IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සියතින් ගෙල සිඳගත් ප්‍රභාකරන්

කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහනයේ 12 වැනි සංවත්සරය පසුගිය බදාදා සමරනු ලැබීය. එම ජයග්‍රහනය ලැබුවේ කෙසේ ද කොටි සංවිධානය පරාජය වීමට පාදක වූ හේතු කවරේ ද යන්න පිළිබඳව විවිධ විග්‍රහ පසුගිය දොළොස් වසර පුරාම අසන්නට ලැබිණි. එහෙත් ඒ සියල්ලම පාහේ දේශපාලනීකරණය වූ ද ජයග්‍රහනය සඳහා සමාන හෝ වැඩි දායකත්වයක් දුන් ඇතැමුන් යටපත් කොට වෙනත් ඇතැමුන් උළුප්පා දක්වන්නා වූ ද විග්‍රහය.

ඇත්ත වශයෙන්ම කොටි සංවිධානයේ පරාජයට දායක වූයේ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන්, ඒ සඳහා දේශපාලන තීන්දු ගත් දේශපාලනඥයන් හා ඒ කාලයේ කැපවීම් කළ මෙරට ජනතාව පමණක් නොවේ. එම පරාජයට කොටි සංවිධානය දැක්වූ දායකත්වය ද අතිවිශාලය.

එම ජයග්‍රහනය යනු එක් පැත්තක කැපවීම, දක්ෂතාව, පරිත්‍යාගය හා වටපිටා තත්ත්වයට අවනත වීම සහ අනෙක් පැත්තේ දුබලතා, භූ දේශපාලන තත්ත්වය සහ ලෝක දේශපාලනය තේරුම් නොගැනීම යන සාධක ගණනාවක එකතුවකි.

මෙම යුද ජයග්‍රහනය ආරක්ෂක හමුදා ලැබූ අසාමාන්‍ය ජයග්‍රහනයක් ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බවට සැකයක් නැත. කොටි සංවිධානය යනු සමාජය පිළිබඳ කලකිරීමට පත් ගමේ ගොඩේ කොලු රෑනකින් සමන්විත කුඩා ගරිල්ලා කණ්ඩායමක් නොව, යුද භූමියටම තෙම්පරාදු වූ, මනාව හා වෘත්තීමය වශයෙන් පුහුණුව ලද රටක ආරක්ෂක හමුදාවන්ට එරෙහිව වනගත හෝ නාගරික, ගරිල්ලා හා සාම්ප්‍රදායික සටනක් කළ හැකි මනා පුහුණුව ලද කැරැලි හමුදාවකි.

ඔවුන්ගේ ඇතැම් කටයුතු දෙස බැලීමෙන් එය ඉතා හොඳින් පෙනේ. ඔවුහු යාපනය අර්ධද්වීපයේ විශාල කොටසක් වසර පහක් පමණ පාලනය කළහ. 1996 දී මුලතිව් හමුදා කඳවුරට පහරදී එහි සිටි භටයන් හා නිලධාරීන් 1,200ක් මරා දැමූහ.

1997-98 කාලයේදී 30,000ක පමණ භට පිරිසක් යොදවා වසර එක හමාරක් පමණ ක්‍රියාත්මක කළ ජය සිකුරු හමුදා මෙහෙයුම පරාජය කොට විශාල වශයෙන් අවි ආයුධ ආරක්ෂක හමුදා වෙතින් පැහැර ගත්හ. 2000 දී 11,000ක් පමණ භට පිරිසක් සිටි අලිමංකඩ හමුදා කඳවුර වටකොට පහරදී එය අත්පත් කරගත්හ. හමුදාවේ විශාල පිරිසක් එහිදී මිය ගියහ. එම වසරේදීම ඔවුහු කොළඹ අසලටම පැමිණ කටුනායක ගුවන් හමුදා කඳවුරට හා ගුවන්තොටුපොළට පහර දුන්හ.

මේ ඔවුන්ගේ ජයග්‍රහනවලින් කිහිපයකි. ඔවුන් සතුව තිබූ ඒසා විශාල ශක්තිය, කැපවීම හා නිපුණත්වය ගැන සලකා බලන විට එම සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සියලු දෙනාම වනසා ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අතිබහුතරයක් කොටු කරගෙන ඔවුන් හමුදාමය වශයෙන් පමණක් නොව යුදමය වශයෙන් ද පරාජය කිරීම සුළුපටු ජයග්‍රහනයක් නොවේ.

එහෙත් ඒ සඳහා උචිත වූ හමුදා නායකත්වයක් හා දේශපාලන-හමුදාමය එකමුතුවක් ඉස්මතු වන්නට පෙරම කොටි සංවිධානයේ විනාශය ඉක්මන් කරන සමාජ, දේශපාලන වටපිටාවක් ගොඩනැගෙමින් තිබිණි. එහි විශේෂත්වය වන්නේ කොටි සංවිධානය ප්‍රබල සංවිධානයක් ලෙසට බොහෝ දෙනාට පෙනී ගිය 1983 වසරේ සිටම එහි විනාශය ඉක්මන් කරන සමාජ, දේශපාලන සාධක ද ගොඩනැගෙන්නට පටන් ගැනීමය.

එම සමාජ, දේශපාලන සාධකවල හරය වූයේ කොටි සංවිධානය තමන් හැර අන් සියලු දෙනා ද්‍රෝහීන් ලෙසත්, මරණයට පත්විය යුත්තන් ලෙසත් සැලකීමය. ඒ අනුව ඔවුහු අසූ ගණන්වල මුල සිටම රටේ විවිධ ජන කණ්ඩායම් සතුරු කරගන්නට පටන් ගත්හ.

1980 ගණන්වල මුල් භාගයේදී ඔවුන්ගේ මිනිස් ඝාතනවලට එරෙහි වුව ද මෙරට දකුණේ වාමාංශික මත දරන පිරිස් කොටි සංවිධානය ඇතුළු උතුරේ සන්නද්ධ දෙමළ සංවිධාන සැලකුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අවි අතට ගත්තවුන් ලෙසය. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සරත් මුත්තෙට්ටුවේගම මහතා එම කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ලෙස පාර්ලිමේන්තුවේදී පවා හැඳින්විය. වෙනෙකක් තබා කොටි සංවිධානය ඇතැම් ගම්මානවලට පහරදුන් විට පවා ඇතැම් වාමාංශික කණ්ඩායම් ඒවා හැඳින්වූයේ දේශපාලන ක්‍රියාමාර්ග ලෙසටය.

එහෙත් කොටි සංවිධානය සිංහල හා මුස්ලිම් වැසියන් ජීවත්වන ගම්මාන ඉලක්ක කොටගෙන කරන ප්‍රහාර වැඩි කරත්ම ඔවුන් සම්බන්ධයෙන් වූ වාමාංශිකයන්ගේ ආකල්පය වෙනස් විය. පිරිසක් ඔවුන් කෙරෙහි වූ අනුකම්පාව ඉවත් කරගත්හ. උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් වූ තමිල් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය හෙවත් ප්ලොට් සංවිධානය වෙතට මෙම පිරිසගේ හිතවත්කම් යොමු විය.

මේ ආකාරයටම කොටි සංවිධානය ඒ වනවිට තමන් වෙතට යොමු වී සිටි මුස්ලිම් ජනතාව ද සතුරු කරගත්හ. 1977 වනවිට තමිල් ඊළාම් සංකල්පයට නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ද සහාය එක්තරා දුරකට ලැබී තිබිණි. 1977 මහ මැතිවරණයේදී පසු කලෙක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කළ එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්ව තමිල් ඊළාම් සටන් පාඨයට සහාය දැක්වීය.

එසේම නැගෙනහිර පළාතේ තරුණ පිරිස් ඉතා සුළු වශයෙන් වුව ද ඇතැම් දෙමළ සන්නද්ධ සංවිධාන සමග එක්වී සිටියහ. 1990 දී මදුරාසිය අසල කෝඩම්බාක්කම්හිදී කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකයන් 11 දෙනා අතර ද මුස්ලිම් තරුණයෙක් සිටියේය.

එහෙත් මතවාදී හා උපක්‍රමික හේතු මත ඉතා සුළු කාලයකින්ම මුස්ලිම් පිරිස් කොටි සංවිධානය ඇතුළු දෙමළ සන්නද්ධ සංවිධාන වෙතින් ඈත් වූහ. මතවාදීමය ප්‍රශ්නය වූයේ ඇතැම් දෙමළ නායකයන් මුස්ලිම් ජනතාව ඉස්ලාමීය දෙමළ ජනතාව ලෙස හැඳින්වීමය. ඒ මුස්ලිම් ජනතාව ද දෙමළ බස කතා කරන ජනතාවක් වීම නිසාය. එහෙත් මුස්ලිම් ජනතාව මෙම හැඳින්වීම දුටුවේ තම අනන්‍යතාවට පහරක් ලෙසය.

අනෙක් අතට දෙමළ සංවිධාන බලහත්කාරයෙන් ජනතාවගේ සහාය ලබාගැනීමට දැරූ උත්සාහය දෙමළ ජනතාව අතර වාර්ගික ප්‍රශ්නයක් බවට පත් නොවූව ද මුස්ලිම් ජනතාව එය දුටුවේ වාර්ගික හිංසනයක් ලෙසය. මෙම උපක්‍රමය ප්‍රධාන වශයෙන්ම අනුගමනය කළේ කොටි සංවිධානයයි. 1985 දී එම සංවිධානය මුස්ලිම් ජනතාව තමන්ට ‘සහාය නොදීමේ වරදට’ කල්මුණේ ප්‍රදේශයේ නිවාස 500කට වැඩි ගණනක් දින දෙකක් තුළදී ගිනි තබා විනාශ කළේය. ඒ අාකාරයට එම සංවිධානය මුස්ලිම් ජනතාව ද සතුරු කරගත්තේය.

තුන්වැනුව ඔවුන් සතුරු කරගත්තේ තමන් සැබෑම පුහුණු සන්නද්ධ සංවිධානයක් බවට පත්කළ ඉන්දියාවයි. අසූ ගණන්වල මුලදී ඉන්දීය රහස් ඔත්තු සේවා මෙරට දෙමළ කණ්ඩායම්වලට අවි ආයුධ, අවි පුහුණුව හා මුදල් දී ඔවුන්ට ආරක්ෂක හමුදාවන්ට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය දුන්නේය.

ඇත්ත වශයෙන්ම මෙහිදී ඉන්දියාවට මෙම කණ්ඩායම් මගින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. ඒ කාලයේ පැවැති අැමෙරිකාව ප්‍රමුඛ කඳවුර හා සෝවියට් සංගමය ප්‍රමුඛ කඳවුර අතර වූ සීතල යුද්ධයේදී ඉන්දියාව සිටියේ සෝවියට් පිලේය. ශ්‍රී ලංකාව අනෙක් පිලේය. ඒ අනුව තම භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාව මට්ටු කොට තබාගැනීමේ අවශ්‍යතාවක් එකල ඉන්දියාවට තිබිණි. ඉන්දීය නායකයෝ ඒ සඳහා මෙම දෙමළ කණ්ඩායම් යොදා ගත්හ.

තම අවශ්‍යතාව ඉටු කරගත් පසු වෙනම රාජ්‍යයකට අඩු දේශපාලන විසඳුමක් පිළිගන්නා ලෙසට ඉන්දියාව 1987 දී මෙරට දෙමළ සංවිධානවලට බල කළ විට කොටි සංවිධානය හැර අනෙක් සංවිධාන එය පිළිගත්තේය. කොටි සංවිධානය ඉන්දියාවට අවි බලයෙන් අභියෝග කළේය. පසුව 1991 දී ඔවුහු හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ද ඝාතනය කළහ.

මතවාදී වෙනස්කම් තිබුණ ද දෙමළ සන්නද්ධ කණ්ඩායම් රාජ්‍ය විරෝධී ප්‍රහාරවලදී එක්තරා දුරකට සහයෝගයෙන් කටයුතු කළහ. එහෙත් 1986 දී කොටි සංවිධානයට උතුරේ දේශපාලනයේ තනි අයිතිකාරයා වන්නට අවශ්‍ය විය. එම සංවිධානය අනෙක් සංවිධාන හා දේශපාලන පක්ෂ තහනම් කොට ඒවායේ බොහෝ නායකයන් ඝාතනය කළේය. ඒ අනුව කොටි සංවිධානයට දෙමළ ජනතාව අතර ද බොහෝ සතුරෝ ඇති වූහ.

1979දී දෙමළ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයකට සහාය පළ කරන යෝජනාවක් මැසචුසෙට්ස් ප්‍රාන්ත සභාවේ සම්මත කරවාගන්නට පවා සමත් වූහ. පසුව ඔවුන් වෙනුවෙන් හඬ නගන්නට බ්‍රිතාන්‍යය, නෝර්වේ, කැනඩාව ආදී රටවල පවා පිරිස් සිටියහ. එහෙත් ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා හා 2002 සාම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම නිසා 2006 වනවිට රටවල් 32ක කොටි සංවිධානය තහනම් කරනු ලැබ තිබිණි. අවසානයේදී ඔවුහු ලෝකයේ තනි වූහ.

කොටි සංවිධානය විශාල වශයෙන් දුර්වල වූයේ 2002 සාම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙය එදා ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වුව ද අපේක්ෂා කළ දෙයක් නොවිය හැකිය. එහිදී ඔවුනට තම සන්නද්ධ පිරිස් බලයෙන් විශාල කොටසක් එනම් නැගෙනහිර පළාතේ සන්නද්ධ බලයෙන් කොටසක් හා තමන්ගේ දක්ෂතම සෙන්පතියකු වූ විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අහිමි විය.

2002 සටන් විරාම ගිවිසුමෙන් මුහුද ආවරණය වූයේ නැත. එය ගොඩබිමට පමණක් අදාළ විය. එය මගහැරී යාමක් ද නැත්නම් සටන් විරාම කාලයේදී තම තමන් ශක්තිමත් වීම සඳහා දෙපාර්ශ්වයම මගහැරී යන්නට ඉඩ හැරියේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ඉන් ප්‍රයෝජන ලැබුවේ ආරක්ෂක හමුදායි.

කොටි සංවිධානයේ සාම විරෝධී ක්‍රියා නිසා බොහෝ රටවල බුද්ධි අංශ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට තොරතුරු දීමට ඉදිරිපත් වූහ. ඒ අනුව ඉතා කෙටි කලෙකින් කොටි සංවිධානයේ අවි නැව් 10ක් විනාශ කිරීමට නාවික හමුදාවට හැකි විය. 2007න් පසු විදේශයකින් පැනඩෝල් පෙත්තක් හෝ නොලැබුණු බව මුහුදු කොටි නායක සුසයි තමන්ට පැවැසූ බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. පවසා තිබිණි.

වසර ගණනක් දිගු වූ සටන් විරාම කාලයේදී කොටි සාමාජිකයෝ විශාල පිරිසක් විවාහ වූහ. මෙසේ අඹු දරුවන් පිළිබඳ වගකීම් සමග සටන් සඳහා වූ විශාල පිරිසකගේ කැපවීම වියැකී ගිය බව ජ්‍යෙෂ්ඨ දෙමළ ජනමාධ්‍යවේදියකු වන ඩී.බී.එස්. ජෙයරාජ් පවසා තිබිණි. අනෙක් අතට ඒ කාලයේදී බාල්රාජ්, තමිල්චෙල්වන්, ෂංකර්, චාල්ස්, නිසාම්, ගංගයි අමරන්, පදුමන්, කරුණා ආදී අත්දැකීම් හා දැනුම ඇති ජ්‍යෙෂ්ඨ නායකයෝ බොහෝ දෙනකු කොටි සංවිධානයට අහිමි විය. සමහරු රෝගවලින් ද සමහරුන් ආරක්ෂක හමුදා අතින් ද මිය ගියහ. තවත් සමහරු රජයට එක්වූහ.

මේ අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාපති වශයෙන් සරත් ෆොන්සේකා මහතා තෝරාගෙන තිබිණි. තමන්ට යුද බිමේ තීරණ ගැනීමේ නිදහස තිබිය යුතු යැයි ෆොන්සේකා මහතා ඉදිරිපත් කරන ලද කොන්දේසියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවත්, ජනාධිපතිවරයා දේශපාලන පිටිය බලා ගන්නා බව පැවැසූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් පසු ඉන්දීය ජනමාධ්‍යවේදී වී.කේ. ශෂිකුමාර් ලියා තිබිණි.

එහෙත් හමුදා පාර්ශ්වයේ ප්‍රධාන දුබලතා කුමක්දැයි තමන් දැන සිටි හෙයින් තමන් බුද්ධි අංශය ශක්තිමත් කොට හමුදාව ප්‍රතිසංවිධානය කළ බව ෆොන්සේකා මහතා බොටම් ලයින් පුවත්පතට පසුව ප්‍රකාශ කොට තිබිණි. හමුදාවේ පිරිස් බලය 100,000 සිට 300,000 දක්වා ද වැඩි කෙරිණි.

මෙවැනි කරුණුවලදී සාමාන්‍යයෙන් මතුවන මුදල් අවශ්‍යතාව විසඳීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තනතුර ඉවහල් විය. ඔහු එක් අතකින් ජනාධිපතිවරයාගේ සහෝදරයාය. අනෙක් අතින් සොල්දාදුවෙකි. එහෙයින් වෙනත් ආරක්ෂක ලේකම්වරයකුට කළ නොහැකි දෑ කරන්නට ජනාධිපතිවරයා සමග වූ ඔහුගේ ඥාතීත්වය ඉවහල් විය.

ෆොන්සේකා මහතා යුද්ධයට අලු‍ත් මුහුණුවරක් දුන්නේය. අලු‍ත් උපක්‍රම හඳුන්වා දුන්නේය. වැඩි කරගත් පිරිස් බලය නිසා යුද්ධය පෙරමුණු ගණනාවකින් ඉදිරියට ගෙන යාමට ඔහුට හැකි විය.

යුද්ධය ජයගත් පසු ඒ ගැන සඳහන් කරමින් ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශයක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා, හමුදාපතිවරයාගේ දැනුම, නිර්භීත බව හා වීරත්වය නොවේ නම් මේ ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වනු ඇති බවත්, හමුදාපතිවරයාගේ උපක්‍රම හමුවේ ප්‍රභාකරන් අන්දමන් ද වූ බවත් පවසා තිබිණි.

මේ අතර දින දෙක තුනකින් යුද්ධය අවසන් වීමට නියමිතව තිබියදී සටන් නතර කරන ලෙසට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය හා ටෝකියෝ සමුළුවේ සම සභාපතිවරුන්ගෙන් එල්ල වූ බලපෑමට පිටුපා ජනාධිපතිවරයා ද ‘දේශපාලන පිටිය බලා ගන්නා’ බවට හමුදාපතිවරයාට දුන් පොරොන්දුව ඉටු කළේය. කොටි සංවිධානය පරාජය වූයේ ඒ අයුරිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (6)

සියතින් ගෙල සිඳගත් ප්‍රභාකරන්

pakeer Saturday, 22 May 2021 05:43 AM

සහතික ඇත්ත. මේක ඒ වෙලාවේ සිදු වූ නියම සංකලනයකින් දිනපු යුද්ධයක්... මේ තුන් කට්ටුවෙන් එක්කෙනෙක් හරි එවෙලේ නොහිටියා නම් මේක තාමත් යනවා. එක්කෙනෙක්ගේ පැත්තක් ගත්තොත් මේක පේන්නේ නැහැ. මේ තුන් කට්ටුව එවෙලේ ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ පිනට පහළ වූ තුන් දෙනෙක්... හැබැයි මම කියන්නේ යුද්ධය ගැන විතරයි. නැතිනම් කිසිම ආර්ථික දැක්මක් තියෙන අය නෙමෙයි මේ අය...

:       4       32

JAYATH Saturday, 22 May 2021 06:08 AM

මේවා දැන් අමතක කට්ටියත් ඉන්නවා නොවැ?

:       0       54

RaveendraSaturday, 22 May 2021 11:31 AM

සහතික ඇත්ත. වැඩි දෙනෙකු 2009න් පසුව ඉපදුණු පුරවැසියන් වීමද කණගාටුවකි. ඊටත් වඩා වඩාත්ම හාස්‍යජනක ඉපදීම් වන්නේ දියවන්නාව පට්ටියේ මිහරකුන් වැඩිදෙනෙකුත් 2009 පසු ඉපදුනු "බාල මහළු අම්බරුවන් වීමයි". ඒ මොනදේ වුණත් මෙම ම්ලේච්ඡයින්ගේ ලංකා මාතාව බේරාගැනුමට ජීවිත පූජා කළ, තම ශරීරයේ අවයවන් පූජා කළ ඒ සෑම අභීත රණවිරුවෙකුගේම මෙන්ම දේශපාලන නායකත්වය සැපයූ ඒ සියල්ලන්ගේම නම් ලංකාමාතාවගේ හදවතේ රන් අකුරෙන් ලියැවී ඇත. එය සක්කරයාටවත් මකාදැමිය නොහැකිය. ලංකා මාතාව සදාකල් වැජඹේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...

:       14       33

රජිත Saturday, 22 May 2021 03:04 PM

අයුබ් ගේ ආටිකල්ස් නියමයි..

:       5       10

රාජේශ් ඛන්නා Sunday, 23 May 2021 10:16 AM

රට වෙනුවෙන් යමක් කළහැකි නායකයින් පෙළක්ම විනාශ කර දැමීමට ප්‍රභාකරන් අපහසුවකින් තොරවම සමත් විය. ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජයවර්ධන, ගාමිණී දිසානායක මුල්තැන ගනී. පළමූ උත්සාහයෙන්ම ටක්කෙටම වැඩේ දීම මෙම සිද්ධීන්වලදී කැපී පෙනුණි. එහෙත් සරත් ෆොන්සේකා ඝාතන උත්සාහයෙන් පළමු වරට ප්‍රභාකරන් පොට වරද්දා ගත්තේය. ටක්කෙටම වැඩේ දීම අසාර්ථක විය. ඉන් සිදු වුයේ නයාට ගසා පොල්ල වරද්දා ගැනීමකි. ඒ සමගම තුන්මුල්ල කිට්ටුව බෞද්ධාලෝක මාවතේ ත්‍රිවිද හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයද අසාර්ථක විය. මින් තේරුම් ගත යුත්තේ මෙම ප්‍රහාරයන් සාර්ථක වූයේ නම් මළවුන් අතර සිටිය යුතු නිර්භීත හමුදා නිලධාරීන් පෙළක් රට බේරා ගැනීමට රටේ වාසනාවට ඉතිරි වීමයි. සරත් ෆොන්සේකාට ලැබිය යුතු තනතුර නියම අවස්ථාවේදී ලැබිණි. ප්‍රභාකරන් විනාශ වූයේ මෙම පසුතලය නිසාමයි. ප්‍රභාකරන් නිරතුරුවම කළේ තමන්ගේ ඉලක්කයට යාමට බාධාවක් වන සිංහල නායකයන් විනාශ කිරීමයි. කිසිවිටෙක ගං කබරයින්ගේ නම් ඔහුගේ ලැයිස්තුවේ නොවීය.

:       0       39

මැක්ස් Sunday, 23 May 2021 03:19 PM

මේ ටීම් එක දිගටම හිටියා නම් රටට හොදයි. ෆොන්සේකා මහත්තායාට දේශපාලන විස පෙව්වේ ජේවීපී ඈයො. අපරාදෙ එයා ඒකට අහුවෙලා නැති උනා.

:       0       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 827 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site