියේ නිලධාරියකුගෙන් විමසා බැලු‍වොත් ඔවුන්ගේ පිළිතුර විය හැක්කේ රියැදුරන් මාර්ග නීති පිළිපදිනවාදැයි බැලීමට පොලීසිය යොදවා ඇති බවයි. අවාසනාවකට රජයේ මේ සම්බන්ධව වගකිවයුතු අංශ අවධානය යොමුකරන්නේම මේ කියන කාරණා දෙක සම්බන්ධයෙන් පමණි. එහෙත් සියයට 70කට වඩා රිය අනතුරු සඳහා ඍජුවම බලපාන්නේ රියැදුරාගේ වරදයි. වෙනත් හේතු සියල්ලම එක්ව ගත්තත් එය සියයට 30ක පමණ අගයකි. එසේනම් මාර්ග අනතුරු අවම කරගැනීමේ දී මූලික අවධානය යොමු විය යුත්තේ රියැදුරන් මනා ලෙස පුහුණු කිරීම සම්බන්ධවය. රියැදුරු පුහුණුව සම්බන්ධයෙන් ලංකාවේ තවමත් සහතික වශයෙන් පිළිගත් විධිමත් ක්‍රමවේදයක් ඇතැයි සිතිය නොහැකිය. එම නිසා මුලින්ම කළයුතු වන්නේ රියැදුරු පුහුණුව වඩාත් විධිමත් කිරීමය. එහෙත් කිසිවකු මේ ගැන විවෘතව සාකච්ජා කරන බවක් පෙනෙන්නට නැත. මීට ටික කලකට පෙර අපි මොරටුව විශ්වවිද්‍යාලයෙන් මේ සම්බන්ධ කතිකාවක් ඇතිකිරීමට උත්සාහ ගත්තෙමු. එහෙත් එහිදී අදාළ අංශවල වැඩි අවධානයක් යොමුවූ බවක් පෙනුණේ නැත. එය කනගාටුදායක තත්වයකි. ඔවුන්ගේ අදහස වූයේ රියැදුරු බලපත් සඳහා වන ඉල්ලු‍ම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවය.

මෙම තත්වය සරලව තේරුම් ගතහොත් අපට එළැඹිය හැකි නිගමනය නම් රියැදුරු බලපතක් සඳහා ඉල්ලු‍ම්කරන පුද්ගලයකු වගකීම් සහගත නිසි සුදුසුකම් සහිත රියැදුරකු ලෙස පුහුණුව ලබා දී ක්ෂේත්‍රයට එකතුකරන වැඩපිළිවෙළක් මෙරට තවමත් සකස් වී නොමැති බවය. මහා මාර්ගයේදී තමන් හසුරුවන වාහනය සම්බන්ධයෙන් වන ඕනෑම ගැටලු‍කාරී අවස්ථාවක ඊට මුහුණදීමේ හැකියාවක් මෙරට බොහෝ රියැදුරන්ට නොමැති බව පෙනේ. රියැදුරු බලපත්‍රය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණයේ දී පරීක්ෂකවරුන්ගේ අවධානයට ලක්වන්නේද ඉතාම සරල කාරණා කිහිපයක් පමණි.

ලංකාවේ රියැදුරු බලපත් ලබාදීමේ ක්‍රමවේදය හා රියැදුරු වෘත්තිය පිළිබදව තවදුරටත් අධ්‍යයනය කිරීමේ අපේක්ෂාව ද ඇතිව ලෝකයේ වෙනත් රටවල රියැදුරු වෘත්තිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමට අපට අවස්ථාව සැලසිණ. ඒ අනුව එක්සත් රාජධානියේ රියැදුරු බලපත්‍රය  ලබාගැනීමට මට හැකි විය. ජපානයේ රියැදුරු බලපත් ලබාදීමේ ක්‍රමවේදය අධ්‍යයනයට ඉඩකඩ ලැබිණ. ඔවුහු රියැදුරු පුහුණුවේදී ප්‍රධාන මාර්ගවල පැයට සැතපුම් 110ක වේගයෙන් වාහනය ධාවනය කිරීම සඳහා රියැදුරන් පුහුණු කරති. එසේම වාහනය පාලනය කරන මෙහෙයවන ක්‍රමවේද නැවතුම් විධි සියල්ල පිළිබද නිසි පුහුණුවක් එම රටවල ලබා දීමට ඔවුහු කටයුතු කරති. අයදුම්කරුවා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා යොමු කරන්නේ ඔහුට මේ සියලු‍ අවස්ථා සම්බන්ධයෙන් පූර්ණ පුහුණුවක් ලබාදීමෙන් පසුවය. ලංකාවේ පවත්නා තත්වයට අනුව තුන්වැනි ගියරයේ කෙටි දුරක් ධාවනය කළ පසු බලපත්‍රය සඳහා අවසර ලැබේ. එසේ බලපත් ලබාගෙන පසුවදා සිට පැයට සැතපුම් 100ක වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරකු අතින් වැරැදි සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

අපේ රටේ බොහෝ රියැදුරෝ තමන්ට යාමට හැකි වේග සීමා බොහෝ විට හඳුනා නොගනිති. මාර්ග තදබදය සහිත සහ අවම වේගසීමා දක්වා ඇති ස්ථානවලදී පවා වේග සීමා නොතකා හරිති. වේගසීමා සම්බන්ධයෙන් රියැදුරු පුහුණුවේදීවත් නිසි දැනුමක් ලබාදෙන බවක් පෙනෙන්නට නැත. මේ තත්වය මාර්ග අනතුරු බහුලවීමට විශේෂයෙන් බලපා තිබේ. මාර්ගයේ ඉඩකඩ පවතින අවස්ථාව දී ද මන්දගාමීව ධාවනය කරන රියැදුරෝ සිටිති. බහුල වශයෙන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය වී ඇත්තේ කාන්තාවන් ය. එය ඔවුන්ගේ සීමාව වුවත් පසුපසින් එන වාහනවල සිටින රියැදුරෝ මෙය මහත් හිරිහැරයක් ලෙස සලකති. එයින් මාර්ග තදබදයක් ද නිර්මාණය වේ. බොහෝ අනතුරු සිදුවන්නේ මෙවන් වාහන ඉස්සර කිරීමට යාමේදීය. එබැවින් හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ වේගය හඳුනාගැනීම ඉතාම වැදගත් වේ.

නවතා ඇති වාහනයක් මහා මාර්ගයට ගැනීමේ දී මෙරට රියැදුරෝ වඩාත් අපරික්ෂාකාරීව කටයුතු කරති. ඔවුහු අඩුම තරමේ පිටුපසින් එන වාහනය දෙසවත් තම වාහනයේ සංඥා ක්‍රියාත්මක කිරීම ගැනවත් නොසිතති. මාර්ග අනතුරු බහුලවීමට මෙයද ප්‍රධාන හේතුවක් ලෙස නිරීක්ෂණය වී තිබේ. ඉතාම කුඩා නොසැලකිල්ලක් නිසා මහා විනාශයක් සිදුවිය හැකිය.

රියැදුරාගේ නොසැලකිල්ලෙන් හා වරදින් සිදුවන මාර්ග අනතුරු සම්බන්ධයෙන් දැනට පවත්නා රක්ෂණ නීති ආදිය වෙනස් විය යුතු බව මගේ හැඟීමය. මීට ටික කලකට පෙර පොල්ගහවෙල යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ දරුණු අනතුර අපි උදාහරණයකට ගනිමු. බස් රථය දුම්රියක ගැටීම නිසා එම සිදුවීමෙන් ජීවිත ගණනාවක් අපට අහිමි විය. එම අනතුරවීමට හේතුවූයේ රියැදුරා ගේ වරදයි. මේ සිද්ධියට සම්බන්ධව කරුණු විමසමින් මම ලංකාවේ රක්ෂණ සමාගම් සමග අදහස් හුවමාරු කරගත්තෙමි. මා එහිදී විමසා සිටියේ රක්ෂණ සමාගම්වල පවත්නා නීති වෙනස් කිරීමට කැමැත්තක් නැතිද යන්නයි. අපගේ යෝජනව වූයේ මාර්ග අනතුර සිදුවන්නේ රියැදුරාගේ වරදින් නම් ඔවුනට රක්ෂණ වන්දි නොගෙවා සිටිය යුතු බවය. එහෙත් කිසිම රක්ෂණ ආයතනයක් ඊට එකඟ වීයේ නැත. මෙවන් අවස්ථාවලට ගැළපෙන පරිදි රක්ෂණ ප්‍රතිපත්ති වෙනස් කිරීමට රජය මැදිහත් විය යුතුය. රිය අනතුරු අවම කර ගැනීමට එය විශේෂයෙන් හේතුවනු ඇත.

ජපානය වැනි රටවල පවත්නා නීති අනුව රියැදුරාට වෙනමත් වාහනයට වෙනමත් රක්ෂණාවරණ ලබාගත යුතුය. යම් ජීවිත ආපදාවක දී හෝ ශාරීරික හානියක දී එය ඉතාමත් ම වැදගත් වනු ඇත. එහෙත් අපේ රටේ එබදු තත්වයක් දැකිය නොහැකිය. රියැදුරාට නිසි දැනුමක් ලබාදිය යුතු හොඳම අවස්ථාව රියැදුරු පුහුණු කාලය බව මගේ අදහසයි. එබැවින් රියැදුරු පුහුණුව ක්‍රමවත් හා විධිමත් කිරීමට කාලය එළැඹ තිබේ. පොදු මගී ප්‍රවාහනය සඳහා වන රියැදුරන් සඳහා මේ පුහුණුව තවත් සංකීර්ණ තලයකින් ක්‍රියාත්මක විය යුතුය. නිසි රියැදුරු පුහුණුවක් ලබාදීමට නම් මුලින්ම පුහුණුකරුවන්ට පුහුණුවක් දිය යුතුය. ඒ සඳහා විදේශයක සහයෝගයක් ගැනීම සුදුසුය. නිසි රියැදුරු පුහුණුවකින් පසු ඒ අවබෝධය සහ දැනුම සහිත රියැදුරකු නිර්මාණය කළ පසු මාර්ගවල වෙනත් ගැටලු‍ විසඳාගැනීම එතරම් අසීරු නොවේ. අප සූරියවැව ප්‍රදේශයේ කළ අධ්‍යයනයක දී පැහැදිලි වූයේ වසර ගණනක් අත්දැකීම් ඇති ඇතැම් රියැදුරන් පවා දකුණේ නීතිය පිළිබඳවවත් නොදැන සිටි බවය. ඒ දැනුම නොලැබීමට ද පුහුණුවේ ඇති ගැටලු‍ බලපා තිබේ.

එසේම අනතුරුදායක හා අපරික්ෂාකාරී රියපැදවීම යටතේ අපේ රටේ බොහෝ විට සලකා බලන්නේ අධික වේගයෙන් රිය පැදවීම යන කරුණ පමණි. එහෙත් එය ඊට වඩා විධිමත් විය යුතුය. පොලීසිය පැත්තෙන් මාර්ග නීති ක්‍රියාත්මක කළත් රියැදුරන්ට මේ නීති පිළිබද මනා වැටහීමක් නොමැතිවීම තවත් ගැටලු‍වකි. ඒ දැනුම ලබාදිය හැක්කේ රියැදුරු පුහුණුව මගිනි. මීට අමතරව වර්තමාන සමාජයේ බොහෝ දෙනකු තුළ පවත්නා මානසික ආතතියත් රිය අනතුරු බහුලවීමට හේතු වී තිබේ. එසේම ඇතැම් රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමද මෑතකාලීනව දැකිය හැකි ඛේදවාචකයකි. පසුගිය දිනවල සිදුවූ රිය අනතුරුවලදී හෙළිදරවු වූයේ එම අනතුරු සිදු කළ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවය. සමාජයේ පවත්නා විනයගරුක බව හා ආකල්පවල පවත්නා ගැටලු‍ ද මාර්ග අනතුරු සදහා සැලකිය යුතු බලපෑමක් කරන බව පැහැදිලිය. මේ සියලු‍ කරුණු සලකා බැලීමේදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් වන හේතු පැහැදිලිව හඳුනාගෙන ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීමට කල් නොයවා පියවර ගත යුතුය.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

රිය අනතුරු වළකන නීති ප්‍රමාණවත්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 48 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 153 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 40 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 277 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


බටහිර දෙබිඩි පිළිවෙත්
2025 මාර්තු මස 29 349 1

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට හා කොටි සංවිධානයේ හිටපු නායකයකුට එරෙහිව තහංචි පනවමින් බ්‍රිත්‍යාන්‍ය රජය පසුගිය සඳුදා (24) නිකුත් කළ නිවේදනයට ආණ්


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 217 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site