IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හම්බන්තොට ගිනිකෙළිය

හම්බන්තොට දේශපාලනය රටේ වැදගත් භූමිකාවක් නිරූපණය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ දී පමණක් යැයි තිබූ මතය දැන් වෙනස් වෙමින් තිබේ. රටේ දේශපාලන පොරපිටිය යළිත් හම්බන්තොට දේශපාලනයෙන් රත්වෙන්නට පටන්ගෙන ඇත. පසුගිය 6 වැනිදා සිදු කෙරුණු විරෝධතාවක දී නාමල් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු ද සමඟ 40ක පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඒ ගින්නට පිදුරු දමමිණි. මේ සතියේ සඳුදා (16) නාමල් සමඟ තවත් 7 දෙනකුට පමණක් ඇප ලැබිණි.

ඇප ලැබීමෙන් පසුව පිටතට පැමිණි නාමල් ආණ්ඩුවට පහර ගැසීමට එම අවස්ථාව යොදා ගත්තේය. තමන්ගේ කටවල් වහලා මේ රටේ රාජ්‍ය දේපොළ විකුණන්න පුළුවන් වේවි යැයි කවදාවත් හිතන්න එපා යැයි ඔහු ප‍්‍රකාශ කළේය.

‘‘අහිංසක මිනිස්සු සිරගත කරලා, අප හිරේ දමලා අපේ කටවල් වහන්න බෑ. එහෙම හිතනවා නම් ඒක මේ ආණ්ඩුවට වැරදිලා. ආණ්ඩුව මොනවා කළත් අපි අපේ සටන අත්ඇරලා නැහැ’’ යැයි නාමල් පැවසුවේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට තමන් මේ සටන දියත් කළ බව ද ඔහු කීවේය.

නාමල්ලා ඇප ලබා උසාවියෙන් පිටතට පැමිණි අවස්ථාවට ඔහුගේ ආධාරකරුවෝ විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ. ඔහු බන්ධනාගාර ගත කරන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ ජපානයේය. ඔහු රටට පැමිණි පසුව නාමල් බැලීමට බන්ධනාගාරයට ද ගියේ ශිරන්ති රාජපක්ෂ ද ඇතුළු කණ්ඩායමක් සමඟිනි. නාමල්ට ඇප ලැබුණු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා එතැනට නොගිය අතර මාධ්‍යයෙන් උපරිම ආවරණයක් ලබාගැනීමට ඒ නිසා නාමල්ට එහිදී අවස්ථාව ලැබුණේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් රටේ සම්පත් විකිධෑමේ චෝදනාව ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබල අවියක් ලෙස යොදාගනිමින් තිබෙන බව පෙනේ.

නාමල්ලාගේ සුවදුක් බැලීමට තංගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේ දී මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා ද ප‍්‍රකාශ කර තිබුණේ රටේ ජාතික සම්පත් වෙනුවෙන් තමන් සැමදාම පෙනී සිටින බවත් හිරේ දමා එය නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවත්ය. ඔහු එහිදී කිව්වේ විරෝධතාවලදී ආණ්ඩුව නීති දෙකක් ක‍්‍රියාත්මක කරන බවය. ජවිපෙ විරෝධතාවලට වතුර ගැසුවත් කඳුළු ගෑස් නොගසන  බවත් ඔවුන් හිරේ නොදමන බවටත් ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමට කටයුතු කරන බව ද ඔහු කීය. පවිත‍්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීවරිය ද එහිදී ආණ්ඩුවෙන් ඇසුවේ මේකද යහපාලනය කියාය. ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන් සොය සොයා හිරගත කරන බවට ද ඇය චෝදනා කළාය.

මේ අතර ශ‍්‍රීලනිපයේ සංවිධායකයන් ඉවත් කිරීම ද පක්ෂ තුළ යළිත් අර්බුදයක් ඇති කරමින් තිබේ. පසුගිය කාලය පුරා වරින් වර සංවිධායකවරුන් ගණනාවක් ඉවත් කරනු ලැබූ අතර පසුගිය සතියේ කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලූත්ගමගේ ඉවත් කිරීම ශ‍්‍රීලනිපය තුළ කැළඹීමක් ඇති කළ සිද්ධියක් විය. මේ දෙදෙනා සිය සංවිධායක ධුරවලින් ඉවත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන බව ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සබඳතා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා කළ ප‍්‍රකාශය හේතුවෙන් එම කැළඹීමේ තරම දැනගත හැකි විය.

‘‘මෙවැනි ශක්තිමත් ප‍්‍රබල පුද්ගලයන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීම ඥානවන්ත ක‍්‍රියාවක් නොවේ. එයින් පක්ෂයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් සිදුවෙනවා. සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පෙර ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. යම් යම් පුද්ගලයන්ගේ ඕනෑඑපාකම් ගැන තීන්දු තීරණ ගැනීම ඥානාන්විත ක‍්‍රියාවක් නොවේ’’යැයි ඔහු ප‍්‍රකාශ කර තිබිණි.

ඉදිරියේ දී මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා කියා තිබුණ ද එවැනි සාකච්ඡාවක් සිදුකෙරුණු බවක් තවම දැනගන්නට නැත.

ඔහු යම් යම් පුද්ගලයන් වශයෙන් හැඳින්වූයේ කවුදැයි පැහැදිලි නැති වුවද සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා ඊට පසුව ප‍්‍රකාශ කර තිබුණේ ජනප‍්‍රිය යැයි සිතා සිටි සමහර දේශපාලනඥයන් දැන් ජනතාවට එපා වී ඇති බවත් ඔවුන් වෙනුවට අලූත් අය පත් කිරීමෙන් ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බවත්ය.

හිටපු ජ්‍යෙෂ්ඨයන් අයින් කර අලූත් අයට දුන්නාම ශ‍්‍රීලනිපයට අවාසි යැයි සමහරුන් තර්ක කළ ද අලූත් අය දැමූ විට පක්ෂයට වාසිදායක වනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබිණි. මෙය එස්.බී. ඇමැතිවරයාගේ අදහස ද පක්ෂයේ වෙනත් බලවතුන්ගේ අදහස ද යන්න පැහැදිලි නැත. එහෙත් පක්ෂය තුළ හොර රහසේ සිදුකෙරෙන කඹ ඇදිල්ල දැන් එළිපිටම සිදුකෙරෙන තරමට වැඩ සිදුවෙමින් තිබෙන බව මේ කතාබහ වලින් පැහැදිලි වෙයි.

සංවිධායක පදවිය අහිමි කරනු ලැබූ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණේ තමන් ශ‍්‍රීලනිපයේ නියම අයිතිකාරයන් බවය. දැන් පක්ෂයේ ඉන්නේ පැරෂුට්කාරයන් බවට ඔහු චෝදනාවක් ද එල්ල කර තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ලේ සංවිධායකවරයා වශයෙන් ක‍්‍රියා කරන වෙල්ගම මහතා එහිදී පැවැති රැස්වීමක් තමන්ගේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් කතා කිරීමට යොදාගෙන තිබුණේය. ‘ශ‍්‍රීලනිපයේ සංවිධායකවරයෙක් හැටියට එකදිගට අවුරුදු 35 ක් වැඩ කළ මාව අයින් කළා. අනුර බණ්ඩාරනායක එදා මැතිනිය දාලා ගියා. චන්ද්‍රිකා නෝනා දාලා ගියා. අපි කවදාවත් ශ‍්‍රීලනිපය දාලා ගියේ නෑ. අපි හැමදාම හිටියේ පක්ෂය එක්ක යැයි’’ ද ඔහු එහි දී කීවේය.

වෙල්ගම මහතා ඉදිරියේ දී පැමිධෑමට නියමිත ඡන්දය හැඳින්වූයේ ගල උඩ සටනක් වශයෙනි. ඡන්දය පවත්වන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළත් ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා ගැසට් එක දමා අනුමත කිරීමෙන් පසුව පමණක් ඡන්දය පැවැත්වීමට ඉඩ සැලසෙන නිසා ඒ ගැන අවධානයෙන් සිට මොන ක‍්‍රමයකින් හෝ මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා බලා සිටින රටේ සියලූ දෙනාට අවස්ථාව දිය යුතු බව ද ඔහු කීය.

‘‘අපි වෙනම තරග කරනවා කියන එක දැන් කවුරුත් දන්න දෙයක්. අපි ශ‍්‍රීලනිපය සමඟ එකතු වෙලා තරග කරනවා කීම සම්පූර්ණ බොරුවක්. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මේ සැරේ වෙනම තරග කරන්න අපි තීරණය කරලා තියෙනවා. මේ මැතිවරණයට අපි කියන්නේ ගල උඩ සටන කියලයි. ආණ්ඩුව මේකෙන් පැරදුණොත් ආණ්ඩුවත් ඉවරයි. අපි පැරදුණොත් අපිත් ඉවරයි. ඒ නිසා හැමෝම බලාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන පක්ෂයට කතිරෙ ගහන්න’’ යැයි ද ඔහු කීය. එහිදී වෙල්ගම මහතාපක්ෂයේ ලේකම්වරු දෙදෙනාට සියුම් පහරක් එල්ල කරමින් ඔවුන් දේශපාලන අඳබාලයන් හැටියට හැඳින්විය.

දැනට ටික කාලයකට පෙර කරළියේ කතාබහට ලක්ව තිබුණේ වෙල්ගම සහ මහින්දානන්ද මන්ත‍්‍රීවරුන් දෙදෙනාම නිහඬ චරිතවලට පණපොවා සිටින බවටය. මේ දෙදෙනා ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රීපාල පාර්ශ්වය සමඟ යටින් සමීප සබඳතා පවත්වන බවට ද රාවයක් පැතිර තිබූ අතර යළිත් පක්ෂයේ වැඩට සම්බන්ධ වන්නේ නම් විවිධ තනතුරු සහ වරප‍්‍රසාද යෝජනා වී තිබූ බව ද සඳහන් විය. එහි ඇත්ත නැත්ත කුමක් වුවද දැන් පැහැදිලිව පෙනෙන්නේ මන්ත‍්‍රීවරුන් දෙදෙනාම සටන් මඟට අවතීර්ණව සිටින බවය. පළාත් පාලන ඡන්දය ආසන්න වනවිට තව තවත් දේශපාලන සෙල්ලම් කරළිය ඉදිරියේ රඟදැක්වෙන බව නම් පැහැදිලිය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සිට පැමිණ පළමු ප‍්‍රහාරය එල්ල කළේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවය. ඔහු ව්‍යවස්ථා සංශෝධනය රජයට එරෙහිව ප‍්‍රබල අවියක් වශයෙන් භාවිත කරන බව පෙනී යයි. ඉදිරියේ දීපැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය එහිදී ඉලක්ක කරන බව ද පෙනෙන්නට තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයෙන් ව්‍යවස්ථාව හඳුන්වා තිබුණේ ජාතිවාදී පදනම මත පාලන ඒකක වෙන් කරමින් සිදුකෙරෙන විනාශකාරී යෝජනාවලියක් වශයෙනි. ඔහුගේ දීර්ඝ නිවේදනයෙන් කෙටුම්පතෙහි සඳහන් කරුණු හයකට කිසිසේත්ම එකඟ විය නොහැකි බව සඳහන් කර තිබුණේය.

සිංහලෙන් ‘ඒකීය’ වචනය තවදුරටත් භාවිත කරමින් ‘යුනිටරි’ යන ඉංග‍්‍රීසි වචනය හා එම සංකල්පය ඉවත් කිරීම, යෝජනාවලියේ සිව්වැනි පිටුවේ උතුරු නැගෙනහිර පළාත් එක් ඒකකයක් වශයෙන් පිළිගත යුතු බවට සඳහන්ව තිබීමද, මේ යෝජනාවලියේ ‘අනුපූරකතාව’ නමැති මූලධර්මය අනුව පළාත් මට්ටමින් කළ හැකි සියලූ දේ පළාත් සභාවලට පැවැරිය යුතු බවට වන යෝජනාව ද  ඇතුළු යෝජනා මහින්ද

රාජපක්ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. යහපාලකයන්ගේ ඉලක්කය වන්නේ බුදු දහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප‍්‍රතිපාදන වෙනස් කිරීම නොව ශ‍්‍රී ලංකා ජනරජයේ ව්‍යුහය නැත්නම් ‘යුනිටරි’ පදනමේ සිට ෆෙඩරල් පදනම දක්වා වෙනස් කිරීම බවට ද රාජපක්ෂ මහතා තම නිවේදනයෙන් චෝදනා කරයි.

කෙසේ වුවද රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අරලියගහ මන්දිරයේ පැවැති ජාතික දීපවාලි උත්සවය යොදා ගත්තේය. ලබන වසර වන විට ශ‍්‍රී ලංකාවට සංහිඳියාව සහ සාර්ථකත්වයට ගමන් කිරීමට හැකිවනු ඇති බවට ඔහු එහිදී විශ්වාසය පළ කළේය.

‘රාජ්‍යයේ ස්වභාවය, රට නොබෙදා උපරිම බලය බෙදීමකට ගමන් කිරීම, මූලික අයිතිවාසිකම්, සංස්කෘතික, ආගමික යනාදී කටයුතුවල දේශපාලන පදනම යන සියලූ_ කරුණු සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන වසර වන විට අවසන් කිරීමට හැකි වේවි. ලබන වසරේ දී නිදහස ලබා වසර 70 සපිරෙනවා. ඒ නිසා ලබන වසර වෙද්දී අපට සංහිඳියාව සාර්ථකත්වයට ගමන් කරන්නට හැකියාව ලැබේවි’ යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම උත්සවයට සහභාගි වූ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ‘‘අපට  ඕනෑ නව ව්‍යවස්ථාව මගින් නොබෙදුණු - ඒකීය ලංකාව තුළ සියලූ ජනතාවට සම අයිතිවාසිකම් සහිතව ජීවත් වීමට ඉඩ සැලැස්වීමයි.

ශ‍්‍රී ලාංකික පුරවැසියන් කියන එක අපට ආඩම්බරයක් වෙනවා. බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් යන සියලූම ජනතාව එක්සත්ව ජීවත් වීමට අදාළ වාතාවරණය රට තුළ ස්ථාපිත වුණොත් අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ලෝකයේ උදාරතම රටක් බවට අපේ රට පත් විය යුතුයි’’ යැයි ද සම්පන්දන් මහතා සඳහන් කර තිබිණි.

කෙසේ වුවද මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප‍්‍රකාශ නොකිරීම විශේෂත්වයක් විය. එසේ වුවද ජනාධිපතිවරයා අගමැති සහ සම්පන්දන් මහතා සමඟ සුහදව කතාබස් කරනු දැකිය හැකි විය. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් හැකි තරම් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම ද කැපීපෙනෙන කරුණකි. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ව්‍යවස්ථාවට හැකි වෙර යොදා පහර දුන්නත් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමැතිවරුන් කියන්නේ රට බෙදන, බුදු දහමට ප‍්‍රමුඛත්වය නොදෙන, ෆෙඩරල් ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බවය. ඔවුන් රැවුලයි කැඳයි දෙකම බේරාගන්නා ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

පළාත් පාලන ඡන්දය ලබන ජනවාරියේ පැවැත්වෙන බවට කොතරම් බලාපොරොත්තු තබා තිබුණත් එය එසේ සිදුනොවන්නට ඉඩ තිබෙන බව පසුගිය බදාදා (18) වන විට වාර්තා වී තිබුණේය.

නුවරඑළිය සහ අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ තුළ අලූතින් පිහිටුවීමට යෝජනා වී තිබෙන ප‍්‍රාදේශීය සභා හේතුවෙන් මේ පටලැවිල්ලඇති වී තිබේ. එම සභාවල සීමා නිර්ණය කටයුතු තවම අවසන් වී නැත. එය අවසන් නොකිරීම සිතාමතා සිදු කළ මඟහැරීමක් දැයි කිව නොහැකි වුවද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රකාශ කර තිබුණේ එම කමිටු වාර්තාව ලැබූ සැණින් අදාළ පළාත් පාලන ආයතන පිහිටුවන ගැසට් නිවේදනය නිකුත් කරන බවය.

සතියක් ඇතුළත ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමට ලබාදෙන බව ද ඔහු කියා තිබිණි. ලේකම්වරයාගේ අදහස කුමක් වුවද පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දිනය පිළිබඳ අවසන් තීන්දුව ගනු ඇත්තේ ආණ්ඩුවේ බලධරයන් විසිනි. මැතිවරණ කොමිසමට පවරා ඇති බලතල අනුව ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට නම් ඊට අදාළ නීතිමය කාරණා සියල්ල සම්පූර්ණ වී තිබීම අවශ්‍යය. මේ නිසා පුංචි ඡන්දය පිළිබඳ තවමත් තබාගත හැක්කේ බලාපොරොත්තුවක් පමණක් බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ මතය වී තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මේ සතියේ පාර්ලිමේන්තුව තුළ දී ගල් යුගය සහ ඉලෙක්ට්‍රොනික යුගය ගැනත් සයිටම් අර්බුදය ගැනත් අදහස් දැක්වීමක යෙදුණේය. යුග දෙකේ කතාව කළේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයායි. ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු  (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයේ දී හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේ එය අපේ භූමියේ ක‍්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයක් තිබෙනවාද යනුවෙනි.

‘අද රාජ්‍ය ආයතනවල ජනතාව මොන තරම් රස්තියාදු වෙනවද? ෆොටෝ කොපි මැෂිමක් නැති රාජ්‍ය ආයතන කොච්චර තියෙනවද? චම්පික හොඳ කතාවක් කළා. හතරවැනි කාර්මික විප්ලවය ගැනත් කිව්වා. හැබැයි බිමේ යථාර්ථය  ඕක නොවෙයි. අපි ඉලෙක්ට්‍රොනික් යුගයට විරුද්ධ නැහැ. එහෙත් ඒක අපේ භූමියේ ක‍්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් තියෙනවද? රාජ්‍ය යාන්ත‍්‍රණය ගල් යුගයේ ඉඳිද්දී අපි මෙතැනට යන්නෙ කොහොමද? ඉලෙක්ට්‍රොනික් යුගයට යන්න කලින් ප‍්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ පුටුව මේසය හදා දෙන්න.

ඊට පස්සෙ ස්මාර්ට් ලෝකයට යමු යැයි ඔහුගේ කතාවේ සඳහන් විය. එසේ වුවත් හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඉන්නේ ගල් යුගයේ බවය.

‘‘පරිගණක එපාලූ. ඒ පක්ෂය කරන්නෙත් ඒ වගේ ගල් යුගයේ වැඩයි. ඊ රාජ්‍යයන් 180 න් අපි ඉන්නේ 74 වැනි තැන. අන්තර්ජාල භාවිතයෙන් ලෝකයේ 37 වැනි රට ශ‍්‍රී ලංකාවයි. ලංකාවේ මිලියන 6.2 ක් ෆෙස්බුක් පාවිච්චි කරන්නන් ඉන්නවා’’ යැයි ද ඇමැති හරීන් ප‍්‍රනාන්දු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව ඇතුළේ මේ සතියේ රැව් දුන්නේ ඉලෙක්ට්‍රොනික් සහ ගල් යුග පමණක් නොවේ. රටේ වෛද්‍ය අධ්‍යාපනයට කඩාපහත් වී ඇති ‘‘හෙනහුරා’’ ගැන ද කතාබහක් සිදු විය.

එහිදී විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ප‍්‍රශ්න කළේ වෛද්‍ය පීඨ සිසු සිසුවියන් විසින් ගෙන යන පන්ති වර්ජනය හේතුවෙන් අනාගතයේ වෛද්‍යවරුන් බිහිවීම නැවැත්වීමෙන් සිදුවන ජාතිකමය පාඩුවට වගකියන්නේ කවුදැයි කියාය. සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා වෛද්‍ය පීඨ සිසු සිසුවියන් අට දහසක පිරිසක් මාස 9 ක් තිස්සේ පන්ති වර්ජනයේ යෙදී සිටින බව ද ඔහු සඳහන් කළේය.

උසස් අධ්‍යාපන ඇමැතිවරයාට මේ ප‍්‍රශ්නය ඉදිරිපත් කරමින් කතා කළ අනුර දිසානායක මහතා ගැටලූකාරී සයිටම් ආයතනය සම්බන්ධ ප‍්‍රශ්නය නොවිසඳා සමස්ත උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයම අර්බුදයෙන් අර්බුදයට තල්ලූ කරමින් සිටින බවට වෛද්‍ය පීඨ සිසුන්ගෙන්, මවුපියන්ගෙන් සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙන් ද සියලූ මහජනතාවගෙන් ද ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වන බව ප‍්‍රකාශ කළේය.

කෙසේ වුවද මාස 9 ක් තිස්සේ ඇදීයන සයිටම් අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කෙරෙන විට ඊට පිළිතුරු ලබාදීමට උසස් අධ්‍යාපන ඇමැතිවරයා සභා ගැබේ සිටියේ නැත. පිළිතුර ලබා දුන්නේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාය. වැඩිපුර පාර්ලිමේන්තුවේ දකින් නොසිටින ගේ‍්‍රරු රාජ්‍ය ඇමැතිවරයා ඒ අවස්ථාවේ දී ගයන්ත කරුණාතිලක ඇමැති විසින් අනුර කුමාර මහතාට පෙන්වා දුන්නේ පිළිතුරු දීමට නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා යැයි කියමිනි.

ගේ‍්‍රරු මහතා පිළිතුර දීම ඇරුඹුවේ එම වැරුද්ද නිවැරැදි කරමිනි. ‘මුලින්ම කියන්න  ඕනි මම නියෝජ්‍ය ඇමැති නොවෙයි. රාජ්‍ය ඇමැති’ යැයි ඔහු කීවේය. සයිටම් අර්බුදයට ආණ්ඩුවේ විසඳුම වශයෙන් ගේ‍්‍රරු රාජ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරත්වයෙන් ඉවත් කර වැඩි පිරිසකගේ අයිතිය සහිත නව ආයතනයක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇති බවය. මෙම ආයතනය වසා දැමීම එකම විසඳුම යැයි කවුරුන් හෝ කියනවා නම් එය ඒක පාර්ශ්වීය විසඳුමක් බවත් මෙම ගැටලූව විසඳීම සඳහා වෛද්‍ය සභාවේ එකඟතාව අනුව තීරණ ගණනාවක් ක‍්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මීළඟට සතියේ කරළියේ කතාබහට ලක් වූයේ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසානයේ දී හෙළි වූ බරපතළ කරුණු ගණනාවකි. රවි කරුණානායක මහතාගේ පදිංචියට ලබාදුන් බව කියන ‘‘මොනෑක්’’ නිවාස සංකීර්ණයේ නිවෙසේ හිමිකාරිය වූ අනීකා විජේසූරියට එල්ල වූ තර්ජන හේතුවෙන් ඇය ජීවිත ආරක්ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කොමිසමට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාය.

අනීකාගේ වැඩිමල් සොහොයුරු විජිත විජේසූරිය මහතාට ද රවි කරුණානායක මහතාගේ බෑණා කෙනකු බව කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා දුරකතනයෙන් මරධෑය තර්ජන එල්ල කොට ඇති බව ද කොමිසමට දැනුම් දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව කොමිසම ප‍්‍රකාශ කළේය.

මේ වසරේ පෙබරවාරි 21 වැනිදා ඇරැඹි දින 120 ක් පුරා පැවැති කොමිසමේ සාක්ෂි විභාගය පසුගිය අඟහරුවාදා (17) අවසන් විය. සාක්ෂිකරුවෝ 63 ක් මීට කැඳවනු ලැබූහ. ප‍්‍රශ්න කිරීම්වලට ලක් වූ අය අතර එජාපයේ ඇමැතිවරු තිදෙනෙක් ද සිටියහ. ඒ අතුරින් රවි කරුණානායකට මුදල් ඇමැති ධුරය ද අහිමි විය. කොමිසම අවසන් දිනයේ දී සඳහන් වූයේ කොමිසමේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ප‍්‍රශ්නාවලියක් යොමු කර ඇති බවය. දිව්රුම් ප‍්‍රකාශයක් මගින් ඊට පිළිතුරු අපේක්ෂා කරන බව ද දැනුම් දුන් අතර එම පිළිතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් අගමැතිවරයා කැඳවන බව ද සඳහන් විය.

මෙම දීර්ඝ සාක්ෂි විභාගය මේ රටේ දේශපාලනයේ මෙතෙක් නුදුටු එක් පැතිකඩක් පෙන්වා දී තිබේ. එනම් මෙතෙක් හිටපු ආණ්ඩුවල හිටපු මැති ඇමැතිවරු සහ අගමැතිවරු කොමිසම් හමුවට කැඳවනු ලැබුවත් මෙවර පවතින ආණ්ඩුවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේම මැති ඇමැතිවරුන්ගෙන් සාක්ෂි විමසනු ලැබීමය. මෙය යහපාලන ආණ්ඩුවේ යහපත පිණිස වේද අයහපත පිණිස වේද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.

අංජන



අදහස් (1)

හම්බන්තොට ගිනිකෙළිය

piyal Saturday, 21 October 2017 11:14 AM

මහින්ද ජනාධිපතිතුමා යුද්ධය දිනාගන්න නොයෙකුත් පොරොන්දු පිටරටට දුන්නා. 13 එක පොරොන්දුවක් විතරයි. දැන් අපි සැමදෙනා යුද්ධයෙන් පසු නිදහස භුක්ති විඳිනවා. ඒ නිසා එතුමා පිටරටට දුන්නු පොරොන්දු අල්ලන් එතුමාට පහර ගැසීම ගුණමකු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. සිංහල ජනයාට තියෙන ද්‍රවිඩ ජනයාට නැති වරප්‍රසාද ව්‍යවස්ථාවේ තිබේනම් ඒවා පමණක් සංශෝධනය කලොත් ඇති.

:       1       115

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 39 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 160 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 204 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site