IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


අගෝස්තුවේදී විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 133 ක අතිරික්තයක්

  • ආනයනය වියදම් අඩුවී වෙළෙඳ හිඟය අඩුවීම මූලික හේතුවයි 
  • යුද්ධය නිසා මුල් මාස අටේ ජංගම ගිණුමේ ඩො.මි. 291 ක හිඟයක් 
  • සමස්ත වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඩො.බ. 7.2ක් දක්වා තවදුරටත් පුළුල් වෙයි

පසුගිය අගෝස්තු මාසයේදී මෙරට විදේශීය ජංගම ගිණුමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 133 ක අතිරික්තයක් වාර්තා කළ බව මහ බැංකුව පවසයි. 

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ජූලි දක්වා අඛණ්ඩව මාස හතරක් පුරා එම ගිණුමේ හිඟයක් වාර්තා කිරීමෙන් අනතුරුව පළමුවරට මෙලෙස අතිරික්තයක් වාර්තා කිරිම කැපී පෙනෙන අවස්ථාවක් බවත් මහ බැංකුව සඳහන් කරයි. 

විශේෂයෙන්ම අගෝස්තු මාසයේදී ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළෙඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය වී තිබෙන බව විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වය - 2026 අගෝස්තු වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි. 

කෙසේ වෙතත් මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 ජනවාරි - අගෝස්තු කාල පරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය ඩොලර් මිලියන 291ක් බවට පත්ව තිබෙන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. 

මේ අතර ආනයන වියදම ඩොලර් මිලියන 1,914ක් දක්වා ඉහළ යෑම සහ අපනයන ආදායම් ඩොලර් මිලියන 1,240 ක් දක්වා පහළ යෑම හේතුවෙන් අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2025 අගෝස්තුවේදී පැවැති ඩොලර් මිලියන 414.2ට සාපේක්ෂව මේ වසරේ අගෝස්තුවේදී ඩොලර් මිලියන 673.5ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත තවදුරටත් පුළුල් වී තිබේ. 

එසේම 2025 ජනවාරි සිට අගොස්තු දක්වා කාලය තුළදී පැවැති එක්සත් ජනපද ඩොලර් බිලියන 4.3 සමස්ත වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිගයට සාපේක්ෂව 2026 එම කාලපරිච්ඡේදයේදී සමස්ත වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 7.2ක් දක්වා තවදුරටත් පුළුල් වී තිබේ. 

මෙහිදී මුල් මාස අට තුළ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 9.4ක් ලෙස සටහන් වන අතර ආනයන වියදම ඩොලර් මිලියන 16.6 ක් ලෙස සටහන්ව තිබේ.  



අදහස් (0)

අගෝස්තුවේදී විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 133 ක අතිරික්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site