IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රැල්ල ගහන පැත්ත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 3 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්  වීරවංශ මහතා හා පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මහතා ඔවුන් දැරූ ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම පුදුම වීමට කරුණක් නම් නොවේ.

මේ රටේ දේශපාලන සදාචාරය අනුව ඒ දෙදෙනාගේ කිසිදු වරදක් නැති වුවද මෙවැනි දෑ සිදුවිය හැකිය. එසේ නැති වුවද මේ රටේ පමණක් නොව ඕනෑම රටක රාජ්‍ය නායකයකු තම ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරන විට හා ආණ්ඩුවට විරුද්ධව නඩු මඟට පිවිසෙන විට ඔවුන් තවදුරටත් ආණ්ඩුවේ තබාගෙන සිටින්නේ නැත.

 සිතා බැලිය යුත්තේ ජනාධිපතිවරයා මෙම දෙදෙනා ඇමැති ධුරවලින් නෙරපීම ගැන නොව ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේම තබාගෙන සිටීම ගැනය. එසේම මෙම ගැටුම පවතිද්දීත්  මෙම දෙදෙනා සමගම පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කළ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ තවත් නායකයකු වන රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා එම තනතුරුවලින් පහ නොකිරීම ගැනය.

තමා ඇමැති ධුරයෙන් ඉවත් කරනු නොලැබුව ද තමන් කැබනට් රැස්වීම්වලට සහභාගි නොවන බව නානායක්කාර මහතා පවසයි. එම තීරණයේ දේශපාලන අර්ථයක් තිබිය හැකි වුවද ඇමැතිවරයකු වශයෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු  වගකීම් ඉටු නොකරන්නේ නම් ඔවුහු තවදුරටත් ඇමැතිවරයකුට හිමි පහසුකම් හා වරප්‍රසාද  බුක්ති විඳීම ප්‍රශ්නකාරීය. කෙසේ වෙතත් ඔහුගේ මෙම තීරණය වෙනස් නොවුවහොත් ජනාධිතිවරයා ඔහු ද නෙරපිය  හැකිය.

සමරවීර මහතා නම් ඔහු දැරූ රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කොට තිබිණි. මෙය ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිටින්නට අදහස් නොකරන බවක් පෙන්නුම් කරයි.

තමන් ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කළේ තමන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී හෝ කැබිනට් මණ්ඩලයේ දී එම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබුණු නිසා යැයි වීරවංශ මහතා හා ගම්මන්පිල මහතා පවසති. එහි සත්‍යාසත්‍යා භාවය දන්නේ ඔවුන් දෙදෙනාත් ආණ්ඩුවේ අනෙක් මන්ත්‍රීවරුනුත්ය. රට දන්නේ ඔවුන් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීමත් ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා ඔවුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමත් පමණි.

තාක්ෂණික වශයෙන් මෙහිදී සිදුවී ඇත්තේ ඉල්ලා අස්වීමක් හෝ තනතුරුවලින් ඉවත් කිරීමක් නොවේ. මෙහිදී සිදුවූයේ ජනාධිපතිවරයා සුළු ඇමැති මණ්ඩල සංශෝධනයක් කිරීමත් එහිදී වීරවංශ මහතා හා ගම්මන්පිල මහතා හලා දැමීමත්ය. එහෙත් ජනාධිපතිවරයා එම කැබිනට් සංශෝධනය කළේ මේ දෙදෙනා ඉවත් කිරීමටය යන්න ඉතා පැහැදිලිය.

කැබිනට් මණ්ඩලයේදීත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් තමන්ට කතා කිරීමට අවස්ථාව නොලැබුණු හෙයින් තමන් එම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ යැයි මෙම දෙදෙනා නගන තර්කය ප්‍රබලය. එහෙත් එම තර්කය අනුවම තමන් නෙරපා දැමිය හැකිය, යන්න ද ඔවුන් අපේක්ෂා කළ යුතුය. මන්දයත් තමන්ගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුලේ නොතිබූ ප්‍රජාතන්ත්‍රවාදයක් එම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට පමණක් තිබිය නොහැකි හෙයිනි. ඒ අනුව තමන් ඉවත් කිරීමට පෙර මෙම කරුණුම ඉදිරිපත් කරමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුයේ නම් ඔවුනට පිටතින් එක්තරා ආකාරයක පිළිගැනීමක් ලැබෙන්නට ඉඩ තිබිණි.

පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ දෙකත් ආණ්ඩුවත් අතර වඩාත් නිවැරැදිව කියන්නේ නම් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා වීරවංශ මහතා අතර ඇති වූ මත ගැටුම් දෙස බලන කල සිදුවී ඇත්තේ සිදුවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ දෙයකි.

බැසිල්-විමල් ගැටුමට තරමක දීර්ඝ ඉතිහාසයක් තිබුණද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී එය පැහැදිලිව ඉස්මතු වූයේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. ඒ දිනවල වීරවංශ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිමිවිය යුතු යැයි පැවසීය. එයින් ඇත්ත වශයෙන්ම උරණ විය යුතු වූයේ දැනටමත් පක්ෂයේ නායකත්වය දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුට සමීප පිරිස් වුව ද උරණ වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතුන්ය. පිටස්තර පුද්ගලයන් ඔහුගේ යෝජනාවේ ඉලක්කය වටහා ගත්තේ එවිටය.

ඊට පෙර මෙම ගැටුමට 2020 ඔක්තෝබර් මාසයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය  පැන නැගුණ විට ද ඉස්මතු වුවද එය ඒ දිනවල සැලකුණේ ජතික ප්‍රශ්නයක් පිළිබඳ බැරෑරුම් සංවාදයක් ලෙසය. පසුගිය ආණ්ඩුව සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විදේශීය පුරවැසිකම් ඇත්තවුන්ට මෙරට මැතිවරණවලට තරග කිරීම තහනම් විය. 20 වැනි සංශෝධනයෙන් එම තහනම ඉවත් විය. ඒ පිළිබඳ සංවාදයේ දී ආණ්ඩු පක්ෂයේ බැසිල් විරෝධීහු හා අනෙක් ජාතිකවාදී කණ්ඩායම් එම තහනම ඉවත් කිරීමට විරුද්ධ වූහ.

එදා එම තහනම ඉවත් කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙනි. එසේම ආණ්ඩු පක්ෂයේ එම තහනම ඉවත් කිරීමට විරුද්ධ වූවන්ගෙන් වැඩි දෙනා එසේ විරුද්ධ වුයේ ද බැසිල් රාජපක්ෂ මහතා නිසාය. එහෙත් එය බැරෑරුම් සංවාදයක ස්වරූපයෙන් සිදු වූ හෙයින් එම පෞද්ගලික ගැටුම පෙනුණේ නැත.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ශ්‍රීලංකාව, ඉන්දියාව හා ජපානය යන රටවල සහභාගිත්වයෙන් සංවර්ධනය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව 2019 දී ගිවිසුමක් ඇතිකර ගත්තේය. වත්මන් ආණ්ඩුව එම ගිවිසුම ක්‍රියාත්මක කරන්නට යාමේදී පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ඊට දේශපාලන පක්ෂවලින් හා වෘත්තිය සමිතිවලින් විශාල විරෝධයක් එල්ලවිය. එම රැල්ලට ඇදී ගිය ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ 10ක්ද ඊට එරෙහි විය.

පසුගිය වසරේ මැයි මාසයේදී මෙරට කොවිඩ් රෝගයේ තුන්වැනි රැල්ල නරක අතට  හැරෙමින් තිබෙන විට සෞඛ්‍ය වෘත්තිකයෝ හා විරුද්ධ පක්ෂ රට වසා දමන ලෙස ඉල්ලා සිටියහ. ආණ්ඩුව ආර්ථිකය ගැන සිතා ඊට අදිමදි කළේය. එවිට මෙම සුළු පක්ෂ නිවේදනයක් මඟින් සති තුනකට රට වසන ලෙස ඉල්ලීය.

මෙයින් ආණ්ඩුවේ නායකයන් කෙතරම් උරණ වී තිබුණේද යන්න දැන ගන්නට ලැබුණේ පසුගිය සතියේ වීරවංශ  හා ගම්මන්පිල ඇමැතිවරුන් නෙරපා දැමීමෙන් පසුය. එම නිවේදනයෙන් පසු ජනාධිපතිවරයා දුරකතනයෙන් තමන් අමතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉතා රළු ස්වරූපයෙන් කී බව වීරවංශ මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

කෙරවලපිටියේ යුගදනවි විදුලි බලාගාරයේ භාණ්ඩාගාරය සතු සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පැවරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී මතභේදයක් ඇතිවිය. එහිදීද වීරවංශ මහතා හා ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ මෙම ගිවිසුමට විරුද්ධ වූහ. විරුද්ධ වුණා පමණක් නොව එම ගිවිසුමට කැබිනට් අනුමැතිය නොලැබුණු බව පවසමින් විරද්ධ පක්ෂ සමග ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගියහ.

ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා ඔවුනට දෙවැනි වතාවට ප්‍රකාශ කළේ එහිදීය. පුවත්පත් කර්තෘවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා නඩු මගට යන්නට පෙර වීරවංශ, ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන තිදෙනා ඇමැති ධුරවලින් ඉල්ලා අස්විය, යුතුව තිබිණැයි පවසා තිබිණි.

 අවසානයේදී ජනාධිපතිවරයා, වීරවංශ හා ගම්මන්පිල යන දෙදෙනා සම්බන්ධයෙන් තීරණයක් ගත්තේ ඔවුන්ගේ පක්ෂ ආණ්ඩුවේ තවත් පක්ෂ 9ක් සමග එක්වී පසුගිය 2 වැනිදා තලවතුගොඩ හෝටලයකදී ‘‘මුළු රටම හරි මඟට’’ තේමාව යටතේ රැස්වීමක් පවත්වා ආණ්ඩුව දැඩි ලෙගස විවේචනය කිරීමත් සමගය. පසුදිනම ඔවුන් දෙදෙනා ඇමැති ධුරවලින් නෙරපනු ලැබූහ.

මේ සෑම ගැටුමකදීම තමන් ජනාධිපතිවරයාට විරුද්ධ නොවන බවත් තමන්ගේ විවේචනයට ලක්වී ඇති ආණ්ඩුවේ කටයුතුවලට ජනාධිපතිවරයාගේ ආශීර්වාදය නොලැබෙන බවත් පෙන්වීමට වීරවංශ මහතා හා ගම්මන්පිල මහතා උත්සාහ කළහ. ඇතැමුන් ජනාධිපතිවරයාට ලැබී ඇති ජනවරම අවභාවිතා කරන බවත් ජනාධිපතිවරයාට ඡන්දය දුන් 69 ලක්ෂයක් වූ ජනතාවගේ අපේක්ෂාවලට පිටු පානවුන් පයින් ගසා එළවා දැමිය යුතු  බවත් වීරවංශ මහතා යුගදනවි ගිවිසුමට එරෙහිව ‘‘මහජන මන්ත්‍රණ සභාව’’ යන නමින් පැවැත්වූ රැස්වීමේදී කීවේය.

එසේම තමන් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නේ එම පර්යන්තය රැක ගැනීම සඳහා පමණක් නොව ජනාධිපතිවරයා හා ආණ්ඩුවද රැක ගැනීම සඳහායැයි මෙම ඇමැතිවරු එම පර්යන්තය පිළිබඳ ප්‍රශ්නයේදී නිකුත් කළ නිවේදනයකින් කියා සිටියහ.

එහෙත් ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නවලදී සිටියේ ඔවුන්ගේ පැත්තේ නොවේ. ඔවුහු එවැන්නක් රටට පෙන්වීමට උත්සාහ කළහ. නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරය අනුව ජනාධිපතිවරයාට ‘‘බටර් ගෑමට’’ උත්සාහ කළහ. එහෙත් එය මුල සිටම අසාර්ථක   උත්සාහයක් විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් එක්තරා දුරකට  ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ඔහුද තම සහෝදරයන් අසීරුවට පත්වන ආකාරයට එය කළේ නැත.

බැසිල් විමල් ගැටුම පසුගිය  මහින්ද රාජපක්ෂ පාලනයේදී අවසාන භාගය දක්වා දිව යන්නකි. ඒ අනුව 2015දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ විට ඊට වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ මහතා යැයි වීරවංශ මහතා පැවසීය.අවසානයේදී  මෙම ගැටුම නිසා තම සහෝදරයාද්‍ මිත්‍ර පක්ෂද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය. ඔහු සහෝදරයා තෝරා ගත්තේය.

එහෙත් තමන් ආණ්ඩුවට එරෙහි තමන්ගේම චෝදනාවලින් ජනාධිපතිවරයා  නිදහස් කරමින් කටයුතු කළ නිසා එය සැමදාම තමන්ට රැකවරණයක් වනු ඇතැයි සුළු පක්ෂ නායකයෝ සිතුසේය. එයවිය නොහැක්කකි. පළමුව බැසින් රාජපක්ෂ මහතාගේ කටයුතුවලට ජනාධිපතිවරයාගේ පුර්ණ  සහාය ලැබිණි. දෙවැනුව,රාජපක්ෂ පවුල ශක්තිමත් ලෙස එටකට ගොනු වූ පවුලකි. තුන්වැනුව, තුනෙන් දෙකේ බලය ලබාගෙන 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු හවුල් කාර පක්ෂවල අගය තවදුරටත් අවශ්‍ය නොවන තරමට අඩුවිය. යෝජිත නව ව්‍යවස්ථාව ආණ්ඩුවට එතරම් වැදගත් නැත. පස්වැනුව ඇමැති තනතුරු අපේක්ෂා කරන  පොදුජන පෙරමුණේ දෙවැනි  පෙළ නායකයෝ තනතුරු දරන සුළු පක්ෂවල කරදරකාරයන් දොට්ට දමන ලෙස බලපෑම් කරන්නටද ඇත.

ජා.නි.පෙ. හා පි.හෙ.උ. පක්ෂ දෙක තවමත් ආණ්ඩුවේ පක්ෂ ලෙස සැලකුණද මෙම ගැටුමේ දක්නට අැති පෞද්ගලික   ස්වභාවය නිසා සමගියක් ඇතිවේද යන්න සැක සහිතය. එහෙත් මෙම ඇමැතිවරුන් දෙදෙනාට එරෙහිවම දූෂණ හා මුදල්  ආයෝජන චෝදනා යටතේ අධිකරණය ඉදිරියේ නඩු ඇති හෙයින් ඔවුන් පූර්ණ යුද්ධයකට යනු ඇතැයි සිතියි නොහැකිය.

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පවා ආසන්න වශයෙන් අතු ගෑවී ගිය  තත්ත්වය  යටතේ මෙම සුළු පක්ෂ ඉදිරියේ මැතිවරණවලදී තනිව තරග කරනු ඇත්ද යන්න ප්‍රශ්නයකි. සමගි ජන බලවේගයේ නායකයන් හා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඇති ජාතික ජන බලවේගයේ නායකයන් මෙම පක්ෂ දෙකේ නායකයන්ටත් මෙම නායකයන් එම නායකයන්ටත් එල්ල කර ගන්නා ලද චෝදනා අනුව මෙම පක්ෂ  එම පක්ෂ දෙකෙන් එකක් සමග හවුල්වනු ඇතැයිද සිතිය නොහැකිය.

දැනටමත් මෙම පක්ෂ දෙකේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ එක වේදිකාවේ සිටින හෙයින් ඔවුනට එතැනට නම් වැඩි අපහසුවකින් තොරව සිටිය හැකිවනු ඇත. එහෙත් ඊළඟ ජනාධිපතිවරණයේ දී රැල්ල හැරී ඇත්තේ කුමන පැත්ත දැයි දැන ගන්නා තෙක් ඔවුන් පැහැදිලි තීරණයක් නොගන්නට ද ඉඩ තිබේ.

දේශපාලන ඉතිහාසයේ දී අනපේක්ෂිත හා පුදුම දෑ සිදුවී තිබේ. එහෙයින් මෙම පක්ෂ පිළිබඳවද ස්ථිර අනාවැකි කීමට යාම අනුවණ කමකි.

(***එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

රැල්ල ගහන පැත්ත

gamunu Saturday, 12 March 2022 06:30 PM

දේශපාලන ඉතිහාසයේ දී අනපේක්ෂිත හා පුදුම දෑ සිදුවී තිබේ. අනාගතයේදීත් එසේ සිදුවනු ඇත. ඊළඟ ජනාධිපතිවරණයේ දී සිදුවන්නේ රැල්ලක් නොව ලංකා දේශපාලන ඉතිහාසයේ එදා මෙදා සිදුවූ දරුණුම ජනතා සුනාමිය වන්නට හැකියාව පවතී. නුසුදුස්සන් ඉවත්කර සුදුස්සන් මතුකර ජනතා සුනාමිය නිහඬවනු ඇත.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2850 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12031 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 551 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 931 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1004 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 493 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site