IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වැවේ ගිලී මිය ගිය පෙම් යුවළ පූජා නගරය ළඟ සැරිසරන කතාව ඇත්තක්ද?

  30_NIM_P_8   

 

තරුණ ජෝඩුවකගේ අවතාරයක් අනුරාධපුරය පූජා නගරයට නුදුරින් පිහිටි බණ්ඩාරබුලන්කුලම වැව ආශ්‍රිත ප්‍රදේශයේ සති කිහිපයක් තිස්සේ සිරිසරන  බවට විශ්වාසයක් පවතින නිසා ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව භීතියට හා සංත්‍රාසයට පත්ව සිටිති. 


බණ්ඩාරබුලත්කුලම වැව ආශ්‍රිත ප්‍රදේශයේ සැරි සරන බවට පැවසෙන  අවතාර කතාව ගැන සොයා බැලීමට මාතලේ මහ රෝහලේ වෛද්‍ය යමින්ද ජයරත්න මහතා ද සමඟ පසුගිය 27 වැනිදා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ මේ බව අපට දැන ගැනීමට ලැබිණි. 


මෙවැනි අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණවල නිරතව සිටින වැලිපැන්නගහමුල්ලේ සාම විනිසුරු ප්‍රසන්න මඳුරාවල, මාතලේ නිදහස් චින්තකයින්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක හා නීති සිසුවෙක් ද වන බුද්ධික ධර්මසේන සහ මුහම්මද් තාරික් යන මහත්වරුන් ද අප සමඟ මේ ගමනට එක්වූහ. 

58
නාත්තණ්ඩිය කුඩා වැව ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ වන්දනාවේ ගිය නඩයක සිටි රෝහණ දසනායක මහතා මේ අවතාර කතාව මා සමඟ කිව්වේ ඔහුට අනුරාධපුරයේදී හමුවූ මිතුරෙක් කී පසුවය. 


අවතාර කතාව ගැන සොයා ගිය ගමනේදී අපට මඟ පෙන්වූ නියමුවා වූයේ අනුරාධපුරය රැලපනාව ගල්කඩවල පදිංචි සිසිර රංජිත් මධුරසිංහ මහතාය. 
තරුණ යුවළගේ අවතාරය දිස්වෙන බවට ප්‍රදේශයේ ඇතමුන් තුළ විශ්වාසයක් පවතින්නේ මහබුලන්කුලම වැව ආසන්නයෙන් වැටී ඇති මාර්ගයේ කොටසකය. 


අනුරාධපුර පූජා නගරයට නුදුරු කටුකැලියාව බණ්ඩාරබුලන්කුලම වැවේ නෙළුම් මල් නෙළීමට සහ විනෝදයට ඔරු පැදීමට ගිය තරුණ පෙම් යුවළක් අනපේක්ෂිත ලෙස එම ඔරුව පෙරළී මිය ගියේ පසුගිය මාසයේ 28 වැනිදාය. 


ඔරුව පෙරළීමෙන් මියගොස් තිබුණේ බණ්ඩාරබුලන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එච්. රුවන් කුමාර (21) සහ පොලොන්නරුව මැදිරිගිරිය  මහ අඹගස්වැව යාය 11 ප්‍රදේශයේ පදිංචිව සිටි අයේෂා තුෂාරි බණ්ඩාර (20) යන තරුණ පෙම් යුවළ වෙති. 


මෙම පෙම් යුවළ විවාහ වීමට දින දෙකක් තිබියදී මෙසේ ඉතාම අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබුණ අතර මෙය මුළු අනුරාධපුරය ප්‍රදේශයම කම්පාවට පත්කළ අතිශය ශෝචනීය සිද්ධියක් විය. 


අවතාරයක් වී රෑ කාලයේ සැරිසරන්නේ මේ තරුණ පෙම් යුවළ බවට ප්‍රදේශයේ ඇතමුන් තුළ විශ්වාසයක් පවතී. 

 

5

යතුරුපැදියේ පැමිණි අවතාර යුවළ අතුරුදන්වූ බව කියන තුන්මංහන්දිය

 


පසුගිය සතියේ දවසක මේ වැව ඉස්මත්තේ වැටී ඇති මාර්ගය  ඔස්සේ රාත්‍රියේ නිවෙස් බලා යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ද  මේ අවතාරවලට බියවී කට්ටාඩියෙක් ගෙන්වා සාත්තුවක් ද කර ඇති බව දැන ගැනීමට ලැබී අපි එම පුද්ගලයා සොයා ගෙන ගියෙමු. 


ඒ පුද්ගලයාගේ පවුලේ කෙනෙක් අප සමඟ පැවසූ ආකාරයට මේ පෙම් යුවළගේ අවතාරය ඔහුගේ යතුරුපැදියේ පිටුපස වාඩිවී කිලෝ මීටර්  1 1/2 ක් පමණ දුර ගෙවා පැමිණ එක්වරම අතුරුදන්වී ඇති බව කියති. 


මගේ අයියා රෑට වැඩ ඇරිලා හැමදාම රෑට ගෙදර එන්නේ මෝටර් බයිසිකලයෙන්. එදාත් අයියා රෑ වෙලා යතුරුපැදියෙන් ගෙදර එනකොට තරුණ ජෝඩුවක් දැකලා බයිසිකලේ නවත්වා තිබෙනවා. ඔය කියන වැව ළඟ පාරෙන් එද්දී තමා ඒ ජෝඩුව දැක තියෙන්නේ. අයියා බයිසිකලේ නැවැත්තුවාට පස්සේ ජෝඩුව බයිසිකලේ පිටුපස අසුනේ වාඩි වෙලා තිබෙනවා. අයියා ගේ ළඟට ඇවිත් බලද්දී ඒ ජෝඩුව අතුරුදන්වෙලා. අයියා හොඳටම බය වෙලා. බය වෙච්ච පාරට අයියා නන්දොඩවන්න පටන් ගත්තා. ඒ ජෝඩුව බන්ඳවන්න යන්න රෙජිස්ටාර් මහත්තයෙක් හොයන්න යන්න ඕනෑ කියා කියන්නත් පටන් ගත්තා.

ජෝඩුවට රෑට කන්න දෙන්න මොනවා හරි උයන්න කියමින් අයියා කෑ ගැසුවා. පස්සේ කට්ටාඬියෙක් ගෙනැවිත් නූල් බැඳලා සාත්තුවක් කළාට පස්සේ තමා හරි ගියේ යැයි ඔහුගේ සහෝදරියක් අප සමඟ පැවසුවේ අයියාට එදා වෙච්ච දේවල් ගැන කියන්න  දැන් කිසිම මතකයක් නොමැති බවද පවසමිනි. 


වෙද්‍ය යමින්ද ජයරත්න මහතා අයියා මත් පැන් පානය කරනවාද කියා විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ කාලයක පටන්ම ඔහු තදින්ම බීමට ඇබ්බැහිවී  සිටින බවය. 


අරක්කු නොමැතිව ඔහුට සිටිය නොහැකි බවත් උදේට වැඩට යන්නේ ද අරක්කු පානය කර බවත් ඇය වෛද්‍යවරයා සමඟ පැවසුවා. 


මෙම සිද්ධියෙන් දවස් තුනකට විතර පස්සේ සිට  අදටත් වැව් බන්ඞ් එක ඔස්සේ වැටී ඇති පාරෙන් රෑට මෝටර්බයිසිකලෙන් පැමිණියත් කිසිම අවතාරයක් නොදුටු බව ඔහු පැවසුවේ වෛද්‍ය යමින්ද මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය. 


අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක්ද රාත්‍රියේ වැව ඉස්මත්තෙන් වැටී ඇති මාර්ගයේ මෝටර් රථයෙන් තනියම ගමන් කරද්දී ලස්සන තරුණියකගේ අවතාරයක් දැක බියට පත්වී ඇති බව අපේ මඟ පෙන්නන්නාවූ රංජිත් මධුරසිංහ මහතා කියා සිටි නිසා අප එම වෛද්‍යවරයා ද සොයා ගියේ මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහාය.

6


තමාගේ නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කරමින් වෛද්‍යවරයා තමන් එදා රෑ කාර් එකෙන් ගමන් කරද්දී දුටු සිද්ධිය අප සමග විස්තර කළේ මෙසේය. 
මම ඔය කියන වැව ළඟින් තියන තාර පාරේ කාර් එක එළවාගෙන තනියම ආවා. එතකොට වෙලාව රෑ 8.15 ට විතර ඇති. වැව පැත්තට වෙන්න තියන ලොකු ගහක් ළඟ ගැහැණු ළමයෙක් හිටගෙන ඉන්නවා දැක්කා. සුදු පාටට හුරු ලස්සන මුහුණක් ඒ ගැහැණු ළමයාට තිබුණ බව ඇය සමීපයට එද්දී දැක ගැනීමට මට ලැබුණා. මේ මහ රෑ මෙච්චර ලස්සන ගැහැණු ළමයෙක් වැවක් ළඟ  මොනව කරනවාද කියන සිතිවිල්ල මගේ හිතට එක පාරටම ආවා. ඇය කළු පැහැති ඇඳුමක් හැඳ සිටියා. මේ ලස්සන කෙල්ල සමීපයට මා පදවා ගෙන ගිය කාර් එක එනවාත් එක්කම එක පාරටම නොපෙනී ගියා. වෙච්ච දේ ගැන මට හිතාගන්නවත් බැරිව ගියා. ඊට පස්සේ තමා මට මතක් වුණේ මේ වැවේ තරුණ ජෝඩුවක් මිය ගියානේ කියා.


මම කිසිම දවසක හොල්මන් අවතාර ගැන විශ්වාස කරන කෙනෙක් නොවේ. ඇත්තෙන්ම කියනවා නම් මම මේ සිද්ධියෙන් පස්සේ හොඳටම බය වුණා. වැව ළඟට වෙලා හිටගෙන හිටියේ ගැහැණු ළමයෙක්ම තමා. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ යැයි කියා වෛද්‍යවරයා කීය. 


ඔබ ඊට පස්සේ රෑ ඔය වැව ළඟ තියන  පාරෙන් ගියේ එහෙම නැද්ද?


මොකද නැත්තේ මම ඊට පහුවැනිදාත් රෑ කාර් එක එළවාගෙන රෑ වෙලා ඔය වැව ළඟින් තියන පාරෙන් ගියා. තරුණියකගේ රූපයක් මම දැක්කාට පස්සේ දවසේ මම එතැනින් යද්දී කුණුහරුප දෙක තුනක්  කියමින් තමා කාර් එක එළවා ගෙන ගියේ. එහෙම කුණුහරුප කිය කියා ගියාම හොල්මන් අවතාර පෙනෙන්නේ නැති කතාවක් මම පුංචි කාළේ ඉඳලම අසා තිබුණා. අන්න ඒ හින්දා තමා කුණුහරුපයක් දෙක් කිය කියා කාර් එක එළවාගෙන ගියේ. ඊට පසසේ අදටත් මම තනියම වැව පාරෙන් කාර් එක රෑට එළවාගෙන යනවා හැබැයි දැන්නම් කුණුහරුප කියා ගෙන කාර් එක එළවාගෙන යන්නේ නැහැ. හැබැයි එදායින් පස්සේ නම් මම තරුණියකගේ රූපයක් දැක්කේ නම් නැහැ. 


ඒ වෛද්‍යවරයා අප ඇසූ ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර විය. 


මම එදා රෑ දැක්කේ අවතාරයක් ද කියන එක මට හරියටම  කියන්න අමාරුයි. මගෙන් බෙහෙත් ගන්න එන ගමේ අය හුඟ දෙනෙක් තරුණ ජෝඩුව වැවේ ගිලිලා මිය ගියාට පස්සේ රෑට අවතාර පේනවා කියා මාත් එක්ක කියා තිබෙනවා. වැවේ ගිලී මිය ගිය තරුණයාගේ ළඟම ඥාති කාන්තාවක් ළඟදී දවසක මගෙන් බෙහෙත් ගන්න ආවා. ඒ කාන්තාවත් මාත් එක්ක  කිව්වා දොස්තර මහත්තයෝ ඔය වැව ළඟ රෑට හොල්මන් තියනවා  හුඟ දෙනෙක් බය වෙලා තියෙනවා කියා. ඇත්තෙන්ම ඔතැන සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ඔය ගොල්ලෝ සොයා බලන්න යැයිද වෛද්‍යවරයා අපෙන් ඉල්ලීමක්ද කළේ ඔහුට සමුදීමට සූදානම් වූ මොහොතේය. 


අනුරාධපුරය ගම්බිරිගස්වැව ප්‍රධාන මාර්ගයේ පිහිටි බාලදක්ෂ හන්දියේ පිහිටි ත්‍රිරෝද රථ ගාලේ සිටි ත්‍රිරෝද රථ රියදුරු මහත්තයෙක් අප සමඟ පැවසුවේ සුදු හැඳගත් තරුණියක් වැව පාරේ රෑට ගිය  ත්‍රිරෝද රථ කිහිපයකටම අත අල්ලා ගොඩවී මද දුරක් යද්දී එක පාරටම අතුරුදන්වී තිබෙනවා යැයි කියාය. 
තමා රෑට වැව පාරෙන් නොයන බවද ඔහු අපත් සමඟ  කියා සිටියේය. 


වැව ළඟින් රෑට යද්දී තරුණ ජෝඩුවකගේ අවතාරයක් දුටු බවට කියන අය ඔවුන්ගේ නම් හා ඡායාරූප පුවත්පතේ පළ කරනවාට අකමැති වූයේ වෙන කිසිම දෙයක් නිසා නොව වැවේ ගිලි මිය ගිය යුවළගේ සමීප ඥාතීන් ඒ කතා කියන සමහරුන්ගේ නිවෙස් සොයා ගොස් ඔවුනට බැණ තර්ජනය කර තිබූ නිසා බව අප කළ සොයා බැලීම්වලදී දැන ගැනීමට හැකිවිය. 


තරුණයකුගේ අවතාරයක් වැව ඉස්මත්තේ දී  දුටු බව කියන කටුකැලියාව ගම්මානයේම පදිංචි 60 වියේ පමණ පසුවන අයෙක් අප හමුවට කැඳවාගෙන අවේ අනුරාධපුරය බීට්ටු වන නිලධාරි එස්. වනසිංහ මහතාය. 


මම පදිංචි වෙලා  ඉන්නේ වැවේ ගිලි මියගිය ළමයා පදිංචි වෙලා හිටිය ගමේම තමා. මම රෑ මළගෙදරට වැව ළඟින් තියන  පාරෙන් ආවා. එතකොට රෑ 9.00 ට විතර ඇති. වැවේ නාන තොටුපළ ළඟ තියන පඩිපෙළ ළඟ කවුදෝ පිරිමි කෙනෙක් වාඩිවෙලා ඉන්නවා වාගේ දැක්කා. මම හිතුවේ කටුකැලියාවේ ඇස් වෙද මහත්තයා ළඟ වැඩ කරන රෝහණ වැඩ ඉවර වෙලා වැවට නාන්න ඇවිත් කියලයි. මම රෝහණ කියා කතා කළත් ඔහු කතා කළේ නැති නිසා මගේ අතේ තිබුණ ටෝච් එක නාන තොටුපළේ පඩිපෙළ ළඟ වාඩි වෙලා හිටිය කෙනා දෙසට එල්ල කළා. ටෝච් එකේ එළිය වදිනවාත් එක්කම ඒ පුද්ගලයා එක පාරටම නොපෙනී ගියා. මම මළ ගෙදරට ආවත් මේ ගැන කිසිම දෙයක් මළගෙදර හිටිය අයට කියන්න ගියේ නැහැ. සති කිහිපයක් ගියාට පස්සේ මේ ගැන මගේ යහළුවෙක් එක්ක කිව්වා. 


 නාන තොටුපළේ පඩිපෙළ ළඟ වාඩිවෙලා හිටියේ කළු පාට පුද්ගලයෙක් බවද ඔහු කියා සිටියේ වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 
සෙවණැල්ලක් දුටු විට එයට දල්වන ලද විදුලි පන්දම  එල්ල කිරීමේදී ඒ ආලෝකයට සෙවණැල්ල මැකී යන්නට ඇති බව වෛද්‍ය යමින්ද මෙහිදී ඔහුට පැහැදිලි කර දුන්නේය. මිනිස්  සිත වහා රැවෙටෙන සුළු බව යැයිද පවසමිනි. 


අනුරාධපුරය දිසා වන නිලධාරි ලලිත් ගමගේ මහතා අප සමඟ කියා සිටියේ ද තමා ද කැබ් රථය පදවා ගෙන රෑ තනියම වැව ළඟින් වැටී ඇති පාරෙන් පසුගිය සති කිහිපයේම රාජකාරි  කටයුතු සඳහා ගොස් ඇතත් ඔය කියන ආකාරයේ තරුණ ජෝඩුවකගේ අවතාරයක්  කිසිම දවසක දැක නොමැති බවය. 
බීට්ටු වන නිලධාරි වනසිංහ මහතා ද අප සමඟ කියා සිටියේ තමාද යතුරුපැදියෙන් කැළෑ කපන ජාවාරම්කරුවන් ගැන තොරතුරු සොයා බැලීමට යතුරුපැදියෙන් තනියම වැව පාරේ රෑට ගොස් ඇතත් කිසිම දවසක තරුණ ජෝඩුවකගේ අවතාරයක් දැක නොමැති බවය. 


අපේ කණ්ඩායමට මගපෙන්වීමට පැමිණි සිසිර රංජිත් මධුරසිංහ මහතා අදහස්  දක්වමින් මෙසේ කීය. 


වැවේ ගිලී මිය  ගිය ජෝඩුවගේ අවතාර රෑට වැවේ ඔරු පදිනවා නෙළුම් මල් කඩනවා වගේ නොයෙකුත් කතා ගම පුරා පැතිර ගොස් තිබෙනවා. මමත් රෑට තනියම වැව පාරේ මෝටර් බයිසිකලයෙන් මගේ කැබ්  රථයෙන් ගමන් බිමන් අදටත් යනවා. හැබැයි මමත් කිසිම දවසක ඔය තරුණ ජෝඩුවගේ අවතාර වැවේ මල් කඩනවාවත් ඔරු පදිනවාවත් දැකලා නැහැ. ඒ විතරක් නොවේ මගේ වාහනේට ගොඩවෙලත් නැහැ. හිත බය වුණාම තමා හොල්මන් අවතාර පෙනෙන්නේ. හොල්මන් අවතාර කියන්නේ බොරුවක්. ගමේ අය හුඟ දෙනෙක් බය වෙලා ඉන්නේ කට කතා අහලා. මේ අවතාර කතාව කියා මියගිය අයගේ පවුලේ අය ලොකු අමාරුවකට අපහසුතාවකට පත්වෙලා ඉන්නවා. වැව ළඟ තියනවා යැයි කියන අවතාර කතාව පට්ටපල් බොරුවක්. ඒ බව මා අවධාරණයෙන්ම පැවසිය යුතුයි. 


ගමේ බොහෝ දෙනෙක් බියට සංත්‍රාසයට පත්ව සිටින්නේ අවතාර දැකීමෙන් නොව අවතාර සිද්ධිය මුල්කරගෙන ගම පුරා පැතිර ගොස් තිබෙන එකඑක කට කතා නිසා බව අප කළ ගවේශණයේදී ද  පැහැදිලිව පෙනී ගිය කරුණක් විය. 


සිය පෙම්වතිය සමඟ  වැවේ ඔරුපැදීමට ගොස් මියගිය  තරුණයාගේ නිවස සොයා ගෙන අපි ගියෙමු. 


පෙම්වතිය සමඟ වැවේ ගිලී මියගිය තරුණයාගේ නිවස පිහිටා තිබෙන්නේ ද වැව ආසන්නයේමය. 


මියගිය තරුණයාගේ මව ජේ. පුෂ්පලතා මහත්මිය ඇතුළු පවුලේ උදවිය මේ අවතාර කතාව පතුරවන අයට එරෙහිව කතා කළේ දැඩි ආවේගශිීලීවය. 
අවතාර කතාව පතුරුවන අයට ඔවුන් දැඩි දෝෂාරෝපණයන්ද දිගින් දිගටම එල්ල කර සිටියේය. 


මියගිය තරුණයාගේ මව පුෂ්පලතා මහත්මිය ඇය තුළ හටගෙන තිබූ ආවේගය කෝපය ආයාසයෙන් මැඩගෙන අප හා අදහස් දැක්වූවාය. 


වැවේ ඔරු පදින්න ගිහින් මියගියේ මගේ පුතයි එයා බඳින්න හිටිය  මැදිරිගිරිය පැත්තේ ගමක පදිංචිවෙලා හිටිය එයාගේ පෙම්වතියයි. දෙන්න  දවස් දෙකකින් බඳින්න සේරම සූදානම් කරලා තියෙද්දි තමා වැවේ ගිලී මියගියේ. මගේ පුතයි ලේලි වෙන්න ගිය ගැහැණු ළමයයි මියගිය වේදනාව තවමත් මගේ හිතේ තියෙනවා. අම්මා කෙනෙකුට මේ දුක උහුලගෙන ඉන්න අමාරුයි. මේ සිද්ධිය මතක් වෙද්දී මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් මට අදටත් දැනෙනවා. එච්චර ලොකු වේදනාවකින් ඉද්දී තමා ගමේ සමහර එවුන් මගේ පුතයි එයා බඳින්න හිටිය ගැහැණු ළමයයි අවතාර වෙලා ඉන්නවා කියා බොරු කතා හදලා සමහරු පතුරුවා හැරලා තියෙන්නේ. 


මගේ පුතා අහිංසකයෙක් එයා සතෙකුට සිව්පාවෙකුටවත් හිංසා පීඩා කරපු කෙනෙක් නොවේ. වැව ළඟම පදිංචි වෙලා හිටියත් මහත්තයෝ එයා කිසිම දවසක වැවට මාළුවෙක්වත් අල්ලන්න ගිය කෙනෙක් නෙමේ. පුතා බඳින්න හිටිය දුවත් හරිම හොඳ ගැහැණු ළමයෙක් බව මම  දන්නවා. පුතයි එයාගේ පෙම්වතියයි පාරේ යන ත්‍රීවීල්, මෝටර් බයිසිකල්වලට නගිනවා කියනවා. වැවේ ඔරු පදිනවා දකිනවා කියනවා. එක එක්කෙනාගේ වාහනවලට නගිනවා කියන මේ දෙන්නාගේ අවතාර එහෙම නම් එන්න ඕනෑ අපේ මේ ගෙදරටනේ. පුතා උපන්දා ඉඳලම පදිංචිවෙලා හිටිය ගෙදරට එන්නේ නැතුව එකඑක තැන්වල යයිද මහත්තයෝ. ඒකෙන්ම තේරෙනවානේ මේක බොරුවක් කියලා. වැවේ රෑට ඒ දෙන්නාගේ අවතාරය ඔරු පදිනවා නම් වැව ළඟම ඉන්න අපිටත් පේන්න ඔනැ. ඇයි ඉතිං  අපිට පේන්නේ නැත්තේ යැයි පුෂ්පලතා මහත්මිය විමසන්නීය. 


මේ බොරු අවතාර කතාව නිසා අපට පාරේ බැහැලා යන්න ලජ්ජයි. අපි ලොකු අපහසුතාවකට පත්වෙලා ඉන්නේ යැයිද ඇය පැවසුවේ  හද තුළ තෙරපෙමින් තිබූ වේදනාව අතරිනි.


මියගිය තරුණයාගේ ළඟම ඥාතීන් වන ජේ.  චිත්‍රානන්ද සහ ජේ. සෙනවිරත්න යන මහත්වරුන්ද අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ද අපිත් රෑට තනියම වැව ළඟින් යනවා. කිසිම දවසක ඔය කියන අවතාර නම් දැක්කේ නැහැ යැයි කියාය. 


ඔය කියන  අවතාර අපේ ගෙවල්වලට හොයාගෙන  ආවෙත් නැහැ යැයි කියාද  ඔවුහු පවසති. 


“මගේ දුව ඉගෙන ගත්ත ඉස්කෝලෙ ටීචර් කෙනෙක් උඹලාගේ මාමා මැරිලා හොල්මන් කරනවා ඒ හින්දා මිනිස්සුන්ට පාරේ යන්නත් බැහැ කියලා හොඳටම බැණලා. දුවට මේ ගැන කියලා දවස්  කිහිපයක්ම හොඳටම දොස් කියා තිබෙනවා. දුව ගෙදර ඇවිත් හරිම දුකෙන් මේ බව අපිත් එක්ක කිව්වා. දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ටීචර්ගේ මේ කතාව නිසා දුව හරිම වේදනාවෙන් ඉන්නේ. ඇයි ඔච්චර දැන උගත් චීටර් කෙනෙක් මේ වගේ කතා කියන්නේ ඇයි ද කියන එක තමා අපට තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ යැයි කියා පැවසුවේ මියගිය තරුණයාගේ ළඟම ඥාති කාන්තාවකි. 
තරුණ යුවළකගේ හදිසි වියෝව නිසා ඔවුන්ගේ ඥාතීන්ගේ  නෙත්වලින් ගලා ගිය කඳුළුවලින් බණ්ඩාරබුලන්කුලම වැව් කොමලිය ද සසල වී ඇති සේය. ගැහැණු පිරිමි කීප දෙනෙක්ම මේ වැවේ ගිලිලා මීට කලින් මිය ගොස් තිබෙන බවත් එහෙත් කිසිම දවසක ඒ මියගිය අය අවතාර වෙලා ඉන්නවා කියා කිසිම කෙනෙක් මේ වනතෙක් කිව්වේ නැහැ. ඇයි මේ දෙන්නා විතරක් අවතාර වෙලා පාරේ ඉන්නවා කියා කතා හදලා තියෙන්නේ කියා මියගිය තරුණයාගේ මව සහ  අනෙකුත් ඥාතීන් ප්‍රශ්න කරති. 


ඔවුන් කියන මේ කතාවේ ඇත්තක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. 


මහ රෑ අපි අවතාර පෙනෙනවා යැයි පැවසෙන පාරේ ගමන් කරද්දී කාන්තාවක් සහ තරුණියක් වැව් ඉස්මත්තේ පිහිටි රූස්ස ගසක් ළඟ තබා තිබූ දේව ප්‍රතිමාවකට පහන් පත්තු කරනවා දුටුවෙමු. 


තනිපංගලමේ ගිය අයෙක් මේ දර්ශනය දුටුවේ නම් අවතාරයක් පහන් පත්තු කරනවා දුටු බව කියා හොඳටම බිය වනවා නොඅනුමානය. 


අප සමග මේ ගවේෂණයට එක්වූ ප්‍රසන්න මඳුරාවල මහතාද කියා සිටියේ කට කතා නිසා ගමේ උදවිය හොඳටම බියවී ඇති බවය. 


වෛද්‍ය යමින්ද ජයරත්න මහතාද අප කළ ගවේෂණය අවසානයේ කියා සිටියේ කිසිම තේරුමක්  නැතිව මිනිස්සු  බියට පත්ව තිබෙනවා යැයි කියාය. 


හොල්මන් අවතාර කියා දෙයක් නොමැති බවත් ඒවා මිත්‍යා සංකල්ප බවත් වෛද්‍යවරයා ගම්මුන්ට පැහැදිලි කර දුන්නේ ඔවුන්ගේ සිත්සතන් තුළ පැවති බිය සැකසංකා දුරකරලීමේ අරමුණින්ය. 


 

සත්‍යතාවක් නෑ කටකතාවලින් සිදු වූ දෙයක්

 

වැවේ ගිලි මිය ගිය තරුණ යුවළකගේ අවතාර සිද්ධිය ගැන පූර්ණ ගවේෂණයක් කිරීමට මා හට හැකි විය. මිය ගිය යුවළගේ මරණය එම ප්‍රදේශය තුළ ජීවත් වන ගම් වැසියන්ගේ සිත්තුළ මහත් කම්පනයක් ඇති වූ සිදුවීමකි. කම්පාසහගත මරණයන් ඇතිවීමෙන් පසුව ඇති වන තත්ත්වය නම් ප්‍රදේශයේ මිනිසුන් තුළ  අදාළ සිද්ධිය පිළිබඳව අද්භූතජනක හැඟීම් ඇතිවීමය. 

SLD_20160731_A020
මෙම සිදුවීම පිළිබඳව  මා හට මුලින්ම මියගිය තරුණ යුවළගේ අවතාරය දුටු බව පවසන පුද්ගලයකු හමුවුණි. මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකි. ඔහු අදාළ සිද්ධිය විස්තර කිරීමේදී එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව මාහට තහවුරු වුණා. යම් පුද්ගලයකු අධික ලෙස මත්පැන් පානය කරන විට මධ්‍යසාරවල බලපෑම නිසා මොළයේ සිදුවන ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම මත පුද්ගල රූප මැවීම හා විවිධ ශබ්ද ඇසීම සිදුවිය හැකිය. (Alcohol Induced Hllusination) මේ අනුව මා හට තහවුරු වූයේ එම පුද්ගලයාගේ අත්දැකීම් මත්පැන් පානය නිසා ඇති වූ සංසිද්ධියකි. නමුත් එම සිදුවීම ගම්වැසියන්ට දැන ගැනීමට ලැබුණ පසු ත්‍රාසයට හා භීතියට පත්ව ඒ හා බැඳුණු නොයෙකුත් කටකතා ප්‍රදේශය පුරා පැතිර යාමට හේතුවී  ඇති බව මා කළ ගවේෂණයේදී තහවුරු විය. 


භූත, ප්‍රේත වැනි සංකල්ප කුඩා අවධියේ සිටම ළමා මනසට දැඩිලෙස බලපෑම් කරන අතර වැඩිහිටි තත්ත්වයට පත්වුවද  එම සංකල්ප  මනසින් බැහැර නොවේ. යම් අයෙකු මිය ගිය පසු ඔහුගේ හෝ  ඇයගේ හෝ ආත්මය පිටවෙන  බවද, ඉන්පසුව එය අවතාර වන බවට මතයක්  පවතී. මෙවැනි සංකල්පවල සත්‍යාතාවක්  ඇති බවට කිසිදු විද්‍යාත්මක සාධක නැත. 


මෙවැනි සංකල්ප විශ්වාස කරන පුද්ගලයන් කොතරම් ඉහළ වෘත්තීන්වල නියැලුණත්, කොතරම් උගතුන් වුවත්, එම සංකල්ප නිසා අඩපණ වූ විමර්ශනශීලී මනස නිසා ඉතා කුඩා සිදුවීමක් පවා එකහෙළා හොල්මන් අවතාර ලෙස පිළිගනී. 


සමාජයේ  උගත් පුද්ගලයෙක්ද මෙවැනි දෙයක් දුටුවේ යැයි පැවසූ විට එය විමර්ශනශීලීත්වයකින් තොරව පිළිගැනීමට සමාජයේ බොහෝ දෙනෙක් පුරුදුවී සිටීමද මෙවැනි මිත්‍යා විශ්වාස සමාජය තුළ පැතිරයාමට හේතුවී ඇත. 


මෙම විමර්ශනයේදී පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ විවිධාකාර පුද්ගලයන් විසින් ගොතනු ලබන කටකතා කිසිදු විචාර බුද්ධියකින් තොරව පිළිගෙන එය තව තවත් ප්‍රචාරය කිරීම මෙම මිත්‍යා විශ්වාසය තවදුරටත් තහවුරුවී ඇති බවය. මේ හේතුවෙන් මියගිය තරුණ යුවළගේ ඥාතීන් සමාජය තුළ දැඩි මානසික අවපීඩනයකට පත්වීමය. එබැවින් මෙවැනි  මිත්‍යා විශ්වාස සමාජගත කිරීමෙන් සමාජයට සිදුවන හානිය වළක්වා ගත යුතුය. තවද මියගිය තරුණ යුවළගේ ඥාතීන්ද මේ නිසා පත්වී ඇති අසරණභාවයද මා කළ ගවේෂණයේදී අනාවරණය විය. 


m



අදහස් (0)

වැවේ ගිලී මිය ගිය පෙම් යුවළ පූජා නගරය ළඟ සැරිසරන කතාව ඇත්තක්ද?

ශසික Monday, 01 August 2016 04:36 PM

මොන හොල්මන්ද අප්පා....මේ ගොල්ලෝ මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරනවා....(රේ)

:       0       0

මැටිපහන Tuesday, 02 August 2016 11:04 AM

ලෝකේ පුරාම ඉන්නවා මේ වගේ හොල්මන්. හැබැයි බය වෙන්න ඕන එයාලට නෙමෙයි. ජිවත් වෙලා ඉන්න මිනීමරුවන්ට. (ම)

:       0       0

අතුල Monday, 01 August 2016 01:15 PM

අනේ මන්දා මේ කතා ඇත්තද බොරුද කියලා හිතාගන්න අමාරුයි මට (නි)

:       0       0

නිම්මි Monday, 01 August 2016 02:53 PM

මේ වගේ බොරු කතා පතුරවන්න ඉඩ දෙන්න එපා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1004 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 156 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 827 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 74 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 220 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site