IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලාබෙට සල්ලි හොයන මිනී ඔළු ජාවාරම

අපේ අතීත මුතුන් මිත්තන්ගේ ශරීර අවශේෂ අදටත් පොළොව යට ආරක්ෂා වෙයි. හොඳම උදාහරණය සපයන්නේ පාහියංගල ලෙනයි. දකුණු ආසියාවේ විශාලතම ලෙස වූ පාහියංගලින් ලද මානව අවශේෂ කොටස් අතර අවුරුදු 5500 සිට 28500 දක්වා පැරණි මානව හිස්කබල් පහක්ද හමුවීය. එහෙත් අද පොළොව මත මිහිදන් කරන මිනිසකුගේ ශරීර අවයව මාස තිස්හතක් යන්නටද මත්තෙන් ජාවාරම් කරුවන් විසින් සොරාගනු ලබන බවට උදාහරණ සපයන්නේද අපේම රටේ වීම ඉතා කනගාටුදායි තත්ත්වයකි. බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා යොදා ගැනීමට දැඩි ඉල්ලූමක් මිනිස් ශරීරයේ හිස් කබලට තිබේ. අනුනට කොඩිවින කිරීමට අද වන විට බහුල ලෙස භාවිත වන උපාංගය බවට පත්ව ඇත්තේ මිනිස් හිස්කබලයි. අවිස්සාවේල්ල වේරගොල්ල පොදු සුසානභූමිය පිහිටා ඇත්තේ සීතාවක ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශය තුළය. වේරගොල්ලවත්ත, එගොඩගම, ඩෙරිටන්, මීපිලාව, සිරිසඳ, වේරගොඩ යන ගම්මානවල ජනතාව ගේ පොදු සුසාන භූමිය වන්නේ එයයි. මුරකරුවකු හෝ නොමැති කැලයෙන් යටවූ එම සුසාන භූමියේ පිහිටා තිබූ කොන්ක‍්‍රීට් ආවරණයෙන් සකසන ලද මිනී වළවල් 21 ක් හාරා මිනිස් හිස් 21 ක් සොරාගෙන තිබුණේ පසුගිය දිනවලය. බලිතොවිල් හා ශාන්තිකර්ම සඳහා මේ එක මිනිස් හිසක් රුපියල් පන්දහසක මුදලකට ජාවාරම් කරුවන්ට විකුණා ඇති බව පසුව අනාවරණය විය. ශාන්ති කර්ම හා බලිතොවිල් සඳහා වැඩි ඉල්ලූමක් පවතින්නේ වසර විස්සකට වඩා පැරණි හිස්කබල් සඳහාය. ඊටත් වඩා පැරණි හිස්කබල් වලට ගෙවන මිල ඊටත් වඩා වැඩිය. කැලණි මිටියාවතේ පිහිටි වේරගොඩ කනත්ත අක්කර දෙකක් පමණ විශාල එකකි. අතීතයේ සීතාවක රාජසිංහ රජ සමයේ සිට වළ දමා ඇති මිනිස් සිරුරු මෙහි ඇතැයි කියති. මේ නිසා එහි තැන්පත්ව ඇති මිනිස් හිස් කබල් ද ඉපැරණි තත්ත්වයේ ලා සළකන්නට පුළුවන. පසුගිය දිනවල ජාවාරම්කරුවන් මෙම සුසාන භූමියේ වළවල් හාරා රැගෙන ගොස් ඇති හිස්කබල් අතර සීතාවක නගර සභාවේ ආරම්භක සභාපතිවරයකුගේ හිසක් ද ප‍්‍රදේශයේ සිටි ආරම්භක ගම්සභාපතිවරයකුගේ හිසක් ද වෙයි. එපමණක්ද නොව සීතාවක නගරසභාවේ වත්මන් සභාපති සුසිල් ප්‍රෙමලාල් පිංතු මහතාගේ පියාගේ සොහොනද ජාවාරම්කරුවන් කඩා හිස රැගෙන ගොස් තිබේ. සුසිල් පේ‍්‍රමලාල් පිංතු මහතා තම පියා මියගිය දින සිට වසරකට සිව්වතාවක් පියාගේ සොහොන ඇති ස්ථානයට ගොස් බුහුමන් දක්වයි. පසුගිය දිනක එහි ගිය සභාපතිවරයා දුටුවේ තම පියාගේ සොහොනද කඩාදමා ඇති බවය. ඒ සිද්ධියත් සමග මෙම ජාවාරමේ සුලමුල සොයාගන්නට සභාපති පිංතු මහතාගේ දැඩි කැපවීම ලැබුණි. මීට අමතරව සීතාවක නගරසභාවේ සභාපති ධූරය දැරූ අයකුගේ සොහොනද කඩා හිස් කබල රැගෙන ගොස් තිබිණි. ඊටත් වඩා හද කම්පා කරවන සිද්ධියක් අප දුටුවේ වේරගොඩ කනත්ත යට කරමින් ඉහළට නැගී තිබුණු කැලය පීරා ඇතුල්වූ පසුවය. මේ රටේ නිදහස්, ජාතියේ පිබිදීමත් උදෙසා තම ජීවිතය අකාලයේදීම පරිත්‍යාග කළ උදාර රණවිරුවන්ගේ සොහොන්ද කඩා ජාවාරම්කරුවන් මිනිස් හිස් රැගෙන ගොස් තිබිණි. මෙරට පැරණි මානව අවශේෂ කොටස් වසර තිස්හත්දහසක් තිස්සේ ආරක්ෂාවෙමින් තිබෙන මොහොතක වසර තිහක යුද්ධයකින් පසු මෙරට අනාගත මානවයා සඳහා නිදහස් කර ඉතිරිකර දුන් ගෞරවණීය රණවිරුවන්ට පවා අපහාස කරමින් කෙරෙන මෙම ජාවාරම උපන් ගෙයිම සුන්කර දැමීම කාගේ කාගේත් යුතුකම ලෙස සැලකිය යුතුය. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මේ ජාවාරම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති අතර, වේරගොල්ල සුසාන භූමියේ ඇතිවී තිබෙන සිද්ධිය ඒ මහතාගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. මේ අතර ප‍්‍රදේශයේ ජනතාව අප හා කීවේ වේරගොල්ල සුසාන භූමියෙන් ගොඩගන්නා ලද පළමු හිස්කබල මහරගම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. ප‍්‍රදේශවාසියකු වන ජේ.ඒ. සෝමසිරි ජයවීර මහතා ප‍්‍රකාශ කළේ කළුවර වැටීමෙන් පසුව ප‍්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටි මෙම සුසාන භූමිය අසලින් කාන්තාවකට හෝ යාමට අපහසු අයුරින් අපචාරකරුවන් සුසාන භූමිය තුළ පිහිටි ගොඩනැගිල්ලේ අරක්ගෙන සිටින බවත්, ඔවුන් රාත‍්‍රිය ළඟාවෙත්ම මිනිස් හිස්කබල් සොරා ගැනීමේ ව්‍යාපාරයේ නිරත වන බවද ඒ මහතා පැවසීය. දකුණු පළාතේ එක්තරා ගමක පිහිටි නිවෙසක දින කිහිපයක සිට රණ්ඩුසරුවල්වල නිමාවක් නොවීය. අඹු සැමි යුවළගේ බැණ අඬගසා ගැනීම්වලට අමතරව නිවෙසේ සිටි දරුවන් ද ඔවුන්ට පෙනෙන්නට බැරිවිය. හොඳින් කල් ගෙවූ මෙම පවුල් සංස්ථාවට කුමක් වූයේදැයි ඔවුන්ගේ ඥාතියකු මාතර ප‍්‍රදේශයේ ප‍්‍රකට කට්ටඩියකුගේ මාර්ගයෙන් විමසන ලදී. ‘‘මේ ගොල්ලන්ට කොඩිවිනයක් කරලා තියෙනවා. ගේ දොර ඉස්සරහ මිදුලේ හාරලා බලන්න” කට්ටඩියාගෙන් උපදෙස් ලැබිණි. එම ඥාතිහු නිවෙස ඉදිරිපිට අලූතින් හාරන ලද බවට සළකුණු තිබූ ස්ථානයක් හාරා බැලූවේය. පුදුමයකි. එහි තිබුණේ මිනිස් හිස් කබලකි. බලි, තොවිල්, කොඩිවින සඳහා යොදාගන්නා විවිධ වර්ගයේ පූජා භාණ්ඩවලින් හිස්කබල පුරවා තිබිණි. මෙම පවුල ඉතා සමගිව හා දියුණුවෙමින් ඉදිරියට යාම නොරිස්සු අසල්වැසියකු විසින් මෙය කරන්නට ඇති බව පසුව හෙළිවිය. නම හෙළිකිරීමට අකමැති මාතර ප‍්‍රදේශයේ පදිංචි කට්ටඩියකු කියා සිටියේ හොඳදේට මෙන්ම නරක දේටත් මිනී ඔළුව භාවිත කළ හැකි බවයි. මේ සඳහා ගනු ලබන්නේ පැරණි මිනිස් ඔළුවකි. තමාට අවශ්‍ය පුද්ගලයකු ඉලක්ක කර කොඩිවිනයක් කිරීමට අවශ්‍ය වේ නම් මිනිස් හිස් කබලක් ඒ සඳහා ලබාගැනෙයි. හොඬල අලයෙන් තම විරුද්ධවාදියාගේ (කොඩිවිනයට ලක්වන්නා) රූපය කපන අතර රූපයේ දණහිසෙන් පහළ කළු පාට ගල්වයි. ඉහළ කොටසේ බඩ ප‍්‍රදේශය රතුපාට ගල්වන අතර ඉතිරි කොටස්වල කහ වර්ණය ආලේප කරයි. කොඩිවිනයට ලක්කළ යුතු තම විරුද්ධවාදියාගේ රූපය ‘‘හොඬල’’ අලයෙන් කපා රූපයේ හිසේ, පපුවේ, බඬේ, දනිස්ස හා පිටිපතුලේ පස්ලෝ කටු පහක් ගසයි. මල්, බුලත් තබන ලද තටුවක තබා ඇති මිනීඔළුව අසලින් මෙසේ සකසන ලද මිනිස් රූපයද තබයි. ඊට අමතරව එළවළු වර්ග හතක්, ඇටවර්ග, බත් සමග රත්මල්ද, බිත්තරයක්ද තටුව මතින් තබයි. තටුව රැගෙන කට්ටඩියා යන්ගේ මිනී කනත්තටය. කනත්තේ සොහොනක් මත තබා රීරි යකා සහ මහසෝනා වෙනුවෙන් දිෂ්ඨි කිරීම ආරම්භ වන්නේ මේ සමගය. වැඩි වාර ගණනක් ජීවම් කිරීම පිණිස රාත‍්‍රී 7.00ට පමණ කනත්තේ සොහොනක් මතට වී කට්ටඬියා ජීවම් කරනවිට, කොඩිවිනයට ලක් කළ යුතු අයගේ නම් ගම්ද ලියා පෙරේත තටුවේ තැබිය යුතුය. දිෂ්ඨි මන්තරයෙන් ජප කරමින් වාර 108 සිට 1008 දක්වා ගණනක් ඒ අවශ්‍යතාවේ හැටියට ජීවම් කරයි. අලූයම තුන පමණ වනතුරු කනත්ත තුළ ජීවම් කරන පෙරේත තටුව රැුගෙන පසුව පැමිණෙන්නේ කොඩිවිනයට ලක්කළ යුතු අයගේ නිවෙස අබියසටය. නිවසේ පහන් එළිය වැටෙන සීමාවේ මෙම කොඩිවින බන්ධනය නිවෙස් හිමියන්ට හොර රහසේ වළලා දැමිය යුතු අතර සාමාන්‍යයෙන් එය සිදුවන්නේ අලූයම 3 ත් 4 ත් අතර කාලයේය. ඒ නරකදේට මිනීඔළුව භාවිත කරන අන්දමය. නරකට සේම හොඳටද මිනී ඔළුව භාවිතා කරති. ඒ බන්ධනය කරන ලද කොඩිවින ලිහා දැමීමටය. මිනී ඔළුව, දෙහි පුහුල් එකට ගෙන සොහොනකට ගොස් ජීවම් කර, නැවත ගෙදරට පැමිණ ලිප්බැඳ ලිප මොළවා හිස් කබල තුළට අවශ්‍ය ද්‍රව්‍ය දමා මිනී ඔළුව ගින්නෙන් රත්කරනු ලැබේ මල් බුලත් තට්ටුව මේ සඳහාද යොදා ගැනේ. දෙහි, පුහුල්වලට අමතරව හොඬල, කටු අන්නාසි ද දමා නිවස තුළ ජීවං කරයි. නිවස තුළ ජීවම් කරන ලද මිනීඔළුව සහ ද්‍රව්‍ය රාත‍්‍රී 12.00 ට පමණ මිනී කනත්තකට රැගෙන යති. එහිදී මරු නැගිටීමේ මන්ත‍්‍රය ජප කරන අනතුරදී අපූරු දෙයක් සිදුවේ. තටුවේ ඇති පූජා භාණ්ඩ හිස් කබල තුළට දමා සොහොනක් මත තබා ජීවම් කිරීමේදී රීරියකා එම හිස් කබලට පැමිණෙයි. එවිට හිස් කබළේ ඇති පූජා ද්‍රව්‍ය වේගයෙන් දඟලන්නට ගනී, රීරියකා ඒ වෙතට පැමිණි බවට පණිවිඩය යකදුරාට දෙන පණිවුඩය එයයි. පිටස්තරයන්ට කෙසේ වෙතත් රීරියකාගේ රූපය ඒ මගින් යකදුරාට පෙනෙයි. ඔහු වහාම ‘‘ජීවම්’’ කිරීම නවතයි. වැඩය නවතා අතරමගදී හමුවන තුන්මං හන්දිවලදීත් දෙහි කපාගෙන විත්. ආතුරයාටද දෙහිකපා, මිනී ඔළුව තුළිට දමයි. මී, තල, කොහොඹ ඇතුළු පස්තෙල් ද හිස්කබලට දමා මිනීඔළුව භාජනයක් සේ ගෙන ලිප උඩ තබා පස්පැඟිරි දමා ලිපගිනි මොළවයි. ජමනාරං, මහනාරාං, හීන් නාරං, යකිනාරං හා නස්නාරං පස්පැඟිරිය. මිනී ඔළුව රත්කරනු ලබන්නේ ඒ පස් පැඟිරි දරවලිනි. අධික ගින්දර නිසා මිනී ඔළුව මෙහිදී විකෘති තත්ත්වයට පත් වී බොහෝ දුරට විනාශ වී යයි. එය නැවත කනත්තට රැුගෙන ගොස් ‘‘සොහොන් පල්ලේ’’ දමා ආ යුතුය. ආතුරයාගේ බන්ධනය එතැනින් නිමාවට පත්වෙයි. කට්ටඩියන් හා යකදුරන්ට අනුව මිනී ඔළුව යන්ත‍්‍ර මන්ත‍්‍ර ඇතුළු භූත විද්‍යාව සඳහා භාවිත කරන්නේ අතීතයේ සිටය. කොඩිවිනවලට අමතරව නූල් පැන්නුම්, රූප කටු ගැසීම හා නීච කුල බන්ධන සඳහාද මිනී ඔළු භාවිත කරති. කළුකුමාර දිෂ්ඨිය සඳහා වන දරකිරි ඇඹරීමටද මිනිස් ඔළුව යොදාගනී. මිනී ඔළුව භාවිතයට ගන්නා ඇතැම් යාග සඳහා හරක් ඔළුද ගනී. පස්මුල යන්ත‍්‍ර මන්ත‍්‍ර සඳහා ගෙරිඔළුව හෙවත් හරක් ඔළුව පමණක් භාවිතයට ගනී. දකුණු පළාතේ ක‍්‍රියාත්මක වන ‘‘ලේතාලිය’’ නමැති කොඩිවිනයේදීත්, මිනීඔළුව භාවිත කරති. බඹර, දෙබර, මී ඇතුළු මී ඉටි වර්ග පහක් එකතුකර වතුරට දැමීමෙන් පසුව ඝන ඉටි වර්ගයක් නිර්මාණය වෙයි. එහි තමන්ගේ විරුද්ධකාරයාගේ පිංතූරය සිත්තම් කළ යුතුය. මිනී ඔළුවක්ද සහිතව එම රූපය ජපකර සොහොනකට ගොස් දමයි. කෙසෙල් පතුරුවලින් සාදාගත් ඔරුවකට කහ සහ හුණුවලින් සාදාගත් රතුපාට වර්ණයක් ඉස, කුකුළකු මරා උගේ ලෙයත් ඒ සමග කළවම් කර කෙසෙල්පතුරු ඔරුවට දැමිය යුතුය. එයද සොහොන් පල්ලේ වළක් කපා වළලා දැමිය යුතු අතර විශේෂයෙන්ම මෙම කොඩිවිනය කරන්නේ යමකු ‘‘කොරුන්’’ බවට පත්කිරීමටය. කකුලේ ඇතිවී කාලයකට සුව නොවන තුවාලයක් වසරක් දෙකක් ගතවූවද සනීප නොවේනම් එයත් කොඩිවිනයක් නිසා සිදුවූ එකක් බවට බොහෝ දෙනා කල්පනා කරති. මේ කොඩිවින බන්ධනය කැපීමට භාවිත කරන්නේද මිනිස් හිසෙන් ලබාගත් එක් කොටසකි. සම්පූර්ණ මිනිස් හිස මේ සඳහා යොදා නොගනී. මිනිස් හිස්කැබැල්ලට අමතරව දුම්මල ග්?ම් 500 ක්, දෙහිපතුරු, දෙහි ගැට 50ක්, පස්තෙල් කාලක්, පැඟිරි දර, එළවළු ඇටවර්ග හතක්, ඇට වර්ග පහක්, දියගොඩ මස්, බිත්තර ගොක්අතු, අහුගෙඩි, අළුපුහුල්, හොඬල අල, කටුඅන්නාසි, කුකුළෙක්, පොල්තෙල් විලක්කු, සුදුහඳුන්, අමුකහ, බුලත් හා නැවුම් වළඳක් හා රත්මල් මේ සඳහා අවශ්‍ය ය. රෑ එළි වන තුරු ජප කරන මෙම ශාන්තිකර්මය වඩා සාර්ථක වන්නේ මිනිස් හිස්කබලේ ඇති පෞරාණික බව නිසා යයි කියති. මිනිස් හිස්කබලේ ඇති ‘‘දත් ඇන්ද’’ කොටස මේ සඳහා භාවිත කරන් බවත්, කට්ටඩියෝ කියති. ‘‘හිස්කබල’’ කිසිම ‘‘වස්’’ නොවදින ආභරණයක් ලෙස ඔවුහු සළකති. මේ නිසා එහි සමහර කුඩා කොටස් තම ආරක්ෂාව සඳහා ශරීරයේ යම් ස්ථානවලත්, නිවෙසේ හා ඉඩම්වල තැන් තැන්වලත් තැන්පත් කිරීමට සමහරු පෙළඹෙති. සමහර යකදුරන් තමන් කරන අණවින කොඩිවිනවල විපාකවලින් බේරීමට තම නිවෙස් හතර මායිමේ මිනීඔළු ජීවමං කර ආරක්ෂාව තකා තැන්පත් කර ඇති බව ද පැවැසේ. භූත විද්‍යාව අනුව කරන අණවින හා කොඩිවින හා ශාන්තිකර්ම හෝ කොඩිවිනයේ අයදුම්කරුවා මිනිස් හිස් කබලක් සොයාගන්නේ කනත්තෙනි. නගරබදව පිහිටි සුසාන භූමිවල ඇති ඉඩකඩ සීමාසහිත වීම නිසා වසර තුනහතරකට ඉහතදී මිනියක් වලදැමූ ස්ථානය පවා හාරා ඒ මත අලූත් මළ සිරුරු තැන්පත් කරයි. නාගරික මිනී කනතුවල ආරක්ෂාවට සිටින ආරක්ෂක භටයින් හෝ මුරකරුවන් කළේ එහිදී මතුවන හිස්කබල් වැනි ශේෂකොටස් ගැනීමය. පසුව ඔවුන් අවශ්‍යතාකරුවන් සඳහා ඒවා ලබාදෙන්නේ යම් සන්තෝසම් මුදලකටය. වෛරය වපුරවමින් අනෙකාට විපතක් කිරීමට සැදී පැහැදී සිටින වත්මන් සමාජයේ බොහෝ පිරිසකට අද මිනීඔළු අවශ්‍ය කර ඇත්තේ අනුන්ට කොඩිවින කිරීමටය. නැතහොත් විවිධ අන්ධ විශ්වාස නිසා තමන්ට කොඩිවිනයක් කර ඇතැයි යන මතය මත තවත් බොහෝ දෙනෙක් සිටිති. එයින් ගැළවීමට නම් එම බන්ධනය කපා ඉවත් කළ යුතුයැයි සිතමින් මිනී ඔළුවක අවශ්‍යතාවද ඔවුන්ට මතුවේ. මළගිය ප‍්‍රාණකරුවකුට හෝ පොළව යට තැන්පත් වී ඉන්නට නොහැකි වී ඇති ‘‘මිනී ඔළු ජාවාරම’’ ට පණ දෙන්නේද ඒ ආකාරයෙන් අපේ සමාජයමය. මේ නිසා ආරක්ෂකයන් හෝ මුරකරුවන් නොමැතිව කැලයෙන් යටවූ මිනී කනතුවල ආදාහනය වූවන්ගේ හිස් කබල් සොයා ජාවාරම්කරුවෝ වන වදිති. අවිස්සාවේල්ල, වේරගොල්ල සුසාන භූමියේ ගොඩදමන ලද මිනිස් හිසක් ජාවාරම්කරුවන් විසින් අලෙවි කර ඇත්තේ එකක් රුපියල් පන්දහසක මුදලකට බව හෙළිවී තිබේ. මීට අමතරව හංවැල්ලට නුදුරු ‘‘තුන්නාන’’ ප‍්‍රදේශයේ සුසාන භූමියකද මෙවැනි මිනිස් ශරීර කොටස් සොරාගෙන ඇති බවද පැවසේ. තම අවශ්‍යතාව වෙනුවෙන්, තම නිවෙසේදී පැඟිරි දරවලින් රත්කරනු ලබන්නේ තම ඥාතියාගේ හිස්කබල නොවේදැයි සහතික වන්නේ කෙසේද? දකුණු පළාතේ එක්තරා නගරයක පිහිටි සුසාන භූමියකින් රුපියල් 300 සිට රුපියල් 1000 දක්වා මුදලක් ගෙවා මිනිස් හිස්කබල් ලබාගත හැකිය. මුදල්වලට අමතරව මත්පැන් බෝතලයක් සන්තෝසම් ලෙස ලබාගෙන ඔවුහු මෙම හිස්කබල් ජාවාරමේ යෙදෙති. අපේ පොළොවේ තැන්පත් වී සිටින මුතුන් මිත්තන්ගේ සිරුරුවල ශේෂ කොටස් මහපොළොවේ පස්බවට පත්වන්නට ඉඩනොදී බලිතොවිල් සඳහා ජාවාරම් කරන්නන්ට දැඩි දඬුවම් දීම සඳහා ආරක්ෂක අංශද සීරුවෙන් සිටිය යුතුය. ඒ සඳහා දැඩි නීතිරීති හා දඬුවම් පැනවිය යුතුය. හිස්කබල් භාවිත කරමින් බලිතොවිල් කරන කට්ටඩියන්ගෙන් ඒ සේවය ලබාගන්නා මහජනයාගේ මානසික තත්ත්වය කුමක්දැයි අප ගම්පහ මහරෝහලේ මානසික රෝග අංශයේ ප‍්‍රධානී වෛද්‍ය එස්.පී. කඳපොල ආරච්චි මහතාගෙන් විමසුවෙමු. කට්ටඩියන් ගැන ඔහු කීවේ ඒ ඔවුන්ගේ ව්‍යාපාරයක් බවය. ආදි කාලයේ සිට මෙම වැරදි මත ජනතාව අතර තිබූ බවත් ඒවායින් ප‍්‍රයෝජනය ගෙන කට්ටඩියන් හා යකදුරන් තම ව්‍යාපාරය පවත්වාගෙන යන බවත් වෛද්‍යවරයා කීය. මෙම කට්ටඩින් හා යකදුරන්ගෙන් සේවාව ලබාගන්නා ජනතාව විශේෂයෙන්ම නූගත් අය බවත් ඔවුන් වැඩිදෙනෙක් ගම්බදව ජීවත් වන බවත් වෛද්‍යවරයා කීය. මේ පිරිස අතර උගත් අය පවා සිටින බවත් මේවා අන්ධ විශ්වාස බව දැන දැනත් ඒවා සත්‍යදැයි අත්හදා බලන්නට යන බවත් කඳපොළ ආරච්චි මහතා කීය. උදාහරණයක් ලෙස අනිකුත් බෙහෙත්වලින් සුවනොවන රෝග සඳහා ප‍්‍රතිකාර නොලද බොහෝ දෙනා මේ ක‍්‍රමවලින් හෝ සුවය ලැබේ යැයි විශ්වාස කර ඒවා කෙරෙහි විශ්වාසය තබන බවද ඒ මහතා කියයි. තම බුද්ධියෙන් සිතා නොබලන අනුන් කියන දේ පමණක් විශ්වාස කරන අය බෙහෙවින් වැඩි බවත්, අනුන්ගේ පෙළඹවීම මත මෙම අන්ධ විශ්වාසවලට යොමුවන පිරිස වැඩි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

සටහන /ඡායාරූප - දොම්පේ අජිත් මදුරප්පෙරුම
හිස්කබල ගැනීමට රණවිරුවකුගේ සොහොන කඩාදමා තිබූ අයුරු පැරණි ගම්සභා නියෝජිතයෙකුගේ සොහොන කඩාදමා එක ළඟ පිහිටි සොහොන් දෙකක් කඩාදමා ඇති අයුරු ජේ.ඒ. සෝමසිරි ජයවීර  රේමන් කැලිස්ටස්



අදහස් (0)

ලාබෙට සල්ලි හොයන මිනී ඔළු ජාවාරම

නිසංසලා Tuesday, 24 July 2012 05:03 PM

පුදුම මිනිස්සුනේ. මියගිය කෙනකුටවත් නිදහසක් නැද්ද? (නි)

:       0       0

තිලක් Tuesday, 24 July 2012 04:45 AM

ඉස්සරහට කනත්තටත් පොලිස් ආරක්ෂාව අවශ්‍ය වෙයි. (නි)

:       0       0

තුසිත Wednesday, 25 July 2012 10:51 AM

මෙහෙම යනකොට මැරෙන්නත් බය හිතෙනවා (දී)

:       0       0

තරුෂ Tuesday, 24 July 2012 10:02 AM

මේක තනිකරම මානසික රෝගයක් සුව නොවන රෝග සඳහා බලි තොවිල් කිරීමෙන් සහනයක් ලැබේ යයි විශ්වාස කරයි වෛද්‍යවරුන්ම කියනව සියලුම රෝග සුව වීමට මානසික මට්ටම බලපාන බව (නු)

:       0       0

සෙනරත් Monday, 23 July 2012 07:57 AM

මේ කොඩිවින කතා වල යම් ඇත්තක් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5970 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 888 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site