IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ වාහන නාට්‍ය මීට හොඳම උදාහරණය වේ. 2015 දී ද මෙය මෙලෙසම සිදු කළ අතර, තවදුරටත් එය විකිණිය නොහැකි බව දැනගෙන තිරය වසා දමා අදාළ වාහන ඒවාහි හිමිකරුවන්ට නැවත ලබා දීමට කටයුතු කෙරුණි.

වර්තමානයේ ද එය ම සිදු වී තිබේ. එම වාහන ජනාධිපති කාර්යාලයට විවිධ අවශ්‍යතා මත අනුයුක්ත කළ රජයේ ආයතනවලට ම ඒවා නැවත බාර දෙනු ලැබීය.

මේ වැනි නාට්‍ය තාවකාලික දේශපාලන කුල්මත් කිරීම සඳහා ඉදිරිපත් කළාට කම් නැත. එහෙත් භයානකත්වය වන්නේ මේ සංදර්ශන මගින් අවසානයේ භූමියේ කිසිවක් වෙනස් නොවීමයි. මේවා හුදු දිව රසට දෙන සීනිබෝල පමණි. බඩට කිසිවක් නොලැබෙන අතර, දේශපාලන සීනිබෝල’ වැඩිපුර කෑමෙන් රටට දියවැඩියාව වැළඳිය හැකි ය. අනිත් පැත්තෙන් මේවැනි දේ නිසා රටේ මහජනතාව අතර පොදුවේ ආණ්ඩු සහ දේශපාලනය පිළිබඳ කලකිරීමක් ද හටගනී. පසුගිය කාලයේ 225ම එපා වැනි සටන්පාඨ නිර්මාණය වූයේ මේවැනි හරසුන් මත නිර්මාණ නිසා ය. අවසානයේ මේවා නවතින්නේ රටවල් ආරාජිකත්වයට පත්වීමෙනි. වත්මන් ඩිජිටල් මාධ්‍ය වපසරිය තුළ නිරන්තරව මේ වැනි මත බහුලව පැතිර යාම නිසා ස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇත. අවසානයේ එහි අනිටු විපාක විඳීමට සිදුවන්නේ ද මහජනතාවට ය. මන්ද දේශපාලකයන් නොමැතිව ආණ්ඩු පවත්වාගෙන යන ක්‍රමයක් තාමත් සොයාගෙන නැති නිසාය.

ඊට අමතරම ආණ්ඩුවටම ඒවා දෙගුණ තෙගුණ වී ආපිට කැරකීම ද සිදුවේ. මෙවැනි දේට විරුද්ධව නිර්මාණය කළ ජනමතය මගින් ආණ්ඩුව වෙතින් එවැනි දේ පිළිබඳ ප්‍රායෝගික ආදර්ශයක් ඉල්ලා සිටියි. එහෙත් ප්‍රායෝගිකව එවැන්නක් කළ නොහැකි ය. මන්ද වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරත්තවලින් හෝ මරුති කාර්වලින් හෝ ගමන් කරනු නොපෙනේ.  පසුගිය දා ජනපති අනුර කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයට යුරෝපයේ නිෂ්පාදිත ඉතා මිල අධික සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ හැසිරුණු ආකාරය පිළිබඳ මාලිමාවට සහාය දුන් පිරිස් වෙතින් ම විවේචන එල්ල විය. එම විවේචනය තුළ දැක්වුණේ ජනාධිපතිවරයා ආරක්ෂකයන් පිරිවරාගෙන ජනතාව අතරින් ‘පුටු පෙරළමින්’ ප්‍රදර්ශනය තුළ ගැවසීමයි. මේවා ජනාධිපතිවරයාගේ මාලිමා දේශපාලන වේදිකාව මතම දැඩි ලෙස විවේචනයට ලක් වූ කාරණා ය. විශේෂයෙන්ම ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන එහි දී අවධාරණය විය. පාලකයන්ගේ ආරක්ෂාව සඳහා ජනතා බදු මුදල් මේ තරම් වැය කරන්නේ ඇයි ද යන්න එහි දී ප්‍රශ්න කෙරුණි.

ජනපති අනුර කුමාරගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අනෙත් ඒවායින් වෙන් කර හඳුනාගත හැකි සුවිශේෂී කරුණක් තිබේ නම් ඒ දූෂණ විරෝධී මතවාදයයි. මෙය අන් කිසිදු කරුණකට වඩා සාර්ථකව දියත් කළ හැකි ඉතා කදිම දේශපාලන සටන්පාඨයකි. මාලිමාවට එම සටන් පාඨය ඉදිරිපත් කිරීම සඳහා ඉතා හොඳ සුදුසුකමක් තිබුණි. ඒ මන්ද යත් ඔවුන්ගේ වසර 50ක ඉතිහාසය තුළ කිසිදා ඍජුව ආණ්ඩුකර නැතිවීමයි. ඒ අනුව, දූෂණ චෝදනා දිගට හරහට සෙසු පක්ෂ වෙත එල්ල කිරීමේ අද්විතීය හැකියාවක් ඔවුන්ට තිබේ. ඒ අනුව, මේ වන විට ජනතාව විසින් එම දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට බලය ලබා දී තිබේ. දැන් ඔවුන්ට තවදුරටත් පැමිණිලි හා මැසිවිලි නැගිය හැකි නොවේ. ඇතැම් විට ඉහත වාහන සංදර්ශන පවා සිදු කළේ මේ දූෂණ මතයට අදාළ ව ගොඩනැගී මහජන මතය සංතර්පණය කිරීම සඳහා විය හැකිය. තමන් දැන් දූෂණයට එරෙහිව ක්‍රියාකරමින් සිටින බව ඡන්ද දායකයාට පෙන්වීමට ප්‍රයත්න දැරුවා විය හැක.

විද්‍යාත්මක ව කරුණු කාරණා සහිතව කතා කරන විට ලංකාවේ මෑත ආර්ථික අර්බුදය පැමිණීයේ ද, ඒවාගේම අපගේ ආර්ථිකය අද මෙතැන තිබෙන්නේ ද දූෂණය හා වංචාව නිසාම නොවේ. අප විසින් උපයනවාට වඩා වියදම් කිරීම හා අපනයනය කරනවාට වඩා ආනයනය කිරීමයි. අප විසින් මුදල් වියදම් කර ඇත්තේ ද ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම සඳහා ය.

අප මෙසේ කියන්නේ හුදු අලංකාරොක්තියක් සඳහා නොවේ. මේ භූමියේ සත්‍ය කතාවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් වසර දෙකකට වරක් ලෝකයේ රටවල් 191ක් අතර සමීක්ෂණයක් සිදුකොට එම රටවල ජනතාවගේ “මානව සංවර්ධන දර්ශකය” වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කරයි. 90 දශකයේ මුල සිට කළ එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව නිරන්තරව සිටියේ දකුණු ආසියාවේ සියලු‍ රටවලට වඩා බොහෝ ඉහළින් ය. එම වාර්තාව 2023-24 වසර සඳහා ද පළකර ඇත.  ඊට අනුව ලොව රටවල් 191 අතරින් ලංකාව සිටින්නේ 78 වැනි ස්ථානයේ ය. එනම් අපට වඩා පිටුපසින් රටවල් 113ක් පමණ සිටී. මේ මාහැඟී සාර්ථකත්වය අප ලබාගෙන තිබෙන්නේ රෝසමල් යහනාවක සිට නොවන බවද කිව යුතුය. එම කාලය අතරතුර වසර 30 යුද්ධයක පැටලී අප ඊට ඩොලර් බිලියන 200ක් පමණ වියදම් කර ඇත. ජවිපෙ විසින් මෙහෙය වූ කැරලි දෙකකට මුහුණ දී ඉන් ලැබූ ඍජු හා වක්‍ර ආර්ථික හානිය අති විශාල ය. එවන් තත්වයක දී පවා අප සිටින්නේ අපවැනි අභියෝග නොතිබූ රටවල්වලට ද වඩා ඉදිරියෙනි. උදාහරණක් ලෙස වියට්නාම සිටින්නේ 107 වැනි තැනයි. ජොර්දානය, ඊජිප්තුව, පිලිපීනය වැනි රටවල් සියල්ල අපට බොහෝ පහළිනි. දකුණු ආසියාවේ යාන්තම් අපට වඩා ස්ථාන 10කින් පහළ සිටිමින් අපට ළංව සිටින්නේ මාලදිවයිනයි. ඊට හිමි තැන 87 වැනි ස්ථානය වේ. ඉන්දියාව 134 ද, බංගලාදේශය 129 ද, පාකිස්ථානය 162 ද ස්ථානයේද සිටී. 78 වැනි තැන රැකෙමින් කලාපයේ ද, ලෝකයේ ද 78 වැනි තැනට පැමිණ තිබීම යනු සැබැවින්ම ජයග්‍රහණයකි.

මෙහි නොකියවෙන අරුත කුමක්ද? එනම් අප රට මානව සංවර්ධනය සඳහා මුදල් හා සම්පත් ආයෝජනය කර ඇති බවයි. මෙම දර්ශකය තුළ බලා තිබුණේ පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ජීවන තත්වයයි. දේශපාලන වේදිකාවල රට ගැන නිර්මාණය කළ මතය නම් ලංකාව තරම් දූෂිත හා වංචනික තවත් රටක් නැති බවයි. ඒ තරම් දූෂිත රටකට ලොව රටවල් 113ක් පරාජය කළ හැකිවූයේ කෙසේ ද? අප රට තුළ දූෂණය හා වංචාව නැතිවා නොවේ. ඕනෑම රටක ඒවා තිබේ. එහෙත් පසුගිය කාලය තුළ නිර්මාණය කළ තරම් වැනි දූෂිත හා වංචනික රටක් වශයෙන් ශ්‍රී ලංකාව හැඳින්විය නොහැක.

අප විමසන ප්‍රශ්නය වන්නේ, රට ගැන ව්‍යාජ මතයක් මහජනතාව අතර නිර්මාණය කොට ඒ හරහා දේශපාලන බලය ලබා ගැනීම කොතරම් යුක්ති යුක්ත ද යන්නයි. ඇරත් ඒ හරහා මහජනයා අතර රට ගැන අවිස්වාසයක් ඇති වී රට හැර දා යන තත්වයක් උදාවේ. පසුගිය කාලයේ තරුණයන් රටහැර යාමට මේ මතය සැලකියුතු කාර්යභාරයක් සිදු කළේ ය.

ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවේ වත්මන් ආණ්ඩුව විසින් පතුරුවා හළ ඉතා ප්‍රබල මතයක් වූයේ ඉන්ධන මිල පිළිබඳ කතාවයි. ඊට අනුව, වත්මන් ඉන්ධන මිල යනු වංචාව නිසා ඇතිවූ තත්වයකි. ඒ අනුව, ඔවුන් ගණන් හිලව් සහිතව ඉන්ධවල සැබෑ මිල පිළිබඳ විවිධ කතා කීවේ ය. කොටින් ම රුපියල් 160ට ඩීසල් ලීටරයක් දිය හැකි බවත්, අද 300 වී තිබෙන්නේ, මැති ඇමතිවරුන්ගේ සාක්කුවට මුදල් යන නිසා බවත් එහි දී කියා සිටියේය. දැන් පසුගිය 1 වැනිදා සිට ජනපති අනුරගේ මාලිමා ආණ්ඩුව විසින් සුපුරුදු ඉන්ධන මිල සංශෝධනය කරන විට ඔවුන්ට ඔවුන් විසින් කී ලෙස ඉන්ධන රුපියන් 160ට නොව, 200 දක්වා හෝ අඩුකිරීමට නොහැකි වී ඇත. ඩීසල් ලීටරයක් අඩුකර තිබුණේ රුපියල් 21කිනි. සෙසු ඒවාද එවැනි ගණන්වලිනි. වෙනදාට නම් පැවති ආණ්ඩු විසින් සුපිරි ඩීසල් සාමාන්‍ය ඩීසල්වලට වඩා වැඩිපුර අඩුකරන විට කියා සිටියේ පොහොසතුන් සඳහා පමණක් මෙම ආණ්ඩු සහන දෙන බවයි. එහෙත් වත්මන් ආණ්ඩුව සාමාන්‍ය ඩීසල්වලට වඩා සුපිරි ඩීසල් වැඩිපුර ගාණකින් අඩු කළ විට ඉහත ප්‍රශ්නය කිසිවකු අසා තිබුණේ නැත. ඒ කෙසේ වෙතත්, ඉන්ධන මිල මේ තරම් වැඩි වී තිබුණේ දූෂණය නිසාය යන මතය නවතම ඉන්ධන මිල සංශෝධනය හරහා, එම චෝදනාව දිගින් දිගටම එල්ල කළ ආණ්ඩුව විසින් ම කඩා බිඳ දමා ඇත.

මේ සියල්ලෙන් ම කියන්නේ යථාර්ථවාදී නොවන මත නිර්මාණය කිරීම හරහා කවුරුන් විසින් බලය ලබා ගත්ත ද අවසානයේ එසේ ලබාගත් අය වෙතම එම මතය හා යථාර්ථය කෙසේ වෙතත්, එහි ගැටලුව වන්නේ, එසේ හඹා ඒමෙන් ගොදුරු වන්නේ එසේ බලයට පැමිණි ආණ්ඩුව පමණක් නොව, සමස්ත දේශපාලන තන්ත්‍රයම වීමයි. එය රටක ස්ථාවරත්වය හා ඒ මගින් ගොඩනැගෙන යහපැවැත්ම සඳහා එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (10)

සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම

ජනරළ Friday, 04 October 2024 12:53 PM

මේ වාහන ආපහු යැව්වේ ආයෙත් කාටවත් ආණ්ඩුවේ ගානේ තෙල් ගහගෙන දුවන්න නෙමෙයි. මේ වාහන ඔය අවුවේ වැස්සේ තෙමෙමින් වේලෙමින් දිරන්න විනාශ වෙන්න නොදී සියලු විස්තර ලැයිස්තු ගත කර කලින් තිබූ ආයතනවල වාහන අංගන වලට යවා ඒවායේ ආරක්ෂාව තහවුරු කර ඊළඟට වෙන්දේසි කිරීම හෝ ප්‍රතිඅපනයනය කිරීම සඳහා තීරණයක් ගැනීම සඳහා බව තේරුම් ගන්න....

:       19       37

seneFriday, 04 October 2024 04:14 PM

රජයේ හෝ තානාපති කාර්‍යාලවල බදු නොගෙවා ආනයනය කරන වාහන වෙන්දේසියට හෝ ප්‍රතිඅපනයනය බාර රජයේ ගබඩාවටයි. ඒ ඒ දෙපාර්තමේන්තුවට නොවේ. ඔබේ දැනුම යාවත්කාලීන කර ගන්න...!

:       7       26

dileepa1986 Friday, 04 October 2024 01:43 PM

ලැජ්ජ නැති ලෙක්චර් කෙනෙක්. 2048 වෙනකම් ඉවසන් ඉන්න පුළුවන් වුණාට මාසයක් ඉවසන් ඉන්න බැරි හාදයෙක්...!

:       16       38

Naleen Saturday, 05 October 2024 11:51 AM

ජනපති පත්වී මාසයක් යන්නත් කලින් කුලියට කහින්නෙක් අඳෝනා නැගීම අරඹා ඇත. 75 වසරක හාමුලගේ සංදර්ශන කාලේ මොහු සිටියේ කොහේදැයි සොයා බැලිය යුතුයි...

:       6       13

Lakmal Thilakarathne Saturday, 05 October 2024 03:42 PM

පළවෙනි ඡේදය කියවන කොටම හිතුණා මේක ලියලා තියෙන්නේ කවුද කියලා...

:       7       11

Dinesh Sunday, 06 October 2024 01:43 PM

මහින්ද පතිරණ... බුද්ධිමත් නොවූ උගතෙක්...!

:       6       15

M.G.Chithrananda Monday, 07 October 2024 05:48 AM

ආ මේ මහින්ද පතිරණනේ. කවුද කියලා බැලුවා මේ ආණ්ඩුව පත්වෙලා සති දෙකක් යන්න කලින් මෙච්චර හෑල්ලක් ලිව්වේ. මහින්ද පතිරණ කියන්නේ ඉතින් ජානගත රාජපක්ෂලාගේ කෙනෙක්. ඊනියා උගතෙක්. ඉතින් මේ හාදයෝ කියන දේවල් මිනිස්සු පිළිගන්න සූදානම් නැහැ තවදුරටත්....

:       2       10

ජනරළ Monday, 07 October 2024 02:48 PM

sene රජයේ ගබඩාවේ රාක්ක තියෙනවා කියලා හිතුවාද මෙච්චර වාහන තොගයක් එකපාර ගාල් කරන්න? පොතට වඩා ප්‍රායෝගිකව හිතන්න. ගෙනාපු තැන වලින් මේවායේ ඉන්වෙන්ට්‍රි චෙක් කරන්න ඕනි නේද?

:       2       4

Tharindu Wickramanayake Tuesday, 08 October 2024 10:28 PM

ආ මේ කටු කාපු කෙනෙක්නේ..! 

:       1       5

Lalla Tuesday, 15 October 2024 08:15 AM

දේශපාලනඥයින් පමණක්ම නොව ඉහළම ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ගේ සිට පහළම කාකාස දක්වාම බහුතරයකට ආසන්න රාජ්‍ය සේවකයින් දූෂණයට බරයි. සුළු අතමිට මොලවා ගැනීමේ සිට මහාපරිමාණ ටෙන්ඩර් මගඩි දක්වාම රාජ්‍ය සේවකයෝ කොටසක් දේශපාලනඥයින් සමග හරි හරියට වගකිව යුතුයි. සංදර්ශන නැතුවා නොවෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 425 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 98 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 412 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 331 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site