විමුක්ති එස් රුද්‍රිගු
බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළ ආයෝජනවලින් සේවක අර්ථ සාධක අරමුදලට මේ දක්වා බිලියන 20 ක මුදලක් අහිමි වී තිබෙන බවත් ඊට අමතරව නියමිත ක්‍රියාවලිය මඟහැර ලැයිස්තුගත නොකළ කොටස්වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් රුපියල් බිලියන 12ක් සේවක අර්ථ සාධක අරමුදල අහිමිකර ගෙන තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම වාර්තාවට අනුව බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කර 2002-2015 අතර කාලය තුළදී සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් මිලියන 9,826 ක මුදලක් අහිමිවී ඇති අතර එයට හේතුව අහිතකර මිල ගණන් යටතේ බැඳුම්කර මිලදී ගැනීම බව එම වාර්තාවේ සඳහන් වේ. එසේම 1998 සිට 2017 වසර දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් මිලියන 9,859 ක මුදලක් අහිමිවී ඇති බවත් එයට හේතුව අසාමාන්‍ය ආයෝජන රටාව බවත් එම වාර්තාවේ දැක්වේ.
වෝහාරික විගණනවල බරපතළ සීමා දෙකක් නිසා පාඩුවේ සම්පූර්ණ ප්‍රමාණය ග්‍රහණය කර ගැනීමට නොහැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. ඉන් පළමු සීමාව වන්නේ බැඳුම්කර වෙළෙඳපොළ විගණනය 2015 පෙබරවාරි දක්වා ගනුදෙනු පමණක් ආවරණය කර තිබීම බවත් ඉන් බැඳුම්කර වංචාව ආවරණය නොවන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකශ කළේය. විගණන මගින්, කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් සිදුවන සෘජු අලාභ හඳුනාගනු ලබන්නේ ලේඛනගත උල්ලංඝනයක් හෝ ගනුදෙනුවක් සිදුකිරීමේ විෂමතාවක් ඇති අවස්ථාවකදී පමණක් වීම දෙවැනි සීමාව බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ආයෝජනවලින් අර්ථ සාධක අරමුදලට බිලියන 20 ක් අහිමිවෙලා